බලාපොරොත්තුව

post-title
බලාපොරොත්තුව -  කෙටි කතාව
 
හිමිදිරියෙ කඩා හැලෙන පුංචි පිනි වැස්සෙ තෙමි තෙමි හිටිය මම ඇයි අද මේ තරම් නිදහසේ හැසිරෙන්නේ ? මේ සීත මීදුම එක්ක කෝලකම් කරන් බෝඩිමේ ගෙදර මිදුලට වෙලා හිටි මම ආපිටම හැරෙන්න හදනකොට ආදරයෙන් යුතුව මම දිහා බලා සිටින ඈව මා දුටු වහාම මවෙත ආදරණීය බැල්මක් හෙළුවා ය.
“ඇයි අම්මා ?”
මම ඈ ලඟට ගිහින් මගේ මව එක්ක පාන කෝලකම් ඈටත් පානකොට ඈ හරි අපූරුවට සිනාසුනා.
" අනේ දුවේ, මම හැමතැනම හෙව්වා. මේ උදේ පින්නට අහුවෙලා ඉස්කොලේ යන්නෙ කොහොමද දරුවො? අසනීපයක් උනොතින් මට තමා අම්මලට උත්තර බඳින්න වෙන්නෙ. යමු ඉතින්, ඔය මදැයි පොඩි එකෙක් වගේ සෙල්ලම් කළා."
ඈ සුපුරුදු හිනාව එක්කම හරි ලෙංගතු විදියට පුංචි තරවටුවක් කළා.
මගේත්, පවුලේ සියලු දෙනාගෙත් ජීවිතවලට වසන්තය අරන් එන්න මම දකින හීනය එක්ක ඇවිදගෙන යනකොට නවාතැන් ගන්න හම්බුන සොඳුරු බෝඩිමේ ගෙදරට මම හරිම ආදරෙයි. බෝඩිමේ අම්මා විශ්රාම ගිය ගුරුවරියක්. ඇය හරිම ආදරණීයයි. අම්මගෙන් දුරස්වෙලා පුහුණු ගුරුවරියක් විදියට බණ්ඩාරවෙල සීතලත් එක්ක කාලය ගතකරන මට මේ නවාතැනේ දී පුංචිමවත් තනිකමක් නොදැනෙන්න එකම හේතුව ඇගේ මේ සුපුරුදු ලෙංගතුකමයි. උදේම ළිපේ ගින්දර එක්ක පොරබදන මගෙ අම්මා මතක්වෙලා දුරකථනය අතට ගන්නකොටම ඈටත් මාව මතකෙට ඇවිදින්.
" ගුඩ් මෝනින් මේනු, ! මම මේ කෝල් එකක් ගන්න හැදුවා විතරයි "
මගෙ අම්මා අපි එක්ක ජීවිතය බෙදාගන්නෙ මවක් විදියට විතරක් නෙමෙයි. ඈ අපිට සහෝදරියක් වගේ. මම හුරතලේට අම්මට සමහර වෙලාවට කතාකරන්නෙ මේනු කියලා.
" මද්දු, ඉස්කොලේ යන්න ලෑස්ති උනාද පුතේ? මම මේ මල්ලිව ඉස්කෝලේ යවන්න ලෑස්ති කරනගමන්. "
මගෙ අම්මට නිවනක් තිබුණෙ අපි ලඟ ඉන්නකොටලු. මොනතරම් දුරක හිටියත් අම්මා කතාකරනකොට හිතට දැනෙන සමීප වචන එක්ක හරි ආදරෙන් දවස පටන්ගන්න පුළුවන්.
" මම මේ ලෑස්ති වෙන්න හදන්නෙ අම්මා. මෙහෙ හරි සීතලයි. උදේම ටිකක් එළියට වෙලා හිටියා. මේ දැන් ඇතුළට ඇවිත් ඔයාට කතාකරන්න හදනකොටම තමා ඔයා කෝල් එකක් ගත්තෙ මට "
" අහ්. එහෙනම් පරිස්සමෙන් ඉස්කොලේ වැඩ කරන් එන්න මද්දු. දවල් ඇවිත් කතාකරන්න. පුතාටත් මම කෝල් එකක් ගත්තා. දෙන්නම පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි පුතේ ! "
මගෙ අම්මට ආදරේ බෙදන්න සීමා තිබුණෙ නෑ. අපි ආදරේ කරන හැමෝටම ආදරේ කරන්න වගේම අපිට ආදරේ කරන අයට ආදරේ කරන විදියත් ඇය දැනගෙන හිටියා. මිනිස්සුන්ව තේරුම්ගන්න, මොනතරම් වේදනාකාරි අත්දැකීම් එක්ක උනත් හිනාවෙලා සතුටින් ඉන්න අම්මා අපිට පුරුදු කළා. ඒ හිනාව අදටත් හැමදාමත් මගෙ ලඟ පරිස්සමෙන් තියේවි.
" අහ්හ්, කලියෙන්ම පුතාට අරන් නේද මාව මතක් උනේ මේනු. ඉන්නකො දවල් ඇවිත් මම ඔයාව අල්ලගන්නම්. පරිස්සමෙන් ඉන්න අම්මා. බුදුසරණයි ! "
සීතල වතුර පොද එක්ක වතුරමල යටට වෙලා ගීයක් මුමුණන ගමන් හිටිය මට කලබලයක් තිබුනෙම නෑ. උදෙන්ම නැගිටින නිසාත් ඉස්කෝලේ තියෙන්නෙ බෝඩිමේ ගෙදරට කිට්ටුවම නිසාත් සැහැල්ලුවෙන් මගෙ දවස පටන්ගන්න මට පුළුවන් උනා.
නිළමෙගෙ අම්මා මට ගිය උපන්දිනේට එවලා තිබුන ලා නිල්පාට සාරිය මම ඊයෙ රෑ කල්තියාම ලෑස්ති කරගත්ත. ඒ සාරිය ඇත්තටම හරිම අපූරු තෑග්ගක්. නිළමෙගෙ අම්මා ඉන්නෙ විදෙස්ගතවෙලා. ඒත් නිළමෙටත් කලියෙන් ගිය උපන්දිනේට මට සුභ පතලා එතනින් නවතින්නෙ නැතුව මේරි අම්මි මට අයිසින් මල්වලින් වැඩදාපු කේක් එකකුයි මේ ලස්සන සාරියයි මට හොරා මගෙ උපන්දිනේට එවලා තිබුණා. මුණගැහුන හැමතැනකින්ම මට ලැබුනේ අසීමාන්තික ආදරයක්. ඉතින් මේ ආදරේ හදවතින්ම පිළිඅරන් මම කුස්සිය පැත්තට ගියා. රතු හාලේ බතයි, කොල්ලු මාළුවයි, කොළ සම්බෝලයි, හාල්මැස්සන් එක්ක උදේ කෑම වේල ලෑස්ති කරලා තිබුනා. රස නහර පිනවන්න වගේම හදවත පුරවන්නත් බෝඩිමේ අම්මගෙ කෑමවේලට පුළුවන් උනා.
කෑම කාලා මම ගියෙ බුදු පහන ලඟට,
" බුදුසරණ වේවා
සඳහම් සරණ වේවා
සඟසරණ වේවා
මෙතුන් සරණින් ජයම වේවා ! "
බෝඩිමේ අම්මටත් වැඳලා ඒ ආශිර්වාදය එක්ක ගේට්ටුවෙන් එළියට ඇවිදින් පාර දිගේම මම ඇවිදගෙන ඉස්කෝලේ දිහාවට පියවර මැන්නා.
" ටීචර් , ටීචර් ගුඩ් මෝනින් "
ළමා නිවාසේ තිබුනේ බෝඩිමේ ගෙදරට කිට්ටුව. ඉතින් උදේ කෑම වේල ගන්න අතරතුර නිවාසෙ කුස්සිය පැත්තෙ ඉඳහිටක ඉන්න පොඩි ඈයො ටික මාව දකිනකොට හැමදාමත් උදේට මට සුභ පතන්න අමතක කරන්නෙ නෑ.
" ගුඩ් මෝනින් ! ගුඩ් මෝනින් ! ඉක්මනින් ඉස්කෝලෙට එන්න. මම බලන් ඉන්නවා "
ඒ පොඩ්ඩන්ට අත වනලා මම ආපිටම සුපුරුදු විලාසෙන් ඉස්කෝලෙට පියවර තියනවා......
දවස ගෙවිලා යන අපූරුව අකුරු කරන්න මට බැරි උනත් ගුරුවරියක් විදියට මේ ආශ්වාදජනක සිදුවීම් මැද්දෙ ගෙවන කාලයට මම හරි ලෝභයි.
මගේ පංතියේ හැම පොඩ්ඩෙක්ට මම පවරපු රාජකාරියක් තිබ්බා. අකුරු හැඩකරගන්න හැමදාමත් මට ලිපියක් ලියන්න ඕනි කියන කාරණාව මම ඒ පුංචි ඔලුවලට දැම්මා. අකුරු ලියන්න කොහොමත් අකමැති පොඩ්ඩන් හැමදාමත් දවසේ සිඳුවීම් මට ලිපියකින් ලියන්න කැමති වුනා. පිටපත් කරලා ලියන එක පැත්තක තියලා හැමෝම දවස ගානෙම මට ලිපියක් ලිව්වා.
මේ කාලෙදි මට මුණගැහුනා අපූරු පොඩ්ඩෙක්. හිටියෙ අටේ පංතියේ. නිවාසෙ හැදුන වැඩුන දරුවෙක් උනත් හරිම අහිංසක දරුවෙක් විදියට තමා පුංචි සඳරුව මම දැක්කේ. හැමදාමත් උදේට දුවගෙන ඇවිත්
" ටීචර් මම ලියුම ලිව්වා "
කියලා මාව දැක්ක ගමන් ඇවිත් කියනවා. අටේ පන්තියෙ හිටියත් අකුරු ලියන්න අමාරු සඳරු එයාට පුළුවන් හැම වචනයක්ම ලිපියෙ ලියන්න ලොකු උත්සාහයක් ගන්න වග සඳරුගෙ ලිපි කියවන මට තේරුණා. ටිකෙන් ටික පොඩ්ඩො ටික ලියන ලිපිවල අකුරු ලස්සන වෙන්න පටන්ගත්තා. මට හරි සතුටුයි.
සඳරුව තදින්ම මතකෙට එන සිදුවීමක් මගෙ හිතේ තිබ්බා. දවසක් නිවාසෙට ගිය වෙලාවක සඳරු මම ඇවිත් ඉන්න ආරංචිය දැනගෙන පහළට දුවගෙන ආවා. ආවෙ නිකන්ම නෙමෙයි. චොකලට් බෑග් එකක්ම අරන්.
" ආ ටීචර් "
" මේ මොනාද දරුවො? "
" චොකලට් ටීචර්, මම ලඟ ගොඩක් තියෙනවා. ටීචර් මේ ටික අරන් යන්න "
" අනේ පැටියො, ගොඩාරියක් ස්තූති. ඒත් ටීචර්ට චොකලට් කන්න ඕනි උනොත් කඩේට දුවලා ගිහින් කන්න පුළුවන්නෙ. පුතා මේ ටික පරිස්සමෙන් තියාගෙන කන්න. එතකොට ටීචර්ට සතුටුයි "
" අනේ, මේ ටික අරන් යන්න ටීචර්, මම ලඟ ගොඩාක් තියෙනවා. බොරු නම් අක්කගෙන් අහන්න. හම්බුන චොකලට් එකතු කරන් ඉන්නෙ මම ටීචර්. එතන තව ගොඩක් තියෙනවා. මම ආසාවෙන් දෙන නිසා මේක ගන්න "
" ටීචර්ට ඔය ඔක්කොම එපා. එකක් දෙන්න සඳරු. ඉතින් අහන්නකො සඳරු, මොකද මේ හැටි චොකලට් එකතුකරන්නෙ ? "
ඒ ආදරේ ප්රතික්ෂේප කරන්න බැරිතරමට වටින නිසා මම චොකලට් එකතුවෙන් එක චොකලට් එකක් ගන්න පොරොන්දු වුනා. මම ඇහුව ප්රශ්නෙ එක්ක සඳරු හිනාවෙලා මට කිව්ව කතාව අදටත් මතක්වෙන වාරයක් ගානෙම මගෙ පපුව පිච්චෙන්න තරම් ඉහිලුම් නැති කතාවක් උනා.
" මගෙ අම්මා ඉන්නෙ රට ටීචර්. එයා මාව බලන්න එනකන් මට හම්බෙන හැම චොකලට් එකක්ම මම අම්මට දෙන්න එකතු කරගන්නවා. එයා 2020 එනවා කිව්වා ටීචර්. එතකොට මම මෙහෙ ඉන්නෙ නෑ. ඉතින් අම්මා මාව බලන්න එනකොට මට එයාට දෙන්න පුළුවන් නිසා ඒ 2020 වෙනකන් තියාගන්න පුළුවන් හැම් චොකලට් එකක්ම මම තියාගන්නවා. "
සඳරු කල් ඉකුත්වෙන දිනය බලලා එකතු කරපු චොකලට් මල්ල දිහා මම බැලුවෙ වේඳනාවකින්ද ආදරයකින්ද කියන්න මම දන්නෙ නෑ. සඳරු එයාට දානෙට අතුරුපස විදියට චොකලට් හම්බෙන දවසට එයාගෙ එකතුවට එකතු කරපු චොකලට් අතරින් තිබුන ලොකුම චොකලට් එක මගෙ අතට දීලා දුවගෙන ගියා.
රිදුම් දෙන මහ ලොකු වේදනාවක් එක්ක එදා මට දැනුන හැඟීම ආයෙම මතකෙට ආව නිසා මට ඉක්මනින් කල්පනා ලෝකෙන් එන්න උනේ මම දැන් ඉන්නෙ ඉස්කොලේ නිසා.
ඒ එක්කම අහම්බෙන් වගේ මාව හොයාගෙන ගුරු විවේකාගාරයට ආව සඳරුව මම දැක්කා. දොරෙන් එබිලා ඔලුවෙන් මෙහෙට එන්න කියලා මට කතා කරපු සඳරු හෙමීට ගුරු විවේකාගාරයේ බිත්තිය පැත්තට හේත්තුවෙනවා මම දැක්කා. ඒ වෙලාවෙ ගුරු විවේකාගාරයෙ ගුරුවරුන් කිහිපදෙනෙක්ම හිටිය නිසා මම ඉක්මනින් සඳරුට කතාකරන්න එළියට ආවා.
" ටීචර්, මට ඔයා එක්ක කතාකරන්න ඕනි. "
සඳරු කාටම හරි ඇහෙයි කියලා රහසින් වගේ මට කිව්වා. හැමදාමත් ඉස්කොලේ ඇරිලා මම එක්කම යන්න බලන් ඉන්න නිසාම මේ වෙලාවෙ සඳරු මට කතාකරන්න ඕනි කියන හේතුව මට දැනගන්න ඕනි වුනා.
" කියන්න සඳරු, "
මට කියන්න පුළුවන් උනේ එච්චරයි.
" සඳරු, තමුන් මොකද මෙතන කරන්නෙ? දැන් මොනාද පංතියේ තියෙන්නෙ. පොඩි ටීචර්ට කරදර නොකර යනවා යන්න පංතියට "
ඇත්තටම මටවත් හිතාගන්න බැරි උනා. ඒ ටීචර් ටිකක් සැරයි. කොටින්ම ඉස්කෝලේ හැම ගුරුවරයෙක් වගේම ළමයින් පවා දන්නවා ඒ ටීචර් කොයිතරම් නම් සැරද කියලා. එහෙම වෙලාවක දරුවා ගැන හිතන්න ඕනි නිසා මම සඳරුට පන්තියට යන්න කියලා ටීචර් දිහාවට හැරුණා.
" ඒ ළමයා ඇවිත් තිබුනෙ මෙන්න මේ පොත දීලා යන්න ටීචර් "
වෙලාවට මම සඳරුව හම්බෙන්න එළියට ආවෙ කලින් පන්තියේ අභ්යාස පොත්වල අඩුපාඩු ලකුණු කරන ගමන් අන්තිමට අතේ තිබ්බ පොතත් එක්කම.
" අනේ ! ඔය ළමයි හරි කපටි නංගී. අම්මා අප්පා නැතිව හැදිලා උන්ට කිසි විනයක් නෑ. වැඩිය කරට ගන්න එපා. උන් ඇත්තටම ළමයි නෙමෙයි "
එහෙම කියපු ඒ ටීචර් ගුරු විවේකාගාරයට යන්න ගියා. මගෙ හිත ඇත්තටම මාවම සැනසුවා. මගේ පාසල් ජීවිතෙත් ඕනිවටත් වඩා එහෙම ගුරුවරු මුණගැහුන මට ඉස්සරහට වැඩකරනකොට මෙහෙම ගුරුවරු එක්කත් කාලය ගතකරන්න වෙන වග දැනගෙන නිහඬවම අටේ පන්තිය පැත්තට ගියා. සඳරු කියන්නෙ කලබලයක් නැති දරුවෙක්. ඒත් කලබලෙන් ඇවිත් කතාකරන්න ඕනි කිව්ව කාරණාව දැනගන්නකන් මගෙ හිත හිටියෙ ටිකක් කලබලෙන්. සමාන්තර ශ්රේණි එකක් තියෙන මේ පුංචි ඉස්කොලේ අටේ පන්තියේ මේ වෙලාවෙ උගන්නන ටීචර් දැකලා පාඩමට බාධා නොකර මම ආපිටම ගුරු විවේකාගාරයට යන්න හැරුණත් අර ගුරුවරිය නිසා මඟ ඇරුණු සඳරු ගැන හිතන් මම ගියා ප්රාථමික අංශයට මගේ මිතුරිය මුණගැහෙන්න. ඇය තමා පාසලේ දී මගේ දුක සැප බෙදාගන්න හිටිය ආදරණීයම මිතුරිය. ඇය මට වඩා අවුරුද්දක් වැඩිමල් නිසාම මම ඈට කතා කලේ අක්කා කියලා.
" මොකද ? මූණ එල්ලගෙන "
ඇගේ ලෙංගතු සිනාවට පෙරලා සිනාවක් එකතු කරන ගමන් ඇය ලඟින් ගිහින් මම ඉඳගත්තා.
" එහෙම මුකුත් නෑ අක්කේ,."
එහෙම කිව්වට මොකද සිද්ධ උනේ මොකක්ද කියලා මම කෙටියෙන් අක්කට කිව්වා.
" ඒක වැඩිය හිතන්න එපා කෙල්ල, ඉස්කොලේ ඇරිලා යනකොට සඳරු කියාවි මොකක්ද කියලා. අපි දැන් යමුද පන්තියක් නැත්නම් පුස්තකාලෙ පැත්තට ? "
මම අක්කත් එක්ක පහළට එනකොටත් මගෙ ඇස් ගියෙ අටේ පන්තිය දිහාවට. සඳරු කලියෙන් හිටි තැන පේන්න හිටියෙ නැති නිසා මම ගුරු විවේකාගාරයට ගිහින් බල බල හිටිය පොත් ටිකත් අරන් අක්කා එක්ක පුස්තකාලෙ දිහාවට ගියා.
හවස් වරුවම කාලපරිච්ඡේදයක් නොතිබුන නිසා අපි පුස්තකාලෙටම වෙලා හිටියා. පොත් සංගණනයක් නිසා පුස්තකාලෙ පොත් පිළිවෙළකට හදන ටීචර්ටත් සහය වෙන ගමන් හිටි අපිට පාසල අවසන් කරන සීනුව නාදවෙනවා ඇහුනෙත් නෑ. වෙලාව බලන්න ඔරලෝසුව දිහාවට හැරෙනකොට වෙලාව දෙක පහුවෙලා. පුස්තකාලෙ ටීචර්ට සමුදීලා අපි එනකොට ළමයි වගේම ගුරුවරු හිටියෙත් නෑ. පොතේ අත්සන් කරලා පාරට ඇවිත් බඩුවගයක් ගන්න ඕනි නිසාම අක්කා එක්කම ටවුන් එකට යන්න බස් එක එනකන් හිටියා. එතකොටම කෝල් එකක්. බෑග් එකෙන් ෆෝන් එක අතට ගන්නකොටම තිරයෙ නම වැටුනෙ
" බෝඩිමේ අම්මා " කියලා.
" දුවේ, මම මේ පාර බලන් ඉන්නවා ඔයා එනකන්. ඔයා තාම ඉස්කෝලේ ද? "
" අනේ මට සමාවෙන්න අම්මා. අද ටිකක් පරක්කු උනා. මම මේ ටවුන් එකට ගිහින් එන්න කියලා. අම්මා කෑම කන්න. මම එනකොට ටිකක් පරක්කු වෙයි."
" හා දුවේ,එහෙනම් පරිස්සමෙන් , බුදුසරණයි !"
" බුදුසරණයි අම්මා "
මම බෝඩිමට ආව දවසෙ ඉඳන් හැමදාමත් ඉස්කොලේ ඇරිලා එනකන් කෑම නොකා බලන් ඉන්න එක බෝඩිමේ අම්මගෙ පුරුද්දක් වෙලා තිබුනා. වෙනදට පරක්කු වෙනකොට කෝල් එකක් ගන්න මට හිතේ තිබ්බ කලබලේ නිසාම අමතක උනා. මම එහෙම්ම මගෙ අම්මටත් කෝල් එකක් අරන් බෝඩිමට ඇවිදින් නිවාඩු පාඩුව ගන්නම් කියලා තිබ්බෙ අම්මත් මඟ බලාන ඉන්න වග දන්න නිසා.
බණ්ඩාරවෙල ටවුන් එක දවල්ට හරියට කඩිගුලක් ඇවුස්සුණා වගේ කලබලයි. ඒ කලබලේ අස්සෙ මගෙ වැඩ ටිකත් කරන් එනකොට හිතුවට වඩා වෙලාවක් ගියා. ආපිටම බෝඩිමේ ගෙදරට එන්න බස් එකට නැගලා වෙලාව බලනකොට පහටත් කිට්ටුයි. නිවාසෙට ගිහින් සඳරුවත් බලාන පොඩ්ඩො ටිකට කතා කරලා එන්න හිතුවට මේ වෙලාව එක්ක නොයන එක හොඳ නිසා මම පහුවෙනිද උදෙන්ම ඉස්කෝලේ ගිහින් සඳරු එක්ක කතාකරන්න හිතුවා.
පහුවෙනිද උදෙන්ම සුපුරුදු සීත එක්කම මම අවදි උනත් හිතේ තිබ්බ කලබලේ එක්ක මම වෙනදට වඩා හරි කලබලෙන් හැසිරුනේ. ඒ වෙනස බෝඩිමේ අම්මටත් දැනිලා තිබුණා.
" කලබල වෙන්න එපා දුවේ, ඒ දරුවා අද ඔයාට ඇවිදින් කතා කරයි. ඔයාට ඔය වගේ සිදුවීම් ගොඩකට ඉස්සරහට මූණදෙන්න තියෙන වග අමතක කරන්න එපා. අපි සංවේදී වෙන්න ඕනි තැන්වලදි ඊටත් වඩා කල්පනාව තියෙන්න ඕනි. මොකද ඔයා දැන් ගුරුවරියක් මිසක ඉස්කොලේ යන දරුවෙක් නෙමෙයි. ඒ නිසා මොන දේ උනත් උපේක්ෂාවෙන් හිතන්න, දකින්න, බලන්න පුරුදු වෙන්න. ඔයාට හොඳම උදාහරණය තමා මම. ඉතින් දැන් හිනාවෙලා වෙනදා වගේ වැඩ ටික පටන්ගන්න "
ඇත්තටම අපි ජීවිතයට මහ හුඟක් දේවල් එකතු කරගන්නෙ අහම්බෙන් ජීවිතයට මුණගැහෙන මිනිස්සුන්ගෙන්. බෝඩිමේ අම්මා කියපු දේවල් ගැන හිතන ගමන් ඇත්තටම මම කල්පනා කළා. ඔව්! මම දැන් ගුරුවරයෙක්.
ඉතින් මම හෙමි හෙමින් ලෑස්ති උනා. බුදුන් වැඳලා බෝඩිමේ අම්මටත් වැඳලා ආශිර්වාද අරගෙන ගේට්ටුව ලඟට යනකොටම අම්මගෙන් කෝල් එකක්. මාව තේරුම්ගන්න පුළුවන් එකම කෙනා අම්මා. දැන් මට වඩා කලබලෙන් ඇත්තෙ ඊයේ සිද්ධ උන දේ ගැන කිව්ව නිසා කියලා හොඳාකාරවම මම දන්න නිසා මම හරි සැහැල්ලුවෙන් අම්මා එක්ක කතා කළා.
" ගුඩ් මෝනින් මේනු "
" ගුඩ් මෝනින් මද්දු,ඔයා හොඳින් නේද ? වැඩිය හිත කලබල කරගන්න එපා මොනා උනත්. උදෙන්ම ගිහින් කතාකරන්න ඒ දරුවට. මට හවස ඇවිත් ගන්නකො. මගෙ පුතාට බුදුසරණයි ! "
ඒ තමයි මගෙ අම්මා. මට ආදරේ කරන්න, ආදරේ බෙදන්න උගන්නපු මගෙ අම්මා. අම්මගෙ ආදරෙත් හිතේ තියාගෙනම ඉස්කෝලේ යනකොට වංගුව ලඟට ආවම පුරුද්දට වගේ නිවාසෙ දිහා බැලුවෙ සුපුරුදු හඬවල් ටික ඇහුනෙ නැති නිසා. පේන්න නම් කවුරුත් නොහිටි නිසා මට හිතුනෙම දානේ අද උදෙන්ම කට්ටියට හම්බෙන්න ඇති කියලා. අත්සන් පොතේ අත්සන් කරලා මම බලන් හිටියා. උදේ පන්සිල් ගන්න කිට්ටුව වෙනකොට ළමා නිවාසෙ ළමයි එන නිසා මම ප්රාථමික අංශය ලඟ ගේට්ටුව පෙනෙන නොපෙනෙන දුරක හිටියා. පෝලිමට පරිස්සමෙන් අත් අල්ලගෙන එන නිවාසෙ පුංචි උන් දකිනකොට මගෙ හිතට මතක් උනේ බොහීමියානු නාට්යයේ ගීතයක්
" හිත්වල කෝ බං ආදරේ ".
" ටීචර් සඳරු නිවාසෙන් පැනලා ගිහින් "
සුපුන් මාව දැක්ක ගමන් එහෙම කිව්වා. සුපුන් තමා නිවාසෙ ඉන්න වයසින් වැඩිම පිරිමි දරුවා. ඕනිම දෙයක් මට කතාකරන්න පුළුවන් උන දැනුම් තේරුම් ඇති හරි අහිංසක දරුවෙක්.
" අනේ ! ආරංචියක් නැද්ද පුතේ? කොයි වෙලාවෙද ගිහින් තියෙන්නෙ? "
මගෙ හිතට දැනුන වේදනාව එහෙම ප්රශ්න කළත් මගෙ හිතට එකඟව මට ඇත්තටම දැනුනේ මම අතින් සඳරුව මඟ ඇරුණා කියන වරදකාරී හැඟීම.
" උදේ පාන්දර ටීචර්, තාම ආරංචියක් නෑ. මම එහෙනම් යන්නම් ටීචර්. පරක්කු උනා කියලා ගුටි කන්න වෙයි "
" යන්න පුතේ, මම එන්නම් හවස "
මේ සිඳුවීමෙන් පස්සෙ මම මොනතරම් උත්සාහ කළත් සඳරු ගැන විස්තරයක් හොයාගන්න අද වෙනකන් මට සඳරු ගැන දැනගන්න බැරිඋනා. නිවාසෙන් කිව්වෙ සඳරු තාත්තා හොයන් ගියා කියලා. ඉස්කෝලෙට ඇවිදින් අස්වීම පවා අරන් ගියා කියලා තමා දැනගන්න ලැබුණේ. මට කියන්න ඕනි මෙච්චරයි. සඳරුව මට ආයෙම මුණගැහෙයිද කියන්න මම දන්නෙ නෑ. අදටත් සඳරු මට ලිව්ව ලිපි ටික මගෙ ලඟ පරිස්සමෙන් තියෙනවා. ඉතින් අහන්න, කවදාවත් මොනම හේතුවකටවත් කාවත් මඟ ඇරෙන්න දෙන්න එපා. මොනතරම් වැඩ රාජකාරි තිබුණත් ඇහුම්කන් දෙන්න පරක්කු කරන්න එපා. අදටත් මම බලාපොරොත්තු තියන් ඉන්නෙ සඳරු මුණගැහිලා සඳරුගෙන් මට මඟ ඇරුන කතාව අහන්න. මම පරක්කුයි. ඒත් ඔබ එහෙම නැතිවෙන්න පුළුවන්.
මම පෑන අරගෙන සඳරු අන්තිමට එවලා තිබුන ලිපිය මත ම කුරුටු ගාන්නට වීමි.
මඟ ඇරුණු සුවඳ මල
දැවටි දැවටී හිඳ
ඇසිල්ලෙන්
නික්ම ගිය අපූරුව
ඉඩක් නොතියාම සැඟවිලා
සොයාගන්නට නොහැකි ලෙස
මම නුඹේ ගුරුතුමී
හැමදාමත් නුඹව සොයන

යශෝදරා උඩංගමුව
Top