“ ඉතිං කොහොමද ඇමතිතුමා? අපිත් ඉඳ හිටලා හරි මතක් වෙන එක කොච්චර දෙයක් ද?” (747)

post-title

ඔහු කාර්ය නියමයක් නැති ඇමතිවරයා විය. මින් දශක තුනකට පමණ පෙර, ඔහු දිවි සැරිය පටන්ගෙන තිබුණේ නීතියෙන් බැහැර මත්පැන් නිෂ්පාදකයකු ලෙසිනි. ඒ, ව්සර නවයකට සීමා වූ විධිමත් අධ්‍යාපනයට තිත තබමිනි. පහල මට්ටමේ වැටුප් ලබන්නකු වූ ඔහුගේ පියාට, ඔහු මෙන්ම තවත් දරුවන් සිව්දෙනෙකු නඩත්තු කිරීම අතිශයින් දුෂ්කර කාරියක් වූවාට සැකයක් නැත. ඔහුගේ පාසැල් ගමනද, යලට මහට කෙරුණු, එපා වාහෙට හොදි බෙදීම බඳු කාරියක් විය. පන්ති කාමරයේ හා ඉන් පිටත වුව, පාරිභාෂික වචන මාලාවෙන් කිවහොත් විෂය බාහිර ක්‍රියාකාරකම් වලද ඔහු පෑ කිසිදු දක්ෂතාවයක් නොවීය.දහ අට වන වසරට පා තබන්නට පෙර ඔහුගේ පියා මියගියේ, මැදියම් වියට පා තබන්නා හා සමගය. සාමාන්‍ය පවුලක උපන්, තරමක පෙනුමක් තිබුණද, ඒ හැටි අධ්‍යාපනයක් හෝ රැකියාවක් නොමැතිව උන් මවට මේ දරුවන් පස් දෙනෙකු සමග ජීවිතය ගැට ගසා ගැනීම සිහිනයක් පමණක් විය.

පියා මියගිය පසු ඔහු, තමන්ගේ දුර නෑයකු මෙන්ම මවගේ අනියම් පුරුෂයන් අතරින් එකකු වූ ජයසේකර සමග එකතු වූයේ ඔහුගේ ව්‍යාපාරික කටයුතුවල අත් උදව්කරුවා ලෙසිනි. මෙකියනා ජයසේකරගේ ව්‍යාපාරික කටයුතු සියල්ලම පාහේ නීතියෙන් බැහැර කරුණු කාරණා විය. ඔහු මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදකයකු සේම, බලපත්‍ර රහිත දැව කැපීම හා නිදන් වදුල් ගවේෂණය බඳු සමගාමී වණික් කටයුතු වලද නිරත විය.

ඔහු, මත්පැන් නිෂ්පාදනයේ හැම අංශයකම ආධුනික සේවකයකු ලෙසින් කටයුතු කල අතර, විශේෂයෙන් අවසන් නිෂ්පාදනය වෙලඳපලට ගෙන ඒමේ ක්‍රියාදාමයට වැඩි වශයෙන් දායක විය. වසර දෙක තුනක් මේ කාරියේ නිරත වූ ඔහු එහි හැම අස්සක් මුල්ලකම කරක් ගසා, ඒ පිළිබඳ සුවිශේෂී පරිචයක් සහිත ව්‍යවසායකයකු වීමේ ගති ලක්ෂණ පළ කළේය. තොග ගණුදෙනුකරුවන් හා ජයසේකර අතර තිබි මුදල් හුවමාරුව කෙරුණේද ඔහු විසිනි. ඔහු, දිනපතා සෑහෙන මුදල් කන්දරාවක් අතපත ගෑ අතර හැම මුදලක්ම, සතයක් නෑර සිය ස්වාමියාට ලැබෙන්නට සැලැස්වීය. ජයසේකර, සිය දරුවන්ටද වඩා ඔහු විශ්වාස කළේ ඔහු ඒ බව ඇස් පනා පිට ඔප්පු කොට තිබි නිසාවෙනි.

ජයසේකර නම් මත්පැන් නිෂ්පාදකයා, දැව ජාවාරම්කරු හා නිදන් හාරන්නා අකාලයේ මිය ගියේ ඔහුගේ එක් විනෝදාංශයක් වූ පරදාර සේවනය හේතුකොට ගෙනය. සිය අනියම් බිරියන් අතුරින් එකියකගේ නිවසේදී ඔහු ඝාතනය කර තිබුණේ කවුරුන්ද යන්න ප්‍රසිද්ධ රහසක් වුවද නීතියෙන් කිසිදා නොවිසඳුනු ගැටළුවක් විය.

ජයසේකරට පිරිමි දරුවන් උන්නේ නැත. විවාහ වී උන් ගැහැණු දරුවන් දෙදෙනාගේ සැමියන් වෙනත් ව්‍යාපාරවල(ව්‍යාපාර යැයි හැඳින්වූවද ඒ සියල්ලමත් විවිධ මාදිලියේ ජාවාරම් ය) යෙදී සිටි අතර, දැව ජාවාරම හා නිදන් හෑරීම විනා මත්පැන් කතන්දරයට වැඩි කැමැත්තක් නොදැක්වූවෝය. මේ හේතුව නිසාම, ජයසේකරගේ විශ්වාසවන්තම අතවැසියා හා ව්‍යාපාරික හවුල්කරුවා වූ ඔහුට, ආම්පන්න, ප්‍රවාහන ජාලය හා සම්බන්ධතා සහිත මුළු මහත් ව්‍යාපාරයම ඔඩොක්කුවට වැටීම, ලොතරැයියක ප්‍රථම ත්‍යාගය ලැබීම හා සමාන වාසනාවක් විය. මෙයට අමතරව, ස්වාමියා මිය යන අවස්ථාවේ ඔහු අත සංසරණය වෙමින් තිබි මුදල් කන්දරාව දැන සිටියේද ඔහු පමණකි.

ජීවන ගමන් මග අනුව, ඔහු තරණය කළ යුතුව තිබි ඊලඟ කඩුල්ල වූයේ දේශපාලන ව්‍යාපාරයට පිවිසීමය. ඔහු, අඩුවක් පාඩුවක් නැතිව එය ඉටුකර ගත්තේ, සිය නිසග හැකියාව ප්‍රදර්ශනය කරමිනි. මුලින් ප්රාදේශීය සභාවට පත්වූ ඔහු පසුව එහි උප සභාපතිවරයා විය. ඉන්පසු ඉණිමග එකිනෙක තරණය කරමින්, ජාතික දේශපාලනයට අවතීර්ණ විය. දේශපාලන වපසරියේ හුළං හමනා අත හඳුනා ගැණීමේ තියුණු ඉවක් ඔහු සතු විය. ඔහු, වරින්වර පක්ෂ මාරු කළේද මෙකී ඉව අනුව යමිනි. කෙසේ හෝ අවසන, කාර්ය නියමයක් නැති ඇමතිවරයකු වීමට ඔහුට පිළිවන් විය.

ඇමතිවරයකු ලෙස දිවුරුම් දී මඳ කලක් ගතවෙත්ම, ඔහුගේ දින චරියාව බෙහෙවින්ම කාර්ය බහුල විය. මන්ත්‍රී මණ්ඩලයේ රැස්වීම් වලට අමතරව( ඔහු මෙහිදී කතා කළේ බෙහෙවින් අඩුවෙනි) විවිධ උත්සව, පීත්ත පටි කැපීම්, විවෘත කිරීම් හා වෙනත් අටමගල් අතර, නිමක් නැති මළ ගෙවල්, මගුල් ගෙවල් හා කොටහළු මගුල්ද විය.

මෙබඳු උත්සව රාශියකට සහභාගි වූ එක් දිනයක ඔහුට හිස පිටිපස කිසියම් ඇඳුම් කෑමක් දැනෙන්නට වුවද විටින් විට හිස අත ගෑවා විනා ඒ ගැන ඒ හැටි වදවන්නට කාලය සොරා ගැනීම අසීරු විය. එබැවින්, පෙරළා නිවසට ආ පසු, ඇඟපත දොවා, සිය දකුණත හිස පිටිපසට යවා පිරික්සන්නට විය.

හිස දෙපස, හිස් මුදුනට කෙළින්, කුඩා ගැටිති දෙකක් ඔහුගේ අතට හසු විය. ඔහු, ගැටිති දෙක, එකිනෙක වරින් වර පිරිමැද්දේය. මහපටැඟිල්ල හා දබරැඟිල්ල එක්කොට, ඒ කිසියම් ඉදිමුමක්දැයි තහවුරු කර ගන්නට වෑයම් කළේය. එහෙත්, ගැටිති යුවල පහතට එබුණේ නැත.

දැන් ඔහොම තිබුනාවෙ. බාම් ටිකක් ගා ගත්තම, උදේ වෙනකොට හරියාවි. ඔහු එසේ සිතුවේය. පවුලේ අය හා සමග එක්ව රාත්‍රී අහාරය ගත්තේය. මඳ වේලාවක් රූපවාහිනියද බැළුවේය. පසුව නින්දට ගියේය.

පසුදා අළුයම අවදි වූ වහාම, ඔහුගේ අත නිතැතින්ම ගියේ අරකී ගැටිති පිරිමදින්නටය. ඒ, කලින් දිනයට වඩා මඳක් දැඩිවී ඇතැයි ඔහුගේ සිතට හැඟුමක් මතු වුවද, ඔහු එය ආයාසයෙන් යටපත් කළේ සැකමුසු සිතිනි.

උදෑසන මුහුණ කට දොවාගන්නා අතර හා බිරිය සමග පාතරාසය ගන්නා අතරේ ඔහුගේ සිත කෙනහූයේ මෙකියනා ගැටිති පිළිබඳ පලහිලව්වය. මේ ගැන ඔහුගේ බිරිය කිසිවක් දැන හුන්නේ නැත. මේ සංගෙදිය ඇයට පවසනවාදැයි ඔහු තමන්ගෙන්ම ප්‍රශ්න කළද පිළිතුරක් සපයාගන්නට අපොහොසත් විය. තව සතියක් දෙකක් ඔහොම ගියාවෙ. උඩු සිත යටි සිතට පැවසීය.

මැදිවියේ මුල් අවදියේ හුන් ඔහුගේ හිසකේ අතරින් පතර අඳුරු පැහැයට හැරෙමින් තිබුණද, හාත්පස ගනසැරේට වැවී තිබුණේය. අඟල් බාගයක් තරම වූ ගැටිති හිසකේ අතර සඟවා ගැනීම අසීරු කාරියක් නොවීය.

එදිනද , හිස දෙපස වරින්වර ඇදුම් දුන්නේ ඔහුගේ හිස හා සිත යකාගේ කම්මල බවට පත් කරලමිනි.. විවිධ නිලධාරීන්, අන්තේවාසිකයන් හා සෙසුපටු මහ ජනතාව සමග පවති නිමක් නැති, දිගින් දිගට ඇදුනු සාකච්ඡා අතර පවා, ඔහුගේ සිත අයාලේ දිව්වේ අර කී ගැටිති පලහිලව්ව සමාලෝචනය කරන්නටය. මේ නිසාම එදිනෙදා රාජකාරි කටයුතු ( මේ රාජකාරි කිසිම වැදගම්මක් නැති හුටපට වීම වෙනම කාරණයකි) කිසිවකට හිත යොමු කිරීමට ඔහු අපොහොසත් විය.

එදින හවස්වරුවේ, නිවෙස බලා යන්නට පෙර , සාගරිකා හමුවන්නට යෑමේ සිතක් පහල වූයේ කෙසේදැයි විස්තර කල නොහැකිය. බාගෙදා, ඒ අර කී ඉව විය හැකිය. තවමත් අවිවාහක සාගරිකාට මැදි තරාතිරමේ රජයේ රැකියාවක් සොයා දුන්නේ ඔහුය. ඊට හිලව්වට ඇය ඔහුගේ තාවකාලික බිරියක් වන්නට කැමැත්ත පල කොට තිබුණි.

“ සිරිල්” ඔහු රියැදුරාට සන් කළේය.

“සර්?” රියැදුරා ඇසුවේ මේ කිසිවක් නොතේරෙන ගාණටය.

“ සාගරිකා මිස්ලගෙ දිහා පොඩ්ඩක් ගිහින් එමු. හැබැයි මැඩම්ට නොදැනෙන්න”

“ හරි සර්” රියැදුරා පැවසුවේ යටිසිතින් හිනැහෙමිනි.

ඔහු, සාගරිකාට දුරකථන ඇමතුමක් ගත්තේය.

අනියම් බිරිඳගේ නිවස කරා මේ යන ගමන අතරතුර ඔහුගේ සිතට වදදුන්නේ මෙකියනා ගැටිති පලහිලව්වය. මේ ගැන ඇයට පවසන බවද, ඇය, බිරියට වඩා තමාට විශ්වාසවන්ත බවද, රහසක් රැකිය හැකි එකියක් බවද ඔහු තමාටම පවසා ගත්තේය.

දෙවැනි බිරිය උන්නේ සිනාමුසු මුහුණෙනි.

“ ඉතිං කොහොමද ඇමතිතුමා? අපිත් ඉඳ හිටලා හරි මතක් වෙන එක කොච්චර දෙයක් ද?” ඇය කීයේ උපහාසයටද යන්න ඔහුට තේරුම් ගත නොහැකි විය.

“ සාගරිකා, මං මේ ඔළුව ගිනි අරං ආවෙ” ඔහු පැවසීය.

“ හරි. වතුර ටිකක ගැහැව්වම නිවිල යාවි” ඇය, පෙරසේම කෙළිදෙලෙන් පැවසූවාය.

“ විහිළු නෙමෙයි මනුස්සයො, මෙහෙ එනවකො කියන්න” ඔහු, දෙවන බිරියට අතින් සන් කළේය.

“ මොකක්ද ප්‍රශ්නෙ?”

“ මේ මෙන්න මෙතන අතගාල බලන්න පොඩ්ඩක් ” ඔහු ඇගේ අත ගෙන ගැටිති දෙස යොමු කළේය.

“ මේ මොනවද අං දෙකක් වගේ?” ඇයට කියැවුනේ ඉබේටමය.

“ අං ? කොහෙද බං මිනිස්සුන්ට අං?”

“ තියෙන හැටියට නම්, අං දෙකක් වාගෙ. මං දැකල තියෙනව අර ජිරාෆ්ලට තියෙන්නෙත් ඔය වාගෙ කොට අං”

“ විකාර කතා කියන්න එපා. අං එන්න මං හරකෙක් ද?”

“ ඒක මං දන්නෙ නැහැ. ඒත්, මෙව්ව නම් හරියට අං වාගෙ තමා. මං කියන්නම්. දොස්තර කෙනෙකුට පෙන්නමු”

“ විකාරද හලෝ? වැරදිලාවත්, අං දෙකක් නම්?” ඔහුගේ සිත එකෙල මෙකල විය. දැන් ඔහු සිතන්නට වූයේ, ඇත්තටම මිනිසුන්ට අං මෝදු වන්නේද කියාය. වෙනදා මෙන් නොව, මඳ වේලාවක් දෙවන බිරියගේ නිවසේ හුන් ඔහු, තේ කෝප්පයක්ද බී, “ මං ගෙදර යනවා” කියමින් අසුනින් නැගිට්ටේය.

“ මොකද මේ?” දෙවන බිරිය මුසුප්පු සිතින් ඇසුවාය.

“ අද හිතටත් හරි නෑ. ඇඟටත් හරි නෑ” ඔහු පැවසුවේ ඕනෑවට එපාවටය.

ඔහු ඇගේ නිවසින් පිටත්වූයේ, ඇගේ නොසතුට හා ඔහුගේ විපිලිසරය මැදය. ඔහු, සිය නිල නිවසට එනතුරාමත් රියැදුරා හා වදනකුදු දෙඩුවේ නැත. නිවසට ආ විගස, රියෙන් බැස කඩිමුඩියේ ගෙතුළට දිව්වේය. රියැදුරා, ගමන් මළු හා සෙසු අඩුම කුඩුම ගෙනැවිත් සාලයේ තැන්පත් කරද්දී විස්මිතව බලා හුන් ඇමති බිරිය දුටුවේය.

“ සර්ට ටිකක් සනීප මදි වගේ” ඔහු, අසීරුවෙන් සිනා පොදක් මුව’ගට නගා ගනිමින් පැවසීය.

ඇමති බිරිය, ප්‍රධාන නිදන කාමරයට පිවිසියාය. ඇය දුටුවේ කැඩපත ඉදිරියේ හිඳිමින් හිස අතගාමින් ඉන්නා ඇමති සැමියාය.

“ මොකද මේ? සිරිල් කිව්ව සනීප නැහැ වගේ කියල” ඇය ඇසුවාය.

“ ඔලුව දෙපැත්ත ටිකක් රිදෙනව. ඒක ඇරිල යාවි” ඔහු කීයේ, ඒ වනවිටත් දෑඟිලි තුඩින් ගැටිති පිරි මදිමිනි.

“කෝ බලන්න. මොකක්ද වුනේ?” ඇය සැමියාගේ ඇඟිලි මෑත්කොට පිරි මදින්නට පටන් ගත්තාය.

“ ගැට දෙකක් වගේ අහුවෙනව. කවද ඉඳන්ද මේ?” 

“ ඊයෙ හවස ඉඳන්. ඕක ඇරිල යාවි” ඔහු යළිත් කීය.

“ තවල බලමු. ඉන්න මං තැවිලි පොට්ටනියක් ලෑස්ති කරන්නම්” කියූ ඇය මුළුතැන්ගෙය දෙසට ගියාය. ඇය, සේවිකාවකට අණ පනවනු ඔහුට ඇසුණේය. “ එපා, ඕන්නෑ” යි පවසන්නැයි හිත කිව්වද, ඔහු කිසිවක් නොදොඩා නිහඬ වූයේ, යටත් පිරිසෙයින් තැවිල්ලෙන්වත් මේ අං තට්ටුව සමනය වී යතැයි යන බලාපොරොත්තුව ඇතුවය. ඔහු, ඇඳුම් උනා දමා, සරමක් හැඳ ගත්තේය.

මඳ වේලාවකට පසු, තවිලි පොට්ටනියක් රැගෙන ආ බිරිය ගැටිති තවන්නට වූවාය. පොට්ටනියෙන් තවන අතර , මඳ උණුසුමක් හා සැනසිල්ලක් ගෙන ආවද, එය නවතා ලූ වනම, පෙර පැවති ඇදුම්කන තත්වයට යළි පත්විය.

“ දැං කොහොමද?” බිරිය ඇසුවේ තැවිල්ල හමාර කරමිනි.

“ ටිකක් අඩුයි වාගෙ” ඔහු බොරුවක් කීය. මේ ඔහු ඇයට බොරුවක් කියූ පළමු වතාව නොවූ බැවින් එහි අරුමයක් තිබුණේ නැත.

“ තව වරුවක් තැව්වාම හරි යාවි” බිරිය එසේ කියමින් කුටියෙන් ඉවතට ගියාය. දොර ළඟදී ආපසු හැරුණු ඇය, “ නානව හෙම නෙමෙයි” කියා පැවසුවේ මෙහෙකාරියනට අණ පනවනා ලෙසින්මය.

පසුවදා ද ඊට පස්සෙන් පහුද ගැටිත්තේ පලහිලව්ව තවතවත් සංකීර්ණ වූවා හැර අන් යමක් සිදුවූයේ නැත. දැන් ගැටිති දෙක අඟලක් තරම් උසට වැඩී තිබුණේ කෙස් රොදින් යාන්තමට වසා ගත හැකිවන පරිද්දෙනි. මේ යන විදිහට නම්, තව සතියක් දෙකක් යන විට එය සැබෑ අං යුවලක් සේ හිස මතින් මෝදු වන බවට කිසිදු සැකයක් නොවීය.

කාර්ය නියමයක් නැති ඇමතිවරයා හිස ගිනි ගත්තකු, නැහැ, හිස දෙපැත්තෙන් අං මෝදු වූ අයකුගේ විලාසයක් පල කළේය. ලේකම්වරු ගෙනැවිත් දෙන කඩදාසි ගොඩවලට කණ අත්සන ගහනවා හැරෙන්නට ඔහු මෙතුවක් කල වෙනත් කෙංගෙඩියක් ඇත්තටම නොවූවද, මෙකියනා සරල කාරණා කටයුතු පවා අතපසු විය. නිතරම, සිහි විකල්ලෙන් මෙන් හිස කැසුවේය; සාකච්ඡා අතර මග තනිවම සිනාසුණේය; සීනි නොදමා තේ බිව්වේය; ඇතැම් විටෙක, සීනි හැඳි දෙකතුනක් දමාගෙන තේ බිව්වේය; කතා කරන අතර ගොත ගැසුවේය; එකිනෙක හා නොබැඳුණු දුරස්තර ඉරියව් පළ කළේය. ඔහුට නිසි පරිදි වෙන් කළ කාරියක් නොතිබුනා නොවන්නට එදිනෙදා කළමණාකරණයේ ලොකු හිඩැසක් නිර්මාණය වීමටද ඉඩකඩ තිබිණ.

පක්ෂ නායකත්වයට මෙකියනා කරුණු කණින් කොණින් ආරංචි වූයෙන්, එක්තරා දිනයක ඔහු පක්ෂ කාර්යාලයට කැඳවනු ලැබීම, බලාපොරොත්තු විය යුත්තක් විය. දැන් මෙයින් ගැලවීමක් නැත. ඔහු කෝකටත් ඔට්ටුයි කියා, ඊට පෙර ගම්බාර දේවාලයට ගොස් තිස්තුන් කෝටියක් දෙවි වරුන්ට බාරයක් ගැට ගැසුවේය. දේවාලයට ගියේද, කලින් වේලාවක් වෙන්කර ගනිමිනි. කපුවාට යහමින් අතමිට මෙලවූයෙන්, අවේලාවේ දෙවොල විවෘත කර තබන්නට සේම දෙවියන් ගෙන්වා ගැනීමටද හැකි විය.

ඇමතිවරයා, බිරිය හා රියැදුරා ද සමග දේවාලයට ආයේ රාත්‍රී නවයට පමණය. ඔවුන් එන තුරු පොරොත්තුවේ හුන් කපුවා වරින්වර හිස කැසීය. ප්‍රධාන පාරෙන් දේවාලය පාරට හැරවූ නිල රියේ විදුලි ලාම්පු එළි කපුවාගේ දෑස් ගිනිකණා කරලීය. සුදු වේට්ටියක් හැඳ, උඩුකය නිරුවත්ව, ජටාවක් බැඳ හුන් කපුවා දිස්වූයේ නාට්‍යයක පොතේගුරා ලෙසුනි. රිය දේවාලය අබියසටම පැමිණ නතරවිය. ඇමතිවරයා රියෙන් බැසගත් අතර බිරිය පූජා වට්ටිය අතකින් ගෙන පසෙකින් පියමං කළාය.

“ මං ඒත් හිතුව මොකද ඔබතුමා පරක්කු කියල” කපුවා ටකරම් හඬකින් කීයේ පැරණි මිතුදම් අළුත් කරලන්නට සැරසෙනා සේය. මේ දෙවොල ඇමතිවරයාට නුපුරුදු තැනක් නොවීය. ඔහු හිසේ කෙස් ගානට මෙහි අවුදින් බාර හාර වී ඇත.

“ දැන් වැදගත් කාරණාවක් තියෙනව කිව්වනෙ? මොකක්ද ඇමතිතුමා වෙලා තියෙන්නෙ?” කපුවා ඇසීය.

“ මෙහෙමයි කපු මහත්තයා, දැන් ටික දොහක ඉඳන් මගෙ හිස කකියනවා ගිනිරාමෙට”ඇමතිවරයා කරුණු පැහදිලි කරන්නට විය.

“ ඔබතුමා වෘශ්චික ලග්නෙ නෙව?’ කපුවා හරස් ප්‍රශ්නයක් ඇසීය.

“ නැහැ නැහැ. කටක ලග්නෙ. වෘශ්චික නෝන නෙව”

“ හරි.මට මතක් උනා. කටක ලග්නෙට මේ දවස්වල හරි අපලයි. අපලකාලෙට රජවරුත් බලු වෙනව. මතකනෙ. විෂ්ණු දෙයියොත් බට කොල කෑවනෙ. එහෙනම්”

ඇමතිවරයා හාත්පස බැළුවේ කපුවාගේ මුව අගුළු ලන්නේ කෙසේදැයි කල්පනා කරමිනි.

“ හොඳා. යමුකො ඇතුළට. දෙහි ගෙඩි ටික ගෙනාවනෙ?”

දේවාලය තුලට ගිය ඇමතිවරයා හා බිරිය පූජා වට්ටිය ඔප්පුකොට, ඇඟිලි බැඳ නමස්කාර කරන්නට වූහ.

කපුවා, මොණර පිලක් වනමින්, පැය බාගයක් තරම, මැනවින් කට පාඩම් කළ යාතිකාවක් කොට, දෙවියන්ට ස්තුතුපූර්වක නමස්කාරයෙන් කටයුතු හමාර කළේය. ඉන්පසු, ඇමතිවරයා දෙවොල්බිමේ වාඩිගන්වා දෙහි ගෙඩි හතක් කපා ආශීර්වාද කළේය.

“ බය වෙන්න දෙයක් නැහැ සර්. සේරම කාරණා කටයුතු ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වේවි.”

ඇමති බිරිය, කපුවා අත නෝට්ටුවක් ගුලි කළාය. ඇමතිවරයා වරින්වර සිනා විය; උගුර පෑදුවේය; කැස්සේය. 

“ලොක්ක මොකාට එයිද හෙට” තමාටම පවසා ගත්තේය.

හෙට දින උදා විය. ඇමති බිරිය කිරිබත් පිළියෙල කොට තිබුණේය. කිරිබත් කටක් දෙකක් කෑ ඇමතිවරයා, සිය හිස පිටිපස කිහිප වරක්ම අතගා, නිලරියට නැඟ, ගමනට පිටත් විය.

පක්ෂ කාර්යාලය තිබුණේ නගරයේ පැරණි වැයික්කියකය. වැසි සමය අවුදින් තිබුණු බැවින්, මේ උදෑසන හාත්පස, ඔතෑනි, මුඩුම පෙනුමක් විය. මඟ දෙපස, අවලස්සණ අපිළිවෙලකට තැනූ මහල් ගොඩනැගිලි, මඩකඩිති, සතියක් තිස්සේ එකතු නොකළ කසල කඳු, විදුලි රැහැන් මත වසා උන් නිමක් නැති කපුටන්- මේ සියල්ල කාලකණ්නි දවසක පැතිකඩ මතු කරලීය.

පක්ෂ කාර්යාලයේ උන් රැකවල්ලු, කාර්ය නියමයක් නැති ඇමතිවරයා පැමිණෙනු දැක, සීරුවෙන් සිටගෙන ආචාර සමාචාර කළහ. එසේ වුවද, එය හුදු යාන්ත්‍රික ක්‍රියාවලියක් පමණක් විය. ඒ යන අතරමග හමුවූ සෙස්සන්, ලිපිගොනු අතින් කටින් ගත් කාර්යාල සහායකයන්, විදුලි සෝපාන ක්‍රියාකරුවන් හා මෑන්පවර් සේවකයන්ද දිස්වූයේ තැන තැන තබා තිබි රූකඩ සේය.

මහල් හත අටක් ඉහළට තරණය කළ ඇමතිවරයා, ප්‍රධානියාගේ කුටිය අබියසට ආයේය. මේ අඩවිය, සෙසුපටු මහල් මෙන් නොව, මැනවින් කළාල අතුරා තිබිණ. හාත්පස ගාම්භීර පෙනුමක් විදහා පෑවා සේම අළුත ඉසිනු ලැබූ වායු නැවුම්කාරක සුවඳක්ද හමා ගියේය.

ඔහු, බරසාර දොරට තට්ටු කළේය.

බාපන දැමූ රැකවලෙක් දොර විවෘත කළේය.

ඔහු ඉන් අතුළු වී විල්ලුද සෝපාවේ අසුන් ගත්තේය. කොයිබින්දෝ ප්‍රාදූර්භූත වූ අහර පිළිගන්වන්නෙක්, තේ බඳුනක් රැගෙන විත්, සීනි හැන්ද මඳක් එසවූයේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි.

“ එකක් ඇති” ඔහු, හෙමිහිට පැවසීය.

ප්‍රධානියා පැමිණියේ තවත් විනාඩි තිහක් පමණ ගත වූවාට පසුවය. ඔහු පිටුපසින් පිරිවර හත් අට දෙනෙක්ද විය. පිරිස කැටුව ආ පක්ෂ ලේකම්වරයා, තමා දෙස උපහාසාත්මක බැල්මක් හෙළුවේයැයි ඇමතිවරයා සිතන්නට විය. ඔහු, හිස බිමට හරවා ගත්තේය. අතවැසියෙක් පැමිණ, “ එන්න සර්” යි පවසන තුරු, ඔහු ඒ ඉරියව්වෙහිම හුන්නේය.

ප්‍රධානියා, නළල රැළි ගන්වා, උපැස් යුවලට යටින් ඇමතිවරයා දෙස බැලීය. පක්ෂ ලේකම් පසෙක හුන්නේ උදාසීන විලාසයක් ආරූඪ කර ගනිමිනි.

“ මොකක්ද අයිසෙ මේ ප්‍රශ්නෙ?” ප්‍රධානියා ඇසුවේ සුබවාදී ස්වරයකින් නොවේ.

“ මෙහෙමයි සර්, මේ ඔළුවෙ පොඩි අමාරුවක්..”

“ තමුන්ට ඔළුවෙ අමාරුවක් තියෙනව නම්, මේ ඇමතිකම් කරන්න බැහැනෙ. හැබෑද මේ අං ආපු කතාවක් කියන්නෙ?”

“ අං දෙකක්ම නෙමෙයි සර්, මේ...” ඔහු ගොත ගසන්නට විය.

“ මම බබෙක් නෙමෙයි මනුස්සයො,තමුසෙ මේ වෙනකොට දොස්තරල කීදෙනෙක් පස්සෙ ගිහින් තියෙනවද? දැන් මේ කතාව හැමතැනම පැතිරුණාම, ආණ්ඩුවට තියෙන අපවාදෙ තමුසෙට තේරෙනවනෙ?”

ඇමතිවරයා කිසිවක් නොකියා ඔහේ බලාගෙන උන්නේය.

“ මං කියන්නම් කරන්න ඕනෙ දේ. තමුන් දිනයක් නොදා ඉල්ලා අස්වීමේ ලියුමක් දෙනව. මං ඒක පාවිච්චි කරන්නේ අවශ්‍ය වුනොත් විතරයි. ඒ අතරේ, අපි තමුන්ව උතුරුකුරු දිවයිනට යවනව. ඒ ප්‍රතිකාර වලට. තුන් මාසයක් නිවාඩු අනුමත කරල දෙන්නම්”

ඇමතිවරයා, කිසිවක් නොකියා ඔහේ බලාන උන්නේය. 

“අනික අමාත්‍යංශයක් බාර දීලත් නැති එකේ ඒ හැටි පාඩුවක් වෙන්නෙත් නැහැනෙ” ප්‍රධානියා තව යමක් කතාවට එකතු කළේය.

ඇමතිවරයා කිසිවක් නොකියා, ඔහේ බලාන උන්නේය. ප්‍රධානියා තමා දෙස එක එල්ලේ බලා සිටින බව දැනගත් පසු, මුව විවර කළේය. “ හොඳමයි සර්, මං හිතන්නේ ඒක තමා හොඳම විදිහ”

“ එහෙනම්, ගෙදර ගිහිං ලෑස්ති වෙන්නකො. මම දෙතුන් දවසකින් පණිවිඩයක් එවන්නම්”

යළිදු රොබෝවකු සේ අසුනින් නැගිටගත් ඔහු, කාර්ය නියමයක් නැති ඇමතිවරයා, ප්‍රධානියාට ආචාර කොට, ලේකම් වරයාටද හිස සලා, පක්ෂපාතිත්වය හඟවා, දොර දෙසට පියමාරු කළේය.

පෙරළා එන අතර, ඔහු රියැදුරා හා වදනකුදු දෙඩුවේ නැත. වා මුවාව දෙස බලාගත්වනම උන්නේය.

“ සර්” රියැදුරා කෙඳිරීය.

ප්‍රතිචාරයක් නැත.

“ සර්” රියැදුරා යළිත් පැවසීය.

“ මොකද?” ඔහු පෙරළා පියවි ලොවට අවුදින් ඇසුවේය.

“ සර්, මමත් ට්‍රාන්සර් එකක් ගන්න. උපයෝගිතා ඇමතිතුමා ඇහැව්ව එහාට එන්න පුළුවන්ද කියල”

මම මේ රැවුළ ගිනි අරං. මුං එනව සුරුට්ටු පත්තු කරන්න. ඔහු සිතුවේය. එක්කො කමක් නා. යන යකා කොරහ බිඳගෙනම ගියාවෙ.

“ ඇප්ලිකේෂන් එක දානවකො. මං යවන්නම්”

රියැදුරා සිනාසුණේ ස්තුතිපූර්වකවද නැතිනම් ඔලොක්කුවටදැයි එකහෙලා තේරුම්ගත නොහැකි විය.

“ මොකද උනේ?” පෙරළා ගෙදරට පැමිණි වහාම, ඇමති බිරිය එළිපත්ත මතදීම ඇසුවාය.

“ මට ඉල්ලා අස්වෙන්න කීව. ආයෙ රට යවනව කීව බෙහෙත් ගන්න”

“ ඉල්ලා අස්වෙන්න? කවුද කීවෙ?” “ ලොක්ක”

“ ඒකත් එහෙමද? අනික් අතට, උඩට නැංගට පස්සෙ ඉණිමග කරේ තියන් යනවය?” ඇමති බිරිය පැවසුවාය.

“ දැන් කවද්ද රට යන්නෙ?” ඇය පෙරළා ඇසුවාය.

“ හෙට අනිද්දම. ඔයත් ලේස්ති වෙන්න” ඔහු හීන් හඬින් පැවසුවේ, හිස පිටිපස දැන් තරමක් මෝදු වූ අං යුවල පිරිමදින අතරවාරයේය.

කිහිප දිනකට පසු, කාර්ය නියමයක් නැති ඇමතිවරයා, සිය බිරිඳද කැටිව, උතුරුකුරු දිවයින බලා පියාසර කළේය. පශූ වෛද්‍යවරු පිරිසක්, ගුවන් තොටුපලට පැමිණ, ඔහු පිළිගෙන රෝහල කරා රැගෙන ගියෝය.

Top