අපි හොඳම යාළුවෝ. බදා ගමු. බදා ගමු (225 වන ලිපිය)

post-title

ඒ මොන බසක් ද?

නයිජීරියානු ලේඛක උවෙම් අක්පාන්ගේ What language is that? නම් කෙටිකතාවේ පරිවර්තනය.

හොඳම මිතුරිය, ඔබේ පුංචි දෑස් හා කෙසඟ මුහුණටද, ගමන් ලතාව හා ඉංගිරිසි බස හැසිරවූ ආකාරයටද කැමති බව කීවාය. ඇගේ නම සෙලාම්. ඇගේ කුරුලෑ, දිගු පා යුවළ හා අත් අකුරුවලට කැමති බව ඔබ කීවාය. ඔබ දෙදෙනාම ‘ සිනාසෙන එළදෙන’ සීනි බෝල වලට කැමැත්තක් දැක්වූවෝය. ඇය, ඒ පවුලේ අන්තිම දරුවා වූ අතර ඔබ, ඔබේ පවුලේ එකම දරුවා විය. ලෝකයේ දිග පළල, ඔබ දෙදෙනාට පමණක් ප්‍රමාණවත් විය. ඔබ දෙදෙනාගේ රහස් භාෂාව වූයේ, අන් දැරියනට ඉරිසියාව ගෙන ආ නිමක් නැති කැකිරි පැලීමකි. සෙලාම් උන්නේ බාහ්මින්‍යාහි දෙමහල් රතු පැහැ ගොඩනැගිල්ලක තට්ටු නිවසකය. ඔබ, උන්නේ වීදිය මෙහා පැත්තේ දුඹුරු පැහැ ගොඩනැගිල්ලකය.

සමහර දිනක, පාසැලෙන් පසු, ඔබ හා සෙලාම්, මේ එක් ගොඩනැගිල්ලක සඳළු තලයට වී, සෙලාම්ගේ සොහොයුරන් දෙදෙනා හා ඔවුන්ගේ මිතුරන් කඳුපොත්තේ වීදි අතර, ගෙදර දොර හැදූ සරුංගල් රැගෙන ඒ මේ අත දුවමින්, මොර දෙමින්, විලුඹින් දූවිලි නංවමින් සෙල්ලම් කරනු බලා උන්නෝය. ළමුන්ට මේ අතර වාරයේ හදි ගැහුණේ සිය හිස් මත පුළුල් ලෝහ බන්දේසි මත සීඩී තැටි අලෙවි කළ වෙළඳුන්, කුඩා අශ්ව කරත්ත හා පිට මත බඩු බරින් හෙම්බත් වූ බූරුවන්‍ ය. මේ හමුවීම්, මාර්ග තදබදය දෙගුණ කළේය. ඔවුන්, මුස්ලිම් දේවස්ථානයක් තිබි යාබද වීදිය මග හැරියේ, එහි කොත මත සරුංගල් පැටලුනහොත් ඉමාම්වරයා බැණ අඬ ගසා සාප කරනා බැවිනි. ඔහු, ඒ වන විටත්, සරුංගල් ඇරීම විදේශීය ක්‍රීඩාවක් බව ළමුන්ගේ දෙමාපියන්ට දන්වා තිබුණා පමණක් නොව, දරුවන් මෙයාකාර අමුතු පුරුදු වලට යොමු කරලීම ගැන ඔවුනට දොස්ද පවරීය. එහෙත්, ඔබේ හොඳම මිතුරියගේ දෙමාපියන් ඔබේ දෙමාපියන්ට පවසා තිබුණේ, නිදහස් ඉතියෝපියාවේ කුඩා දරුවන් හදා වඩා ගත යුතු ආකාරය ගැන ඔහු වද විය යුතු නැතැයි ඔවුන් ඉමාම්වරයාට පවසා තිබි බවය.ඉතින්, බොහොමයක් සවස් කාලයන්හි, ඔබ දෙදෙන, ඈත කෝපි වගාවන් පසුබිමේද ඉන්පසු මනරම් කඳු යාය මතින්ද ඉහළ නැංවෙනා සරුංගල් නරඹා, ඒ පුළුල්, නූස් නිල් පැහැ අහසට නැගෙද්දීඅත්ල ගුලි කොට ඇස් වටා තබා බැළුවෝය.

සමහර දිනවල, එක්ව සිටිනු සඳහා එකිනෙකාගේ නිවෙස් වලට යාමේ අවශ්‍යතාවයක් නොවීය. නැහැ. ඔබ හා ඔබගේ මිතුරිය, එකිනෙකාගේ සඳළුතලවලට වී, තමන්නේ බාලාංශ ගී වීදිය හරහා එකිනෙකාට ඇසෙන සේ ගැයුවේ, විදුලි හා දුර කථන රැහැන් වල වසා ගත් දුඹුරු පහැ කුරුල්ලන්ට ඉහළිනි. විදුලි රැහැන් අතර, සුවිසල් මකුළු දැල් අතර සිරවූ දැවැන්ත සමනලයින් සේ පැටලී උන්නේ මියගිය සරුංගල්‍ ය. ඔබේ මව මේ උච්ච ස්වර ගී ගායනයටවගේ වගක් නොදැක්වූයේ ඔබ දෙදෙනාම කුඩා දරුවන් වූ නිසාය. ඔබේ පියාද එයට අකමැත්තක් නොදැක්වුවත්, ඔහු දිවා කල නිදි සුව විඳින අතර ඔබ කෑගසනවාට ඉඩහසර නොදුන්නේය. මෙවන් නින්දකට පසු ඔහු සිය සුදු පැහැ මෝටර් රියෙන් ඔබ හාත්පස නරඹන්නට කැටුව ගියේය. සෙලාම්ගෙ මවුපියන් එපරිද්දෙන් කැමති නොවුනද ඔවුන්ට ඒ සඳහා කළ හැකිව තිබුණේ කුමක්ද

සමහරක් සෙනසුරාදා දිනවල, ඔබේ මව හා එමායේ සෙලාම් ඔබ දෙදෙනා රැගෙන පල්ලියට ඔබ්බේ වීදි දෙකක් පහළට ගමන් ගත්තේ ඔබේ කෙස්වැටි කැරලි ගන්වනු සඳහාය.ඔබ දෙදෙනා, නිවුන්නන් සේ තෝරා ගත්තේ එකම මෝස්තරයය. සමහර දිනක ඔබ ඇගේ නිවසට ගොස් ඩිස්නි චැනලය නැරඹූ අතර, විටෙක ඇය ඔබේ නිවසට විත් නයි-ඉණිමං සෙල්ලමට සහභාගි වී ඩෝරෝ වොට් හා ස්පැගටි වැළඳුවාය.

සෙලාම්ගේ දෙමාපියන් ගමනේ නිරත වූ නිසා ඇය ඔබේ මව්පියන් සමග කාලය ගත කළ ඉරු දිනවල, පල්ලි ගොසින් ආ විටෙක, ඔබේ පියා ඔබ දෙදෙනා හොටෙලා ෆෙඩරලාවි වෙත රැගෙන ගියේ දිවා ආහාරය සඳහාය.ඒ අතර, ඔබ දෙදෙන, ප්‍රභාමත් හේලි සෙලාසි මාවත දෙපස දැන්වීම් පුවරු සියල්ලම කියෙවූවෝය. සෙලාම් වීදියේ දකුණු පසද ඔබ එහි වම්පසද.පියා හෝටලයේදී තෝරා ගත්තේ , සුවිසල් වියනක් යට සකස් කොට තිබි එළිමහන් මේසයකි. ඔබ දෙදෙන වාඩි ගෙන, මෙනු පත එකිනෙකාට කියවනු පියා බලා උන්නේ ආඩම්බරයෙනි. ඔබ දෙදෙනා ඇණවුම් කළේ පීසාය; පියා, විසල් මැන්බෙරාවි පිඟානක් ඇණවුම් කළේය.

“හැම්බර්ගර් කියන්නේ ඌරු මස්ද” සෙලාම් ඇසුවේ හතු කැබැල්ලක් මුවට ළං කරමිනි.

“ හේ, කවුද එහෙම කීවෙ?” පියා ඇසුවේය.

“හාදියා” ඇය පිළිවදන් දුන්නාය.

“ මං ඔයාට කියල තියෙනව හාදියා එක්ක කතා කරන්න එපා කියල” ඔබ පැවසුවේ, ගෑරුප්පුව බිම දමමිනි.” එයා අපේ යාළුවෙක් නෙමෙයි”

“ මම එයා එක්ක කතා කළේ නැහැ”

“ මම ආයෙ ඔයා එක්ක දොඩන්නෙ නෑ”

“මට කණගාටුයි”

නැගිට ගත් ඔබ, ඔබේ පුටුව ඇගේ අසුනෙන් ඈත් කළාය.

“ හයියෝ, මොකද මේ?” පියා පැවසුවේ ඔබේ අසුන යළිත් වරක් පෙර තිබි තැනට තල්ලු කරමිනි.” නෝනා මහත්තුරු මේ බලන්න, හොඳම යාළුවො කවදාවත් හබ කරන්නෙ නෑ. තේරුණාද?”

“ඔව් තාත්තෙ” ඔබ පැවසුවාය. “ ඒත්, එයා හාදියා එක්ක කතා කළා. එයා මට පොරොන්දු උනා හාදියා එක්කලා ආයෙ කවමදාකවත් කතා කරන්නෙ නෑ කියල” 

“ මං එයා එක්ක කතා කළේ නෑ. එයා මා ගාවට ඇවිත්, මම ක්‍රිස්තියානිකාරයො එක්ක කදේ වැටිල හොටෙලා ෆෙඩරලාවි ගිහින් ඌරු මස් කනව කීව. ඒ කියල එයා දුවල ගියා.මම කියන්නෙ මට හරි කණගාටුයි. හරිද?” ඇගේ නෙතගට කඳුළු බිඳු මෝදු විය.” මමත් මින් පස්සෙ ඔයත් එක්ක කතා කරන්නෙ නෑ” සෙලාම් කීවාය.” ඒ එක්කලා, මින් පස්සෙ ඔයාව බදා ගන්නෙත් නෑ”

“ නෑ නෑ සෙලාම්” ඔබේ පියා දෙදෙනා මැද්දට පැන්නේය. “ එයා විහිළුවක් කරන්නෙ. එයා ඔයා එක්කලා කතා කරාවි. එකට වාඩි වේවි” ඔහු ඔබ දෙසට හැරුණේය.

“රත්තරනෙ, ඔයාගෙ හොඳම යාළුවට නපුරු වෙන්න එපා”

සෙසුපටු මිනිස්සු ඔබ දෙස බලාගෙන උන්නෝය.වියනක් යට කාගේදෝ උපන් දිනයක් සමරමින් උන් ළමයි හිකිහිකි ගෑවෝය. සෙලාම් ඉකි ගසමින් හැඬුවාය. ඔබේ පියා සිය කරපටිය ලිහිල් කොට,ඇගේ කඳුළු ලේන්සුවකින් තෙතමාත්තු කළේය. රිදී පැහැ කරාබුවක් නැහැයේ පැළඳහුන් ඔබේ සත්කාරිකාව, ඔබට ඔච්චම් කළේ මේ සා අපූරු සොහොයුරියන් එකිනෙකා හා හබකර ගත නොයුතු බවත්, දේව මෙහෙයට සහභාගි වී පැමිණි තමන්ගේ පියා මෙලෙස ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් නොකළ යුතු බවත් පවසමිනි.

පියා ඔබට මෙසේ කීවේය.” ඔබ සෙලාම් එක්ක තරහ මරහ අමතක කරන්න ඕන. නැත්නම්, අපි දැන් ගෙදර යනව.”

“ හරි සෙලාම්, මට කණගාටුයි” ඔබ පැවසුවාය. “ මං ඔයත් එක්ක කතා කරනවා. අපි හොඳම යාළුවෝ. බදා ගමු. බදා ගමු”

ඇය හිස සෙලෙව්වාය. “ හරි.හරි. හොඳම යාළුවෝ. බදා ගනිමු”

ඔබ දෙදෙන වැළඳ ගත්තාහ. සත්කාරිකාව, අත්පොළසන් දෙමින් ප්‍රීතිය පළ කොට, ඔබ දෙදෙනාගේ අසුන් එකිනෙක හා ළංකළාය.

“ හොඳයි, මගෙ සෙලාම් පුතේ, අපේ කෑම ආයෙමත් පටන් ගන්න ඉස්සෙල්ලා මට මේ ටික කියන්න ඕන.” ඔබේ පියා කීයේ සමාව අයදින ආකාරයෙනි. “ ඔයාට, ඔයා කැමති ඕනෙම කෑමක් කන්න පුළුවනි. හොඳද?”

“ ඔව්, මගේ තාත්තා මට කීව ඕනෙ නම් ඌරුමස් කන්න කියල”

“ ඇත්තට?” පියා ඇසුවේ සහනයක් ලැබූ කලෙක මෙනි.

“ ඔව්”

“ මොකද අද හැන්දෑවෙ මම ඔයාලගෙ තාත්තට කියන්න උන්නෙ ඔයාට කතා කරන්න කියල, මම එයත් එක්ක සිනිමා බ්‍රාහ්මින්‍යා වලට යනව පාපන්දු තරඟයක් බලන්න”

“ මං මගේ හොඳම යාළුවට කියන්න හැදුවෙ හාදියා කියපු හරිය විතරයි”

“ ඒක තමා මම ඔයාලගෙ තාත්තට කැමති. හරි විවෘත මනුස්සය”

ඔබ, හරි බරි ගැසී අහර බුදින්නට පටන් ගත්තීය. රතු හා සුදු බට වලින් අළුත් දෙළුම් යුෂ උරා බීවෝය. ඔබ දෙදෙනා නිවෙස් බලා ගිය පසු, කරන්නට බලාපොරොත්තු වන සෙල්ලම් හා පසුදා පාසැල් දිනය එළඹෙන තුරු ඇඟිලි ගනින අන්දම ගැන කතා කලෝය.

ඉක්බිත්තෙන්, එක් දිනක්, ඔබ, ඔබේ පවුලේ අය හා හොඳම මිතුරියගේ පවුලේ අය යාබද නගරයේ ජිම්මා සයිකල් තරඟය නරඹන්නට ගිය දිනයේ, ඔබ නින්දෙන් අවදිවූයේ ඔබේ කාමරයේ නොව මවුපියන්ගේ කාමරයේය. තට්ටු නිවාසය පුරා පැතිරුණේ පුළුටු ගඳකි. පිටත වීදි බොහෝ සේ හිස්විය. එදින පාසැල පැවැත්වෙන්නේ නැතැයි පියා පැවසීය.

ඔබේ දෙමාපියන් මුළු දවසම ඔබ තනිකර ගියේ නැත. ඔවුන්ගේ නිදන කාමරයෙහි, සෙලාම්ලාගේ නිවසට මුහුණ ලා තිබි කවුළු නොවීය. ඔවුන් ඔබ හා එක්ව රූපවාහිනී කාටුන් වැඩ සටහන් නැරඹූ අතර, පසුව ඔවුන්ගේ ළමා කාලය හා බොහෝ කලකට ඉහත අඩිස් අබාබා නුවරදී ඔවුන් නැරඹූ යෙලිපොඩ් ගිසේ නම් රූපවාහිනී වැඩ සටහන පිළිබඳවද ඔබට විස්තර කළෝය. පියා, අබබා ටෙස්පායේගේ භූමිකාව රඟපාමින් ඔබට ළමා කතා බොහොමයක්ම කියා දුන්නේය. මව, ටිරූපිට්ගේ චරිතය නිරූපණය කළේ, මේ කතා කියන්නට රුකුල් දෙමින් ඊට ජීවය කවමිනි.

මව ඔබට නාන කාමරයේ බොහෝ වේලාවක් ගත කරන්නට ඉඩදුන් අතර,ඔබේ ඇඳුම් කැඩුම් ඔබේ කාමරයට ගෙනාවාය. පියා, ඔබේ පොත්පත් සියල්ල ඔහුට ඇසෙන සේ මහහඬින් කියවන්නටද, පල්ලියේ ගීතිකා ගයන්නටද ඉඩහසර සැලැස්වීය. ඔවුන් දෙදෙනාම සිය රැකියා සඳහා යන්නට හදිසි වූයේ නැත. නිවසේ මෙහෙකාරිය අවුදින් උන්නේද නැත.

ඔබ, ඈනුමක් පිටකොට, ඇඳෙන් බහින්නට තැත් කළාය.

“ මං යනව මගේ හොඳම මිතුරිය බලන්ට”

“ ඇවිල්ල මිනිත්තුවකට වාඩි වෙන්න” මව එසේ කීයේ ඇය හා පියා වාඩිගෙන උන් ඇඳ මත දෙදෙනා අතර වූ හිඩැසට තට්ටු කරමිනි. ඇය, බිත්තිය දෙස නෙත් යොමා හුන් පියා දෙස බැළුවාය.

ඔහු, සිය උගුරේ රැල් බුරුල් හැර, දොඩන්නට විය.

“ රත්තරනෙ, ඔයා මින් පස්සෙ ඒ ළමය එක්ක සෙල්ලම් කරනවට අපි කැමති නෑ” “ මොන ළමයද?”

“ අර මුස්ලිම් ළමය” මව පැවසුවේ ඇගේ මහත දෙහෙත සිරුර ඔබ වෙතට ළං කරමිනි.

“මගේ හොඳම යාළුව?”

නිහඬතාවය.

ඔබ මව්පියන් දෙස බැළුවාය. ඔවුන් ඇත්තටම බරපතල දෙයක් නොපවසන්නේයැයි ඔබ සිතුවාය. එය, විහිළුවක් යැයි පවසන තුරු බලා උන්නාය.” ලොකු දෙයක් නෙමෙයි” පියා කීවේ උරිස් හකුලමිනි. “ ඊයෙ රෑ කැරලි කෝලාහල තිබ්බ. අපේ පැත්තෙ ගෙවල් ගිනිතියල.”

“සෙලාම්ලගෙ තට්ටු ගෙදර?”

“නැහැ” ඔහු පැවසීය.

“ මට ගිහිං එයා එක්ක කතාකරන්න පුළුවනිද?”

“ අපි කියන්නෙ එපා කියල්” මව කීයේ ඔබේ මුහුණ දෙස එකඑල්ලේ බලමිනි.

“ බැහැ? මට එයා බලන්න ඔන. අනේ කරුණාකරලා”

“ ඔයා හිතන විදිහ අපට වැටහෙනව” පියා කීය. “ අපි ඇත්තටම ඒ ගැන හිතනව. ඔයාට තවම අවුරුදු හයයි. මේ දේවල් තේරුම් ගන්න පොඩි වැඩියි”

“ මේ අහන්න රත්තරනෙ” මව කීවාය. “ ඔයා අපේ එකම දරුව. අපේ එකම දරුව”

 “ ඒත් එයා නැතුව මට ඇත්තටම පාළුයි”

“ ඔයා දන්නවද එයාගෙ අම්ම තාත්තත් එයාට කියල තියෙන වග ඔයා එක්ක කතා කරන්න එපා කියල?

“ ඒ ගොල්ලො එහෙම කළා? එමායෙ සෙලාම්? අබායෙ සෙලාම් එහෙම කීව? මාත් එක්ක සෙල්ලම් කරන්නෙ කවුද?”

“ අපි ඔයා එක්ක සෙල්ලම් කරනව” මව කීවාය.

පියා, ඔබේ පිට පිරිමැද, මව කී දෑ යළි ඉතියෝපියානු භාෂාවෙන් පැවසීය.

“ සෙලාම් එක්ක සෙල්ලම් කරන්නේ කවුද?”

“ හාදියා”ඔහු පිළිතුරු දුන්නේය.

“ හාදියා?”

“ නැත්නම් එයාගෙ අයියලා” ඔහු පැවසීය. “ ඔයා ඒ ගැන වදවෙන්න එපා”

“ ඒත්, මම කැමති නෑ හාදියා එයා එක්ක සෙල්ලම් කරනවට. මං එයාට කැමති නෑ”

ඔබ දුරස්ථ පාලකය බිමට විසිකොට, ඔවුන් ඔබ අල්ලාගන්නට පෙර ඔබේ කාමරයට දිවගියාය. කවුළුවේ පුළුල් තිර මෑත්කොට, සෙලාම්ලාගේ නිවස දෙස බැළුම් හෙළුවාය. ඔවුන් උන් ගොඩනැගිල්ලෙන් කොටසක් ගිනි තබා තිබුණද ඔවුන්ගේ නිවස බේරී තිබිණ. ගින්න නිසා, එය දැන් දිස්වූයේ රතු හා කළු පැහැයෙනි. සමහරක් ගිනිගත් තට්ටු නිවෙස් දැන් පෙනුණේ හිස්, කළු පැහැ නටබුන් සේය. මේවායේ කවුළු හා තිර ගිනිගෙන තිබුණු නිසා, ඇතුළත බිත්ති හා දුම් ගැසුණු ලී බඩුද දැකිය හැකි විය.

එහෙත්, සෙලාම්ලාගේ තට්ටු නිවස නිරුපද්‍රිතව තිබුණේය. එහි කවුළු තිර දමා වසා තිබිණ. ගින්න හේතුවෙන් එය දැන් දිස්වූයේ පාළුවටය. හාත්පස බලන ඔබට අනෙකුත් නිවෙස්වලින් තවමත් දුම්‍රොටු ඉහළ නගින බව දැකිය හැකිවිය. අහස තිබුණේ අපිරිසිදුවය. බූරුවන් හා අශ්වයන් පලා ගොසිනි. වීදිකොණේ හානියට පත් කරත්ත දිස්වූයේ බඳුන් සෝදනයක රැඳුණු, නොසේදූ බඳුන් සේය. විදුලි රැහැන් මත උන් කුරුල්ලන් පවා අතුරුදන්ව ගොසිනි.

ඔබ අපේක්ෂා කළේ සෙලාම් සඳළුතලයට ඒවි කියාය. ඔබට ඇගේ මුහුණ දකින්නට අවශ්‍ය විය. ඔබේ හදවත වේගයෙන් ස්පන්දනය වූයේ ඇය අර කී කවුළුතිර පිටිපසින් ඔබ දකින්නට ආසාවෙන් සිටිනු ඇතිය යන සිතිවිල්ල නිසාය. ඇයට දැන් අළුත් මිතුරියක් තෝරා ගන්නට සිදු වනු ඇත. ඔබ, ඇය හාදියා හා සෙල්ලම් කරනු මනසින් දුටුවාය. කෙස් රැලි කරන්නට යන ගමන නිනව් නැගූ ඔබ ඔවුන්ගේ හිකි හිකි හඬ ඇසුවාය. ඒ දෙදෙනා උනුනුන්ට හොඳම මිතුරියන් සේ අමතනු ඇසූ ඔබ, අත් මිට මෙළැවූවාය. සෙලාම් සඳළුතලයට එනු දකින්නට ඔබට ඇවැසිවිය.

“ අපේ ගෙදරත් කොටහක් ගිනි අරන්” පියා කීවේ ඔබේ පිටිපසින් වාඩි ගෙන, උරිස් අල්ලාගනිමිනි. “ ඔයා කවුළුව ඇරියොත්, දුම ඇතුළට එයි... එළියෙ හරිම අප්‍රසන්නයි”

“ ඔයාගෙ තාත්තගෙ පර්ජෝ කාරෙක කඩල දාල” මව කීයේ ඔබේ ඇඳ මත හිඳගනිමිනි.

“කෝ සෙලාම්?”

“ ඒ ගොල්ලන්ට කරදරයක් නැහැ” ඇය කීවාය. ඒ සමග පියා, ඔබ කවුළුව ළඟින් මුදවාගෙන පෙරළා ඇඳ කරා කැඳවාගෙන ආයේය.

“ ඔයාගෙ තාත්තයි එයාගෙ තාත්තයි අද උදේ දෙන්න ගැන කතාඋනා. ඒ ගොල්ලයි අපියි අතරෙ යමක් තියෙනව”

“ ඔයා එමායේ සෙලාම් එක්ක රණ්ඩු කළාද?”

“ අපොයි නැහැ. එයා හොඳ කෙනෙක්” මව කීවාය.

පියා, කැඩීබිඳීගිය දුරස්ථ පාලකය හා බැටරි එකිනෙක දෑතේ පටලවමින් නිසලව, එහෙත් අපහසුවෙන් උන්නේය. ඔබේ කාමරයේ බිත්තියක් මත ඔබේම ගුරුවරිය වූ එටියේ මුලු, පාසැලේදී ඔබට අඳින්නට උගැන්වූ ලෝක සිතියම එල්ලා තිබුණේය. ඔබේ හොඳම මිතුරිය, ඇගේ මුතුවන් අකුරින් ඊමත සටහන් කළ -අපේ මහාද්වීපය අප්‍රිකාව- යන සඳහන නෙත ගැටී, කඳුළු වළකාලන්නට ඔබට ආයාස දැරිය යුතු විය.

“මව ඔබ වැළඳගත්තාය.

“ තාත්තෙ, ඔයා අබායෙ සෙලාම් එක්කලා රණ්ඩූඋනාද?”

“ අපි නම් නැහැ”

“ඒක පුද්ගලික දෙයක් නෙමෙයි. ඒ අය මුස්ලිම් බව ඔයා දන්නවානෙ?”

“ඔව්”

“ ඇදහිල්ලෙ ප්‍රශ්නෙ” ඔහු කීය. “ඇදහිල්ලෙ ප්‍රශ්නෙ විතරයි”

“ඇදහිල්ල?”

“ ඒක ටිකක් සංකීර්ණයි” මව පැවසුවාය.

“ මේක අමාරු කාලයක්” ඔහු කීයේ ඇය හා එකඟවෙමිනි.

“ ඒ ගොල්ලො නරක මිනිස්සුද?”

“නැහැ. ඇත්තටම නැහැ” ඇය පැවසුවාය.

“”හොඳයි” ඔබ එසේ පැවසුවද මේ ගැන මෙලෝ දෙයක් ඔබට වැටහුණේ නැත.” අපි හෙට ඉස්කෝලෙ යනවද?”

“ හෙට නෙමෙයි..” පියා පිළිතුරු දුන්නේය.

“ඉක්මනට දරුවො, ඉක්මනට” මව කීවාය.

ඒ සන්ධ්‍යාවේ සෙලාම්ලාගේ තට්ටු නිවසේ විදුලි පහන් දැල්විණ. ඔබ හනික කවුළුතිර මෑත්කොට ඒ දෙස බැළුවාය. අගේ කවුළුතිරද විවටකොට තිබුණද එහි කිසිවෙකුත් උන්නේ නැත. කවුළුතිර මෑත්කළ මොහොතේම එහි නොසිටීම ගැන ඔබ තමන්ටම දොස් පවරා ගත්තාය. ඔබ එහි නිහඬව බලාඋන්නේ, කවුරුන් හෝ-සෙවණැල්ලක්වත්-කවුළුව අසල ඇවිදින තුරුය. එහෙත්, කිසිවෙක් නැත.

ඊළඟ දින දෙකේ, මව නිවසින් බැහැරව ගිය විට, පියා ඔබ සමග උන්නේය.පියා ගෙන් පිට ගිය දිනවල මව එලෙසින් ඔබ හා සමග උන්නාය. වීදිය නවතත් මිනිසුන්ගෙන් පිරෙද්දී, කුරුල්ලන් යළිත් වරක් විදුලි රැහැන් මත ලගිද්දී, ඔබේ මෙහෙකාරිය පෙරළා ආයේ නැත.

ඔබ ඔබේ සවස් යාමයේ කෙටි නින්දේදී පවා සෙලාම් පිළිබඳ නපුරු සිහින දුටුවාය.මෙවන් එක් සිහිනයකදී ඇය ඔබ වෙතින් මුහුණ ඉවතට හැරෙව්වාය. ඇය, ඔබේ සුබපැතුම් වලට ප්‍රතිචාර දුනේ නැත. ඇය ඔබ වෙත බැළූ කළ, මුහුණ තරහින් රවා බැළුවෙන්, වල ගැසුණු කම්මුල් පිපිරී ගියේය. සඳළුතලයේදී ඇය හාදියා හා එක්ව , ගුණ කිරීමේ චක්‍ර හඬනගා කියවා, ඇයට මුතුවන් අකුරු ලියනා අන්දම පුහුණු කරවා, සිනාසෙන එළදෙන රසකැවිලි සමෝසමේ ගිල දැම්මාය. හාදියාගේ ඉංග්‍රිසි දැනුම ඔබට වඩා වර්ධනය විය. හ්හදියාගේ මුහුණ වඩා සිහින්ව, ලස්සණ වත්ම, සෙලාම් ඇගේ ගමන්ලතාව අගය කරත්ම, ඔබ විරූපව, ජිම්මාහි වියපත් කෝපිගස් සේ දිරාපත්ව ගියාය. ඔබට කෙතරම් වේදනාවක් දැනුනාද යත්, ඔබ වැලපෙද්දී හාදියා ඔබ වැළඳ ගන්නට ආවාය. ඇය ඔබට කීයේ, මේ සෙලාම්ගේ වරද නොවන බවය. ඔබ, ඔවුන්නේ එකියක නොවන බැවින් ඔබ මග හරින්නැයි ඇගේ දෙමාපියන් පවසා ඇත. ඔබ, වඩ වඩා වැලපුනේ මෙසේ ඔබ වැළඳගත්තේ ඔබේ හොඳම මිතුරිය නොව හාදියා බැවිනි.

සවස් යාමයේ ඔබ ඔබේ කුටියට වී පොත්පත් කියවනා බවක් රඟපෑවේ, සිහින නොතකා වුව, ඔබේ කවුළුතිර අස්සෙන් සෙලාම්ලාගෙ නිවස දෙස බැළුම් හෙලන්නටය. ඇය, සඳළුතලයට නොඑතැයි ඔබ සිතුවද, දිගටම බලාගෙන උන්නේ හාදියා ඇය බලන්නට එතැයි සැකයෙනි.

එහෙත් එක්වරම, සෙලාම් සඳළුතලයට ආවාය. ගිනිගත් තට්ටු නිවෙස් පසුබිමේ ඇය දිස්වූයේ හොල්මනක් මෙනි. සවස හිරු එළිය තුළ ඇගේ මුහුණ සුදුමැලි විය. හම්බෂා පාන් ගෙඩියක බඳු ගැඹුරු රැළි දැකිය හැකි විය. ඔබ ඇය නොදැක හුන් දින කිහිපය තුළ, ඇය වඩා කෙසඟවද,මිටිවද දිස් විය. ඇගේ ෂාමාව, හිසේ සිට දෙපතුල තෙක් සිරුර වසා සිටි වෙළුම් පටි බඳුවූ සුදු පැහැ රෙද්ද, සුළඟේ ඒ මේ අත සැලුණේය. ඔබ සඳළුතලයට පැමිණියහොත්, ඇය පෙරලා දුවයිද? ඔබේ දෙමාපියන්ට අකීකරුව, ඇය හා දෙඩුවහොත්, ඇයද ඇගේ දෙමාපියන්ට අවනත නොවී ඔබට ප්‍රතිචාර දක්වයිද? නැතහොත්, ඇය ඒ ගැන ඇගේ දෙමාපියන්ට පවසා, ඔවුන්, ඔබේ දෙමාපියන් හා හගිස්සන්නට එයිද? බියට පත් ඔබ, සැඟව, සීතල දිනයක හිරු සේ ඔබේ බැල්ම ඇය වෙත හෙළුවාය. සෙලාම් ඔබේ තට්ටු නිවස දෙස බැළුවද, ඔබ සෙළැවුණේ නැත. ඇය සඳළුතලයේ ගරාදිවැට අල්ලා, වීදිය හාත්පස ඒ මේ අත බැළුම් හෙළූවිට ඔබද ඇය අනුවයමින් බැළුවේ ඇය හාදියා අපේක්ෂාවෙන් සිටීද යන්න දැනගන්නටය.

රාත්‍රී ආහාරය ගනිද්දී මව හා පියා ඔබට පැවසුවේ හිත දිරිමත් කරගන්නට කියාය. කෑම අතගගා ඉන්න එපායැයි ඔව්හු ඔබට කීවෝය. මේ දෙදෙනා බොහොම ආවේගශීලී ලෙසින් කතාබහ කළහ. හරියට, ඔබේ සිහිනය තුළ සෙලාම් හා හාදියා දෙඩුවාක් මෙනි. ඒ අතරේ, ඔබට ඇතිපදම් කොකාකෝලාද පිරිනැමූහ.

“ හෙට හවස” මව දොඩන්නට පටන්ගත්තාය. “ අපි අඩිස් වලට යනව. අපේ නෑයො මුණ ගැහෙන්න”

“ අපි ආපහු එන්නෙ කවදද?”

“ අපි තාම ගියෙත් නැහැ” පියා පැවසීය. “ ඔයාට මේ දවස්වල මොකක්ද වෙලා තියෙන්නේ? ඔයා දවසක් රිමෝට් එක කැඩුව. ඔය ගති අතැරල දාන්න.”

“ ඒකට කමක් නෑ ඩාලිං.” මව පවසුවේ පියා සමහන් කරන්නටය. ඉන්පසු, ඇය ඔබ දෙසට හැරුණාය. “ අපි සතියකින් ආපහු එනව. බාහ්මින්‍යා දැන් ටිකක් උණුසුම් වැඩියි”

“ මට යන්න ඕනෙ නෑ”

“ හේ, මොකක්ද ඒ බාසාව?” ඇය පැවසුවේ වේවැල් මේසයට අත්ලෙන් ගසමිනි. “ වෙනත් කෙනෙක් කතා කරනකොට බාධා කරන එක හොඳ සිරිතක් නෙමෙයි”

ඔබ, මුව වසා ගත්තීය. ඔවුන් ඔබ අහර ගන්නා තුරු බලා ඉන්නා බැවින් කඩිනමින් අහර ගත්තාය. ඔබ ලොකු ඉන්ජෙරා මස් කැබැල්ලක් කපාගෙන, ඊ මතින් මස් සෝස් හා එළවලු කැටියක්ද බෙදා ගත්තාය. ඔබ එය රෝල්කොට, පැතලි පුළුන් බඳු රොටිය අගින් මඳක් නවා ගත්තේ එළවලු හා සෝස් පිටතට වැගිරෙනු වළකා ලන්නටය. ඉන්පසු, අනෙක් පසින් එය මුවට ගෙන, ඉක්මනින් හපන්නට වූවාය. ඔබ වතුර හා කොකාකෝලා පානය කොට ඔවුන්ට ස්තුති කළාය. ඔබ, ඔබේ කුටියට පෙරළා ආ අතර, ඔව්හු, රජය මේ සංකීර්ණ සිදුවීම් ප්‍රවෘත්ති විකාශයෙන් මගහැරිය අන්දම හා මෙය වසර දෙකකට පෙර,කලින් වතාවක, මුස්ලිම් අන්තවාදීන් විසින් ජිම්මා පල්ලිවල ක්‍රිස්තියානීන් සමූලඝාතනය කෙරුණු අවස්තාවේදීද මෙලෙසින්ම මග හැරිය බව සිහිපත් කළහ.

ඊළඟ සවස් යාමයේ ඔබ යළිත් සඳළුතලයට ආවාය. සෙලාම්ද ඇගේ සඳළුතලයේ ප්‍රදූර්භූත වූවාය. ඔබ දෙදෙන කතාබහක් නැතිව බලාඋන්නෝය. ඔබ එකිනෙකාගේ බැල්ම, කෝපි වතු, කඳු පොත්ත හා හිරු දෙසට යොමුවූ අන්දම අනුව ගියේය. අහස, වළාකුලින් බරවිය. පහත වීදියේ පොඩිපහේ මුණුමුණුවක් පා විණ. බූරුවෝ දෙදෙනෙක් ඈතින් හඬ ගෑවෝය. කදුකරයෙන් හැමූ පවන් රොද නවමු සේම තිරසර විය. කුරුල්ලන් විදුලි රැහැන් මත වසා උන්නේ- පෙළක් උන් ඔබ දෙසද සෙස්සන් ඈ දෙසද නෙත් දල්වමිනි. ඔවුන් හරියට, පියාසැරි තරඟයකට ලකලැහැස්ති වූවා සේය.

සෙලාම්, අගේ අත සෙමෙන් ඔසවා ඔබ දෙසට වැනුවේ එය හරියට වෙනකකුගේ අත වූ කලෙක මෙනි. ඔබද, එපරිද්දෙන්ම, සෙමෙන් අත් ලෙලවූවාය. ඇය, සෙමෙන් මුව විවරකොට,ඔබට අභිරූපණ රංගයක් පෑවාය. ඔබද එසේම කළේ, -ඔබ කියන දේ මට ඇහෙන්නෙ නෑ- ලෙස අභිරූපණය කරමිනි. ඇය දෑත ලෙලවූවාය. ඔබද දෑත ලෙලවීය. ඇය ඔබ හා හිනැහුනාය. ඇගේ දෙකොපුල වල ගැසුණු තැන් ලස්සනට දිස්විය. ඔබ ඔබේ දසන් විවරකොට හිනැහුනාය. “ බදා ගනිමු. බදා ගනිමු” ඔබ එසේ අභිරූපණය කළාය. ඇගේ මුහුණත ප්‍රශ්නාර්ථයක් මතුවිය. ඔබ, දෑතින් සුළඟ බදාගෙන, කල්පිත මිතුරියට හාදුවක් දුන්නාය. ඇය එකවරම සියොළඟ දෑතින් බදාගෙන තොත්තුවක් සුළගේ පා කළාය.

ඇය, ඔබ දෙස හොරෙන් බලා, අතුරුදන්වන්නැයි සන් කොට පෙරළා ගෙතුලට දිව්වාය. ඔබ කවුළුතිර පිටිපස සැඟවුනීය. එමායේ සෙලාම් මතුවූයේ ඇගේ තරහින් පිරුණු මුහුණ, හිස් පළඳනාවකින් වසා ගනිමිනි. ඇය, ඔබේ තට්ටු නිවස දෙස හා පහත වීදිය දෙස බලා, පෙරළා ගෙතුළට ගියාය.

ඔබ හිනැහුනේ අළුත් බසක් සොයාගත් හෙයිනි. ඔබ, ඔබේ මව හා පියා වෙත ගොස්, අඩිස් බලා පිටත්වන්නේ කවදාදැයි ඇසුවාය.

“ අඩිස් හරිම කදිමයි.” මව පැවසුවාය. “ ඔයාට එහෙදි අළුත් යාළුවො හම්බවෙයි”

“ ඔව් අම්මෙ”

පියා, බීර වීදුරුව තොලගෑම මඳකට නතර කළේය. “ හොඳ කෙල්ල. මං අළුත් රිමෝට් එකක් අරන් දෙන්නම්”

 


කතුවරයා ගැන

නයිජීරියානු ජාතික ජෙසුයිට් පූජකවරයකු වන උවෙම් අක්පාන් හාපුරා කියා ලියූ , 2008 දී ප්‍රකාශයට පත්,කෙටිකතා පහකින් සමන්විත Say you are one of them නම් පොත,People සඟරාව ඒ වසරේ හොඳම පොත සේ තෝරාගත් අතර New York Times සිය Editor’s choice ලෙස තෝරාගත්තේය. එය, Commonwealth Prize, PEN Open Book Prize හා Houstan Wright Legacy Award යනාදී සම්මානද දිනාගත් අතර Oprah Winfrey Book Club හි හැටතුන්වන තේරීම ලෙසද සම්මානයට පත්විය.

එකිනෙකට වෙනස් අප්‍රිකානු රටවල් පහක දරුවන්, තමන් හාත්පස පවතින ආගමික හා වාර්ගික ගැටුම් අතර සිර වන අන්දම අපූරුවට විදහාපාන මේ කෙටිකතා එකතුව අලෙවි වාර්තා තබා ඇති අතර, භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇත.

Top