කොස්ටරිකාවේ රුසියානු යෝධයා

post-title

කොස්ටරිකාවෙහි දී ඔබ විසින් බිය විය යුතු දෑ ඇත්තේ එකම එකකි. එක් ගැහැනියක විසින් ඒ පිළිබඳව මොර දෙනු නිදනු කාමරයේ නිදා හුන් මට ඇසුණේය. ඒ , මගේ නිදන කාමරයට ඔබ්බෙනි.

”කුලේ බ‍්‍රා, කුලේ බ‍්‍රා”

මම ඇඳ රෙදි විසි කොට දොර වෙත ගෑටුවෙමි. මා එය විවර කළ විට හුන්නේ සිය දෑතින් මුව වසා ගත් මගේ අසල්වැසි කාන්තාව, මයේලා ය.

”කුලේබ‍්‍රා” ඇය ගොත ගැසුවාය.

ස්පාඤ්ඤ බසින් සර්පයෙකු හගවන වචන දෙකකි. ඉන් මුල් වදන, සර්පියන් වේ. ඕනෑම සර්පයෙකු, වත්ත පිටියේ හමුවන බඩ ගාන්නෙකු, මුහුදු සර්පයෙකු, ලොකු කුඩා සර්පයෙකු හඳුන්වයි. මෙවදන, සිත බියක් ජනිත නොකරයි. එහෙත්, කුලේබ‍්‍රා ඊට වඩා සපුරා වෙනස් අරුතක් දනවයි.

කුලේබ‍්‍රා (culebra) යනු විෂඝෝර සර්පයෙකි. ලොව පුරා විවිධාකාර කුලේබ‍්‍රාවන් දැකිය හැකි වෙතත්, මේ දුරබැහැර අඩවියේ කුලේබ‍්‍රාවන් ඇත්තේ එකම එකෙකි. ඒ, ෆිර් ඩි ලාන්සේ නමින් හඳුන්වන බියකරු පොළොං විශේෂයකි. වරක්, අයෙක් සිය ගරාජය සුද්ද බුද්ද කරන අතරවාරයේ පෙට්ටියක් එහා මෙහා කරද්දී නිදා හුන් ෆර් ඩි ලාන්සේ සතකු දුටු බවටත්, පැයකට පසු ඔහුගේ බිරියට මිය ගිය සැමියාගේ සිරුර හමු වූ බවටත් දැක්වුණු පුවත්පත් වාර්තාව මා කියවා තිබුණේය.

”කොහේද?” මම මයේලාගෙන් ඇසුවෙමි.

”මිරා (අන්න අතන)”

ඇය මගේ කුඩා නිවසෙන් මඳක් ඔබ්බට පියැස්සේ අඩි දහයකට තරම් එපිට තැනක් වෙත අත දිගු කළාය.

පරාලය අතර රැඳී උන්නේ හිරු එළියෙන් දිලිසෙමින් තිබි රිදී පැහැ දගරයකි. මම ඇසේ නිදිමත අතින් පොඩි කරමින් ළංව බැළුවෙමි. මේ නම් සර්පයෙක්ම තමා. මම මයේලා දෙස නෙත් විදා සිනාසෙන්නට තැත් කළෙමි.

කොස්ටරිකාව, සුන්දරම, දුලබම පන්නයේ ළඳක් වැනිය. එය භෞතික වශයෙන් සුන්දර සේම අපූරු අභ්‍යන්තර ස්ථාවරත්වයක් සහිත රටකි. දෙවියන් වහන්සේ ඇය ස්වභාව ධර්මයේ සුන්දරත්වයෙන් අනූන කර මවා ඇත්තේ සුන්දර වෙරළ තීර හා යමහල් කවයන් දක්වා නිර්මාණය කරමිනි. මධ්‍යම ඇමරිකාවේ සෙසු සොහොයුරියන් මුහුණ පා සිටින දේශපාලනික කුණාටුවලින් උන්වහන්සේ ඇය බේරා ගෙන ඇත. කොස්ටරිකාව, 1890 දී ලතින් ඇමරිකාවේ ප‍්‍රථම නිර්ව්‍යාජ මැතිවරණය පැවැත්වූ අතර, එදා මෙදා තුර ඝර්ම කලාපීය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකුණු රටක් සේ පවතී. ඇය දේශපාලන වශයෙන් මුහුකුරා ගොස් ඇතුවා සේ ම චමත්කාරජනක වන ප‍්‍රවාහයකින් සුසැදුනීය. මෙහි ඉන්නා කිසිවෙක් තවත් මිනිසෙකුට බිය විය යුතු නැත. එහෙත් විෂඝෝර සර්පයන්ට නම් ඇත්තටම බිය විය යුතුය.

පෙදෙස්බද ගම්මුන් මට අනතුරු ඇගවූයේ රෑ පානේ මේ අවට හක්කලම් නොකළ යුතු බවය. ඒ, එබඳු රස්තියාදුවකදී විසකුරු සපුන් හමුවිය හැකි බැවිනි. එහෙත් මේ අත්දැකීම, ගෙයින් පිට අඩියක් නොතබාම ලබන්නට මට දැන් හැකි වී ඇත. ප‍්‍රාදේශීය සත්ත්ව ගහණය ගැන හැදෑරීමක් කිරීම නරක නැතත් සර්පයන්ගේ කුසගිනි යාමය වන රෑපානේ නිවෙසට පැමිණෙන්නට මම මනාප නොවීමි. මම මයේලා දෙස බැලූවෙමි.

”මොකද දැන් කරන්නේ?”

මවෙත බලා හුන් ඇය දෙවුර සෙලැවුවාය.

”පුයෙස් ටියෙන් කේ මටාර්ලා”

මා, මේ සතා මරා දැමිය යුතුය.

”කොහොමද?”

”මන්න පිහියෙන්”

එක්සත් ජනපදයේ උන්නා නම් මම මේ යෝජනාවට අදිමදි කරන්නට තිබුණි. ඇමරිකානු ආර්ථිකය කෙතරම් වර්ධනය වී ඇද්ද කිවහොත් අපට වෘත්තිය මට්ටමේ ”හානිකර සත්ත්ව ඉවත ලන්නන්” සිටී. කළ යුත්තේ දුරකථන ඇමතුමක් ගෙන ගෙවීම් කිරීම පමණකි. ප‍්‍රශ්නය නිමා වේ. අප කෙතරම් නිසොල්මන් මානව සංවර්ධනයක් කරා එළඹ ඇද්ද කිවහොත්, මනුස්සයෙකුට, හාන්සි පුටුවක්, කැතීටරයක් හා අන්තර්ජාල සබඳතාවයක් පමණක් ලබා දීම ප‍්‍රමාණවත්ය. ඉන්පසු පුටුවෙන් නැගිටින්නට ද අවශ්‍යතාවක් නැත. මා ගම රටින් පිට වූයේ ද මේ නිසාම ය.

මගේ ගේ දොරකඩ විෂඝෝර සර්පයෙකි. දැන් මට අවශ්‍ය වන්නේ මැෂටේ නමින් පොදුවේ හඳුන්වන මන්නා පිහියකි.

මැෂටේ පිහි, මධ්‍යම ඇමරිකාවේ ණය කාඞ්පත් වැනිය. එය අතට නොගෙන කිසිවෙකුත් නිවසින් බැහැර නොවෙති. එය මධ්‍යම ඇමරිකාවේ පිරිමි අනන්‍යතාවයේ සංකේතය හෙවත් කෝකටත් තෛලය ය. වනය තුළින් අඩි පාරක් කපා ගන්නට - පොල් ගෙඩියක් බිඳින්නට - විෂඝෝර සර්පයෙක් මරා දමන්නට පිළිතුර මේ දිලිසෙන රිදී පැහැ මුවහත ය.

ගම්මානයේ උන් ස්ත‍්‍රී ලෝලියා ලෙස තමා ම හඳුන්වා ගත් රොනී, සිය නිවෙස ඉදිරිපසින් වූ පාර අද්දර පොල් අතු පුළුස්සමින් උන්නේය.

”මොකටද මැෂටේ පිහියක්” ඔහු මගෙන් ඇසුවේ බාගෙට සිනාසෙමිනි. තමන්නේ මැෂටේ පිහිය සුද්දන්ට දී ඔහුට පුරුද්දක් නැත.

”කුලේබ‍්‍රා” මම පිළිතුරු දුන්නෙමි.

ඔහුගේ දෑස් විස්මයෙන් දිදුලන්නට පටන් ගත්තේය.

පසුගිය දශකය පුරාම කොස්ටරිකාව තුළ සුද්දන්ගේ ආක‍්‍රමණය ඝණ සැරේට පැතිරෙමින් තිබුණේය. ඒ සංචාරකයන් හැටියට නොව පදිංචිකරුවන් හැටියට ය. මේ ගුවානාකස්තේ නම් ඈත එපිට ගම්මානයටත් එම සංගෙදිය දෝරේ ගලා ඇත. සුද්දන්ට සමාජය තුළ ඉහළ තැනක් හිමි වී ඇත්තේ ඔවුන්ගේ මිල මුදල් නිසාමය. සුද්දන් කිහිප දෙනෙක් ලැගුම්හල් හිමියෝද වෙති. මෙහි එන සංචාරකයන් බහුතරය සුද්දන්ය. ඔවුන් බලවත් ය; පොහොසත්ය; උගත්තුය. ඔවුන් ගම්වැසියන් සේ අතපය කිළිටි කර ගන්නේ නැත. ඉදින්, රොනී මේ නිසාම උදම් විය. සුද්දෙක් මැෂටේ පිහියක් අතින් ගෙන ෆිර් ඩි ලාන්සේ පොළෙගකු හා හටන් කරනවා දකින්නට ඔහු කැමති විය.

”හා හා” ඔහු ඔච්චමට මෙන් සිනාසුණේය. ”බලාගෙන, ඔය අසම්මජ්ජාතියො එක්ක පරිස්සමෙන්”

මා රොනී වෙතින් පෙරලා ආයේ ගියාට වඩා සතුටකිනි. මම වන ලැහැබ අද්දර මගේ කුඩා නිවෙස කරා පිය නැගුවෙමි. ඒ අතර මැෂටේ පිහියේ සිසිල්, කළු පැහැ මිට වැරෙන් අල්ලා ගෙන, අදෘශ්‍යමාන සතුරන් පෙති ගැසුවෙමි. තියුණු පිහිතලය හාත්පස වා ගැබ කපා දමමින් සිහින් ස්වරයක් පිට කළේය.

”මගේ මිත‍්‍රයා” නැගෙනහිර යුරෝපීය හඩක්, මට ඉංග‍්‍රීසියෙන් ආචාර කළේය. ”කොහේද මේ යන්නේ?” මම හැරී බැලූවෙමි. ඒ, යූරි විය.

හැම ගම් මණ්ඩියකටම පාහේ, අඩි හය හමාරක් උස රුසියානු යෝධයෙකු සිටී. අපේ ගමේ - එසේ උන්නේ යූරි ය. මා ඔහු ගැන යාන්තමින් දැන උන්නද - වැඩිමනත් තොරතුරු සොයන්නට නොගියෙමි. යූරි ගැන මා දැන උන් කරුණ වූයේ ඔහු මදිරා පානයට, බර උසුලන්නට හා දර්ශනයට ඇළුම් කළ වගය. මා අසා තිබුණේ ඔහු මේ කාර්යයන් තුනම හැම විටම වාගේ එකට කළ බවය.

යූරි, අල්ලාප සල්ලාපයට කළු කුහරයක් බව ද මා අසා තිබුණේය. ඔබ එහි ගිලී ගියොත් - පෙරලා ඒමක් නැත. සමහරෙක් ඕපාදූප කීයේ ඔහු, දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව කටයුතු කළ කේ ජී බී වධකයෙකු බවය. එහෙත්, පෙරස්ත්‍රොයිකාව විසින් සෝවියට් දේශය කොටා බා ගත් පසු, යූරිට රැකියාව අහිමි විය. ඔහු කොස්ටරිකාවට සේන්දු වී සිය හෝටලය පටන් ගත්තේය.

යූරි, සිය හෝටලය ඉදි කළේ තනිවමය. ඔහු කිසිම කොන්ත‍්‍රාත්කරුවෙකු, විදුලි කාර්මිකයෙකු, ජල නල එලන්නෙකු සේවයේ යෙදව්වේවත් කිසිම යන්ත‍්‍රයක් කුලියට ගත්තේවත් නැත. සේවකයන් පංගාර්තු කර ගත්තේ ද නැත. හැම දෙයක්ම කළේ යූරිගේ අතෙනි. ඒ තනිවම ය.

යූරි හෝටලය කොන්ක‍්‍රීට් පෙට්ටියක් විය. එහි මහල් දෙකක් තිබුණා යැයි අනුමාන කළත් දෙවැනි මහලට යා ගත හැකි හිණි පෙළක් හෝ වෙනයම් සුකුරුත්තමක් දුටු කෙනෙකුන්ද නැත. මේ ගෘහනිර්මාණ ශිල්පය හැඳින්විය හැක්කේ ”රළු පරළු” යන වදන සමගිනි. එය මට සිහි ගැන්වූයේ හයවෙනි පන්තියේ විද්‍යාව පොතෙන් මා කියවා තිබි මුල්ම ආදි මානවයන්ගේ වැහි ආවරණය ය.

යූරි හෝටලයේ, අමුත්තකු ඉන්නවා මා කෙදිනකවත් දැක නැත. උන්නේ යූරි පමණි. ඔහු, නිතරම උන්නේ පුටුවක වාඩි වී, තවෙකක් මත දෙපා රඳවා ගෙනය. ඒ අතර හැමවිටකම වයින් බඳුනක් අතේ ද රඳවා ගනිමිනි.

”එන්න, එන්න. වාඩි වෙමු.” යූරි මට සන් කළේය.

මීට පෙරද මෙබඳු ආචාරශීලී ආරාධනා මට ලැබී තිබුණද මම ඒ හැම පිළිකෙව් කළෙමි. එහෙත්, අද වෙනස් දවසකි. මගේ අත තිබි භාරදූර කාරිය මඳක් පමා කළාට කම් නැත.

”වාඩිවෙන්න” ඔහු හිස් අසුනක් පෙන්වීය. ”වයින්?”

යූරි, කොයිබකදෝ අතපත ගා හොඳම වර්ගයේ මිදි වලින් පෙරූ, කදිම කාඞ්බෝඞ් මංජුසාවක ඇසුරුම් කර තිබි සුවිශේෂ වයින් බෝතලයක් අතට ගත්තේය. තමන් අත තිබි බඳුන සේම වූ ප්ලාස්ටික් බඳුනක් මධු විතෙන් පුරවා මා අතට දුන්නේය.

”මට කියන්න” ඔහු මගේ ඇස් දෙස එක එල්ලේ බැලීය. ”මේ ජීවිතය කියලා කියන අබිරහස කොයි වගේ දෙයක් ද?”

මම හාත්පස බැළුවෙමි. යූරි හිඳගෙන උන්නේ ඔහු බර උසුලන්නට භාවිතා කරන බංකුව මතය. මගේ උකුල උඩ තිබුණේ දැලි පිහියක් සේ මුවහත් රොනීගේ මැෂටේ පිහිය ය. මා සැදී පැහැදී උන්නේ සර්පයෙකු මරන්නටය. ඒ අතරේම කොස්ටාරිකාවේ වනගහනය මැද රුසියන් යෝධයෙකු සමග ප්ලාස්ටික් බඳුනකින් වයින් පානය කරන්නෙමි.

ජීවිතය යැයි හඳුන්වන මේ අබිරහස ප‍්‍රමෝදජනකය.

”ජීවිතය හරි අගෙයි”

යූරි බලාපොරොත්තු වන්නට ඇත්තේ මීට වඩා බරසාර, පැණි බේරෙන පිළිතුරක් විය යුතුය. මම යළිත් වයින් බඳුන තොල ගාන්නට පටන් ගත්තෙමි. මා ඇස් පිල්ලන් ගැසූ පසු යූරි දාර්ශනික දේශනාවක් පටන් ගත්තේය.

”මිනිසා බලය පසුපස දුවන්නේ හරියට බල්ලෙක් තමන්ගේ වලිගය අල්ලන්න දුවනව වගේ. කවදාවත් තෘප්තිමත් වෙන්නෙවත් නැහැ. බලය සමානයි මිරිගුවට. ජීවිතය කියන්නේ බලය නොවෙයි.” මෙවදන් බර උසුලන්නෙකුගෙන් අසන්නට මා බලාපොරොත්තු වූයේ නැත. ”හැබෑම ඇත්ත ඒක නෙමෙයි. හැබෑම ඇත්ත - ආදරය - ඔව්, ආදරය”

ඔහු මඳක් විරාම ගත්තේය.

කොස්ටාරිකාව, සත්‍යය අවබෝධ කළ මේ රුසියානු යෝධයාට කදිම නිවහනක් විය. 1948 අවිනිශ්චිත ප‍්‍රතිඵලයක් සහිත ජනාධිපතිවරණයෙන් පසු, රටේ සිවිල් යුද්ධයක් හටගත් අතර එය සති හයකින් අවසන් විය. කොස්ටාරිකාවේ මිනිසුන්ට යුද්ධය අරහං වූ අතර ඔවුන් කළේ හමුදාව සදහටම තුරන් කිරීමය. අදත් කොස්ටාරිකාවට හමුදාවක් නැත. එහි වැසියන් මිලටරිකරණය අදත් පිළිකෙව් කරන අතර, තමන් සොල්දාදුවන්ට වඩා ගුරුවරුන් තනා ඇති බව උදම් අනමින් පවසති. 1980 දී මධ්‍යම ඇමරිකාවේ රටවල් පුරා සිවිල් යුද්ධ වැලක් ඇති වූ විට, එයට මැදිහත් වනු වෙනුවට කොස්ටාරිකාවේ එවකට ජනාධිපති ඔස්කා අරිගාස් සැන්චෙස් කළේ මධ්‍යම ඇමරිකාවටම බලපාන සේ පූළුල් සාම වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමය.

එමගින් නිකරගුවා හා එල් සැල්වදෝර් හි සිවිල් යුද්ධ නිමා කොට සාමය උදා කරන ලද අතර, කොස්ටාරිකාවට ප‍්‍රථම නොබෙල් සාම ත්‍යාගලාභියා ද කැටුව ආයේය.

”ඔව්, ඒක තමා ඇත්ත” යූරි දිගටම කියවාගෙන ගියේය.

”මම කිසිම මිනිහෙක් - කිසිම ආණ්ඩුවක් පස්සේ යන්නේ නැහැ. මම පස්සෙ යන්නෙ ආදරයට විතරයි” ඔහු කීය.

අප හිරු එළිය තපිමින් මෙසේ කල් ගත කරද්දී කළ යුතු කුදු මහත් දෑ නොවීය. සර්පයාද ඇතුළුව සෙසු පටු ලෝකයට මඳක් ඉසුඹු ගත හැකිය. ලෝකයේ බොහෝ ඉසව්වලට කාලය යනු අලස ලෙසින් ගලා යන ගගක් වැනිය. ඉතාලියානුවන් නම් කියන්නේ අලස සුවය හරිම සුන්දරයි කියාය. මේ කියමන ටක්කෙටම හරි යන්නේ කොස්ටාරිකාවෙහි ය. මෙහි කාලය නිමක් නැත; ගුප්ත ය. කලින් යොදා ගත් කාලසටහන් ඔහේ දිය වී යයි. එකවර වැඩ කිහිපයක නිමග්න වීම දස්කමක් නොව අසනීපයකි.

ඇමරිකානුවන් මීට හාත්පසින්ම වෙනස් ය. ඔවුන්ට අනුව කාලය, යළි අත්පත් කර ගත නොහැකි වටිනා වස්තුවකි. ඔවුන් කාලය දකින්නේ නිෂ්පාදන ඒකකයක් ලෙසිනි. කාලය යනු මුදල් ය. එය, ආයෝජනය පරිභෝජනය හෝ නිකම්ම වැය කළ හැකි මුදල් ඒකකයකි. කාලයේ ඔරලෝසු කටු නිබඳ ටික් ටික් නද දෙමින් අප පසුපස හඹා එයි. හරියට මරණය මෙනි.

යූරි සමග ගත කළ පැය බාගයක දාර්ශනික අඩ හෝරාව මසිත මරණය පිළිබඳ සිතුවිල්ල හා ඒකාත්මික කළේය. ”වයින් වලට ස්තුතියි” මම කීයෙමි. ”මං යන්න ඕන, කරන්න පොඩි වැඩක් තියෙනව.”

”කොහෙද? කාත් එක්ක ද?” යූරි පිළිවිසියේ, කාට හෝ කළ යුතු යමක් ඇතැයි දැනගැනීමේ ආශ්වාදයෙන් පිබිදෙමිනි.

”මගේ ගේ දොරකඩ සර්පයෙක් එක්ක. මං යන්නෙ ඌව මරන්න” මම මැෂටේ පිහිය ලෙලවීමි. යූරි බයෙන් බිරාන්ත විය.

”එපා...”

”මොකක්?”

”සර්පයො මරන්න එපා. උං හරිම හුරුබුහුටි සත්තු.”

”මට ඌව එහෙම අත අරින්න බෑ. ඌ ෆර් ඩි ලාන්සේ පොළගෙක්.”

”නැහැ නැහැ නැහැ” යූරි දැන් සිටගත්තේ සිට රන්වන් කෙහෙවලිය ලෙලවමිනි. ඔහු දිස් වූයේ කේසර විදහන සිංහ රාජයෙකු සේය.

”සර්පයෝ හරිම හොඳ සත්තු. හරිම මිත‍්‍රශීලී. මරල දාන්න නරක සත්තුන්ව.”

”නරක සත්තු?”

”වැඩකට නැති මීයෝ. කමකට නැති ලේන්නු. වසංගත කුරුල්ලෝ”

”යූරි, ඌ ඔහෙගේ දොරකඩට ආවා නම් මොකද කරන්නේ?” මම ඇසුවෙමි.

ඔහු කල්පනාවේ නිමග්න විය. මා මොහොතකට සිතුවේ ඔහුගේ ආකල්පය වෙනස් වී ඇතැයි කියාය.

”සර්පයා විෂ සතෙක් නෙමෙයි” ඔහු කීයේ දැනමුත්තෙකු සේය.

”සර්පයා විෂයි”

”නැහැ... එහෙම පෙනුනට ඌ විෂ නැහැ.”

”ඔයැයි තාම ඌ දුටුවෙවත් නැහැ.”

මෙයට ප‍්‍රතිචාර දක්වන්නට සැරසුණු යූරි, මඳක් පසු බෑවේය. ඔහු ඇහිබැම රැළි ගන්වා, සියලූ ප‍්‍රශ්ණ සිත තුළ කිරා මැන බලන සෙයක් පළ කළේය.

”කොහොම උනත් ඌ විෂ සතෙක් නෙවෙයි.” ඔහු තම මතය පළ කළේය.

මේ යෝධයා සමග විවාද කර කර තැක්ගැහීමේ තේරුමක් නැත. මම හිස සොලවා, පිටත්ව යන්නට සැරසුණෙමි. යූරි මගේ අත අල්ලා ගත්තේය.

”පොඞ්ඩක් ඉන්න. මං ගාව සැලසුමක් තියෙනවා.”

යූරිගෙ සැලසුමේ පලමු අදියර ආරම්භ විය. ඔහු දැවැන්ත වාත්තු අත්මේස් යුවලක් එලියට ගෙන එකිනෙක අත්ලෙහි ලා ගත්තේය. යූරි හා වාත්තු ග්ලවුස් සහ සම්බන්ධ සැලසුමක් වී නම් පරික්‍ෂාකාරී විය යුතුම ය.

දෙවන පියවර කි‍්‍රයාත්මක විය. යූරි සිය කලිසම් සාක්කුවක තිබි ලැමිනේට් කළ පති‍්‍රකාවක් එළියට ගත්තේය. එහි උඩින්ම කළු අකුරින් සඳහන් වූයේ ”කොස්ටාරිකාවේ සර්පයින්” යනුවෙනි. රටේ කුදුමහත් හැම සර්පියන්ටේලා හා කුලේබ‍්‍රාලාගේ කුඩා සේයා රූ ද එහි විය. පත‍්‍රිකාව ඉහළට එසවූ යූරි, දගර ගැසුණු සර්පයා දෙස බලා යළිදු පති‍්‍රකාව දෙස බැලීය.

”පේනවා නේද? එයා ෆර් ඬේ ලාන්සේ නෙමෙයි. එයා බළල් ඇස් රැංග්ලර්. විෂ නැහැ.”

මම පති‍්‍රකාවේ දැක්වුණු බළල් ඇස් රැන්ග්ලර් වෙත ද, අපේ හිසට ඉහළින් හුන් සර්පයා දෙස ද බැළුවෙමි. දෙදෙනා කෝපි කෝප්පයක් හා න්‍යෂ්ටික බෝම්බයක් මෙන් සමාන වූහ.

”මෙයා බළල් ඇස් රැන්ග්ලර් කෙනෙක් නෙවෙයි.”

”බළල් ඇස් රැන්ග්ලර්” යූරි ප‍්‍රසන්න ලෙසින් මිමිණුවේය. තෙවන අදියර පටන් ගත්තේය.

”සර්පය අහිංසකයි කියල මම පෙන්වන්නම්.”

සර්පයා උන්නේ නිදාගෙනය. නැතහොත් නිදන විලාසයක් පෙන්වමිනි. හරියට චිත‍්‍රපටයක් අවසාන වන හරියේ දුෂ්ටයා සේය. ඌ සියවතාවක් පමණ දගර ගසා උන් නිසා දිග පළල අනුමාන කළ නොහැකි විය. අඩි දෙකේ සිට දොළහ දක්වා විය යුතු ය. ඌට යූරිගේ කටහ‍ඩේ කම්පනය දැනුනාට සැක නැත. එහෙත් ඌ නිසොල්මනේ උන්නේ අබිරහස් විලාසයකිනි.

යූරි උඩ පැන සර්පයාට අතින් ගැසුවේය.

මේ සැලසුමේ කිසියම් උපාය මාර්ගයක් පිළිබඳ ඉගියක් තිබුණද එය යථාරූපී සිතුවිල්ලකැයි මසිත මතයක් විය. යූරි ට වුව මේ සා විනාශකාරී සැලසුමක් කළ නොහැකි යැයි මට හැගුණි. එහෙත් එහි විශ්මය අඩංගුව තිබුණි. මක් නිසා ද යත් ප‍්‍රහාරය එතැයි සර්පයා පවා නොදැන උන් නිසා ය.

යූරි ට එක්වරම ෂික් යැයි කියැවුණු නිසා මා වටහා ගත්තේ පහර දීම අත්වැරැද්දක් බවය. එක්වරම හිස ඔසවා හිස් හඩක් නැංවූ සර්පයා එක්වරම කෙළින් වී පියස්ස අස්සට රිංගන්නට තැත් කළේය. ඒ මේ අරුම පුදුම සතා - රුසියානු යෝධයා - ගෙන් බේරී ගන්නට ය. එහෙත් යූරි පහර දීම නතර කළේ නැත. ඔහු වරින් වර උඩ පැන්නේ, අරකී යෝධ වාත්තු අත්වැසුම් යුවලෙන් සර්පයා අල්ලා ගන්නට තැත් කරමිනි. පිටිපසට පැන්න මම කෝකටත් කියා මැෂටේ මන්නය අතට ගත්තේ සූදානම් ශරීරෙටය.

”යූරි, පරෙස්සමෙන්”

යූරි, සර්පයාගේ වලිගයෙන් අල්ලා ගත්තෙන්, ඌ හිස හරවමින් කෝපාවිශ්ට විය. මේ වූ කලි ස්වභාවික වරණයේ කදිම නිදර්ශනයකි.

”වරෙන්, වරෙන්” යූරි සර්පයාට කොඳුරන්නට විය.

මිනිසා හා තිරිසනා අතර මේ කඹ ඇදිල්ල නතර වූයේ, යූරි, සතාගේ වලිගය වැරෙන් ගසා දැම්මා හා සමගය. කුලේබ‍්‍රා පහළට ඇදී ආයේය. දැන් යූරි වල්ගයෙන් අල්ලා ගෙන උන්නේ අවකාශය තුළ දගර ගැසෙන්නට තැත් කරනා, කෝපයට පත් විසකුරු සර්පයෙකි. ඌ සිය සිරුර පුම්බමින් දගර ගැසෙන්නට උත්සාහ කළේ පිඹිමිනි; මුව අයමිනි; කෝපයෙන් දැවෙමිනි.

”අපූරු සතා” යූරි කීයේය.

අපූරු සතා සිය හිස ඔසවා, විෂ දල යුවළ විදහා පා, එය විදුලි වේගයෙන් යූරි දෙසට යැවීය. නැෂනල් ජ්‍යෝග‍්‍රපික් සගරාවේ රූ ගත කිරීමක් වැරදුනා හා සමානය. එය වූ කලී, නයා, අහිකුණ්ඨිකයා දෂ්ට කලාක් වැනි ය. වනචාරී ස්වභාවධර්මයට එරෙහි වූ මෝඩ මනුස්සයෙකි.

ස්ටාලින්ගේ කාර්මිකකරණ ආහ්ලාදයේ නිර්මාණයක් වූ, සෙබස්තපෝල් හෝ කිව් නගරයේ සෝවියට් කම්හලක සැදූ අර කී කාර්මික අත්වැසුම් යුවළ, ඝර්ම කලාපීය සර්පයෙකුගේ දළ පහරට කදිමට ඔරොත්තු දුන්නේය. මේ අත්වැසුම් යූරිගේ දිවි බේරා දුන්නේය. සර්පයා සිය විෂ දලින් ඊට පහර දුන් අතර, දළ දෙකම අත්වැසුම් තුළට කිඳා බැස්සේය. විෂ දල යුවල ගලවා ගන්නට සර්පයා හිස ඒ මේ අත සෙලෙව්වද එය ගැලවුණේ නැත.

”හලෝ. අපූරු සතා” යූරි මුකුලිත විය.

තවත් ප‍්‍රයෝජනයට ගත නොහැකි දළ යුවල සහිත අපූරු සතා සිය කොරපොතු සිරුර යූරිගේ අත වටා ඔතන්නට පටන් ගත්තේය.

”හෝ - හරි ශක්තිමත්” යූරි සිනාසුනේය.

ශක්තිමත් සතා යූරිගේ අතර මුළුමනින් ම වෙලා ගත්තේය. ඌ අඩි හයක් තරම් දිගු විය.

”යූරි, මේ සතා විසකුරුයි. උගේ ඔළුවෙන් අල්ලා ගන්න. අපි මේකව අරන් රන්චො දියබ්ලෝ වලට යමු. එහේ කට්ටිය කියයි කරන්න ඕන දේ.”

මගේ වදන් - ඔවදන්, යූරි පියවි ලොවට ගෙන ආයේය. රැන්චෝව යාර 500 ක් ඔබ්බේ, ගොඩනංවමින් තිබි රළ තරණ කඳවුරක් විය. එහි හැම විටම පාගේ ගම්මු හත් අට දෙනෙක් උන්නෝය. මේ සාවියේ හැදී වැඞී උන් මේ මිනිස්සු - ගුවානාකස්තේ පිළිබඳ හැම තොරතුරක්ම - වඩදිය, බාදිය හා හඳ එළිය, කුණාටු හා බියකරු සතුන් ගැන හොඳ හැටි දැන හුන්නෝය. රැන්චෝ දියාබ්ලෝ හි ගැමියන්, ශ්‍රේෂ්ඨාධිකරණය බඳුය. ඔවුන්ගේ තීරණයන්හි අඩුවක් පාඩුවක් නැත.

ඉදින් අපි ගුරු පාර දිගේ යකාගේ කඳවුර බලා නික්මුණෙමු. වාත්තු අත්වැසුම් ලූ යෝධයාගේ වම් අත විශාල සර්පයෙකු විසින් වෙලා ගත් අතර දකුණතෙහි කොස්ටරිකාවේ සර්පයන් පත‍්‍රිකාව විය. ඔහුගේ බැල්ම එක් අතක සිට අනෙකට විහිදුනේ - බොහොම තීරණාත්මක විනිශ්චයක් කරා සේන්දු වන්නටය. ඔහුගේ මස්පිඩු පිරීගත් නිරුවත් උඩුකය, පමා වූ උදෑසන හිරු එළියෙන් දිලිසුනේය. පය රැඳි සෙරෙප්පු යුවළ දූවිලි රොද ඇවිස්සීය. කොහොම උනත් හැම දෙයක්ම හැබෑවටම ස්වාභාවික විලාසයක් දැරීය. මේ ගුආනාකස්තේ හි සාමාන්‍ය දිවි පෙවෙත ය. මෙහි කාල සටහන් නැත. හිත සසල කරවනා දෑ නැත. කිසියම් අහඹු සිදුවීමක් වුව, අමුත්තක් ජනිත නොකරයි. එන එන හැටියට ගහ උළුවස්සා ය. සුළි කුණාටුවක් වුවත් යෝධයෙකුගේ අතේ එතුණු පොළගකු වුවත් එසේමය. මම, යූරි හා සර්පයාට මඳක් පිටිපසින් ගමන් ගත්තෙමි.

රැන්චෝ දියාබ්ලෝ හි සේවක පිරිස උන්නේ වැඩපල අතර මඳක් ඉසුඹු ගනිමිනි. ඔව්හු අඩක් නිමකළ නිවෙසක් වටා තණ බිස්සේ අඩ කවයක වාඩිගෙන උන්නෝය. සමහරෙක් පළතුරු සපමින් උන් අතර හැම කෙනෙකුම සතුව උඩු රැවුලක් හා මැෂටේ මන්නයක් විය. මේ වූ කලී ගැමි මධ්‍යම අමෙරිකානුවෙකුට අත්‍යවශ්‍යම අංගෝපාංග දෙකකි. සමහරෙක් අමෙරිකානු බේස් බෝල් තොප්පි පැළඳ හුන්නෝය. යූරි ඔවුනතරට ආ විගස ඔවුහු ඔහු දෙස නෙත් දැල්වූහ.

කිසිවක් කියන්නට ඇවැසි නොවීය. වහා නැගිට ගත් පිරිස පසුපසට දිව්වේ යූරිගේ අත වෙලා හුන් සර්පයා දෙස ඇගිලි දිගු කරමිනි.

”කුලේබ‍්‍රා, කුලේබ‍්‍රා”

”මූ විස සර්පයෙක් නෙවෙයි” යූරි කරුණු පැහැදිලි කරන්නට පටන් ගත්තේය.

”නෑ නෑ විසයි”

”නැහැ”

”නැත්තේ මොකද, මූ කුලේබ‍්‍රා”

යූරි මෙවර හිස සෙලවූයේ ඒ හැටි විශ්වාසයකින් නොවේ.

”මේ බළල් ඇස් රැංග්ලර්, නැද්ද?” ඔහු කෙඳිරුවේය.

ඔහු මීට සාක්‍ෂි ලෙස කොස්ටරිකාවේ සර්පයන් පති‍්‍රකාව ලෙලවීය. එහෙත් කිසිවෙකුත් පති‍්‍රකාව දෙස බැළුවේවත් නැත. පණපිටින් සතෙක් සිටියදී පති‍්‍රකා කුමට ද?

යූරිගේ බැල්මේ කිසියම් අවිනිශ්චිත විලාසයක් මතු විය. ඔහු, තමන්ගේ අතේ වෙලී හුන් මේ සර්පයා දෙස ඇසිපිය නොහෙළා බලා සිටිනා මේ මිනිස්සු රෑන දෙස බැලීය. ඔහු දැන් දැන් පසක් කළේ තමා ෆිර් දේ ලාන්සේ පොළගකු අතේ රඳවා ගෙන ඉන්නා බවය.

ඔහු අපහසුවෙන් මෙන් සිනාසුණේය. උදව්වක් ලැබේ දැයි විමසමින් මෙන් හාත්පස බැලීය. කිසිම උදව්වක් නැත.

එහෙත් යූරිගේ ආකල්පය මට පැහැදිලි විය. කොස්ටරිකානුවන් මොර දුන්නේ සතා මරා දමන ලෙසය. එහෙත් තමා කෙතරම් අපහසුතාවයකට පත්ව උන්නද සර්පයා මරා දමන්නට යූරි එකග නොවීය. ඔහු හිස සෙලවීය.

”සර්පයා හරි ලස්සන සතෙක්” ඔහු යළිත් කීය.

”මං ඌට ජීවිත දානය දෙනව”

යූරි, මිනිස් ගුණධර්ම වලට ඇළුම් කළේය. ඔහු, විසකුරු සර්පයන්ගේ පවා ජීවිතයට ආදරය කළේය. මේ අපූරු සතා මරා දමන්නට ඔහුට හිතක් නොවීය. මිනිස් වාසයකට ඒම හැර ඌ කළ වෙනත් වරදක් නැත. මිනිස්සු පිරිසක් දැන් මේ සතාගේ මරණය අයදිති. හෝරාවකට පෙර දුෂ්ටයෙකු වූ මේ සතා දැන් වින්දිතයෙකු බවට පත්ව ඇත. එහෙත් ඌ වෙනුවෙන් දැන් පෙනී සිටින්නේ, ඌ නිසාම දිවි අනතුර මුවවිට ඉන්නා යූරි ම ය. මිනිස්සුන්ගේ කරච්චලය නවතා ලනු පිණිස ඔහු සිය වමත එසවීය.

”සර්පයට නිදහසයි ඕන. මරණය නෙමෙයි.”

ඔහු ගුරු පාර හරහා ගොස් බැද්ද කෙළවරට ආයේය. දණින් වැටීගත් ඔහු සර්පයාගේ හිස පසුපසින් තදින් අල්ලා ගෙන, දළ යුවල අත්වැස්මෙන් මුදා ගත්තේය. ගම්මුන් මේ අපූරු සංගෙදිය බලා උන්නේ විස්මයෙන් අයාගත් මුවිනි. මුවින් නොබැන ගල් ගැසී ඉන්නා මේ ස්වදේශිකයන් දෙස බැළු මම, ඔවුන් අදින් කාලාන්තරයකට පසු කිසියම් අඳුරු තැබෑරුමක මත්පැන් පානය කරමින් ”එක් උදෑසනක කුලේබ‍්‍රා සර්පයා නිදහස් කළ යෝධ සුද්දා” ගැන දොඩනු ඇතැයි චිත්ත රූප මැවුවෙමි.

තවමත් දණ ගසා හුන් යූරි, සර්පයාගේ සිරුර කෙලින් කොට මුලින් හිස ද, මොහොතකට පසු සෙසු සිරුර ද බැද්දට විසි කළේය.

ඌ ගස්මුල් හා කැට කැබලිති ඔස්සේ වනය තුළට ඇදී ගියේය. හිරු එළිය තුරු වියන යටින් පෙරී ආයේය. දහසක් අදෘශ්‍යමාන කුරුල්ලෝ කිචි බිචි ගෑහ. හමා ආ පවන් රොදක් ගස්වැල් ඒ මේ අත සෙලැවීය. නෑඹුල් වනගහනයේ සුවඳ හාත්පස දැනුනි.

කොස්ටාරිකාවෙහි දී බිය විය යුතු කරුණු ඇත්තේ එකම එකකි. එයට ද දැන් විසඳුමක් ලැබී ඇත. යටත් පිරිසෙයින් මේ මොහොතට වත් දිගු සුසුමක් ගෙන නිවර්තන හිරු එළියේ සිනාසෙනවා හැර කළ යුතු අන් යමක් නැත. කොස්ටරිකාවට ද සුන්දරතම, දුලබම ළඳකට මෙන් කරදර මායාවකින් දිය කළ හැකි හැකියාවක් ඇත. මේ, සිත් වසග කරන ගුහා හා යමහල් කවයන්ගෙන් පිරි රටේ, යෝධ රුසියානුවන් හා විෂඝෝර සර්පයන් අතර දිවි ගෙවද්දී සමීපතම හෝරා යතුර නද දෙන්නේ සැතපුම් දහස් ගණනකට ඔබ්බෙනි.

The Best Traveler’s Tales 2004 සංග්‍රහයට Patrick Fitzhugh ලියූ The snakecharmer of Guanacaste නම් චාරිකා සටහනෙහි පරිවර්තනය කේ.ඩී.චන්ද්‍රසිරි විසිනි.

Top