සරූ,
උඹ මාව තනිකරල ඈතකට පියමං කරල හරියටම අවුරුදු 2ක් වෙච්ච මොහොතක උඹව වළලපු මහ ඕක් ගහ යට ඉඳගෙන vine වීදුරුවකුත් තොලගාන ගමන් මං උඹට මේ ලියවිල්ල ලියන්න හිතුවා. මං දැන් ඉස්සර වගෙ බොන්නෙ නෑ. ඒ බිව්වත් ඉස්සර වගෙ පිස්සු නම් කෙලින්නෙ නෑ. හැබැයි ඉතින් ඉඳල හිටල මේ වගෙ දවසක දැනෙන පාළුව , තනිකමට මේක දිව්‍ය ඖෂධයක්. හිතේ දුක නිවාගන්නයි මේවයෙ රහ අමතක නොවෙන්නයි ඒ හින්දා මේ වගෙ දවසක වීදුරුවක් දෙකක් තොලගානව.
ගතවෙච්ච අවුරුදු 2 මට නං දැනුණෙ කල්පයක් වගෙ, උඹව මතක් නොවෙච්ච මොහොතක් නැති තරම්, මුල් දවස්වල උඹයි මායි එකට උන්නු තැන්වලට ගිහිල්ල පරණ ලස්සන මතකයන් අවුස්ස අවුස්ස අඬා වැඩුණු වාර අනන්තයි. ඒ කාලෙ මං දුකට බිව්ව නෙවෙයි නෑවා. පස්සෙ මට දෙයක් හිතුණ බං. උඹ හොඳ තැනක ඇති, කොහේ කොතැන උන්නත් උඹ මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු මං දිහා බලාගෙන ඇති, මං කාලකණ්ණියෙක් වගෙ bar ගානෙ බිබී අඬන වාරයක් ගානෙ උඹත් අඬනව ඇති.
උඹ දන්නවද , මේ ලෝකෙ මට පේන්නම බැරි දෙයක් තමයි උඹෙ ඔය ඇස් දෙකේ කඳුළු. ඒ හින්ද උඹ ගැන හිතල මං නාඬ ඉන්නයි , කනමදය වගෙ බොන එකයි නැවැත්තුව.
උඹ ගියපු ලෝකෙට මටත් එන්න හිතුණ වාර අනන්තයි රත්තරන්. ඒත් උඹ මට කියල දුන්නෙ ආදරේ වෙනුවෙන් මැරෙන්න නෙවෙයි ආදරේ වෙනුවෙන් ජීවත්වෙන්නයි. ඒ හින්ද උඹ වෙනුවෙන් ජීවත්වෙන්න මං තීරණය කරා. බැරිවෙලාවත් උඹ මට එහෙම නොකීව නම් මෙලහකටත් මං උඹේ ළඟ නෙවෙයි, මොකද උඹ ගියෙ දිව්‍යලෝකෙ, මං කරපු නසරාණි වැඩ එක්ක මට යන්න අපායක් හදන්න වෙනව දෙයියන්ට හරි මොකෙක්ට හරි. උඹට මතක ඇති උඹ මුණගැහෙන්න කලින් මං ගෙව්ව ජීවිතේ, මිනිස්සු මාව සැලකුවෙ අපතයෙක්, නසරාණියෙක්, කුපාඩියෙක්, සල්ලාලයෙක් විදිහට. ඒ කාලෙ මං කරපු දේවල් එක්ක මිනිස්සු මට එහෙම සලකපු එකෙත් වරදක් නෑ බං.
උඹ මගෙ ලෝකෙට එන්න කලින් මගෙ ලෝකෙම වහගෙන තිබ්බෙ කට්ට කළුවරකින්, ජීවිතේ පුරාම ආදරේ කියන දේ අහිමිවුණු මිනිහෙක් මං. ආදරේ කියන දේ ලැබෙන්නම ඕනි කාලෙක ඒ දේ නොලබන්න තරම් පව්කාරයෙක් වුණා මං. ඇත්තටම මං අසරණ ජීවියෙක්. මට අහිමිවුණු ඒ ආදරේ මං හෙව්වෙ සල්ලිවලට ඇඟ විකුණුව ගෑනුන්ගෙන් කීවොත් ඒක බොරුවක් නෙවෙයි.
උං දන්න ආදරේ ... ලබ්බ!!!.. උංගෙන් මං හොයන් ගියපු ආදරේ තියා උං වෙන උන්ට දීපු රාගයවත් මට ලැබුණෙ නෑ... අපරාදෙ මගෙ සල්ලි... ගොං බඩු !!!!
ඒ අතරෙ තමයි එකම ෆ්ලැට් එකෙ ඉඳපු උඹ මගෙ ජීවිතේට එබිකම් කරේ. අනේ මන්දා ඒක තනිකරම අහම්බයක්. ඒත් දැන් නං මට හිතෙන්නෙම ඒක සංසාරෙ හුරුවක් කියලමයි. මට තාම මතකයි උඹෙ ඇස්දෙක දැක්ක මුල්ම දවස. සත්තයි ඒ වෙලාවෙ මගේ හදවතේ ගිඩිගිඩිය නැවතුණා මට දැනුණා. ටික වෙලාවකට පස්සෙ ඒ හදවත ආයෙ පුරුදු විදිහට ගැහෙන්න ගත්තත් ඒ ගැහෙන්නෙ කලින් ගැහුණු රිද්මයට නොවන විත්තිය මට තේරුණා. උඹේ ඇස් ළඟ මං ආයෙ ඉපදුණා.
ඇත්තටම මොකද්ද බං උඹ එදා මගෙ හදවතට ඒ කරපු විපර්යාසෙ????
උඹට වඩා ලස්සන කෙල්ලො මං ඕනි තරම් දැකල තියෙනව, ආශ්‍රය කරල තියෙනව. ඒත් මේ කණ්ණාඩි දාන, කෙට්ටු , හීන්දෑරි, fair & lovely ඇඩ්වල පෙන්නනව වගෙ සුදුමැලි පාට කෙල්ල මගෙ පපුව ඇතුළෙ කරපු විප්ලවයට ළංවෙන්නවත් ඒ එකියකටවත් බැරි වුණා.
මාරයි කෙල්ලෙ. උඹ ව එවුව දෙයියන්ට මං තාම පිං දෙනව. ඒ ගමන් මං ඒ දෙයියන්ගෙන් අහනව ඇයි උඹව මේ තරම් ඉක්මනට මගෙන් උදුරගත්තෙ කියල. අපිට කොච්චර හීන තිබුණද??? ඒ හීන හැබෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි උඹ මාව අතෑරල ගියේ.
මේ වගේ වෙලාවල්වලට මට අපේ පරණ මතක මතක්වෙනව නෙවෙයි මං ඒ පරණ මතක මතක් කරකර මාවම රිද්දවාගන්නව. එදා අර lift එක ඇතුළෙ lift එක හිරවෙච්ච වෙලාවෙ වුණු දේ , වැරදිලා ගංජා පොඩ්ඩක් පෙවිල උඹ market එකේ නටපු නාඩගම, උඹයි මමයි එකට හිටිය පළමු රාත්‍රිය, අත් දෙකේ මාංචු තියෙද්දි මං උඹ හොයාගෙන library එක ඇතුළට ඇවිල්ල උඹව වැළඳගත්තු ඒ මතක ඇතුළෙ මං තාමත් ජීවත්වෙනව. මං උඹට library card වල ලියල එව්ව messages තාමත් ඒවයෙ ඇති. ඒ අස්සෙ උඹව marry කරනව කියල engagement එක දවසෙ උඹව reject කරපු අර ගස්බල්ලවත් මතක්වෙනව - ළඟ හිටිය නම් උගෙ ඉහේ ඉඳන් පට්ට ගහනව අම්මපා!!!!
"People don't live together since they forget about the past ... people live together since they forgive about the past"
මිනිස්සු එකට ජීවත්වෙන්නෙ එයාල අතීතෙ අමතක කරන නිසා නෙවෙයි, එයාල අතීතෙට සමාව දෙන නිසා-- දරුණු අපරාධකාරයෙක් කියල සමාජෙන් හංවඩු ගහපු මාව බඳින්න උඹ කැමති වුණෙත් ඒ නිසා නේ. ඒ නිසා ඌට මං සමාව දෙනව - අවුලක් නෑ.
ඉතින් වස්තුවේ උඹ මාව දාල ගියපු මේ අවුරුදු දෙකේ ගොඩාරියක් වෙනස්කම් මගෙ ජීවිතේ වුණා. මාව ප්‍රතික්ෂේප කරපු තාත්ත ආපහු මාව භාර ගත්ත, එයාගෙ සේරම දේපොළ මට ලියල දුන්න, මං දැන් අර ඉස්සර බිල්ඩිමේ වතුර ටැංකිය උඩ නිදාගත්තු හිඟන්නා නෙවෙයි, යමක් කමක් තියෙන එකෙක්. ආහ් තව දෙයක්, මං මගේ law degree එක කරගත්ත. මං දැන් අර ඉස්සර ඉබාගාතෙ මුම්බායිවල පාරවල් දිගේ බිබී ඇවිද ගියපු අපතයා නෙවෙයි, මං දැන් මගෙ තාත්ත වගේ ම lawyer කෙනෙක්. මුම්බායි උසාවිය ගාවට ඇවිල්ල කෙනෙක් ඇහුවොත් මං ගැන මිනිස්සු මං ගැන කියන විදිහ උඹ අහන්න ඕනි. උං මට පට්ට ආදරෙයි බං.
වැඩිය ඕනෙ නෑ ඉස්සර මං දිහා හැමවෙලේම සැකෙන් බලාපු වහකදුරු වගෙ මාව තිත්ත වෙච්චි පොලිස්කාරයො දැන් මට සැලියුට් ගහන්නෙ උඩ පැනල. හරියට කරනව නං මේක අම්බානෙකට හම්බකරන්න පුලුවන් රස්සාවක්, මතකයිනෙ අපෙ තාත්ත හිටිය විදිහ. හැබැයි මං එයා වගේ මේ රස්සාවෙන් සල්ලි හම්බුකරන්න බලාගෙන නම් නෙවෙයි මේකට බැස්සෙ. මං අන්ත අසරණ වෙච්ච මිනිස්සුන්ගෙ නඩුවලට කතාකරනව සතපහක්වත් ගන්නෙ නැතුව. උංගෙ නඩුව දින්නහම උං ඇස්වල සතුටු කඳුළු පුරෝගෙන මට නොසෑහෙන්න පිං දෙනව, ඒ හැම වෙලාවකම මං ප්‍රාර්ථනා කරන්නෙ ඒ හැම පිනක් ම උඹට ලැබියන් කියල, ඊළඟ ආත්මෙවත් මගේම වෙලා ඉපදියන් කියල.
ඉතින් රත්තරනෙ මං හිතන්නෙ මං උඹ එක්කල ගොඩාක් වෙලා කතාකරා... කතාවෙන් කතාව මගෙ අතින් වයින් බෝතලේම හිස්වෙලා... සොරි හොඳේ... මං උඹට වුණු පොරොන්දුව ඉශ්ඨ කරා, උඹ ඉල්ලපු විදිහටම අපෙ වත්ත පල්ලෙහා මහ ඕක් ගහ යට උඹව වැළලුවා. ඒ ගහ යටට එන හැම වෙලාවකම රෝසපාට ලස්සන මල්වැස්සක් වස්සල උඹ මාව පිළිගන්නෙ උඹ කීව විදිහටම. මං ඒකට ආසයි බං..
වෙලාවකට හිතෙනවා මෙතැනම ඉන්න තිබ්බනම් කියල...
උඹ ගියාට පස්සෙ මං ආයෙ වෙන කෙනෙක් ගැන හිතුවෙ නෑ. උඹට මතක ඇති මං කීව දේ එදා. උඹ මගේ first choice එක නෙවෙයි , හැබැයි මගේ best and last choice එක... දාහක් රූප අතරින් පපුවෙ ගැඹුරටම කාවැදුණු රූපෙ... මං මැරෙනකල් මෙහෙම ම තනියෙන් ඉන්නම්...
මං කොහොමත් තනි නැහැනෙ. උඹ මාත් එක්ක ඉන්නවනෙ, මට ඒක දැනෙනව. ඒ නිසා මං මේ ලෝකෙ තනි නැහැ. බලන හැමතැනම උඹේ රූපෙ මැවෙනකොට, හමන හුළඟෙත් උඹෙ කටහඬ ඇහෙනකොට මං තනිවෙන්නෙ කොහොමද බං.
එහෙනම් මං යන්නම් වස්තුවේ... හැමදාමත් ආදරෙයි.....
එහෙනම් යන්න කලින් මාව ආයෙමත් වස්සන්න මල් වැස්සක්...........
ආදරෙයි සදහටම...
මං උඹේම දඩබ්බරයා ,ඉන්දර්...
"People don't live together since they forget about the past ... people live together since they forgive about the past"
"මිනිස්සු එකට ජීවත්වෙන්නෙ එයාල අතීතෙ අමතක කරන නිසා නෙවෙයි, එයාල අතීතෙට සමාව දෙන නිසා"