කාන්තා නිදහස ගැන කියවෙන ජමිලා (768)

post-title

චිංගිස් අයිත්මාව් ගේ අපුරුතම කෘතියක් වන ජමිලා වනාහි යුගයක වෘතාන්තයකි .මෙහිදී කතා නායකයා වන ජමිලාගේ ස්වාමි පුර්ෂයා ගේ සොයුරා වන සෙයිට් ගේ ඇසින් ජමිලා සහ අබාධිත සෙබළකු වූ දනියාර්ගේ අසම්මත ප්‍රේමය විනිවිද දකිනාකරයක් විග්‍රහ වේ.මෙම කතාව සෙයිට් තරුණ වියේදී අඳින ලද චිත්‍රයක ඇති දර්ශනය අතිතවලොකනය කරන ආකාරයකින් පාඨකයා හමුවට ගෙන ඒ.සිය සොල්දාදු සැමියා යුධ බිමට ගිය පසු හුස්ම හිරකරවන තරම් වූ නීරස තනිකමකින් වේලෙන ජමිලාගේ ලෝකය වර්ණවත් කරන්නේ දනියාර් විසිනි.
දනියාර් යනු හුදකලාව ප්‍රිය කල නිහඬ ආඩම්බරකාර පුද්ගලයෙකි.එම ආඩම්බරකාර බවම ජමිලාගේ සිත ඔහු කෙරෙහි ඇඳ බැඳ තැබීමට සමත් විය.එයට එකල්හි පැවති සමාජ ක්‍රමයද ඉවහල් වී ඇත.එලෙසින්ම දනියාර් ජමිලාගේ අධ්‍යාත්මය ස්පර්ෂ කිරීමට සමත්වූ අතර ,තම සැමියාට පවා තේරුම් ගත ගත නොහැකිවූ ජමිලා වේගයෙන් දනියාර් ඇදී යයි.නමුදු ඇයව වරදකාරියක් නොකිරීම මෙම කතාවේ සුවිශේෂිත්වයයි.

මෙහිදී ලේඛකයා ජමිලාගේ චරිතය උපමා රූපක මගින් නිරුපණය කරයි.සමාජ තත්වය විමසීමේදී ජමිලා සම්ප්‍රදායික කිර්ගිස් කුටුම්භයේ පරිවර්තනය පෙන්නුම් කරයි.ජමිලාගේ හැසිරීම අනිකුත් කිර්ගිස් තරුණියන් ගේ හැසිරීමට වඩා වෙනස් බවද රචකයා පෙන්වයි .සමහර අවස්ථා වලදී දඟකාර කොල්ලකු මෙන් දුව පනිමින් හැසිරුණු ජමිලා වැඩිහිටියන් ඉදිරියේදී පවා හඬ නගා ගීත ගායනා කළාය. ජමිලාගේ මෙම ගතිගුණ පිළිබඳව ඇයගේ නැන්දම්මා පවසන්නේ මෙසේය.

" උඹලගේ නිහඬ ගැහැණු ඇත්ත වශයෙන්ම පිට අය රවට්ටනවා .බොරු ශාන්ත බවක් පෙන්නනවා.හරියට කුණු බිත්තරයක් වගේ.එළියට සුදු පාටයි.ඇතුළේ ගඳ උහුලන්න බැහැ.
"ගැහැණියකගේ වාසනාව ළමයින් හදා වඩා ගැනීමත්, ගෙදර දොර අරපිරිමැස්මෙන් කටයුතු කිරීමත්, යැයි මහලු නැන්දම්මා ජමිලාට උගන්වන්නිය. යුද්දයට ගිය ජමිලාගේ සැමියා එවන ලියුම් වල ඇගේ නම සඳහන් වන්නේ ඕනවට එපාවට මෙනි."සැමියාගේ සහ බිරිඳගේ දුරස්ථ බවක් තිබු බව මෙයින් ලේඛකයා හෙළි කරයි.මේ හේතුව ජමිලා අසම්මත ප්‍රේමයක පැටලීමට හේතු පාඨය වී ඇති බව පෙනී යයි.

" විශේෂයෙන් ම යුධ පෙරමුණේ සිට පැමිණි සෙබළු ජමිලා දෙස මහත් ඕනෑකමින් බැලුහ.ඇයද ඔවුන් සමග විහිලු කලද ,සීමාව ඉක්මවා යන අයට දඬුවම් කළාය."

වර්තමානයේ මෙන්ම අතීතයේදීත් යුද්ධය නිසා කාන්තාව බොහෝ පිඩනයට ලක් විය.ඔවුන්ගේ දුර නෑයකු වන ඔස්මොන් ජමිලා පසුපස යාමද තවත් මෙවන් සිද්ධියකි.යුද්ධයේ බියකරු බව මෙන්ම මිනිසුන් හුදකලා තත්වයට පත්කරන ආකාරය ගැන ජමිලා මෙසේ කීවාය .

"මිනිස් සිතක් ක්‍රියාකරන හැටි ඔස්මොන් සහ මිනිසුන් දන්නේ කොහොමද? කිසිවෙක් ඒ ගැන දන්නේ නැහැ.ඒ ගැන දන්නා මිනිසෙක් මෙලොව නැතුවා වෙන්න පුළුවනි ". (පිටුව 24)
එපමණක් නොව අයිලයේ පැවති ගතානුගතික සිරිත් විරිත් ලේඛකයා විස්තර කරයි.විශේෂයෙන්ම රැඩිකල් තරුණියක වූ ජමිලාගේ සිතුවිලි දරදඬු කොට අසම්මත ප්‍රේමයක් දක්වා දුර යාමට මෙම ගතානුගතික සමාජීය සිරිත් විරිත්ද හේතු වී ඇති බව පසක් වේ.

ජමිලා සංගීතය බොහෝ සෙයින් ප්‍රිය කල කාන්තාවක් විය.මෙය ගම්මානයේ සිටි මුස්ලිම් කතුන් බොහෝ සෙයින් විවේචනයට ලක් කල අතර සෙයිට් සහ දනියාර් උදෙසා සුන්දර ගීත ජමිලා විසින් ගායනා කරන ලදී.කතාව සුන්දරව ගලාගෙන යද්දී දනියාර්ගේ ගීතයෙන් මත් වන සෙයිට් දනියාර්ව වර්ණනා කරන්නේ මෙලෙසිනි.

"ඔහුගේ ගීතය දුක්මුසු රාගයකින් පිරි තිබීම මගේ පුදුමයට හේතු විය.ඔහුගේ එම හැඟීම හැඳින්විය යුත්තේ කෙසේද යන්න මම එදා නොදැන සිටියෙමි.එය කෙසේ විග්‍රහ කළ යුතුද යන්න මම දැනුදු නොදනිමි.මිනිසාගේ අතිශයින්ම අභ්‍යන්තර හැඟීම් ඇවිස්සෙන,කැළඹීම් තවත් මිනිසෙකුට කාවද්දන බලයක් තිබුනේ ඔහුගේ කට හඬේහිද නැතිනම් අධ්‍යාත්මයේ හිද යන්න කිව නොහැක " (පිටු 55)

ස්ටෙප්ස් තෘණ භුමියේ හුදකලා බව ජමිලා සහ දනියර්ගේ ආදර කතාවට සොඳුරු තෝතැන්නක් සදා දෙන අතර ,මෙම පසුතලය ඔවුන්ගේ ප්‍රේමයට විශ්ව සාධාරණීකරණයක් මතුකර දක්වයි. මෙම කතාවේ තේමාව වන්නේ කාන්තා නිදහසයි

අධ්‍යාත්මික සැනසීමක් ලැබිය නොහැකි ලෝකයක හුදකලාභාවයෙන් පිරුණු චරිත සමාජ සංස්ථාව මත අතරමන් වන ආකාරය ඉතාමත් අපුර්ව අයුරින් රචකයා පාඨක මනසට ජමිලා තුලින් ලංකරන ආකාරය විශිෂ්ට වේ.ජමිලා කෘතිය තුලින් මානව සමාජයට ඥානමය සහ භාවමය සාධකයන් ඔස්සේ ලබා දෙන දායකත්වය මැනවින් විස්තර කර තිබේ.මේ වෘතාන්තය කියවන පාඨකයාගේද මනස සමාජගත සවිඥයෙන් පරිපුර්ණ වීම මේ කතාව ඔස්සේ දැනෙන සුවිශේෂී ලක්ෂණයයි.මෙය රටක උන්නතිය සඳහාද දායකත්වයක් සපයන බව නොරහසකි

Top