ත්‍රිමානයාගේ පැතලිලන්තය

post-title

ඔබත් මමත් ඇතුලුව අපි සියළු දෙනාම ලෝකය දකින්නෙ මේ ලෝකය ඇතුලෙ අපි ග්‍රහණය කර ගන්න දේවල් අනුව.ටිකක් ගැඹුරට හිතුවොත් ලෝකය කියන්නෙත් අපේ මනසෙම නිර්මාණයක්. මේ නිසා ඔබේ ලෝකය මගේ ලෝකයෙන් වෙනස්. නමුත් මගෙත් ඔබේත් ලෝකවල යම් සමාන කම් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔබේත් මගෙත් ලෝකය එකක් නොවුනට ඔබටත් මටත් මේ ලෝකය ත්‍රිමාණව දකින්න පුළුවන්. එනම් මේ ලෝකයේ තියෙන දේවල් දිගක් පළලක් හා උසක් සහිතව දකින්න පුළුවන්. 

මේ කතාව කියන චතුරස්‍රකාර නීතිඥයා ද්වීමාන ලෝකයක කෙනෙක්. එයාගෙ ලෝකයෙ එයාට ග්‍රහණය කරගන්න හැකියාව ලැබිලා තියෙන්නෙ දිගක් හා පළලක් පමණයි. මේ  නීතිඥයා තමන්ගෙ කතාව කියන්නෙ ආචාර්ය අනුරුද්ධ මහසිංහ  විසින් “පැතලිලන්තය” නමින් සිංහලයට පරිවර්තනය කරන ලද එඩ්වින් ඒ ඇබට් විසින් රචනා කරන ලද “Flatland: A Romance of Many Dimensions” කෘතියෙදි. මේ සම්පූර්ණ කෘතියම ගලාගෙන යන්නෙ මේ චතුරස්‍රාකාර නීතිඥයා තමන් ලෝකය විඳින ආකාරය පිළිබඳ සිදු කරන විස්තර කිරීම් මගින්. ගණිතමය ආකෘතියක් මත සිට ඒ විස්තර කිරීම් සිදුකලත් ගණිතය පිළිබඳ දැනුමක් නොමැති අයෙකුට උනත් සරලව තේරුම්ගත හැකි ආකාරයට වගේම ගණිත මූලධර්ම සරලව වටහා ගැනීමටත් හැකිවන ආකාරයෙන් “පැතලිලන්තය”ඉදිරිපත් කරලා තියෙනවා. 

ගණිතය සහ සාහිත්‍යය අතර සම්බන්ධයක් දකින්න අපි පුරුදු වෙලා නොසිටියත් පැතලිලන්තය සැලකෙන්නෙ ගණිත සාහිත්‍යයයෙ පුරෝගාමී කෘතියක් වශයෙන්. පැතලිලන්ත කතුවර එඩ්වින් ඒ ඇබට් (Edwin A. Abbot) ඉංග්‍රිසි සාහිත්‍ය පිළිබඳ ප්‍රවීණයෙක් වගේම දේවධර්මාචාර්යවරයෙක්.  මේ නිසා ඔහු ජීවත් වූ සමාජය, එහි මිනිසුන් ගැන හොඳ අවබෝධයක් තමා සතු කරගන්න ඇබට් සමත්කම් දක්වනවා. තම විශේෂඥ ක්ෂේත්‍රයට පමණක් සීමා නොවුනු ඇබට් ගණිතය කෙරෙහිද දක්වන්නෙ විශේෂ උනන්දුවක්. භෞතික විද්‍යාව විසින් සියළු සංසිද්ධි නිරවුල්ව පැහැදිලි කොට ඇතැයි පොදු අදහසක් තිබුනු සමයක එම අදහස අභියෝගයකට ලක් කරමින් ලියැවුණු ප්‍රබල කෘතියක් ලෙස පැතලිලන්තය එලි දකින්නෙ සමකාලික සමාජයෙ තිබුනු විප්ලවය, පාලක පන්තියේ මර්ධනය, සමාජ අසාධාරණය පිලිබඳව උපහාසයක්ද ජනිත කරවමින්. ද්විමාන ලෝකයේ ජීවත් වන චතුරස්‍ර හැඩය ගත් ජීවියෙකුගේ ඇසින් සම කාලින සමාජයේ  ආගම, දර්ශනය, දේශපාලනය, අධ්‍යාපනය, සදාචාරය, සමාජ ජීවිතය ආදී සියලුම දේ ඉදිරිපත් කරන කතුවරයා  තමන් දකින ලෝකය පරම සත්‍ය සේ විශ්වාස කරන මිනිසා වෙනත් කෙනෙකුගෙ දැක්මක්, අදහසක් පිළිගන්න දක්වන දැඩි නොකැමත්තත් පැතලිලන්තය තුලින්බොහොම අපූරුවට විග්‍රහ කරනවා. මිනිසා විසින් විශ්වයට පනවාගෙන තියෙන සීමා ප්‍රශ්න කිරීමට මිනිසාවම පොළඹවන්න මේ මගින් ඔහු උත්සාහ කරනවා. 

චතුරස්‍රකාර නීතිඥයා කියන කතාව ගලායෙන යන්නෙ ප්‍රධාන අදියර දෙකකින්. චතුරස්‍රයාගේ ස්වයංහැඳින්වීමක්ආකාරයෙන් පරිච්ඡේද දොළහක් පුරාද්විමානික ලෝකයේ සමාජ, දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික, ආගමික ආදි කරුණු පැහැදිලි කරන “මෙම ලෝකය” කොටසින් සහ සහශ්‍රකයේ අත්දැකීමෙන් පසු චතුරස්‍රයා අත්දකින  වෙනත් මානයන් පිලිබඳව සහ ඒ පිළිබඳව ද්විමානිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳ පරිච්ඡේද දහයක් පුරා “අන්‍ය ලෝක” කොටසින්ද ඉතා රසවත් ඉදිරිපත් කිරීමක් පැතලිලන්තය තුල පාඨකයාට හමුවෙනවා.

“මෙම ලෝකය”තුල චතුරස්‍ර නීතිඥයා තමන්ගෙ ද්විමාන ලෝකය පිලිබඳ කරන පැහැදිලි කිරීම තුලින් අපි ජීවත් වන සමාජය විනිවිද දකින්න අවස්ථාවක් අපිටම ලබාදීලා තියෙනවා. මේ ද්වීමාන ලෝකය සමන්විත වන්නෙ විවිධ හැඩතල වලින් යුත් මිනිසුන්ගෙන්. ශරීර ස්වාභාවය අනුව ඔහුට ලැබෙන සමාජ මට්ටම, අයිතිවාසිකම්, පිළිගැනීම ආදී සියල්ල තීරණය වෙනවා. පැතලිලන්තයෙ ගැහැණු දැක්වෙන්නෙ සරල රේඛාවන් විදියට. සොල්දාදුවන් පහල ස්තරවල කම්කරුවන් සමද්වීපාද ත්‍රිකෝන. මේ ලෝකයෙ යම් වැදගත් කමක්, සමාජ පිළිගැනීමක් ලබන්න නම් තමන්ගෙ ශරීරය සමපාද විය යුතුයි. මේ නිසා සමපාද ත්‍රිකෝන වලට හිමිවෙන්නෙ මධ්‍යම පන්තිය. වෘත්තිකයන්, මහත්වරු වෙන්නෙ චතුරස්‍රයයන් සහ පංචාස්‍රයන්. සමාජයෙ ඉහලම වංශවත් ස්තරය හෙවත් රදලයන් වන්නෙ ෂඩස්‍රයන් හා ඉන් ඉහල බහු අස්‍රයන්. වෘත්ත නැතිනම් වෘත්තයක් මෙන් පෙනෙන තරම් පාද ඇති බහු අස්‍රයන් මේ ධූරාවලිය ප්‍රධාන ස්තරය හෙවත් පූජක ස්තරය. 

අයිතිවාසිකම්, වරප්‍රසාද, නිදහස, නීතිය, දඬුවම් මේ හැම දෙයක්ම බෙදිලා යන්නෙ  මේ හැඩතල ස්තර අනුව. සමාජය සංවිධානය තුල ක්‍රමයෙන් ඉහලට යත්ම තම බලය රඳවා ගන්නා අයුරුත්, කාන්තාවන්ව පාලනය කරන අයුරුත්, ඉහල කුලයන්ට එරෙහිව පහල කුලයන් තුල මතුවන කැරලිසහ ඒවා මැඩපවත්වන අයුරු බොහොම අපූරුවට පැතලිලන්තය තුල විදහා දැක්නෙවා. මේ තුලින් අපේ සමාජයෙ තියෙන කුල ,වර්ණ භේදය , ස්ත්‍රී පුරුෂ අසාමානතාව, දුප්පතුන් හා ධනවතුන් අතර වෙනස, විවිධ සමාජ මට්ටම් හා ඒවාට තියෙන පිළිගැනීම, මේවැනි විවිධ බෙදීම් නිසා සමාජයෙ හටගෙන තියෙන විවිධ අර්බුද ඉතා සිත්ගන්නා සුළු අයුරින් ඉදිරිපත්කර ඇති පරිවර්තකයා අපට අපි දිහාම හැරී බලන්නට හොඳ අවස්ථාවක්ද ලබා දෙනවා.

“අන්‍ය ලෝකය” වෙන් වන්නෙචතුරස්‍ර නීතිඥයා තමන්ගෙ ලෝකයෙන් පිට ගති ස්වාභාවය අත්විඳින ආකාරය විදහා දැක්වීම වෙනුවෙන්. මේ චතුරස්‍ර නීතිඥයාට පැතලි ලෝකයෙන් රේඛා ලෝකකයට, ඒක ලක්ෂ ලෝකයට සහ ත්‍රිමාන ලෝකයට යාමට අවස්ථාව හිමිවෙනවා. රේඛා ලෝකයසහ ඒක ලක්ෂ ලෝකය,චතුරස්‍ර නීතිඥයා මේ වනවිටත් අත් විඳ ඇති නිසා ඔහුට එය වටහා ගත හැකියි. ඔහු උත්සාහ කරන්නෙ සරල රේඛාවක නැතිනම් එක ලක්ෂයක තමන්ගෙ ලෝකය නිර්මාණය කරගෙන ජීවත්වෙන රේඛා ලෝක සහ ඒක ලක්ෂ ලෝක රජවරුන්ට තමා දකින ආකාරය අනුව යථා ස්වාභාවය පැහැදිලි කර දීමට. මෙලෙස තමා සිටින ලෝකයෙන් පිටත මානයන් පැහැදිලි කිරීමට ගන්නා උත්සාහය තුලින් අපි,  අපිම හදාගෙන සිරවෙලා සිටින ලෝකය ගැන විමසා බැලීමේ අවස්තාවක්දපැතලිලන්තය මගින් අපට ලබා දෙනවා. 

ත්‍රිමාන ලෝකයෙන් පැමිණි අමුත්තා ද්වීමාන චතුරස්‍රයාව ත්‍රිමාන ලෝකය තුලට ගෙන යාමෙන් ද්වීමාන ලෝකය තුල ඔවුන් මේ වන තෙක් ගොඩනගාගත් සියලු සංකල්ප පුස්සක් බවට පත් වෙනවා. පැතලිලන්ත වාසීන් ගොඩනගාගත් සංකල්ප වල වටිනාකම් ඉහල මානයක සිටින ත්‍රිමාණයාට  විහිළුවක්  වෙනවා. ද්විමාන ලෝකයාට ශුභාරංචිය ගෙනෙන ත්‍රිමානයා ඉතා අපහසුවෙන් චතුරස්‍රයාට ත්‍රිමානය පැහැදිලි කලත් ත්‍රිමානයාද ඉහල මානයක් ගැන පිළිගැනීමට අකමැති වීම සිනහ උපවදන සුළුයි. මිනිසුන් තමා ගොඩ නගාගත් ලෝක වලට ඇති දැඩි බැඳීමත් එයින් පිට ලෝකයත් ගැන විවෘත මනසකින් දැකීමට ඇති අකමැත්තත් ඉතා සියුම් ලෙස උපහාසයට ලක්කිරීමට  කතුවරයා මෙන්ම පරිවර්තකයාදඉතා දක්ෂ ලෙස සමත් වෙලා තියෙනවා. ඇබට් සමගමැදහත් සිතකින් ලෝකය දෙස බලන අපට විප්ලවයත්, පාලක පන්තියේ මර්ධනයත්, ආචාරධර්මත්, විකල්පත් සියල්ල පිලිබඳ ඇති වන්නේ උපහාසය මුසු සිනහවක්.

ගණිතය මෙවලමක් කොට ගෙන අපේ වටිනාකම් ජීවත් වන රාමුවට සාපේක්ෂ බව කියාපාන අනගි කෘතියක් වන Flatland සිංහල සමාජයෙ අත්දැකීම්, උදාහරණ, භාෂා විලාශයන්, ජීවන රටාවන් භාවිතා කරමින් සිංහල පාඨකයාගේ රුචියට ගැළපෙන“පැතලිලන්තයක්” බවට පත්කිරීමට අනුරාධ මහසිංහ මහතා සිදු කරලා තියෙන මෙහෙය ඉතා  ප්‍රශංසනීයි.බොහෝ රටවල ගණිතය හදාරන සිසුන් සඳහා අමතර කියවිම් පොතක්  වශයෙන් අනුමත කර තිබෙන මේ කෘතියෙ සරල රසවත් බව සහ  කතාව පැහැදිලි කිරීම කිරීම වෙනුවෙන්  යොදා ගෙන තියෙන සරල කුරුටු රූප නිසා ජ්‍යාමිතියට දුර්වල සිංහල සිසුන්ටත් සරල ජ්‍යාමිතික කරුණු පිළිබඳ වඩා රසවත් වටහා ගැනීමක් සඳහාද  ඉතා සුදුසුයි. සරල ජ්‍යාමිත කරුණ මගින් අපිට අපේ ලෝකය ගැනම නව මානයකින් දකින්න සලස්වන මේ සොඳුරු කෘතිය එහි දැක්වෙන අයුරින්ම A Romance of Many Dimensions යන්නට ඉතාම හොඳින් ගැලපෙන කෘතියක් බව කියන්න පුළුවන්.

 

 

Top