තාරුණ්‍යය, ප්‍රේමය හා පැවැත්ම කියැවෙන තිහාතා (748)

post-title

තාරුණ්‍යය සහ ඔවුන්ගේ ප්‍රේමය, පැවැත්ම යනාදිය පිළිබඳ වඩාත් සුපැහැදිලි ව සහ සාධාරණයීය වන ලෙස ලියැවුණ මෑත කාලීන නිර්මාණ අතර වඩාත් ප්‍රශස්ත නිර්මාණයක්යැයි සුරත් ද මැල් ගේ තිහාතා නවකතාව හදුනාගත හැකි ය. මේ වන විට සුරත් සිය දෙවැනි කෘතිය ද ප්‍රකාශයට පත් කර ඇත. එහෙත් එය තීහාතා නිර්මාණය පිළිබඳ කරන අදහස් දැක්වීමට බාධාවක් නො වන්නේ මේ මොහොතට පවා එම නිර්මාණය අධිනිශ්චය වන බැවින් ය.

තීහාතා නිර්මාණය ගෙතෙන්නේ ප්‍රධාන චරිත ද්විත්වයක් ඇසුරේ ය. ඒ ගීත් හා දිව්‍යා ය. ඉනුත් කතා නායකයා ගීත් ය. කතාව ගලා යන්නේ ඔහුගේ ආත්ම පාපොච්චාරණයක ස්වරූපයෙන් ය. එවන් ස්වරූපයකින් කතා ආකෘතිය නිමැවීම තුළ සුචරිත පුරුෂයා වෙනුවට සංස්කෘතික කඩතුරාවෙන් වසා ගත් සැබෑව ම නිරූපණය කිරීමෙහි පහසුකම නිර්මාණකරුවා අත්විඳිනවා පමණක් නො ව පාඨකාගාරයට ද තම ජීවිතයේ වසා සඟවාගන්නා හැඟීම් සහ ස්වභාවයන් ද තමන් ඉදිරියෙහි ම නිරුවත් කර පෙන්වා ලන්නට හැකි ව ඇත.

පෙර කී පරිදි කතාවෙහි පෙම්වතා හෙවත් කතා නායකයා වන්නේ ගීත් ය. ගීත් ගේ චරිතය යම් අයුරකින් මේ මොහොතේ ලාංකේය සමාජයේ එනම් නූතනත්වය හා පසු නූතනත්වය අතර සංක්‍රාන්තිය තුළ කල් හරින පුද්ගල චරිතයක් ලෙස නිරූපණය වේ. ඔහු සැබැවින් ම පසුනූතනවාදී තාරුණ්‍යයේ ලක්ෂණ ම ප්‍රකට කරන්නේ නැත. ඔහු පෙර සඳහන් කළ පරිදි ගෙවන්නේ සංක්‍රාන්තික කාලයක් ය. මන්ද නිර්මාණය ආරම්භ වන මොහොත තුළ පටන් ගීත් විසින් කරන හෙළිදරව් කිරීම් තුළින් ඔහු තුළ වරෙක වැඩවසම් පුරුෂ ලක්ෂණ ද වරෙක නූතනවාදී ලක්ෂණ ද නිරූපණය වන වග අපට පහසුවෙන් වටහා ගත හැකි ය. ඒ මේ මොහොතේ තාරුණ්‍යය යැයි මා පවසන්නේ වර්තමානයේ බහුතරයක් තරුණ පෙළ තුළ උක්ත ස්වභාවය ම දැක ගත හැකි වන නිසා ය.

‘‘දිව්‍යාව කාටවත් පෙන්නන්ට මට උවමනාවක් තිබුණෙ නැහැ. ඈ කවුරුත් දකිනවාට මම කැමති නෑ‘‘ (පිටු 125)

‘‘ආ.. අවුලක් නෑ. පුළුවන් නම් ට්‍රයි කරලා දාගනින්. කොල්ලො ට්‍රයි කරන එක නවත්තන්න මම උත්සහ කරන්නෙ නැහැ. හැබැයි එයාට කරදරයක් නොවෙන විදියට. මම ප්‍රගතිගාමී දාර්ශනිකයෙක් වුණා‘‘ (පිටු 155)

නවකතාවේ කියැවෙන පරිදි බොහෝ අවස්තාවල ප්‍රේමය තුළ පවා ගීත් තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්නට තමන් විසින් කරන කියන දෑ සාධාරණීකරණය කර ගන්නා ස්වභාවයක් දැකිය හැකි ය. විශේෂයෙන් ම ඔහුගේ අනුරාග ආශාවන් කාන්තාවගෙන් කාන්තාවට විතැන් වෙද්දී එනම් හසිනි, කාව්‍යා හා මන්දාකිනි දක්වා වරින් වර පොලා පනින සෑම වරෙක ම ඔහු තමාව සාධාරණීකරණය කර ගන්නට භාවිත කරන්නේ සභ්‍යත්වයේ සීමා නිශේධනය වූ පසුනූතන තාරුණ්‍ය ආකල්පය. නමුත් ඔහු දිව්‍යාගේ අනෙකුත් සම්බන්ධතා දෙස හෙලන්නේ ‘‘පිරිමි කවර වරදක් කළ ද ඒවා සුුලු වැරදි ය ගැහැනු එසේ නොවිය යුතු ය‘‘ වැනි සම්ප්‍රදායික පුරුෂ චින්තනයකින් ය.

සමස්ථ නිර්මාණය පුරා ම මෙම පොලා පනින චරිත ස්වභාවය ගීත් තුළින් විද්‍යමාන වේ. නමුත් එය දොසක් නොවන්නේ එවන් අවස්තාවක එම පුද්ගල පැවැත්ම රඳා පවතින්නේ ද මෙම පොලා පැනීම තුළ ම වන බැවිනි. මෙය පැහැදිලි ව තහවුරු කර ගත හැකි වන්නේ සමාජයේ ජීවත්වන, පසු නූතනවාදී සමාජයේ තමා ජීවත්වන බව ලෝකයට පෙන්වන්නට උත්සහ ගනු ලබන, නොයෙක් නව්‍ය සංස්කෘතියන් හා ගනුදෙනු කරන පුද්ගලයන් ඇතුලාන්තයෙන් ගෝත්‍රික ස්වභාවයන් පෙන්නුම් කිරීම තුලින් ය. නමුත් මෙහිදී ගීත් යනු ගෝත්‍රික ලක්ෂණ පෙන්වන්නෙක් යැයි පැවසීමට මා උත්සහ නොගන්නේ ඔහු පවතින්නේ එම තත්ත්වයෙන් නූතනත්වයට රූපාන්තරණය වන සංක්‍රාන්තියක වන බැවින් ය. එවන් තත්ත්වයක පුද්ගල පැවැත්ම තහවුරු වන්නේ මෙම සමාජ සංස්කෘතිකයන් දෙකේ ම ඇති ලක්ෂණ පැටලුම්කාරී ලෙස තමා තුළ ප්‍රරෝහණය වීම තුලින් ය.

අනූව දශකයෙන් එපිට අයෙකුට තිහාතා යනු නොස්ටැල්ජිකමය අත්දැකීමක් ය. වර්තමානය වන විට පරිගණක ටැබ් ජංගම දුරකථන වැනි ආම්පන්න සමග කල් මරන්නට ඔවුන්ට හැකි වුව ද ඔවුන්ගේ තරුණ ජීවිත බොහෝ විට ගෙවන්නට ලැබුනේ පැරණි සමාජ ආකෘතින් තුළ ය.

මෙහි සඳහන් ප්‍රේමය විෂයෙහි දී වුවද පෙම් කිරීම, හසුන්පත් හුවමාරුව යනාදිය කරුණු මෙන් ම පාසල් අවදියේද ගැටවර ක්‍රියාවන් ද බොහෝ විට එදවස ඔවුන් අත්විදින ලද ඒවා ය. ඒ අනුව ගීත් - දිව්‍යා ප්‍රේමය හා සමීප ප්‍රේමණීය ස්මරණයන් එවන් පුද්ගල මනීන්ද්‍රියන් තුළ පැවැතිය හැකි ය. එසේම මහල් නිවාස සංකීර්ණ ආශ්‍රිතව ජීවත් වෙමින් කල් හරින ලද උප සංස්කෘතියන් තුළ ජීවත් වූවන් ට ද එවන් ම නොස්ටැල්ජික හැඟීම් තීහාතා තුළින් ප්‍රේරණය විය හැකි ය.

ශිල්පිය උපක්‍රමයක් ලෙසින් ගත් කළ කතුවරයාගේ භාෂාව වඩාත් ම චමත්කාරජනක ය. එය සිනැමැටික් භාෂාවක් යැයි පැවසීම වඩාත් නිරවද්‍ය යැයි මා විශ්වාස කරන්නේ තීහාතා කියැවීම වරෙක සිනමා නිර්මාණයක් රසවිඳීමක් වැනි යැයි දැනෙනා බැවින් ය. එහි සඳහන් බොහෝ අවස්තා සිද්ධි මෙන් ම පුද්ගල චරිත ද චිත්තාභ්‍යන්තරික ස්වභාවයන් ද නිරූපණයෙහි කතුවරයා දක්වන භාෂා භාවිතය අපූරුය. බුහුටිය. වරෙක මෘදුය. වරෙක රළුය. එසේම වරෙක සියුම් ලෙස උත්ප්‍රාසාත්මක ව ගලා යයි.

ගීත් ගේ ආත්ම ස්වභාවයත් ඔහුගේ චිත්තයේ සැබෑ යථාවත් නිරූපණයෙහි දී ඔහු ඔහුව ම දකින ස්වභාවය වඩාත් උපහාසාත්මක ලෙස පාඨකාභිමුඛ වන්නේ කතුවරයා භාෂාව භාවිත කරන ස්වභාවය සමග ය. එය වෙහෙසකර බසක් නො වන අතර සියුම් සංකේතයන් ද බහුල ය.

අනෙක් අතට තීහාතා පැවැත්ම පිළිබඳ කෙරෙන දැක්වීමක් බැවින් ඒ හා බැඳුණු සංස්කෘතික ආයතන ද උපහාසයට ලක් කරන තැන් බහුල ය. එවන් අවසරයන් තුළ පවා භාෂාව දක්වන ප්‍රභලත්වය පැසසිය යුත්තක් ය.

මේ සියල්ල කැටිව නිරූපණය වන අපූර්ව කෘතියක් ලෙස තීහාතා වටහා ගත හැක්කේ එමගින් මනුෂ්‍ය චිත්තය ප්‍රේමය සහ රාගය වැනි විෂයන් හි දී මතුපිට ට පෙන්වන සැබෑව ද සේ ම අභ්‍යන්තරයේ සඟවා සිටින සැබෑව ද වඩාත් සෘජුව ම නිරූපණය වන බැවින් ය.

Top