ඉපැරණි ලෝකය දෙසට සිය අඬු දික් කර ඒ මැටි පිත්තල ලෝහ කැබලිවල අත්පා වැදෙන්නට සලස්වා ඒවා සලාං ගා බිම පෙරළා දමන, වටපිට බලා නිසි තැන දී ඊට ගල් බෝර වුව දමා පුපුරුවන, නව චක්‍රාවාට වෙත පියාඹන - කාල තරණය කරන ලෝකයක් වෙනුවෙන් බලාපොරොත්තුවෙන් බලා සිටින, ආයෙමත් හිටිගමන් පස්ස හැරී බලා මග නොනැවතී ඉදිරියට පිම්මේ දුවන, විල් දියේ පාවෙන පෙද පාසි එහා මෙහා කර වතුරේ සැබෑ ස්වභාවය පිරික්සා බලනා සේ - පය තියන පොළොව කැණ ඊ යට ඇති ස්ථර මොනවාදැයි විමසන්නා සේ පොදු මිනිස් සමාජ තත්වයන් දෙස බලා උඩින් උඩින් දෙපා තබා මඩින් මිදෙන, උපහාසයෙන් මදහාස නගන, එහෙත් ටික වෙලාවක් යද්දි තමාත් අයත්වන්නේ ඒ සමාජයට ම නොවේදැයි සිහි ඇතිව උපහාසය මුදුමොළොක් කර සුමටව පෙර දේ දෙසම වෙන ලෙසකින් නෙත් යොමන රචකයෙකි, රංගන ආරියදාස.
ඔහු ලියූ, 'මේ කාලයේ කිසිවෙකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත', කෙටිකතා එකතුව, අර කී පරණ ලෝකයත් අනාගත ලෝකයත් අතර පාඨකයාව දෝලනය කරන්නකි. ශිල්පීය ලකුණු සහිත කෙටිකතා, අවධානයෙන් ලියූ කතා, කෙටිකතා ලක්ෂණ ගැන නොසිතා ලියූ කතා මෙන් ම හදිසියෙ ලීවා යැයි සිතෙන, තවදුරටත් වර්ධනය කළ හැකි කෙටිකතාත් මෙහි ඇතුළත් ය. පළමු කතාව සහ අවසාන කතාව යන දෙක, එක ම රචකයාගේදැයි සිතිය නොහැකි තරම් ය. කාලය හා අවකාශය අතර පාඨකයාව ගෙනයමින් රචකයා කරන සියුම් ගනුදෙනුවක් මේවායේ ඇත. ගන්දබ්බ ආත්ම මෙන්, අභ්‍යවකාශයේ අතරමං වූ යානාවක ගගනගාමියෙකු මෙන්, පණ ගැහෙන යලි නිමෙන යමක් පොදුවේ මේ කතා අරක් ගනි.
කෘතියේ නමින් එන කෙටිකතාව, මාර්ටින් වික්‍රමසිංහගේ මුල්කාලීන කතාවල ඉන්නා 'අන්දො අයියා' වැනි චරිතයක් කතාව තුළට විත් කතාවක් කියන්න සේ, ප්‍රධාන කතාව ඇතුළට එන චරිතයක් අතුරු කතාවක් ඉදිරිපත් කරයි. ඉන්පසු, ප්‍රධාන කතාව, අතුරු කතාව බවට පත්ව, අතුරු කතාව, ප්‍රධාන කතාව වෙයි. රචකයා, විද්‍යාව සහ මිත්‍යාව, හැඟීම සහ බුද්ධිය, අලුත් ලෝකය සහ පරණ ලෝකය අතර පාඨකයාව සෙක්කුවේ බන්දා දුවවයි. මේ කෙටිකතාකරුවාගේ 'වට මාරු ක්‍රමය'ක් ඇත. යමක් ගැන ඔහු දරන අදහස අපට දැනගන්නට නොතියා, වටේ යවා අපව 'කන්ෆියුස්ඩ් උංගා බුංගා' කරයි. කෙසෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නෑයි කියා, කතාවසානයේදී ලිස්සා වට්ටවයි.
'අවසන් තරුණයා' කතාවේදී මහ පොළොව සෙල්ලම් බඩුවක් බවට රචකයා පත්කරයි. රචකයා නොව එය සෙල්ලම් බඩුවක් කර ඇත්තෙ, මෙහි ම වෙසෙන්නන් විසින්මයි. වියපත් මිනිසුන් නැති, තරුණ පිරිස පාලනය කරන රටක් එහි වෙයි. සැබෑවක් නොව සිහිනයකි. නැත, රචකයා එය සිහිනයක් නොව වෙළඳ දැන්වීමක් බව කියා ඔබට අන්තිමේදී ටොක්කක් අනී.
'පාරාදීසයේ උද්‍යානය', පිළිම බඳු මිනිසුන් ගැනය. කතා සංග්‍රහයේ එන පළමු කතාවෙන් හිරිවැටුණු - මිය ගිය - රූපාන්තරණය වූ මිනිසුන්, මේ කතාවේදී පිළිම ලෙසින් අපිට පෙනීම අරුමයකුත් නොවේ. යුද්ධයෙන් ඉතිරි කළේ එයයි. පිළිමයක් විදියට ඉන්නා පියෙක් කතාවසානයෙදී පුතාටත් පිළිමයක් ලෙස ඉන්න උගන්වන්නම් යැයි කියයි. මිනිසෙක් පිළිමයක් ලෙස දිවිගෙවීමේ හොඳ නරක දෙකම ඇත. එකක් නම්, සමාජය කියන කරන ඕනෑ දෙයකට රිද්දවා නොගෙන, ගණන් නොගෙන, ප්‍රතිචාර නොදක්වා සිටීමට හිත පාලනය කරගැනීමේ හැකියාව නොහොත් තමන්ගේ ලෝකයේ ජීවත්වීමේ සුඛය ලැබීම නමැති පිළිමයක් ලෙස හිඳීමයි. එය අවශ්‍ය දෙයකි. අනෙක් අතින්, අසාධාරණය හමුවේ, හෘද අසංවේදීව, නොදැක්කා සේ, හිතක් නැත්තා සේ හිඳීම නමැති ගල් පිළිම ස්වභාවයයි. එය අයුතු දෙයකි. ගරු සත්කාර ලැබීමේ අරමුණින් පිළිම වෙන මිනිසුන් ගැන වුව මේ කතාව කියවද්දී සිහිවෙනු ඇති.
රංගන, මේ කතාවලදී නිශ්චිත නිගමන ඉදිරිපත් නොකරයි. එබැවින් රචකයා ඉන්නේ අසවල් මාතෘකාව සම්බන්ධයෙන් කුමන පැත්තේද, ඔහු මේ දෙයට කැමතිද නැද්දයි කෙලින්ම පාඨකයාට සිතාගන්නට බැරිය. පැනයක් ඔබ ඉදිරියේ ඇත්නම්, ඊට පිළිතුරු මේවායි කියා පෙන්වා, 'ඔය ටික මදි නම් මෙන්න විකල්පත් තියෙනවා' කියා ඒවාත් ඉදිරිපත් කරන්නා සේ ය. ඔහු ලොව ගැන සිතන පතන දේ එකතැනකට ලඝු නොවෙයි. එබැවින් පාඨකයාට අමතර ගෙදර වැඩ පැවරෙන කතාවකි, 'දඩයමක අසම්පූර්ණ සටහන්'. මෙය නවකතාවක් දක්වා වර්ධනය කළ හැකි ලකුණු පෙන්වන්නකි.
අහසේ පාවෙන මකර සේනා, කිරිබත් පිසින ගෙවල්, අළු වැටුණු කිරිබත්, මිය ගියායින් පසු මකරු බවට හැරවුණු වීරයින්, මෑතකාලීන ඉතිහාසය දන්නා සියල්ලන්ට අර්ථ පෙන්නා දිය යුතු තැන් නොවේ. යෙව්ජිනි ෂ්වාට්ස්ගෙ මකරාගෙන් මතුවී එන මකරු, මේ මොහොත වෙද්දී 'මටත් මකරෙක් ඕනෑ'ලෙසින් මුහුණුපොතේ සුරතල් මකර පැටියෙක් ඉල්ලා සිටින ගෑනු ළමුන් ඉලක්ක කරගත් පෝස්ට් දක්වා පැමිණ ඇත. ඒ 'මකර ආස්ථානය' දැන් ඇත්තේ කොහිද? ඔලු තුනේ මකරා මරා දැමූ වීරවරු ආයෙම මකරු වෙන වර්තමානයකි මේ. කිරිබත් පිසුණු දෑතින් ම, ඊළඟ පාලකයනුත් පත්කෙරෙන රටකි මේ. මෙතැනින් එහාට කියවීම ඔබට ය. මේ කතාවේ ආඛ්‍යාන රටාව ආකර්ෂණීය එකකි. කෙටි චිත්‍රපටයක් මෙනි. චරිත නිරූපණය ඇඟට පතට නොදැනීම සිදුවෙයි. සිද්ධි එක් තැනකට සීමා නොකරගෙන, විදාහැර, යුතු පරිදි ලංකාවේ සමාජ, දේශපාලන, කුදුමහත් පදාස යුතු යුතු තැනින් ගෙන නිමවන ලද්දකි. නොනිමි ගැටලුවකට කරන ඇමතුමකි. කතා සංග්‍රහයේ සාධනීය ම කතාවත් මෙය බව මගේ අදහසයි.