post-title

(පංකි මනාලි නවකතාව පිළිබඳ විචාරාත්මක විමසුමක්)

පංකි මනාලි වනාහී වේගයෙන් යන බස් රථයක් වැන්න. එහි පිටු පෙරළෙන්නේ ජීවිතයේ එක් එක් පරිච්ඡේද වේගයෙන් ගෙවා දමමිනි. මෙසේ වේගයෙන් ඉදිරියට ගලා යන කතාව, අවැසි අවස්ථාවල ඉසිඹුලමින් අතීත කතා මතුකරන්නට නැවත වේගයෙන් පිටුපසට ගොස් අනතුරු ව නැවත වර්තමානය සමග සම්බන්ධ වෙයි. එහි දී පාඨකයා සිහියෙන් නවකතාව කියවා තිබීම නවකතාව හසුවීමට හේතුවකි. මේ නවකතාවෙහි හමු වන ඇතැම් වචන නවකතාවෙහි සම්පූර්ණ අර්ථය හකුළුවා දක්වයි. එවැනි වචනයක් මඟ හැරුණ හොත් පාඨකයා කතාවෙහි අතරමං වෙයි. රට පටලවා ගනී. 

කතාව ගලන වේගයට පාඨකයා හුරු වුවහොත් පාඨකයාට හුදු කතාවක් මිස කතාව යටින් දිවෙන රසාර්ථ, ගැඹුරු සමාජමය කතිකා මග හැරිය හැකි තරම් වේගයකින් කතාව තම නිෂ්ටාව සොයා ගලයි. එනිසා පළමු ව යෝජනා කරමි. නවකතාවේ වේගයට පාඨකයා හුරු නො වී, ඉවසීමෙන් කියවිය යුතු නව කතාවකි.

නමුත් ඔබට එවැනි ඉවසීමක් ප්‍රගුණ කිරීම පහසු නො වේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මීටඇබ්බැහි වන සුළු ය. කතාවේ මුල සිට අග දක්වා ම රඳවා තබන කුතුහලය පාඨක ඉවසීමේ අක්මුල් සිඳ දමයි. කොයි අතට පෙරළේ දැයි නො දත් කඳු මුදුනක ඇති විශාල ගලකට සමාන කරන නාට්‍යයක එන ගැටුම මේ නවකතාවට ද එක සේ අදාළ ය.

පරිකල්පනාත්මක ඉසව් අතර ඇවිදින නවකතාව

මහාචාර්ය සරත් විජේසූරිය මහතා දුර දුවන මිනිස්සු සංවාදශීලී කතිකාවට නොබෝදා එක් ව මතු කළ අර්නස්ට් හෙමිංවේගේ ප්‍රකාශය මෙහිලා මූලික ව අපට සිහිපත් වන්නේ නිතැතිනි.

සෑම පුද්ගලයකුට ම එක් නවකතාවක් ලිවිය හැකි ය. ඒ තමා ගේ කතාවයි. ඔහුට තවත් එක කතාවක් ලිවිය හැකි ය. එය ඔහු ආශ්‍රය නිශ්‍රය කරන සමාජ වටපිටාවේ ඇති කතාව යි. නමුත් ඔහු වඩාත් සාර්ථක වන්නේ තෙවැනි නවකතාව ලියන කල ය. එනම් එය ඔහු නිර්මාණය කරන පරිකල්පනාත්මක නවකතාව යි. සුසන්ත දන්දෙණිය මේ ලියන්නේ එවැනි පරිකල්පනාත්මක නවකතාවක් බව එය කියවන කාහට වුව ද පැහැදිලි වේ. එය ඔහු ප්‍රතිභාපූර්ණ නවකතා කලාවක ස්පර්ශයට පත් ව ඇති බවට කරන ඇඟවීමක් වැන්න.

පංකි මනාලි නවකථාව රැඳෙන දාර්ශනික ඉසව්

සාන්දෘෂ්ටිකවාදී ඉසව්

ඇතැමෙකුට මෙය සාංදෘෂ්ටිකවාදී නවකතාවක් ලෙස හඳුනාගත හැකි ය. එහි ඇති වරදක් නැත. සාංදෘෂ්ටිකවාදය වනාහී ජීවිතයේ අර්ථය, ගුප්ත බව හා අපූර්වත්වය ප්‍රතිනිර්මාණය කරන සාහිත්‍යමය කතිකාවකි. මෙය ද එවැනි ලක්ෂණවලින් අනූන ය. එහිලා උපයුක්ත ජීවිතය පිළිබඳ පැනෙන ගැඹුරු විවරණ මෙහි ද දක්නට ලැබේ. ජීවිතයෙහි ඇති බාහිර සාටෝපය රචකයා විස්තර කරන්නේ මෙසේ ය.

දෙතැනක හැදුණු ශරීර කූඩු දෙකක් පෝරුවක් උඩ තියා, කෘත්‍රීම වහලයක් යට සවි නැති නූලකින් බැඳීම, ආයේ ජීවිත අරගල දිහා කිසිදා හැරී නො බලන නෑදෑ පිරිසකගේ අව්‍යාජ යයි අඟවන ව්‍යාජ සුබපැතුම් හා සිනා මැද, තේරුම හරිහැටි නො දත් අෂ්ඨක ගායනා, ඇනවුම් කළ මඟුල් බෙර හඬින්, දෑත බදා පළන පොල් ගෙඩියේ සලකුණට දකුණු පා පෙරට තැබුවාට, අප කාලය ගෙවෙද්දී පාද තැබුවේ එකිනෙකාට ප්‍රතිවිරුද්ධ දිශාවකට නො වේ දැයි නේරංජනාට සිතුණා...

නේරංජනා සිරගත වූ පසු ජීවිතය දකින ආකාරය වඩාත් පරිණත ය.

මේ අපි ඉන්නේ එක ම අහසක් යට, ඒකෙන් ඊළඟ තත්පරේ ගැනවත් පහුවෙච්ච තත්පරේවත් ජීවත් නො වෙන්න මම උත්සාහ කරමින් ඉන්නේ. එනිසා මට තේරෙන්නෙ නෑ දුකක් ද පසුතැවීමක් ද?

එහි දී මාධ්‍යවේදිනිය අසන ඔබට ජීවිතේ මගහැරුනේ මොනවා ද යන ප්‍රශ්නයට ඇය දෙන පිළිතුර වඩාත් අපූරු ය. එමෙන් ම කෙටි ය. නමුත් එය අපට කියන කතාව එතරම් කෙටි නැත.

ඇය ඊට දුන් පිළිතුර ජීවිතය යන්නයි.

ආන්ද්‍රයාගේ ජීවිතය කිසියම් ආකාරයකට බුදු දහමින් පෝෂණය වූ, ජීවිතය පිළිබඳ ගැඹුරින් විමසා බලන චරිතයක් සේ මෙහි නිරූපිත ය. එය කිසියම් ආකාරයකට අපට මළගිය ඇත්තෝ, විරාගය යන නවකතා ඇසුරෙහි සෙවණැලි සිහියට නඟයි. නමුත් මෙහි ඇති විශේෂත්වය මේ චරිතය නිෂ්ක්‍රීය චරිතයක් ලෙස කතාවෙන් සමු නො ගැනීම යි. ඊට හේතුව ඩෙසිකාගේ ඇති ප්‍රගතිශීලී බව යි. ඇගේ චරිතයෙන් අපට දනොරිකෝ සං මතකයට නැගීම නො වැළැක්විය හැකි ය. ඇය එසේ ප්‍රගතිශීලී නො වී නම් මේ කතාව මීට වෙනස් ව හෙවත් ආත්ම පරාජිත චරිතයක් ලෙස ම කතාවෙන් සමු ගැනීමට ඉඩ තිබිණි.

ආන්ද්‍රයාගේ ජීවිතය පිළිබඳ දුර්මුඛ හැඟීම් විවරණ කරන අවස්ථා බොහෝ ප්‍රමාණයක් මෙහි දී අපට හමු වේ. එයින් කීපයක් මෙසේ ය.

මේ ගැන ඇන්ජලා සමග කතා කිරීම තමාගේ පෞරුෂයටත්, ඇගේ ආත්ම ගෞරවයටත් හොඳ මදි. එසේ නම් කළ යුත්තේ කුමක්ද? නෑ මන් ඩෙසිකා එක්ක ම කතා කරලා ඕන එයා ගැන දැනගන්න. මගේ ජීවිත කතාව එයාට දැනගන්න මම කියන්න ඕන. එයාට පුළුවන් වෙයිද මාව තේරුම් ගන්න?

ආන්ද්‍රයා ආපසු හැරී එද්දී දුටුවේ දඟකාර කෙළිලොල් තරුණ පිරිසක් විනෝද චාරිකාවකට පැමිණි සේ සිනහවෙමින් සැහැල්ලුවෙන් හැසිරෙන තම පිරිස, හ්ම්ම්ම්... ඔය ලබනුයේත් තාවකාලික සැහැල්ලුවක්...

ජීවිතය පිළිබඳ ඔහුට ඇති මේ අවිනිශ්චිත බව, කලකිරුණු ස්වභාවය කතාවේ අවසාන සමයේ දැඩි ව දක්නට ලැබෙයි. ජීවිතය වනාහි අප විසින් ගෙවිය යුතු වන්දියක් ද? එනම් අප මෙහි එන්නේ කිසියම් කාර්යභාරයක් නිම කිරීමට හා එකී කාර්යභාරය නිම කළ පසු දිවියෙන් සමු ගැනීමට ද යන දාර්ශනික පැනය ද මෙහි දී රචකයා මතු කරයි.

ජීවිතයේ දෙද්දී ම අපට නිමකර යාමට වගකීම් හා යුතුකම් දෙන අතර උත්තර සැපයීමට දෙන ප්‍රශ්න පත්‍රය ද අන්ද්‍රයා අවබෝධයෙන් තේරුම් ගනිමින් සිටියා.

මනෝවිශ්ලේෂණවාදී ඉසව්

අනෙක් අතට මෙය මනෝවිශ්ලේෂණවාදී ව කියවිය හැකි නවකතාවකි. නේරංජනාගේ දුවගේ හැසිරීම ඒ සඳහා මනා උදාහරණයක් සේ සැලකිය හැකි ය. ඇය තම පියා ව ඉල්ලා සිටින අතර, තම මව ව ප්‍රතික්ෂේප කරයි. එසේ ම පසු කලෙක නේරංජනා ද තම දුවට සලකන්නේ එතරම් යහපත් දෙමාපියභාවයකින් නො වේ. කතාවෙදී රචකයා සිතාමතා ම නේරංජනා සහ ඇගේ දුව (මව සහ දුව) හා අන්තෝනියෝ රකොනෙල්ලි හා ඔහුගේ පුතු (පියා සහ පුතා) තනි කරන්නේ ෆ්‍රොයිඩියානු මතය ගුරුකරගත් ගැටුමක් තම කතාවෙහි සැකසීමේ අරමුණින් විය හැකි ය.

අන්ද්‍රයා උදාසීන චරිත ලක්ෂණ දරන්නේත්, ආදරේට කල් පහු කරන්නේත්, ලිංගිකත්වය සඳහා උනන්දු නොවන්නේත්, බුදුදහමට දැඩි ව ඇලුම් කරන්නේත්, යෝග වැනි ක්‍රියාකාරකම් හරහා තමාගේ කායික හා මානසික සමතුලිතතාව පවත්වා ගැනීම පිණිස මෙතරම් උනන්දු වන්නේත් ඇයි යන පැනය සක්‍රීය පාඨකයෙකු වෙත ඇතිවීම නො වැළැක්විය හැකි ය. අප ඊට යෝජනා කරන පිළිතුර ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණවාදය සමග සෘජුව ම සම්බන්ධ වන්නකි. එනම් ඔහු කිසියම් මානසික අවරෝධනයකින් සිටි බව යි. ඒ කවරදා කෙසේ සිදු වූවක් ද යන්න නවකතාව ඇසුරෙන් ම අපට එළිපෙහෙළි කරගත හැකි ය.

තම මව පියුමාල් සමග සංවාසයේ යෙදී සිටිනු දකින කුඩා අන්ද්‍රයා එය වටහා ගන්නේ තම මවට කරදර කිරීමක් ලෙස ය. ඔහු එහි දී ගන්නා වැරදි තීරණය ඔහුගේ කුඩා මනසට තදින් බලපාන්නට ඇත. මේ අවිඥානගත පීඩනය ඔහුගේ ජීවිතය පුරා ම පැතිරී යාම පුදුමයක් නො වේ. විශේෂ නො ව කතාව අවසාන භාගයේ වන්දි ගෙවීම සඳහා ගන්නා උත්සාහය මේ කරුණ වඩාත් ඉස්මතු කරයි. අන්ද්‍රයා තම මව සෙවීමට ගන්නා උත්සාහය, තරින්දා යහපත් ගැහැණියක කර විවාහ කර ගැනීමට සිතීම, යුරෝපයෙන් පළායාම, සමාජ වැඩ කෙරෙහි වඩ වඩාත් නැඹුරු වීම මේ සඳහා වන්දි ගෙවීමකැයි කියමින් මෙහි දී ගොඩනගන ප්‍රවාදය කතාවේ සාරයට හානියක් නො කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

මානුෂවාදී ඉසව්

මෙහි ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය යන සංකල්පයෙන් කියැවිය හැකි අවස්ථා කිහිපයක් අපට හමු වෙයි. එනම් මාස්ලෝ කීවේ අපගේ ආහාර, ඇඳුම්, පැළඳුම් වැනි මූලික අවශ්‍යතා සංතෘප්ත වූ පසු ව ආදරය, ආත්ම සම්මානය ආදිය සඳහා මිනිසා නිසඟයෙන් ම පෙළඹෙන බව යි. ඒ සදහා අපට කදිම නිදසුන් සපයන්නේ නර්මදාගේ චරිතය යි. ඇය ශ්‍රී ලාංකික කාන්තාවකි. ඇය ළමා කාලයේ සිට තරුණවිය දක්වා ජීවත් වන්නේ අපරාධ සහිත දරිද්‍ර පවුල් පසුබිමක යි. එය නේරංජනා සහ නර්මදා අතර සිදුවන සංවාදවල දී ඔවුන් දෙදෙනා අතර භාවිත භාෂාවෙන් සහ තොරතුරුවලින් මනා ව පෙන්නුම් කරයි. ඇය ඉතාලියට පැමිණි පසු කිසියම් සමාජ තත්ත්වයක් අත්පත් කරගන්නේ අන්තෝනියෝ සමග සිදු වූ විවාහයෙන් පසු ව යි. එබැවින් දැන් ඇයට ආදරය හා ආත්ම සම්මානය වැනි අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමට ඉඩක් ඇත. ඇය පියුමාල් සමග පෙමින් බැඳෙන්නේ මේ තත්ත්වය හේතුකොටගෙන විය හැකි ය. විශේෂයෙන් ම තමාට මෙම මිනීමැරුමෙන් මීට වඩා ලිහිල් දඬුවමක් ලබා ගැනීමට ඉඩ තිබුණු නමුත් ඇය කැමැත්තෙන්ම මේ දීර්ඝ සිර දඬුවම භාරගන්නේ තමා අනාචාරයේ හැසුරුණු බව හෙළිවීම පිළිබඳ අගෞරවයෙන් වැළකෙනු පිණිස ය. යථෝක්ත කරුණු සලකා බලන කල සංකීර්ණ මනුෂ්‍ය හැඟීම් විවරණය කිරීමට කතාකරුවා ගන්නා මේ උත්සාහය ප්‍රශංසනීය බව නො කියා නො හැකි ය.

ආචාරධාර්මික ඉසව්

එසේ ම මෙය ආචාර විද්‍යාත්මක ව ද සලකා බැලිය යුතු නවකතාවකි. විශේෂයෙන් ම එක් එක් සංස්කෘතියෙහි ඇති ආචාරධර්ම එකිනෙකට සාපේක්ෂ ව අර්ථ විවරණය වන ආකාරය පිළිබඳ අපූරු දෘශ්‍ය මානයක් පාඨකයා වෙත සපයයි. එමෙන් ම මෙහි දී නර්මදා සහ මාධ්‍යවේදිනියගේ හමුවීම අපට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආචාරධර්මවල ගුණාත්මකභාවය පිළිබඳ දෙවරක් සිතා බැලීමට ආරාධනා කරයි.

ස්ත්‍රීවාදී ඉසව්

මෙහි ස්ත්‍රීවාදී ප්‍රවේශය ද ගැබ් වන්නේ ඊට ම අනන්‍ය ආකෘතියකිනි. එය ස්ත්‍රීවාදය පිළිබඳ හුදු සාම්ප්‍රදායික අර්ථකථනයෙන් ඔබ්බෙහි කරන විවරණයකි. නර්මදා සිරගත වූ පසු ඇය අන්තෝනියෝට කරන ප්‍රකාශය ඇගේ පෞරුෂය ඉස්මතු කරන සුළු ය.

අන්තෝනියෝ මට හිත හදාගන්න ඕන. නැත්නම් මේක ඇතුළේ ඉන්න බැරි වෙනවා. ඔයත් පුළුවන් තරම් නෑවිත් ඉන්න බලන්න. දැන් ඔයා සම්පූර්ණයෙන් ම නිදහස්නෙ. මේ ලෝකෙට වටින අදහස් තව ලියන්න. මගේ කතාවත් මම ලියන්න උත්සාහ කරනවා...

මේ කොතරම් අභීත ප්‍රකාශයක් ද? ජීවිතයට මුහුණ දීමට දරන තැත නො වේ ද?

එමෙන් ම ආන්ද්‍රයා තම මිතුරා සමඟ චිත්‍රපටය බැලීමට ගොස් ලේ දකිනු නො හැකි ව නැගිට එන අවස්ථාවේ දී ඔහු කෙල්ලෙකුටත් වඩා අන්ත බව කියමින් මිතුරා චෝදනා කරයි. ඊට ඔහු දෙන පිළිතුර සමස්ත පුරුෂාධිපත්‍ය කෙරෙහි වදින කනේ පහරකි.

මං දන්නෑ. මම කෙල්ලෝ ආස්සරෙත් අඩුනේ. ඒ අය ගැන දන්නෑ. මම කැමති නෑ. එච්චරයි.

විසංයෝජනීය කියැවීම්

එසේ ම චරිතවල ම ඇති ස්වයං විසංවාදී ලක්ෂණ විසංයෝජනය කිරීමට රචකයා ගත් උත්සාහය පශ්චාත් නූතනවාදී ආභාසය වඩාත් ප්‍රකට කරයි.

අන්තෝනියෝ නර්මදා බැලීමට සිරගෙදරට ගොස් ඇය සමග කතා කර නැවත පැමිණෙන්නට තනන අවස්ථාවේ දී පරාජිත බොළඳ පෙම්වතකුගේ ජවනිකාවක් මැවෙන්නට කලින් එතනින් ඇය ගිය එක හොඳ යැයි කල්පනා කරයි. මෙය ඔහුගේ චරිතය ඔහුගෙන් ම ප්‍රශ්න කිරීමකි. ඔහු නවකතා ලියන්නෙකි. එනම් ප්‍රේම ජවනිකා මගින් පාඨකයා පිනවන්නෙකි. බොළඳ පෙම් හැඟුම් පවා පණ පොවා ඉදිරිපත් කරන්නෙකි. එනම් නවකතාවෙහිලා ඔහු ඒවා අනුමත කරයි. නමුත් ප්‍රායෝගික ජීවිතයේ දී?

තමා ව දන්නා අය සිටියත් රුවින් දන්නා නො සිටීම පිළිබඳ ව ඔහු එහි දී සතුටට පත්වෙයි. ජීවිතයේ මේ ව්‍යාජය යථෝක්ත නවකතාවෙන් සියුම් ව ප්‍රශ්න කෙරේ.

භාෂා භාවිතයේ අපූරු අල්ලා ගැනීම්

නවකතාවේ එන භාෂා භාවිතය ගැන ද යමක් නො කියා නො හැකි ය. එය අපූරු අල්ලා ගැනීම් සහිත ය. විශේෂයෙන් ම ප්‍රේම ජවනිකා විස්තර කිරීමේ දී මනෝ චිත්‍ර මවන භාෂා නිරූපණයක පහස රචකයා අපට උරුම කරයි.

මාරුවෙන් මාරුවට එළියේ නො දරන්න දෙදෙනාගේ ම දෙතොල් පරිස්සම් වුණා වගේ අතොරක් නැති ව සිප ගන්නා අතරේ සිනිඳු කලවා දිගේ සෙමෙන් සෙමෙන් ඉහළට ඇදුණු දෙඅතට නිතඹ මිරිකී තෙරපුණා. පිස්සුවෙන් වගේ සිප ගත් ළමැද අයට සිහින් කෙඳිරිල්ලකට මග කිව්වා..

ඉන්පසු වර්ණනාතික්‍රාන්ත මෙම සිදුවීම ගැන ඉතිරිය පාඨකයාට ම කියවා ගන්නට දෙන්නේ මෙසේ යි.

... තුරුල් ව ගෑවෙමින් බැල්කනියෙන් ගේ තුළට යන අතරමග ද නැවතුම් බොහෝ තිබුණා...

අන්තෝනියෝ නේරංජනා වෙතින් උපක්‍රමශීලී ව නර්මදා පිළිබඳ තරහවක් ඇත්දැයි විමසීම ඉතා අපූරු අවස්ථාවක්. ඒ සඳහා ඔහු යොදන්නේ අර්ධ වාක්‍යයක්.

ඔයා හොඳ ම යාළුවා නර්මදාගෙ?

ඇතැම් සංවාදශීලී භාෂා භාවිතයන් සමකාලීන යෞවන යෞවනියන්ගේ ප්‍රකෘති කථන ය. එනිසා ඒවා ජීව ගුණයෙන් අනූන ය.

මොකද කල්පනාව. කිඹුල්ලු නෑ පනින්න.

ඔව්.. දන්නවා. එක කිඹුලියක් ඉන්නවා.

ආ එහෙමද හිතන් ඉන්නේ. ගිලිනවා බැස්සොත්..

කතාව ආරම්භ වන්නේ නිදහසේ හුස්ම ගැනීමට මිනිසුන් පැමිණෙන උතුරු මිලානෝ උද්‍යානයේ අවසන් හුස්ම යවා මිනිසෙකු මරා දැමීමෙනි. එහි ම කියැවෙන පරිදි මේ කථාවෙහි නිහඬ සාක්කිකරුවන් එහි තිබූ ගස් පමණ ය. 

මේ ප්‍රවේශය කතාවෙහි රචකයාට ඕනෑ ම ආකාරයකට කතාව හැසිරවීමෙහි ලා සපයන අනුබලය ඉමහත් ය. එමෙන් ම කතාව පුරා දක්නට ලැබෙන සිදුවීම් එකිනෙකට පරස්පර නො වන අපූරු පූර්වාපර සන්ධි ගැළපීමක් සහිත මිටකට ගොනු වූ සිදුවීම් ය. 

කතාව අවසාන වන්නේ ආන්ද්‍රයා පිළිබඳ අනාගත බියක් අපගේ සිත තුළ ජනිත කරමිනි. එය කිසියම් ආකාරයකට කතාවෙහි චරිත සාධාරණය කිරීම සඳහා අපූරු ප්‍රවේශයකි. මෙහි එන සියලු චරිත කළු හා සුදු චරිත ලක්ෂණ දරන චරිත ය. සමාජයෙහි තථ්‍ය චරිත මෙවැනි සංකීර්ණ ලක්ෂණ දරනවා මිස සම්පූර්ණ සුදු හෝ කළු ලක්ෂණ දරන පැතලි චරිත නො වේ. එබැවින් මේ අතිශය යථාර්ථවාදී හා තාර්කික කතාවකට සුදුසු චරිත තෝරා ගැනීමකි. කතාව අවසන ආන්ද්‍රයාට ලැබෙන තර්ජනය ඇතැමෙකුට දුඛාන්තයක් ලෙස නිර්වචනය කළ හැකි වුවත්, එය කිසියම් ආකාරයකට මිනීමරුවෙක් සාධාරණීයකරණය කිරීමෙන් වැළකීමක් බව අප අමතක නො කළ යුතු ය. මන්ද සමාජයට නිර්මාණයකින් නරුමයෙක් දායාද කළ යුතු නැති නිසා ය. මෙහි දී අප මතු කරන්නේ ජැක්සන් ඇන්තනී රඟපෑ ධර්ම යුද්ධය චිත්‍රපටය ආදී නිර්මාණ සම්බන්ධ ව පැන නැගුණු ප්‍රවේශය යි. කවර හේතුවක් නිසා හෝ පසුතැවීමකින් තොර මිනීමරුවෙකුට සමාජයෙහි ලැබෙන ඉඩ යහපත් නැත.

පංකි මනාලි වනාහී සමාජයේ කතිකාවට ලක් විය යුතු, විචාරකයන්ගේ නොමද අවධානය ලැබිය යුතු කෘති අතර ඉදිරියෙන් ම පවතින කෘතියක් බව කියන්නේ යථෝක්ත කරුණු සලකා බලමිනි.

Top