හෘද සාක්ෂිය අවදි කළ ‘භේරුණ්ඩ කැදැල්ල’ (319)

post-title

මගේ කියවීමට යටත්ව නම් රූපා ශ්‍රියානි ඒකනායක යනු සිය කෘති තුළ සිටින චරිතවල හෘද අභ්‍යන්තරයට මෙන් ම මනස අභ්‍යන්තරයට ද රිංගා ඔවුන්ගේ හැඟීම් දැනීම් ඉතා මනරම් ආකාරයෙන් අකුරු කරන ලේඛිකාවකි. මවිසින් කියවා රස විඳින ලද, ඒ විඳීම පාඨක ප්‍රජාව සමග බෙදාගන්නා ලද ‘සිටුවර පුවත’ සහ ‘බැද්දේ කුලවමිය’ නමැති සාහිත ප්‍රබන්ධ ද්විත්වයේ ම යට කී ලක්ෂණ නොඅඩුව ම පැවතුණි. 

2020 වසරේ දී ඇය විසින් රචිත ‘භේරුණ්ඩ කැදැල්ල’ නමැති සාහිත ප්‍රබන්ධය ද එබඳු කෘතියකි. මෙවර ද ඇය හුදු කතන්දර කලාව අභිභවමින් ‘නවකතාවක්’ පාඨක සමූහයා වෙත ඉදිරිපත් කර ඇත. ඉතා සීමිත වපසරියක් තුළ පාඨක ප්‍රජාව රඳවාගනිමින් වුව ද මිනිස් ජීවිතයේ පවත්නා බොහෝ භෞතික සහ අධ්‍යාත්මික ඝට්ටන ඔවුන් ඉදිරියේ විදාරණය කරමින්, ඒ සියල්ල ඔවුන්ගේ චිත්තභ්‍යන්තරයට එන්නත් කරන්නට ඇය සමත්වන්නී ය. ඒ සඳහා ඇය භාවිත කර ඇති කතා තේමාව ද නැවුම් ය, චරිත විකාශනය ද නැවුම් ය; ඒ සියල්ල හෘද සංවේදී ය; එකෙකු පරයා අනෙකා නැගී සිටින්නේ ප්‍රධාන කථකයා දැලක් තුළට කොටු කරගන්නා සේ ය; ප්‍රධාන චරිතයට නම් ගැලවීමක් නම් නැත්තේ ම ය. මන් ද ඔහු බුද්ධිමය දේපළ සොරෙකු වුව ද තම හෘද සාක්ෂියට වග කියන්නෙකි; අවංක වන්නෙකි. ඒ අවංකත්වය ඔහු පසුපස ලුහුබඳින්නේ වෙඩි පහර ලද සූකරයකු ලෙසිනි. 

‘වැරැදි කිරීම මිනිස් ගතියකි’ ය සහ ‘වැරදිකරුවාට හෝ වැරැදිකාරියට සමාව ලබා දීම දේව ගතියකි’ ය යනුවෙන් සමාජ සංකල්පයක් පවතී. ‘භේරුණ්ඩ කැදැල්ල’ කෘතියේ බහුතරය ද මේ දෙපාර්ශ්වය ම නියෝජනය කරන්නෝ වෙති. ඔවුහු එසේ හැසිරෙන්නේ හුදු ආත්මාර්ථය උදෙසා ය; ආත්මාභිලාෂ සාක්ෂාත් කරගැනීම උදෙසා ය. එබැවින් එකී ක්‍රියාපටිපාටිය වැරැදි නම් මෙහි එන චරිත සියල්ලෝ ම වැරැදිකරුවෝ ය. නිවැරැදි නම් ඒ සියල්ලෝ ම නිවැරැදිකරුවෝ ය. මන් ද ඔවුන් සියලු දෙනාට ම තම නිවැරැදිභාවය ප්‍රත්‍යක්ෂ කරනු වස් හේතු පවතී. අවසන ඉතිරිව පවත්නේ ඵලය යි. ඵලය වැලඳගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සියලු දෙනාගේ ම පුද්ගලික අයිතියක් වුව ද එය උදෙසා කිසිවකු කිසිවකුට දොස් පැවරිය හැකි වටපිටාවක් නොපවතී. සියල්ලන්ට ම ඔවුනොවුන් අදාළ වැරැද්දේ වැරැදිකරුවා හෝ වැරැදිකාරිය වීමට අනෙකා බලපෑ ආකාරය පිළිබඳ සාධකයක් පවතී. ඉදින් සියල්ලෝ ම එකී සාධකය තම නිදහස උදෙසා භාවිත කරන්නට පෙලඹෙති.

කලාකරුවා යනු හුදෙකලා පුද්ගලයෙකු නොවන හෙයින් ම ඔවුන්ගේ කුටුම්බ තුළ පවත්නා ආරවුල් බොහෝ විට ප්‍රසිද්ධියට පත්වේ. අනෙකා නිරන්තරයෙන් ඔවුන්ගේ කුටුම්බය දෙස අවධානයෙන් සිටිති. ඒ අවධානය හේතුවෙන් ම අවස්ථාවාදීහු එවන් කුටුම්බ තුළට රිංගා තම අවශ්‍යතා සපුරා ගනිති. ‘භේරුණ්ඩ කැදැල්ල’ කෘතියේ සිටින රවින්ද ද එවැන්නෙකි.

අනෙක් පසින් කිසියම් බිරිඳක හෝ සැමියෙකු තම සැමියාගෙන් හෝ බිරිඳගෙන් නොලැබෙන යමක් අනෙකෙකු වෙතින් ලබාගත හැකි යැයි යන උපකල්පනය මත වෙනෙකෙකුට ආදරය කරයි. එසේ ආදරය කරන ඇතැමෙකුගේ ආදරය හුදු ලිංගික සන්තර්පණය හෝ වෙනත් වාසි සහගත දැ සඳහා ම පමණක් කරන රැවටිල්ලක් වන අතර ඇතැම් පුද්ගලයෙක් අනෙකා කෙරෙහි අවංකව ම ආදරයක් දක්වයි. එය ආත්මීය බැඳිමක් යැයි ඔවුනොවුන් ම හඳුන්වා දෙති. නමුදු එය සත්‍යයක් ද? ප්‍රබන්ධ කෘතියේ දී මෙන් ම සැබෑ ජීවිතයේ දී ද එය අසත්‍යයකි; මායාවකි; මංමුළා වීමකි. 

‘භේරුණ්ඩ කැදැල්ල’ කෘතියේ සිටින නාමලී සහ උපනුවන් අතර ආත්මීය බැඳීමක් පැවතිය ද ඇය අනෙකෙකු වෙතින් ගැබ් ගන්නී ය. ඒ වරදට වන්දි ගෙවීමට සිදුවන්නේ උපනුවන්ට ය. උපනුවන් සිය බිරිදගෙන් නොලද කිසියම් භෞතික හෝ අධ්‍යාත්මික තෘප්තියක් නාමලී වෙතින් බලාපොරොත්තු වුවා නම් ඇය ද උපනුවන්ගේ එකී බලාපොරොත්තුව සඵල කරන්නියක වුවා නම් ඇය වෙනත් පිරිමියෙකු වෙතින් ගැබ් ගන්නේ කෙසේ ද? 

උපනුවන්ගේ බිරිඳ වන සුරම්‍යාට සිය සැමියාගේ අධ්‍යාත්මය නිවැරැදිව අවබෝධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ඇය අනෙකෙකුගේ ආදරය පතන්නීය; උපනුවන්ගේ ශිෂ්‍යයකු සමග ම සබඳතාවක පැටලෙන්නී ය. නමුදු රවින්ද නම් වන ඔහු වුව ද සුරම්‍යාට අවංකව ම ආදරය කළේ ද? නැත... ඔහුට වුවමනා වූයේ උපනුවන්ගේ ලිපිලේඛන සියල්ල ඔහුගේම බිරිඳ වෙතින් තමා වෙත ගෙන්වාගෙන එකී ලියකියවිලි, පර්යේෂණ පත්‍රිකා තමාගේ නමෙන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරමින් ඔහුගේ අනාගත ගමන් මග සකසා ගැනීම ය. 

තවත් පසෙකින් ගත් විට වරුණ හේමපාල නමැති ගත් කුවරයාගේ බිරිඳ වන සුලාරි සිය සැමියා හැර යන්නී ය. එසේ ගිය ඇයට ජීවිතයේ සැනසුම ලැබුණේ ද...? නැත... අවසන ඇයට සිදුවන්නේ තම දෙවන විවාහයේ පුරුෂයාගෙන් පළමු විවාහයේ දියණිය බේරාගැනීමට ය. ඒ සඳහා ඇය පිහිට පතන්නී සිය පළමු විවාහයේ සැමියාගේ (නීත්‍යනුකුල නොවන) වර්තමාන බිරිඳ වෙතිනි. මේ සියලු දුක්ඛ දොම්නස්සයෝ ඉවසා වදාරා සිටින්නට සිදුවන්නේ වරුණට ය. මෙම ප්‍රබන්ධය තුළ වඩාත් පීඩක චරිතය බවට පත්ව සිටින්නේ වරුණ ය. මන් ද ඔහු හිතාමතා ම කළ බුද්ධිමය සොරකම කෘතිය ආරම්භයේ සිට අවසානය දක්වා ම ඔහු පසුපස ලුහුබඳින්නේ ය. බෞද්ධ ආගමික පසුබිම මත පිහිටා මෙම කෘතිය විග්‍රහ කරන්නෙකුට එකී සිදුවීම් මාලාව යනු ‘දිට්ඨධම්ම වේදනීය කර්මය’ යැයි විග්‍රහ කළ හැකි ය. එය එසේ වුව ද නොවූව ද ‘අබ කෑ මිනිසාගේ මොළය දනවා’ සේ වරුණට සිදුව පවත්නේ නිරන්තරයෙන් ම තම හෘද සාක්ෂියට පිටුපෑමේ නොහැකියාව ය. මට සිහිපත් වූයේ මෙරට සිටින දේශපාලක හොරුන්ගේ හෘද සාක්ෂිය මෙසේ අවදිකරලිය හැකි නම් කෙතරම් අගනේ ද යන්න ය.

පෙර සඳහන් කළා සේ මෙහි සෑම චරිතයකට ම තම වැරැද්ද නිවැරැදි කරගැනීමේ පසුබිම සැකසී ඇති අන්දම වරුණගේ දියණිය වන මදුමතී සිය ග්‍රහණයට නතු කරගන්නා කසුන්ත නම් විවාහක දෙදරු පියාගේ භූමිකාව කදිම නිදසුනකි.

ඔහු මදුමතී සිය ග්‍රහණයට නතුකරගත් පසු ඇගේ පහසට ලොල්ව ඇය වරදට පෙලඹවීමට යත්න දරන්නේ වර්ණගේ සාහිත්‍ය ලියවිලි දඩමීමා කරගනිමිනි. සැබැවින් ම ඔහු සිය ආත්මාර්ථය උදෙසා භාවිතයට ගන්නේ වරුණගේ නමින් ප්‍රකාශයට පත්වුව ද ඔහුගේ ම සාහිත්‍ය ලියවිල්ලක් නොවීම කෙතරම් ඛේදජනක ද? කිසියම් ආකාරයකින් මදුමතී කසුන්තගේ ග්‍රහණයට හසුව තැළී පොඩිවී ගියේ නම් එහි වගකීම පැවරෙන්නේ ද වරුණට ම ය. එය පියෙකුට කෙසේ නම් දරාගත හැකිවේ ද?

කෘතියේ පෙනී සිටින සියලු චරිත කෙරෙහි සංවේදී මෙන් ම විචක්ෂණශීලිව අවධානය යොමු කරන්නී නන්දිතා හෙවත් වරුණගේ (නීත්‍යනුකූල නොවන) දෙවන බිරිඳ ය. කෘතිය ආරම්භයේ සිට අවසානය දක්වා ම ඇය බොහෝ දෙනකුගේ දුක්ගන්නා නිලමෙවරියක ම වන්නී ය. ඒ වෙනුවෙන් ඇයට බොහෝවිට ලැබෙන්නේ පැසසුම් නොව ගැරහුම් ය. නමුදු ඇය වරුණ කෙරෙහි ඇති බැඳීම හේතුවෙන් ම සියලු දෙනා වෙතින් එල්ලවන චෝදනා, රැවුම්, ගෙරවුම්, ඇණුම් බැණුම් ඉවසන්නී ය. එය ම ඇගේ සන්තුෂ්ටියට පාදක වන්නේ ය.

කතුවරියගේ බහුතර ප්‍රබන්ධවල මෙන් ම මෙහි දී ද ඇය අවසානයේ පාඨක ප්‍රජාව රැගෙන යන්නී ශූන්‍යත්වය වෙත ය. කෘතියේ වඩාත් ම දුෂ්ට චරිතය වන්නී සුරම්‍යා ය. ඇය කෘතිය ආරම්භයේ සිට ම සිය සැමියා කෙරෙහි ද, සැමියාගේ අතිජාත මිතුරා වන වරුණ කෙරෙහි ද, සැමියාගේ අනියම් පෙම්වතිය වූ නාමලී කෙරෙහි ද දක්වන්නී අනුකම්පා විරහිත ස්වභාවයකි. එහෙත් අවසන ඇය සත්‍ය හෙවත් අනිත්‍ය පසක් කරගන්නී ය. තමාගේ පරම සතුරකු ලෙස හඳුනාගෙන සිටි වරුණට මතු නොව පරම සැතිරියක ලෙස හඳුනාගෙන සිටි, සිය සැමියාගේ පෙම්වතියව සිටි නාමලීට ද ඇය අවසන කරුණාව, දයාව සහ ආදරය දක්වන්නී ය. 

කතුවරිය පෙර සේ ම පාඨක ප්‍රජාවට රසවත් කතන්දරයක් පවසන අතර ම නව්‍ය සංකල්පයක් ද සමීප කරන්නට සමත්වන්නී ය. ඒ කුමක් ද යන්න සඳහන් නොකරන්නට වගබලාගන්නේ පාඨක ප්‍රජාවගේ ම යහපත උදෙසා ය. මන්ද එකී සංකල්පය කුමක් ද යන්න අකුරු කළහොත් සමස්ත කතාව ම දිගහරින්නට සිදුවන්නේ ය. එය: කතුවරියට, කෘතියට සහ පාඨක ප්‍රජාවට ද කරන මදිපුංචිකමක් යැයි හැඟේ. එබැවින් සමස්ත කෘතියේ වින්දනීය ඉසව් සොයා ගමන් කිරීමේ මාවත විවර කිරීම පමණක් සෑහේ යැයි මම විශ්වාස කරමි.

කතුවරිය කෘතිය පුරා ම ගැටලු ඇති කරමින්, වර්ධනය කරමින්, විවරණය කරමින් සහ විසඳලමින් අවසානය කරා ගමන් කළ ද එක් අවස්ථාවක් පමණක් මගහැර ඇතැයි මට හැඟේ. එය අදාළ චරිතය විසින් ද සඟවන බැවින් කතුවරිය ද එය සඟවා තබන්නට ම යත්න දැරුවා ද යන්න සැක සහිත ය. එකී චරිතය කවුද යන්න ඉඟියක් හෝ සැපවූයේ නම් වඩාත් අගනේ ය යන්න මගේ පුද්ගලික අදහස ය.

හුදෙක් කතන්දරයක් පමණක් ම පවසමින් පාඨක ප්‍රජාව පිනවනවා වෙනුවට ඔවුන්ගේ මනස ද මසැස ද අවදි කරන්නට, පාඨක ප්‍රජාව රැඳි සිටින ස්ථානයෙන් මඳක් හෝ ඉදිරියට කැඳවාගෙන යන්නට කතුවරිය දරා ඇති වෙහෙසෙ පිළිබඳ කෘතඥතාව පුදකරමින් ‘භේරුණ්ඩ කැදැල්ල’ පිළිබඳ මගේ වින්දනීය කියවීම මෙතෙකින් නිම කරමි.

Top