ආකෘතිය නොතකා හළ නොහැකි - අපේ අහ කොහෙද ලිලී මල් (600)

post-title

නේක ආකෘති දරන කෘති ලොව බහුල වෙයි. ඇතැම්වා, රූ බලනු පිණිසය. ඇතැම්වා නිහඬව කියවනු පිණිසය. ඇතැම්වා හඬ නගා කියනු පිණිසය. ඒ ඒ කෘතිවල හැඩ රුව, ප්‍රමාණය ද ඒවායේ අරමුණ අනුව වෙනස් වෙයි. සතුන්ගේ ජායාරූප සහිත හෝ සැබෑ පරිසර පද්ධතිවල ජායාරූප ඇති කෘති සාමාන්‍ය කෘතියකට වඩා තරමක් විශාලය. එම රූ පවා පිටු වසා පැතිරෙන්නට වෙයි. කලා කෘති, මූර්ති, සිතුවම් ආදිය සහිත කෘතිවල ද තොරතුරු, න්‍යායන්, විශ්ලේෂණ අතරෙහි වුව, කුඩා විස්තර පවා පෙනෙන පරිදි රුව ඇතුළත් කර තිබේ. තවත් කෘති පෙරළූවිට ඒවායේ මැද විශාල සිදුරක් පරිද්දෙන් හිස්තැනක් දක්නට වෙයි. තවත් කෘති විවර කරද්දී කෙටි සංගීත වාදනය වෙයි. 

මේ ආකාරයේ වැකි කිහිපයක් කාව්‍ය කෘතියක් සම්බන්ධව ලියන්නට හේතු වූයේ, එම කෘතිය නියෝජනය කරන ආකෘතිය නොතකා හළ නොහැකි බැවිනි. කොෆී ටේබල් ආකෘතිය දරන කෘති පෙරළා බලා තිබුණ ද, ඒවාට අනන්‍ය ලක්ෂණ මෙසේ යැයි අවබෝධයක් නොතිබුණු බැවින් ඒ ගැන සොයා බැලීමකට යාමට සිදුවිය.

කොෆී ටේබල් ගතක් වීම නිසා, ඊට සුදුසු ලක්ෂණ මෙහි හමුවේ. අවන්හලක හෝ එවැනි සමාලාප කෙරෙන තැනක දී, අත පත ගාමින් සිතුවමක් බලන්නට, කවි සටහනක් දෙකක් කියවන්නට, පහසුවෙන් පිටු පෙරළන්නට හැකි ලෙස මෙම කෘති සකස් වෙයි. මෙම කෘතිය ද සාමාන්‍ය ග්‍රන්ථයකට වඩා මහත් ය. කවර ඝනකම් ය. පිටු දැඩි ය. රූ ඇති පිටු දිදුලනසුලු ය. වමෙහි එන සෑම පිටුවක ම පාහේ, දිය සලකුණක් වැනි කැටයමක් යොදා ඇත. මිල ද එආකාර වී, ඒ සියල්ල ම එක්වූ කල නගින වටිනාකම දරයි. 

චූල සහ මහා යනුවෙන් සම්ප්‍රදායන් දෙකක් සාම්ප්‍රදායික කාව්‍ය ලෝකයේ වෙතැයි කියැවේ. භාෂා උගතුන්ට, වියතුන්ට සමීප විය හැකි ආකාරය ගත් මහා සම්ප්‍රදාය සහ පොදු ජනයාට සමීප විය හැකි චූල සම්ප්‍රදාය (චූල සම්ප්‍රදාය පොදුවේ මේ දෙකොටසට ම ද රසවිඳිය හැකිය) මේ කාලය වනවිට වෙනස් කර තිබේ. ඒ ධනේශ්වරය විසිනි. එබැවින්, මෙය එක්තරා සමාජ කුලකයක් නොහොත් පැලැන්තියක් හා වැඩි වශයෙන් අනුගත වේ. ඒ, මෙය අප පෙර කී කොෆී ටේබල් ආකෘතිය සහ ඊට අදාළ එම සංස්කෘතිය ඉල්ලා සිටින බැවිනි.

කාව්‍ය සංග්‍රහවල, කවි සහ රූප එක ළඟ නැටීම දුලබ නොවේ. ඒවා කවියෙන් නිරූපිත දේ සිතුවමෙන් උද්දීපනය කරන ආකාරය දරයි. අජානා සිය කාව්‍ය සංග්‍රයෙහි, සිතුවම් ශිල්පී සුජිත් රත්නායක ඇඳි රූ සෑම කවියක් ගණනේ ම නොයොදා, රූ සියල්ල ම එකම ගොනුවක් ලෙස කෘතිය මැදට "Intermission" යනුවෙන් හොවා ඇති අතර, කවි වෙන ම ඒකක ලෙස ස්ථානගත කර තිබේ. එබැවින්, මෙය චිත්‍ර වෙනම ද කවි වෙනම ද ලෙස කියැවීමක් මිස, කවියට අදාළ චිත්‍රය සහෘදයා විසින් කියවිය සොයමින් සිටිය යුත්තක් බවට පත් කරගත යුතු නොවේ.

බෙයා ෆුට්හිදී පැවති, "කෙටුම්පත් තෘෂ්ණාව" ප්‍රර්ශනයට ගොස් සිතුවම් නැරඹීමට අපට හැකි විය. සිතුවමින් ඈතටත් ළඟටත් යමින් එමින් බලා සිට, සමරුවක් ද ලීවා මතක මුත්, ලියුවේ කුමක්දැයි මේ මොහොතේ සිහියට නොඒ. එම සිතුවම් පොතකින් යළි නැරඹීමට ඉඩ සැලසිණි. පොත විවර කළවිට දක්නට ලැබෙන සිතුවම(රත්මලාන යනුවෙන් ලියා ඇති මාර්ග සහිත සිතුවම), කාව්‍ය සංග්‍රහයේ මැයට වඩා ගැළපේ යැයි සිතේ, (කවරයේ ඇති සිතුවම මෙන් ම). ඊට හේතුව පහත ජේදය කියවා ගළපගත හැකිවනු ඇත.

කවියෝ අරුම ලෝ සිය සිත්වල මවන්නෝ වෙති. නිවසේ දී කුඩු හැපෙන හරිස්චන්ද්‍ර කෝපි හෝ බිත්තර කෝපි බොන අතර, මනෝලෝකයේ වන නෙස්කැෆේමය හෝ කැපචිනෝමය කව් සාහිත්‍ය ලෝකයේ දකින්නට ලැබෙයි. එලෙසින්, විවිධ වර්ගයේ මල්වල නම් අලංකාර වුවද, ඒවා සත්‍ය ලෙස ම නිර්මාණකරුවා වෙසෙන හෝ ඔහුගේ අත්දැකීම් පරාසයට ගන්නා ගෙවත්තේ හෝ වෙනයම් ස්ථාන පරිසරයක බහුලව දක්නට නැත. ඇතැම්විට ඒවා තිබිය හැකි මුත්, බොහෝවිට ඇත්තේ මනෝලෝකයෙහි ය, ෆැන්ටසියෙහි ය. මේ කවියෙන් කියන්න තැත්කරන්නෙ ද එවැන්නකි. ඇයගේ ගෙවල් පැත්තේ ලිලී මල් නැත. ඇත්තේ, එරමිනිය පමණි. රෝසමල් නැත, කටු පමණි. නෙලුම් මල් නැත, නටු පමණි. ඈ ඒබව පිළිගනී. මෙසේ ඇත්ත පෙන්වූ පසුවත්, ඊට පෙම්බරයා රැවටෙයි. එබැවින් මේ මැයැති කවිය තිත්ත ඇත්තක් අනාවරණය කරන්නකැයි හැඟේ. "අහ" යනුවෙන් කරන සඳහන නිර්මාණය කියන තැනැත්තියගේ ප්‍රාදේශීය වහරක්ව නැගී එමින්, කවියේ යටිපෙළ තීව්‍ර කරවයි.

" මලුත් එරමිනියනෙ

මං ඉන්න කටුබැද්දෙ

අපේ අහ කොහෙද ලිලී මල්

මෙහෙ රෝස පඳුරුවල

පිපුණෙ කටු විතරමයි

රතු පාට ලේ ගලන හදවත්

අමුනල තිබුණ කටුවල

'මල් පිපිල ඕසෙට'

රැවටුණෙ ඔයා ඒවට...

මෙහෙ නෙලුම් විල්වල

පිපුණෙ නටු විතරමයි

දියමන්ති වගෙ කඳුළු කැට

අමුනල තිබුණ නටුවල

'ආසාවෙ බෑ දිස්නෙට'

රැවටුනෙ ඔයා ඒවට..."

පෙම්බරයෙක්ගෙ සවනට ළංව කීමට සොඳ, ආශා දල්වන පෙමාතුර කවි සටහන් මේ කාව්‍ය සංග්‍රහයෙහි බහුලව දක්නට ඇත. කොෆී ටේබල් කෘතියක ලෙසින් ඉක්මණින් කියවා අවසන් කළ හැකි ලෙස බොහෝ කවි ලියා තිබේ. ඊට ම රිද්ම ද අනුගත වෙයි. කාව්‍ය නිර්මාණයක සමස්තයෙන් හොඳ මිණි පැදි ද්වය බැගින් හමුවන කව්පෙළවල් ද වෙයි. ඉන් කිහිපයක් මෙසේ ය.

චීන සරුංගල් අහසට

නග්ගනකං සිහියක් නෑ

* * *

අපේ අහ වැස්සට

අපිට මොකට ද හිරිගඩු

* * *

ප්‍රේමයෙන් ඔත්පලය මා

ඔද්දල් ය සියොළගම මා

* * *

මරණය ද ගගුලක් ය සිහිලැල්

දින දෙකක් එහි කිමිද එන්නම්

* * *

රතු පාට අලුත් වේදනා

නිල් පැහැ පරණ වේදනා

* * *

රජ්ජුමාලට නිවන් යන්නට

කඹයක් එවනවා ද හනිකට

* * * 

විශ්වය ම හිනා වුණා සද්දෙට

'නොදකින් කළු පාට ජීවිත'

* * *

ජීවිතය අත ගෑ සැදෑවක

මුමුණමින් කී පෙම් කතාවක

රස රහස් මී පැණි අමා බිදු

විසිර තිබුණා බංකුවක් උඩ

අජානාට බස, අරුත්, අත්දැකීම් ප්‍රතිනිර්මාණය යන අංශ කෙරේ තවදුරටත් අවධානය යොමු කර, ඊට සුදුසු කෘති ද පිරික්සීමෙන් ඉදිරි නිර්මාණ ද වඩා සාර්ථක කරගත හැකිවනු ඇත. දීර්ඝ කවිය ලියන අතරතුර ම මදක් ඉන් මිදී, ඉහත දැක්වෙන පරිදි කෙටි (උදාහරණ: පැදි දෙක බැගින් ඇති) කවි වෙතට ද ගොස් අත්හදා බැලිය හැකි නම්, ඇයට එය ආභරණයක් වනු ඇත යන්න අපගේ අදහසයි.



Top