ඇවිද යමු ද නිසංසලේ ''මට සුපුරුදු මේ නගරේ'' - විඳිමින එහි සොඳුරු ඉසව්

post-title

‘‘... සිංහල සංයුක්ත කාව්‍යයේ පුරෝගාමියා ලෙස ද සැලකෙන්නේ මහගම සේකර ය. සේකරගෙන් පසු අජිත් තිලකසේන, ආරියවංශ රණවීර, ජනක මහබෙල්ලන සහ කේ. කේ. සමන්කුමාර යන කවීහු සංයුක්ත කවිය පිලිබඳ පර්යේෂණශීලී වූහ’’
                                                            සිංහල දෘෂ්ටිගෝචර කාව්‍ය විමර්ශන: හංසමාලා රිටිගහපොළ: පිටුව 77

සිංහල සංයුක්ත කාව්‍ය පිළිබඳ කතුවරිය තබා ඇති සටහනට ඌනපූර්ණයක් වශයෙන් මතු සඳහන් ප්‍රකාශය ද සඳහන් කළ යුතු ය. එනම් ''සිංහල සංයුක්ත කාව්‍යයේ පුරෝගාමියා ලෙස ද සැලකෙන්නේ මහගම සේකර ය.'' යන්න වැරැදි මතයක් බව ය. එයට සාක්ෂි සපයන්නේ (පළමු රූප සටහන) දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරන බුද්ධික කෝනාර ය.

''1854 වර්ෂයේ පළ වූ ‘ලංකා නිධානය’ සඟරාවක එන සංයුක්‌ත කවියක්‌ පිළිබඳ හෙළි කළෙමු. මේ සංයුක්‌ත කවිය හමුවන්නේ ලංකා නිධානය 1854 දෙසැම්බර් කලාපයේ බැවින් 2014 දෙසැම්බර් වන විට මෙයට වසර 160ක්‌ සම්පූර්ණ වෙයි. ‘බේබද්දාගේ වීදුරුව’ යනු කතුවරයා මේ කවියට දී ඇති මාතෘකාවයි.
මෙහි කුසලානේ යන්න දකින විට එක්‌දාස්‌ නවසිය හැට ගණන්වල මහගම සේකර ලියූ ‘කුසලානේ’ කවිය ද සිහිපත් වෙයි.''
                                                                    බුද්ධික කෝනාර: දිවයින වටමඬල: 2014/12/18

යට සඳහන් කරුණු ඉදිරිපත් කිරීමට සිදුවූයේ කරුණු ද්විත්වයක් වෙනුවෙනි. එහි පළමු වැන්න නම් දෘෂ්ටි ගෝචර කාව්‍ය ඉතිහාසය පිළිබඳ ලංකාවේ බොහෝ පාඨක පිරිස් නොදත් කරුණක් පැහැදිලි කිරීම ය. දෙවන කරුණ වන්නේ ආචාර්ය හංසමාලා රිටිගහපොළගේ ප්‍රකාශයේ අන්තර්ගත එක් කවියකු වන ජනක මහබෙල්ලනගේ නවතම කාව්‍ය සංග්‍රහය වන ''මට සුපුරුදු මේ නගරේ''  (කතුවරයාගේ අක්ෂරකරණයට අනුගතව මෙම ලිපිය සැකසිය නොහැකි බව කරුණාවෙන් සලකන්න)  කෘතිය පිළිබඳ මගේ කියවීම පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීම ය.

''මට සුපුරුදු මේ නගරේ''  කෘතිය පරිච්ඡේද හතරකට වෙන් කර ඇත. එනම් ''කවි / ප්‍රති කවි / පසු කවි සහ සංයුක්ත කවි'' වශයෙනි. මෙහි දි කතුවරයා 'පසු කවි'  යනුවෙන් නම් කර ඇත්තේ ඔහුගේ කවි කිහිපයක් කියවූ බිරිඳ ඒ කවි වෙනුවෙන් ලියූ ප්‍රති කවි කිහිපයක් ලෙසිනි. එය ඔහු ''මට සුපුරුදු මේ නගරේ'' කෘතියේ 47වන පිටුවේ මෙසේ සඳහන් කරයි.
''මෙතැන් සිට කියවන්න මගේ කවි කියවා හොරෙන් අත් පිටපතේ පහලින් ඇ ලියූ ප්‍රති කවි කිහිපයක්''
 
''මට සුපුරුදු මේ නගරේ'' කෘතිය කියවූ ඇතැම් පාඨකයෝ සිතා සිටින්නේ මේ 'ප්‍රති කවි' යනු සැබැවින් ම කවියාගේ බිරිඳ ලියූ කවි ලෙසිනි. ඇතැම් විට එය එසේ ද විය හැකි ය. නමුදු මගේ කියවීමට අනුව නම් එකී 'ප්‍රති කවි' යනු ද ජනක මහබෙල්ලන නම් වූ වෙසෙස් කවියාගේ ම පරිකල්පනයක් ය යන්න ය. ජනක මහබෙල්ලන නමැති කවියා හොඳින් කිවා ඇති පාඨක ප්‍රජාවට මෙය අවබෝධ කරගැනීම අසීරු නොවන බව මගේ හැඟීම ය.

සංයුක්ත කවියට හෙවත් දෘෂ්ටි ගෝචර කාව්‍යකරණයට වෙසෙස් දස්කම් දක්වන ජනකගේ ඇතැම් කෙටි කවි තුළින් බරපතළ දේශපාලන මාන ද ස්පර්ශ කර ඇති බව දක්නට හැකි ය.

''පොලියට ගත් පන් දහසත්ගෙවිය යුතුයි
සකිසඳ, නුඹෙන් ගත්තු තුන්දහසත් දිය යුතුමයි''

''පුතුට බෙහෙත් ගන්නට
නය වාරික දෙන්නට
එලවලු ටික ගන්නට
බස් ගාස්තු දෙන්නට
හැඩට වැඩට යන්නට
තව තව දේ කරනට
ගත්තු පඩිය මදිය මේ හැමටම පලමුව
බිවු රන් කිරෙහි නය
මහ ගෙදරට යැවිය යුතුයි''

මාසික වැටුපෙන් යැපෙන බොහෝ පුද්ගලයන්ට සිය වැටුප ලබාගන්නා දිනය සතුටුදායක දිනයක් යැයි එසේ නොවන අය අදහස් කළ ද, එය එසේ නොවන බවට මෙකී නිර්මාණය කදිම සාක්ෂියක් සපයන්නේ ය. එමෙන් ම සිය පවුල් කුටුම්බය තුළ කෙතරම් ආර්ථික දරිද්‍රතා පැවතිය ද තමන්ට හැකි පමණින් හෝ දෙමාපියන්ට සැලකිය යුතු ය යන්න ද කවියා මෙම නිර්මාණය තුළින් ප්‍රකට කරන්නේ ය. ඒ සඳහා ඔහු කදිම රූපකයක් මෙන් ම ව්‍යංගාර්ථයක් ද උපස්තම්භක කරගෙන ඇත.

දෘෂ්ටි ගෝචර කවියට දස්කම් දක්වන ජනක ඔහුගේ ම ඇතැම් කවි තුළින් කියවන පුද්ගලයාගේ මනසේ දෘශ්‍ය රූප මවන්නට සමත් වී ඇත. මේ එවන් නිර්මාණයකි.
 
''අඳුරු අහුමුලු වල
ලැග සිටින

වහලයේ පරාල අතර
සිවිලිමේ
බිත්ති දිගේ
බඩගාන

කාමි සතුන් ගිල දමා

මගේ පොත් මේසයට
ඇඳ උඩට
පුටු මතටබෙටි ගහන

සිත දියුනු කල
අනාගත වක්තෘවරු .... ?''

මෙම නිර්මාණයේ පදයක් පදයක් පාසා පාඨක මනසේ සිතුවම් මැවීම අනිවාර්ය ය. අවසන නිර්මාණයට නිමිති වී ඇත්තේ කවුරුන් ගැන ද යන්න කවියා හෙළි නොකළ ද අදාළ ජීවියා කවුද යන්න පාඨක මනසේ සිතුවම් වන බව නම් සක් සුදක් සේ පැහැදිලි ය.

49 වන පිටුවේ සඳහන් ප්‍රති කවිය තුළින් ද කවියාගේ ප්‍රශ්න කිරීම තව තවත් තීව්‍ර කර ඇත. එය ද පාඨක ප්‍රජාවට නවමු අත්දැකීමක් නොවන්නේ ද?

රටක පාලක ප්‍රජාවගේ වගකීම වනුයේ එරට ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජිවත්වීමට සුදුසු වාතාවරණයක් සැකසීම ය. නමුදු මගේ ජීවිත කාලය තුළ (71 තරුණ නැගිටීමේ සිට මේ දක්වා) එකී වගකීම ඉටු කරන්නට පාලක ප්‍රජාව සමත් වී නැත. එක් ව්‍යසනයක් අවසන් වන විට තවත් ව්‍යසනයකි. ඒ ඇතැම් ව්‍යසන යනු ම පාලක ප්‍රජාවගේ අවශ්‍යතාව වෙනුවෙන් ම නිර්මාණය කළ ඒවා වීම විශේෂිත ය. මෙකි යථාර්ථය කවියා වදන් එකොළහක් භාවිත කරමින් මෙලෙස ප්‍රකට කර ඇත.

''හුරා !
සරු පොලොවක්
අපිට ඇතේ !
බිය යහමින් වගා වුනු
මිත්‍යාව වහා පැලවෙන ''

මේ අමිහිරි යථාර්ථය එදා මෙන් අද ද අද මෙන් හෙට ද ලාංකීය පොළොවට, ඒ පොළොවේ ජීවත්වන සියලු ජීවින්ට මෙන් ම අජිවී ගහ - කොළ, ඇළ - දොළ, ගංගා, කඳු - හෙල් මතු නොව සෙල් පර්වතවලට ද අදාළ ය.

මෙම කෘතියේ අන්තර්ගත බොහෝ නිර්මාණ සඳහා මාතෘකා නොයෙදුව ද ඇතැම් කවි එකිනෙකට සම්බන්ධතාවක් පැවතීම විශේෂිත ය. 14 වන පිටුවේ අන්තර්ගත කවිය තනි කවියක් ලෙස වුව ද විඳිය හැකි ය.

''රිදුම් දෙයි රිදුම් දෙයි
මගේ ගත
පපු පෙදෙස, හිස, පිට කොන්ද

බොහෝ සෙයින් මම
මහලු වෙලා ලෙඩ වෙලා
මැදි වයසින්ම

දැන් ඇති දැන් ඇති
හොඳටෝ ම ඇති හිටියා
යා යුතුයි යා යුතුයි මේ
රඟ මඩල අතෑරලා''

ජීවන ගමනේ අඩක් හෝ ගමන් කිරීමට පෙර වෙහෙසට පත්වන මිනිසකු තම දිවිය පිළිබඳ ඇති කරගන්නා ඍණාත්මක ආකල්පය මෙම නිර්මාණය තුළින් විශද කෙරේ. එය තනි කවියක් ලෙස විඳිය හැකි ය. එසේ වුව ද කවියා ඊළඟ පිටුවෙන් අරඹන කවිය යට පළ කළ කවිය සහ තවත් කවි තුනක් සමග එකිනෙකට සබැඳියාවක් පවත්වාගෙන යාම සුවිශේෂිත ය.

''වේදනාව
නොමැති
නැවුම් දවසක් අද !

ප්‍රබෝධයෙන් යුතුව
වැඩ කල හැකි

කල යුකුයි වැඩ
කඩිනමින්
නිම කළ යුතුයි
අර වැඩය මේ වැඩය
යුහු යුහුව

නැවතත් එන්න කලියෙන්

වේදනාව''

මිනිස් දිවියේ දී ලැබෙන වේදනාවට ස්ථිර ඔසු නොමැති විටෙක තාවකාලික වේදනා නාශක ලබාගැනීම ස්ථිර විසඳුමක් නොවන බව ප්‍රකට කෙරෙන මෙම නිර්මාණයේ දී එය වඩාත් ඉස්මතුවන්නේ කවියා එහි අවසන් පදය වන 'වේදනාව' යන්න වඩාත් කැපීපෙනෙන ලෙස සදහන් කර ඇති බැවිනි. අනෙක් පසින් ගත් විට අද දින කළ යුතු වැඩ කොටස කෙතරම් කඩිනමින් අවසන් කළ ද යළි හෙට දිනයේ ද මුහුණ දීමට සිදුවන්නේ අද හෝ පෙර දිනයේ ලැබු වේදනාකාරි අත්දැකීමට ම ය. වඩාත් සරලව පවසන්නේ නම් මිනිසාට මේ වේදනාවෙන් අත් මිදිය හැකි ස්ථිරසාර විසඳුමක් නොමැත්තේ ය.

යට කී ස්ථිර සාර වේදනාව මද පමණකින් හෝ සමනය කරගන්නේ කෙසේ ද යන්න කවියා ඊළග කවියෙන් (පිටුව 16) මෙසේ ප්‍රකට කරන්නේ ය.

ගත රිදුම්
සුව කරන

සිත රිදුම්
දුරු කරන

වේදනා නාශකය
මගේ පුතු

බොහෝ දෙමාපියෝ සිය දරුවන් වෙනුවෙන් වෙහෙස වීම වෙහෙසක් ලෙස නොසලකති. කවියා විද්‍යමාන කරන්නේ එකී යථාර්ථය යි. දහසක් රාජකාරි මධ්යේ  නිවසට පැමිණෙන මව හෝ පියා සිය වෙහෙස මඳකට හෝ අස්වසාගැනීමට දරු සෙනෙහස උපකාරි වන බව ද කවියා පවසයි.
 
ඊළඟ කවියේ දී (17වන පිටුව) කවියා හෙවත් කථකයා හෝ කථකාව 14වන පිටුවේ සඳහන් කවියේ යථාව ප්‍රකට කරයි.

ඒත්
කොහොම යන්නද
රංගනය නිමා කොට?

මට හතලිහක් වුනාට
ඔහුට තාම හතරයි

මෙම නිර්මාණය තුළ මිනිසකු විවා දිවියට පත්වන්නට ප්‍රමාද වීම සම්බන්ධයෙන් වු යථාර්ථය ද පිළිබිඹු කෙරේ. එය ද ලංකාව ප්‍රමුඛ තවමත් දියුණු වෙමින් පවතින රටවල තරුණ ප්‍රජාව මුහුණ දෙන බරපතළ ව්‍යසනයකි. මේ සියල්ල ම දේශපාලනික පසුබිමක් මත තබා විග්‍රහ කළ යුතු ය යන්න මගේ හැඟීම ය.
 
18 වන පිටුවේ දී කවියා වේදනාව පිස දමන ඔසුවක් පිළිබඳ ඉඟි සපය යි.

''උනු වතුර
උනු වතුර

කොයි තරම් සහනයක්
ගෙන දේද

අදා කල සීතලට
සවස් කල විඩාවට
ඇගපතට වැක්කෙරෙන
උනු වතුර

මගේ ගත වේදනා
පිස දමන දිව ඔසුව ''

මෙම නිර්මාණය ඒකල නිර්මාණයක් ලෙස රසවිඳිය හැකි ය. 'උනු වතුර' සංකේතයක් ලෙස වුව ද හැඳින්විය හැකි ය. අනතුරුව කවියා 19, 20 සහ 21 යන පිටු ත්‍රිත්වය පුරා රැගෙන එන අරුත විමසා බලමු.

''මේ වේදනාව ද

වේදනාවට හේතුවද
වේදනාව නැති කිරීමේ
මගද
සොයාගන්නට
මම
නොයෙක් වෙදැදුරන්
හමු වූවා

බොහෝ කල්මැරුවා
ඔවුන් ලඟ

භග්ගව (M.B.B.S)
පසුව
ආලාරකාලාම (M.B.B.S/M.D)

ඉන් පසුව
උද්දකාරාම පුත්ත (M.B.B.S/M.D/M.R.C.P)

පලක් වූයේ නැහැ
වේදනාව
දිනෙන් දින
උග්‍ර වූවා මිස

පහ වූ බවක
සලකුනක් නැහැ

දිනක්
අරුනෝදයක
නිදි පැදුරෙන් නැගී සිට
වතුර බඳුනක් ගෙන
පැමින එලිපත්තටසෝදා කට
ගැසූ පසු මිදුලට
ක්ෂනයකින්
වැටහුනා මට

තව දුරටත්
වෙද්දු සොයා යාමෙන්
පලක් නැති බව

වේදනාවට

වැටහුනා මට
වේදනාවද
වේදනාවට හේතුවද
එය නැති කිරීමේ මග ද

දැන් මම
වේදනාව ඇති වූ වහා
යන ඒ මග
සමවදිනවා ඒ සුව සමාධියට
මොකක්ද ඒ මග ?
හිස වේදනා දෙන විට
ලය වේදනා නැති බව සිතනවා
ලය වේදනා දෙන විට
හිස වේදනා නැති බව සිතනවා
හිසත් ලයත් වේදනා දෙන විට
අදරය සුවෙන් යැයි සිතනවා

මුලු ගතම වේදනාවෙන්
මිරිකෙන කල
‘නොමියෙමි’යි සිතනවා

සිද්ධාර්ථ තවුසා පස්වග තවුසන් වෙත ගිය ද විමුක්තිය ලබාගැනීමේ මාර්ගය සොයාගත නොහැකි වූවා සේ ම විභාග සමත්වීමෙන් පමණක් ජීවිතය ජය ගත නොහැකි බව පවසන කවියා ව්‍යංගයෙන් පවසන්නේ විභාග සමත්වීම යනු ම තව තවත් වේදනා ගෙන දෙන්නක් බවයි.

අනතුරුව කවියා ප්‍රවේශ වන්නේ මිනිසා නමැති සත්වයාට වේදනාවෙන් තොර ජීවිතයක් නොමැති බව පසක් කිරීම  සඳහා ය. ඉක්බිතිව එය කවියා හෙවත් කථකයා පසක් කරගත් ආකාරය පාඨකයා වෙත සම්මුඛ කරයි. එහි දී කවියා පවසන්නේ 'වේදනාව' යනු නිට්ටාවට සුව වන රෝගයක් නොව එය විටින් විට විවිධාකාරයෙන් මිනිස් ජීවිත මත පතිත වන බවයි. අවසන වේදනාව දරාගැනීමට මිනිසා හුරුවන ආකාරය ද කවියා ඉතා සියුම් ලෙස විද්‍යමාන කර ඇත.මෙම නිර්මාණය දේශපාලන අර්ථයකින් ගත් විට එක්තරා පසුගාමි අදහසක් ඉස්මතු කරන බව මගේ අදහස යි. එනම් අපි පාලකයන්ගේ සියලු නොපනත්කම් ඉවසා සිටිය යුතු බවයි. එසේත් නොමැති නම් සියල්ල කර්මයට හෝ ඉරණමට බාර දී පසෙකට විය යුතු බවයි.
 
තමන් නැවත ගැබ්ගෙන ඇති බව බිරිඳ සිය සැමියාට අඟවන ආකාරය ජනක ඉතා කෙටි කවියකින් මනා ලෙස ප්‍රකට කර ඇත.

''ඇය
මට කිව්වා

තව කෙනෙක්
ලග ලඟම එන බව

තව තවත් මාව
ඇ බැඳ තබන්න
මේ භුමිකාවට''

කවිය අවසාන වන විට සිය බිරිඳ නැවත ගැබ්ගෙන ඇති බව පැවසීමේ වෙනත් හේතුවක් ද හෙළි කරන්නට කවියා සිය කවිත්වය මැනවින් උපස්තම්භක කරගෙන ඇත.

ඉතා සරල මෙන් ම සුගම වහරෙන් පද බැඳ තිබෙන ඇතැම් කාව්‍ය නිර්මාණයක් තුළින් සරල අරුතක් මතු කෙරෙන අතර ම එහි වෙනත් මානයක් ද දක්නට ලැබෙන අවස්තා බහුල ය. මතු දැක්වෙන නිර්මාණය ද එවැන්නකි.

''මට ඉහලින් බිත්තියේ
ඉන්න කත
විසිතුරුයි ඔබේ මුව කමල
තැඹිලිපාට මල්වැටුනු
සාරියක් ඇද සිටින
රෝස පැහැ දෙතොලග
මද සිනාවක් රැඳුනනෙරා ඇති පියයුරු
මාව පාලඹවන

එක වරම පහත් වුනා ඇය
මං දිහාවට
උරා බොමින් පියයුරු තුඩු
සාරි හැට්ටයෙන් අත දමා
ඇය මට පාන
උරා බොන’තර
බලා සිට ඇගේ
පිවිතුරු මුව කමල දෙස
සැපුවා මම පියයුරක් හෙමිහිට
'ඌයි'  යනුවෙන් කැ ගැසූ ඇය
ඇඹරුණා වේදනාවෙන්
තව තවත් දඩබ්බර වන මම
ඇගේ සුදු බඩවතට
ගැසුවා පයින්
එවිට නැමි ඇය
මං වෙතට
බදා සිප වැලඳගත්තා
මාව ''

මෙම නිර්මාණය කියවූ සැණින් මගේ සිහියට නැගුණේ ''ඔන්න බබෝ බිල්ලෝ'' චිත්‍රපටයේ එන ''මේ ජීවනයේ මුළු සංසාරේ'' නමැති ගීතය යි. කරුණාරත්න අබේසේකරගේ ගී පද රචනයක් වන මෙය සංගීවත් කර ඇත්තේ පී. එල්. ඒ සෝමපාල වන අතර ගායනය එච්. ආර්. ජෝතිපාලගෙනි. එම ගීතය ශ්‍රවණය කරන රසිකයා එහි අවසන් පදය සවන වැකෙන තෙක් ම සිතන්නේ එය ප්‍රේම ගීයකි යන්න ය. එහෙත් අවසානයේ දී කියවෙන ''ඒ දරුවෙකුගේ පණ වැනි උත්තම අම්මාගේ ආදරය යි'' යන වදන් පෙළ ඇසුණු සැණින් එතෙක් රසිකයා නොසිතු ලොවකට කැඳවාගෙන යන්නට රචකයා සමත් වන්නේ ය. ජනකගේ මෙම කාව්‍යය නිර්මාණය ද එවැන්නකි.

නිර්මාණයේ පළමු කොටස කියවන විට පාඨක ප්‍රජාවගේ මනසේ මැවෙන සිතුවමට සරිලන පරිදි දෙවන කොටස ඇරඹේ. එය එක පැහැර ම අවබෝධ වන්නේ ශෘංගාරාත්මක පබැඳුමක් ලෙසිනි. තව දුරටත් නිර්මාණය සමග රැඳෙන විට හැඟෙන්නේ කාන්තාවක් පිරිමියකුගේ පහරකෑමට ලක්වන බවත්, එසේ පහර කෑමට ලක්වීම ම ඇය වඩ වඩාත් එම පුරුෂයාට ආදරය කිරීමට පෙලඹෙන ආකාරය යි.

නමුදු නිර්මාණයේ පතුලට කිමිද යාමේ දී දක්නට ලැබෙන්නේ හාත්පසින් ම වෙනස් අත්දැකීමකි. මෙම නිර්මාණයේ පළමු කොටසේ දක්නට ලැබෙන කාන්තාව සහ දෙවන කොටසේ දී දක්නට ලැබෙන කාන්තාව යනු එක් අයෙක් නොව දෙදෙනෙකි. ඒ කාන්තා රූ දෙකම සිය දෙනෙතට ග්‍රහණය කරගන්නා කථකයා හෝ කථකාව යනු කුඩා දරුවෙකි. ඔහු හෝ ඇය පළමුව දකින්නේ බිත්තියේ සවි කර ඇති කාන්තා රුව යි. බිළදා වර්ණනා කරන්නේ එම රූ සිරිය යි. දෙවන කොටසට එන විට කථකයා හෝ කථකාව පවසන්ගේ ඇගේ හෝ ඔහුගේ මව සමග පවත්නා සබඳතාව යි. අවසන දක්වන්නේ මවක් සිය දරුවා කෙරහි දක්වන මාතෘ ස්නේහය යි. මවක සහ කුඩා දරුවකු අතර ඇතිවන ඉතා සංවේදී සිදුවීමක් ඉතාමත් නිර්මාණාත්මක ආකාරයෙන් ඉදිරිපත් කරන්නට කවියා සමත්ව ඇත.

ලෝකය: අලුත් වන, දියුණු වන සහ ඉදිරියට යන සෑම නිමේෂයක ම මිනිසා පරණ වීම වැළක්විය නොහැකි ය. එසේ වෙනස් වන, දියුනු වන ලෝකයේ වෙසෙන පිරිමි සහ ගැහැනු ජීවිතයේ විවිධ කාල පරාසවල දී විවිධ පිරිමි සහ ගැහැනු සමග සබඳතා පැවැතීම ද සාමාන්‍ය තතත්වයකි. ජීවිතයේ එවන් විවිධ අවධි පිළිබඳ කෙරෙන ආවර්ජනයක් අපූරු කාව්‍ය නිර්මාණයක් ලෙස මතු දැක්වෙන කාව්‍ය නිර්මාණය හැඳින්විය හැකි ය.

''කෝ, ඉස්සර මෙතන තිබුනු
පෙට්ටි කඩේ ?
මල්කායි මායි මුන ගැසුනු
‘දේදුනු’ අයිස්ක්රීසම් හල ?
දමයන්තිව තනිකරල දාල
පැනල දුවපු
තාර කැඩුනු පටු මාවත ?
අන්තිම බස්සෙක එනකං
සුනේත්‍රාත් එක්ක
කතා කර කර හිටපු
ගරා වැටුනු බස් නැවතුම ?
ඒ මුකුත් නෑ
ඔක්කොම වෙනස් වෙලා
ඒ අවුරුදු විස්සකටත් එහා
මට සුපුරුදු මේ නගරේ
දැන් අලුත් වෙලා
මම ? පරන වෙලා

කවිය වඩාත් පෝෂණය වන්නේ උපමා, උපමේය, රූපක, සංකේත යනාදි කාව්යෝක්ති උපස්තම්භක කරගනිමින් තමාගේ අත්දැකීම ඍජුව ම නොපවසා ව්‍යංගාර්ථයෙන් පැවසීමෙන් යැයි මට සිතේ. ජනකගේ කවි අතර බහුතරයක් කවි යට කී ගුණාංගවලින් සුපෝෂිත ය. මේ එවන් තවත් නිර්මාණයකි.
 
''කලහයෙන් පසු
ඇය සේදූ

මගේ සරමකුත්
ඇගේ සායකුත්
එකම වැලක
එක ලඟින්ම හිඳ

වේලෙයි මද පවනේ''

මෙහි එන 'කලහය' යනු ප්‍රබල රූපකයකි. එකී රූපකය තුළින් ප්‍රකට කරන ක්‍රියාව කුමක් ද යන්න වටහාගන්නේ නම් එම නිර්මාණයේ යටි අරමුණ වටහා ගැනීම අපහසු නොවේ.

කවියා ''ප්‍රති කවි'' ලෙස හඳුන්වා දී  තිබෙන පරිච්ඡේදයේ සඳහන් ''යට ගිය දවස්'' නිර්මාණය සහ  32වන පිටුවේ එන කවියට ප්‍රතිකවි ලෙස සඳහන් කර ඇති සංයුක්ත කවි යුගල (රූප සටහන් 02 සහ 03) මෙන් ම ''මම ඇය'' (රූප සටහන 04) නමැති නිර්මාණය ද කවියාගේ සංයුක්ත කාව්‍යකරණයේ ප්‍රගමනයක් විද්‍යමාන කරයි.

(උපුටා ගත් සියලු නිර්මාණවල අක්ෂර වින්‍යාසය කතුවරයාගේ අභිමතය බව සලකන්න)


 

Top