ප‍්‍රවේශය
මනු සතුන් මතු නොව තිරිසන් සතුන් අතර පවා ඒ එක් එක් වර්ගයකට අයත් සතුන් අතර එකෙනෙකා තුළ පවත්නා ගති සොබා විවිධ ය. තිරිසනුන් තුළ පවත්නා මෙම විවිධත්වය හඳුනා ගැනීම යම් ආකාරයක අසීරු කටයුත්තක් වුව ද මිනිසුන් තුළ පවත්නා මෙම විවිධත්වය පහසුවෙන් හඳුනාගත හැකි ය. ඇතැම් විට එක ම පවුලේ තිදෙනකු අතර වුව ද පවත්නා ගති පැවතුම් විවිධාකාර ය. එය පවුලෙන් තවත් පවුල් කිහිපයකට ද, ඉක්බිති ගමට ද, ඉනික්බිති සමස්ත සමාජයට ද ගමන් කරන විට සැබැවින් ම විකාර සහගත ය. ඔවුනොවුන් අතර සිටින්නේ දුෂ්ට, කාමුක, සෝමාරි, නෝන්ජල්, ගතානුගතික, රැඩිකල්, නවමු සිතුවිලි සහිත, පාරම්පරික ගති සිරිත් සිය දිවි ලෙස සලකන, ඒ කිසිවක් නොතකන, අවශ්‍ය අවස්ථාවේ දී පමණක් එය ගරු කටයුතු ලෙස සලකන යනාදී විවිධ වර්ගවලට අයත් අය ය. යට කී ගති සොබා ජන්මය සමග රැගෙන ආවා ය යන කියමන කෙතෙක් දුරට සත්‍යය ද අසත්‍යය ද යන්න නිගමනය කළ නොහැකි වුව ද මේ කිසිවකු මිය යන විට මෙකී කිසිවක් ආපසු රැගෙන නොයති. එය නම් සක් සුදක් සේ පැහැදිලි ය.
සාමාන්‍ය පුද්ගලයකුට ඇස ගැසෙන මේ විවිධාකාර පුද්ගලයන් පිළිබඳ අදහස් තම සිත තුළ රඳවාගෙන සිටිය ද නිර්මාණකරුවකුට හෝ කාරියකට එය සරල සුගම කරුණක් නොවේ. ඔහු හෝ ඇය තමා අත් දුටු මේ විවිධාකාර මිනිස් ගති සොබා සිය නිර්මාණයක් තුළින් සමාජ ගතකිරීම සඳහා නිරන්තර ව ප්‍රෝත්සාහී වන්නේ ම ය. කතුවර හිමි ගේ ප‍්‍රථම සාහිත්‍යය (නවකතා) නිර්මාණය වන ‘‘හරස් පාර’’ තුළින් විශද කෙරෙන්නේ ද ඉහත කී සංසිද්ධි දාමය යි.
චරිත නිරූපණය
මෙම කෘතියේ අන්තර්ගත චරිත බහුල ය. ඒ චරිත විවිධාකාර ය. කෘතියේ අන්තර්ගත සම්බන්ධය හුදු කතන්දර ස්වරූපයක් පමණක් ඉසිලූව ද එහි චරිත හැසිරවීමේ දී කතුවර හිමි ඒ එක් එක් චරිත කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වා ඇත. එනම් එකී චරිතාභ්‍යන්තරයට කිඳා බැස ඒ ඒ චරිත කෙරෙහි පාඨකයාගේ අවධානය රඳවා තබන්නට ගත් වැයම සාර්ථක වී ඇත. මෙහි ප‍්‍රධාන චරිතය වන්නේ හින්නි කොලුවා හෙවත් සුදත් ය. අනතුරුව පාඨක ප්‍රජාවට සම්මුඛ වන්නේ මද්දු අම්මා, අත්තම්මා, බාප්පා හෙවත් පියසේන, දේවිකා, සූරසේන, කුසුමාවති, පොඩි රාළහාමි, සිරියාවති, ඇඩ්ඩිං සියා හෙවත් යකැදුරා, නුවන්, තමාලි, විජේසිරි, සුමිත් පීටර් සහ අමරසිරි යනාදිහු වෙති.
සුදත්ගේ චරිතය කෙරෙහි විමසිලිමත් වීමේ දී නිතැතින් ම සිහියට නැගෙන්නේ මහාචාර්ය සිරි ගුනසිංහගේ සෙවණැල්ල කෘතියේ ජිනදාසගේ චරිතය යි. සුදත් ඉතාම සාම්ප‍්‍රදායික, නව අදහස් කෙරෙහි භීතියක් දක්වන බලවන්තයාට එරෙහි අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බයාදු චරිතයකි. තමන් කෙරෙහි විනාශය අත්කරවන්නා අසවලා ය යන්න දැන දැනම එකී පුද්ගලයා ගේ ධනය, බලය ඉදිරියේ නපුංසකයකු සේ හැසිරෙන චරිතයකි. දැන දැන ම තමන්ගේ විනාශය තමන් කරා රැගෙන එන්නෙකි. පසුගිය කාලයේ සහ දැනට ද අපේ රටේ ජීවත්වෙන රාජ්‍ය නායක හිතවාදීන් මෙනි. අනෙකකු විසින් ඔහුගේ නොදැනුවත්භාවය පිළිබඳ දැන, පවතින යථාර්ථය වටහා දුන්න ද ‘‘මොනව කරත් එයා තමයි අපේ ගැලවුම්කරුවා’’ යන අදහසේ ම ඇලී ගැලී සිටින්නෙකි. වැලි කෙළියේ සිට එකට ම හැදී වැඩුණ කුසුමාවතී පසුකලෙක දී ඔහුගේ පෙම්වතිය බවට පත්වුව ද ඈ ඉදිරියේ දී වුව සුදත් හැසිරෙන්නේ ඒ ආකාරයෙනි.
‘‘හරස් පාර’’ කෘතියේ ආත්තම්මාගේ චරිතය ඉතාමත් තාත්වික අන්දමින් ගලායාමට සැලැස්වීම කතුවර හිමි සතු ප‍්‍රබන්ධ හැකියාව මැනවින් විශද කරයි. තමා අකමැති කාන්තාවක් සමග සිය පුතු පවත්වාගෙන යන පේ‍්‍රම සම්බන්ධයට ඇය දක්වන විරෝධය කෘතිය ආරම්භයේ සිට ඇය මිය යන තෙක් ම පාඨක ප්‍රජාව සමග සම්මුඛ වන්නේ ඇය කෙරෙහි: විටෙක හාස්‍යය ද, විටෙක පිළිකුලක් ද, විටෙක අනුකම්පාවක් ද, තවත් විටෙක වෛරී සහගත බවක් ද ඇති කරමිනි. ඇගේ චරිතය හැසිරවීමේ දී කතුවර හිමි සැබෑ වැඩිහිටි ගැමි කාන්තාවකගේ හැසිරීම්, දෙබස් උච්චාරණය සහ ඇගේ මනෝ භාව යථා අන්දමින් ම ඉදිරිපත් කර ඇත. වෙසෙසින් ම: ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය සපිරි මානසික තත්ත්වයක දිවි ගෙවන ඇගේ ජීවන රටාව ඉදිරිපත් කිරීම තුළින් ගම්‍ය වන්නේ කෘතියට අදාළ චරිතයේ චිත්තාභ්‍යන්තරයට ඇතුළු වීමට කතුවර හිමි දරා ඇති උත්සාහය යි.
ඒ ආකාරයට ම කැපී පෙනෙන චරිතයක් ලෙස ‘‘පීටර්’’ ගේ චරිතය ද සැලකිය හැකි ය. ඒ කුසුමාවතීගේ පියා ය. ඔහු කිසිදු කාර්යයක නොයෙළෙන සෝමාරි චරිතයකි; නිහඬ චරිතයකි. එහෙත් ඔහුගේ සිත හැම මොහොතක ම අවදියෙනි. ඔහුගේ ගුප්ත ස්වභාවය තුළින් ද පෙන්නුම් කෙරෙන්නේ සියල්ල ඉවසමින් නිහඬ ව‍්‍රතයක දිවි ගෙවමින් ම වුව ද තම පවුලේ මතු නොව ඉන් පරිබාහිර සමාජයේ පවත්නා හොඳ නරක ඉතා මැනවින් ග‍්‍රහණය කර ගන්නා බව යි. එහෙත් ඒ කිසිවකට ඍජු ලෙස විරෝධය පෑමක් හෝ එකඟතාවක් නොදක්වන්නේ ඔහුගේ කායික ශක්තිය ද, මානසික ශක්තිය ද දුර්වල මට්ටමක පවතින හෙයිනි. මේ සියල්ල හෙළි කෙරෙන්නේ එක් මොහොතක සිය ආවේගය මුදා හැරිම සඳහා උදැල්ලක් ද රැගෙන තනිවම නියර ගොඩ කිරීමට සූදානම් වීමෙනි. අවසානයේ ඔහු සිය දිවි තොර කර ගැනීම තුළින් ස්ඵුට වන්නේ ද ඔහු සතුව පැවති ඒ ගුප්ත ස්වභාවය යි. එමෙන් ම ඔහු සිය දිවි නසාගන්නේ තමා අගය නොකරන සමාජය වෙත වෛර කරමින් එකී සමාජයෙන් පළිගන්නා අටියෙනි.
චරිත තුළින් විශද කෙරෙන සමාජ පැතිකඩ
මෙම කෘතියේ යටිපෙළ අරුත් අවම වුව ද ඇතැම් සිදුවීම් සහ එහි චරිතවල හැසිරීම් රටා හරහා පවතින සමාජයේ අඳුරු පැතිකඩ කිහිපයක් නිරාවරණය කරන්නට සමත්ව ඇත. ඒ සඳහා හොඳ ම උදාහරණය කුසුමාවතී ය. ඇය හද්දා පිටිසර ගැමි තරුණියකි. එහෙත් පසු කලක දී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි. විශ්වවිද්‍යාලයට පා තැබීමෙන් අනතුරුව කෙමෙන් කෙමෙන් තාරුණ්‍යයේ රැඩිකල්භාවය සිය කතාවෙන් ද ක‍්‍රියාවෙන් ද ඔප් නංවන ඇය කෙරෙහි ඇගේ පෙම්වතා වන සුදත් දක්වන්නේ නොරුස්සනා ස්වභාවයකි. ඔහු මේ සියල්ල බෙදා හදාගන්නේ විජේසේන රාලහාමි මුණ ගැසී ඔහුගෙන් යම් අවවාද අනුශාසනා ද ලබමිනි. යම් යම් සමාජ අත්දැකීම් ඇති ඔහු කුසුමාවතීගේ අනාගතය පිළිබඳ කෙටි ඉඟියකින් පවසන්නේ විශ්වවිද්‍යාලයෙන් පිට වු පසු ඇගේ හිතුවක්කාර ක‍්‍රියා කෙමෙන් කෙමෙන් අහෝසි වන බව යි. එය ප‍්‍රත්‍යක්ෂ වන්නේ ඇය විශ්වවිද්‍යාලයෙන් පිට වී නිවසට පැමිණි පසුව ය.
කතුවර හිමි මෙහි දී කුසුමාවතීගේ චරිතය හරහා සමාජගත කරන්නට යත්න දරන්නේ ඇගේ ජීවිත පවත මතු නොව විශ්වවිද්‍යාලයේ රැඳී සිටින කාල සීමාව තුළ අති රැඩිකල්, වාමවාදී, සමාජ ක‍්‍රියාකාරි පුද්ගලයන්ගේ සැබෑ ජීවිත පවත යි. එනම් ඔවුන්ගේ රැඩිකල් ගති සොබා සියල්ල විශ්වවිද්‍යාලය තුළ වෙසෙන කාලයට පමණක් ම සීමා වන බව යි; විශ්වවිද්‍යාල ජීවිතයෙන් සමුගැනීමත් සමග යළි සුපුරුදු ජීවන රටාව වැලඳ ගන්නා බව යි.
මෙම කෘතියේ තවත් කැපී පෙනෙන චරිතයක් ලෙස පොඩි රාලහාමිගේ පුත් සුමිත් හැඳින්විය හැකි ය. ඔහු ඉතාමත් කපටි, සූර බුද්ධියකින් හෙබි පුද්ගලයෙකි. ඇතැම් විට ඔහු නොසිටින්නට මෙම කෘතියේ ආකෘතිය ද ආඛ්‍යානය ද මීට බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබිණ. මන්ද කතාවේ මුඛ්‍ය තේමාව වන ගමට එන පාර සකසා ගැනීම සඳහා නියර ගොඩ කිරීමේ කාර්යය කඩිනමින් අවසන් වූවා නම් කතාවේ ගලා යාම ද එතැනින් ම අවසන් වන්නට ඉඩ තිබිණ. නියර ගොඩ කර පාර තනා ගැනීමේ කාර්ය කල් ගතවන්නේ ඊට ඍජු ලෙස විරුද්ධත්වයක් නොපෙන්වමින් එහෙත් එය වැළැක්වීම සඳහා සිය කපටි බුද්ධිය මෙහෙයවන සුමිත් ගේ ක‍්‍රියාකලාපයෙනි. ඔහු කිසිදු අයුරකින් කලබලයට පත්වන පුද්ගලයකු නොවන අතර තමන් විසින් පවත්වාගෙන යන නිහඬ ව‍්‍රතය තුළ ම අනාගත සැලසුම් සියල්ල ක‍්‍රියාත්මක කරවන්නෙකි. සැබැවින් ම ඔහු දක්ෂ දේශපාලන චරිතයක් යැයි පැවසුව ද එය නිවැරැදි ය. එහෙත් කෙතරම් ප‍්‍රබල දේශපාලනඥයකු වුව ද නොසිතූ මොහොතක පරාජයට පත්වන්නා සේ ඔහුගේ සියලූ සටකපටකම් ඉවසා, ඊට ඒ ආකාරයේ ම සටකපට උපාය උපක‍්‍රම භාවිතා කරමින් ඔහු පරාජයට පත්කරයි. එය ඔහු නොසිතූ මොහොතක නොසිතූ ආකාරයෙන් සිදුවන්නකි. එහි දී පරාජය බාරගෙන යථාර්ථයට මුහුණ දෙනවා හැර අන් යමක් ඔහුට ඉතිරි නොවේ.
යුග පෙරළියක පෙළගැස්ම
‘‘හරස් පාර’’ කෘතිය සපුරා ම යථාර්ථවාදී රීතියකින් රචනා කර ඇති අතර ඉහත සඳහන් කළ ආකාරයේ මිනිස් මනෝභාව ප‍්‍රකට කිරීම මතු නොව පරම්පරා තුනක යුග පෙරළියක් ද එතුළින් ප‍්‍රකට කෙරේ. එහි දී අඳ ගොවියන්ගේ ඛේදවාචකය ද, ඔවුන් ගේ ශ‍්‍රමය සූරා කෑ වලව් පෙළැන්තියේ ඒකාධිකාරිත්වය ද, එකී වලව් පෙළැන්තියට එරෙහි ව නැගී සිටින්නට බියෙන් පෙළෙනා එක් පරපුරක් ද සමාජ විපරිනාමයත් සමග ම එකී වලව් පෙළැන්තියට එරෙහි ව අවි අමෝරා සිය අයිතිවාසිකම් දිනා ගන්නට පෙළ ගැසෙනා තරුණ පරපුර ද, අවසානයේ නූතන පරපුර සිය අයිතිවාසිකම් දිනා ගන්නා අන්දම ද ඉතාමත් සූක්ෂම ව ඉදිරිපත් කර ඇත. යටි පෙළ බහු අරුත් නොසැපයුව ද කතන්දර කලාව උපස්තම්භක කරගනිමින් ම මෙකී යුග පෙරළියේ අංශු මාත‍්‍රයක් පාඨක ප්‍රජාවගේ ගේ මනසේ සිතුවම් කරන්නට සමත් ව ඇත.
විශ්වසනීය අවසානයක්
කතුවර හිමිගේ පසුකාලින කෘති සමග සසඳන විට මෙම කෘතියේ දක්නට ලැබෙන විශේෂත්වය නම් අවම සංකේත භාවිතය, යටි පෙළ අරුත් අවම වීම සහ අධියථාර්ථවාදී හෝ මායායථාර්ථවාදී ගති ලක්ෂණ විශද නොවීම ය. එමෙන් ම පසුකාලීන කෘති මෙන් කඩිනමින් කෘතිය අවසන් කිරීමට නොපෙලඹීම ද විශේෂිත ලක්ෂණයකි. කෘතියේ ප‍්‍රස්තුතයට අදාළ ආකාරයෙන් සියලු චරිත සහ සමාජ වටපිටාව පිළිබිඹු කර ඇති අතර විශ්වසනීය අවසානයක් කරා කෘතිය රැගෙන යන්නට කතුවර හිමි සමත් ව ඇත. වඩාත් පැහැදිලි ලෙස සඳහන් කරන්නේ නම් කතුවර හිමි සිය මනෝ ලෝකය තුළ කලබලයකින් තොර ව සැරි සරා අදාළ කතන්දරය නිමා කර ඇත.
භාෂාව සහ ලේඛන රිතියේ දුර්වලතා
අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ මෙම කෘතියේ අක්ෂර වින්‍යාස සදොස් ස්ථාන බහුල අතර ඇතැම් වාක්‍යය පවා සපුරා ම සදොස්භාවයකින් යුක්ත බවයි. මෙවන් කෙටි ලිපියකින් ඒ සඳහා උදාහරණ සැපයිය නොහැකි බැවින් එක් උදාහරණයක් පමණක් ගෙනහැර දක්වමින් මෙම ලියැවිල්ල අවසන් කරමි.
‘‘බිම ඇණ තියාගෙන ගෝනි කෑල්ලකින් කුසුමාවති හඬ නිකුත්වීමෙන් පසුව උණ බටයේ ගිනි නිවයි.’’
පිටුව 210
මෙම වාක්‍යයේ වැරුද්දක් ඇති බව බැලූ බැල්මට දක්නට ඇත. මම දන්නා අන්දමින් නම් මෙම වාක්‍යය මෙසේ ලියැවිය යුතුව ඇතැයි විශ්වාස කරමි. එනම්,
‘‘උණ බටයෙන් හඬ නිකුත් වීමෙන් පසුව කුසුමාවතී බිම ඇණ තියාගෙන ගෝනි කෑල්ලකින් එහි ගිනි නිවයි’’ යනුවෙනි. මෙවන් වාක්‍ය බහුල වශයෙන් කෘතිය පුරා ම දක්නට තිබේ. මෙය කතුවර හිමිගේ සිට ප‍්‍රකාශකයා දක්වා සිදුවන නොසැලකිලිමත්කමේ ප‍්‍රතිඵලයකි.
අක්ෂර වින්‍යාස ද පද බෙදීම් ද එලෙස ම සදොස් තැන් බහුල ය. ‘‘කාලකණ්ණි’’ යන්න ‘‘කාලකන්නි’’ ලෙස සටහන් ව ඇති අතර සමස්ත කෘතියේ ම ‘‘හතුරුකම්වලට’’ යන්න ‘‘හතුරු කම් වලට’’ යනාදි වශයෙන් පද බෙදීමේ දෝෂ ද බහුල ව දක්නට ඇත. භාෂාව පිළිබඳ උනන්දුවක් නොදක්වන හෝ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති පාඨකයාට මෙය ගැටලුවක් නොවිය හැකි වුව ද ...?