ඓතිහාසික නිර්මාණාත්මක ප්‍රබන්ධයක් ව පිපි නිල් කට්රොල් (736)

post-title

 ‘‘මෙය මින් වසර එක්දහස් පන්සියයකට පෙර රළු ගල් කුළෙක තම රාජධානිය ගොඩ නැගූ කාෂ්‍යපගේ කතාව පමණක් නොවේ. එසේ ම උත්පත්තියෙන් කුල හීන වූ පවට අනේක දුක් පීඩා විඳි උපුලීගේ කතාව පමණක් ද නොවේ. මෙය ඔබ දන්නා වූ හා නොදන්නා වූ ගුප්ත සිත්තරෙකුගේ ද අද්භූත ආදර කතාවයි.‘‘

(නිල් කට්රොල් - පසු පිට )

ඓතිහාසික මූලාශ්‍රය සත්‍යයක් ම ද?

ඇන්ඩෘ ග්‍රීලිට අනුව ගත් කළ ඉතිහාසයේ කාර්ය භාරය විය යුත්තේ හැකි පමණ නිවැරදිව ඓතිහාසික සිදුවීම් විස්තර කිරීමයි. නමුත් මෙය සිදු නොවන්නක් බව ඉතිහාසය හදාරන ඕනෑම අයෙකුට පහසුවෙන් අවබෝධ වෙයි. මන්ද බොහෝ විට ඉතිහාසය යැයි අප හඳුනාගන්නේ ම එහි කතුවරයා ගේ දෘෂ්ටිවාදය ම වන බැවින් ය. ඔහුගේ දැක්ම, ආශාවන්, පාන්තික ස්වභාවයන් ආදී සියලුම දෑ සවිඥානිකව හෝ අවිඥානිකව ඉතිහාසය පිළිබද කරන ඉදිරිපත් කිරීම සඳහා බලපෑම් කරයි. එබැවින් ඓතිහාසික මූලාශ්‍ර කියවන ඕනෑම පුද්ගලයෙකුට මෙම ඉතිහාසකරුවාගේ දෘෂ්ටිවාදී බරින් මිදෙන්නට නොහැකිය. 

නමුත් ඉන් අප අදහස් කරන්නේ ඓතිහාසික මූලාශ්‍රය යනු සියයට සියයක් ම ප්‍රබන්ධයක් වන බවක් නොවේ. එවිට ඓතිහාසික මූලාශ්‍ර සත්‍යක්ද යන ප්‍රශ්නයට පිළිතුරු සපයන ප්‍රවේශ තුනක් හඳුනාගත හැකිය. ඈන් කර්ටොයිස් හා ජෝන් ඩොකර් රචිත ඉන් හිස්ටෝරි පික්ෂන් කෘතියේ මෙම ප්‍රවේශ තුන හඳුන්වා දෙයි. ඉන් පළමු වැන්න නම් බොහෝ පශ්චාත් නූතනවාදින්ට අනුව ඓතිහාසික මූලාශ්‍ර ප්‍රබන්ධයක් වන බව ය. දෙවැන්න ඉතිහාසඥයන්ට අනුව එය එසේ නොවන බවය. තෙවැන්න නම් උක්ත කෘති සම්පාදකයා ගෙනහැර දක්වන කරුණයි. එනම් මෙම ද්විත්වයේ ම සංකලනයක් ය යන්නයි. ඒ අනුව ඒ තුළ අර්ධ සත්‍යක් මෙන් ම යම් දෘෂ්ටිවාදීමය බරක් ද පැවැති ය හැකි ය යන්නයි. එවිට අප ප්‍රශ්න නගන්නේ එම දෘෂ්ටිවාදීමය බර පැටවීම මගින් ප්‍රබන්ධකරණය වූ කොටසත් යම් විටක සවිඥානිකව ම හෝ අවිඥානිකව ම මගහැර ගොස් ඇති කරුණුත් සම්බන්ධව ය.

මෙම ලියැවිල්ලට අදාල ව එක් එවැනි ප්‍රශ්නය මෙසේ හදුනාගත හැකිය

‘‘සීගිරිය වැනි කලාගාරයක් නිර්මාණයට තරම් කලාත්මක රුචිකත්වයක් තිබූ සීගිරි කාෂ්‍යප රජු පීතෘ ඝාතකයෙක් විය හැකි ද?‘‘

අප දන්නා ප්‍රබලම ඓතිහාසික මූලාශ්‍රය වන මහාවංශයට අනුව සීගිරි කාෂ්‍යප වනාහි පීතෘ ඝාතකයෙක් ය. ධාතුසේන රජු මරා දමා රජ වූ පුවත අප මූලික විධිමත් අධ්‍යාපන තුළින් ද වටහා ගනු ලබන්නේ එම මූලාශ්‍ර පිහිට කරගෙන ය. නමුත් පෙර අප සදහන් කළ ප්‍රශ්නයට පිළිතුරක් ඉතිහාසයෙන් නිවැරදිව ම ලබා ගත නොහැක්කේ ඓතිහාසික මූලාශ්‍ර කරුවාගේ දෘෂ්ටිය අනුව එය ලියැවී ඇති හෙයින් ය.

ඉතිහාසය තුළ මෙවන් පැරඩොක්ස්, එනම් විසඳා ගත නොහැකි අත්භූත සිදුවීම් නිරන්තරව දැක ගත හැකි ය. ඒවා කිසිසේත්ම අත්භූත නොවන්නට පිළිතුරු ඓතිහාසික මූලාශ්‍රකරුවා සිය ඉතිහාස කතාව ගෙනහැර පෑම තුළ දැක ගත හැකි වුව ද එය සියයට සියයක් නිරවද්‍ය යැයි සිතිය නොහැක්කේ, ඔහුගේ දෘෂ්ටිවාදී මත සහ ආකල්ප බොහෝ විට සත්‍ය යටපත් කර තමා තුළ පරිකල්පනය කරගත් සත්‍යයක් එමගින් නිරූපණයට උත්සහ කර ඇති හෙයින් ය. 

මහාවංසකරුවා සහ මඩවල

ධාතුසේන රජුගේ මරණය, සීගිරි බලකොටුවේ කසුප් රාජ්‍ය නිර්මාණය, පීතෘ ඝාතකයෙකැයි සැලකෙන කසුප් රජු මුගලන් අතින් මියයාම වැනි ඓතිහාසික සංසිද්ධින් ගේ සැබෑ ව මොහොතකට ඉතිහාසකරුවාගේ දෘෂ්ටියෙන් මුදවා සිය පරිකල්පන අවකාශය තුළ නිර්මාණාත්මක ව ගෙන හැර පාන මොහාන් රාජ් මඩවල ගේ නවතම කෘතිය නිල් කට්රොල් ය. 

මොහාන් රාජ් මඩවලයන් මහා වංශකරුවාගේ දෘෂ්ටිවාදී ඉතිහාසය අතහැර සිය පරිකල්පන අවකාශය නිර්මාණය කර එමගින් කාලතරණයක යෙදෙයි. ඉතා දියුණු අනාගතයක ජීවත් වන අමේෂ් දේවසුරේන්ද්‍ර කථිකාචාර්යවරයා සහ ප්‍රියංවදා නැමැති තාක්ෂණික ගැහැනු අනුරුව ඇසුරෙන් අරඹන මෙම කාල තරණය එක් නිමේෂයක කෘතිය හරහා එදවස අනුරාධපුර යුගයේ ධාතුසේන රජුගේ කාල සීමාව සොයා ගමන් කරයි. නමුත් කාලතරණයකින් වුව ද සොයා ගත නොහැකි විසඳාගත නොහැකි අද්භූත සිදුවීම් මගින් ඉතිහාසය පිරී ඇත. එවිට ඒවා කවර ආකාරයක් වේදැයි යන්න ප්‍රශ්නාර්ථයක් ය. මඩවලයන් මේ උත්සහ ගන්නේ එවැනි අද්භූත සිදුවීම් රැසකට පරිකල්පනීය පිළිතුරක් සැපයීමට ය. යම් විටෙක මෙම කෘතිය පරිශීලනය කරන පාඨකයෙක් මොහාන් රාජ් මඩවල යනු ඉතිහාස ඝාතකයෙක් යැයි පැවසිය හැකි ය. මන්ද අප මේ මොහොත තුළ පරිශීනය කරන පරිහරණය කරන මහා වංශය ශුද්ධ ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථයකැයි සලකන්නෝ තවමත් සමාජයේ ඇත. එවන් ශුද්ධ වස්තුන් කවර හෝ ලෙසකින් වෙනස් ව දැකීම පාරිශුද්ධත්වය කෙළෙසීමක් ය. 

කතුවරයා ඉතිහාසය ඝාතනය කරනවාද?

මුලින් ම මෙම කරුණ අප ප්‍රවේසමින් ලෙහා ගත යුත්තකි. එනම් මහානාම හිමිගේ කෘතිය සහ මඩවලයන්ගේ කෘතිය පාර්ශ්ව දෙකක නියෝජනයන් බව අප වටහා ගැනීම මගින් ය.

එහිදී මහා වංශය යනු ඓතිහාසික තොරතුරු හෙළිදරව් කරන මූලාශ්‍රයක් වන අතර නිල්කට්රොල් යනු ඓතිහාසික නිර්මාණාත්මක ප්‍රබන්ධකරණයක් යන්න ය. එහෙත් මේ දෙක පාර්ශව දෙකක් නියෝජන කළ ද ඓතිහාසික නිර්මාණාත්මක ප්‍රබන්ධයක් බිහි වන්නේ ම ඓතිහාසික මූලාශ්‍රයක් මගින් අපට හඳුන්වාදෙන සංදර්භයක් තුළ ය. එහිදී එකී සන්දර්භය තුළ පැවති සංසිද්දි චරිත ආදිය ඒ අයුරින් ම කලාත්මකව ඉදිරිපත් කිරීමකට යෑම ඓතිහාසික ප්‍රබන්ධ කරුවා අවශ්‍යයයෙන් ම කළ යුතු නැත යන්න ද අප තරයේ සිහියට ගත යුත්තක් ම ය. ඒ අනුව එහිදී ඔහුට නිර්මාණකරුවකුට හිමිවන නිදහස රිසි සේ භාවිත කළ හැකි ය. 

එවිට, කතුවරයා ඉතිහාසය ඝාතනය කරනවා ද? යන මෙම පැනයට සෘජු පිළිතුරක් සැපයිය හැකිය. ඒ නැත යන්න ය. මන්ද අප පැහැදිලිව හදුනාගත යුත්තේ මඩවල ඉතිහාසයේ සමහර වැසුණු පදාසයක් නැතහොත් පැරඩොක්සයක් සිය නිර්මාණාත්මක පරිකල්පනයට හසුකොට එතුළින් කතාවක් නිමවන්නට උත්සහ කරන බවය. එය නිවැරදි ද එය සහේතුක ද යන්න පිළිවිසීම නො ව අප විසින් කළ යුත්තේ එම පැන්ටසිය විද ගැනීම පමණක් ය. ඒ ඔස්සේ හඹාගොස් එය සත්‍යයක් යැයි සිතා ඒවා තහවුරු කර ගැන්මට උත්සහ ගැනීම පාඨකාධ්‍යාශයක් නො වන බව අප වටහා ගත යුතු ය. 

නමුත් මහාවංශය නම් මූලාශ්‍රයේ ඇති ඇතැම් කරුණු ප්‍රතික්ෂේප කිරීමත් පෙර අප කී පැරඩොක්ස් සදහා නිර්මාණාත්මක පරිකල්පනයෙන් පිළිතුරු සැපයීමත් මඩවල සිය කෘතිය හරහා සිදුකර ඇත. එම ක්‍රියාවලියේ දී මඩවල රිසි සේ සිය නිදහස බුක්ති විදියි. මාර්ටින් වික්‍රමසිංහගේ රෝහිණී නවකතාව තුළ ඇති ප්‍රධාන චරිත ද්විත්වය පිළිබද ඉතිහාසයේ කිසිදු තැනක සදහන් වන්නේ නැත. නමුත් වික්‍රමසිංහ ගැමුණු යුගයේ සිටි පරිකල්පිත චරිත දෙකක් හදුන්වා දෙමින් නිර්මාණාත්මක පරිකල්පනය භාවිත කර ගැමුණු රජ දවස ඓතිහාසික සන්දර්භය මූලාශ්‍රකරුවා දක්වා ඇති දෘෂ්ටියට අනුගතව යමින් රචනා කර ඇත. එබැවින් රෝහිනී ලියූ මාර්ටින් වික්‍රමසිංහ ඉතිහාසය ඝාතනය කරන්නෙක් වන්නේ නැත. 

මඩවල කරන්නේ ද මෙම ක්‍රියාවලිය ම ය. ඔහු ද ධාතුසේන රජ දවස සමාජ සංදර්භය සිය කතාවට පසුබිම් කර ගනියි. උපුලී යනුවෙන් නව්‍ය චරිතයක් නිර්මාණය කරන මඩවල වික්‍රමසිංහයන්ගේ ක්‍රියාවලියෙන් වෙනස් මගකට යන්නේ ඔහු මෙම නිර්මාණාත්මක පරිකල්පනය තුළ දී එම ඓතිහාසික සන්දර්භය වෙනස් කිරීම මගින් ය. එනම් එහිදී ධාතුසේන ඝාතනය නොවන වගත් ඔහු අසනීප ව මිය යන බවත්, සීගිරි කාෂ්‍යප පීතෘ ඝාතකයෙක් නොවන බවත් යන ඓතිහාසික සංසිද්ධි නව්‍ය ලෙස අර්ථකනය කර වෙනස් කරන බැවින් ය. 

එනිසා බොහෝ අයට මඩවල ඉතිහාස ඝාතකයෙක් සේ පෙනී යන්නට හැකි ය. නමුත් මේ ලියැවිල්ල ආරම්භයේ දී ම අප පැවසුවාක් මෙන් ඓතිහාසික මූලාශ්‍රය යනු ඓතිහාසික නිර්මාණාත්මක ප්‍රබන්ධයක් නොව න වග ද එය පවා සියයට සියයක් සත්‍ය විය නොහැකි බව අප සිහිකර ගත යුතු ම වන්නේ එවන් තීරණයකට එළඹෙන්නට පෙරය. 

Top