මිනිස් මනස හැසිරෙන වැඩකරන කසකැවෙන හැටි ගැන වචනවලින් කීම, පරිසර වර්ණනයක් චරිත නිරූපණයකට වඩා තරමක් භාරදූර වෙයි. මිනිස් සිතට සිතිවිලි ගලාගෙන එන වේගයේ තරමට, එය එහෙ මෙහෙ හැරෙන නැවෙන හැපෙනවිට නැගෙන සිතිවිලි ඉදිරිපත් කිරීම අසීරු බැවිනි. මෙම ස්වභාවය ඉදිරිපත් කිරීමට වෙරදැරුවන් ගණනකි. ජී බී සේනානායක, මාර්ටින් වික්‍රමසිංහ, සිරි ගුණසිංහ, ඊවා රණවීර මෙහිලා අමතක කළ නොහේ. ඔවුන් මනස විවරණය කිරීමට ගත් ස්වභාවන්, ආකාර විවිධය. විශ්ව සාහිත්‍යයේ නම් මෙහි ලා පළමුව සිහිකැඳවෙන්නේ රුසියානු ජාතික ෆියෝදෝර් දොස්තයොස්කිය. කෙසේ හෝ වේවා, මනස් පුතුන්ගේ ගණයට දැමිය නොහැකි නමුත්, ඉවසීමෙන් වචන තෝරා බේරා, එකම තැන රැඳී සිටිමෙන්, පුද්ගල චරිතයක මනස හැඩගැසෙන හැටි ඉර වර වර කෘතියෙන් පෙනෙන පළමු සුලකුණයි.
සුරංගගේ කාමරයට එන කළු දුම් වලාව, ජී.බී. සේනානායකගේ කලහය කෙටිකතාවේ කසළ පිළිස්සීමෙන් නගින දුම සිහිකරවීය. එකී දුම නැගි නැගී ඉහළ යන්නා සේ කලහය වර්ධනය වූයේය. මෙහි එම දුම යොදාගැනෙන්නේ සංකේතයක් ලෙසිනි. නමුත් එය ප්‍රබල සංකේතයක් ලෙස දැනවීම කතුවරයාගේ අරමුණ වී නැත.
කතුවරයා අමරසිංහගේ ස්වභාවය පැවසීමට මේසය මත ඇති වීදුරු බෝලය සහ කරකැවෙන පංකාව යොදාගනී. අමරසිංහගේ හිතේ ඇත්තේ නිශ්චිත සිතිවිල්ලක් නොවේ. අයාලේ යන සිතිවිලිය. තමන් කළ සිදුවීමක් සම්බන්ධයෙන්, එය නිවැරදිද වැරදිද වැනි අදහසකින් ඔහුගේ සිත පීඩිතව ඇති අවස්ථාවක සුරංග සමඟ කරන සංවාදයකි. මෙහිදී වීදුරු බෝලය සමඟ අමරසිංහ ගෙනයන ගනුදෙනුව සඳහා කතුවරයා ඡේද 2ක් වෙන්කරයි. එය අත්‍යවශ්‍යම ය. එහි මල් පෙති තමාගේ පැත්තෙහි ඇති පෙති කැතට පෙනෙන සේ දිස්වීම, එය ඉහළ පහළ ගෙනයමින් පරීක්ෂා කිරීම, මල්පෙති තමාට අතවැනීම, තමා දෙසට පෙති නැමී තිබීම වැනි අතිශය කුඩා අවස්ථා කිහිපයක් එක ළඟ යොදමින් ඔහු අමරසිංහගේ එක්තරා පක්ෂයක් අපට විධාරණය කරයි. එකම තැන කරකැවෙන පංකාවද එලෙසය.
එක් සිදුවීමකින්-එක් පරිසරයකින් තවෙකක් වෙතට පිවිසීමේදී, ඒවා වෙන් වෙන් සිදුවීම් දෙකක් අවස්ථා දෙකක් ලෙස නොපෙනන පරිදි ක්‍රමයෙන් මිශ්‍ර කිරීමට කතුවරයා සමත්ය. එකකින් අනෙකට පනිනවාට වඩා හෙමි හෙමින් අවස්ථා නිරායාසයෙන් මුසුවෙන්නට ඉඩදෙයි. එම සිදුවීමට කතුවරයා පැමිණියේ කෙසේද යන්න පාඨකයාට විමතියක් වී නැවත පෙර වැකි කියවීමට සිදුවෙයි.
කතුවරයාගේ දෙබස් සංවාද වෙනත් තලයක් ගනී. රුවන් වැකිමය ලකුණක් පෙන්වයි. සංවාද රටා පවත්වන්නේ ඉතාම පැසුණු දැනුමැති දෙදෙනෙකු බව පෙනේ. නිරන්තර උපදේශාත්මක සංවාද කුලුපඟ මිතුරන් දෙදෙනෙකු සැබෑ ජීවිතයේදීත් භාවිත වන්නේද යන්න සිතිය යුතුය. සැබෑ ලෝකය-කල්පනා ලෝකය ගැන කරන සඳහන අමරසිංහ තම සිතටම කිය කිය සිත සනසාගන්නාක් මෙනි. මෙවැනි තැන්හිදී කතුවරයා සාර්ථකය.
නූතන සමාජයේ විකෘතියත්, අපේක්ෂා විරහිත එහෙත් සැමදා ප්‍රීතියෙන් සිටින බව ප්‍රදර්ශනය කරවන ශෝකී-හිස් මිනිස් ජීවිතවල පිළිබිඹුවකි. කන්නාඩියේ සිටින පූස් පැටවා ඇල්ලීමට තැත්කරන පූසා, තමාවම සොයාගැනීමට කරන අරගලය අද අපි කරමින් සිටින්නෙමු. විකෘතියක් වූ යථාර්ථය වෙනුවට සුන්දර ෆැන්ටසිමය කාල්පනික ලෝකයට අපි ලෝල වෙමු.
‘ඇළ දෙබොක්කාවේ සිට බණ්ඩත්තා පල්ලම් බහින විට හරියට තනියා පල්ලම් බහිනනා වගේමය’
බණ්ඩත්තා වෙනමත් තනියා වෙනමත් එක ලෙසින්ම පල්ලම් බහින ආකාරය මැවී පෙනෙන ඉහත උපමාව තැනය යෝග්‍යය. එහෙත් එම උපමාව ම එම පරිච්ඡේදයේ ම ඊළඟ ඡේදයක නැවත වරක් යොදා තිබේ. එය හානියකි. එකම ප්‍රබලම උපමාවේ රස ඇත්තේ, තනිව කේවලව සිටියදීය. එයම නැවත නැවත කියද්දී රසය පෙරි පෙරී නැතිව යයි. කිරි අත්තා සහ මද්දුගේ සංවාද ළගනී. කිරිඅත්තාගේ පරිණත වැඩිහිටි වදන් සහ ඒවා ගණන් නොගෙන ඔහේ කියවන මද්දුගේ වදන්වල ප්‍රීතියෙන් ජවයෙන් පාඨකයා පණලබයි. එහෙත් වැඩිහිටි-ළදරු සංවාද ළමා පොතක් මට්ටමට පත් නොවියයුතු බවය අපගේ යෝජනාව.
අප කරන යෝජනා කිහිපයකි. කතුවරයා සංවාදවලට වැඩියෙන් නැඹුරු නොවී, විස්තර කථන, චරිත නිරූපණ, මනස නිරූපණ වෙත වඩාත්ම යොමුවිය යුතු බව පළමුවැන්නය. ඔහුගේ හැකියාව මතුවන්නේ ඒවායින් වන අතර එය තවදුරටත් දියුණු කරගත යුතුය. නිතර නිතර සංවාද සහ දෙබස් අර කී විස්තර අතර ඔබ්බවීමෙන් ඊට බාධා පැමිණේ.
සුරංග සහ අමරසිංහ සිටින කාමරයේ වටපිටාව, අර කී දුම පැතිරගිය හැටි, සුරංග අමරසිංහ වෙත ක්‍රමිකව පැමිණි හැටි, එසේ පැමිණෙන අවස්ථාවේදී අමරසිංහ ඔහුට දැක්වූ ප්‍රතිචාර හැසිරීමෙන් ඔවුන් දෙදෙනාගේම චරිත ගැන අදහසක් මතුකළ හැකිය.
පරිසර අලංකාරයට වැඩි ඉඩක් කෘතියෙහි වෙන්වෙයි. කතුවරයා විසින්ම වැඩි වශයෙන් ජනශ්‍රැති සම්බන්ධව සහ ගම අදාළව කෘති සහ පර්යේෂණ කරන ලදුව ඇති බැවින්දෝ, නොඑසේ නම් නවකතාවේ විෂය පථය ඊට බරව නැගීසිටීමෙන්දෝ කතාව ඉදිරිපත් කරන්නට අවශ්‍ය වපසරිය පරිසර සබඳතා ඇසුරින් නිමැවේ. මෙය උද්දීපන විභාවක්(හැඟීම් වර්ධනයට බලපාන්නා වු පරිසරය) කරා ගෙනයමින් නවකතාවේ ක්‍රියාවිකාශනය වෙත නැඹුරු කරගන්නැයි අපි යෝජනා කරමු. සමස්තයක් වශයෙන් පරිසරය තරම්ම නගරයේ, කාමරයේ පරිසරය ද තරමක් විස්තර කළේ නම් හොඳ බව අපගේ අදහසයි. ගම සුන්දරයි-නගරය දුෂ්කරයි ලෙසින් ශුද්ධ-අශුද්ධ සමාජ සංස්ථා ගැන වූ නියත, නිර්වචනමය අදහස් පාඨකයාගෙන් මුදවා ගැනීමේ වගකීම ලේඛකයා සතුවන බැවිනි.