පසුබිම
හර්මන් හෙස නම් ජර්මන් ජාතික විශිෂ්ට ලේඛකයා විසින් රචිත සිද්ධාර්ථ වූ කලී දකුණු ආසියානු කලාපය තුළ සහ විශේෂයෙන් ඇමරිකාවේ දීර්ඝ කාලයක් පුරා ජනප්‍රිය කෘතියකි. මෙම කෘතිය ගැන ලෝකයේ විවිධ මත පළවී තිබේ. කෙසේ වුවද සිද්ධාර්ථ නූතන සමාජයට ගලපා ගැනීමේදී වඩා වැදගත් විය හැකි කාරණා ගණනාවක් ඇත. හෙස මෙම නවකතාව ලියන්නේ 1919 සිට 1922 දක්වා කාල පරාසයේදීය. මෙම කාලසීමාව පළවන ලෝක යුද්ධයෙන් පසු ව යුරෝපය තුළ චින්තන වෙනසකට භාජනය වන කාලයයි. එක් පසෙකින් අධි යථාර්ථවාදී ව්‍යාපාරය සහ විවිධ දාර්ශනික සංවාද මතුවෙමින් පළවන ලෝක යුද්ධයට හේතු කාරණා විග්‍රහ කරමින් සිටි අවධියකි. කෙසේ වුවද, හෙස සැලකීමේදී ඔහු රොමෑන්තික වාදයේ අවසන් පරපුරට අයත් ලේඛකයෙක් ලෙස දැකිය හැකිය. හෙස සිය කුඩා විය ගතකරන්නේ දැඩි ආගමික භක්තියකින් යුත් මිෂනාරි පවුලක දැඩි ආගමික පසුබිමක් යටතේය. විශේෂයෙන් ඉන්දියාවේ මිෂනාරි සේවයේ යෙදී සිටි සිය පරම්පරාව නිසා හෙස ට ඉන්දියානු ආගම් සහ දර්ශන ගැන වැටහීමක් ලැබුණ බව පෙනෙන්නේ ඔහු ඒ බව එකතැනක සටහන් කර තිබූ නිසාවෙනි. එකල ඔහුට ක්‍රිස්තියානි ආගමික ඉගැන්වීම්වලට අමතරව බුද්ධ සහ ලාවෝ ට්සු වැනි අය ගැන ඉගෙන ගැනීමට බල කෙරෙුණු බව හෙස සිය චරිතාපදාන ලියැවිලිවල ලියා ඇති බව An apology for Herman Hesse’s Siddhartha නමින් ක්ෂමාලාපයක් ලියන Ricky Lee Bauman විසින් පවසා සිටී.
“hier wurde gebetet und in der Bibel gelesen, hier wurde studiert und indische Philologie getrieben […] hier wusste man von Buddha und Lao Tse.” (Here one prayed and read the Bible. Here one studied and had the Indian philology forced on them. Here one knew of Buddha and Lao Tzu)” - Page 03, An apology for Herman Hesse’s Siddhartha, Bauman Ricky, 2016.
කෙසේ වුවද, දැඩි ආගමික පරිසරයෙන් නිදහස්වීමේ මාර්ගයක් ලෙස හෙස පසුව කවියෙකු හා ලේඛකයෙකු බවට පත්වීම තෝරාගන්නේය. මේ කාලය පුරාම ඔහුට ආධ්‍යාත්මික ගවේෂණයක් (Spiritual Journey) කිරීමේ උවමනාව තිබූ බව විචාරකයෝ පවසති.
සිද්ධාර්ථ සාරාංශය
බ්‍රාහ්මණ පවුලක උපත ලබන සිද්ධාර්ථ නම් තරුණයා, තරුණ වියට එළඹෙන තෙක් සිය පවුලේ දැඩි ආගමික චාරිත වාරිත්‍ර සමඟ ඇති දැඩි වෙයි. දිනක් එම ගම්මානය හරහා යන ශ්‍රමණයන් හෙවත් පරිභ්‍රාජකයන් තිදෙනෙක් දකින සිද්ධාර්ථ ශ්‍රමණයෙකු වීමට තීරණය කරයි. ඔහුගේ වැලිකෙලියේ සිට එන මිතුරා ගෝවින්ද ඔහු සමඟ ගමනට එකතු වෙයි. එයට පියාගෙන් අවසර නොලැබෙන තැන ඔහු දැඩි වෘතයක පිහිටා සිටිමින් කෙසේ හෝ අවසරය ලබාගනී. පරිභ්‍රාජකයින් වෙතට යන සිද්ධාර්ථ ටික කලෙකින් තමන් සොයන දෙය ඔවුන් සතුව නැති බව අවබෝධ කරගන්නා සිද්ධාර්ථට නිර්වාණය ලබාගත් ගෝතම බුද්ධ නම් බුදු කෙනෙකු ගැන දැනගන්නට ලැබෙයි. බුදුන් සොයාගෙන යන ඔවුන් දෙදෙනා ගෝතම ඉගැන්වීම්වලට සවන්දෙයි. එතැනදී ගෝවින්ද පැවිදි දිවියට එළඹුනද, සිද්ධාර්ථ එය ප්‍රතික්ෂේප කර තමන් විසින්ම නිර්වාණය සොයා යෑමේ ගමන අරඹයි. එයින් පසු ගඟ අසලට එන සිද්ධාර්ථට තොටියෙකු හමුවෙයි. තොටියා සිද්ධාර්ථව ගඟෙන් එතෙර තරවයි. ගඟෙන් එතෙරව නගරයට යන සිද්ධාර්ථ සිය සියලු ඉගැන්වීම් සහ පරිභ්‍රාජක ජීවිතය අතහැර ගිහි ජීවිතය සහ ලෞකික සැප නැමැති මාර්ගය තෝරාගනී. මෙහිදී ඔහු කමලා නම් නගර ශෝභිනියක සමඟ කාම භෝගී ජීවිතයක් ගෙවන අතර කාමස්වාමි නම් ව්‍යාපාරිකයා සමඟ එක්ව ව්‍යාපාරවල නියැලෙමින් ධනය රැස්කරයි. වසර විස්සකට පමන පසු සිද්ධාර්ථට තමන් සොයන දෙය මේ කොතැනකවත් නැති බව අවබෝධ වෙයි. ඔහු සියල්ල අතහැර යයි. ඔහු නැවත එළඹෙන්නේ පෙර ඔහු එතෙරව ආ ගඟ වෙතටයි. එතැනදී තොටියා සමඟ ජීවත්වීම තෝරාගන්න සිද්ධාර්ථ ගඟට සවන්දීම හරහා ජීවිතය ඉගෙන ගැනීමට පෙළඹෙන්නේ තොටියාගේ මඟ පෙන්වීම සමඟිනි. මේ අතර කමලා ට සිද්ධාර්ථගෙන් දරුවෙක් ලැබෙන අතර ගෝතම බුද්ධ පරිනිර්වාණය බැලීමට යන කමලා සහ පුත්‍රයා ගඟ අසල විවේක ගන්නා විට කමලාට නාගයෙකු දෂ්ට කරයි. එයින් කමලා මියයන අතර සිද්ධාර්ථට පුත්‍රයාගේ වගකීම පැවරෙයි. පියා සහ පුතා අතර ගැටුමකට පසු පුත්‍රයා සිද්ධාර්ථව අතැර යයි. අවසානයේ ඔහු නිර්වාණය සාක්ෂාත් කරගන්නා බව හෙස අපිට පවසයි.
සිද්ධාර්ථ සහ ගෝතම අතර සමානකම්
1. සිද්ධාර්ථ ගෝතමගේ ජීවිතයම එක්තරා විදියකින් වෙනස් ආකාරයකට හෙස අපිට සම්මුඛ කරවයි. ගෝතම සිද්ධාර්ථ කාමසුඛල්ලිකානු යෝගයේ සිට අත්තකිලමතානු යෝගය කරා ගොස් මධ්‍යම ප්‍රතිපදාවට පිවිසෙන ගෝතම මෙන්ම අත්තකිලමතානු යෝගයේ සිට. කාමසුඛල්ලිකානු යෝගය වෙත ගොස් මධ්‍යම ප්‍රතිපාදවට එළඹෙයි
2. එමෙන්ම දෙදෙනාටම නිර්වාණය සඳහා මඟ කියන්නේ ගංගාවයි. ගෝතම නිර්වාණය ලබන්නේ ගඟ ඉදිරිපට තබාගෙනය. පොතේ සිද්ධාර්ථ එය සාක්ෂාත් කරගන්නේ ද ගංඟාව සමඟ ජීවත් වීමෙනි.
3. දෙදෙනාටම පුතෙකු ඇතිවෙයි.
4. සිද්ධාර්ථ ඡන්නව අතහැර යන අතර ගෝවින්ද සිද්ධාර්ථව අතහැර යයි.
නවකතාව විසින් මතුකරන ප්‍රශ්න
1. දැනුම සහ ප්‍රඥාව අතර වෙනසක් තිබේද?
2. නිර්වාණය සාක්ෂාත් කරගැනීමට ඇත්තේ බුදුන්ගේ මාර්ගය පමණද?
3. නිර්වාණය ඉගැන්විය හැකි දෙයක්ද? තමන් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක්ද?
4. සිද්ධාර්ථ, ගෝතම හැරයන්නේ ඇයි?
5. ගෝවින්දට නිර්වාණය ලබාගත නොහැක්කේ ගෝතමගේ අනුගාමිකයෙන් වූ නිසාද?
6. සිද්ධාර්ථ තොටියා ළග නවතින්නේ ඇයි?
මෙම ප්‍රශ්න විග්‍රහ කර ගැනීම සඳහා තරමක් ගැඹුරින් විමසා බැලිය යුතු වෙයි. ඒ සඳහා වැඩිදුර විමසන්නෙකුට ප්‍රයෝජනවත් විය හැකි මූලාශ්‍ර දෙකක් මෙහි සඳහන් කරන්නට කැමැත්තෙමි.
1. AN INTRODUCTION TO INDIAN PHILOSOPHY BY SATISHCHANDRA CHATTERJEE, M.A., PH.D & DHEERENDRAMOHAN DATTA, M.A., PH.D
2. An apology for Herman Hesse’s Siddhartha by Ricky Bauman
හෙස ට ඉතා පැහැදිලිවම ආධ්‍යාත්මික හඹායෑමක් තිබූ බව ඔහුගේ ඩේමියන්, ස්ටෙපන්වුල්ෆ් වැනි කෘතිවලදී පවා පෙනෙන්නට තිබේ. මෙනිසාම හෙස බටහිර දර්ශනය සහ පෙරදිග දර්ශනය යන දෙක ගැනම යම් පමණකට අධ්‍යනය කළ බව වටහා ගත හැකිය. 1911 දි ඉන්දියාවට ගොස් පැමිණි පසු ඔහු මෙසේ ලියා ඇත. “ඉන්දියානුවන් අතරෙදි මම...සියලු මනුෂ්‍ය වර්ගයා අතර ශක්තිමත් එක්සත්කමක් සහ සමීප ඥාතීත්වයක් පිළිබඳ හැඟීමක් ලබා ගතිමි”
“das starke Gefühl von der Einheit und nahen Verwandtschaft alles Menschenwesens, das ich unter Indiern, […] gewonnen haben” (I have gained among the Indians […] a strong sense of unity and close kinship among all humankind) - Page 04, An apology for Herman Hesse’s Siddhartha, Bauman Ricky, 2016.
නිර්වාණය සාක්ෂාත් කරගත් කිසිවෙකු 1911 දී ඉන්දියාවේ දි හෙස ට හමුනොවන්නට ඇති බව සිතිය හැකිය. සිද්ධාර්ථ නවකතාවේදී ඔහු ගෝතම ශ්‍රාවකයන් අතරේ නිර්වාණය සාක්ෂාත් කරගත් කිසිවෙකු නොසිටි බව ප්‍රබන්ධ කරන්නට ඇත්තේ ඒ ඇසුරින් විය යුතුය. බුද්ධ දර්ශනයෙන් ආගමික සංස්ථාපිත බවට පත්වූ බෞද්ධ ආගම තුළින් එවැන්නක් බිහිවිය නොහැකි බවට එක්තරා විදියකින් හෙස ගෙනන තර්කයක් ලෙස කෙනෙකුට ගත හැකිය. එහෙත් හෙස කෘතිය තුළදී නිර්වාණය යන්න සාක්ෂාත් කරගත හැකි එකක් ලෙස අවස්ථා දෙකකදීම පෙන්වයි. මෙතනදී හෙස ප්‍රබන්ධ කරන ගෝතම චරිතය සහ බෞද්ධ දර්ශනයේ එන ගෝතම යන්න පටලවා නොගැනීමට තරම් පාඨකයා බුද්ධිමත් විය යුතුය. මන්ද සිද්ධාර්ථ ගෝතම හැර යන්නේ හේතු කිහිපයක් මතය.
පළමුවැන්න ගෝතමගේ ශ්‍රාවකයන් නිර්වාණයට ළඟාවී නොමැති බව ඔහුට දැනීමය.
දෙවැන්න නිර්වාණය යනු ගුරුවරයෙකුගෙන් ඉගෙනගත යුතු දෙයක් නොව තනිවම ළඟා කරගත යුතු එකක් බව ඔහුගේ තුළ ඇති විශ්වාසයයි
තුන්වැන්න ඔහු කිසිදු ගුරුවරයෙකු විශ්වාස නොකිරීමය
සිව්වැන්න නිර්වාණයට ළඟා වූ මොහොත ගෝතමගේ දේශනාවල නොකියවීමය
මෙම කාරණා අධ්‍යනය කිරීමේදී හෙස ට බුදුදහම ගැන තිබූ දැනුමේ මද බව පැහැදිලිව පෙනෙයි.
බුද්ධ දේශනයේ හැමවිටම පවසන්නේ නිර්වාණය තමන් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු බවය. ඒ සඳහා අට වැදෑරුම් ක්‍රමයක් පැහැදිලිව බුද්ධ දේශනාවේ එයි. එය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
බුදුන් පැහැදිලිවම
“යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති
යමෙක් ධර්මය දකීද, හේ මා දකී”
යනුවෙන් දේශනා කරන්නේ එබැවිනි. හෙස ට මේ ගැන අවබෝධයක් නොතිබූ බව පෙනී යයි. එසේම වර්ථමානයේ අනුගාමික බුදුදහමක නියැලී සිටිනා ලංකාවේ බහුතර භික්ෂූන් සහ දායකයෝ ද නොදනිති.
නිවන යනු කිසි විටෙක එක් තත්වයක් නොවන බව මගේ පිළිගැනීමයි. නිවන යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගය අඛණ්ඩව කළ යුතු බවට අවබෝධ කරගන්නා මොහොතයි. නිවනට එළඹෙන තැනැත්තාට මෙම අටවැදෑරුම් ක්‍රමය පවත්වාගෙන යාම වෙනත් එදිනෙදා ක්‍රියාවක් වැනිය. මේ අනුව නිවන යනු තත්වයක් නොව මානසික ස්වභාවයක් බව විස්තර කළ හැකිය. මේ බව The way to happiness and peace, Rahula Yogavachara නම් කෘතියට පෙරවදනක් ලියන පුන්නජි හිමි විසින් සඳහන් කරයි.
බෙගුනි නම් ආදි යුරෝපීය කණ්ඩායමක් තිබී ඇති අතර ඔවුන් විශ්වාස කළේ නපුරෙන් ගැලවීම සඳහා නිරන්තර චලනයේ රැඳි සිටිය යුතු බවය. මෙහිදී විස්තර කරන චලිතය වෙනස් විය හැකි වුවද, ගැලවීමේ මාර්ගය ලෙස මේ චලිතය යම් පමණකින් අර්ථ දැක්විය හැකිය. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්නා නිරන්තරවම එහි රැඳී සිටි යුතුය. එනම් එක්තරා විදියකින් චලනය විය යුතුය. වස්තූන් දෙකක් එකම වේගයෙන් සමාන්තරව ගමන් කරන විට නිශ්චලතාවයේ මොහොතක් පවතින බැව් අපි දනිමු. එනයින් බුදුදහමේ එන මේ චලිතය හුදු නිහ්චලතාවයෙන් නොව සිත සහ කය සමාන්තරව සමාන වේගයෙන් චලිතය තුළින් නිශ්චලතාවයකට එළඹීමක් විය හැකිය.
කෙසේ වුවද, පෙරදිග විඥානය බටහිර දැනුමෙන් විග්‍රහ කරන්නට යාම අපහසු කාරණාවකි. හෙස කෘතිය පුරා කරන්නේ සිද්ධාර්ථ තුළින් සාංදෘෂ්ටිකවාදී සහ රොමාන්තිකවාදී ආධ්‍යාත්මික ගවේෂකයෙකු නිර්මාණය කිරීමයි. එය හෙස විසින් තමන් වෙනුවෙන් ලියාගත් කෘතියක් ලෙස වුවද දැක්විය හැකි තරමට ප්‍රභලය. සිද්ධාර්ථ ට ගෝතමගේ දේශනාව ගෝචර නොවන්නට ප්‍රධාන හේතුව හෙසට බුද්ධ ගේ දේශනාව හරිහැටි අවබෝධ නොවීම විය හැකිය. කිසිම දැනුම් පද්ධතියක් අනෙකට වඩා උඩින් තබා ප්‍රකාශ කරන්නට අපට නොහැකිය. බුද්ධ දර්ශනය කෙතරම් ගැඹුරු ද යන්න වටහා ගැනීමට නම් යමෙක්ට මිලින්ද රාජ ප්‍රශ්නය කියවිය හැකිය.
මිලින්ද රජු සිය ප්‍රශ්නාවලියේදී මෙසේ විමසයි.
“නාගසේන හිමියනි, ඒ ඥානයම, ඒ ප්‍රඥාවම උපන්නේ නම් කිමෙක්ද, පුරුෂතෙමෙ මුළාවට පැමිනෙන්නේද? නොපැමිණෙන්නේද?” යි කීහ.
“කිසියම් තැන්හි මුළා වෙයි, කිසියම් තැන්හි මුළා නොවෙයි” නාගසේන හිමී කීහ.
“ස්වාමීනි කොතැන්හි මුළා වේද, කොතැන්හි මුළා නොවේද?” යැයි විචාළහ.
“මහරජ, පූර්වයෙහි තමන් නොදන්නා ලද ශිල්ප ස්ථානයෙහිද, පෙර දනොගිය දිසා භාගයෙහිද, පෙර නොඅසන ලද්දා වූ චිත්තවිභග්ගප්‍රඥප්තියෙහි ද මුළා බවට පැමිණෙන්නේය”
කෘතියෙහි එන සිද්ධාර්ථ තමන් පෙර නොගිය, නොදන්නා , නොඅසා තිබූ නගරයෙහි දී මුළාවට පත්වෙයි. ඔහු ලෞකික සම්පත් සම්භෝගය කරමින් සිය දිවි ගෙවයි.
සියල්ල අතහැර එන සිද්ධාර්ථ තොටියා සමීපයෙහි නවතින්නේ මන්ද?
තොටියා යනු නිරන්තර චලිතයේ යෙදී සිටින්නෙකි. ඔහු අන්ත දෙකම තෝරා නොගන්නෙක් වෙයි. එනයින් ඔහු මැදුම් පිළිවෙතේ යෙදෙන්නෙකු සංකේතවත් කරයි. එමෙන්ම ලෞකික ලෝකය සහ අන්තගාමි පරිභ්‍රාජක ජීවිතය යන දෙකම ප්‍රතික්ෂේප කරන සිද්ධාර්ථට නවතින්නට මීට වඩා තැනක් තිබේද? වාසුදේව නම් තොටියා මේ ලෝක දෙකෙහිම නොවෙසෙන තැනැත්තෙක් බව ඔහුගේ ජීවිතය දෙස බැලීමේදී පෙනීයයි. එහෙත් ඔහුට නිර්වාණය සඳහා ප්‍රමාණවත් ප්‍රඥාවක් නොවෙයි.
අවසානය
සටහන දීර්ඝ වන බැවින් මෙකී කාරණා තවදුරටත් සාකච්ඡා කිරීම කල නොහැකිය. කෙසේ වුවද ඉහත මූලාශ්‍ර සටහන් කළේ මේ ගැන වඩාත් උනන්දුවන අය සඳහාය. අවසාන වශයෙන්, හෙස ගේ සිද්ධාර්ථ නවකතාව මා දකින්නේ ආධ්‍යාත්මික ගවේෂණය කරන්නෙකුට හොඳ යහපත් මානසිකත්වයක් ලබාදෙන ධනාත්මක කෘතියක් ලෙසිනි. එය සහ බුද්ධ දර්ශනය අතර කිසිදු සබඳතාවයක් නැත. හෙස යහපත් අරමුණක් වෙනුවෙන් ලියා ඇති මේ කෘතිය කියැවිය යුතු එකක් වෙයි. එමෙන්ම එය විශ්ව සාහිත්‍යයේ එක් අපූර්ව කෘතියක් ලෙස ද සැලකිය හැකිය. හෙස ට කිසිදු ආගමකට හෝ දර්ශනයකට නිගරු කිරීමේ උවමනාවක් තිබූ බවක් කිසි විටෙක නොපෙනෙයි. නිසි හැදෑරීමකින් තොරව යමෙකුට මෙය එවැනි අර්ථ කථනයකට ගෙන යා හැකි වුවද, එය වහ වහා ඉහත කී තර්ක වලින් ප්‍රතික්ෂේප වෙයි. හෙස ගේ සිද්ධාර්ථ කියවා බුද්ධ දර්ශනය හදාරන්නට සිතා සිටින අය ගැන නම් ඇත්තේ කණගාටුවකි. මන්ද හෙස විසින් වැරදියට අර්ථ ගන්වාගෙන ඇති බෞද්ධ හා හින්දු සංකල්ප ගැන ක්ෂමාලාපයක් බටහිර විද්වතුන්ම ලියා ඇති හෙයිනි. එනිසා මේ විශිෂ්ට සාහිත්‍ය කෘතිය සමග නැවතත් බුද්ධ දර්ශනයේ හරය අධ්‍යනය කරන්නේ නම් වඩා වැඩදායක වන්නේය. එමෙන්ම බෞද්ධ යැයි වර්ථමාන සමාජයේ දැඩි ආධානග්‍රාහීත්වයෙන් සිටින බෞද්ධයන් ද නැවතත් හෙස ගේ සිද්ධාර්ථ හරහා හෝ බුද්ධ දර්ශනය කියවන්නේ නම් මැනවිය.
ආශ්‍රිත ග්‍රන්ථ
1. AN INTRODUCTION TO INDIAN PHILOSOPHY BY SATISHCHANDRA CHATTERJEE, M.A., PH. D & DHEERENDRAMOHAN DATTA, M.A., PH. D
2. An apology for Herman Hesse’s Siddhartha by Ricky Bauman
3. The Way to peace and Happiness, Rahula Bhante, Buddhist Cultural Center.
4. The Debate of King Milinda, An Inward Journey Book, Published By, Inward Path.