ජීවිතාබෝධයට සරල මග කියා දෛන ‘‘සෙන් කතා’’

post-title

මවිසින් පළමුවෙන් ම ‘‘සෙන් කතන්දර’’ කෘතියක් කියවනු ලැබුවේ 1979 වසරේ දී ය. ‘‘ජපන් සෙන් කතා’’ යන මැයෙන් වූ එම කෘතිය සම්පාදනය (පරිවර්තනය) කර තිබුණේ චන්දිම විජේබණ්ඩාර සහ එච්. එම්. මොරටුවේගම යන දෙපළ ය. එම කෘතියේ නව සංස්කරණයක් 1993 වසරේ දී ද නිකුත් විය.

එකල ‘‘සෙන්’’ යනු කුමක් දැයි නිසි අවබෝධයක් නොතිබුණ ද එම කෘතිය කියවීමෙන් ඉක්බිති මට හැඟී ගිය ප්‍රධාන ම කරුණක් වූයේ ‘‘සෙන්’’ යනු බෞද්ධ දර්ශනයේ ම දිගුවක් බවයි. මෙම කතාන්දර පළමුවෙන් ම ලියවී ඇත්තේ චීන සහ ජපන් භාෂාවෙන් වන අතර පසු කලෙක දී ඉංග්‍රිසියට පරිවර්තනය වී තිබේ.

‘‘සෙන් කතා’’ ඉතිහාසය පිළිබඳ සොයා බැලීමේ දී එහි ආරම්භකයා ලෙස සඳහන් වන්නේ හයවන සියවසේ දී පමණ ඉන්දියාවේ සිට චීනයට සංක්‍රමණය කළ බෝධි ධර්ම නම් හිමි නමකි. උන් වහන්සේ චීනයට වැඩම කර ඉනික්බිති නව වසරක් පමණ එහි ගත කර ඇතැයි සිංහල විකිපීඩියාහි සඳහන්වන අතර චන්දිම විජේබණ්ඩාර සහ එච්. එම්. මොරටුවේගම යන දෙපළ විසින් සම්පාදිත ‘‘ජපන් සෙන් කතා’’ කෘතියේ සඳහන් ආකාරයට යට කී තොරතුරු නිවැරැදි නොවේ. එම දෙපළගේ අදහසට අනුව ‘‘සෙන් කතා’’ ආරම්භකයා යනු ඇතැම් විට බෝධි දර්ම හිමියන්ට පෙර විසූ කුමාරජීව නමැති හිමි නමක් විය හැකි ය.

කෙසේ වෙතත් සෙන් කතා යනු කුමක්දැයි යන්නට නිසි පැහැදිලි කිරීමක් නොමැති බව ද සඳහන් කරන එම දෙපළ ඔවුන්ගේ ‘‘ජපන් සෙන් කතා’’ කෘතියේ මෙසේ සඳහන් කරයි.

{සෙන් යනු කුමක්දැයි කෙළින් ම ඇසූ සමහරුන්ට යම් යම් පිළිතුරු ලැබී ඇති බව ද මෙහි ලා සටහන් කළ යුතු ය. ‘‘සෙන් දිනපතා අපගේ ජීවිතයෙහි නිරූපිත ය. එය සක්‍රීය විඥනය යි. සීමිත ස්මෘති ප්‍රස්ථානයකට වඩා එය අපගේ අසීමිත ස්වභාවය වෙත සියලු ම දොරවල් විවෘත කරයි.’’ යනු එක් පිළිතුරකි. තවත් අයකුට මත්ස්‍ය රැජින තවත් මත්ස්‍යකුට මුහුද ගැන දුන් පිළිතුර සිහිපත් කර දී ඇත. ‘‘ඔබ එහි ජීවත් වෙයි. හැසිරෙයි. ඔබගේ සමස්ත ආත්මය ම මුහුදේ ය. මුහුද ඔබගේ අභ්‍යන්තරයේ ද වෙයි. බාහිරව ද වෙයි. ඔබ සෑදී ඇත්තේ මුහුදිනි. ඔබ අවසාන වන්නේ ද මුහුදිනි. මුහුද ඔබත් ඔබගේ ජීවයත් වසා පැතිර පවති යි.’’ තවත් ප්‍රකට පිළිතුරක් නම් ‘නිශ්ශබ්දතාව’ යි.}

ජපන් සෙන් කතා: චන්දිම විජේබණ්ඩාර සහ එච්. එම්. මොරටුවේගම: 1993: පිටුව: XIII

එම කෘතියේ ම තව දුරටත් එම දෙපළ සඳහන් කරන්නේ ‘‘සෙන්’’ යනු ජපානයේ සහ චීනයේ නිකාය කිහිපයකට බෙදී ඇති බෞද්ධ නිකාය අතුරෙන් එකක් බැවින් මෙය බෞද්ධ සම්ප්‍රදායක් වශයෙන් හැඳින්වීම වඩාත් උචිත බවයි.

 

එම කරුණට ප්‍රමුඛස්ථානයක් සපයමින් ම පාඨක ඔබගේ අවධානය යොමු කිරීමට සුදානම් වන්නේ මෑතක කියවූ තවත් ‘‘සෙන් කතා’’ කෘතියක් වෙත ය. මෙම කෘතියේ සම්පදක (පරිවර්තක) වන්නේ කවියකු ලෙස ඔබ අප හඳුනන සමන්ගුණ හේරත් ය.

විවිධ අදහස් ජනනය කෙරෙන සෙන් කතා පනස් එකක් මෙම කෘතියේ අන්තර්ගත ය. ඒ අතුරෙන් මට මගේ ජීවිතයට යමක් උකහාගත හැකි කතා කිහිපයක් ම සම්මුඛ විය. ඒ සියල්ල ම මෙහි සඳහන් කිරීමට නොහැකි වුව ද ඒ අතුරෙන් කිහිපයක් පිළිබඳව හෝ සාකච්ඡා කළ යුතු ය. මතු දැක්වෙන්නේ එකී වෑයම යි.

ධර්මාවබෝධය

ධර්මය අවබෝධ කරගැනීම  යනු සුළුපටු කරුණක් යැයි කිසිවකු අදහස් කරන්නේ නම් එය හුදෙක් මුළාවක් ම පමණි. අනෙක් පසින් ගත් විට ධර්මය අවබෝධ කරගැනීම යනු ඉතා සුළු කරුණකි. එකී තත්ත්වය මැනවින් පහදා දෙන සිද්දධියක් මතු දැක්වේ.

 

{සෙන් ගුරුතුමා හමුවූ ශිෂ්‍යයා තමාට සෙන් ධර්මය උගන්වන මෙන් ඉල්ලා සිටියේ ය.

‘‘ඔබ දහවල් ආහාරය ගත්තා ද?’’ ගුරුතුමා ඇසී ය.

‘‘එහෙමයි ගුරුතුමනි.’’

‘‘එසේ නම් ආහාර බඳුන සෝදා එන්න.’’

එසැනින් ශිෂ්‍යයා ධර්මය අවබෝධ කරගත්තේ ය.}

කෝපය

මිනිස්සු වන අපි සැමට ම පාහේ එකිනිකාට ම ආවේණික ගති පිහිටා තිබේ. ඒ, ඇතැම් පුද්ගලයකු නිතර ම කනස්සල්ලෙන් සිටීම, කෝපයට පත්වීම, අලසව සිටීම යනාදි විවිධාකාරයෙනි. සැබැවින් ම එය ඒ ඒ පුද්ගලයාට ආවේණික ගති ලක්ෂණ ද එසේත් නොවේ නම් එය හුදෙක් මවා පෑමක් ද යන්න පිළිබඳව කදිම නිදසුනකි මේ.

{ගුරු හිමියන් අසලට පැමිණි ශිෂ්‍යයා මෙසේ ඇසී ය.

‘‘හිමියනි, පාලනය කරගත නොහැකි අන්දමට මට කෝපය ඇති වෙයි. එයට කුමක් කරන්න ද?’’

‘‘හොඳයි එසේ නම් මට ඔබේ කෝපය පෙන්වන්න.’’

‘‘මේ මොහොතේ මට එය පෙන්වීමට නොහැකි ය.’’

‘‘කොයි වෙලාවේද ඒක පෙන්නන්න පුළුවනි?’’

‘‘එහෙම කියන්න බැහැ ගුරුතුමනි.’’

‘‘එහෙම නම් එය ඔබේ ස්වභාවය නොවේ. එය ඔබේ නම්, ඔබට එය ඕනෑම වෙලාවක පෙන්වීමට හැකි විය යුතුයි.’’}

ඔබ ද මම ද මෙවැනි අත්දැකීම්වලට මුහුණ දී ඇතුවාට සැක නැත. නමුදු ඒ සියල්ල ම ඒ ඒ පුද්ගලයා තමාගේ වාසිය හෝ අවාසිය තකා සිදුකරන දෑ බව මෙම සිදුවීම තුළින් අවබෝධ නොවන්නේ ද?

සංතෘප්තිය

ධනවාදි ආර්ථික ක්‍රමය තුළ දිනෙන් දින විවිධාකාරයේ වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය කෙරේ. ඒ. මිනිසා යනු පෘතග්ජන ජීවි කොට්ඨාසයක් බව හොඳින් ම දන්නා බැවිනි.. ඔවුහු කිසිවකින් සෑහීමකට පත් නොවෙති. ඔවුහු නිරන්තරයෙන් ම විවිධ දෑ සිය ජීවිතයට එකතු කරගැනීමට යත්න දරති. මතු දැක්වෙන්නේ ඊට කදිම නිදසුනකි.

{(සෙන් භික්ෂුව විසින් තම සිසුන්ට කියන ලද උපමා කතාවකි.)

පුද්ගලයෙකු තම ඉඩමේ දැන්වීමක් ඇලවීය. එහි මෙසේ සඳහන් වී තිබුණි.

‘‘සැබැවින්ම තෘප්තිමත් කෙනෙකුට මෙම ඉඩම නොමිලේ දෙමි.’’

මෙම දැන්වීම දුටු ප්‍රදේශයේ  ප්‍රභූවරයා ඉඩම් හිමියා මුණගැසීමට ආවේය.

‘‘ඔබ ඇත්තෙන්ම තෘප්තිමත්ද?’’

‘‘ඇත්තෙන්ම ඔවු. ඔබ දන්නවා ඇති නේ මා මේ ප්‍රදේශයේ ධනවතා බව.’’

‘‘ආහ්! එය එසේ නම් ඔබට මොකට ද තවත් ඉඩම්?’’}

වසර දහස් ගණනකට පෙර පැවසුව ද මෙම අදහස සර්වකාලින බව ඔබට වැටෙහෙන බව සක් සුදක් සේ පැහැදිලි ය. මේ වන විට දේශපාලකයන් ලෙස පෙනී සිටින දේශපාළුවන්ගේ ක්‍රියාකලාපය මෙමගින් පිළිබිඹු වන බව යථාර්ථයක් නොවන්නේ ද?

ගෝනුස්සා

දියෙහි යන දණ්ඩට

පිහිටක් වෙතත් පෙර සිට

දුදනන් හට පිහිට

නොවව් යන බස සැබැ කළෙ මට

 

කොපමණ ගුණ කළත්

දුදනෝ නොවෙති යහපත්

කිරි දියෙනි දෙවියත්

අගුරු සුදු වන කලෙක් නම් නැත්

ගුත්තිල කාව්‍ය වර්ණනා: ඩබ්ලියු. ඇෆ්. ගුණවර්ධන වාසල මුදලිඳු: කාව්‍ය අංක: 198, 199: පිටු 134, 135

ගුත්තිල කාව්‍යයේ එන මෙම කවියෙහි අරුත වඩ වඩාත් පැහැදිලි කෙරෙන සිද්ධියක් මතු දැක්වෙන සෙන් කතාවෙන් පැහැදිලි වේ. එමෙන් ම දුදනා කොපමණ දුදනකම් කළ ද යහපත් මිනිසා යහපත් දෑ ම කළ යුතු බව ද මෙම කතාව අපිට පසක් කරයි.

{සෙන් භික්ෂුන් දෙනම ගඟෙහි බැස ස්නානය කරමින් සිටින විට, ගෝනුස්සකු ගඟේ වැටි පාවී ආවේ ය. එක් භික්ෂු නමක් ප්‍රවේශමෙන් ගෝනුස්සා අල්ලා ගංතෙරේ තබත්ම, මේ සත්වයා, භික්ෂුවගේ අතට තම දළයෙන් පහර දුන්නේ ය. ඒ සැනින් ගෝනුස්සා නැවත ගං දියට වැටුණේ ය. ගෝනුස්සා පහර දුන් අතෙහි වේදනාව දරාගනිමින් භික්ෂුව නැවත ඌ ගොඩින් තැබුවේ ය. ඌ නැවතත් භික්ෂුවට පහර දුන්නේ ය. ඒ සැනින් ගෝනුස්සා නැවත ගං දියට වැටුනු අතර, භික්ෂුව නැවත ඌ අල්ලා ගොඩින් තැබීමට උත්සාහ කළේය. එවිට අනෙක් භික්ෂුව ‘‘ඇවැත්නි, ඔබට දැන් ගෝනුස්සා දෙවරක් පහර දී තිබේ. ඒ නිසා ඔබ නැවත මේ ක්‍රියාව නොකළ යුතු බව, මගේ හැඟීම’’ යැයි පැවසුවේය.

‘‘දෂ්ට කිරිම ගෝනුස්සාගේ ස්වභාවයයි, ජීවිතය රැක දීම මගේ ස්වභාවය’’ යැයි පැවසූ භික්ෂුව ගෝනුස්සා අල්ලා ගොඩින් තැබීය.}

 

සමන් ගුණ හේරත් විසින් සම්පාදිත (පරිවර්තිත) ‘‘සෙන් කතා’’ කෘතියේ අන්තර්ගත මෙවැනි සෙන් කතා අපිට අවබෝධ කර දෙන දෑ බොහෝ ය. එවන් කතාවක් එක පැහැර අවබෝධ කරගැනීම ද අපහසු අවස්ථා නැතුවා නොවේ. ඒ කතා ද ‘‘කවි’’ බඳු යැයි පැවසුව ද එය අතිශොක්තියක් නොවේ. නමුදු සෙන් කතා අවබෝධ කරගන්නා බොහෝ දුරට ජීවිතය අවබෝධ කරගන්නා පුද්ගලයකු වන බව නම් සක් සුදක් සේ පැහැදිලි ය.

පරිශීලිත ග්‍රණ්ථ සහ වෙබ් අඩවි:-

  • ‘‘ජපන් සෙන් කතා’’: චන්දිම විජේබණ්ඩාර සහ එච්. එම්. මොරටුවේගම
  • ගුත්තිල කාව්‍ය වර්ණනා: ඩබ්ලියු. ඇෆ්. ගුණවර්ධන වාසල මුදලිඳු
  • විකිපිඩියා සිංහල වෙබ් අඩවිය

(උපුටාගන්නා ලද කොටස්වල අක්ෂර වින්‍යාසය සහ පද බෙදීම අදාළ කෘතියේ අන්තර්ගතය පරිදි ය.)

Top