එකම මූලයෙන් ආ යුරෝපීය, රුසියානු සහ මැද පෙරදිග කතා: අක්කගෙයි මල්ලිගෙයි කතන්දර

post-title

ග්‍රීම් සොහොයුරන්ගේ සුරඟන කතාන්දර අතර ‘සොහොයුරයි සොහොයුරියයි ( අක්කයි-මල්ලියි) ’(The Brother and Sister) නමින් කතාවක් සඳහන් වෙනවා. තමන්ගෙ කුඩම්මාගේ හිරිහැර ඉවසන්න බැරිම තැන ගෙදරින් පිටවෙන අක්කයි - මල්ලියි කැලෑවේ යනකොට වතුර වලක් දකිනවා. මේ අක්කාගේ කීම නොඅසා එයින් වතුර බොන මල්ලි මුවපැටියෙක් බවට පත්වෙනවා. මේ දෙන්නා කැලෑවේ නිවසක ජීවත්වෙනවා. රටේ රජතුමා දවසක් සත්තු දඩයම්කරන්න කැලෑවට එනවා. ඔහු අලංකාර මුවෙක්ව දකිනවා. ඒ මුවා අර මල්ලියි. අක්කාගේ විස්තරේ අහපු රජතුමා ඇයව තමන්ගෙ බිසව බවට පත්කර ගන්නවා. කතාව තව ඉදිරියට ගලාගෙන යනවා.

දැදිගම වී. රුද්‍රිගු අනුවාදය කළ ලස්සන වසිලිස්සා පොතේ ‘අලෝනුෂ්කා අක්කයි ඉවානුෂ්කා මල්ලියි’(Sister Alyonushka and Brother Ivanushka) නමින් කතන්දරයක් ඇතුළත් වෙනවා. අලෝනුෂ්කා අක්කා එපායි කියපු වතුර වලකින් වතුර බීපු මල්ලි බැටලු පැටියෙක්  වෙනවා. වනයෙන් ගමන්ගන්න තරුණයෙක් අක්කා පිළිබඳ ආල සිත් ඇතිකරගෙන ඇයව විවාහ කරගන්නවා. කතාව තව ඉදිරියට ගලාගෙන යනවා.

ඉස්ටා අක්කයි අසාර් මල්ලියි(Ista and her brother Asar)නමින්වූ මෙවැනි ම කතාවක් ගැන මැද පෙරදිගින් අහන්න ලැබෙනවා. මේ කතාවෙ හැටියට ඉස්ටා අක්කාව කිසිදාක දැක නැති මිනිහෙක්ට දීග දෙන්න අම්මලා නියම කරනවා. මේ විවාහයෙන් ගැළවෙන්න මල්ලි අසාර්වත් අරන් අක්කා කාන්තාරයක් මැදින් පලායනවා. ආරංචිය සැල වුණු දෙමව්පියො ඔවුන්ට ශාපකරනවා. මේ ශාපය නිසා මල්ලි කොටලුවෙක් බවට පත්වෙනවා. කරදර ගණනාවකට ඔවුන් මුහුණදෙනවා. අනෙක් කතා වගේ ම මෙයත් සුඛාන්ත කතන්දරයක්.

මේ කතන්දර තුනේදී ම මිනිස් රුවෙන් මිදිලා සත්ව රූපයක්ව බවට පත්වන්නේ පුරුෂ පක්ෂයයි: මල්ලියි. පුරුෂයාව සත්ත්ව රුවක් බවට පත්කිරීම සිද්ධවෙන්නෙ සොයුරියගෙ උපදෙස් නොපිළිපැදිමෙන් බවක් මුල් කතාන්දර දෙකෙන් කියවෙනවා. පුරුෂයා නොමැති ස්ත්‍රියව පමණක් තාවකාලිකව තනිකරන වටපිටාවක් කතුවරු මවනවා. මායාකාරිය සොහොයුරියගේ වෙස් ගැනීම, දඩයමෙහි යන තරුණයා සොහොයුරිය විවාහ කරගැනීම, දුෂ්කරතාවට මුහුණදෙන පාර්ශ්වය සිය නිර්දෝෂීභාවය හෝශෝකය ප්‍රකාශකිරීම වැනි දේවල් මුල්කතා දෙකට පොදුයි. ඉස්ටාගේත් අසාර්ගේත් කතාවේ බහුතර පෙරදිග කාන්තාව මුහුණදෙන යෝජිත විවාහය පිළිබඳ ශෝකාන්තය ඉඟිකර සිටිනවා. කොටලුවන්, බූරුවන් කාන්තාර පරිසරවල බර ප්‍රවාහනයට හා ගමනාගමනයට යොදාගන්නා සතුන්. ඔවුන්ගේ ජීවිතවල අනිවාර්ය අංග වුණා. රුසියානු ගොවිපවුල්වල බිරින්ඳෑවරු තමන්ගෙ පවුලට වුවමනා ලොම් නිපදවා ගත්තේ තමන් විසින්මයි. විවාහයේදී නැන්දම්මා ලේලියට බැටලු පැටියෙක් ලබාදුන්නා. මේ නිසා බැටලුවො, අශ්වයො රුසියානු සුරගන කතාවලට ඇතුළත් වුණා. බටහිර රටවල දරුවන් බලාගන්න ඉන්න කිරිමව්වරු, කැපකාර මව්වරු ග්‍රීම් සුරඟනකතාවේදී අපිට දැකගන්න පුලුවන්. කතා අවසානවන්නේ සහෝදරයා නැවත මිනිස්වේෂය ලැබීමෙන්- පවුල නැවත සතුටුදායක තත්ත්වයකටපත්වීමෙන්.

එක්තරා කොරියානු ජනකතාවක (Brother Moon and Sister Sun) කතාවසානයේ දී සොහොයුරා ඉර විදියටත් කාන්තාව සෞම්‍ය සඳ විදියටත්ලෝකයට තමන්ගෙ දායකත්වය ලබාදෙනවා.  පුරුෂමූලික සමාජයේ පුරුෂයා ප්‍රධානවීම ඉර සංකේතවත් කරනව විය හැකියි. මේ කතාවේදී සඳ නම් සොයුරිය, රාත්‍රී අඳුරට බියවීම නිසා ඔහු ඇයට ඉර වන්නට ඉඩ දී, ඔහු සඳ බවට පත්වෙනවා. 

හැම කතාවකම මූලය අප නොදන්නා තරම් ඈතටත්, ඒවායේ විවිධ ප්‍රභේදත් පරිණාමය වෙමින් ගලායනවා. ඒ නිසා ඒවායේ යටිපෙළ කියවන්නත් ඉඩක් ලැබෙනවා. බර්ටි බී. කුඩාහෙට්ටි 'කැඩපත් රූපයේදී' මෙසේ කියනවා.

''පෙරපර දෙදිග ම කලාවන්ට උල්පත වුණේ ආදි මිථ්‍යා කතා හා පුරාණෝක්ති වුණත් ඒවා මගින්ම පමණක් කලාවන් නිර්මාණය වුණේ නැහැ. නිෂ්පාදකයාගේ කාලීන අත්දැකීම් ඒවායින් ප්‍රකාශ වුණා...''

 

Top