විවාහක පිරිමියකු තවත් විවාහක කාන්තාව සමග පවත්වන අනියම් සබඳතාවක් බොහෝ විට අවසන් වන්නේ මරණ එකක් හෝ ඊට වැඩි ගණනකිනි. එවන් මවුවරු සහ පියවරු යන දෙපාර්ශ්වය කෙරෙහි ම සමාජය හෙළන්නේ පිළිකුල්සහගත බැල්මකි; ඔවුහු නිරන්තරයෙන් ම සමාජයෙන් විතැන් කෙරේ; සමාජයෙන් මතු නොව සිය දූ දරුවන් කෙරෙන් ද විතැන් කෙරේ.
එබඳු වටපිටාවක් තුළ එවන් සබඳතාවක නියැළී සිටි මවක් සිය ජීවිතයේ ස්වර්ණමය අවධිය සිර දඬුවමකට යටත්ව සිටියා පමණක් නොව අවසන ඇය සිය පුතු වෙනුවෙන් ම ජීවිතය අහිමි කරගත් බවක් ඔබ අසා තිබේ ද? අනෙක් පසින් එකී මව සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය පුරුෂයාගේ දියණිය සිය පියා සහ මව වෙනුවෙන් මිනී මරන්නියක බවට පත්ව ඇතැයි ඔබ අසා තිබේ ද? මෙවන් සිදුවීම් තත්‍ය ලෝකයේ දී සිදු වී තිබෙන්නට පිළිවන. නමුත් මා දැන් ඔබට ඉදිරිපත් කරන්නට සුදානම් වන්නේ මෙවන් සන්දර්භයක් වටා ගෙතුණු ප්‍රබන්ධයක තොරතුරු ය.
ප්‍රබන්ධය ‘‘පංකි මනාලි’’ ය; කතුවරයා සුසන්ත දන්දෙණිය යි.
පළමුවෙන් ම මෙම කෘතියේ මාන කිහිපයක් කෙටියෙන් ඉදිරිපත් කළ යුතු යැයි මම අදහස් කළෙමි.
- ලිවීම සහ මුදල් ඉපයීම පමණක් සිය ජීවිතය බවට පත් කරගත් ලේඛකයෙක්
- ඔහුගේ එකී ක්‍රියාකලාපය හේතුවෙන් ම ඔහුගෙන් නොලද ශාරීරික ආශ්වාදය පතා සිය යෙහෙළියගේ සැමියා සමග අනියම් සබඳතාවක පැටලෙන බිරිඳක්
- එකී සබඳතාව හේතුවෙන් ම සිය පුතු අතින් ඝාතනය වන අනියම් පෙම්වතාගේ මරණයේ වගකීම බාරගන්නා උතුම් මවක්
- සැමියාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස ඔහු සමග අනියම් සබඳතාව පැවැත්වූ කාන්තාවගේ සැමියා ම්ලේච්ඡ ලෙස මරා දමන බිරිඳක්
- සිය පියාට සහ මවට අත් වු ඉරණම වෙනුවෙන් පළිගන්නා දියණියක්
- මේ කිසිවක් ම නොදැන සිය ජීවිතය යහපත් මාර්ගයක් කරා මෙහෙයවන පුතෙක්
- ඔහු වෙනුවෙන් ම කාලයක් බලා සිටිනා පෙම්වතියක්
- ඔහුගේ අවංකභාවය සහ නිවැරැදිභාවය වටහාගෙන, ඔහුගේ දිවි පැවැත්ම ආරක්ෂා කරනා යෙහෙළියක්.
‘‘පංකි මනාලි’’ ප්‍රබන්ධය ගෙතී තිබෙන්නේ මෙවන් චරිත රාශියක් වටා වන අතර පෘතග්ජන මිනිසුන් වන ඔවුන් සියල්ලෝ ම කෙතරම් දුරට වැරදිකරුවෝ සහ වැරැදිකාරියෝ ද යන්න තීරණය කිරීමේ අයිතිය පාඨක ප්‍රජාව සතු ය. මන්ද කතුවරයා මේ සියලු චරිතවල චිත්ත සොම්නස මෙන්ම දොම්නස ද ඔවුනොවුන් සිය ජිවිතය පවත්වාගෙන ගොස් ඇත්තේ සහ පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න මැනවින් විද්‍යමාන කර ඇත. එමෙන් ම මුල, මැද සහ අග පිළිවෙළින් නොගළපන කතුවරයා විටින් විට සිය ප්‍රබන්ධ ආඛ්‍යානය එක් එක් ස්ථාන කරා යොමු කරන්නේ සිනමාකරුවකු එහි රූපාවලිය විටින් විට ව්‍යවච්ඡේදනය කර ඉදිරිපත් කරනාකාරයෙනි.
මෙම කෘතියේ තාක්ෂණික දුර්වලතාවක් ලෙස මා දුටුවේ එකී ව්‍යවච්ඡේදිත අවස්ථා ඉදිරිපත්කිරීමේ දී සම තල ආඛ්‍යාන ස්වරුපයකින් කතුවරයා එය ඉදිරිපත් කිරීම ය. එයින් සිදුව ඇත්තේ ප්‍රබන්ධය තුළ පවත්නා රහස්‍යභාවය අදාළ අවස්ථාවට පෙර ම හෙළිදරව් වීම ය. එය පාඨකයාගේ මනසේ රැඳී පවත්නා කුතුහලය ඉක්මනින් සංසිඳුවයි. සමස්ත ප්‍රබන්ධය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස පැවතිය ද මෙම ප්‍රබන්ධය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ‘‘නවකතාවක්’’ යැයි නම් කළ හැකිව තිබූ අනගි අවස්ථාව ගිලිහී යාමක් එයින් සිදුව තිබේ.
‘‘පංකි මනාලි’’ කෘතියේ මා දුටු තවත් විශේෂත්වයක් වූයේ එය රසවිඳින පාඨක ප්‍රජාවට (මගේ විඳීමට අනුව) මෙම ප්‍රබන්ධය හුදු ස්වතන්ත්‍ර නිර්මාණයක් අභිභවන පරිවර්තන කෘතියක ලක්ෂණ අන්තර්ගතවීමක් දක්නට ලැබීම ය. එසේ වන්නට ප්‍රධාන වශයෙන් ම බලපා ඇත්තේ කතුවරයා සිය ප්‍රබන්ධයට පාදක කරගන්නා රට සහ එරට සමාජ, ආර්ථික සහ පාරිසරික වටපිටාව ය. කෘතියේ අන්තර්ගත ‘අවතාර වනාන්තරය’ ඊට කදිම නිදසුනකි. එම කොටස කියවන විට පාඨකයා ද එවන් වනාන්තරයක අතරමං වන බව නම් සක්සුදක් සේ පැහැදිලි ය. මේ වන විටත් ඉතාලියේ වෙසෙන කතුවරයා සිය ප්‍රබන්ධය සඳහා උපස්තම්භක කරගන්නා එකී පාරිසරික සහ සමාජ ආර්ථික පසුබිම තුළ පාඨක ප්‍රජාව ද රඳවාගන්නට තරම් සමත්කම් දක්වා ඇත.
‘‘පංකි මනාලි’’ කෘතිය කියවා. රසවිඳීමෙන් ඉක්බිති මට හැඟී ගියේ මේ වන විට ඇතැම් සිංහල පාඨක ප්‍රජාව ආසක්ත වී සිටින: රහස් පරික්ෂක, බිහිසුණු ක්‍රියාදාම, ත්‍රාසජනක ක්‍රියාදාම යනාදිය අන්තර්ගත පරිවර්තන ප්‍රබන්ධ කෘතිවලට සාපේක්ෂව එකී රස සියල්ල ද මෙම කෘතිය තුළ අන්තර්ගතව ඇති බවයි. තව ද කතුවරයා තව දුරටත් ඉවසීමෙන් කෘතිය යළි යළිත් කියවා සංස්කරණය කළේ නම් දැනට පවතින කෘතියට වඩා වටිනා, සාර ගර්භ කෘතියක් කියවා රස විඳීමට සිංහල පාඨක ප්‍රජාවට අවස්ථාවක් උදාවන්නට තිබුණා නොවේ දැයි මට හැඟුණි.
මෙම කෘතියේ මා දුටු තවත් සුවිශේෂිත්වයක් වූයේ එහි එක් උප ප්‍රධාන චරිතයක් වන (මගේ කියවීමට අනුව ප්‍රබන්ධයේ ප්‍රධාන චරිතය නර්මදා ය.) අන්ද්‍රයා (නර්මදාගේ පුතු) තුළින් කතුවරයා මතු කරන එක් ලක්ෂණයකි. එනම්, ‘‘බුද්ධාගම’’ සහ ‘‘බුදු දහම හෙවත් දර්ශනය’’ අතර පවත්නා පරස්පරතාව යි. අන්ද්‍රයා අනුගමනය කරන්නේ සහ පිළිපදින්නේ ‘‘ආගම’’ නොව ‘‘දහම හෙවත් දර්ශනය’’ යි. ඔහු සිය ජීවිතය නිවැරැදි දිශාව කෙරෙහි යොමු කරගන්නේ ද ‘බුදු දහම හෙවත් දර්ශනය’’ වටහා ගැනීමෙනි; එය ප්‍රායෝගිකව ම ක්‍රියාවේ යෙදවීමෙනි.
මෙම ලියවිල්ල නිමා කිරීමට ප්‍රථම තවත් අදහස් ත්‍රිත්වයක් ප්‍රකාශ කිරීමට අවසර...,
- කතුවරයාගේ ප්‍රථම ස්වතන්ත්‍ර ප්‍රබන්ධ නිර්මාණය ලෙස ගත්විට මෙය පැසසිය යුතු නිර්මාණයකි
- ප්‍රබන්ධයේ අන්තර්ගතයට සාපේක්ෂව යොදා ඇති නම බරසාර බවින් අවම මට්ටමක පවතී.
- විකුම් ජිතේන්ද්‍ර යනු දක්ෂ කවර නිර්මාණ ශිල්පියෙකි. එහෙත් කෘතියට සාපෙක්ෂව කවරය ද බරසාර බවින් අවම ය. දෙවන මුද්‍රණයක් කෙරෙන්නේ නම් ඒ පිළිබඳව ද සලකා බැලිය යුතු ය