කැමූගේ ‘පිටස්තරයා’ සහ ‘අප්පච්චී ඇවිත්’

post-title

2018 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය ලද “අප්පච්චී ඇවිත්“ නවකතාව සහ රාජ්‍ය සම්මානය ලද “යකඩ සිල්පර” නවකතාව ගැන විචාර ගණනාවක් මේ වන විට පළ වී ඇත. මෙම නවකතා දෙක තම තමන්ගේ කුලකයන්ට අනුව වම් හා දකුණු ඇහෙන් වෙන වෙනම හෙළන දෘෂ්ටිවලින් බොහෝ අය විචාරය කරන බව ද පැහැදිලිය. සමීක්ෂණ මණ්ඩලවල වුව ද පොත්වල විශිෂ්ඨත්වය මනින ක්‍රමවේද හා මිනුම්දඬු එකිනෙකට වෙනස් බව ස්වර්ණ පුස්තක හා රාජ්‍ය සම්මාන සඳහා තෝරාගත් කෘති දෙස බැලූ විට පැහැදිලි වේ. “අප්පච්චී ඇවිත්” නවකතාවටට ස්වර්ණ පුස්තක සම්මානය පිරිනැමීම කුමන පදනමක් හෝ නිර්ණායක අනුව සිදු කළේ ද යන්න පිළිබඳව පාඨකයා දැනුවත් කිරීමට විනිශ්ච මණ්ඩලයට උවමනාවක් හෝ සමහර විට බලයක් නැති නිසා හෝ 2017 පළවූ නවකතා අතරින් මෙම පොත හොඳම නිර්මාණය බවට තෝරා ගත්තේ කෙබඳු සුවිශේෂතා මත ද යන්න ගැන උනන්දුවක් ඇති පාඨකයින්ට දැනගැනීමට ක්‍රමයක් නැත. “අප්පච්චී ඇවිත්” කතාව ගැන මහත් උද්දාමයකින් අරුණ පුවත්පතට ලියන උපේක්ෂා නුවන්ශ්‍රීනි ලේඛිකාව් එය දකින්නේ තමා අගය කරන කොළඹ කල්ලියේ කෙනෙක් විසින් ලියන ලද විශ්වසනීයත්වයෙන් සම්මානයට පාත්‍ර විය යුතු එහෙත් ඒ සීමා ඉමට ලංවූ ශ්‍රේෂ්ඨ නවකතාවක් ලෙසය. එම ලේඛිකාවම කොළඹ කල්ලියට නෑකම් සම්බන්ධකම් නැති විමල් උයද හපුගොඩආරච්චි නම් කොළඹින් ඈත දුර අඹන්පොල පළාතේ වෙසෙන ලේඛකයාගේ “යකඩ සිල්පර“ නවකතාව නිකම්ම මල කෑ යකඩ සිල්පර කොටයක් යයි කියා ඇත. ඇය එය කියවා ඇත්තේ දකින දේ විපරීතව පෙනෙන වපර ඇසකින් වන අතර එයට සම්මාන පිරිනැමූ විනිශ්චය මණ්ඩලයට ද අවඥා ලෙස සිනාසෙන්නීය.

අප්පච්චි ඇවිත් කතාව රජකතා, ගමකතා ඓතිහාසික කතා ගනයට නොවැටෙන ලේඛකයාට ස්පර්ශ කිරීමට හැකි වර්තමාන අත්දැකීම් සමුදායක සාහිත්‍ය රසාස්වාදයක් හා ජීවන අර්ථයක් ඇති කරන සජීවී නිර්මාණයක් ලෙස අර්ථ ගැන්විය හැකිද යන්න ද සළකා බැලිය යුතු පැතිකඩකි. නිර්මාණයකදී තමාගේ ආත්මයෙන් පරිබාහිරව සිදුකරන වස්තු වර්ණනා මෙන්ම චරිත අවස්ථා ද සම්පූර්ණයෙන්ම අසාර්ථක බවත් “එය හරියට තමාගෙන් පිටතට නෙරා ඇති කවුළුවකින් ගලා එන හිරු එළිය මෙන් අපගෙන් “බහිර්ජන්යව” උත්පාද වන මායාවක් බවත් ඉහත ලේඛිකාවගේ මතයයි.

ඉහතින් සඳහන් කළ කාරණා සිහිපත් කර ගනිමින් අප්පච්චි ඇවිත් කතාව ගැන වැඩි යමක් ගැන විමසා බැලීම මෙහි අරමුණය. ජීවන යථාර්ථය විනිවිද දැකීම සඳහා ඇසුරු කළ හැකි මූලාශ්‍ර සහ කතා ප්‍රවෘත්ති අදත් ඊයේත් ඉතිහාසය පුරාවටත් ගමකතා, ඓතිහාසික කතා අතර ඕනෑ තරම් දැකිය හැක. ජාතක කතාවල මෙන්ම සම්ප්‍රදායික ඉන්දියානු හා බටහිර සාහිත්‍ය තුළ ද මනෝ විශ්ලේෂන සහිත ගැඹුරු ජීවන දැක්ම ඇති සාහිත්‍යය අරුම නොවේ. අප්පච්චී ඇවිත් කතාව ඇල්බෙයා කැමූ ගේ “පිටස්තරයා” කතාවේ ආකෘතිය හා සංදර්භයට යම් තරමක් සමානකම් දකවන කෘතියකි.

සංස්කෘතික අනන්‍යතාව සහ රටක ඉතිහාසය හා ආගමික අගැයීම් සම්පූර්ණයෙන්ම අතහැරදැමීමෙන් සාර්ථක නවකතාකරුවෙකු විය හැකිය යන තර්කය ඇල්බෙයා කැමූගේ කතාවෙන් ගම්‍ය වන්නේ යයි ඇතැමුන් කරන තර්ක ද ගැඹුරින් විමසා බැලිය යුතු පැතිකඩකි. පිටස්තරයා නව කතාව සංස්කෘතික අගැයීම්, සදාචාරය, සමාජය, ආගම සහ පෞද්ගලිකත්වය පිළිබඳ බරපතල ප්‍රශ්න නගන කෘතියකි. කොමියුනිස්ට් හිතවාදියෙකු වූ කැමූ “ ඉරණම හමුවේ මිනිසුන් නගන විලාපය සංස්කෘතියයි” ද, “අපේ ලෝකයේ මරණයේ බලහත්කාරය හා සංරෝධක බලයට සමාන්තර එහෙත් අති විශාල සම්ප්‍රදායික දෘශ්ටි ප්‍රපංචයක් තිබේ. එයට සංස්කෘතිය යයි කියනු ලැබේ.” යි (මිත්‍යාවේ නිරර්ථක භාවය සහ වෙනත් නිබන්ධන - The Myth of Sisyphus and Other Essays) තර්ක කරයි. ඇල්බෙයා කැමූට මතයක් දැරීමේ අයිතිය ඇති නමුත් ඔහු කියන දේ දේව භාෂිතයක් සේ සැලකිය යුතුද? සංස්කෘතික හර පද්ධතිය උනා දමා නිරුවත් වීමට කැමති බොහෝ දෙනා ඇතත් ඔවුන් ඇතුලු සෑම සමාජයක්ම ඔවුන්ගේ අතීත සංස්කෘතික පදනමේ පරිණාමයක් බව අමතක කළ නොහැක.

“අප්පච්චී ඇවිත්” නවකතාවේ ආඛ්‍යාන විලාශය පිටස්තරයා කතාවේ ආඛ්‍යාන විලාශයට සමාන යයි අර ලේඛිකාව සඳහන් කර තිබුණි. එය පාඨකයා අන්ද මන්ද කරන හා සහමුලින්ම කණපිට හරවන විලාසිතාවක් නිසා (Mind-Fuck) ශානරයේ නවකතාවකැයි ද ඇය සඳහන් කර ඇත.

‘අප්පච්චී ඇවිත් නවකතාවේ ආඛ්‍යාන විලාශය කැමූගේ පිටස්තරයා (අමුත්තා) කතාවේ ආඛ්‍යාන විලාශයට සමාන යයි කීම කැමූ ට ද අපහාස කිරීමකි. පාපොච්චාරණයක් නැතහොත් වාර්තාවක් වැනි කතාවක් භාව පූර්ණ සාහිත්‍ය විවරණයක් වන්නේ කෙසේද? තමා අවට පරිසර සංසිද්ධින් කථකයාගේ / පාඨකයාගේ පරිකල්පනය උද්දීපනය කරන භාෂා ප්‍රයෝග, උපමා අලංකාර, වක්ක්‍රෝක්ති, රූපක විරල ආඛ්‍යානයක් සාහිත්‍ය කෘතියක් වන්නේ කෙසේද? පිටස්තරයා නම් පාඨකයා අන්ද මන්ද කරන සරල, එහෙත් ආකර්ෂණීය වියමනකි. මාර්සෝ සිය මවගේ මෘත ශරීරය බැලීමට ගිය අවස්ථාව කැමූ සටහන් කරන අයුරු බලන්න.(මා දක්ෂ පරිවර්තකයෙකු නොවන බව කරුණාවෙන් සළකන්න)

“ මම කිසියම් අභිනයක් කළේ දැයි නොදනිමි. ඔහු ඉවත්ව යනවා වෙනුවට මගේ පුටුව පිටුපසට වී සිටියේය. මගේ පිටුපස කිසිවෙකු සිටගෙන සිටින විට මට කිසියම් අපහසුවක් දැනේ. හිරු අස්තංගතයට යන නිසා මුළු කාමරයම සුන්දර මුදු ආලෝකයෙන් පිරී ගියේය. හිසට උඩින් ඇති සීලිම් ලාම්පුව වටේ ගිනි කණා වැටුණු මැස්සෝ දෙදෙනෙක් මුණු මුණු ගාමින් කැරකෙති. තද නිදිමත ගතියෙන් සිටි මට දෙනෙත් හැරගෙන සිටීම මහත් අපහසුවකි.

“ඔබ කොච්චර කාලයක් මෙහි සේවය කරනවාද” යි ඔහු දෙස නොබලාම මම ඇසුවෙමි.

”අවුරුදු පහක්” මගේ ප්‍රශ්නය කලින්ම දැනගත්තා සේ ඔහු වහා උත්තර දුන්නේය.

”ඈත කඳු පන්තිය හා අහස්තලය තෙක් බෑවුම් රේඛාවක් මෙන් විහිදී ඇති සයිප්‍රස් ගස් පේළිය අතරින් මම පිටත ගම්මානය දෙස බැලුවෙමි. විචිත්‍ර පලාවන් පැහැති රුක් ගොමුව උණුසුම් රතු බිමට සෙවන දේ. තැනින් තැන විසිරී පිහිටි නිවෙස්වල පියසි මලානික හිරු එළිය සිප ගෙන දිලිසෙයි. මට අම්මාගේ හැඟීම් තේරුම් ගත හැකියි. මේ පළාතේ හැන්දෑව දුක්මුසු සංවේදනාවක් වගේම පූර්ණ දීප්තියෙන් බැබලෙන උදා හිරුගේ උණුසුම, අතර නලියන හීන් අපැහැදිලි මීදුමත් කිසියම් නොපහන් කලකිරීමක් ඇති කරයි. ” පිට- 11

කැමූගේ භාෂාව සරලය. එහි විචිත්‍ර ධවනිතාර්ථ ඇත. ඔහුගේ භාෂා යෙදුම් චිත්තරූප ජනනය කරන තෙලි තුඩක් මෙනි. සිය මනෝ භාවයන් මෙන්ම දර්ශනය ද ඉදිරිපත් කරන්නේ එමගිනි.

කැමූගේ ලේඛන ශෛලිය ගැන ජීන් පෝල් සාත්‍රේ 1947 පළ කළ “ පිටස්තරයා (අමුත්තා ) පිළිබඳ පරිකථනයක්” යන ලේඛනයේ මෙසේ සඳහන් කරයි.

“ සෑම වාක්‍යයක්ම වර්තමාන නිමේශයක් වුවද අවිනිශ්චිත එකක් නොවේ. එය වර්ණකාරකයක්සේ අනුගාමී වාක්‍ය වෙත ගලා යයි. වාක්‍ය තියුණු, ප්‍රභින්න ස්වීයත්වයෙන් යුක්තය. එය අනුගාමී වාක්‍යයෙන් විසන්ධි කරන්නේ රික්තයක් මගිනි. වාක්‍යයෙන් වාක්‍යයට ලෝකය සුන් කර නැවත උපද්දයි. පිටස්තරයා නවකතාවේ වාක්‍යය කොදෙව් දූපත් මණ්ඩලයක් මෙනි. එක් එක් වාක්‍යයක ඇති හුදකලාව අවධාරණය කර ගැනීම සඳහා අපි වාක්‍යයෙන් වාක්‍යයටත් රික්තයෙන් රික්තයටත් පැන යා යුතුය.”

පිටස්තරයා කෘතියේ භාෂා ශෛලිය ගැන දිගු විස්තරයක් කළේ අප්පච්චී ඇවිත් කෘතියේ භාෂාව ගැන සමහරුන් කරන ව්‍යාජ අතිශයෝක්තිය නිසාය. “අප්පච්චී ඇවිත්” නවකතාවේ භාෂාව ඒකාකාරී විස්තර වාර්තාවක් පමණි.

පොදු සමාජ භාවිතාව සහ කට වහර ව්‍යවහාරය සිද්ධිවලට සාපේක්ෂක ලෙස විශේෂයෙන් ගැමියන් වෙනස් කරන්නේ නැත. උපහැරණ යෙදුම් ආදිය අදහස තීව්‍ර කිරීමට නිතැතින් ගලා එන්නේ භාවිතය හා හුරුව නිසාය. සාහිත්‍ය නිර්මාණයකින් අප බලාපොරොත්තු වන්නේ එකම ශෛලියේ වදන් වැලකින් සිදුවූ දෙය වමාරා දැමීම නොවේ. මග තොට දී හමුවන මිතුරෙකුට තමා දුටු දේ හා ඒ ගැන හිතන දේ කියවීම වාර්තා සංනිවේදනයකි. එහි සිද්ධියක් වූ හැටියෙන්ම විස්තර කිරීමට වඩා දෙයක් නැත. සාහිත්‍ය කෘතියක් එසේ විය නොහැක. නවකතා නිර්මාණයක ඊට වැඩි යමක් භාෂා ශෛලිය, යෙදුම්, රස ජනනය, අවස්ථා නිරූපණය ආදියෙහි තිබිය යුතුය,

විවිධ විචාර සංකල්ප අතරින් අදාල සාහිත්‍ය කෘතිය විචාරකයාගේ දෘෂ්ටිකෝණය අනුව විග්‍රහ කිරීම එක් ක්‍රමයකි. බොහෝ විට එහි දක්නට ලැබෙන්නේ, කතුවරයාගේ පරමාර්ථය විග්‍රහ කිරීම වෙනුවට විචාරකයාට අවශ්‍ය වෙනත් කතිකාවතක් නිර්මාණය කිරීමය. එහෙත් විචාරයේදී සැළකිය යුතු සම්මත පොදු ලක්ෂණ මගහැර යාමට විචාරකයාට නොහැකිය.

චරිතවලට අදාල සම්බන්ධතා, යොමු හා හෝඩුවාවන්, එක් එක් චරිතවල කාර්යභාරයන් හා වැදගත්කම නිරීක්ෂණය කිරීමට වැදගත්ය. මෙම තත්ත්වයන් චරිතවල සමස්තය අනුව සලකා බලා කියන්නාට දක්වන්නේ හෝ නොදක්වන්නේ මොනවාද? අනෙකුත් වරිත ඔවුන් ගැන හා අනෙක් චරිත ගැන කියන්නේ මොනවාද යන්න. මෙම කරුණු ධාරණය කිරීමට කතුවරයා යොදා ගන්න ආඛාන උපක්‍රම මොනවාද? අභිදානය, අරුත් ගැන්වීම (Connotation) කුතුහලය, ඉවඇල්ලීම (curious/ nosey) උපමා අලංකාර, රූපික (Figurative language) උපමා වාක්‍ය, රූපක (Metaphor) පරිසරය, වටපිටාව (Setting) සංකේතවාදය (Symbolism) ඉන් සමරක් වන අතර කුතුහලය හැර ඉහත සඳහන් සංකල්ප භාවිතාවක් අප්පච්චී ඇවිත් කෘතියේ සොයා ගැනීම දුෂ්කර කාර්යයකි. එය සාර්ථක නවකතාවයක් ලෙස අර්ථ ගැන්වීම අපහසු ඒ නිසාය.

ආකෘතිය අතින් අප්පච්චී ඇවිත් පිටස්තරයාට කිසියම් සමාන කමක් දක්වයි. මිනීමැරුමකට හසුවන මාර්සෝ අවසානයේ වරදකරු වී දඬුවම් ලබයි. මාර්සෝ රේමන්ඩ් නම් සිය මිතුරා සහ අරාබි ජාතිකයන් කිහිපදෙනෙකු සමග මුහුදු වෙරළේ දී ඇතිවෙන හබයකදී රෙමන්ඩ්ගේ සහායට ඉදිරිපත්වෙන මාර්සෝ අතින් අරාබි ජාතිකයෙක් මරුමුවට පත් වෙයි. එහිදී මාර්සෝ කිසියම් මානසික පීඩනයකට ලක් වුවත් එය උන්මත්තක භාවයක් නොවේ. නීතිය, චර්යා ධර්ම, සමාජ අගැයීම් මායිම් නොකරන ඔහු වර්තමානයේ ජීවත් වෙන්නෙකි. මහේස්ත්‍රාත් විමර්ෂණයේදී ඔහු තමාගේ නිර්දෝෂීභාවය ගැන කිසිවක් කතා නොකරයි. නිතිඥ සහායක් නොපතන හෙතෙම මහේස්ත්‍රාත් ඒ කුමක් නිසාදැයි විමසන විට මාර්කෝස් සිනාසී කියන්නේ මෙය බොහොම සරල කාරණාවක් බවයි. ඉන් පසු ඔහුට රජයේ නීතිඥ සහාය ලබා දෙයි. නඩු විභාගය කතාවේ සමාප්තිය දක්වා දිවයන්නේ සාම්ප්‍රදායික නඩු විභාගයක් ලෙසය. එම සම්ප්‍රදායි සමාජස්ථරයට බැහැරින් සිටින පිටස්තරයා (මාර්සෝ) පවතින සමාජ ආකල්ප හා චර්යා පද්ධති නිර්දය සෝපාහාසයට ලක්කරමින් ප්‍රතික්ෂේප කරයි.

අප්පච්චී ඇවිත් කෘතිය මතු කරන සිද්ධාන්තය ඊට වෙනස් වුවත් ආකෘතිය සහ ඉදිරිපත්කරන ක්‍රමවේදය පිටස්තරයාගේ ආකෘතියට තරමක් සමානය. සිය බිරිඳ හා දරුවා මරා දැමීමේ චෝදනාවට සැකකරු වන නිශ්ශංක රිමාන්ඩ් භාරයේ සිටින විට ලියන තමාගේ කතාව මෙහි නඩුවට අදාල මූලාශ්‍රය ලෙස ගනී. එය මානසික ව්‍යාධියකින් පෙලෙන අයෙකුගේ කතාවක් බවත් නිශ්ශංක නිර්මාණය කළ අප්පච්චී මරණවලට වගකිව යුතු බවත් උන්මත්තයෙකුට මිනී මරන්ට නොහැකි බවත් නීතිඥයා තර්ක කරයි.

පිටු 42 (අර්ධ පිටු) පුරා දිවෙන නඩුව (උසාවියේ විනිසුරුගේ හා නීතිඥයාගේ කතාව) පොතට එකතුකළ බාහිර කතිකාවකි. විවිධ මනෝ විශ්ලේෂකයන්ගේ තර්ක හා මතිමතාන්තර ගෙනහැර දක්වමින් නීතිඥයා නිශ්ශංක හීනොන්මාදයකින් පෙළෙන මාසික රෝගියක් (පිට- 218) බවත් උන්මත්තකයන් මිනී නොමරන බවත් තර්ක කරයි. එහෙත් ඔහු දක්ෂ නිර්මාණකරුවෙකි. (පිට- 82) ෆාන්ස් කෆ්කාගේ “The letter to the father” කතාව පිළිබඳ ස්ලැවොජ් ජිජැක් ගේ විග්‍රහය තේමාවට ගුරු කොට ගන්නා කතුවරයා එය නීතිවේදියා මඟින් තහවුරු කරන්නේ මෙසේය. “ පියාගේ නාම කරණය යනු පියා සංකේතිකව මර දැමීමට ආත්මයට ඉඩ දීමයි. කෆ්කා ගේ ලියුම අනුව ඔහුට සදාකාලිකවම තම පියාගේ සෙවැනැල්ලෙන් වෙන්වීමට නොහැකි වූ බව පැහැදිලිය. නිශ්ශංක ද එසේම විය. ඒ නිසා නිශ්ශංක තමාට අවශ්‍ය පරිදි පියා නිර්මාණය කරනවා. (පිට- 195) විත්තිකරු උන්මත්තකයෙන් බවට පත් වන්නේ පියාගේ නාමකරණය සිදු නොවුන නිසාද යන විනිසුරුගේ ප්‍රශ්නයට නිතිඥයා කියන්නේ එයට ඔවු හෝ නෑ කියා සරල පිළිතුරක් දිය නොහැකි බවයි. (පිට- 188)

නඩු විභාගයේදී නීතිඥයා ඉදිරිපත් කරන පරස්පර විරෝධී තර්ක ගැන වෙනම සාකච්ජා කළ යුතුය. නිශ්ශංක කතාව පුරාම හෙතෙම කිසියම් මානසික රෝගයකින් පෙළන බවට සාධක ඕනෑ තරම් තිබේ. පාන් කඩේ වෙළෙන්දා පවා ඒ ගැන දනී. නිතිඥයා ඒ ගැන කිසි සඳහනක් නොකරයි. කතුවරයා නීතිඥයා මගින් තහවුරු කිරීමට වෑයම් කරන දේ නිශ්ශංක තමා විසින්ම තහවුරු කර ඇති නිසා පොතේ අවසාන පිටු 42 මූලික සාහිත්‍ය කෘතියෙන් බැහැර ශාස්ත්‍රීය විමර්ශණයකි. යට සඳහන් කළ කැමූගේ පිටස්තරයා කෘතිය ද මිනීමැරුමක විමර්ෂණය සඳහා විශාල ඉඩ කඩක් වෙන් කළ රචනාවකි. එහෙත් එහි ඇත්තේ නඩු වාර්තාවක් හෝ ශ්‍රාස්තීය විමර්ෂණයක් නොව විශිෂ්ට සාහිත්‍ය නිබන්ධනයකි. සමන් වික්‍රමාරච්චි අපූරු තේමාවක් මත නවකතාවක් ඉදිරිපත් කිරීමට වෑයම් කළත් සිය වෘත්තියේ සෙවැනැල්ලෙන් මිදීමට නොහැකිව අර්ධ නවකතාවකුත් අර්ධ අපරාධ විමර්ශණයකුත් කර ඇතැයි කීම වඩා සුදුසුය. එය ස්වර්ණ වර්ණයෙන් පිදීමට තරම් වැදගත් සාහිත්‍ය ප්‍රබන්ධයක් නොවන බව නම් නොකියා නොහැක.

Top