සුලබ තේමා නිමිති කොට ගෙන කාව්‍ය නිර්මාණය පහසු නැත. එයට හේතුව අන් කවරක් හෝ නොව එසේ සුලබ තේමා නිමිතිව බිහිවූ කවි සිය දහස් ගණන් සහෘදයා විඳ තිබීමත්, එබැවින් ඒ කවි තුළින් නිරූපණය වූවාට වඩා වෙනස් අපූර්වත්වයක් නිරූපණයේ අවශ්‍යතාව ඇති වීමත් නිසාය. 'පසන් සංජය සමරතුංග' යනු එවන් කාව්‍යකරණයක බුහුටිකම් පෙන්වන කවියෙකි. ඔහුගේ කවිවලට තේමාව ඇත්තේ එදිනෙදා පරිසරයේ දකින සිදුවීම් හෝ එවන් සිදුවීම් ඇසුරෙන් හදවතේ නැගෙන හැඟීම් ය. නමුත් ඔහු ඒ සුලබ අත්දැකීම් තුළින් නිමවන සමහර කවි යම් බරපතල දාර්ශනිකත්වයකට ප්‍රවේශ දොරටුවක් තනන්නේ ද යන්න පිළිබඳ හැඟුමක් සහෘදයා තුළට කැඳවන්නේ ඔහුගේ නවතම කාව්‍ය කෘතිය වන දුහුල් නැවතුම් අගිසි කියවන කල්හි ය.
සාංදෘෂ්ටික අර්ථයෙන් ගත් කළ මිනිසා මරණයට බිය ය. මරණය ඛේදයක් සේ දකියි. එහෙත් සාංදෘෂ්ටිකවාදින් ප්‍රකට කරන්නේ මිනිසා මරණය පිළිබද අවබෝධයෙන් ජීවත් විය යුතු බවය. එවිට මරණය සුවදායි වන්නා සේ ම ජීවත් වන අය මරණය පිළිබද සිතා දුක් නොවන වග ඔවුන් ප්‍රකාශ කරයි.
‘‘තනි මලක්
අකල් මරණෙක
සුව විඳින‘තර
අනෙක් මල් සිහිසුන්ව වැටුණි ද?
(පිටු - 19)
පසන් ගේ කවියට ප්‍රස්තුතව ඇත්තේ සරල ම අනුභූතියකි. මල් පිපෙයි. එසේම පරවෙයි. නැතහොත් කා අතින් හෝ සිදී බිදී විනාස වෙයි. මෙය සාමාන්‍ය සිදුවීමකි. එහෙත් මලක් පරවීම හෝ විනාස වීම ගැන සිතා අනෙක් මල් නොපිපෙන්නේ ද? ගසක් හිස මල් නොපළඳින්නේ ද? නැත. මේ සිදුවීමට පසන් කාව්‍ය හැඩයක් දෙමින් ධ්වනිතාර්ථවත් කරන්නේ ජීවිතය පිළිබඳ පෙර අප කී සාංදෘෂ්ටික අර්ථය යැයි අපට හැඟෙයි. ඒ අතරේ ඔහු කවිය අලංකාර කර ගන්නට ද නව්‍ය යෙදුම් උපයෝගිකර ගනියි
‘‘හමා යන සුළඟ වුව
ළඟ ළඟ ම
තිරිංග තද කෙරුව ද?"
(පිටු 19)
එමගින් කවිය තවත් අපූර්වත්වයකින් යුක්තව සහෘදයාට වැළඳගත හැකිය. එසේ අපූර්වත්වයක නැවුම් පුසුඹක් ජනිත කරන තවත් කවිකාරකමක් ලෙසින් මේ අපූර්ව කාව්‍යක්කාරයාගේ ‘අත්ලේ සිරකර ගත හැකි ඒ කෙටි සිනා‘ නම් කවිකම ද හඳුනාගත හැකිය.
ප්‍රේමය යනු සිප වැළඳ තදින් අල්ලා ගැනීම නො වේ ය. කවියා ප්‍රේමය වැළඳගන්නේ මනසිනි. සිනහවක ඇති සුසිනිදු සුවය, මතකයක ඇති සුව පහස විඳිය හැක්කේ එවිටය.
කවියාට හමුවන ස්ත්‍රිය ෆාතිමා ය. ඇය ඉස්ලාම් ය. සම්මත සමාජ නිමවා තමාගේම සිතැඟි වලට කඩුලු බඳින මිනිසා ප්‍රේමය කොන්දේසි සහගත කර ගනියි. එහි එක් කොන්දේසියක් ලෙස ආගම හඳුනාගත හැකිය. කවියා දිවි ගෙවන්නේ ද එවන් ලෝකයක ය. ඔහු මිනිස් පැවැත්ම අවබෝධ ඇත්තෙක් වු ව ද ෆාතිමා එවැන්නියක නොවේ ය. ඇයට ඔහු හා ප්‍රේමයෙන් බැඳිය හැකි වුව ද ඇය ආගමිකත්වයේ ඛණ්ඩනයට හසුව ඇත. කවියා එය මනා සංකේථාර්ථයකින් ප්‍රකාශිත ය.
‘‘ඇගේ මුව කිසිදාක
පර්දාවකින් වෙළා නොතිබුණි
එනමුත් කළු වලාවක්
ඈ ගත වෙළා තිබුණි ‘‘
(පිටු 36)
මිනිසාගේ පැවැත්ම තුළ ප්‍රේමය වැනි හැඟීම් අයිතිකර ගැන්මට වඩා, ලෝකයට ආදරය කිරීම උසස් බව සාංදෘෂ්ටික අදහසයි. මානුෂීය දර්ශනයෙහි දී පවා මාස්ලෝ විසින් ප්‍රකාශ කර ඇත්තේ ලොවට ආදරය කිරීමත් අනෙකාගේ ආදරය පෙරලා ලැබීම අපේක්ෂා නොකිරීමත් ආත්ම පූරණයට පත් වූ අයෙකුගේ ලක්ෂණ බව ය. එවන් ගැඹුරක් පසන්ගේ කවිය තුළින් ද දෘෂ්‍යමානිත ය.
‘‘ෆර්දාව ඉදිරියේ
ෆාතිමා,
තාම මට සිහිවේ...‘‘
එම කාල්පනික ප්‍රේමය ගැන දුකක ශෝබර හැඟුමක් කවියා සහෘදයා හමුවේ නො තබයි. ඒ ප්‍රේමයේ සැබෑව ද ජීවිතයේ ද පැවැත්මේ ද අර්ථය පිළිබද ව ද ඔහු තුළ ඇති පෙර අප කී අවබෝධය නිසා යැයි හැඟෙයි.
ප්‍රේමයේ යථා ස්වභාවය ම තවත් කවියක තවරන පසන් එමගින් ද ප්‍රකට කරන්නේ අවබෝධය ලත් පුද්ගල මනසකින ප්‍රේමය වටහා ගන්නා ස්වරූපය ම ය.
"අපිටත් මේ වගෙම කූඩුවක්
ගස්වලින් වටවුණු - ඇස්වලින් අස්වුණු
මගේ අත නැතුවාට
වෙන හිතක් අග ඉදන්
තාම එහෙම ම ඔහේ මුමුණනවාද?"
(පිටු 46)
ස්වකීය අතීත ප්‍රේමයේ නටඹුන් සිහිකරන පෙම්වතෙකි. ඔහුට පෙර පෙම්වතිය හා ගෙවූ කාලය සිහිවෙයි. ඔහු නොවැලපෙයි. උපේක්ෂාවෙන් විමසයි. ඇය හා ගෙවූ සුන්දර දිවියේ මතක අතර විවාහ වන්නට හීන මැවූ යුගය සිහිකරයි. එහෙත් ඒ විවාහය ම ඔවුන් අතර ප්‍රේමය බිඳ දමා ඇතැයි සිතෙන්නේ ඔවුන් වෙන්ව ඇති නිසාය. ඇය දැන් අලුත් පෙම්වතා සමග යළිත් විවාහ වීමේ අපේක්ෂා ගැන දොඩමලු වන අයුර කතකයා දකියි. එසඳ ඒ ප්‍රේමයට ද කවරක් වනු ඇත් ද?
කථකයා ප්‍රේමය ද ජීවිතය ද අවබෝධ ඇත්තෙකු වූ බැවින් විවාහ සිහින අබිමුවේ බිද වැටුණු ප්‍රේමය තුළ උපේක්ෂා සහගතය.
තථ්‍ය ලෝකයේ මිනිස ප්‍රේමයෙන් කූඩු ගත වීම සදහා ප්‍රේමය ආරක්ෂා ද සාක්ෂාත් වන ද උත්තුංග තැන යැයි සලකා විවාහ වෙයි. නමුත් සැබැවින් ම අයිතිය ලබා ගත් පමණක නිදහස් ප්‍රේමය විනාෂව යන වග ප්‍රඥාව ඇසුරින් විමසන කළ පැහැදිලි වෙයි. නමුත් එම සත්‍ය මගහරින මිනිසා විවාහ බන්ධනයට ඇලුම් වෙයි. ඕෂෝගේ නිර්වචනයක් වූයේ " ප්‍රේමයේ මළගම විවාහය වන බවය."
ගැඹුරු කවිතාවන් පළ කරමින් ජීවිතය පිළිබද සාංදෘෂ්ටික අදහස් හා සබැදෙමින් ගලා යන දුහුල් නැවතුම් අගිසි තුළ ඇති කාව්‍යාත්මක භාෂා යෙදුම් ද විචිත්‍ර ය.
‘‘කඩදාසි මලක
කවුද ඒ කුරුල්ලා?
පව්.. අර
පැණි බින්දු හොයනවා‘‘
‘‘පැස්ටල් කහපාට මූනේ
අවනඩු රූපයක් මවන්‘‘
(පිටු 56)
යනාදි යෙදුම් ඊට සාක්ෂ්‍යය. ඒ පිළිබද සතුටු චිත්තයකින් යුක්ත විය හැක්කේ නූතනයේ ඇතැම් නවක කාව්‍යක්කාරයන් සිය කවි වැනුම් තුළ තවමත් පැරණි භාෂා යෙදුම් යොදන තැන් බහුලව දැකිය හැකි බැවින් ය. ඒ අයුරින් ගත් කළ බස හැසිරවීම පිළිබඳ පසන් ට යම් ඇගයුමක් ලැබිය යුතුය.
මේ සියල් විඳුම් විඳින දුහුල් නැවතුම් අගිසි තුළ යම් යම් දුර්වලතා ද නැත්තේ ම නොවේ ය. කාව්‍ය තේමාව ඉල්ලා සිටින භාෂාත්මක රසය බිඳෙන කවි කිහිපයක් කිහිප තැනක දැකිය හැකිය. අනෙක් වැදගත් ම කරුණ නම් තව තවත් කාව්‍ය වස්තු විෂයන් පසන් ලොවින් ග්‍රහණය කරගත යුතු යැයි අප තුළ ඇති විශ්වාසය ය. කෙසේ වුව ද ස්වකීය පළමු කාව්‍ය කෘතිය නිසාවෙන් ම අපට මෙහි මහා දොසක් නොපෙනනා වග ද පැවසිය යුතුවා සේ ම එවන් කෘතියකින් මෙවන් ගැඹුරු දාර්ශනික හරයන් විකසිත කිරීම පිළිබඳ පැසසිය යුතු ද වෙයි.
කාව්‍ය මගට පිළිපන් කවි ප්‍රතිභාව හිමි කවියෙක් ලෙසින් පසන් සංජය සමරතුංග මේ මග තව දුර යා යුතු සහ යා යුතු ම කවියෙක් ලෙසින් පවසා මෙම කෙටි සටහන නිම කරන්නේ ඔහුට ද සුබ පතමිනි