මම ද, ඔබ ද ඇතුළු අපි සැමදෙනාට ම හමුවන ඕනෑම පුද්ගලයකු (මම ද ඇතුළුව) තුළ බාහිරෙන් දක්නට ලැබෙන පුද්ගලයාට අමතරව එම පුද්ගලයා තුළ ම තවත් එක් පුද්ගලයෙක් හෝ පුද්ගලයන් කිහිප දෙනෙකු සිටිය හැකි ය. එසේ නොපෙනී සිටින පුද්ගලයන් හඳුනාගත හැකි අවස්ථා මෙන් ම හඳුනාගත නොහැකි අවස්ථා ද පවතී. ඇතැම් විට ඒ අනෙකා හඳුනාගත්ත ද එය තවකෙකුට ප්‍රසිද්ධියේ පැවසීමට මැළි අය ද සිටිති. ඒ අදාළ පුද්ගලයාගේ සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වය හේතුවෙන් හෝ ඔහුට හෝ ඇයට සමාජයේ හිමිව පවත්නා සිවිල් තත්ත්ව හේතු කරගෙන විය හැකි ය.
එමෙන් ම මේ සෑම පුද්ගලයෙකු ම මේ මොහොතේ ජීවත්වන රටාව ද. අත්විඳීමට බලාපොරොත්තු වන ජීවන රටාව ද කිනෙකට පරස්පර විය හැකි ය. මේ මොහොතේ රටේ පවතින තත්ත්වය සහ කිසියම් පුද්ගලයකු ‘අපේ රට පැවතිය යුත්තේ පවතින ක්‍රමය නොව අසවල් ක්‍රමය’’ යැයි සිතන, ඒ වෙනුවෙන් හැකි උපරිම සේවාවක් ඉටු කරන, ඒ වෙනුවෙන් අදාළ පුද්ගලයාගේ මතු නොව සිය ඥාති මිත්‍රාදින්ගේ ද ජීවිත පරදුවට තැබූ අවස්ථා මෙන් ම අනාගතයේ දී තබන අවස්ථා ද හමු විය හැකි ය. ධරමාන යුගයේ දී ඒ අවස්ථා උදාකරගත නොහැකි වූ පසු මරණයෙන් මතු උපදින ආත්මයක හෝ එසේ වේවා යැයි පතන පුද්ගලයෝ ද බහුල ය. ඔවුහු සිය මරණ මංචකයේ දී දකින ඒ සියලු ස්වප්න සැබෑ කරගැනීමට ගන්ධබ්බ (formless stage) අවධියේ දී සිය මනෝකාය (Astral body) උපයෝගි කරගන්නා බවට ද විශ්වාසයක් පවතී. මේ සියලු කරුණු තුළින් පැහැදිලි වන්නේ ‘‘මම සිටින අතර මම නොසිටින බව’’ සහ ‘‘මගේ ම අනෙකෙකු මා සමගම සිටින බව’’ යි. ‘‘ඔහු හෝ ඇය සිටින’’ අතර ‘‘ඔහු හෝ ඇය නොවන කිසිවකු ඔහු හෝ ඇය තුළ ම සිටින බව’’යි.
යට සඳහන් සියලු කරුණු ගෙනහැර පෑවේ ලොව සියල්ල ඇතිවනවා සේ ම නැතිවන ආකාරයට බුද්ධ දර්ශනය ද නැතිවිය හැකි බව පසක් කරන සාහිත්‍ය කෘතියක් පිළිබඳ මගේ කියවීම ඔබ සමග බෙදාගැනීමේ අටියෙනි. කෘතිය ‘‘පංචස්තම්භ’’ ය. කතුවරිය අනුරාධා නිල්මිණි ය. ඇය මීට පෙර නවකතා ද්වයක් පළ කර තිබුණ ද මට එම කෘති ද්වය ම කියවීමට අවස්ථාව ලැබී නොමැත. නමුදු ‘‘පංචස්තම්භ’’ නමැති ගද්‍ය කාව්‍ය තුළ වුව ද විටින් විට ඇගේ කවිතාව ඉතා මැනවින් ප්‍රකට කෙරෙන බව පළමුවෙන් ම සඳහන් කළ යුතු ය.
‘‘පංචස්තම්භ’’ කෘතිය පුරා ඇවිද ආපසු හැරි බලන විට දක්නට ලැබුණු සුවිශේෂත්වය නම් එම කෘතියේ ත්‍රිමාන ස්වරුපය යි; තල ත්‍රිත්වයක් ප්‍රකට කෙරෙන ආකාරය යි. මගේ කියවීමට අනුව එය මෙසේ බෙදා වෙන් කළ හැකි ය.
- මතු පිටින් නොදකින එහෙත් කලාකරුවන් (වෙසෙසින් ම කාව්‍ය ක්ෂේත්‍රයේ)මතු නොව සියලු මිනිසුන්ගේ චිත්තභ්‍යන්තරයේ පවත්නා ගූඪ සහ කුහක වත හෙළිදරව් කිරීම
- බුදුන් වහන්සේ දේශනා කර වදාළේ ආගමක් හෙවත් ලබ්ධියක් නොව කිසියම් දර්ශනයක් බව පසක් කිරීම
- කිසියම් පුද්ගලයකුට සිය ජීවිත කාලයේ දී අත්පත් කරගත නොහැකි යමක් පැවතිය ද මරණින් මතු ද ඒ රුචිකත්වය හඹා යාම
මේ සියල්ල පාඨකයා වෙත සම්ප්‍රාප්ත කිරීම සඳහා කතුවරිය භාවිත කරන්නේ ජීවමාන චරිතයක් නොවීම ද මෙම කෘතියේ විශේෂත්වයකි. සමස්ත කෘතිය පුරාම සැරිසරන්නේ මියගිය මිනිසෙකි. තවත් සරලව ම පවසන්නේ නම් ප්‍රධාන කථකයා මිය ගිය පුද්ගලයෙකි. ඔහු පාඨකයා වෙත සිය කතන්දරය පවසන්නේ ඔහු මිය ගිය පසු හෙතෙම ලබන අත්දැකීම් තුළිනි.
කෘතිය කියවන තත්පරයක් තත්පරයක් පුරා මට සිහිපත් වූයේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු විසින් රචිත ‘‘සමාරෝපණය’’ නමැති සාහිත්‍ය කෘතිය යි. එම කෘතියේ කථකයා සැබැවින් ම ප්‍රකෘති පුද්ගලයකු වුව ද සියලු දෙනා සිතා සිටින්නේ ඔහු විකෘති සිහියෙන් සිටින පුද්ගලයකු යන්න ය. හෙතෙම සුනාමි ව්‍යසනය හේතුවෙන් කිසියම් කම්පන තත්ත්වකට පත් වී එසේ වූ බව ලෝකයා විශ්වාස කරයි. කථකයා ද ඒ ආකාරයෙන් ම ජීවත්වන අතර ඔහු වටා සිටින පුද්ගලයන්ගේ සියලු දෑ ඉතා සියුම්ව නිරීක්ෂණය කරන්නට හෙතෙම සමත් වන්නේ ය. ‘‘පංචස්තම්භ’’ කෘතියේ කථකයා විසින් ලෝකයා කියවනු ලබන්නේ දෙනෙහි වැතිර සිටින මොහොතේ ය.
මිනිස් චිත්තභ්‍යන්තරයේ ගූඪ සහ කුහක වත
කවියකු වන කථකයා මේ සියලු කරුණු ඉදිරිපත් කරන්නේ ‘ධම්ම ජයරත්න’ නමැති රටේ පිළිගත් අංක එකේ කවියා තුළිනි. මෙහි දී ‘‘රටේ පිළිගත්’’ යන දෙවදන තුළින් ගම්‍යමානවන තවත් කරුණක් පවතී. එනම් ‘ධම්ම ජයරත්න’ යනු ‘‘රටේ පිළිගත්’ කවියා වන විට ‘‘පිළි නොගත් කවියෝ’’ ද සිටිය හැකි බවයි. යටිපෙළෙහි දිවෙන මේ රහස වඩාත් සාක්ශාත් කරගැනීමට නම් කථකයා එකී කවියා පිළිබඳ පාඨකයාට පවසන දෑ අවධානයෙන් කියවිය යුතු ය.
‘‘ ධම්ම ජයරත්න යනු රටේ පිළිගත් අංක එකේ කවියා ය. කාව්‍ය වැඩමුළු, පොත් දොරට වැඩුම්, සම්මාන උත්සව ආදී විශේෂ අවස්ථාවන්වලදී ඔහු මට මුණ ගැසී තිබේ. ඒ හැර, මා ගෙවු කෙටි ජීවිත කාලය තුළ දී ප්‍රකාශයට පත් කළ කවි පොත් හතරෙන් පොත් දෙකක්ම මම ඔහුගේ නමට තැපෑලට දමා ඇත්තෙමි. ඒ දෙකම, අතට ලැබුණු බව පවසා, ඔහු හැරෙන තැපෑලෙන් දෙන දුරකතන ඇමතුම් දෙක හැර, කිසි දිනක හෙතෙම මගේ කවියක් පිළිබඳව මට කතා කොට නැත. අන් තැනෙක එවැන්නක් කතා කළ බවට ද මට කිසිවකුගෙන් අසන්නට ලැබී ද නැත’’
මීට අමතරව කථකයා කිසිදු දිනක තමන්ගේ කිසිම කෘතියකට පෙරවදන් හෝ පසුවදන් ලියා නොගෙන ඇති බවත්, ඔහු කිසිදු දිනක ‘ප්‍රවීණයෝ’ යැයි නම් දරා ඇති කිසිවකු වන්දනාමාන නොකරන බව ද පවසයි.
එතැන් සිට දිගින් දිගටම විකාශනය වන්නේ මේ කවියා පිළිබඳ සංවාදය යි. එහි කූටප්‍රාප්තිය සටහන් කරන්නේ ඉතාමත් උත්ප්‍රාස ජනක අයුරෙනි. එකී උත්ප්‍රාසය ගොඩනැගෙන්නේ ධම්ම ජයරත්න තුළින් ම වීම විශේෂිත ය. කථකයා පෙර සඳහන් කළ පරිදි ම මේ ධම්ම ජයරත්න නමැති කවියා මීට පෙර කිසිදු දිනක කථකයාගේ කවියක් පිළිබඳ වචයකුදු හෝ ප්‍රකාශ කර නොමැත. නමුදු කථකයාගේ දෙන ආසන්නයේ තබාගෙන මධුවිතින් සැනහෙන අතර ඔහු කථකයා පිළිබඳ ගුණ වයයි.
‘‘විරාගගෙ කවි හරියට පුංචි දිය දහරක් අයිනෙ තියෙන කුඩා උණ පඳුරක් වගේ’’
‘‘උණ පඳුරේ පැවැත්මට දිය දහර අවශ්‍යයි වගේ ම දිය දහරෙ පැවැත්මටත් උණ පඳුර අත්‍යවශ්‍යයි.’’
‘‘ජීවිතේ එකක්. කවිය තව එකක්. හැබැයි උණ පඳුරෙ පැවැත්මට දිය දහර නැතුවම බැරි බව අවබෝධයෙන් දැනගෙන ඒ අතර මැද රික්තය සමබර කරගන්න කවියෙකුට පුළුවන් වෙන්නෝන.’’
අවසන ඔහු මෙසේ පවසයි.
‘‘නැත්නම් විරාගගෙ කවිය නරකම නෑ... මං හිතාගෙන ඉන්නෙඑයාගෙ පොත් කිපයක්ම අරන් ඉදිරියේදී යම් සඳහනක් කරන්න.’’
ධම්ම ජයරත්න නමැති කවියාගේ කුහක වත හෙළිදරව් කරන කථකයා එය වඩාත් ප්‍රකට කරන්නේ මතු දැක්වෙන වදන් කිහිපයෙනි.
‘‘ධම්ම ජයරත්න වාක්‍ය අවසන් කරන විට, දෙවැනි වරටත් එතැනට අවැසි අඩුවැඩිය රැගෙන කළණ එහි පැමිණ සිටියේ ය. අර අවසන් වචන කිහිපය කන වැකෙත් ම ඔහුගේ අතේ වූ, බෝතලයක් සහ විදුරු තසිමක් බිම නොවැටී බේරුණේ අනූනමයෙනි.’’
තත්කාලින සමාජයේ වෙසෙන ඇතැම් ප්‍රවීණයෝ පිළිබඳව කෙරෙන මෙම ව්‍යංගාර්ථ යෙදුම හුදෙක් ගද්‍ය කාව්‍ය ආකෘතිය අභිභවමින් ඉදිරියට එන පද්‍ය කාව්‍ය ආකෘතියක් යැයි හැඟේ. කතුවරිය සතු කවිතාව මෙහි දී ද පෙරමුණට පැමිණ තිබේ.
කථකයා තුළින් උද්දීපනය වන (ඔහු විසින් ම කථනය කරනු ලබන) ස්ත්‍රි ලෝලියා ද කලා ලෝකයේ මතු නොව සෑම ක්ෂ්ත්‍රෙයක දී ම අපිට සම්මුඛ වී තිබේ. එහෙත් මෙහි දී කතුවරිය එතැනින් ඔබ්බට ගොස් පිරිමියකු සහ ගැහැනියක අතර පවත්නා ලිංගික ලාලසාවේ මායිම් ලකුණු කිරීමට ද සමත්වන්නී ය.
‘‘... මුල් වරට ඒ ශරීරය ස්පර්ශ කරන විට ඇති වූ හැඟීම, දෙවැනි, තුන්වැනි අවස්ථාවල දී අති උත්කර්ෂවත් ලෙස බාරගැනීමට මගේ ඇතුළාන්තය කැමති වූයේ නැත. අනෙක් අතට, එය ජීවිතයේ එක් අවස්ථාවක් ලෙස මිස මුළු ජීවිතය ම කරගැනීමේ උවමනාවක් ද මා තුළ නොවීය.’’
මෙකී තත්ත්වය පුරුෂයාට මතු නොව කාන්තාවට ද සාපේක්ෂ ය. නමුදු බටහිර හෝ යුරෝපීය රටවල පවතින සංස්කෘතිය නමැති බාධකය හේතුවෙන් ශ්‍රී ලාංකීය කාන්තා පාර්ශ්වයේ බහුතරයක් මෙකී තත්ත්වය ස්වයං පාලනයකට නතු කරගෙන සිටිති.
බාහිර සමාජයේ දී ස්ත්‍රිය සුරතාන්තයට පත්කිරීමේ පරප්‍රාප්තිකයන් ලෙස පෙනී සිටින කවියෝ මතු නොව බොහෝ පුරුෂයෝ සැබැවින් ම කාන්තාව ඉදිරියේ දියවී යන හිම කැටයකට සමපාත කරන්නට කතුවරිය උපස්තම්භක කරගන්නී කථකයා සහ ඔහු විවාහයට පෙර ඇසුරු කළ පංචනා නම් විවාහක කාන්තාව තුළිනි.
‘... එහෙත් පංචනා එසේ නොවූවා ය. ඈ, මා කෙරෙහි වූයේ ගැඹුරු බැඳීමකි. එම බැඳීම තරමට ම වන, අසීමිත මිහිරක් ද සම්භෝගයේ දී ඈ මගෙන් බලා පොරොත්තු වූවා ය.’
‘‘අයි...යෝ, හරිම කම්මැළියෙක්නෙ. මං හිතුව අනිත් වැඩවලදිත් කවි වගේ ම මාර රැඩිකල් කියල...’’
‘රැඩිකල් විදියට සෙක්ස් කරන්න ඔයා හොයාගෙන තියෙන්නෙ වැරදි කෙනෙක් ව...’’
‘‘එහෙම ‘‘හරි’’ පිරිමියෙක් ලංකාවෙන් නම්, හම්බවෙයි කියල මම හිතන්නෙ නෑ විරාග...!’’
‘‘එච්චරට ම එක්ස්පීරියන්ස් ද?’’
‘‘වැඩිපුර නෑ. තුනයි. බඳින්න කලිං හිටිය බෝයි ෆ්‍රෙන්ඩ්, හස්බන්ඩ්, දැන් ඔයා! තව හොයාන ගියත් ඔච්චර ම තමයි...’’
ඉහත දෙබස් ඛණ්ඩය කාන්තාවකගේ යථා ලිංගිකාශාව සහ පිරිමියකුගේ යථා ලිංගිකාශාව යන ද්විමානය කදිමට ප්‍රකට කෙරේ.
කෘතියේ පළමු පරිච්ඡේදය පුරා ම කතුවරිය විදාරණය කරන්නී යට කී ආකාරයේ මිනිස් චිතභ්‍යන්තරයේ පවතින අර්බුදය යි; ගැටුම යි; යථා ස්වභාවය යි.
බුදුන් වහන්සේ දේශනා කර වදාළේ ආගමක් හෙවත් ලබ්ධියක් නොව කිසියම් දර්ශනයකි
දෙවන පරිච්ඡේදය සහ අවසාන (07වන) පරිච්ඡේදය පුරා ම ඉදිරිපත් කෙරෙන්නේ බෞද්ධ දර්ශනයේ සහ ආගම නමැති මිථ්‍යා සංකල්පය අතර පවත්නා පරස්පරතාව යි. මෙහි දී කතුවරිය ‘කාෂ්‍යප තෙරුන්’’ පාඨකයා වෙත සම්මුඛ කරවන්නේ ගැඹුරු යටි අරුතක් උද්දීපනය කරමිනි. බෞද්ධ ඉතිහාසයේ සඳහන්වන අන්දමට ‘‘කාෂ්‍යප මහ රහතන් වහන්සේ’’ යනු බුදුන් වහන්සේගේ තෙවන අග්‍රශාවක හිමි නම යි. එමෙන් ම උන්වහන්සේ වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ දැඩි අල්පේච්ඡ දිවියක් ගත කළ රහතන් වහන්සේ නමක් ලෙසිනි. යට කී කරුණු ද්විත්වය හැරුණු විට තවත් එක් හේතුවක් මත කාෂ්‍යප රහතන්වහන්සේ අග්‍රස්ථානයක් උසුලති. එනම් උන්වහන්සේ හට, බුදුන් වහන්සේ හට පිහිටා ඇති දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් හතක් පිහිටා ඇති බවත්, උන්වහන්සේ ගෞතම බුදුන් වහන්සේට සමාන රූපකායකට හිමිකම් කියන බවත් එය හේතුවෙන් ම ඇතැම් අවස්ථාවල දී ජනයා උන්වහන්සේට බුදුන් වහන්සේ යැයි රැවටී ඇති බව ද බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
කතුවරිය එවන් ස්වාමීන් වහන්සේ නමක් සිය කෘතිය තුළින් පාඨකයාට සම්මුඛ කරවන්නේ කුමන හේතුවක් මත ද යන්න දෙවන සහ අවසන් ඡේද කියවීමේ දී ප්‍රත්‍යක්ෂ කරගත හැකි ය. එකී ප්‍රත්‍යක්ෂය යනු අන් යමක් නොව බුදුන් ගිය මග සක් සුදක් සේ පැහැදිලිව අවබෝධ කරගැනීමකි.
කාෂ්‍යප හිමිගේ වදන්වලින් සරලව ම පැහැදිලි කෙරෙන්නේ සංසාරාගමනය අවසන් නොවන බවයි. උන්වහන්සේ සමග පැවති සාකච්ඡාවේ දි විරාග. තමා මිය ගිය බව පැවසීමෙන් අනතුරුව කාෂ්‍යප හිමියෝ මෙසේ පිළිතුරු සැපයූහ.
‘‘මරණය කියන වචනය, අවසානයට යොදන තවත් එක සංකේත රූපකයක් විතරයි විරාග... එය ආරම්භයේ පාදමයි...’’
නමුදු උන්වහන්සේ ම වෙනත් තැනෙක පවසන්නේ ‘‘සංසාරය කියන්නෙ ගමනකට නොවෙයි විරාග... එය යම්කිසි පැවැත්මේ ඒකකයක්. පැවැත්මේ ශූන්‍යත්වයි. එය කිසිවක්ම නොමැති තැනකදී පමණක් හමුවන දෙයක්...’’ යනුවෙනි.
මෙමගින් වඩාත් පැහැදිලි වන්නේ අවසානයක් ද ආරම්භයක් ද නොපවතින අතර සියල්ල ම සියල්ල ම සියලු තැන්හිම පවතින බවයි. එනම් අවසානයක් නොමැති බවයි. ආරම්භයක් ද නොමැති බවයි. එහෙත් සියල්ල ම පවතින බවයි.
පාසල් තුළ ආගම ඉගැන්වීම සහ ඉරිදා දවස ද ළමයින් දහම්පාසල් යැවීම සහ වෙනත් ආගමිකයෝ ද එබඳු ක්‍රියාවල නිරත වීම කුමක් සඳහා කරනු ලබන ක්‍රියාවක් ද යන්නට නිසි පිළිතුරක් පවසන්නට අධ්‍යාපන බලධාරියෝ මෙන් ම ආගමික නායකකාරාදිහු ද අපොහොසත් වී ඇත. එබඳු තත්ත්වයක් තුළ එහි පවත්නා හිස් බව මෙන් ම බෞද්ධ දර්ශනය යනු කුමක් ද යන්න කථකයා සහ කාෂ්‍යප හිමි අතර සංවාදයේ දි පසක් කෙරේ.
‘‘සමාවෙන්න ඔබ වහන්සේ මගේ නොදන්නාකමට. ඒත් මට මේ කිසිම දෙයක් පැහැදිලි නෑ... ඔබවහන්සේ ඔය කියන නියැදියකට ඇයි මාව ම තෝරා ගත්තේ... මම, ජීවතුන් අතර ඉන්දැද්දිත් ඉතාම සරල, සාමාන්‍ය මනුස්සයෙක්. අඩුම තරමෙ ළමා කාලෙදිවත් දහම් පාසලකට, පන්සලකට ගිය කෙනෙක් නෙවෙයි...’’
‘‘එයම තමයි, මේ සඳහා වන ඔබේ සුදුසුකම...! අඩක් ගල්, බොරළු රැඳි බඳුනකට දිය පිරවිය හැක්කේ අඩක් පමණයි. ඔබ පූර්ණ වශයෙන් ම හිස්...!’’
එහි දී විරාගගේ පිළිතුර වන්නේ ‘‘ඒත්, මං ආගමානුකුලව ජීවත් වෙච්ච මිනිහෙකුත් නෙමේ...’’ යන්න ය.
එයට කදිම පිළිතුරක් සයන කාෂ්‍යප හිමි පවසන්නේ ‘‘කවර ආගමක් ද...? ගෞතම බුදුන් ගිය මාර්ගය ද... එය ආගමක් නෙවෙයි විරාග... මාර්ගයක් පමණයි. මාර්ග ඇත්තේ වැලඳගැනීමට හෝ, අනුකුල වීමට නෙවෙයි. තමන්ගේ ගමනාන්තය සඳහා, එය නිවැරදිම මගදැයි විමසීමටයි.’’ යනුවෙනි.
මේ සියල්ල තුළින් පැහැදිලි කෙරෙන්නේ කුමක් ද...? පල්ලි, පන්සල් හෝ කෝවිල් තුළ සිට යාතිකා කළ ද මිනිසා ගමන් කළ යුතු නිවැරැදි මාර්ගය කුමක් ද යන්න සොයාගත නොහැකි බව නොවේ ද? එසේ සොයාගන්නේ නම් තමාගේ ම වූ මාර්ගයක් අවැසි බව නොවේ ද?
බුද්ධාගම සිංහලයාගේ ආගම යැයි ද, මෙය අපගේ පාරම්පරික උරුමයක් යැයි ද, එය දිවි හිමියෙන් රැකගත යුතුයි යන්න ද කලක සිට පවතින මතයකි. එක් ආගමක් රැකගන්නට අන්‍යාගමිකයෝ පිඩාවට පත්කිරීම ද ලොව සියලු ආගමිකයෝ අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක කළහ; වර්තමානයේ ද එසේ වෙමින් පවතී; අනාගතයේ ද එසේ නොවේ යැයි විස්වාස කළ හැකි වාතාවරණයක් නොපවතී. එහෙත් එය කෙතරම් මිථ්‍යාවක් ද, හිස්කමක් ද යන්න කාෂ්‍යප හිමියෝ මෙසේ වදාරති.
‘‘බුද්ධත්වයට පිටස්තරවත්, අභ්‍යන්තරවත් කිසිවක් ම ඉතිරිව පවතින්නේ නෑ.. එය තමයි අවසානය... නමුත්, එය තවත් අනුගාමිකයෙකුට, අදහන්නෙකුට, ශ්‍රාවකයෙකුට උරුම කර දිය හැකි, පාරම්පරික උරුමයක් වැනි යමක් නෙවෙයි. එය මෙතැනයි. මේ මොහොතයි. ශූන්‍යත්වයේ ප්‍රහර්ෂයයි. මම බුද්ධ ශ්‍රාවකයෙක්, අනුගාමිකයෙක්, අදහන්නෙක් නොවන්නෙත් ඒ නිසයි...’’
බෞද්ධ දර්ශනය පිළිබඳ යථා තත්ත්වය සමාජ ගතකරන කතුවරිය නූතන සමාජයේ පවත්නා තවත් ව්‍යසනයක් ඉතා සියුම් ආකාරයෙන් විවේචනයට ලක් කරන්නී ය. ඒ සදහා ඇය උපස්තම්භක කරගන්නී විරාගගේ බිරිඳගේ ක්‍රියාවලියකි. එනම් ඇය විරාගගේ උපන් දිනය වෙනුවෙන් කරන කියන සියලු කටයුතු Facebook හි පළ කිරීම යි. ඔහු එය විග්‍රහ කරන්නේ ඇය එසේ කරන්නේ ඔහුගේ මතු ආත්මභාවයේ කුසල් ගිණුම තර කිරීමට නොවඇගේ Facebook ගිණුමේ ජනප්‍රියතාව ඉහළ නංවාගැනීමට බවයි.
විරාගගේ බිරිඳ වන ධනුෂාගේ යටි අරමුණ කුමක් ද යන්න ඉතා මැනවින් ප්‍රත්‍යක්ෂ කෙරෙන්නේ විරාග ඇගේ ක්‍රියාවලිය පිළිබඳ විවේචනාත්මක මෙන්ම ඍණාත්මක අදහසක් ප්‍රකාශ කිරීමත් සමග ය.
‘‘පිස්සු ඔයාට...! නිකම්ම, නිකම් කවි ලිය ලිය හිටියට වැඩක් නෑ... ඔයාට දැනටමත් රටේ හොඳ නමක් තියෙනව... ඒක හැම තිස්සෙම අපි අප්ඩේට් කරන්න ඕන... අමතක වෙන්න නොදී, මොනවම හරි අලුත් දෙයක් මිනිස්සුන්ගෙ ඔළුගෙඩිවලට දාන්නෝනෙ... දැනටමත් මම ඒක මේන්ටෙන් කරන හින්ද තමයි, ඔයා මාස ගාණකට සැරයක්, කවියක් කියල ලියන මොකක් ම හරි වචන ටිකකට වුනත් මිනිස්සු දහස් ගාණින් ලයික් දාන්නෙ...’’
කතුවරිය මේ ගෙනහැර දක්වන්නේ වත්මන් සමාජයේ පැවැත්ම ම නොවේ ද...? එය වඩාත් උත්ප්‍රාස ජනක වන්නේ ‘‘කවියක් කියල ලියන මොකක් ම හරි වචන ටිකකට’’ යන ප්‍රකාශයෙනි. මේ, Facebook සමාජයේ බහුතරයකගේ යථා ස්වභාවය නොවේද...?
‘‘මේ වන විට සමාජයේ පවත්නා ආගම් උම්මාදය තව දුරටත් විවේචනයට ලක් කරන කතුවරිය එය පාඨකයා වෙත සමීපකරවන්නේ කාෂ්‍යප හිමි ගේ වදන් තුළිනි.
‘‘මේ මොහොත වන විට බුද්ධශ්‍රාවක සිවුර පවතින්නෙ ඔබ වැනි, ඇතුළාන්තය නිරවුල් මිනිසුන්ගේ සෙවිම් මාර්ගයක් වශයෙන් නෙවෙයි. ගිනිකඳු මගින් විදාරණය කෙරෙන ලාවා ස්ථර, පිටතට කාන්දු නොවීම සඳහා යොදා ඇති තුනී තහඩු ආවරණයක් වශයෙනුයි.’’
පනස් හයේ පෙරළියේ සිට විස්සයි විස්සේ පෙරළිය දක්වා වූ දේශපාලන පෙරළි සියල්ලම යට කී ප්‍රකාශයේ ප්‍රතිඵල නොවන්නේ ද?
කෘතියේ අවසාන භාගය වන විට කතුවරිය, පවතින සමාජයේ දේශපාලනික සහ අගමික පසුබිමේ තථාභූතභාවය ඉතා මැනවින් සමාජගත කරන්නට සමත්කම් දක්වන්නී ය. එමෙන් ම සියල්ල නැසෙන සුලු විශ්වයේ බුද්ධ දර්ශනය ද වෙනත් ඕනෑම දර්ශනයක් ද (උදාහරණ ලෙස මහාවීර සහ නිගණ්ඨ නාතපුත්‍ර පිළිබඳ කෙරෙන විග්‍රහය සැලකිය හැකි ය ) නැනෙසුලු බව කාෂ්‍යප හිමිගේ ප්‍රකාශ තුළින් ගම්‍යමාන කරන්නී ය.
‘‘ලෝකයේ පවතින, අනියත බව, නැතහොත් නොපවතින සුළු ස්භාවය, බුද්ධ දර්ශනයටත් අදාළයි. සියලු සංස්කාරයෝ වගේම, සියලු ධර්මයන්ද අනිච්චයයි. ඒ අනුව බුද්ධ ධර්මයද, නැතිනම් ඒ දර්ශන මාත්‍රය ද අහෝසි වී යන යුගයක් පැමිණෙන බව බුද්ධ දේශනාවේ සඳහන්...’’
කාෂ්‍යප හිමි මෙම කරුණු වඩාත් පැහැදිලි ලෙස විරාගට වටහා දෙන්නේ මෙලෙසිනි.
‘‘ගෞතම බුද්ධට අනුව, බුද්ධ ධර්මය සාර්ථකව යුග තුනක් පසු කරනවා. මුල් යුගය, සත්‍ය ධර්මය පවතින යුගයයි...! දෙවැනි යුගය ධර්මයේ ප්‍රතිරූපය පවතින යුගයයි...!! එනම් පරිණාමික යුගයයි. බුද්ධ රූප, පිළිම බිහිවීම ආරම්භ වූයේ ඒ දෙවන යුගයේදීයි. තුන්වැන්න අවසන් යුගයයි. සද්ධම්ම විප්පලුජ්ජති. එනම් විනාශයට පත්වන යුගයයි...!!! ඒ අනුව, ගෞතම බුද්ධ දේශනාව, විනාශයට පත්වන යුගයයි...’’
කතුවරිය කාෂ්‍යප හිමි තුළින් ප්‍රකාශයට පත් කරන්නේ තත්කාලීන යථා සොබාවය නොවේ ද...? පසුගිය දශක තුනක පමණ කාලයක සිට මෙරට මතු නොව සියම සහ බොහෝ ආසියාතික රටවල භික්ෂුන්ගේ චර්යාව වෙත අවධානය යොමු කළ විට දක්නට ලැබෙන්නේ මේ යථාව නොවන්නේ ද...?
කෘතිය අවසානයේ දී ප්‍රධාන කථකයා සියල්ල අවබෝධ කරගත් බවට ඉඟි කළ ද ගන්ධබ්බ අවධියෙන් මිදී නැවත දෙන කරා පැමිණෙන ඔහුගේ ඔහුගේ මනෝකාය (Astral body) පවතින තත්‍ය ලෝකය (Naumenal World) අතැර යාමට නොකැමැත් බවට ද ඉඟි කරයි.
කෘතිය අවසාන වන්නේ ‘‘යළිත් නදියට ම මුහු වෙමින්, නදියෙහි ම දියව යමින්, නදියට ප්‍රතිමුඛ විය හැකි අනපේක්ෂිත මොහොත උදාවන තුරු, ස්මරණ ඔලගුව පසෙක දමා ආත්මයෙහි සම්, ඇට, මස් ඉරා උපන් කිළිටි ඇඳුම් එකිනෙක ගලවා දමන්නට සුදානමෙන් සිටියෙමි’’ යනුවෙනි.
මෙහි දී ‘උපන් කිළිටි ඇඳුම් එකිනෙක ගලවා දමන්නට’’ කථකයා සුදානම් වන්නේ අත්හැර යාමට ද යළි කොතැනකින් හෝ අල්ලාගැනීමට ද යන්න තීරණය කිරීම පාඨකයාට බාර දෙන්නට තරම් කතුවරිය සූක්ෂම වී ඇත.
මගේ කියවීමට අනුව හැඟුණේ විරාග අත්හැරීමට සුදානම් නොමැති බවයි. මතු දැක්වෙන්නේ ඒ සඳහා කදිම උදාහරණ දෙකකි.
ඒ පළමු අවස්ථාව නම්, විරාගගේ මනෝකාය (Astral body) පවතින තත්‍ය ලෝකය (Naumenal World) වෙත යළි ප්‍රවේශ වන අවස්ථාවේ ඔහුට හැඟෙන සිතුවිලි දාමය යි.
‘‘මා යළිත් ප්‍රකෘති තත්වයට පත්වන විට, නැතහොත්, විරාග කන්නන්ගරගේ ආත්මය බවට පත්ව, ඇ’සැර බලන විට, මුලින්ම ඇස් මානයට හසුවුයේ, අපේ නිවසට හැරෙන නාගරික සීමාව අවසානයේ වූ, කුණු ඇළය. නගර මන්දිර හා, වීථි අගු, පිල් සෝදා, පිස ගලා බසිනා, සෙම්, සොටු, මළ මුත්‍ර රැගත්, ඒ කුණු ඇළට එගොඩහින් ඇත්තේ ගමේ රාජ මහා විහාරය යි.’’
මෙහි දී රාජ මහා විහාරය නමැති සංකේතය තුළින් සැබැවින් ම පිළිබිඹු විය යුත්තේ අනිත්‍ය සහ අත්හැරීම වුව ද වර්තමානයේ පවතින රාජ මහා විහාර යනු එහි ප්‍රතිපක්ෂය බැවින් එමගින් සංකේතවත් කරන්නේ නැවත අල්ලා ගැනීම යැයි හැඟේ. එය තහවුරු කෙරෙන ස්ථාන ත්‍රිත්වයකි.
- ‘‘කවර පීඩාකාරී හා අවිනිශ්චිත තත්ත්වයක් යටතේ වුවද, ඒ හුරු පුරුදු පරිසරය තුළ, මගේ ඇතුළාන්තයට දැනුණේ, එක්තරා අන්දමක නිරාමිස සතුටකි. ඇස් මානයේ වූ, අර අපුල කුණු ඇළ තුළ, ගාල්වී කැළැත්තෙන, ඉඳුල් හා සෙම් සොටු කැබලි තුළ පවා, මට දැනුණේ, හිතෛෂීවන්තයන් ඇසුරේ දැනෙන අන්දමේ නිදහස්කාමී සැහැල්ලු බවකි.’’
- ‘‘එහෙයින් තවදුරටත්, ප්‍රමාද වෙමින් ගෙවා දමන්නට කාලයක් මට ඉතිරිව නැත. මේ නිදහස, මේ සතුට, මේ සැහැල්ලුව, පූර්ණ වශයෙන් ම අත්පත් කරගන්නට නම්, මා වහා ඔවුන් සොයා යා යුතුය. ඔවුන් දැකිය යුතුය. ඔවුන් විඳිය යුතුය. ඔවුන්ගේ හුස්ම හා මුහුව මගේ හුස්ම, ඉහළ පහළ හෙළිය යුතු ය.’’
විරාග අවසන් මොහොතේ වුව ද සිය බිරිඳට මෙන් ම පංචනාට කෙතරම් ඇලී සිටියාද යන්න සහ සිය ප්‍රාණ සම මිතුරන් කෙරෙහි ලිංගික ඊර්ෂයාවක් ප්‍රකට කෙරෙන බව පිළිබිඹු වන්නේ තුන්වන කොටසේ දි ය.
- ‘‘මගේ ප්‍රාණ සම මිතුරා දේවමිත්තය. ඔහු ඉහළාගෙන යන කුඩයෙහි, සෙවණ යට සිටියේ, මගේ නීත්‍යනුකූල බිරිඳ වූ ධනූෂා ය. ඊට පිටුපසින්, නංගීද, නංගීගේ සැමියා ද, තවත් මගේ මිතුරන් කිහිප දෙනෙකුද වූහ. අවසාන වශයෙන්ම කළණ ද, ඔහුට ද පියවර කිහිපයක් ඈතින්, අර පංචස්තම්භ පුරවරයේ ‘‘ජාතික මාතාවගේ’’ නිවුන්නියක බඳු, රුවැත්තිය වු පංචනාද වූවා ය. ඇගේ අතෙහි වූයේ දේවමිත්‍ර නිරන්තරයෙන් හිස පලඳින, ඔහුගේ ප්‍රියතම කළු පැහැති හිස් වැසුමය.’’
මෙහි දී ‘‘දේවමිත්ත ඉහළාගෙන යන කුඩ සෙවණ යට කථකයාගේ බිරිඳ සිටීම, කළණ සමග සම සමව ගමන් ගන්නා පංචනා සහ ඇය අතෙහි රැඳි දේවමිත්තගේ හිස් වැසුම’’ යනු: ධනුෂා, පංචනා, දේවමිත්ත සහ කළණ යන සිව් දෙනා කෙරෙහි ම විරාගගේ සිතේ හට ගන්නා සැකයේ බීජය පිළිබිඹු කෙරෙන්නේ ය. සියල්ල අත්හැරීමට සූදානම් පුද්ගලයෙකුට (ගන්ධබ්බයෙකුට) එබදු සිතුවිලි පහල විය හැකි ද...?
ජීවමානව සිටිය දී අත්පත් කරගත නොහැකි යමක් මරණින් මතු අත්පත් කරගැනීමේ හෝ අත්විඳීමේ රුචිකත්වය හඹා යාම
කෘතියේ දෙවන සහ හත්වන පරිච්චේද තුළින් ආරම්භය සහ අවසානය සාකච්ඡා කළ ද තුන්වන පරිච්ඡේදයේ සිට හයවන පරිච්ඡේදය දක්වා වූ මධ්‍ය කොටස: පළමු, දෙවන සහ හත්වන පරිච්ඡේදවලට හාත්පසින් ම වෙනස්. මායා යථාර්ථවාදී ශානරයක් ලෙස ඉදිරිපත් කෙරුණ ද එමගින් විශද කෙරෙන්නේ ප්‍රධාන කථකයාගේ ෆැන්ටසිය යි; ඔහු බලාපොරොත්තු වූ සමාජ, දේශපාලන. ආර්ථික, ආගමික සහ අධ්‍යාපනික ක්‍රමය යි. එය සැබැ ලොවේ දී අත්විඳිමට නොහැකි බව සක් සුදක් සේ ම වටහාගන්නා විරාග ගන්ධබ්බ අවධියේ දී සිය මනෝකාය (Astral body) සමග සැරිසරන්නේ එකී ෆැන්ටසි ලෝකය තුළ ය. එය ඔහු ජීවමානව සිටිය දී පැතූ ලෝකය විය හැකි ය. කෙතරම් සර්ව සාධාරණ, පාලන තන්ත්‍රයක් පැවතිය ද එය එක් රැයකින් බිමට සමතලා කර දමන්නට හැකිවන බරපතළ ම බලවේගය කුමක් ද? ඒ අන් කිසිවක් නොව අදාළ මොහොතේ රාජ්‍ය යේ වගකීම බාරගන්නට සූදොනම් වන පුද්ගලයාගේ (මාතාවගේ) පුද්ගලික ලිංගික ලාලසාව (Sexual desire) යි. නායකත්වයේ පුද්ගලික ලිංගික ලාලසාව පදනම් කරගනිමින් එරටේ ජනතාවගෙන් කොටසක් හෝ එක් පුද්ගලයෙකු හෝ අදාළ රාජ්‍ය පාලකයාට එරෙහි වීම හේතුවෙන් එරටට අත්වන ඉරණම කුමක් ද යන්න මෙහි දී විශද කෙරේ.
එමෙන් ම එකී චෝදනාව විභාගයට ගන්නා අවස්ථාවේ දී එහි ප්‍රධානියා සිය නිරීක්ෂණය අතරමග දී නතර කර දමා ඉතා පටු විසඳුමකට පැමිණීම කෙතරම් දුරට අයෝග්‍ය ද යන්න පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරේ. රටක නායකත්වයට තෝරා පත්කරගැනීමට බලාපොරොත්තු වන නායකයාට හෝ නායිකාවට කිසියම් චේදනාවක් එල්ල වූවා නම්, එය විනිශ්චය කරන පුද්ගල සමූහය අදාළ සාක්ෂි සියල්ල විමසා බැලිය යුතු බව ද මෙමගින් පිළිබිඹු කෙරේ.
සර්ව සාධාරණ සමාජයක් බලාපොරොත්තුවෙන් සිටින ජනතාවට දීර්ඝ කාලයක් එකී පාලන රටාවේ ඵල භුක්ති විඳීමට නොහැකි වන්නේ කිසියම් අත්තනෝමතික පුද්ගලයෙකුගේ හෝ කණඩායමක අදූර දර්ශී ක්‍රියාකලාප හේතුවෙන් බව ද මෙහි දී පිළිබිඹු කෙරේ. එය ඈත අතීතයේ සිට ම මෙරට මුහුණ පා ඇති ව්‍යසනයක් නොවන්නේ ද? අනාගතයේ දී වුව ද එවන් ව්‍යසන අප රට තුළ ඇති නොවේ යැයි විශ්වාස කළ හැකි ද...?
මේ සියලු ගැටලු පාඨකයා තුළ රෝපණය කර, ඊට විසඳුම කුමක්ද යන්න පාඨකයාට ම අවබෝධ කරගන්නා ලෙස කතුවරිය නොපවසා පවසන්නී ය. එබැවින් මගේ කියවීමට සාපේක්ෂව ‘‘පංචස්තම්භ’’ යනු මගනොහැර කියවිය යුතු සාහිත්‍ය කෘතියක් බව මම අවසාන වශයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.