දරුවන් යහමගට ගන්නේ කෙසේද? ‘මගේ ජෙනරාල්’ පැහැදිලි කරයි

post-title

{‘‘කිරික්ස් එකෙල මෙකෙල වුණේ ය. පණ යන තරමේ පිපාසයෙන් පෙළෙමින් සිටි ඔහු කරඬියේ ඇති වතුර  ස්වල්පය ගිල දැමීම සඳහා මහත් සේ ආශා කළ ද, එසේ කිරීම යුතු නොවනා බවද හෙතෙම හොඳහැටි දැන සිටියේ ය.

{‘‘නෑ. එපා.’’ ඔහු තුළ රළ නගමින් තිබූ ආශාව සමගින් අරගල කරමින් ඔහු කීවේ ය. ‘‘එපා සීයේ, ඔය ටික සීය ම බොන්න.’’ ඒ සමග ම ඔහුට හිස කැරකැවෙන්නාක් මෙන් දැනුණි. මෙවදන් ඇසූ සඳ ඕගන්ගේ දෑත් වෙව්ලන්නට පටන් ගත්තේ ඔහු බර සුසුමක් හෙළී ය. ළමයා දෙස සෙනෙහසින් බලද්දී ඔහුගේ බැල්ම කාරුණික විය.

‘‘මං බීල තියෙනවා, ඔව්, මගෙ කාලෙදි මං ඇති පදම් බීලා තියෙනවා. ඒත් පුතේ උඹට තව ඉස්සරහට ගෙවන්න දිගු කාලයක් තියෙනවා...’’ ඔහු කතාව අහවර කළේ නැති. ‘‘කිරිස්ක්, උඹට මං කියන දේ තේරෙනවද පුතේ? බීපං. ඒක අවශ්‍යයි. උඹ වතුර ටික බොන්න ම ඕනෑ. මං ගැන උඹ කරදර වෙන්න එපා. මේ බලපං!’’}

 යට සඳහන් කෙරුණේ වියපත් පුද්ගලයකු  අනාගත පරපුර වෙනුවෙන් සිය අවශ්‍යතා කැප කළ අවස්ථාවකි. වෙනත් ආකාරයකින් පවසනවා නම් සීයා කෙනෙකු මුනුබුරා වෙනුවෙන් තම අවශ්‍යතාව කැප කළ අවස්ථාවකි. අදාළ සිද්ධිය අන්තර්ගතවන්නේ සාහිත්‍යය කෘතියක ය. එම කෘතිය කුමක් දැයි මම ඔබට මතුවට සඳහන් කරමි.

එබඳු සීයලා අපිට කොතෙකුත් හමුවී තිබේ; සැබෑ ලොවේ මතු නොව සාහිත්‍යය කෘතිවල ද හමු වී තිබේ. මතු ලියැවෙන්නේ ද සිය මුනුබුරා වෙනුවෙන් මතු නොව සමස්ත සමාජය වෙනුවෙන් ම සිය අවශ්‍යතා බොහොමයක් කැප කළ පුද්ගලයකු පිළිබඳ ලිවුණු සාහිත්‍යය කෘතියක් පිළිබඳව ය.

කෘතිය සෝවියට් ලේඛක ඇල්බට් ලිහනෝව් විසින් රචිත ‘My general’ කෘතියේ සිංහල පරිවර්තනය වන ‘මගේ ජෙනරාල්’  ය. පරිවර්තනය ප්‍රවීණ පරිවර්තක මහින්ද සෙනරත් ගමගේ ය. මෙම කෘතිය කියවමින් සිටින දිනවකවානුවල දී ම නිවසට වී සිටින සමයේ කෘතියක් කියවන්නැයි වජිර දීප්ති වීරකෝන් සොයුරා මුහුණු පොතේ කළ සටහනක දී මගේ නම ද සඳහන් කර තිබුණි. මෙම විමංසනය එයට සමගාමි ද නැද්ද යන්න වෙන ම කරුණක් වුව ද දැන් කෘතිය වෙත පිවිසෙමු.  

වියපත් වැඩිහිටියන් බොහෝ දෙනෙකු තම මුනුබුරු මිනිබිරියන් වෙත බෙහෙවින් ආදරය කරන්නේ ය. එහෙත් ඔවුන් අනාගත සමාජයට මුහුණ දෙන්නට බලාපොරොත්තුවෙන් සිටින තම මුනුබුරු මිනිබිරියන් නවිනා’කාරයෙන් හැඩගැසීම පිළිබඳ එතරම් කැමැත්තක් නොදක්වයි. සීයලා, ආච්චිලා සමග මුනුබුරු මිනිබිරියන්ගේ ගැටුම ඇතිවන්නේ එහි දී ය. නමුත් ‘මගේ ජෙනරාල්’ කෘතියේ එන සීයා යනු එවැන්නෙකු නොවූ හෙයින් ම එම සීයා සහ මුනුබුරා අතර දිනෙන් දින ලියලා වැඩෙන්නේ: ආදරය යි, සෙනෙහස යි, මිත්‍රත්වය යි. මේ සියලු මානුෂික බැඳීම් කෘතිය පුරා ම දක්නට ලැබෙන අතර එය සීයා කෙනකුගේ මතු නොව විවිධ පදවි තානාන්තරවලින් හිස උදුම්මාගෙන සිටින පුද්ගලයන්ට ද, සිය ළඟ ම ඥාතියාගේ පදවි තානාන්තරය හේතුවෙන් අන් අය තළා පෙළා දමන්නට යුහුසුලු වන තරුණ පරපුරට ද කදිම ආදර්ශයක් සපයයි. එමෙන් ම එක් කෘතියක් තුළ කතන්දර කිහිපයක් පාඨකයාට සමීප කරවීම ද මෙම කෘතියේ සුවිශේෂ ලක්ෂණයකි.

එක පසෙකින් මෙම කෘතිය ද සෝවියට් සමුහා’ණ්ඩුවේ ප්‍රචාරකවාදි කෘතියක් යැයි ඇතැමකු පැවසිය හැකි ය. මන්ද එබඳු මානයක් ද මෙම කෘතිය තුළ විද්‍යමාන වන්නේ ය. නමුත් සෝවියට් සමූහා’ණ්ඩු සමයට සාපේක්ෂව එය සත්‍යයෙන් තොර වුවක් ද නොවේ. ලයනල් සරත් විසින් රචිත ‘යකඩ තිරය’ කෘතිය ද එකී පසුබිමට සාක්ෂි සපයයි.

කෘතියේ එක් ප්‍රධාන චරිතයක් වන ජෙනරාල්වරයාගේ පුතු සේර්ගේයි නියෝජනය කරන්නේ සෝවියට් සමූහා’ණ්ඩු සමයේ එරට විදුලි බල පද්ධතිය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඉමහත් කැපවීමක් කළ ඉංජිනේරු වෘත්තිකයෝ ය. සෙර්ගේයිගේ බිරිඳ හෙවත් අන්තෝෂාගේ මව ද සෝවියට් සමූහාණ්ඩුවේ අනාගතය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන කාන්තා චරිතයකි.

කෘතියේ අනෙක් ප්‍රධාන චරිතය වන ජෙනරාල් හෙවත් රිබාකොව්ගේ නියෝජනය එක් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට සීමා නොවන්නෙකි. ඔහු විටෙක කාරුණික මිනිසෙකි; තවත් විටෙක සිය පදවි තානාන්තර භාවිත නොකර සියල්ල ඉවසා සිටින සාමාන්‍ය මිනිසෙකි. විටෙක ආදර්ශමත් පියෙකි; සීයා කෙනෙකි. තවත් විටෙක විශ්‍රාම සුව විඳීම ද පසෙක තබා සිය රටේ අනාගත යහපත වෙනුවෙන් සිය කාලය, ශ්‍රමය සහ බුද්ධිය කැප කරන්නෙකි.

ජෙනරාල්ගේ මුනුබුරා වන අනතෝෂා යනු තම සියාගේ හැසිරීම් රටාව නිවැරැදිව වටහාගැනීමට අසමත්ව සිටින තාක් යත්න දරනනේ සිය පියාගේ සහ සිය සීයාගේ ගෞරවය තමා වෙත ද ආරූඪ කරගැනීමට ය.

‘‘... අර වැඩිහිටියෝ දෙන්නා ‘දෙවැනියාගේ’ කියන වචනය කිව්වේ හරිය ම ගරු සරුවෙන් නිසා. ඒ වගේ ම එයාලා, හතරෙ පංතියේ ඉන්න මේ සාමාන්‍ය මං ගැන වුනත් කතා කළේ ඒ වගේ ම ගරසරුවෙන්. හොඳට ම පැහැදිලියි මං එහෙම ගරැසරුවක් ලබන්න කාහෙත් ම සුදුසුකමක් නැහැ කියලා. තාත්තට තිබෙන ගෞරවය මටත් ගෑවිලා ගිය වගකුයි පේන්නෙ.’’

පිටුව: 11

හතරෙ පංතියේ සිසුවකු යනු උපරිම අවුරුදු දහයක් වන්නට ඇත. එවන් දරුවකු ද තම පියාගේ හෝ සීයාගේ ගෞරවයෙන් හිස උදුම්මා ගන්නට තැත් කරන්නේ නම් එය කෙතරම් ඛේදවාචකයක් ද? වර්තමානයේ අපි එවන් තත්ත්වයකට මුහුණ පා නොසිටින්නේ ද? නමුදු මෙවන් දරුවන් යහමගට ගන්නට පිළිවන. එය කළ යුත්තේ සමාජයේ ගෞරවයට පාත්‍රවී සිටින දරුවාගේ වැඩිහිටියන්ට ම ය. මෙම කෘතියේ ජෙනරාල් සීයා ද එවැන්නෙකි.

සංවර්ධනය රටකට අවශ්‍ය ම දෙයකි. නමුත් එකී සංවර්ධනය යනු ගෝලීය ධනවාදයේ ගොදුරක් බවට පරිවර්තනය නොවන සංවර්ධනයක් විය යුතු ය. 1917 සිදු කළ මහා විප්ලවයෙන් ඉක්බිති සෝවියට් දේශයේ පැවති සංවර්ධනය යට කී ගෝලීය ධනවාදයට යට නොවූ සංවර්ධනයකි.

ගඟක් හරස් කර වේල්ලක් බඳින්නට පෙර එම ජලාශයට යටවන ප්‍ර දේශයේ ජීවත්වන මිනිසුන් ඉවත් කළ යුතු ය. ඒ සඳහා සෝවියට් රජය විසින් ගනු ලැබ ඇති තීන්දු තීරණ මොනවාද යන්න පිළිබඳව කෘතියේ ඉදිරි පර්ච්ඡේදවල දි සාකච්ඡා කෙරේ. මේ අවස්ථාවේ දී මතු කළ යුත්තේ පෙර කී ලෙස ජලාශයට යටවන ප්‍රදේශයේ කැලෑව එළි කිරීමෙන් පසු එහි තිබූ ගස් පිළිබඳ සෝවියට් සමූහා’ණ්ඩුව  ගත් පියවර යි.

‘මේ දිහා චුට්ටක් බලන්නකෝ. වේල්ල බැඳල ගග හරස් කළා ම හෙක්ටර්යාර් එකසිය පනහක් ජලාශෙට යටවෙනවා. අපට බොහොම කැලෑ තියෙනවා. විශේෂ දැව ව්‍යාපෘතියක් ලෑස්ති කරල තියෙන්නේ තායිගාවෙ මේ යටවෙන කැලැව කපන්න’

පිටුව: 68

සෝවියට් සමූහණේඩුව එසේ කළ ද ලංකාවේ නම් මෙය සිදුවන්නේ කෙසේ ද? අදාළ ආණ්ඩුව බලයට පත් කරන්නට වියදම් කර කැලෑ පාළුවන්ට කැලෑව කපා විකුණගන්නට නිත්‍යානුකුල අවසරය ලබා දීම ය. අපේ රටේ එදා සමාජවාදය පැළ කළ පක්ෂ ද්වය ම අද ඒ කැලෑ පාළුවන් වෙනුවෙන් පෙනීසිටින්නට තරම් පහත් අඩියට වැටී තිබේ.

ඕනෑම පුද්ගලයකුට ඔහුගේ හෝ ඇගේ වැඩිහිටියන් වෙනුවෙන් කෙරෙන සැලකිල්ල තමන් කෙරෙහි ද බලපාන විට පළමුව දැනෙන්නේ නුහුරු ගතියකි. නමුත් කල් යත් යත් ම එකී නුහුරු බව පහව ගොස් අනෙකාගේ ගෞරවය තමන් වෙත ලැබිය යුතු ම ය යන තත්ත්වයට පත්වන්නේ ය. යට දැක්වෙන්නේ අන්තෝෂා එබඳු අවස්ථාවකට මුහුණ දුන් ආකාරය යි.

‘‘මුලදී මට දැනුණේ නුහුරකි. හරියට ම කවුදෝ ළඟ ඉඳගෙන දෙයකින් අනින්නා වාගේ ය. ඉන් පසු මේ ඇනෙන ගතිය නැතිව ගියේ ය. මම මා අගය කරනවාට හුරු වුණෙමි.’’

පිටු: 80, 81

අපේ රටේ කුමාරවරු ද මෙම තත්ත්වයට බැරෑරුම් ලෙස ගොදුරු වුහ. ඒ එක් කුමාරයෙක් එක් වරක් ඔහු එන විට හුනස්නෙන් නොනැගිට සිටි ප්‍රබල, වැඩිහිටි දේශපාලකයකුගෙන් විමසා තිබුණේ ‘‘ඇයි අංකල් ලබ්බ බැහැලද?’’ කියා ය. එවන් කුමාරවරු මෙම කෘතිය අනිවාර්යයෙන් කියවිය යුතු ම ය.

තමාගේ වැඩිහිටියන්ගේ සහ ඥාතිමිත්‍රාදින්ගේ පදවි තානාන්තරවලින් ලාබ ප්‍රයෝජන ගන්නා ආකාරය පමණක් නොව එසේ ලබාගන්නා ලාබ ප්‍රයෝජන මොනවාද යන්න පවා කදිමට ඉදිරිපත් කරන්නට ‘මගේ ජෙනරාල්’ සමත්ව ඇත.

‘ලාබ ප්‍රයෝජන එක එක විදිහේ විය. උදාහරණයකට, විදුහල්පතිතුමා වූ මක්සිම් සෙර්ගෙයෙවිච් දැන් මා දකින හැම විට මආචාරශීලීව මගේ සුබ පැතුම් පිළිගනියි. රතු හිසකේ ඇති ක්‍රීඩා ගුරු.ුමා, මා ජිම්නාස්ටික් කරන විට පැටලී වැටුණත් බැණ වදින්නේ නැත. විවේක කාලයේ දී මා කොරිඩෝරයේ දුවන විට ප්‍රධාන ශිෂ්‍ය නායකයා මා නැවැත්වූයේ නැත. හරියට ඇවිදින ලෙස අවවාද කළේ නැත. මට දැනුණේ මට ඕනැ දෙයක් කළ හැකි බවකි. මට ඕනෑ නම් කිසි සාධාරණ හේතුවක් නැතුව ම පාසලෙන් එලියට පවා යා හැකි විය. ඒත් මම ඒ තරම් දුරට නොගියෙමි. ඇරැත්, මහ දවාලේ අපේ ජනපදයේ කොහේ කියා නම් යන්න ද?’

පිටුව 82

මෙබඳු අවස්ථා මෙරට: කෙතරම් සිදුවූවා ද? මේ මොහොතේ ද කෙතරම් සිදුවෙමින් පවතින්නේ ද? එබඳු පුද්ගලයන්ගේ මානසික ස්වභාවය කෙසේද යන්න සහ එවැන්නන්ගේ උද්දච්චභාවය කෙසේද යන්න විමසා බලමු.

‘‘කණඩායමේ සභාපති වෙන්නට, කමීස අතේ රතු පටියක් පලඳින්නට වාගේ ම පංතියට අණ දෙන්නට මට ඕනෑ විය. මැරෙන තරමට ඕනෑ විය. ඒ සඳහා මට අයිතියක් ඇතැයි මට සහතික ය. කොහොමටත් මගේ සීයා ජෙනරාල් කෙනෙක් නොවෙයි ද! එයා කෙෂ්කාගේ සීයා වාගේ නෙවෙයි. ඔහු සාජන්ට් මේජර් කෙනෙකු විතර ය. ඉතිං ඒ ගැන මොන කතා ද! අපේ පංතියේ සිටි හැම අම්මෙකුට ම තාත්තෙකුටමත්, හැම සීයෙකුටමත් වැඩියෙන් වැදගත්ම කෙනා මගේ සීයා ය. ඒ වාගේ ම මම ලාබ ප්‍රයෝජන ලබන්නටත් සුදුසු වී සිටින්නෙමි.’’

පිටුව: 89

ලිපියේ යට සඳහන් කළ කුමාරයා ද මෙබඳු උද්දච්ච පුද්ගලයකු බව එකල ඔහු ඒත්තු ගන්වා තිබුණි. නමුත් මෙම කෘතියේ සිටින ජෙනරාල්වරයා කිසි සේත් ම තම මුනුබුරා එවන් තත්ත්වයකට පත් නොවන්නට වගබලාගත්තේ ය. මතු දැක්වෙන්නේ ජෙනරාල් සීයා ඒ සම්බන්ධයෙන් සිය මුනුබුරා දැනුවත් කරන ආකාරය යි.

{‘අද ඔයාලගෙ පංතියෙ කෙනෙකුට ඕන වුණා මං කවුදැයි කියල දැනගන්න. එයා මගෙන් ඇහුවා, ‘ඔයා ජෙනරාල් කෙනෙක්ද?’ කියලා. ඉතිං මං කල්පනා කළා, එයා එහෙම අහන්නේ ඔයා මං ගැන පුච්චානම් කියල නැති හින්දා කියලා. ඒක හරි. දන්නවද, වෙන කෙනෙකුගේ කීර්තියෙන් ජීවත් වෙන එක අමාරු නෑ. දන්නවද, එහෙම අය ඉන්නවා. ඇහැක්වත් වහන්නෙ නැතුව තව කෙනෙකුගේ කීර්තියෙන් වාසි ගන්නවා...’}

පිටුව 105

මේ ජෙනරාල් සීයා තම මුනුබුරාට එසේ පවසන්නේ  මුනුබුරා යහමගට ගැනීමට නම් තමා පළමුව ආදර්ශමත් විය යුතු බව ඒත්තු ගන්වමිනි. අන්තෝෂා ද මින් මතු කටයුතු කරන්නේ සීයාගේ කැමැත්ත සහ මගපෙන්වීම අනුව ය. අපිට වර්තමානයේ වුමනා කරන්නේ ද එබඳු සීයලා ය; එබඳු මුනුබුරු මිනිබිරියෝ ය. නමුත් අපේ රාජ සියලා සහ රාජ මුනුබුරු මිනිබිරියන් එසේ නොවන වග නම් සක් සුදක් සේ පැහැදිලි ය.

සමස්ත කෘතිය පුරා ම කියවෙන්නේ සමාජයේ යහපත් මිනිසකු ලෙස ජීවත්වන්නේ කෙසේ ද කියා ය; පුද්ගලයකුගේ වටිනාකම රැඳී ඇත්තේ ඔහු හෝ ඇය කරන රැකියාවේ තත්ත්වය මත හෝ ඔහු හෝ ඇය දරන සමාජ තත්ත්වය අනුව නොවන බව ය. ජෙනරාල්ගේ මුනුබුරා මෙම යථාර්ථය වටහාගැනීමෙන් ඉක්බිති  මෙසේ සිතන්නේ ය.

‘‘මම ඔහු ගැන ලජ්ජා වුණෙමි. ඔහු ගබඩාකරුවෙකු වෙනවාට ලජ්ජා වූයේ මා ය. ඔහුගේ පෙනුම ගැන, පෝරු දැමූ ජැකට්ටුවක් ඇඳගෙන, කන් වැසෙන පරණ තොප්පියක් සහ ලොම් බූට් සපත්තු දමාගෙන සිටි ඔහු ගැන ලජ්ජා වූයේ මා ය. ඒත් ඔහු රන්වන් පදක්කම් ඇති ජනරාල් ඇඳුම ඇඳ සිටිද්දී ඔහු ගැන ලජ්ජා නොවුණෙමි. අපොයි මා වාගේ ඌරෙක්!’’

පිටුව 121

සෝවියට් සමුහාණ්ඩුවේ වු ද අල්ලස් ලබාගන්නන්, අල්ලස් ලබා දෙමින් රාජ්‍ය දේපළ ලබාගන්නන් සිටි බව ද ‘මගේ ජෙනරාල්’ එක් සිද්ධියක් තුළින් ගම්‍ය කරන්නේ ය. එබදු අවස්ථාවක අල්ලස් දී රාජ්‍ය දේපළ ලබාගන්නට පැමිණි පිරිසගේ අදහස මෙබඳු ය.

{‘‘ඕකෙන් වැඩපොළ විනාස වෙන්නෙ නෑ සීයේ’’ එක් අයෙක් සමාදානකාරී හඬකින් කියන අතරේ අනෙකා සාප කරමින් බෝතලය සාක්කුවට ඔබාගත්තේ ය. ‘‘මේක මහ යෝධ වැඩපොළක්. යෝධ කොමියුනිස්ට් ව්‍යාපෘතියක්. දන්නවද? අපට ඕනෑ මේ යාන්තං ඇලවෙන්ඩ තැනක් හදාගන්ඩ විතරයි. යාන්තං සුන්බුන් පොඩියක්...’’}

පිටුව: 141

ඔවුන්ගේ අදහස එසේ වුව ද ජෙනරාල් සීයා ඊට දක්වන ප්‍රතිචාරය මෙසේ ය.

{‘‘පලයව් යන්ඩ!’’ සියාගේ ඒ හඬින් මිනිසුන් දෙදෙන දොර ළඟට ම වීසි වුණි}

පිටුව: එම

එහෙත් තවත් සුළු මොහොතක දී සිදුවන්නේ ජෙනරාල් සීයා කිසිසේත් ම බලාපොරොත්තු නොවූවකි.

{‘‘ඒයි සීයේ!’’ එක් මිනිසෙක් ලොරියේ සිට බෙරිහන් දුනි. ‘‘තමුසෙ ඔච්චර මුරණ්ඩු කුම්මැහියෙක් වෙන්නෙ අපරාදේ! මේ බලනවා මේ සිමෙන්ති ටික, තොගයක්... කෙනෙකුට ඕන කමක් තියේ නං උදව් කරන්න ඕනෑ හැටියේ පුළුවනි. අපි ඇණ අරගත්තේ වඩුවාගෙන්. අර බෝතලේට ම. පෙට්ටි දෙකක්. බලනවා...’’ ඔහු බඩු තොගය දෙස ඇඟිල්ල දිගු කළේ ය. පෙට්ටි අතරින් ලෑලි ද, පරාල ද, යකඩ පොලු ද මතු වී තිබෙන සැටි පෙනුණි.}

පිටුව: 142

සාධාරණ මිනිසා පරාජයට පත්විය. මෙවන් දෑ කොතෙකුත් මේ මොහොතේ ද මෙරට සිදුවෙමින් පවතී. ආසන්නතම අදාහරණය මීටත් වඩා දරුණු ය. එනම් වසර දහතුනක් තිස්සේ නඩු විභාග කර මිනීමරුවකු ලෙස ඔප්පුවීමෙන් ඉක්බිති මරණ දඬුවමට ලක්වූවකු දැන්, මේ මොහොතේ රටේ විධායක බලය හොබවන්නාගේ නියමය පරිදි නිදහස් කර ඇත. ඉදින් යුක්තිය සාධාරණත්වය රජයන ලොවක් පැතීම සිහිනයක් ම නොවන්නේ ද?

අපි බොහෝ දෙනෙකු බරිස් පලෙවොයි විසින් රචිත, දැදිගම වී රුද්‍රිගු විසින් පරිවර්තිත ‘සැබෑ මිනිසකුගේ කතාව’ කියවා ඇතැයි මම විශ්වාස කරමි. යට සඳහන් කර ඇති පරිදි ‘මගේ ජෙනරාල්’ කෘතියේ එන අතුරු කතා අතර නිකොලියායි පෙට්‍රොවිච්ගේ කතාව ද ‘සැබෑ මිනිසකුගේ කතාව’ කෘතියේ ප්‍රධාන චරිතය වන ‘මරේස්යෙව්’ සිහිපත් කරන්නකි. ඒ පිළිබඳව අන්තෝෂාට ද සිහිපත් වු ආකාරය බලන්න.

‘මට එය විශ්වාස කරන්නට බැරි විය. මම ගුවන් නියමු මරේස්යෙව් ගැන කියවා ඇත්තෙමි. ඔහු ගැන චිත්‍රපට කිහිප වතාවක් බලා ඇත්තෙමි. ඔබ දන්නා හැටියට ඔහුට කකුල් නැත. ඒත් ඔහුට අත් තිබුණේ ය. තුවක්කුකරුවෙක් අත්නැතුව වැඩ කරන්නේ කොහොමද? අණ දිය යුතු ය, අණ දෙන්නට නම් සිතියමේ රවුම් සහ ඉරි ඇඳිය යුතු ය, දුරකථනයෙන් කෑගැසිය යුතු ය. අවශ්‍ය ම වෙලාවක ෂෙල් වෙඩිල්ලක් තුවක්කුවට පිරවිය යුතු ය, ඉතිං හැබැවට ම අත් නැතිව ඒවා කරන්නේ කොහොමද?’

පිටුව: 210

ඔහු එසේ කළේ කෙසේදැයි ‘මගේ ජෙනරාල්’  කෘතිය කියවා ඇති අය දන්නේ ය. නොදන්නා අය නම් ‘මගේ ජෙනරාල්’  කියවිය යුතු ම ය. මන්ද එය විග්‍රහ කරගත යුත්තේ පාඨක පාඨකාවන්ගේ නැණ පමණ අනුව ම ය. එය එතරමට ම සංකීර්ණ ය; පුදුමසහගත ය.

දෑත් අහිමි වූ සෙබළාට එය දැනුණු මොහොත කෙතරම් සංවේදී ද යන්න මතු දැක්වෙන වාක්‍ය පහ සාක්ෂි දරන්නේ ය.

‘සිහිය එන විට ඔහු සිටියේ රෝහලක ය. ඔහුගේ අත් නැත. උරහිස ළඟින් ම ඒවා වෙන්වී ගොස් ය. අත් නැතත් ඔහුට දැනුණේ ඒවා ඇති බවකි. තමන් නාසය කසන බවත්, හිස පීරණ බවත් ඔහුට දැනුණි...’

පිටුව 215

ලංකාවේ ‘සුදු කොඩි නඩුව’ පාඨ පාඨකාවන්ට අමතක නැතැයි මම විශ්වාස කරමි. එකී නඩුවට අදාළ අන්දමට යටත්වීම පිණිස සුදු කොඩි ඔසවාගෙන රාජ්‍ය හමුදා ඉදිරියට පැමිණි පුද්ගලයන්ට වෙඩි තබා ඝාතනය කිරීම කෙතරම් යුක්ති යුක්ත ද යන්න විමසා බලමු.

{‘‘දන්නවද නිකොලොයි, මට සයිබීරියාවෙදි සාජන්ට් කෙනෙක් මුණගැහුණනේ! මං යුද්ධෙදි එයාට අසාධාරණ විදියට දඬුවම් දීලා තිබුණා. හිරකාරයකුට පහර දීමක් හින්දා.’’

කෙනෙක් යටත් වෙලානං එයාට ගහන්නෙ නෑ.’’ ජෙනරාල් ඉවානොව් කීවේ ය.

‘‘ඒත් අර ජර්මන්කාරය තමන්ගේ ම සහෝදර හිරකාරයකුගේ පාන් සලාකය උදුරාගෙන. එහෙමයි වෙලාතියෙන්නෙ. ඒත් මේ සාජන්ට් මට ඒක පැහැදිලි කරලා නෑ. එයා තමන්ගේ උසස් නිලධාරීන්ට කතා කරන්න බයවෙලා. ඔන්න ඉතිං ඊට පස්සේ මට එයාව මුණ ගැහුණා.’’}

පිටු:223, 224

යුද්ධයක් යනු කෙතරම් කල්පනාකාරිව සහ මානුෂික අන්දමට පවත්වාගෙන යා යුතු දෙයක් ද සහ අසාධාරණය ඉදිරියේ සිය උසස් නිලධාරින්ට කරුණු පැහැදිලි කර දීමට අපොහොසත් වන පහළ නිලධාරින්ගේ ඉරණම මෙම වාක්‍ය කිහිපය තුළින් ගම්‍ය නොවන්නේ ද? එමෙන් ම කිසිවකු වරදක් කර ඇත්නම් ඔහු හෝ ඇය කෙතරම් උසස් පුද්ගලයකු වුව ද එකී වරදට සමාව ගැනීම කෙතරම් සදාචාර ද යන්න මතු දැක්වෙන කොටසෙන් තීව්‍ර වන අන්දම දෙස අවධානය යොමු කරන්න.

{‘‘ඒත් දැන් කරන්න දෙයක් නෑ,’’ ජෙනරාල් ඉවානොව් සුසුම් ලෑවේ ය. ‘‘අණ දෙන නිලධාරියෝ වුණු අපට සාජන්ට් කෙනෙකුගෙන් සමාව ඉල්ලුවා කියලා පවක් වෙන්නේ නෑ. අපිත් හැම වෙලේ ම හරි ම හරි වුණා නෙවෙයිනේ. ඕනවට වඩා විනීත වෙන්න තරං ඉඩක් ලැබුණෙ නෑ. අණ පිළිපදිනු! එච්චරයි. මට කියමුකෝ මේක... පෙරමුණේ සෙබළුන්ට ණයක් නැත්තෙ කවුද? අපිත් සෙබළු කියන එක අමතක කරන්න එපා.’’}

පිටුව: 224

මෙම කොටසේ අවසන් වාක්‍ය දෙස යළිත් අවධානය යොමු කරන්නේ නම් උසස් නිලධාරියා සහ පහළ නිලධාරියා යනු කෙබඳු පුද්ගලයෝ ද යන්න මැනවින් පසක් නොවන්නේ ද?

ඕනෑ ම රටක පැවති සිවිල් යුද්ධයකින් හෝ පාර්ශ්ව දෙකක් අතර පැවති යුද්ධයකින් අනතුරුව එයට සහභාගි වූ සියලු හමුදා භටයෝ මතු නොව උසස් නිලධාරිහු පවා මානසික ආතති තත්ත්වයට පත්වන්නේ කුමන හේතුවක් නිසා ද?

මතු දැක්වෙන කොටස එයට පිළිතුරක් සපයනු ඇතැයි මම විශ්වාස කරමි.

{‘‘මෙන්න මේකයි. යුද්දෙට කලින් එයා පොත් තබන්නෙක්. ඒකේ නරකක් නෑ. එතකොට යුද්දෙට පස්සෙ? ආයෙමත් පොත් තබන්නෙක්ද? එයා බාගෙද එහෙම හීනෙන්වත් හිතන්න නැතුව ඇති. මොකද එයා මේජර් කෙනෙකු වුණු හින්දා ආපහු නිකම් ම පොත් තබන්නෙක් වෙන්න එයා ලැජ්ජා වුණු හින්දා. ඒකේ ලැජ්ජා වෙන්න මොකවත් නැතිවුණත් එයා ලැජ්ජා වුණා. පදවිය නෙවෙයි මිනිහා ලස්සන කරන්නේ. මිනිහායි පදවිය ලස්සන කරන්නේ. මං කිවානේ කාලතුවක්කු හමුදාවට පොත් තැබීම් උදව් වෙනවා කියලා. ඒකේ තේරුම කාලතුවක්කු හමුදාවටත් පුළුවන් පොත් තැබීමට උදව් වෙන්න. ඒත් එයා යුද්දෙට කලින් උන්නා වගේ ජීවත්වෙන්න හිතුවෙ නෑ. ඒ වගේ ම අලුත් විදියට ජීවත් වෙන්න නං එයා තව හැදෑරිය යුතුව තිබුණා. ඒත් එයා ඒ ගැන හිතුවෙත් නෑ. ඒ හින්දා එයා නිකම්ම හිටපු මේජර් කෙනෙකු වුණා. මෙලෝ දේකට වැඩක් නැති මේජර් කෙනෙක්’’}

පිටුව: 231

මෙම කොටසේ ‘ඒත් එයා යුද්දෙට කලින් උන්නා වගේ ජීවත්වෙන්න හිතුවෙ නෑ. ඒ වගේ ම අලුත් විදියට ජීවත් වෙන්න නං එයා තව හැදෑරිය යුතුව තිබුණා. ඒත් එයා ඒ ගැන හිතුවෙත් නෑ.’ යන වාක්‍ය තුන පිළිබඳ යළිත් අවධානය යොමු කරන්නේ නම් ‘යුද සෙබළාගේ හෝ නිලධාරියාගේ’ ආතති තත්තවයට හේතුව සහ ඊට සැපයිය යුතු පිළිතුර පවතින්නේ ම අදාළ පුද්ගලයා සතුව බව ගම්‍ය නොවන්නේ ද?

ශ්‍රි ලංකාව යනු ද තිස් වසරකට අධික කාලයක් පැවති යුද්ධය නිමා කළ රටක් යැයි හැඳින්වේ. එහෙත් යුද්ධය සැබෑ ලෙස ම ජයග්‍රහණය නොකළ බව මේවන විට ප්‍රත්‍යක්ෂ වී හමාර ය. සැබැ ලෙස ම යුද්ධයක් ජයග්‍රහණය කිරීමට නම් කළ යුත්තේ කුමක් ද?

‘මගේ ජෙනරාල්’ එය මෙසේ පැහැදිලි කරයි.

{‘‘එහෙම කරන්න එපා. මං නුඹට කියන්නේ මිනිස්සුන්ට පස්ස හරවන්න තරං ගරු සරු නැති වෙන්න එපා කියලා. එයාලට ආදරේ කරාපං. ඒත් උන්ට පිටුපාන්න එපා. හැම අවාසනාවකට ම ඒකට අයිති හේතුවක් තියෙනවා. නුඹට තියෙන්නේ ඒක හොයාගැනීමයි. නුඹ නුඹට හැකි තරමින් මිනිස්සුන්ට උදව් කරන්න ඕනෑ. හැබැයි කිසිදාක ඇස් පියාගෙන නං ඉන්න එපා. මිනිස්සුන්ව අත ගස්සලා අහක් කරන්න එපා. මිනිස්සු ළඟ කිසිම වටිනාකමක් ඉතුරු වෙලා නෑ කියල හිතන්න එපා. ඒ ඔක්කෝටම වඩා වැදගත්, ඔවුන්ට පිටු නොපා ඉඳීම. ඒක මතක තියාගන්න! මුළු ජීවිතය පුරා ම මතක තියාගන්න’’}

පිටු:232, 233

උතුරේ සන්නද්ධ සටන්කාමින් සමග කළ යුද්ධය සැබෑ ලෙස ම ජයග්‍රහණය කරන්නට අපිට (දකුණට) නොහැකි වූයේ ඇයිද යන්නට කදිම පිළිතුරක් මෙම කොටසේ අඩංගු නොවන්නේ ද?

තම මවගේ, පියාගේ, සහෝදරයාගේ, සහෝදරියගේ, ඥාතියකුගේ, හිතවතකු හෝ හිතවතියකගේ පදවි තානාන්තරවලින් හිස උදුම්මාගත් පුද්ගලයන් සැබැවින් ම කළ යුත්තේ කුමක් ද යන්න ‘මගේ ජෙනරාල්’ සිය මුනුබුරාට පහදා දෙන්නේ මෙලෙසිනි.

{‘‘මං ඔයාගෙ පදක්කම පලඳින්නද?’’ මම ඇසීමි.

‘‘මං හිතනවා ඔයා එහෙම කරන්න ඕනෑ කියලා,’’ සියා ප්‍රිතියෙන් කීවේ ය. ‘‘ඉතිං ඔයා පලඳිනවද?’’

මා සිටියේ සිතමිනි. එය තරමක නුහුරකි. ඇරත්, එය සීයාගේ පදක්කම ය.

‘‘නෑ, මං ඒක මම ම දිනාගන්න ඕනෑ.’’

‘‘අන්න ඒක තමා හරි ම අදහස. අර පදක්කම මා ගැන මතක සටහනක් වේවි.’’}

පිටුව: 284

අනාගත රාජ පරම්පරාවට මෙවන් සීයා කෙනෙකු මුණ ගැසන්නේ නම්. එය රටක් වශයෙන් ද සුබදායක නොවන්නේ ද?

සිතුවමකින් හැඟීම් ප්‍රකාශ කිරීම සහ එබඳු සිතුවමක් වටහා ගැනීම යනු ද ඉතා අසීරු කටයුත්තකි. ‘මගේ ජෙනරාල්’ ද එබඳු අපූරු සිත්තමක් නිමකරන්නේ ය. එය ගැඹුරු ප්‍රකාශයකි.

‘සීයා හිටි හැටියේ ම ගඟ එහෙම පිටින් ම රතු පාට කළේ ය. වේල්ල ද එසේ ම ය. අනෙක් පැත්තේ ප්‍රපාතාකාර ඉවුරට ද එය ම කළේ ය. ඔහු වෙනසකට කළේ එක් එක් තැනට රතු පැහැය අඩු වැඩි කිරීම පමණ ය. තැනකට රෝස පාට, තව තැනකට රතු පාට...’

පිටුව: 254

මෙය කෙතරම් ගැඹුරු ප්‍රකාශයක් ද යන්න වටහාගැනීමට නම් කෘතිය ඇසුරු කළ යුතු ම ය. සිය සිතුවම පිළිබද ‘මගේ ජෙනරාල්’ මුනුබුරාට කරුණු පැහැදිලි කරන්නේ මෙසේ ය.

{‘‘මට චිත්‍ර අඳින්න බෑ. ඒත් මට පුළුවනි මගේ හැඟීම්වලට පාට පවරන්න. තේරුණාද?, පාටවලට දෙන්න.’’}

පිටුව: එම

සත්‍ය වශයෙන් ම චිත්‍ර කලාව ප්‍රගුණ නොකළ පුද්ගලයකුට වුව ද සිය හැඟීම්වලට පාට දිය නොහැක්කේ ද? ‘මගේ ජෙනරාල්’ පසක් කර දෙන්නේ ඒ යථාර්ථය නොවන්නේ ද?

කිසියම් පුද්ගලයෙක්, පවුලක්, කණ්ඩායමක්, ව්‍යාපාරයක් මතු නොව රටක් වුව ද සිය සංවර්ධනය වේගවත් කරගැනීමට නම් තවකෙකු පැරදවිය යුතු ම ය; තවකෙකු පාගා, තළා පෙළා දමා ඔහුගේ සිරුර මතින් ගමන් කළ යුතු ය. සංවර්ධනයේ රහස එය මිස අන්කිසිවක් ම නොවේ. ඇතැම් වට ඒ අනිකා ස්වභාවික සම්පත් විය හැකි ය. මෙකී යථාර්ථය පසක් කෙරෙන තැනක් ‘මගේ ජෙනරාල්’ ඉදිරිපත් කරන ආකාරය දෙස යොමු වෙමු.

‘දුම් තාප්පයට එපිටින් වූයේ හැබෑම යුද්ධයකි. හෙල්මට් දමාගත් මිනිස්සු ගහෙන් ගහට ඇදෙති. කියතක සූ හඬකි. ගස් ඇද වටෙයි. පොරෝවලින් පඳුරු කපා දැමෙයි.

මහ ගස්වලින් අතු රැහැ දමා කඳන් දම්වැල්වලින් බැඳ විශේෂ ට්‍රැක්ටර්වලින් එක තැනකට ගොඩගසනු ලැබෙයි. එතැනින් ඒවා ලොරිවලට පටවනු ලැබෙයි. අපේ ඇස් ඉදිරිපිට ම ගස් පේළියක් ම හැකිළී ගොස් අලුත් මුල් කොට පමණක් ඉතිරි විය’

පිටුව:265

මෙම  චිත්ත රූපාවලිය සංකේත පද්ධතියක් ලෙස ගතහොත් එතුළින් කියැවෙන යථාර්ථය කෙතරම් ඛේද ජනක ද? නමුත් එකී ඛේදය වටහා ගන්නට තරම් සමත් අය කෙතරම් ප්‍රමාණයක් සිටී ද යන්න ගැටලුවකි.

සංවර්ධනය උදෙසා සිදු කරන ඇතැම් ක්‍රියා හේතුවෙන් සිය පාරම්පරික ඉඩකඩම් අත්හැර යන්නට සිදු වූ මිනිස්සු අපේ රටේ ද සිටියහ; දැනුදු සිටිති. එවන් ගැහැනියකගේ මානසික තත්ත්වය පැහැදිලි කරන ‘මගේ ජෙනරාල්’

‘වයසක ගැහැනු කෙනාගේ හිස හරියට ම ඇස ළඟට ම එනතුරු අඳුරු රෙදිකඩකින් ඔතාගෙන තිබුණි. වරින් වර ඇය මහ හඬින් සුසුම් ලමින් එක ම එක ම දේ මුරණ්ඩු ලෙස කීවා ය.

‘‘මට බෑ.’’

‘‘අනේ!’’

‘‘අපොයි එහෙම කියන්න එපා.’’

‘‘එහේ මීට වඩා හුඟාක් හොඳා.’’

‘‘මට බෑ.’’ ඈ උත්තර දුන්නා ය.

‘‘අලුත් ම ගෙයක්!’’ මිනිස්සු මොර දුන්හ.

‘‘කිසිම මුදලක් ගන්නෙ නැතුව.’’

‘‘ඔක්කොම පහසුකම් එක්ක.’’

‘‘මට බෑ.’’

‘‘මෙයාට කතා කරලා ඇති පලේ මොකක්ද?’’ කෙනෙක් කෑ ගැසූහ.

‘‘ඔන්න ඔය ඔක්කොම ලොරියට පටෝලා වැඩේ ඉවරයක් කරමු!’’දෙවැන්නා ද හඬ තැලී ය.’

පිටුව: 269

මෙරට ජනපදකරණයේ සිට අද දක්වා ම මේ ආකාරයෙන් සිය ගම්බිම් අතහැර යන්නට අකමැති වූ, එසේ ගොස් සාංකාවෙන් මිය ගිය අය කොතෙක් නම් සිටින්නට ඇති ද? එහෙත් ‘සංවර්ධනය’ නමැති යක්ෂයා ඒ කිසිවක් ම මායිම් කළ බවක් කොතැනක නම් සටහන් වි ඇති ද?

යුද සෙබළෙක් මතු නොව යුද හමුදාවේ උසස් නිලධාරින් අතර ද මනුෂ්‍යත්වය අගය කරන, මනුෂ්‍යත්වය උසස් ගනයේ ලා සලකන, සතුන්ට වුව ද අනුකම්පා කරන අය සිටින බව ද ‘මගේ ජෙනරාල්’ පසක් කර සිටින්නේ ය. ඒ සංවර්ධනය වෙනුවෙන් විනාශ කරන වනාන්තරයේ වෙසෙන කූඹි කෙරෙහි හෙතෙම දක්වන අනුකම්පාව තුළිනි.

‘හිටි හැටියේ ම දුරකථනයෙන් කාටදෝ කතා කොට කුහුඹු තුඹස් ඉවත් කරන්නට විදිහක් ඇත්දැයි සොයා බැලුවේ ය. එහෙම දෙයක් ගැන කිසි කෙනෙක් දැන සිටියේ නැති බව දැනගත් විට ඔහු සාප කළේ ය.’

පිටුව: 313

මෙහි ‘ඔහු’ යනු ජෙනරාල් ය. හෙතෙම යුද්ධයේ දී මිනිස්සු දහස් ගණනක් ඝාතනය කරන්නට ඇත. එහෙත් ඔහු තුළ සිටින මිනිසා අවදි වූ විට හෙතෙම කුහුඹවන්ට ද මහත් සේ ආදරය කරන්නේ ය. කුහුඹුවන් බේරා ගැනීමට නොහැකි තැන පසුතැවෙන්නේ ය. මේ ආකාරයේ විවිධ ආදර්ශ සපයන ‘මගේ ජෙනරාල්’ යනු යොවුන් නවකතාවක් ලෙස සටහන්ව තිබුණ ද එය වඩාත් සුදුසු වන්නේ වියපත් පුද්ගයන්ගේ කියවීම පිණිස ය යන්න මගේ පුද්ගලික අදහස ය.

ප. ලි.

ලිපිය ආරම්භයේ දී උපුටා ගත් කොටස කිනම් කෘතියකින් උපුටා ගත්තේ ද යන්න සඳහන් කරන්නට අදහස් කරගෙන සිටිය ද පාඨක පාඨකාවන්ගේ අභ්‍යාසයක් ලෙස එය සඳහන් නොකරන්නට අදහස් කළෙමි. ඒ සම්බන්ධයෙන් පරිවර්තකයා හෝ ප්‍රකාශකයා ලියුම්කරු සමග අමනාප නොවනු ඇතැයි විශ්වාස කරමි; අදාළ කෘතිය කුමක් දැයි පාඨක ප්‍රජාව සටහන් කරනු ඇතැයි විශ්වාස කරමි.

 

Top