ඩබ්ලිව් ඒ. අබේසිංහ මහතා විසින් පරිවර්තිත විරාග සංග්‍රාම^Father Sergius& කෘතිය ඇසුරෙන් ‘තෝල්ස්තෝයි අදට වලංගුද?’ යන මැයෙන් පවත්වන ලද සංවාදශීලී කථිකාව :2017.08.22වන දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. අහස පොත් ප්‍රකාශකයින් විසින් එය සංවිධානය කරන්නට යෙදිණි. මතු දැක්වෙනුයේ එම අවස්ථාවේ දී ප්‍රවීණ පරිවර්තක චූලානන්ද සමරනායක මහතා විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු දේශනයේ සංක්ෂිප්ත සටහන යි.
තෝල්ස්තෝයි ප්‍රතිරූපය
තෝල්ස්තෝයි කියන්නෙ තරුණ වියේ දී ම බෙහෙවින් දුරාචාරයට පෙළඹිච්ච, සිටුවරයෙක්. දැවැන්ත වතුයායක හිමිකරුවෙක්. සමාජ වරප්‍රසාද ලද්දෙක්. ඉතා ම යෞවන වයසේ දී දෙමාපියන් අහිමිවෙලා දුක්ඛිත ජීවිතයට වැටුණු කෙනෙක්. හොඳ සූදු අන්තුවෙක්. හොඳ බේබද්දෙක්. තමන්ගේ සමාජ පද්ධතියට අයත් සියලු දේ හොඳින් ග්‍රහණය කරගත්ත කෙනෙක්. ලංකාවෙ අපි තෝල්ස්තෝයි ගැන හිතද්දි මුලින් ම හිතට එන්නෙ ඔහු ශාන්තුවරයෙක් වගේ අදහසක්. අපි පුංචි කාලෙ අපේ වැඩිහිටියන්ට පවා තිබුණෙ එවන් අදහසක්. දිගට රැවුල වවපු, චාම් ජීවිතයක් ගත කරපු, දුම්රිය මැදිරියක තමන්ගේ ජීවිතේ අවසන් කරපු බොහොම ශාන්ත ස්වරූපයේ දැවැන්තයෙක් පිළිබඳවයි අපි දැනගෙන හිටියෙ. ඔහුගේ නව ජීවනය, යුද්ධය හා සාමය, හජි මුරාඞ් වගේ නවකතා වගේ ම යක්ෂයෝ කියලා කෙටිකථා එකතුවක් ඇතුළු තවත් පොත් ගණනාවක් සිංහල භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. රුසියානු භාෂාවෙන් පමණක් පළවුණු කෘති 16ක් පමණ තියෙනවා.
තෝල්ස්තෝයි හා සමකාලීන ලේඛකයෝ
ඔහුගේ සමකාලීනයන් වන තුර්ගිනිව්, දොස්තොයොස්කි වගේ අය අතර තෝල්ස්තෝයි ශාන්තුවරයෙක් වගේ. මේ ලේඛකයන් අතරින් රුසියාව තුළ නැඟ එමින් තිබුණ තරුණ අසහනය මධ්‍යම පන්තිය හරහා නිරූපණය කරන්න උත්සාහ දරපු පුද්ගලයෙක් තමයි තුර්ගිනිව් කියන්නෙ. දොස්තොයොස්කි, මනෝවිද්‍යාත්මක ප්‍රවේශය හරහා මනුෂ්‍ය ජීවිතය විග්‍රහ කරන්න පෙළඹුන කෙනෙක්. කරලෙන්කෝ සයිබීරියාව කේන්ද්‍ර කරගෙන, පූර්ව විප්ලවීය රුසියාව ඇතුළෙ ඉඳන් දුප්පත් මිනිස්සු සූරාකෑමට ලක්වුණ හැටි සහ ඊට විරුද්ධව ඔවුන් සටන් කරන හැටි මිනිස් ජීවිතය හැඩ ගැසුණ ආකාරය ගැන ලියපු කෙනෙක්. ඒ අතර ගෝර්කි පහළ පන්තියේ සමාජ පසුබිමකින් ඇවිල්ලා, බේබද්දන් ගණිකාවන් ඇතුළු සියලු ම අවර ගණයේ මිනිස්සු එක්ක ජීවත්වෙලා නැගිටපු මිනිහෙක්. තෝල්ස්තෝයි පීඩිත පන්තියේ මිනිස්සු දිහා එක්තරා ආකාරයේ අනුකම්පාවකින් බලනකොට ගෝර්කි මිනිස්සු දිහා බලන්නෙ පීඩිත පන්තියට ම උරුම කපටිකම් හිමිකරගත්ත පිරිසක් විදියට. ඔහුට මුණ ගැසෙන මිනිස්සු ඒ වගේ. රැවටෙන්න සූදානම්, අනෙකා රවටන්නට සූදානම් මිනිස්සු ගැන ඔහු ලියන්නෙ ඔවුන්ව වෙනස් කළ යුතුයි කියන අදහසේ ඉඳලා. ගෝර්කි පසුකාලීනව තෝල්ස්තෝයි ගැන ලියවිලි ගණනාවක් ලියනවා. ‘තොල්ස්තෝයි මිය ගිය පුවත සැලවුණු වහා ම මං කෑ ගහලා ඇඬුවා’ කියලා ඔහු ලියනවා. ඔහුට දැනෙනවා එතනින් එහාට ලොකු අඩුවක්. ඔවුන් දෙදෙනා අතර සාහිත්‍යමය සාකච්ඡා, එකඟවීම් මෙන් ම එකඟ නොවීම් ද තිබුණා. විශේෂයෙන් තුර්ගිනිව් එක්ක තෝල්ස්තෝයි අවුරුදු 17ක් කිසි ම ගනුදෙනුවක් නොකර ඉන්නවා. එහෙම වුණත් ඔවුන් එකිනෙකාගේ නිර්මාණ ගැන අවධානයෙන් හිටපු බවට සාධක තියෙනවා.
විප්ලවයේ කැඩපත
වරක් ලෙනින් කියනවා, ‘ තෝල්ස්තෝයි යනු එක් පැත්තකින් ක්‍රිස්තු ආවේශ වූ මහල්ලා ය, අනෙක් පැත්තෙන් දුප්පතුන් වෙනුවෙන් හඬ නඟන්නා ය’ කියලා. ලෙනින් තමයි දේශපාලන ව්‍යාපාරය ඇතුළෙ ඉඳගෙන තෝල්ස්තෝයිව විග්‍රහ කරපු පුද්ගලයා. තෝල්ස්තෝයිගේ මරණින් පසුව ඔහුලිපි දෙකක් රචනා කරනවා, ‘තෝල්ස්තෝයි; විප්ලවයේ කැඩපත’ සහ ‘ලියෝ නිකොලායි’ නමින්. ඒ ලිපි දෙකේ දී ම ඔහු තෝල්ස්තෝයි දෙස බලන්නෙ සමබර විදියට. ඔහුගේ නිර්මාණ කොතරම් දුරට සමාජ ප්‍රගමනයට සේවය කළාද? ආගමිකව අන්තයට ම යාම ඔහුට හානිකර වුණේ කොහොමද? කියලා ඒවායේ සඳහන්වෙලා තියෙනවා. ‘තෝල්ස්තෝයි විප්ලවේ කැඩපතයි’ කියලා ලෙනින් කියන්නෙ 1917 විප්ලවේ ගැන නෙමෙයි. රුසියාවේ ගොවි ජනයාගේ නැගී සිටීම නිවැරදිව ම මූර්තිමත් කළේ තෝල්ස්තෝයිගේ සාහිත්‍යයෙන් කියන එකයි ඔහු කිව්වෙ. ඒ නිසා තෝල්ස්තෝයි ‘විප්ලවීය ලේඛකයෙක්ය’ යන්න අපි දකින්න ඕනෙ ඒ අර්ථයෙ ඉඳගෙනයි.
තෝල්ස්තෝයිගේ සාහිත අවධි
තෝල්ස්තෝයිගේ ජීවිතේ අවධි දෙකක් තියෙනවා. ඒ 1880 ගණන් වලට පසු ජීවිතය සහ ඊට පෙර ජීවිතය වශයෙන්. 1880ට කලින් හිටපු තරුණ තෝල්ස්තෝයි පිළිබඳව ඔහු ආපසු හැරී බලනවා. ඒ කාලෙ තමයි ඔහු ‘පාපොච්චාරණය’ (My Confession) ලියන්නෙ. ඒ පොතේ තියෙනවා පෙර ගෙවූ ජීවිතය ගැන ඔහු හිතන දේ. දශක අටක් පමණ හිටපු තෝල්ස්තෝයිගේ මුළු නිර්මාණ ජීවිතය ම සාහිත්‍යයේ ගලා යාම හරියට ම සනාථ වෙන්නෙ ඒ කෘතියෙන්. එහි ඇතුළත් වෙන්නෙ පශ්චාත්තාපයක් නෙමෙයි, විවේචනයක්. ඒක ලේඛකයෙක්ට අත්‍යවශ්‍ය දෙයක්. ඔහු කියනවා, ‘ලේඛනයට ආව මුල් කාලෙ මම ලිව්වෙ ගෞරවය ලබාගන්න, හුදෙක් ම සමාජයේ තැනක් ගන්න. මම හොඳ දෙයක් කරන්න හදද්දි මිනිස්සු මාව නොසළකා හැරියා. නමුත් සමාජයේ අවගුණයන්ට අනුග්‍රහ දක්වනකොට මම හිටපු සමාජ පන්තියෙන් විශාල තැනක් මට ලැබුණා’ කියලා ඔහු කියනවා. ඒ නිසා ඔහු දිගට ම ලියනවා. එක තැනක දි ඔහු හිතන්න ගන්නවා ‘ලියනවා කියන්නෙ මේකද?’ කියලා. දිගින් දිගට ම ඔහුගේ නිර්මාණ වල තිබ්බෙ ඔහු තමන් එක්ක කළ අරගලය. තමන් එක්ක අරගල කරමින් නිර්මාණ කරන ලේඛකයෙක් ඉන්නවා නම් මං විශ්වාස කරනවා ඔහුගේ නිර්මාණ බොහොම අව්‍යාජයි කියලා. ඔහුගේ ජීවිතය පුරා ම දක්නට ලැබෙන්නෙ මේ අව්‍යාජත්වය යි. ඔහු ව්‍යාජ සාහිත්‍යකරුවෙක් නෙමෙයි. ඒ අව්‍යාජත්වය ගැන අපට වෙනත් ආකාරයට ප්‍රශ්න කරන්න පුළුවන්.
අද වන විට ලංකාවෙ ප්‍රශ්නයක් තියෙනවා ‘අදට වලංගු යථාර්ථවාදී කෘතිද? නැත්නම් පූර්ව විප්ලවීය රුසියානු කෘතිද?’ කියන එක ගැන. මම විශ්වාස කරන්නෙ සාහිත්‍යයේ යුගය වෙනස් වුණාට මිනිසාගේ ජීවිතයේ මූලික හරය තවමත් එහෙමමයි. මිනිසාට එල්ලවන පීඩනය, සූරාකෑම් අදටත් තියෙනවා. එ හින්දා තෝල්ස්තෝයිගෙ කෘති නැවත කියවන්න පුළුවන්කම තියෙනවා අපිට. Resurrection වගේ කෘතියක් තෝල්ස්තෝයි තමා ගැන හිතන දේ ඉතා තියුණුවට ම දක්නට ලැබෙන අවස්ථාවක්. විරාග සංග්‍රාම පොත පවා ඔහුගේ ජීවිතේ ඇතැම් සෙවනැලි එක්ක යන කතන්දර. මගේ පාපොච්චාරණය, විරාග සංග්‍රාම, හාම්පුතා සහ සේවකයා වගේ කථා ගත්තා ම තේරෙනවා ඔහු ගෙන ගිය අරගලය. ඒ තුළ තවත් ඉදිරියට යනවා වෙනුවට ඔහු නැවතිලා කල්පනා කරනවා ‘ජීවිතේ කියන්නෙ මේකද?’ කියලා. ඒකයි වැදගත් ම දේ.
පල්ලියට එරෙහිවීම
තෝල්ස්තෝයි ආපසු හැරිලා බලලා ආයිත් තමන්ගේ ජීවිතේ පටන් ගන්නේ සම්මත ඕර්තෝඩොක්ස් පල්ලියට එරෙහිව යමින්. එය ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වෙනවා. ඔහු එක් පැත්තකින් සම්මත පල්ලියට අභියෝග කරනවා. අනෙක් අතින් පිවිතුරු දෙවියන් වහන්සේ සොයා යෑමේ ගමන ආරම්භ කරනවා. ඒකයි ලෙනින් කියන්නෙ, ‘ක්‍රිස්තු ආවේශ වූ මහල්ලා’ කියලා. පල්ලියෙ පිං කැටේට වැටෙන සල්ලි, පූජකයා මිනිසාව හූරා කන විදිය, මිනිහාව පල්ලියට ඇඳ බැඳ තියාගන්න විදිය මේ සියල්ල ඔහු විවේචනය කරනවා. මේ ගැටුම අතරෙයි තෝල්ස්තෝයිගෙ ජීවිතයත් සාහිත්‍ය ජීවිතයත් දෝලනය වෙන්නෙ. ආගමික පීඩනයට එරෙහිව ගෙනිච්ච කැරැල්ලත්, ඊට විරුද්ධව ‘දෙවියන් සොයා යාම හැර විකල්පයක් නැත’ යන විශ්වාසයත් තමයි ඔහුගේ කෘතිවලින් පෙනෙන්නේ. මොකද ඔහු ප්‍රචණ්ඩ විප්ලවවලින් සමාජය පෙරළා දැමීම අනුමත නොකළ කෙනෙක්. ආයුධ සන්නද්ධ අරගලවලට එරෙහියි ඔහු. ඒ වෙනුවට ඔහු විශ්වාස කරනවා මිනිසුන්ට අධ්‍යාත්මික අධ්‍යාපනය ලබාදීමට තමන්ට යමක් කරන්න පුළුවන් කියලා. කිතුනු දහම පිළිබඳව විතරක් නෙවෙයි සමයාන්තර ආගම් ගැන පවා ඔහුට පුළුල් අවබෝධයක් තිබුණා. බුදුදහම ගැන ඔහු කියවලා තියෙනවා. ඔහුගේ ඇතැම් ලිපිවල ඒ ගැන සඳහන්.
රුසියානු සංචාරයේ අත්දැකීම්
2013 අවුරුද්දේ රුසියාවේ ටූලා ප්‍රදේශයේ තෝල්ස්තෝයිගේ නිවස වෙත යන්න මට අවස්ථාවක් ලැබුණා. මෝස්කව් නුවර ඉඳලා පැය දෙකක වගේ දුම්රිය ගමනකින් යන්න තියෙන්නෙ. තෝල්ස්තෝයිගේ දැවැන්ත වතුයාය තවමත් එලෙසින් ම තියෙනවා. සමහර රුසියානුවන් උත්ප්‍රාසාත්මකව කියනවා ‘තෝල්ස්තෝයිගේ පරම්පරාව තවමත් ඒවයෙ ඉන්නවා’ කියලා. ඒ කියන්නේ ඔහු තැන් තැන්වල වපුරලා ගිය බීජ දැන් පැළවෙමින් තියෙනවා කියන එකයි. තෝල්ස්තෝයි පිළිබඳව හදාරන කව, සංගම් රුසියාවෙ තියෙනවා. පාසල් ළමුන්ව එක්ක ඇවිත් ඒ තැන් පෙන්නලා කියාදෙනවා. ඔහු හදපු ආදර්ශ පාසල (ගැමියන්ට කැමති විටෙක ඇවිත්, කැමති විටෙක ඉගෙන ගෙන යන්න හදපු පාසල) තියෙනවා. එක්තරා අවස්ථාවක එතැන විස්තර කරන්න හිටපු කාන්තාවගෙන් මම ඇහුවා, Resurrection කෘතියේ ප්‍රධාන චරිතය ඔහුගේ ජීවිතයට සම්බන්ධ කෙනෙක්ද? ඒ කවුද?’ කියලා. ඇය කිව්වා, ‘තෝල්ස්තෝයිගෙ නිවසෙ වැඩකාර ගැහැනිය ගැන තමයි ඒ ලියලා තියෙන්නෙ’ කියලා. ඔහු ඉතා සෘජු ලෙස තමන්ගේ ජීවිතේ අඳුරු අහුමුළු තමන්ගේ නිර්මාණවලට ගේනවා කියන එක පැහැදිලියි.
‘හාම්පුතා සහ සේවකයා’ කතාව
මිනිසාගේ යහපත වෙනුවෙන් තෝල්ස්තෝයි තමන්ගේ ආපසු හැරවීම යෙදෙවූ බව හොඳින් විග්‍රහ කෙරෙන කතාවක් ‘හාම්පුතා සහ සේවකයා’ පිළිබඳ කතාව. එක්තරා ඈත ගමක ඉඩමක් කුණු කොල්ලෙට ගන්න හිතාගෙන එක් හාම්පුතෙක් තමන්ගේ සේවකයා එක්ක ගමනක් යනවා. මේ හාම්පුතා පල්ලියේ භාරකාරයා. පල්ලියේ කැටේ තිබුණු සල්ලිත් අරන් තමයි යන්නෙ. මොවුන් යන්නෙ දරුණු හිම කුණාටුවක් තියෙන වෙලාවක. තුන් වතාවක් පාර වැරදිලා හතරවෙනි වතාව යන එන තැනක් නැතුව පාර අද්දර නවතින්න ඔවුන් තීරණය කරනවා. සේවකයා සීතලෙන් ගැහෙනවා. හාම්පුතා හොඳ උණුසුම් ඇඳුම් ඇඳන් ඉන්නවා. අවසානයේ හාම්පුතාගේ හිත වෙනස්වෙලා සීතලේ මැරෙන්න නොදී සේවකයාව වැලඳගන්නවා. හාම්පුතා මැරෙනවා. මේක සාමාන්‍ය ලෝකයා පිළිගන්න විදියේ කථාවක් නෙමෙයි. ඒත් තෝල්ස්තෝයි උත්සාහ කරන්නෙ මේ තුළින් මිනිසාගේ අධ්‍යාත්මය වෙනස් කරන්න යම් මැදිහත්වීමක් කරන්නයි. මෙය උපදේශ කතාවක් විදියට ඇතැමෙකුට හිතෙන්න පුළුවන්. ‘විරාග සංග්‍රාම’ කෘතිය වුණත් ආගමික අර්ථයෙන් අරන් බැහැර කරන්න හිතෙන්න පුළුවන් කෙනෙක්ට. ඒත් මිනිසෙකු තුළ තියෙන අධ්‍යාත්මික අරගලය, එය පරාජ වන අවස්ථා, ඒ වෙනුවෙන් දරන උත්සාහය සම්බන්ධයෙන් තෝල්ස්තෝයිගේ පෙනීසිටීම අතිවිශිෂ්ටයි.
පරිවර්තනය නොවූ කෘති
තෝල්ස්තෝයිගේ පටන් පූර්ව විප්ලවීය රුසියානු කෘති, විප්ලවයෙන් පසු බිහිවූ කෘති, 1990 සෝවියට් දේශය කඩා වැටුණාට පසුව බිහිවුණු සාහිත්‍ය කෘති තවම අපිට ඇවිත් නැහැ. සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙන්නෙ සෝවියට් ලේඛක සංගමයෙන් අනුමත කළ කෘති පමණයි. නමුත් ලෝකය පුරා ඒවා ඉංග්‍රීසිය භාෂාවට පරිවර්තනය වෙමින් යනවා. උදාහරණයක් හැටියට තෝල්ස්තෝයිගේ කෘති පළවෙද්දි වසිලි ග්‍රොස්මාන් වගේ ලේඛකයෙක්ගේ කෘති යටපත්වෙනවා. අන්ද්රේ ෆ්ලටනොෆ්ගේ ඇතැම් කෘති පළවෙලා ඇතැම් කෘති වාරණයට ලක්වෙනවා. ඔහුගේ මරණින් පස්සේ, සෝවියට් දේශය බිඳ වැටුණටත් පස්සෙයි ඒ කෘති පළවෙන්නෙ. සෙර්ගෙයි ද්වාර්තොෆ් ලේඛකයා අවුරුදු 37 දි රුසියාවෙන් යනවා. ගුවන් තොටුපළේ නිලධාරින් ඔහුට අවසර දෙන්නෙ ගමන් මලු තුනක බඩු පමණක් ගෙනියන්නයි. ඔහු ඒ අත්දැකීම නවකතාවකට ලියනවා. ඔහු කියනවා ගමන් මලු තුනක නෙවේ එකකවත් ගෙනියන්න දේවල් ඔහු සතුව තිබුණෙ නෑ කියලා.ඔහු උපයාගත්ත දෙයයි ඒ. ලේඛකයන්ට අත්වූ ඉරණම එයයි. තවම පරිවර්තනය නොවුණු තෝල්ස්තෝයිගේ කෘති ගණනාවක් තියෙනවා. රංජන දේවමිත්‍ර සේනාසිංහ හජි මුරාඞ් කෘතිය රුසියානු භාෂාවෙන් ම සිංහලයට පරිවර්තනය කරලා තියෙනවා. ඔහු රුසියානු භාෂාව පිළිබඳ හොඳ දැනුමක් ඇති ලේඛකයෙක්. නමුත් හැම කෘතියක් ම ඒවිදියට පරිවර්තනය වෙන්නෙ නෑ. 1950 ගණන් වල පරිවර්තනය වුණාට පස්සේ ක්‍රොයිට්ෂර් සොනාටා පොත නැවත මුද්‍රණය වෙලා නෑ. තෝල්ස්තෝයිගේ ‘පාපොච්චාරණය’ වගේ පොතක් පරිවර්තනය කිරීම ඉතා ම වැදගත්. ඒ ඔහුව තේරුම්ගන්න පුළුවන් ප්‍රධාන ම පොත එය හින්දා. රුසියාව, සෝවියට් දේශය, පශ්චාත් සෝවියට් නව රුසියාව කියන මේ පසුබිම් තේරුම්ගන්න අදාළ ලේඛකයන්ගේ පොත් පරිශීලනය අත්‍යවශයි. මේ නිසා තෝල්ස්තෝයි පිළිබඳව සාහිත්‍යය සංවාද ඉදිරියටත් ගෙනයන්න මෙතෙක් පළනොවුණු කෘති පළවිය යුතුයි කියලා මම යෝජනා කරනවා.