කිවිදියකගේ සිහිනය මල් ඵල ගැන්වූ ශ්වේත සිහිනයක් (829)

post-title

කවිය යනු අනෙකුත් සාහිත්‍ය කලා මාධ්‍යන් අතුරෙන් සංවේදී ම සාහිත්‍ය කලා මාධ්‍ය යැයි පැවසුවහොත් එහි සදොසක් නැත. විශේෂයෙන් ම නූතනයේ දී බොහෝ නිර් මාණකරුවන් නිර් මාණකාරියන් රැසක් කවිය සිය ප්‍රකාශන මාධ්‍ය ලෙසින් භාවිත කරමින් සහෘද භාවයන් සමගින් සමීපව කටයුතු කරන අයුරක් දැකිය හැකි ය. එවන් අයුරින් කාව්‍යකරණයේ යෙදෙන කිවිඳියක ලෙස ශානිකා ශෂිප්‍රියා කිවිඳිය හඳුනාගත හැකි ය. ඇගේ කුලුඳුල් කාව්‍ය ග්‍රන්තය වන ශ්වේත සිහිනයක් කෘතිය සහෘදයාට රස විඳිය හැකි නිර් මාණ සමුදායකින් සමන්විත අපූර් වත්වයකින් සිය අත්දැකීම් පරිකල්පිත කෘතියක් යැයි පැවසිය හැකිය. 

ඇගේ කවිබස මනරම්ය. සුන්දරය. චිත්ත රූප සංජනනය කරන සුලුය. ඇය සිය කාව්‍යකරණයේ දී ජනවහර පමණක් උපයෝගි කර නොගනියි. එසේ ම ඇය නාගරික උපසංස්කෘතික වහර පමණක් ද උපයෝගි කර නොගනියි. ඇය විටෙක ගැමි වහරින් ද විටෙක නාගරික උප සංස්කෘතික වහරින් ද පෝෂණය ලැබ සිය මනරම් කවිකම් නිපදවයි. ඒ සියල්ල සිදුවන්නේ අනුභූතිය ට සුසංයෝජනය වන අයුරින් ය. ‘දෙහදක ආදරය’ යන නමින් ඇය රචිත පද්‍ය තුළ ඇති ග්‍රාමීය ජන වහර මෙන් ම ජන කවි ලක්ෂණ ද ජනකවිය හා ගැමිබස පිළිබඳ ඇය සතු අවබෝධය මනාව නිරූපණය කරන නිර් මාණයක් ය. 

“බණ්ඩි ගොයම මහ කන්නෙදි කපන්නම්

කුරහන් යායෙ අස්වැන්නත් ලබන්නම්

කන්ද උඩින් පෝදා හඳ බලන්නම්

තුන්පත් රෑන වෙන තුරු දින ගනින්නම්”

එසේම ‘cyber ප්‍රේමය’ වැනි කවියක් රචනයේ දී ඇය යොදා ගන්නේ අනුභූතිය හා සබැඳෙන නාගරික උප සංස්කෘතික බසයි. 

“Hi කියල පටන් අරන්

Bye කියල ඉවර කරනකොට

අතින්වත් නාල්ලා

ළමයි හම්බවෙන

පාරිශුද්ධ ප්‍රේමය”

ඇගේ නිර් මාණ කෘතිය පුරාම ඇත්තේ නිසදැස් ය. නිසදැස් තුළ වුව ද ගීතාත්මක ලක්ෂණ දැකිය හැකිය. එම නිසදැස් වුවද රිද්මයට අනුව ගයත හැක. එය ඇගේ කාව්‍ය කෘතිය රසවිඳින සහෘදයා සිත් තුළ යම් බලාපොරෙත්තු එළියක් ද දල්වන්නට සමත් ය. එනම් ඇය දිනෙක කවියේ සීමාර්ථයෙන් ඔබ්බට ගොස් ගේය පද කරණයට වුව ප්‍රවිශ්ට වීමට හැකි වග පෙන්වන මං සලකුණු මෙහි එන යම් යම් නිර් මාණ මගින් නිරූපණය වන බැවිනි. ‘ තව ටිකක් ආදරෙන් මල් කුඩේ යට ඉන්න’, ‘ප්‍රේමය නම්’, ‘ඉතින් එනවද ඔයා’ වැනි කවි එවන් ගීතාත්මක ලක්ෂණ මනාව පෙන්නුම් කරන කවි ලෙසින් හඳුනා ගත හැකිය. ඒ අතරින් පහතින් දැක්වෙන්නේ විලම්බන ලය අනුව පබැඳි ගේය පදවැලක ගුණාංග බොහෝමයක් හා සමීපවන ‘ප්‍රේමය නම්’ පැදිපෙළෙහි කොටසක් ය.

“දෙනෝදාහක් නිතර යන එන

මඟ තොටේ දී හමුවුනොත් අප

නොදුටුවා සේ යන්න මගහැර

පුලුවනිද මා මතක නැතිකොට”

අප කිවිඳිය ගේ කාව්‍ය නිරික්ෂණය කරන මොහොතක සැනෙන් පසක් වන කරුණක් නම් ඇය සතු කාව්‍ය ප්‍රතිභාව දීප්තිමත් වන්නට ඇගේ ව්‍යුත්පත්ති ඥානය ද බලපා ඇති වගයි. නූතනයේ බොහෝ තරුණ කවි කිවිඳියන්ගේ කාව්‍ය පිරික්සා බලමින් කලක් ඒවා සංස්කරණය කරමින් පුවත්පතක කවි පිටුවක් සංස්කරණය කළ මා දුටු ප්‍රභලම කරුණ නම් වත්මන් තරුණ කවි කිවිඳියන් ගේ ව්‍යුත්පත්ති ඥානයේ ඇති අඩු ලුහුඩුතාවයයි. එනම් විශේෂයෙන් ම පතපොත පරිශීලනය මගින් අප එදිනෙදා ලබන අත්දැකීම් පුලුල් කරගත යුතුය යන කරුණ නූතන කවි කිවිඳියන් බොහෝමයකට මගහැරී ඇත. කවියෙක් මධ්‍යස්ථ ගුණයෙන් හෙබි පුළුල් ජීවන දෘෂ්ටියකින් සම්ප්‍රයුක්ත විය යුතු අතර ඒ සඳහා ව්‍යුත්පත්ති ඥානය අතිශය වැදගත් වෙයි. අප කිවිඳියගේ යම් යම් නිර් මාණ තුළින් දිස්වෙන ගැඹුරු ජීවන දෘෂ්ටියට හේතු වන්නට ඇත්තේ ඇගේ ව්‍යුත්පත්ති ඥානය හා ඒ ඇසුරෙන් ජීවිතය පිළිබඳ ඇය තුළ ඇතිව ඇති මනා අවබෝධය විය යුතුය. ‘අවනඩුව’ වැනි පුවතක් කේන්ද්‍රකර ගත් කවක් තුළ වුව ඇය ගේ එම මධ්‍යස්ථ ජීවන දෘෂ්ටිය පැහැදිලිව සටහන්ව ඇත. 

“අසම්මත ආදරේ ගල් ගසා මරන්නට

තරම් ලොකු පවක් නම්

මේ මහා පොළොව මත මොන තරම්

ලේ කඳුලු ගලාවිද?”

ඇගේ කවි තුළට මිනිස් ජීවිත වල සෑම අංශු මාත්‍රයක් ම පාහේ අනුභුතිව ඇතැයි පැවසීම සදොසක් නොවන්නේ කෘතිය පුරා ඇති කවි වරක් දෙවරක් සැළකිල්ලෙන් කියවා රස විඳින කල ඒ බව වටහා ගත හැකි බැවින් ය. ඇය මනුෂ්‍ය ජීවිතවල බැඳීම්, බිඳීම්, සංතාපයන්, සැනසුම් මෙන් ම ඒ ජීවිත හා බැඳුනු අජීව දෑ තුළ පවා ඇති සුන්දරත්වය අපූර් වත්වයකින් යුක්තව ස්වකීය කාව්‍ය අනුභූති සඳහා භාවිත කරයි. ‘නුගේගොඩ කියන්නෙම ආදරේ නගරයක්’ යන තේමාවෙන් යුක්ත කවිය ඊට කදිම සාක්ෂියක් ය. නුගේගොඩ යනු හුදෙක් උප නගරයක් යන සංකල්පයෙන් පරිභාහිර වන ඇය එය ජීවිතය හා බැඳුනු ක්ෂුද්‍ර මතකයන් සිය දහස් ගණනක තෝතැන්නක් බවට පත් කිරීම මගින් නුගේගොඩට ප්‍රාණයක් එක් කරන්නට සමත් වූ කවියක් ලෙසින් එය හඳුනා ගත හැකිය. 

“ඇත්තමයි නුගේගොඩ උඹ මහා කරුමයක්

පාඩුවේ ඉන්න හිත ගිනි තියන පුළිඟුවක්

ඇමිණි ඇමිණී හිතේ ලේ විදින මතකයක්

නුගේගොඩ කියන්නෙ ම ආදරේ නගරයක්”

මේ සියල්ල අතරෙහි ඇය ස්වකීය කවිය මගින් රසය පමණක් සංජනනය නොකරයි. තමා ජීවත්වන සමාජය දෙස ද එහි දුර් ගුණයන් දෙස ද ඇය සිය සියුම් දෘෂ්ටිය මෙහෙයවයි. සංයමයෙන් ඒවාට පහර දෙයි. උපහාසය මුසු බැලුම් හෙළයි. ‘නූතන ආමිස පූජා’ වැනි කවක් තුළින් එම කරුණ මනාව දෘෂ්‍යමාන වෙයි. 

“අහවරව දන්සල රෑ මැදියම කිට්ටුව

තරුණ සංවිධායක කැළ පදම් වී හොඳ ගානට

මෙන්න නටනවා ඔලු බක්කො දන්සල තුළ

බැති ගී ම රැව් දුන්න යකඩ කට බෙරිහන් දෙනවා

මැදියමේ නිහඬ බව බිඳ

තුනේ මාර ඉන්ටියාර

දිල්මෙ බචි ගන්ටියාර

ටං ටං ටං ටං ටං ටං...”

අප කිවිඳියගේ කාව්‍ය ගොන්න තුළ කාව්‍ය රසයෙන් අනූන විශිෂ්ට පරිකල්පනයන් යුතු යැයි පැවසිය හැකි කවි බොහෝමයක් හමුවෙයි. ඒ සියල්ල පිළිබඳ මෙම කෙටි ලියමනෙහි සටහන් තැබීම දුෂ්කර වන බැවින් අවසන් වශයෙන් තවත් එක් කවක් පිළිබඳ අවදානය යොමු කරමි. 

“එකෝමත් එක දවසක

මේ වගේ වැහි වැටෙන දවසක

මහ ගෙදර මැද මහා කොස් ගහ

කඩා වැටුණා මහා සද්දෙට”

මේ කිවිඳියගේ ‘අප්පච්චි’ යන තේමාවෙන් යුක්ත කවි පෙළෙහි ඇරඹුමයි. ඒ කවිය තුළින් ඉස්මතුවන උත්ප්‍රාසය ම කවිය දෙස සහෘද අවදානය යොමු කර ගන්නට දක්වන සමත්කම අතිශය ප්‍රභලය. එවන් වූ කාව්‍යෝපාංගයන් බොහෝ ප්‍රවේසම් සහගත ලෙසින් භාවිත කරන ඇගේ බොහෝමයක් කවි වරක් දෙවරක් නොව කිහිප වරක් වුව රස විඳිමින් නැවත නැවත පරිශීලනය කරන්නට තරම් සහෘදයාට ආශා වඩන සුලුය. 

මේ අයුරින් සිය කවිකමෙහි යෙදෙන ශානිකා ශෂිප්‍රියා දිනෙක සිය කවි මල් මගින් ලාංකේය කවිය තව තවත් සුවඳවත් කරන වගට පූර් ව ලකුණු ඇගේ මෙම ශ්වේත සිහිනයක් කාව්‍ය කෘතිය මගින් පෙන්නුම් කරන වග ඇගේ කවි රස විඳින ඔබට ද පසක් වෙන බැව් නිසැකය. එබැවින් ඇගේ කවියේ රස සොයා යන්නට ඉඟි තබන මේ වචන ස්වල්පය මෙතැකින් ලියා හමාර කොට ඇයට සුභ පතමි.

Top