ප්‍රචණ්ඩත්වය, කොඑට්සි සහ ගර්හාව

post-title

පීඩිතයාගේ පැත්තේ සිටගත් පසු පීඩිතයාගේ ප්‍රචණ්ඩත්වය අප අනුමත කරනවාද? නැද්ද? පොදුවේ ප්‍රචණ්ඩත්වයට අප විරුද්ධ වෙනවා ද? 

සුළු පිරිසක් සමඟ ගර්හාව කෘතිය ගැන පුරා පැය පහක සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුත් කොඑට්සි සහ ඔහුගේ ලේඛන කලාව ගැන කතාකරන්නට තව බොහෝ දේ ඉතිරි විය. 1983 දී Life & times of Michal K (මෙය එස්.නන්දලාල් විසින් ‘මයිකල්ගේ කල දවස’ යනුවෙන් සිංහලට පරිවර්තනය කර ඇත) සහ 1999 දී Disgrace (මෙය සනත් බාලසූරිය විසින් ‘ගර්හාව’ යන නමින් සිංහලට පරිවර්තනය කර ඇත) යන නවකතා ද්විත්වය සඳහා ජේ එම් කොඑට්සි දෙවරක් බුකර් සම්මානයට පාත්‍රව ඇත. ඊට අමතරව 2003 වසරේදී ඔහු නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.

කොඑට්සිගේ පොත් හතරක් සිංහලට පරිවර්තනය වී ඇත. ඉහත කී කෘති දෙකට අමතරව Waiting for the barbarians (මිලේච්ඡයන් එන තුරු - ශ්‍යාමන් හේමකොඩි) සහ Age of Iron (යකඩ යුගය - ගාමිණී වියන්ගොඩ) එලෙස පරිවර්තනය වූ අනෙක් කෘති දෙක ය. කෙසේ වුව ද කොඑට්සිගේ මෙම කෘති ගැන හෝ කොඑට්සි ගැන ලංකාව තුළ ප්‍රමාණවත් සාකච්ඡාවක් ඇති වූයේ ද යන්න සිතා බැලිය යුතුය. ගර්හාව කෘතිය සනත් බාලසූරිය විසින් සිංහලට නගන්නේ වසර ගණනාවකට පෙරාතුව ය. 

කතාව

මෙම කෘතියට පදනම් වන්නේ දකුණු අප්‍රිකානු විශ්ව විද්‍යාලයක සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ඩේවිඩ් ලූරි විසින් තම ශිෂ්‍යාවක වූ මෙලනි අයිසාක් ව අපයෝජනය කිරීමෙන් පසු, මෙලනි විසින් කරන පැමිණිල්ලකට අනුව ඔහුගේ මහාචාර්ය තනතුර අහිමි කර විශ්වවිද්‍යාල සේවයෙන් නෙරපා හරිනු ලබයි. ඉන්පසුව කේප් ටවුන් අග නගරෙන් දුර ඈත වෙසෙන සිය තරුණ දියණිය වූ ලුසී වෙත යයි. මේ අතරතුර නිවසට කඩාවදින කලු අප්‍රිකානු තරුණයන් තිදෙනෙක් එකතුව ලුසී ව දූෂණය කරයි. කතාව මෙම සිදුවීම් හරහා ඉදිරියට ගලා යයි. 

සංදර්භය

1940 වසරේදී දකුණු අප්‍රිකාවේ උපත ලද ජෝන් මැක්ස්වෙල් කොඑට්සි දකුණු අප්‍රිකාවේ පශ්චාත් යටත්විජිත තත්වය මැනවින් හඳුනාගත් සහ ඒ සමාජය විනිවිද යමින් නවකතාකරණයේ යෙදෙන්නේ සමාජ වගකීමක් ඇති ලේඛකයෙකු බව කියාපමිනි. ඔහු මේ නවකතාවේ සංදර්භය ලෙස ගන්නේ දකුණු අප්‍රිකාව තුළ ක්‍රියාත්මක වන, තවමත් විසඳී නැති සුදු-කලු වර්ණභේදවාදයයි. ඒ සංදර්භය තුළ ඔහු තවත් අනු කාරණා ගණනාවක් කෘතිය තුළට ගොනු කරයි. 

චරිත ගොඩනැංවීම

ඩේවිඩ් ලූරී

පනස් දෙහැවිරිදි සන්නිවේදනය සහ සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයෙකු, බුද්ධිමතෙකු සහ සුදු ජාතිකයෙකු වන ඩේවිඩ් තුළ ඇති දුර්වලතාවයක් වන්නේ ලිංගිකත්වය ගැන ඔහු තුළ ඇති මැඬලිය නොහැකි ආසාවයි. දෙවරක් විවාහ වී දෙවරක් දික්කසාද වන ලූරි ට සිය ලිංගික ආශාවන් මැඩපැවැත්විය නොහැකි ය. ඔහුගේ චරිතයේ ඇති මේ ස්වභාවය කතුවරයා මැනවින් පැහැදිලි කරයි. ඔහු දඩබ්බර සහ අභිමානයෙන් යුතු චරිතයකි. එය පෙන්වන්නේ ඔහු මෙලනිගෙන් සමාව අයදීම ප්‍රතික්ෂේප කිරීමෙනි. 

මෙලනි අයිසාක් 

මෙලනිගේ සම්භවය හරිහැටි පැහැදිලි නොවූවද, ඇය සුදු ජාතික කාන්තාවක නොවන බව පැහැදිලිය. බොහෝ විට ඇය ආසියානු-යුදෙව් සම්භවයක් ඇති පවුලක විය යුතුය. මෙලනි සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන, වේදිකා නාට්‍යවල රඟපාන, ජීවිතයේ මනරම් වයසේ, එනම් විසි වියේ පසුවන තරුණියකි. ඇය ඩේවිඩ් හා සම්බන්ධ වන්නේ ලිංගික ආශාවකින් නොව වෙනත් මානුෂීය සම්බන්ධයකින් බව පෙනේ. එහෙත් ලූරිගේ බලපෑමට එරෙහි වීමේ යම් පසුබෑමකට ලක්වන ඇය මේ ඉරණමට ලක්වෙයි. එහෙත් ඇගේ සටන්කාමී ගතිය පෙන්වන්නේ ලූරි ට එරෙහිව පැමිණිලි කිරීමෙනි. 

ලුසී ලූරි 

ලුසී ගේ චරිතය කොඑට්සි ගොඩනගන අයුරු තරමක් විවාදාසම්පන්නය. ජිප්සීන් සමඟ අප්‍රිකාවේ ඇවිද යන ඇය එක් දුෂ්කර ගමක නැවතීමට තීරණය කරයි. ඇය සමලිංගික තරුණියකි. කෙසේ වුවද ඇය සියල්ල දෙස යම් උපේක්ෂාසහගත අයුරකින් බලන තරුණියක වේ. එය ඇයට හිපි සංස්කෘතියෙන් ජීවිතයෙන් උරුම වූවක් බව පෙනේ. දුෂණයට ලක්වීමෙන් පසු එය විඳදරාගෙන ජීවත්වීම ට තීරණය කිරීම, දූෂණයෙන් ඇයට පිළිසිඳන දරුවා හදාගැනීමට තීරණය කිරීම වැනි කාරණා වලදී ඇය දක්වන දරාගැනීමේ ශක්තිය පුදුම කරවන සුළුය. මේ නිසාම විවිධ විවේචනයන් ද කොඑට්සි වෙත එල්ල වී තිබේ. 

නවකතාවේ ශානරය

මෙය යථාර්ථවාදී ශානරයෙන් ලියන ලද පශ්චාත් යටත්විජිතවාදී නවකතාවක් ලෙස හැඳින්විය හැකිය. එහිදී කතුවරයා සංකේත සහ රූපක භාවිතය පිළිබඳව මනාලෙස සැලකිලිමත් වී ඇති බව පෙනේ. ඔහු ඊඩිපස්, සර්පයා, බල්ලා, ආදී සංකේත කෘතිය පුරාවට මිනිස් චර්යා විස්තර කිරීමට යොදාගෙන තිබේ. මෙය කියවන පාඨකයාට අමතර කරුණු සොයායෑමට නිතැතින්ම සිදුවන්නේ එය විසින් මතු කරන මෙම සංකේත සහ රූපක හඳුනා ගැනීම උදෙසාය. 

තේමාව 

මෙම නවකතාව තුළ ප්‍රධාන වශයෙන්ම වර්ණභේදවාදය පිළිබඳ කතාකරයි. එහෙත් කොඑට්සි වර්ණභේදවාදී මහා ගැටුම් කෘතිය තුළ ගෙනෙන්නේ නැත. එය ඔහු මතුකරන්නේ චරිත හරහා සූක්ෂමවය. මෙලනි ඩේවිඩ් අතින් අපයෝජනය වීම සහ ලුසී කලු ජාතිකයන් අතින් දූෂණය වීම පීඩිතයා සහ පීඩකයාගේ ස්වභාවයන් පෙන්වයි. ලූරි කරන්නේ ද දූෂණයක් වුවද එය සමාජයේ හෝ ලූරිට දූෂණයක් ලෙස නොහැඟෙයි. ලංකාවේ ද විශ්ව විදයාලවල වරින්වර මතුවන එහෙත් කිසිදාක ඉස්මතු නොවන මෙවැනි ආකාරයේ සිදුවීම් අසන්නට ලැබේ. ඒ එම චරිත වලට ඇති සිවිල් බලය නිසාවෙනි. ලූරි ද එවැනි සිවිල් බලයක් ඇත්තෙක් වුවද මෙලනිගේ ක්‍රියාකලාපය හමුවේ ඔහුගේ ඒ සැබෑව එලියට එයි. ලූරී එය වරදක් ලෙස දකින්නේ නැත. එහෙත් තම දියණිය දූෂණයට ලක්වූ විට ඔහු පොලිසියට යන්නට, නීතය හමුවට යන්නට උත්සාහ දරයි. වරප්‍රසාදිතයා තම සිවිල් බලය දූෂණයට යොදාගන්නා විට, අවවරප්‍රසාදිතයා ප්‍රචණ්ඩත්වය ඒ සඳහා යොදාගනී. එහෙත් ප්‍රචණ්ඩත්වය ඉස්මතු වන ඒ දූෂණය සමාජයේ මහා ඉහලින් කතාවුවද, සිවිල් බලය යටතේ කෙරෙන දූෂණ මතු නොවෙයි. 

දෙවැන්න, දකුණු අප්‍රිකාව තුල තවමත් විසඳී නැති ස්වදේශිකයන්ගේ ඉඩම් අයිතිය, කතුවරයා කතාන තුළ ගෙනෙන්නේ පෙට්‍රස්ගේ චරිතය හරහා ය. කලු ජාතිකයෙකු වන පෙට්‍රස් තම ඉඩම් දිනාගැනීම සඳහා කරන අරගලය හරහා කොඑට්සි මේ අර්බුධය පැහැදිලිව පෙන්වයි. අවසානයේදී ලුසීව විවාහ කරගන්නට පෙට්‍රස් යොමුවන්නේ එම ඉඩම් අයිතිය ලබාගැනීමට ය. කතාවේ එක් තැනකදී ලුසී මෙලෙස පවසයි. 

“මාව දැක්කම එයාලට මම ණයයි කියලා දැනෙනවා ඇති. එයාලා හරියට බදු එකතුකරන්නෝ වගේ කාලෙන් කාලෙට ඇවිත් බදු ඉල්ලනවා“ ඔවුන්ගේ භූමිය මත වාසය කිරීමේ කලු ජාතිකයන් මේ සුදු ජාතිකයන්ගෙන් ගන්නේ දූෂණය හරහාය යන්න ලුසී පවසන දෙයකි. දකුණු අප්‍රිකාව යනු ස්ත්‍රී දුෂණයේ ප්‍රමුඛ රටකි. කලු ජාතිකයන්ගේ මේ ප්‍රතිප්‍රචණ්ඩත්වය ගැන අපට කිව හැක්කේ කුමක්ද? සුද ජාතිකයාගේ අසාධාරණකම්වලට එරෙහිව අප කලු ජාතිකයාගේ පැත්තේ සිටගත්ත ද, කලු ජාතිකයාගේ ප්‍රතිප්‍රචණ්ඩත්වය ගැන අප කියන්නේ කුමක්ද? මේ ප්‍රචණ්ඩත්වය කවර ආකාරයකින් වුවද සාධාරණීකරණය කළ හැකිද? සාමය සඳහා ගෙවිය යුතු වන්දිය කොපමණද? පෙර පරම්පරාවලින් ඇතිකල වන්දිය ගෙවා අවසන් කරන්නට කිසියම් පරම්පරාවකට හැකි ද? ලංකාවේ ජනවාර්ගික අර්බුධය සඳහාද කොඑට්සිගේ මේ ප්‍රවේශය යොදාගත හැකි බව මගේ විශ්වාසයයි. එහෙත් මේ සටහන ඒ සඳහා යම් උත්තේජනයක් ලෙස තබමි. රටක් ලෙස අප කොඑට්සිගේ මේ පොත සහ ඔහුගේ සමස්ථ සාහිත්‍ය කියවිය යුත්තේ ඒ නිසා බව ලියා තබමි. 

මේ පොත් බහුතරයක් පරිශිලනය කරන්නේ නම් අපට මේ වැදගත් සංවාදය මතුකරගත හැකි වනු නියතයි. ඒ සඳහා ඔබට මේ ගර්හාව සහ ඔහුගේ අනෙක් කෘති කියවන්නට ආරාධනය කරමි. අවසාන වශයෙන් මෙය පරිවර්තනය කිරීම ගැන සනත් බාලසූරියට මගේ කෘතවේදීභාවය පළකරමි.

Top