ඇනා කැරනිනා සහ ලාංකේය ලේඛකයෝ (299 වන ලිපිය)

post-title

ලියෝ තෝල්ස්තෝයිගේ ඇනා කැරනිනා නවකථාව පළමුව සිංහල පරිවර්තනය කරන ලද්දේ මුනිදාස සෙනරත් යාපා බව ප්‍රකට මතය යි. ඇනා කැරනිනා කෘතියට අනුවාද සැපයූ ප්‍රවීණ පරිවර්තක මුනිදාස සෙනරත් යාපා එය මුල් කෘතියෙහි වූ ඇතැම් පරිච්ඡේද සහ වැකි අතහැර දමා සරළව කරන ලද පරිවර්තනයක් බව සිය කෘතියෙහි පෙරවදනෙහි දක්වයි.

එසේ වුවත් ඇනාගේ පක්ෂයෙන් සිතා කළ පරිවර්තනයක් යැයි සෙනරත් යාපා පැවසූ බව වරක් චින්තක රණසිංහ සිය ලිපියක දක්වා තිබිණි. එවකට පැවති බටහිර සාහිත්‍ය හා පරිවර්තන උද්යෝගයත් වියත් භාෂා හුරුවත්, සංක්ෂිප්ත සහ සරුවදන් යෙදීමේ ශක්‍යතාවත් යාපාගේ කෘතියෙන් දැක ගත හැකිය. 

සෙනරත් යාපාගේ අනුවාදය 1959දී පමණ පළමුවරට පළවූවකි. එතකුදු වුවත් එය ප්‍රකාශවීමට පෙර ද පරිවර්තනයක් පැවති බව තිස්ස කාරියවසම් පෙන්වා දෙයි.

ඩොස්ටොයෙව්ස්කි විසින් පරිපූර්ණ කලා නිර්මාණයක්ලෙසත්, තෝමස් මාන් විසින් විශ්ව සාහිත්‍යයෙහි ම නිර්මිත අග්‍රගණ්‍ය සමාජ නවකථාවසේත් විස්කෘත ඇනා කැරනිනානවකථාවේ අතිසංක්‍ෂිප්ත, අතිශය දුර්වල පරිවර්තනයක් ජිනදාස ජී. ලේල්වල විසින් කැරුණි. විශ්ව සම්භාවිත ඇනා කැරනිනානවකථාව තදර්භ ගෞරවය ලබමින්, මුල් සඳහන් කළ පරිවර්තනයට වඩා උසස් සහ නිර්මාණාත්මක අන්දමින් 1959 දී මුනිදාස සෙනරත් යාපා විසින් පරිවර්තනය කරන ලදුව 1962 දී එහි දෙවෙනි මුද්‍රණයක් ද පළ විය.

ජිනදාස ලේල්වල විසින් කරන ලද පරිවර්තනය ‘කරුමක්කාරි’ නමින් එම්. ඩී. ගුණසේන සමාගම විසින් එවකට ප්‍රකාශයට පත්කර තිබීම එතරම් ප්‍රකට කරුණක් නොවේ. මෙය ඇනා කැරනිනා කෘතියේ දැනට හමුවන පළමු පරිවර්තනයයි.

ඇනා පරිවර්තන සාහිත්‍ය ලාංකේය සාහිත්‍යයට පිවිසීමට ක්‍රියාකළ, විශේෂයෙන් පුවත්පත් මගින් ඊට ඉඩකඩ ලැබදුන් එවකට පුවත්පත් කතුවරයකු, ලේඛකයකුව සිටි මාර්ටින් වික්‍රමසිංහ මහතා ඇනා කැරනිනා නවකතාව සිය මිරිඟුව කෘතිය ලිවීමට කල්පනාව පුබුදු කළ සාදක අතරින් දෙවන සාධකය වූ බව පැවසීය.

ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා කියවීමෙන් ලත් අත්දැකීම් මගේ කල්පනාව පිබිදූ අනික් අරමුණයි

මිරිඟුව සහ ඇනා කැරනිනා සංසන්දය කර බැලීමේදී මෙම නවකතා දෙකෙහිම සාධාරණ සම කරුණු පවතින බව පෙනේ. වික්‍රමසිංහට තෝල්ස්තෝයි බලපෑ ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී මිරිඟුව මතු නොව ඔහුගේ සෙසු නිර්මාණවලද තෝල්ස්තෝයිගේ සෙවණැලි දැකගත හැකිය. ‘මානව හිතවාදය හා එතෙර වියත්හු', ‘සෝවියට් දේසයේ නැඟීම’, The Buddhist Jataka Stories and the Russian Novel (1952) සහ තවත් කෘති සහ ලිපි රුසියානු සාහිත්‍ය සම්බන්ධව ලියා පළ කළ වික්‍රමසිංහ ඒවායේද ඇනා කැරනිනා කියවීමෙන් ලද ප්‍රහර්ෂය ගැන ලියා දක්වයි.

කේ. ජයතිලක, ජී.බී. සේනානායක, මිණිවන් පී තිලකරත්න වැනි ලේඛකයන්ද ඇනා කැරනිනා සම්බන්ධයෙන් ලියූ කෙටි විචාර ලිපි ඔවුන්ගේ කෘතිවලට එවකට ඇතුළත් කර තිබිණි. සිංහල පාඨකයා විසින් කියවිය යුතු බටහිර සාහිත්‍ය කෘති වශයෙන් හඳුන්වාදීම සඳහා ඔවුන්ගේ විවරණ එවක පාඨකයන්ගේ ඥානෝත්පාදනය සහ සොයාබැලීමේ කුතුහලයට පාදක වන්නට ඇත. කේ. ජයතිලක ඇනා කැරනිනා යන්න රුසියානු භාෂාවෙන් නම් අන්නා කරෙනිනා විය යුතු බව දැක්වීය. සේනානායකගේ අවධානය කෘතියේ චරිත විවරණය සම්බන්ධයෙන් ටෝල්ස්ටෝයිගේ ලේඛන ශෛලිය පිළිබඳව යොමුවිය. 

ඇනා කැරනිනාහි අසංක්ෂිපත පරිවර්තනයක් මෑතකදී ස්වර්ණකාන්ති රාජපක්ෂ කළ අතර, එය යාපාගේ කෘතිය තරම් වදන් කෙරෙහි වැඩි අවධානයක් නොම දී වදනින් වදන පමණක් සලකා කළ කෘතියක් ලෙස හැඟේ.

පසුකාලීනව ඩබ්ලිව් අබේසිංහ, ලියනගේ අමරකීර්ති,  චූලානන්ද සමරනායක ආදීහුද මේ කෙරෙහි අවධානය යොමුකළහ.

ටෝල්ස්ටෝයිගේ පෞද්ගලික දිවිය සම්බන්ධයෙන් බොහෝ විචාරකයන්ගේ අවලාද සෝන්යාට එල්ල වුවද, පාඨක විෂයෙහි හිඳිමින් තුලනාත්මක අදහසක් ගැනීමට සින්තියා ඇස්ක්විත්ගේ ‘මහා පුරුෂයකුට බිරිඳක්ව’(Married to Tolestoy), බාල දියණිය ඇලෙක්සැන්ඩ්‍රා තෝල්ස්තෝයිගේ ‘ටෝල්ස්ටෝයි ශෝකාන්තය’ (The Tragedy of Tolestoy), වැඩිමල් දියණිය ටට්යානා තෝල්ස්ටෝයිගේ ‘මගේ ආදරණීය තාත්තා ටෝල්ස්ටෝයි’(Tolstoy Remembered) යන ග්‍රන්ථ අතිශය වැදගත් වේ. ‘ටෝල්ස්ටෝයි ශෝකාන්තයෙහි’ පියා පිළිබඳව ළතෙත් හැඟුමින්ද ‘මගේ ආදරණීය තාත්තා ටෝල්ස්ටෝයි’හි මවටත් පියාටත් සමසමවද ඔවුන්ගේ ජීවිතයේ අඳුරු පක්ෂ පිළිබඳව වුවද විස්තර දක්වන බව පැහැදිලිව පෙනේ. ලියනගේ අමරකීර්තිගේ පරිවර්තනයෙන් සෝන්යාගේ විවරණ හෙළිවන මහා පුරුෂයකුට බිරිඳක්ව හිදී වුවද ඇනා කැරනිනා සම්බන්ධයෙන් ඇතැම් තැනක කරුණු එයි. 

Top