ආවේණික කාව්‍ය රිද්මයක් හා දෘෂ්ටියක් රඳවා ගත් "තිත් සහ කොමා" (831)

post-title

මංජුලා පියුමාලිගේ "තිත් සහ කොමා" නම් හුරුබුහුටි බාහිර නිමැවුමෙන් ද යුතු කුඩා කවි පොත ගැන තබන කුඩා සටහනක් ලෙස මෙය ඔබට කියවා ගත හැකි ය. ඇය තමාගේ කවි පොතෙහි හතරවන කවියේ පටන් ඇරඹෙන කාව්‍යාවලිය ඇයට අනන්‍ය කාව්‍ය රිද්මයක් පවත්වා ගන්නා කාව්‍යාවලියකි. අතරින් පතර ඒ රිද්මය බිඳෙන කවි කිහිපයක් රඳා පැවතීම අප තුළ කිසියම් කුකුසක් සහ එකී රිද්මය කඩාබිඳ දැමීමේ නුරුස්නාකමක් ඇති කරන සුළු ය. 

අතුරු කතාව -

මේ රිද්මය අපට සිහිපත් කරන්නේ "ඉන්ද්‍රා ලියනගේ" නම් ප්‍රවීණ කෙටි කවි ලියන්නිය යි. ඈ ද මංජුලා මෙන් ම කිවිඳියක් වන නිසා ඇගේ කවි මේ අතර තැබීමේ අසාධාරණයක් නැතැයි සිතමි.  ඈ ද මේ කවිය තමාගේ බව කිව හැකි කිසියම් රිද්මයක් පවත්වා ගැනීමට උත්සාහ කළ කිවිඳියක් ලෙස හඳුනාගෙන සිටිමි. පහත දැක්වෙන කවි, එය තහවුරු කිරීම පිණිස ඇගේ Facebook පිටුවෙන් උපුටා ගත් මෑතකාලීන කවි වේ.

නාය ගිය කන්දකට 

මට තියෙන 

නෑකම

කාගෙවත් වැරැද්දක් 

නොවන ඒ 

බෑවුම

මේ කවිය ආදරේ විරහව පිළිබඳ ඉතා ප්‍රබල ඇඟවුමක් සිදු කරන්නකි. විරහවේ ඇති සාර්වත්‍රික, සර්වකාලීන බව පෙන්වා දෙමින් එය ස්වභාව ධර්මයේ සනාතන ධර්මතාවක් ලෙස හුවා දැක්වීම හරහා අවෛරී චේතනා ජනිත වේ. කරුණ රසය හා සහකම්පනය පෙරදැරි උපේක්ෂා සහගත හැඟීම් පාඨක මනස තුළ ජනිත වේ. පහත කවිය ද එබඳු ම කවියකි.

පාරමී පිරුවත් නැතත් මෙය

චාරිකාවක් බැවින් 

හිතවත

ආදරය නම් කාරණාවෙනි

පිරිමැදෙන්නේ රිදෙන 

පියපත

විරහව වනාහී වෛරයට තුඩු දිය යුත්තක් නො වේ. එය ද්වේෂ සහගත ව හැර යාමක් ලෙස නො ගත යුතු ය. එවිට ආදරය ගැන බිය ඇති නො වේ. රිදුමන් පිරිමදින දිව ඔසුවක් සේ දැනේ. විඳින්නට මිස විඳවන්නට යමක් ඉතිරි නො වේ. 

මොන යම් දෙයක් වත් 

නො දරයි හද 

බඳුනේ

මෙතරම්

සුවය දෙනු පිණිස ද 

එය බිඳුණේ

අපට අප හමුවන්නේ මෙම උපේක්ෂා සහගත දෘෂ්ටියේ කෙළවර දී ය. වෛවර්ණ ලෝකයෙන් මිදී අප අප ගැන සොයන මොහොතෙහි දී ය. එවිට කළු සුදු ද්විමය ලෝකය තුළ අපේ පැටලුම ලෙහෙයි. අපට අප හමුවෙයි. එවිට අනෙකා තේරුම් ගැනීම ඉතා ම පහසු වෙයි.

පින්සල් පහරවල් 

සිය දහසකට 

යට 

පැන්සලක් ඉරක් 

ළඟ හමුවුණි

මාව මට

මේ සියලු කවි එක ම දෘෂ්ටියක් මත පිහිටා තමාගේ රිද්මයානුකූල කවි රටාවෙහි හරඹ කිරීමක් බව ඔබට මේ වන විටත් පෙනී යනු ඇති බව කල්පනා කරමි. ඒ ඇගේ ලකුණ යි.

මංජුලා පියුමාලි ද මේ මගෙහි ම යමින් තමාට අනන්‍ය රිද්මයානුකූල හා දෘෂ්ටිවාදාත්මක කවිකමක් රඳවා ගන්නී, ඒ පිළිබඳ වැඩිදුරටත් විමසා බලමු.

ලස්සන ම 

මල් ගෙනත් 

හිටෙව්වත් 

මළුවල 

රොන් පිරුණු 

මල් පිපුණෙ 

නො හිතපු ම 

මුළුවල 

මේ අපූරු කවිකමක රුව ගුණ ය. අනපේක්ෂිත බව ම අපේක්ෂිත ලෝකයක අපට අන් කුමක් බලාපොරොත්තු විය හැකි ද? බෞද්ධ සාහිත්‍යයෙහි ආභාසය පෙනේ. එය කවියෙහි දෘෂ්ටිවාදාත්මක ගැඹුර තීව්‍ර කරයි.

වඩුකුරුලු කූඩුවක් 

දිරපු අතු අග 

පොඩි පැටව් දකිනවලු 

හෙටක මහ මග 

මේ ගේහසිත සම්බන්ධතාවල විනිවිදීමකි. දෙමාපියන්, දරුවන්ට ලෝකයක් තැනීමට උත්සාහ දරන්නේ හයිය අතු ඉති මත ඉඳිමින් නො වේ. තමාට පය ගැසිය හැකි අත්ත දිරා ඇති බව දන්නා දෙමාපියන්ට අවශ්‍ය වන්නේ කෙදිනක හෝ ශක්තිමත් අත්තක පය ගසන තම දරුවන් තැනීමට යි. 

අල්ලන් තදින් 

උන් හැම දේ 

යන්නට හරිමි 

දැන් සුව දේ 

අල්ලාගෙන සිටීම බරකි. අතෑරුණු පසු දුරස්වන වස්තුවක් බලෙන් තමා සන්තක කොට ගැනීම අනවශ්‍ය ශක්තියක් වැය වීමක් විනා ප්‍රතිඵලාත්මක කාර්යයක් නො වේ. ඒ බව තේරුම් ගත හැක්කේ ජීවිතයේ යම් පරිණතියක් ලබාගත් පසුවයි. ඒ සඳහා තපස් වී ජීවිතයක් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අවබෝධාත්මක බව හා ජීවිත පරිචය යි. මේ එබඳු පරිචය සහිත දෘෂ්ටියකි.

දියඹට ඔබපු දෑ

වෙරළට 

ගෙනත් රළ

රුවිතෙට රවයි 

තරවටුවක් 

ලෙසින් කළ 

හිතකට 

ගොඩ වදින්නට 

මම හදන කල

දුරකට දුවන 

ඔබ සයුරකි 

හැඟුම් හළ

මින් ඒක පාර්ශවීය රුචිකත්වය මත දුවන සම්බන්ධතාවක් අප ඉදිරියේ චිත්‍රණය කරයි. වළ දැමිය යුතු බොහෝ දේ මුහුදට හිමි වුවත් මුහුද කරන්නේ ඒවා වළ දැමීම වෙනුවට නැවත ගොඩ දැමීම යි. එහි ප්‍රතිඵලයක් ලෙස සාගරය හා වෙරළ හමු නො වන බව කවියා කීම නව්‍ය සංකල්ප රූපයක් ගෙනවිත් තැබීමකි. දියඹෙහි ඔබන ලද දෑ නැවත ගොඩ දමමින් සම්බන්ධතාවයෙන් දුරස් වන්නට උත්සාහ කරන හැඟුම් හළ සාගරය දෙස බලමින් දුක්වන කථකයා හෝ කතිකාව පිළිබඳ අප තුළ ඇතිවන්නේ කරුණ රසයකි. දයාර්ද හැඟීමකි.

"නාලාගිරිලා" යන හිසින් පැනෙන කවිය පුනරුක්ති දෝෂයක් සහිත ය.

මලින් සරසා 

තිප්පොල 

දමති වනසා 

සිය පැල

නාලාගිරිලා 

මෙහි අවසානයේ පැනෙන නාලාගිරිලා යන අදහස මාතෘකාවෙන් කියවෙන නිසා නැවත යෙදීම නිශ්ඵල බව අපගේ හැඟීම යි. කවියෙන් ඉස්මතු කරන අදහස ඉතා ප්‍රබල ය. දරුවන් නො තකා නො සලකා හරින බේබදු පියවරුන් හඟවන ඉතා ප්‍රබල සංකේතයක් ලෙස සමස්ත පද්‍යය ම ක්‍රියාත්මක ය.

දැක දැක ම 

ජීවිතේ 

විඳින විඳවන 

ඇත්තො 

නැහැ තව ම 

තැති අරං 

පවෙහි පැටලෙති

ඉත්තො 

තතු වටහ ගෙන 

මෙයින් 

නැති ද දිවි ගොඩගත්තො 

දැන දැන ම 

ගිනි හොයන 

අපිත් තණකොළ 

පෙත්තො

සසර අතරමං පුහුදුන් මිනිසා පිළිබඳ ව කියවෙන ඉතා අපූරු කවියකි. රාග ද්වේශාදී සාපිපාසාවලින් යුක්ත ව දැන දැන ම දුක් විඳින මෝඝ මිනිසා ගැන සදය උපහාසයෙන් යුක්ත ව කරන විවරණයකි. පද්‍යයේ අවසාන කොටස ඉතා ප්‍රබල ය.

අස්වසාලන්නට 

බැරි තැන 

ඇස් වසා ගමි 

කල්මැන 

හිස් කලාපයක් 

හැර පැන 

දොස්මකාලමි 

බල බල 

මේ කවියේ ඉතිරි කොටස අනවැසි බව අපට දැනෙයි. මන්ද මෙහි එන මෙම මුල් කොටස හා දෙවන කොටස සමග රිද්මයානුකූල ගැලපීමක් ද නැත. වචන හරඹයක් යනු සෑම විට ම කවියක් නො වේ. මෙහි එන ඉතා ප්‍රබලතම බර අවියක් ලෙස අවධානය පිණිසයි කවිය හඳුනාගත හැක.

තත් සිඳුණු 

වීණාව 

වයන්නට 

මා 

ගුත්තිල 

නො වෙමි 

සොඳුර!

මේ නම් මනරම් කවිකමකි. කථකයා තමාගේ ජීවිතය ගැන පැහැදිලි කිරීමට තම බිරිඳට උපමා කර දක්වන්නේ ගුත්තිල මූසිල වීනා නාදයේ එන කොටසකි. ආර්ථික අග හිඟකම් ආදී නැතක් කම්කටොළු සහිත ව ජීවත් වන තමාට හාස්කම් සහිත ව මේ ජීවිතය ඉතා ඉක්මනින් ගොඩ දැමිය නො හැකි බව සංයමයෙන් කීම මෙහි දක්නට ලැබෙන සුවිශේෂීත්වය යි.

කොහොම 

හෙවණ දුන්නත් 

කොනිති ගාන පමාවට

හනි හනිකට 

ලාටු පෙරන 

මේ ගස ළඟ 

නුඹ 

තව මොහොතක්වත්

නො වුණ එක ම යි 

හොඳ!

තමාට වඩා අනුන් ගැන සිතන, ඔවුන් වෙනුවෙන් කටයුතු කරන, නමුත් ඉතා ඉක්මනින් හිත රිදවා ගන්නා අධි සංවේදී මිනිසුන් "ඕවර් තින්ක(ර්)ස්" ලෙස සමාජයේ කොතෙකුත් සිටී. ඔවුන් අධියහපත් නිසා ම සමාජය තුළ පැවැත්ම අතිශය ගැටලුකාරී ය. සසල හදක් ඇති මිනිසුන්ට දුක වේදනාව හා පීඩාව සදාකාලික ව ම හිමි ය. මෙය ඔවුන්ට පුද දුන් කවියක් වැන්න. මෙහි කතකයා හෝ කථිකාව ද තමා රිදවා ගෙන නමුත් අනෙකා රිදවනු නො කැමති මුවැති හදවත් ඇත්තකි.

ගල් 

මෙලෙක් කරන්නට 

තුරුළු වූ මල් 

කල් යද්දි 

හිත් අස්සෙ 

හදනවා 

හිල්

මෙය ද කිසියම් සමාජ විවරණයකි. වඳින්නට ආ දේවාලෙ හිසේ කඩා වැටුණා වගේ යන ප්‍රස්තාව පිරුළ සිහි වේ. සදාකාලික දුක් දෙන්නෝ ආගන්තුකයෝ නො ව, අප ළඟින් ම සිටින ඥාති හිතවන්තයන් බව කල්පනා කිරීම මැනවි.

බොල් හීන 

හිල් හැදු 

හිතේ දුක 

ඇත අපා

සල් සුවඳ 

ගෙනාවත් 

ආයේ 

ඔබ එපා 

ඉහත අයට දිය හැකි හොඳ ම පිළිතුර මෙය යි. යුතුකම උදෙසා යුතුකම ඉටුකර ඉවත්වීම යි. වෛර නො කර ම තේරුම් ගැනීම යි. සිතින් පමණක් ප්‍රතික්ෂේප කිරීම යි.

ඔබ එවූ කොමාවේ 

යට කොණක් හපා 

මම තබා යමි තිතක් 

පෙම ආයෙ එපා....

මෙය ද ඉහත කවියේ ම දෘෂ්ටිය ඉදිරිපත් කරන්නකි. එබඳු වියෝවකින් ගිලන් වී සිටින අයකුට නිර්මාණකරණය ද පහසු නො වේ.

ඔහු ඇවිත් 

ගිය පසු

පත්තිරු මත 

වෙනදා මෙන් 

කවියක් දෙකක් 

කුරුටු ගාන්නට 

නො හැකි ව ළතැවෙමි

සමස්තයක් ලෙස සියලු කවි ව්‍යංගාර්ථ භාෂාවකින් සැරසී සිටී. මනෝ චිත්‍ර මවන සරල ව්‍යවහාරික භාෂාවක් භාවිත ය. තමාට ආවේණික කාව්‍ය රිද්මයක් හා දෘෂ්ටියක් රඳවා ගන්නී තම කුළුඳුල් ව්‍යායාමය සාර්ථක කර ඇත්තී ය. ඔබට දිගු සුබ ගමන් වේවා!!

Top