යම් නවකතාවක කවරාකාර හෝ නැවුම් බවක් තිබිය යුත්තේය. එය කේන්ද්‍රීය තේමාවේ, භාෂාවේ, ආඛ්‍යාන රටාවේ, ආකෘතියේ ආදි ලෙස විවිධ මානයන්ගෙන් සැලකිය හැකිය. මං අතරමං නවකතාවේ දී එහි නැවුම් බව ඇතිවන්නේ එහි ආඛ්‍යාන රටාවෙන්ය. මෙම ආඛ්‍යාන රටාවේ නැවුම්බව නිසාම යම් පාඨකයෙකුට මෙය එකවර ග්‍රහණය කරගැනීමේ යම් අපහසුතාවයක් ඇතිවිය හැකිය. එහෙත් මගේ විශ්වාසය අනුව මෙම නව්‍යතාවය සාහිත්‍යයට නව මානයක් විවර කර දී තිබේ. නවකතාවේ නම ලෙස කතුවරයි යොදාගන්නා මං අතරමං යන්නටම ගැලපෙන පරිදි පාඨකයා පවා අතරමං කරවන ආඛ්‍යාන රටාවක් ගොඩනැගීම කතුවරියගේ දක්ෂතාවයකි.
ආඛ්යාන රටාව
මෙහි ආඛ්‍යාන රටාවෙහි විශේෂත්වය වන්නේ Linear timeline හෙවත් රේඛීය කාලයෙන් මිදී අතීතය අනාගතය හෝ වර්තමානය යනුවෙන් පැහැදිලිව වෙන්කළ නොහැකි සියල්ල මිශ්‍ර වූ Complex timeline එකක් හෙවත් සංකීර්ණ කාලයක් නිර්මාණය කර තිබීමය.මෙම සංකීර්ණත්වය හේතු වන්නේ මෙහි ප්‍රදාන චරිතය වන දහමවී ගේ මානසික ව්‍යාධියයි. ඇය සිදු නොවූ දේවල් මවාගන්නා මානසික තත්වයකින් පෙළෙන්නියකි. එනිසාම කාලය පිළිබඳ නිශ්චිත සංකල්ප සියල්ල බිඳී මුල මැද අග පටලැවෙයි. මෙම චරිතයේ අවිශ්වසනීයත්වය සමඟ නවකතාව කියවිය යුතුය. ආඛ්‍යානය කොටස් දෙකකින් යුක්තය. එහි කථකයෙක් මෙන්ම ප්‍රධාන චරිතය වන දහමවී ද කථනයේ යෙදෙයි. කථකයා විසින් කතාවේ සැබෑ සිද්ධි විස්තර කරන අතරම දහමවී ගෙන් කියවෙන්නේ ඇය අත්දකින සත්‍යයි.
අපි දකින දේ සැබෑවක්ද මායාවක්ද?
බොහෝ විට අප මනසින් මවාගන්නා ලෝකයක ජීවත්වන බව විවිධ දාර්ශනික හා ආගමික ආස්තානයන්හි කියවෙයි. යම් මානසික ව්‍යාධියක් ඇති කෙනෙකු ලෝකය දකින්නේ ඔවුන්ගේ මනස තුළින් ඇති කරන ප්‍රතික්‍රියාවන් මත හෙයින් ඔවුන් ජීවත් වන්නේ ඔවුන් නිර්මාණය කර ගත් ලොවකය. එසේ වුවද අප ජීවත් වන්නේද අපවිසින් නිර්මාණය කරගත් ලොවක නොවන්නේද? මෙවැනි කාරණයක් ගැන අපට නැවත සිතා බැලීමට මෙම නවකතාව ඉවහල් කරගත හැකිය. කෘතියේ කේන්ද්‍රීය මාතෘකව එය බවට පත්වෙයි.
මෙම කතාවට පාදක වන්නේ තරුණ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් වන දහමවී සහ එම විශ්ව විද්‍යාලයේම කථිකාචාර්යවරයෙකු වන සකිතර අතර ඇතිවන සම්බන්ධයකි. මෙය බොහෝවිට භාවිත වුන තේමාවක් වුවද කතුවරිය එයට තමන්ගේම අර්ථකතනයක් එක්කරන්නට සමත්ව තිබේ.
මේ වසරේ නිකුත් වූ ඉසබෙල් අයියන්දේගේ The soul of a women කෘතියෙහි ඇය කාන්තාවකට අවශ්‍ය කුමක්ද යන පැනයට මෙවැනි පිළිතුරක් දෙයි. ආරක්ෂාව, තමන්ගේ ශරීරය සහ තමන් ගැන තීරණ ගැනීමේ හැකියාව ආදී කිහිපයක් පවසා අවසානයට මේ සියල්ලටම වඩා ආදරය බව පවසයි. ආසියාතික සමාජය තුළ බොහෝවිට කාන්තාවට පිරිමියෙක් අවශ්‍ය වීම ආදරයට වඩා ආරක්සාව සහතික කරගැනීමක් බවට පත්වනු දැකිය හැක. මේ නවකතාව පුරා මෙකී කාරණය, එනම් දෙදෙනෙකු අතර ආදරය හුදු විවාහ ලියවිල්ලක සටහන් වීමක්ම නොව ඒ දෙදෙනා අතර ඇති විශ්වාසය පිළිබඳ කාරණාවක් බව වරින්වර මතුවෙයි.
කාන්තාවකට ස්වාධීන වීම සඳහා ඇති විවිධ බාධාවන් මධ්‍යයේ මෙහි එන ප්‍රධාන චරිතය වන දහමවී තම ස්වාධීනත්වය රැකගන්නට කරන සටන ඇගේම අවිශ්වසනීය කෝණයෙන් මෙන්ම කථකයා ගේ කෝණයෙන්ද පැහැදිලිව පෙනේ. ඒ සඳහා කෙතරම් සටනක් තරුණියකට කළ යුතුදැයි මේ කෘතියේ මැනවින් පිළිඹිබු වෙයි. ඒ සඳහා ඇයට තමන්ගේ පියා, හොඳම යහළුවා, සහ පෙම්වතා මෙන්ම අනියම් පෙම්වතා යන පිරිමි සිව්දෙනෙකු සමඟ ගැටෙන්නට සිදුවෙයි. එසේ වුවද කතුවරිය මෙහිදී වඩාත් සූක්ෂම වන්නේ කතා නායිකාව වන දහමවී ගේ සංකීර්ණ මානසික තත්වය ට මුවාවෙමින් මේ කාරණා නැවත නැවතත් සිතන්නට පාඨකයාට ඉඩ සලස්වාලමිනි.
අවසානය
සමස්තයක් ලෙස මෙම නවකතාව සාර්ථක එකක් ලෙස මට හැඟී යන අතර කියවන්නාටද වෙනස් අත්දැකීමක් එකතු කරන අතරම දෙබස් ලිවීමේදී කතුවරිය දක්වන නිර්භීතභාවය සහ හැකියාව නිසාම කියවීම රසවත් එකක්ද වෙයි. කෙසේ වුවද මෙහි මට හැඟීයන යම් දුර්වලතා ද වෙයි. ඒ කතුවරිය විසින් සමාජ දේශපාලනික කාරණ ඉදිරිපත් කිරීමේදී ප්‍රබන්ධ ගතිය තරමක් ගිලිහී යා තිබීමය. කෙසේ වුවද තම කුළුඳුල් නවකතාව ලෙස කතුවරිය දක්වන දක්ෂතාවය ගැන සුබවාදී බලාපොරොත්තු තැබිය හැකිය. තවත් නවකතාවකින් ඇය නැවත හමුවේවා යැයි පතමි.