සමන්සිරි ගිය ඒ ජෙට්ටෙක ටිමා ගෙ මයි

post-title


කාව්‍ය ලෝකයේ අනෙකාගේ ඡායාස්ථිති පිටපතක් නොවී තමන් ස්වාධීන ගතිලක්ෂණ සහිත වෙනම කෙනෙකු ලෙස ස්ථානගත කර ගැනීම පහසු නැත. අනුභූතිය එකම විය හැකිය. ආකෘතිය ඒකාකෘතික විය හැකිය. නමුත් ප්‍රකාශනය අනන්‍ය ලක්ෂණ වලින් හෙබියේ නම්, වෙනස් පර්යාලෝකයන්ගෙන් ගහණ නම්, භාෂාවේ ඕජෝ ගුණය අපූර්ව නම් ඒ ඇසුරින් කවියා "මම වෙනස් කෙනෙක්" යන්න හඬගා කියයි.  වර්තමානයේ කවි කෙත් හි අප දකින්නේ ගජමන් නෝනා ගේ ආත්මභවයන් ය. සේකර ගේ සෙවනැළිය. රත්න ශ්‍රී ගේ ගෝලබාලයන් ය. ආරියවංශ රණවීර ගේ දරුවන් ය. නන්දන වීරසිංහ ගේ කළලයන් ය. කවියෙකුට හෝ කිවිඳියකට සිය ළදරු අවදියේ එසේ වීම සිදුවිය හැකි නමුත් කල්යත් ම අනුන්ගේ කබායෙන් එළියට විත් තමන්ගේ ආත්මීය සෙළුකය ආස්වාදනය කළයුතුය. එහි ඇති ස්වාධීන අත්දැකීම් හැඩතලයන් හා අනන්‍ය භාෂා වර්ණයන් සොයා ගත යුතුය.

ටිම්රාන් කීර්ති තරුණ කවියා කිසිදු කුලකයකට ගැති නොවී තමන් ගේ කවි මඟ තමන් විසින් ම කැණ මතුකරගන්නා ආකාරය ඔහුගේ සිව්වන කාව්‍ය සංග්‍රහය වන " ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි" කෘතිය වින්දනය කරන විට මනාව හඳුනාගත හැකිය. ඔහුගේ කාව්‍ය අනුභූතීන් ඔහුගේ ජීවන භූමිය තුලින් ම නිපන් ඒවාය. බස, ඔහුගේ ජීවන පැවැත්මේ ම  බස්වහරයි. එය ඔහු ඇමරි ගලකට අල්ලා ඔපමට්ටම් කර සිය කවියට අල්ලා ගනී. ආකෘතික කැටයමද ඒ අනුව යයි.

"සඳත් රෝද පුටුවක අත් මුදුන් බඳී", "සැහැල්ලුව", "අමතකය එක දිගට මීදුම", "රන් පෑ පත", "මල් නැමති ආඛ්‍යානය", "මිසී", "රත්තරන් අම්මෙක් එයා", "සස දා දෙවත", "ඇඩ්රස් නැති චිත්‍රයක්", "ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි", "රන් ස්වර", "මැජික් ඇස් හය", "මොක්පුරය ඉක්ම වූ වල් ගෑනු සිත් තොසින", "ට්‍රැෆික් කරපල්ලා", "පොටෝ එක", "ඒ ඇස් පියවෙන්න ඉස්සර" වැනි නිර්මාණ රැසක ඉහත කී ලක්ෂණ දැකිය හැකිය.

''දිනෙක දෙසුම අවසන නොනැගිට ම රැඳී
බලන විටෙක ඈ කොයි අහ යාද ඇදී
දනන් පින් සිත්ව නික්මුණි මගට වැටී
සඳක් රෝද පුටුවක අත් මුදුන් බඳී''

නිර්මාණයක් පරිපාකයට ගෙන එන තැන රසිකයා ගේ සිතුම් වලිය අංශක 180ක් කරකවා වෙනත් දිශාවකට හරවන්නේ කෙසේද යන්නට "සඳත් රෝද පුටුවක අත් මුදුන් බඳී" යන නිර්මාණය අපූරු උදාහරණයකි. බණ දහම් දෙසන තරුණ හාමුදුරුවන් ගේ සිත සසල කරවා ලෞකික ආසා ඇතිකරවන රූප කායකට උරුම කියන යුවතිය ආබාධිත තරුණියක බව උන්වහන්සේ දැන ගන්නේ ධර්ම දේශනාව අවසන ඇය සොයා සිදුකරන අක්ෂි නිරීක්ෂණයේ දීය. මේ සියුම් නිරීක්ෂණයක් සහිත කවියෙකු ගේ අපූරු සොයාගැනීමකි. කාව්‍යාත්මක ඉදිරිපත් කිරීමකි.

කෙනෙකුගේ ජීවිතයේ අහඹු අත්දැකීමක් මුලු ජීවිතකාලය පුරාම අතිසියුම් වේදනාත්මක මතකයක් ලෙස පැවතිය හැකිය. එහිදී අත්දැකීමේ දිගපළල අදාලම නොවේ. සිරිපා කරුණා කරන විවාහක තරුණයෙකුට හමුවන යුවතියක් පිළිබඳ ඉතා කෙටි අත්දැකීම පසුකලෙක වුව ඔහු පෙලන ආකාරය ටිම්රාන් කවි කරන්නේ මෙලෙසිනි.

''උඩ මළුව හරියෙදි
මගේ අතැඟිලි
කොතන හරි රැඳුණා
පුන් ළමැද මට
උඩ මළුව සේ දැනුණා''

මේ ක්ෂණික සබැඳියාවේ දී ද ඔහු ඇයට බොරු නොකියයි.

''මං බැඳපු මිනිහෙක්
දඹු වැටිය කඩනතර
පැහැදිලිව කිව්වා
ඇයගේ පිළිතුර අපූරුය.
බුදු වුණෙත් බැඳපු මිනිහෙක්
එයා ආයෙත් රැව්වා''

ඇය ඔහුගෙන් මිදී යලි සිය නඩය සමග එක්වන්නේ මෙසේ කියමිනි.

''අත්වැරැද්දත් සංසාර පුරුද්දක්.''

කවියා ගේ සියුම් පරිකල්පනයේ අපූර්වත්වය නම් එයයි. බස ස්ථානීයයි. අවසන යළි කලෙක තරුණයාට ඇය සිහිවේ.

''වාඩියේ මැස්ස මත දිගෑදෙන හැම රෑම
බීඩියේ දඹු කඩමි ගෑනු සුවඳක යාව
ගෑනියේ නාඳුනන කොතන හිටියම මොක ද
මං දකින තනිතරුව ඔතෙන්ටත් පේනව ද ?''

ටිම්රාන් සිය බස අත්දැකීමට අනුබද්ධව ගොඩනගා ගන්නා අයුරු අපූරුය. ඒකධාරණීයව අත්දැකීම පරිපාකයට ගෙන යාමට ඔහු දක්වන බුහුටිකම සුවිශේෂය.

"රන් පෑ පත" නිර්මාණය තවත් අපූරු අත්දැකීම් කවිකිරීමකි. උසස් පෙළ හැදෑරීමට "හොඳ" විද්‍යාලයක් පතා බෝධිපූජාවක් තබන තරුණියක හා අප්‍රකාශිතව පෙමින් බැඳෙන තරුණයෙකු ගේ හැඟුම් දහර මෙහි අනුභූතිය යි. මේ අනුභූතිය කවි කිරීමට කවියා තෝරාගන්නේ "බෝධිපූජා කවි" යැයි ජනප්‍රිය කාව්‍ය ආකෘතියයි. බස පවා එවැනි කවි වල උපයුක්ත ඒවාය.

''නිල්වන් බෝධිය වඳිනා අතරේ
රන්වන් කෙල්ලක් මං දැක්කා
අල්ලන් බෝ අත්තක් බෝ සැදැහෙන්
වැඳ වැටුණා කොඩියක් එල්ලා''

'බෝ ' යන වදන අර්ථයන් දෙකකින් එක ලඟ යෙදීම අපූරුය.

"සඟමිත් පාසැල මට හිමිවේවා!
ඇගේ පැතුම කොඩියක ලියලා
බෝ රජුනේ අවසර දෙනු කෝමද
රන් පෑ පත මළුවෙන් මුදවා.''

සංඝමිත්තා, බෝධිය හා සංඝමිත්තා පාසැල අතර රූපකාර්ථවත් ලෙස ගොඩනගන සම්බන්ධතාව අපූරුය. එය අපේ ජන විඥානය හා බැඳේ.

" මල් නැමති ආඛ්‍යානය" නිර්මාණය මිනිස් සිතක ස්වභාවය හා බැඳුනු අපූරු බැඳුමකි. මහා නියඟයක දී වුවත් නොමෑරී මල් පීදෙන මල්වැලක් සිය නිවසේ වෙයි. තම කුඩා පුතු විමසන්නේ මහා නියඟයක දී දිය නැතිව අහසට වඩාත් ලංව ඇති මේ මල්වැලේ මල් පිපෙන්නේ කෙසේද කියාය. කවියා නිරුත්තර ව පිළිතුරු සොයයි. ඒ මල් වැල කවියාගේ අතීත ජීවිතය හා බැඳුනකි.

''තවද එක් සමයකි
මේ සමයටම ඈඳුණ
වෘත්තියෙන් උයන්කරුවෙකි
මා එවර නම්
සිටු මැදුරකට පෑහුණ
සිටු දියණියකි රූ බර
තවත් ලෙහුවොත් සුරඟන!
ඔව් උයන්කරුවා මං
ඈ කැමති තැන කැන මැන
ඈ කැමති මල් පීදුව''

කවියා භාවිතා කරන ව්‍යංගයේ අපූරුව මනරම් ය. නූතන බිරිඳ එකල ඒ සිටුමැදුරේ ගෘහසේවිකාවකි. ඔවුන් බඳින්නට කලින් දවසේ සිටුමැදුරෙන් ගෙන ආ මල්වැලයි මේ. අවසන ඔහු පුතු ගේ ප්‍රශ්නයට පිළිතුරක් ගලපා ගනී.

''පුතුගේ මල් ප්‍රශ්නයට
මං ගලප ගත්තා පිළිතුර
වතුරට වඩා මල්වලට ඕනේ කාලය
පොහොර යැයි කියන්නේ බැඳීම් වල සාරය.
පරිකල්පනයේ අපූර්වත්වය නම් එයයි.

"මිසී" නිර්මාණය නිර්මාණකරුවා සිය අත්දැකීමට අවංක, නිර්ව්‍යාජ ප්‍රකාශනයකි.

''ඇඳෙන් ඇඳ
ලෙඩෙන් ලෙඩ
පසු කරන ඇය
විඩෙන් විඩ
බේත් අරගෙන
මා කරා ඇදෙයි
මත් වෙන්න කළමනා
ගෑනු ඇසුරෙදි
පිටාරෙට පෙරාගත් මට
රත් වෙන්න කාරණා
ඒ තුනු සපුවෙනුත්
හිඟ නැතිව උනයි ..
එපමණයි
ගල් ගැහුණ සාවියකගේ
ටැටූවක් කම්මුලේ කොටාගත් 'සඳ'
රෝහලට ඉහළින්
නිරෝගිව නිදයි.''

අත්දැකීමක් සියුම්ව පාඨකයාගේ සිත් කලම්බනය කරවන ලෙසින් කවියක ගෙතීමට අවැසි පරිකල්පනය, බස හා පර්යාවලෝකය මෙහි අඩුනැතිව ගොනු කෙරෙන්නේ ටිම්රාන් තමන් වෙනස් කවියෙකු බව ප්‍රකාශ කරමිනි.

"රත්තරන් අම්මෙක් එයා" නිර්මාණය කවියාගේ කවිතාව උද්වලිත කරන තවත් අපූරු නිර්මාණයකි. සිය නිවසේ සෞඛ්‍ය ගැන සොයා බලන පවුල් සෞඛ්‍ය සේවිකාව හෙවත් ව්‍යවහාර බසේ "මිඩ් වයිෆ්" යන්නට අලුත් නිරුක්තියක් ඉදිරිපත් කරමින් ටිම්රාන් කවිය අරඹයි.

''බිරිඳයි මායි මැද්දට
ආව ගිය එයා
ඒ නිසාමයි කිව්වේ
මිඩ් වයිෆ් කියා''

දරුවන් දෙදෙනෙක් ඉන්නා පවුලට තවත් දරුවෙක් හදන්නැයි මිඩ් වයිෆ් ඉල්ලීමක් කරයි. ආර්ථික ප්‍රශ්න වලින් පීඩිත පියා කෝප වෙයි.

''බැරි ම තැන මං කෑගැහුව
"ගෑනි බඩ කරනවට
ඔය තරම් ආසයි ද ඔයා?"

හඬමින් මිඩ් වයිෆ් පිටවී යන්නේ යළි නොපැමිණේ. නමුත් හද සසල කරන ආරංචිය කවියා අප හමුවේ තබන්නේ කවිය ඉහළටම ඔසවා තබමිනි.

''පස්සෙ කාලෙක දැන ගත්තෙ මං
මිඩ් වයිෆ්ටත් ළමයි නෑ කියා.''

ටිම්රාන් ගේ ඇති විශේෂත්වය වන්නේ අත්දැකීම පණ පිහිටුවීමට සුදුසුම බස් වහර යොදා ගැනීමයි. මේ නිර්මාණ කෘතිය පුරාම එය මනාව මතුවී පෙනේ.

"සස දා දෙවත" සඳ පිළිබඳ වෙනස් පර්යාලෝකයකින් බැලීමකි. අම්මා සඳ එළියෙන් පොල් අතු වියයි.

''පොල් අතු වියයි අම්මා
සඳ උකුදිය ඇසුරු කරගෙන''

"සඳ උකුදිය" අපූරු යෙදුමකි. නමුත් සිය බිරිඳට සඳ පිළිබඳ ඇත්තේ අරෝවකි. ඒ සඳ ඇගේ ජීවිතයට බොරු කළ නිසාය.

''කිරි දෙනව කිව්වා
පැණි දෙනව කිව්වා
පුංචි කාලෙදි දාපු වෙට්ටුව
රෑ ගණන් බඩ ගින්නෙ හිටියා
හඳ දිහා බලලම තෙහෙට්ටුව
අම්මා එල්ලිල මැරුණ දවසේ
හඳ මුදුනෙ හිටියේ පැලට කිට්ටුව
මම කට අරින්නෑ කතා කෙරුවොත්
මට නෙවෙයි හඳටයි සවුත්තුව''

බිරිඳට සඳ සම්බන්ධව ඇත්තේ අමිහිරි අත්දැකීමකි. නමුත් මව මියයයි. දැන් පොල් අතු වියන්නේ අම්මා නොව බිරිඳයි. ඒත් සඳ එළියේ ය.

''බිරිඳ පොල් අතු වියනව දැන්
මට හොරෙන් හඳ දිහා බල බල.''

ටිම්රාන් ගේ කවිත්වය හා අපූරු පරිකල්පන හැකියාව මතුවෙන නිර්මාණ ගණනාවක් "ඒ ජෙට්ටෙකේ ගියේ සමන්සිරිමයි" කෘතියේ එයි.

''වෙසඟනුනි නික්මියව් අකුලගන ගම් දොරින
විසාකා සමිතියෙන් රතු නිවේදන ලැබිණ''
(මොක්පුරය ඉක්ම වූ වල් ගෑනු සිත් තොසින)

''තාත්තා වැඩ පෙන්නදො පොළ ළඟ
මැජික් හාවෙක් ඇවිත් ගෙදරට
කැරට් අලයක් කවලා නංගිට
සරුවත්තෙකක් බීලා තිබහට
ආපහු දිව්වාලු කැලයට''
(මැජික් ඇස් හය)

''මහ ඇළයි ලියද්දයි
පුරුද්දපු කාන්දම් කෙනා
තාත්ත ම තමයි
රස පොළොව උරා බිව් කෙනා.''
(කෙනා)

''බත් දාං කත හැකි මං පෙත්
වීදුරු සදිසි දියතල
රින්සෝ දිස්නේ අහසක්
හොඳ ළමයෙක් වගේ මුහුදත්''
(ට්රැෆික් කරපල්ලා)

වැනි තැන්වල ටිම්රාන් කොතෙක් වැඩුනු කවියෙක් දැයි අපට කියා දෙයි.

"ඒ ඇස් පියවෙන්න ඉස්සර" කවිය ශෝකී අත් දැකීමක් අපේ පපු මැද්දට ගෙන එන කවියකි.

''කූඩුවක් හදමු අපි හැමදාම නෑ කළුවර
ප්‍රශ්න එන තරමටනෙ ජීවිතේ ලස්සන''

ප්‍රේමය විවාහය ඇරඹෙන්නේ එලෙසිනි. සියල්ල කැප කිරීම්, දරාගැනීම් වලට යටත්වය. ඉවසා ගැනීම් පූර්ණ වය.

''මැරෙන කල් ඉමු මෙහෙම, ප්‍රේමයක් එච්චර
ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර ''

මේ සියල්ල එක සිදුවීමකින් කෙළවර වේ. ඒ බැඳීම් වල ඇත්ත ස්වභාවයි.

''ඇත්තමයි මං ආදරේ විඳලා නෑ මෙච්චර
තව ගොඩක් දේ එයා කිව්වා
පිළිකාව එන්න ඉස්සර.''

අප මුලින් සඳහන් කළ පරිදිම ටිම්රාන් යනු පියවරෙන් පියවර සිය අනන්යතාව සොයා ගත් නූතන පරපුරේ කවියාය. ඔහුගේ කාව්‍ය අනුභූතීන් , ප්‍රකාශන විදි, පර්යාලෝකයන් මෙන්ම සුවිශේෂම කාරනය වන්නේ කවි බස ඔහුටම අනන්‍ය වීමය. කවියෙකු මේ ශක්‍යතාවන් අනිවාර්යයෙන් අත්පත් කරගත යුතුය. එක හුදෙක් ලිවීමෙන් පමණක් සාක්ෂාත් නොවේ. ඒ සඳහා ශක්තිමත් සමාජ දෘෂ්ටියක් ද ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය ය. නූතන බොහෝ කවීන්ට නැත්තේ ද ටිම්රාන් ට ඇත්තේ ද එයයි.


Top