අතීතයේ වූවේ යැයි කියූ එක්තරා කතාන්දරයක් ප්‍රථම පුරුෂ දෘෂ්ටියෙන් ඉදිරිපත් කරන ළමා සාහිත්‍යයක් ලොව පුරා වූ අතර, ඉන් බහුතරය සුරංගනා කතාන්දර හෝ ජනකතා ලීලය අරක්ගෙන තිබිණි. මේවායේ සිටියේ බොරු කී විට නාසය දිගු වන පිනෝකියෝලාය. වංගෙඩියෙන් කොටමින් අහසින් යන බබායිගා ආච්චීලාය. හාදුවක් දී කුමරියන් ඇහැරවන කුමාරවරුන්ය. පොඩි ළමයින් ගිලින වෘකයන්ය. නොඑසේ නම් අහසින් ගිය ගමරාළලාය. ළමා මනෝභාව විභූෂිත කරවන, ඒ ඒ රටවල සංස්කෘතික ලක්ෂණ නිරූපණය කරන, පෞරුෂ වර්ධනයට දායක වන මෙම කතාන්දර මගින් සිදු වූ කාර්යභාර්ය අමිල වන බව පිළිගැනෙතත්, මේවායින් එක්තරා දුරකට සුදු-කළු ලෙසින් චරිත වර්ග කිරීම, ළමයින් හොඳ ළමුන් කිරීමට උපදෙස් සැපයීම වැනි දෑ ද අරමුණු කෙරිණි. ස්ටාලින් සිය පාලන සමයේදී රුසියානු ජනකතා සහ සුරඟන කතා එකතු කර, අඩුවැඩිය එක්කර පළකර නිතර දැකිය හැකි මුද්‍රිත මාධ්‍යයන්හි පළකිරීමට සැලැස්වීම පිටුපස වූයේද දේශපාලනික අරමුණක් වූ අතර සෝවියට් සංගමයේ මැදිහත්වීමත් සමඟ මෙම කතාවල චරිත වෙනස්වන්නට ගති.
කෙසේවෙතත් මේ හා සමගාමීව ම, කුඩා දරුවන් මූලික වෙමින් ගොඩනැගෙන කතාන්දර ද ළමා සාහිත්‍යයට එක්ව තිබිණි. ඒවායෙහිදී කතාව ගොඩනැගෙනුයේ ළමයා ම චරිතයක් වීමෙනි. අරුම පුදුම යමක් සොයාගන්නේ සුරංගනාවියක හෝ බලය ලත් අයෙකු නොව එම ළමයා ම විසිනි. මෙහිදී කතුවරයා ළමයාට කතාව තුළදී තීරණ ගැනීමට ඉඩ දෙයි. එම තීරණ මත කතාව විකාශනය වෙයි. ඒ අනුව, වීර චරිත හෝ අභිරහස් සොයා යන, කුතුහලය සහිත කතාන්දර මෙන්ම, නව යොවුන් කතාන්දර ද ලියැවිණි. එසේම යථාර්ථවාදී ළමා සාහිත්‍යයක් ද ගොඩනැගිණි. මෙරටදී එය, පිරිමි ළමයෙකු ප්‍රධාන චරිතය වන කෘති ලෙස බහුලව ප්‍රකාශයට පත් වූ අතර, ප්‍රභේද අතලොස්සක් දක්වා එහි යොවුන් සාහිත්‍යය ශානරය විකාශනය විය. එදිනෙදා ජීවිතයේදී ළමුන් මුහුණ දෙන සැබෑ ගැටලු නූතන කෘතිවලට මූලිකව විෂය වේ. මේ වනවිට යථාර්ථවාදී ළමා කෘති සහ නව යොවුන් කෘති වෙනුවෙන් ලේඛක ප්‍රජාව අත්හදා බැලීම් කරමින් සිටිති. නිබන්ධිකා වන්නිනායක, ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර ඇතුළු සීමිත ලේඛක ලේඛිකාවන් පිරිසක් පුරුෂ මූලික සමාජයක ගැහැණු ළමයා ප්‍රධාන චරිතය කරගනිමින් ළමා නවකතා නොහොත් නව යොවුන් කතා රචනා කර තිබේ. මේ ඇසුරට එක්වන මනෝහරී ජයලත්ගේ මැට්ටී පළකරන අනන්‍යතාව කුමක්දැයි මෙතැන් පටන් විමසා බලමු.
: ළමා සපත්තුවට බැසීම
කිසිවකු ගැන නිශ්චය කිරීමට පෙර ඔහුගේ හෝ ඇයගේ සෙරෙප්පු දෙකට බැස ගව් ගණනක් දුර යායුත්තේ යැයි කියමනක් වෙයි. ළමා සාහිත්‍ය රචනා කරන ලේඛකයාත් එසේ විය යුත්තේය. ළමා කෘති රචනාකිරීමේ ප්‍රධාන අබියෝගය නම් ළමයාගේ මනස හැසිරෙන ආකාරය ග්‍රහණය කරගැනීමත්, එය නිර්මාණශීලීව කෘතියට ගැනීමත්ය. අවට සමාජය, පවුල ගැන ඉතා කුඩා දෑ ගැන පවා ළමයා කුතුහලයෙන් පසුවෙන්නෙකි. නිතර ම ප්‍රශ්න කරන්නෙකි. ඊට වැඩිහිටියා දෙන පිළිතුරු මතක තබාගන්නා අතර ම සූදානමකින් තොරව ඒවා යළි ප්‍රයෝජනයට ගන්නෙකි. ආදරය සහ තමාව වැඩිහිටියන් පිළිගැනීම බලාපොරොත්තුවෙන්නෙකි. එසේහෙයින් ලේඛකයා වැඩිහිටියෙකුගේ හෝ උපදෙස් සපයන්නෙකුගේ හෝ ගුරුවරයෙකු සේ දැනුම පොවන්නෙකුගේ ලීලයෙන් කෘතිය රචනාකිරීමෙන් බිහිවන්නේ, උපදේශන ග්‍රන්ථ, විෂයානුබද්ධ ග්‍රන්ථ විනා ළමා සාහිත්‍ය කෘති නොවේ
නොබෙල් ත්‍යාගලාභී යුදෙව් ලේඛක ඉසාක් බෂෙවිස් සිංගර් තමා කුඩා දරුවන්ට ලිවීමට කැමති ඇයිදැයි පැහැදිලි කරන අතර මෙය කේ.කේ. සමන් කුමාර සිය සාහිත්‍ය ශානර වීමංසා කෘතියෙහි උපුටා දක්වා තිබේ. ඒ මෙලෙසිනි.
'පුංචි ළමයි පොත් කියවන්නෙ ඒ පොත් තුළින් තමන්ගෙ අනන්‍යතාවය හොයාගන්න නෙමෙයි. තමන් ගැන තියෙන ආත්ම ලැජ්ජාවෙන් නිදහස් වෙන්නත් නෙමෙයි. පොඩි අයට පොත්වල තියෙන මනෝ විශ්ලේෂණවලින් වැඩක් නෑ. පොඩි අය සමාජ විද්‍යාවල් වගේ දේවල් පිළිකුල් කරනවා. ඔවුන් ඇත්තටම ආස කරන්නෙ රසවත් කතන්දරවලට මිසක් පැහැදිලිකිරීම්වලටවත්, මග පෙන්වීම්වලටවත්, පසු සටහන්වලටවත්, පෙරවදන් හෝ උපග්‍රන්ථවලටවත් නෙමේ. කියවන්න එපාවෙන තරම් කම්මැලි ම කම්මැලි පොතක් කියවනකොට පුංචි ඈයො කිසි බයක් ලැජ්ජාවක් නැතිව, ගනිච්චියකින් තොරව දිගට දිගේ ඈනුම් අරිනවා. ඔවුන් දෙවියන්ව විශ්වාස කරනවා. පවුල, සුරදූතයො, යක්ෂයො, පිසාචයො, තර්ක, විරාම ලකුණු ආදිය ඔවුන් විශ්වාස කරනවා'
මැට්ටී කියැවීමේදී පැහැදිලිව පෙනෙන කරුණ නම් ලේඛිකාව ළමයාව සියලු පැතිවලින් හොඳින් අවබෝධ කර, ඒ සිතැඟි කපා කොටා කිරා මැන ප්‍රාමාණික හැදෑරීමක් කර ලේඛනයට යොමුවී ඇති බවයි. ප්‍රධාන චරිතය වන කුඩා ගැහැණු ළමයාගේ දෘෂ්ටියෙන් රචනා වන අතර, ඇගේ සිතට එන නොනවතින අදහස් දාමය එලෙසින්ම කතුවරිය කෘතියට ගෙන එයි. ඒවා ලිඛිත භාෂාවෙන් සැකසෙන සේ සංස්කරණයට නොයයි. මෙම රීතිය සිරි ගුණසිංහගේ 'හෙවණැල්ල' නවකතාවේ ආඛ්‍යාන රීතිය ම වේ. ළමා කෘතිය බාහිරින් කෙනෙක් ලිව්වා සේ පාඨකයාට නොහැඟෙන්නේත්, ගෑනු ළමයා ම කතාව කියන්නා සේ හැඟෙන්නේත් එබැවිනි. ළමයාගේ මනස ක්‍රියාකරන සැටි පාඨකයාට පෙන්නුම් කළ හැකි බැවින් එය උචිතය. ගැළපෙයි.
පාසලත්, පවුලත්, අසල්වැසියනුත් වටා සිටින චරිත හැරුණුවිට මැට්ටිගේ ආධාරකයා ලෙස ආච්චි පෙනී සිටී. ඈ විටෙක සහන් කසීරගේ ආච්චි ද වන්නීය. විටෙක බබායිගා ආච්චි ද වන්නීය. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ 'අපොයියාවේ' කිරිඅම්මා ද වන්නීය. බොහෝකොටම සිබිල් වෙත්තසිංහගේ සිත්තම්වල සිටින ආච්චී වන්නීය. මේ සියලු ආච්චිලාගේ ලක්ෂණවලින් ඈ සමන්විත වන්නීය. මිනිබිරියට කතාන්දර කියාදෙන්නේත්, ඈ සමඟ සෙල්ලම් කරන්නේත්, ඇය කියනා දේ තේරුම්ගන්නේත්, ආච්චීය. එබැවින් ඈ එක්තරා ආකාරයකින් 'ගෝඩ් මදර්' ආකාරය දරයි.
: වැඩිහිටියන්ගේ ලෝකය සහ කුඩාවුන්ගේ ලෝකය
මේ මැට්ටීට වැඩිහිටි ලෝකය සහ කුඩාවුන්ගේ ලෝකය අතර වෙනස වැටහේ. හොඳ සීරුවෙන් ජීවත්වන බව පෙන්වන, පෙනෙන දේ දෙස කතා නොකරන, රහසින් සියලු දේ කරන කියන, හොඳ නරක අරුම පුදුම ලෙස සීමාකෙරෙන, අවස්ථාවාදී වැඩිහිටි ලෝකය ගැන කුඩා ළමයෙකුට පෙනෙන්නේ කෙසේද? ටොට්ටෝ චංට මෙන් මැට්ටීට ද මේවා පුදුමය දනවන අවස්ථා සිද්ධි වෙයි. ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ 'තැනිතලාවේ පිහිටි කුඩා නිවස' කතා මාලාවේ(ගංගා නිරෝෂිණී පරිවර්තනය කරන ලද) 'කුඩා ළමුන් යනු දැකිය හැකි ඇසිය නොහැකි' අය ලෙස ලෝරාගේ වැඩිහිටියන් ඇයව පාලනය කරන ලෙසින්, මැට්ටීව පාලනය කිරීමට ඇගේ පවුලේ අය තැත්කළද හැකි නොවේ. ඇය එතරම් කුහුලෙනි.
කෙසේවුවත්, ඇය දකින වැඩිහිටි ලෝකය සැදීඇත්තේ, ගුණයහපත් මව්පිය ගුරුවරුන්ගෙන් නොව, තමන්ගේ දරුවා ගැන මිස සෙසු දරුවන් නොතකන, අනෙකුත් ආගම් ගැන සඳහන් කිරීමටවත් අවසර නොදෙන, නිතර දෙවේලේ පාසලට පැමිණෙන, ගුටි දෙන මව්පියවරුන්ගෙන්ය. ශ්‍රී ලංකාවේ කුටුම්භ සංස්ථාවන්හි පුරුෂ කේන්ද්‍රීය සහ ස්ත්‍රී පීඩිත සංසිද්ධීන්ගෙන්ය. අනෙකා ගැන නැති තැන මුසා/කේලම් කියන සහ සිටිනා තැනදී වර්ණනා කරන කුටුම්භ සාමාජිකයන්ගෙන්ය. විභාගයට ගත් ලකුණු විමසමින් මානසික පීඩා පමුණුවන අසල්වැසියන්ගෙන්ය. විෂය නිර්දේශය ම මිස, ළමයාගේ කුසලතා නැංවීමට ඉඩ නොදෙන, ළමුන්ට ප්‍රසිද්ධියේ විවිධ නම් පටබඳින, දෙමව්පියන්ගේ මැසිවිලි මත පාසලේ සංදර්ශනවල ප්‍රධාන චරිත ප්‍රියකරන ළමුන්ට පිරිනමන ගුරුවරුන්ගෙන්ය.
''එයාගේ ඇත්ත නම සමන්ති. දවසක් පුංචි කාලේ සමන්ති වැරදිලා එයාගේ නම සිමෙන්ති කියලා තමා ලියලා තියෙන්නෙ. ටීච එයාට,'සිමෙන්ති? ඒ මොකාද?' කිව්වා. ඊට පස්සෙන්දාත් පොත් බෙදනකොට 'කෝ මේ සිමෙන්ති?' කියලා තමා පොත දුන්නේ. අපි ඊටපස්සෙ කිව්වෙම සිමෙන්ති''
'හරි පුදුම ඉස්කෝලේ'හි ටොට්ටෝ චංගේ පාසලේ ගුරුවරියක එක්තරා සිසුවෙකුට වලිගයක් ඇතැයි පන්තිය ඉදිරියේ කීවිට මුල් ගුරු ඇයට වෙනම අවවාද දුන් සැටි මෙහිලා සිහිවේ. ළමුන්ගේ පෞරුෂයට හානි පමුණුවන මේ ලෝකය සුරංගනා කතාවක් නොව සැබෑ ලෙසම පවතින්නකි. එබැවින් මෙය යථාර්ථවාදී ළමා නවකතාවක් ලෙස හැඳින්වූවාට කම් නැත.
ළමුන් කතාකරන්නේ ඔවුන්ට ඇසෙන ලෙස විනා නිවැරදි වහර නොවේ. එබැවිනි කුඩා කළ ජාතික ගීය ගයද්දී ශ්‍රී ලංකා 'මහතා' ලෙසින් ඔවුන් ගයනුයේ. මැට්ටිගේ යෙහෙළිය රම්‍යාය. ඇය වහරනුයේ 'රම්මියා' ලෙසිනි. පාසලේ ඉංග්‍රීසි ගුරුවරිය ස්වර්ණාය. ළමුන් වහරනුයේ 'ඉස්වර්ණා' ලෙසිනි. වැඩිහිටින් අනුකරණයට යන මේ ගැහැනු ළමයා ඔවුන් කියන ඇතැම් වදන්වල අරුත් නොදැන භාවිත කරන්නට ගනී. මේ සැබෑ ළමයකුගේ ම සැටියි.
'විලිසංගෙ', 'ගං හතම පාලුවීම', 'බලුබල්ලෙක්', 'පතිඋත්තාව', 'සාන්තුගේ ස්ප්‍රීතුගේ නාමෙන් ආමෙන් ජේසු' ඉන් කිහිපයකි. භාග දෙකක් එකතු කිරීමට, මාලා ගෙදරින් පාසලට ආ වේලාව සෙවීමට, ජේමිස්ට කානු කැපීමට ගිය වේලාව වැනි ගණිත ප්‍රශ්නවලදී ඇය ගණිත පොතෙන් එළියට පැමිණ එදිනෙදා ජීවිතෙන් ඊට පිළිතුරු සොයයි. තමන් සමඟ ම තර්ක කරයි.
මැට්ටී ළමා නවකතාව හාස්‍යජනක අවස්ථා මතුකරමින් වුවද, ළමයකුගේ සැබෑ මනෝභාව වෙත පාඨකයා නැඹුරු කරවයි. රසවත්ව කතන්දරයක් ඉදිරිපත්කිරීමේ කලාව දන්නා ලේඛිකාව සියලු දැනුම් පද්ධති බුරුතු පිටින් එහි අතුරන්නට නොයා නිර්මාණයෙන්ම ඒ බව පෙන්නුම් කරයි. කෘතියේ බස, 'බස-බස' ලෙසින් හසුරුවන සුරුකමත්, රටේ ඛේදාන්තමය වැඩිහිටි ලෝකයත් අපව මැට්ටිහි යටිපෙළ කියවීමකට ඇරයුම් කරයි.