නවකතා හා ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් රචනා කර ඇති ජයරත්න වීරක්කොඩි සිය නවතම නවකතාව ‘කටුතියඹරා’ නමින් නොබෝදා එළිදක්වා ඇත. විවිධ පරාසයක පාඨකයන්ට එකසේ රස විඳිය හැකි ‘කටුතියඹරා’සරසවි ප්‍රකාශනයකි.
කතුවරයා පොත ගැන කරන හැඳින්වීම අනුව දෙවැනි රාජසිංහ රාජ්‍ය සමයට අයත් කාල පරාසයේ (1615-1660) ඓතිහාසික පසුබිම පදනම් කොට ගෙන මෙම නවකතාව ලියැවී ඇත. එකල සමාජ සංස්කෘතික හා ආර්ථික පදනම හා බැඳුන පොදුජන ජීවිතයේ පැතිකඩක් නිරූපණය කෙරන අතර එමගින් අදටත් ලාංකික සමාජය තුළ ශේෂවී ඇති පසුගාමි ආකල්ප යාවත්කාලීන කර ගැනීමේ අවශ්‍යතාව ද සනිටුහන් කෙරේ.
ශ්‍රේෂ්ඨත්වයට යටින් සැඟවී ඇති මුතුන් මිත්තන්ගේ අමන කම්, කුහක කම්, හා ජඩකම්වලින් තැළී පීඩාවට පත් සාමාන්‍ය පන්තියේ ගැහැනු මිනිසුන්ගේ ජීවන කතාන්තරය ගැන ඉතිහාස පුවත් තුළ එතරම් දැකිය නොහැකි අතර ඒ පිළිබඳ නිවැදි තක්සේරුවක් කර ගැනීමෙන් වර්තමානයේ ද දැකිය හැකි ඇතැම් පසුගාමී ආකල්ප හා ක්‍රියාකාරකම් නිවැරදි කර ගැනීමට හැකිය. අතීත සම්ප්‍රදාය හා සංස්කෘතික පසුබිමෙන් ශේෂ වූඇතැම් අයහපත් දෘෂ්ටි හා සංකල්ප යාවත්කාලීන කරගැනීමට අපොහොසත් බොහෝ ජන කොටස් තවමත් එම අඳුරු තිමිර පටයෙන් මිදී නැති බව සිදුවෙන බොහෝ දේවලින් පැහැදිලිය. බලවතාගේ ගොදුර දුබලයා වන්නේ කැලෑ නීතියේ පමණක් නොවන බව ඇස් පනා පිට දැකිය හැකි සමාජයකය තවමත් අපි ජීවත් වෙන්නේ. ‘කටුතියඹරා‘ කියන්ට වෑයම් කරන්නේ ඒ කතා පුවතෙන් බිඳක් පමණි යැයි ලේඛකයා සඳහන් කරන්නේ සම්ප්‍රදාය හා සංස්කෘතික පසුතලය තදින් ඇද බැඳ ගත් සමාජයක වර්තමානයේ ද දැකිය හැකි පරායත්තතාව ය.
කතුවරයා එකල සාමාන්‍ය ගැමි පවුලක් වටා ගොඩනගන ජීවන කතාන්තරය තුළ, පවතින සමාජ සංස්කෘතික තහංචි වැටකඩොලු බිඳ දැමීමට වෙර දරන ගැහැණු මිනිසුන්ගේ වෑයම ඛේදවාචකයකින් නිමවෙන අයුරු දක්වයි. ‘කටුතියඹරා’සංවේදී පාඨකයා කම්පනයට පත් කරන කතාවස්තුවකි. ජෝතිය හා හපුමලී මෙහි ප්‍රධාන චරිත දෙක වන අතර සඳා නම් කුලීන යුවතිය ද ඔවුන් හා එක්ව සිය ස්වාධීනත්වය වෙනුවෙන් ජීවන සටනට මුහුණ දීමට වෑයම් කරන අතර එය උඩු ගං බලා පිහිනීමට තැත්කරන ඵල රහිත ව්‍යායාමයක් බව අපට කියා දෙයි. දේශපාලන, සංස්කෘතික සමාජ තහංචි හා ආකල්ප නිසා දිවි පැවැත්ම, ඛේදජනක අවසානයක් කරා ඇදගෙන ගොස් අවසානයේ දී දුක්මුසු ඉරණමකට ලක්වෙන ගැහැනුන් හා මිනිසුන්ගේ චරිත එදා මෙන්ම අදත් සමාජයේ දැකිය හැකි සංසිද්ධියකි.
කටුතියඹරා කතාව රජකතා, ගමකතා ඓතිහාසික කතා ගණයට නොවැටෙන නවකතාවකි. ලේඛකයා වෑයම් කරන්නේ අතීත හා වර්තමාන අත්දැකීම් සමුදායක රූපාන්තරයක් සාහිත්‍ය රසාස්වාදයක් හා ජීවන අර්ථයක් ඇති කරන සජීවී නිර්මාණයක් ලෙස අර්ථ ගැන්වීමට ද යන්න සලකා බැලිය යුතු පැතිකඩකි. නිර්මාණයකදී තමාගේ ජීවන පරිසරයෙන් පරිබාහිරව සිදුකරන වස්තු වර්ණනා මෙන්ම චරිත අවස්ථා ද සම්පූර්ණයෙන්ම සාර්ථක නොවන බව සැබෑය.
සරල ජීවන රටාවකට හුරුවුණ රංහවඩියාගේ පවුල වටා ගෙතෙන ජීවන පුවත එකල පීඩිත ජනතාවගේ ජීවිත අපූරුවට විදහා පාන කැඩපතක් සේ සිතුවම් කිරීමට කතුවරයා පාරිසරික වටපිටාව යොදා ගැනීමට දක්වන ඇල්ම පොත පුරාම දැකිය හැකිය. වැසියන් සිය ජීවන රටාව නොඉඳුල් ස්වභාවික පරිසරය හා සමගාමීව පවත්වාගෙන යාමට දක්වන ඇල්ම හා සමත්කම නූතන සමාජයට කදිම ආදර්ශයක් බව කිව යුතුය. ‘කෙන්දා’ ගොවිතැන් මෙන්ම කැඩුම් බිඳුම් සඳහා වෙදකම ද කරන අයෙකි. රුසිනා සමඟ එක ගෙයි කෑමේ සිරිත අනුව ජීවත්වෙන සේතුවා සහ සේදරා සොහොයුරන් ද ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කර ගනිති. කුලීන පැලැන්තියේ ගැහැනු මිනිසුන්ගේ තාඩන පීඩනවලින් බැටකන ගැහැනුන්ගේ ඉරණම හපුමලී හා පසිඳුගේ චරිතවලින් නිරූපිතය. රංහවඩියාගේ පවුලේ ආරක්ෂකයා ඔහුගේ මව වන හීංකිරීය. ඇය දරුවන්ට හීංකිරිඅත්තා වන අතර අනාගතය ඉවෙන් දෙන් වටහා ගැනීමටත් ඒ අනුව තීන්දු තීරණ ගැනීමටත් සමත් මහත් වූ කළපුරුද්දෙන් ලෝකය දැකීමටත් සමත් ගැහැනියකි.
පවුලේ බඩපිස්සී වන හපුමලී ඇගේ අපූරු රූපසපුව නිසා රාජකීය බලවතෙකුගේ ලිංගික අඩන්තෙට්ටම්වලින් අකාලයේ ජීවිතය අහිමි කර ගන්නා අසරණ ගැහැනියකි. කුලීන කාන්තාවක් වන සඳා ඊට පහත් යැයි සම්මත කුලයක ජෝති සමඟ ඇතිකර ගන්නා පෙම් සබඳතාවය ඛේදවාචකයකින් අවසන් වන්නේ එකල සමාජ ආකල්ප හා කුල තහංචි කොතරම් බලවත්ද යන්න පසක් කරමිනි.
ජන ජීවිතය බලවත් ප්‍රභූ පන්තියේ උවමනාකම් හා පාලනයට යටත් වූ කටුක සීමා බන්ධනවලින් පීඩිත එකක් විය. පහත් කුලවල කාන්තාවන්ට උඩු කය වසා ඇඳුමක් ඇඳ ගැනීම තහංචි වීම වැනි සම්මත තිබුණත් කාටත් අනුගත විය හැකි සමාජ සංකල්ප ද දැකිය හැක. විවාහය නීතිගත රාමුවක ක්‍රියාත්මක එකක් නොව තම තමන්ගේ මනාපය අනුව සිදුවෙන එකඟතාවයක් නිසා සිදුවෙන බැවින් එක්වීම හා වෙන්වීම සරල ක්‍රියාවලියකි. ‘එකගෙයි කෑම’ හෙවත් සහෝදරයින් දෙදෙනෙක් එක බිරිඳක් සමඟ ජීවත්වීම කවුරුත් ඉවසන ලද චාරිත්‍රයක් මෙන්ම එක ස්වාමියෙක් සමඟ බිරින්ඳන් දෙදෙනෙක් සිටීම ද දැකිය හැකිය. ජෝති බිනරී හා සඳා සමඟ එකට ජීවත් වීම ද කාටවත් ලොකු ප්‍රශ්නයක් වුණේ නැත. එහෙත් පිරිමියා හැමවිටම ආධිපත්‍යය තබාගත් බව රුසිනා මරා දැමීමේ සිද්ධියෙන් පෙනේ. ගෘහ ආශ්‍රිත කලමනාකරණයේ දී සහ තීරණ ගැනීමේ වගකීමට කාන්තාවන් මැදිහත් වූ බව හීංකිරීගේ භූමිකාව කියාපායි. බිනරී ජෝති හා සඳා සමඟ එකට ජීවත්වීමට කැමති වීමත් ඒ ගැන කිසිවෙක් සැලකිලිමත් නොවීමත් දක්වන්නේ එය අසම්මත සමාජ ක්‍රියාවක් නොවන සාමාන්‍ය සිද්ධියක් බවය. සඳා නම් දෙවැනි ගැහැනියක් අඹුකමට කැන්දාගෙන එන බව ජෝති බිනරීට කී විට ඇය කලබල නොවී හීන් හිනාවක් පාමින් ‘ඔමලැත්තොට දෙන්නෙක් වැඩි නෑ’ යි කියමින් ජෝතිගේ හිස අත ගෑචේ ඒ නිසාය.(පිට-266)
ආකෘතිය අතින් නම් සැලකිය යුතු නවමු නිර්මාණ රටාවකට යොමු වීමට කතුවරයා උනන්දු වූ බවක් නොපෙනුණත් කතා ශෛලීය නම් අපූරු හැඩ තල වලින් සැරසූ විචිත්‍ර වියමනකි. භාෂා රටාව හා පරිසර වර්ණනා සරල වුවත් උපහැරණ, යෙදුම්, අලංකාර ආදිය කාර්යක්ෂම ලෙස යොදා ගැනීමට වෑයම් කර ඇත. දෙබස් රචනාවේදී කතුවරයා යොදා ගන්නා වචන අවුරුදු හාර සියයකට පෙර කන්ද උඩරට ගැමියන් භාවිතා කළේ යයි අනුමාන කළ හැකි වචන හා උච්ඡාරණ ලතාව ට කොතරම් අනුරූපිද යන්න කෙනෙකුට ප්‍රශ්න කළ හැකි මුත් කතුවරයා ඒ පිළිබඳව බොහෝ සෙවුම් බැලුම් කර ඇති සෙයක් පෙනේ. වසර හාර සියයකට පෙර කන්ද උඩරට ප්‍රදේශය තුළ භාවිත වූ බස්වහරට සමගාමී යයි සැලකිය හැකි ආකාරයට කතාවේ භාෂාව හා ආඛ්‍යන රටාව යොදා ගැනීමට කතුවරයා දක්වන සමත්කම පාඨකයා එම සමාජ වටපිටාවට අනුගත කිරීමට බෙහෙවින් රුකුලක් වී ඇත. චරිතවල මුවගින් පිටවෙන සංවාද රටාවට අනුකූලවන සරල එහෙත් ඕජෝ ගුණයෙන් යුත් ආඛ්‍යාන ශෛලීය ද සිත් ගන්නා සුළුය.
‘ජෝති බක හඬ නඟමින් සිනාසුණේ හපුමලී කියන්නේ ඇත්ත යයි හඟිස්සන්නට මෙනි. ජෝතිගේ එකම නැඟෙණියවන හපුමලීට ජෝති හැබෑවටම ළෙන්ගතුය. ඔවුන් නිතර දෙවේලේ රංඩු සරුවල් කරගන්නා නමුත් එකිනෙකාට දුරුවන්වී සිටීමට ද නොහැක. හපුමලී කරතියාගෙන බැද්දේ, වනාතේ ගොස් ගඩාගෙඩි කඩා දුන් කාලය දැන් පහුවෙලා ගොස්ය.ඉස්සර වාගේ හපුමලී එක්ක පයුරු පාසානෙට දැන් ජෝතිට හිත නොදෙයි. හීංකිරී වගේම අමණ්ඩී සුවඳීගෙන් ද ඊට ඉඩක් නැත.
“ජෝති.... මයෙ පැටික්කා මෙහෙට්ට වරෙන්කෝ. ඕං දැන් උඹෙ නඟා එකී නොදරු කිරිසප්පයෙක් හෙම නෙමෙයි. ඒකී කොටහලු වෙච්ච කිඩැල්ලක් නෙව. ඔඹ ඉස්සර වාගේ ඒකී කොක්කන් ගහගෙන කැලෑ බූටෑවෙ රිංගන්ට යනව එහෙම නෙමේ ඈ... දැං බලාපං ඒකී මී කෙළින ජාමේ වැටකෙය්යා පොහොට්ටක් මෝදුවෙන ගාණට පාට වැටිල පුසුඹ ගහල එන ලකේ. මේ ගං මැංඩියේ ගැටව් ඉතරක් නෙමේ බොල අහල ගං ගොඩඔල එවුනුත් කෙල්ලට ඇහැ මානාගෙන කුරුමානං අල්ලන්ට වලි කයි. එක බඩවැල කඩාගෙන ඔඹ පස්සේ ආපු එකී තමන්ගෙ ඇහැ වගේ රැකගන්න එක මයෙ පැටියගෙ කාරිය ඕං” (පිට-14)
නව කතාවේ ආඛ්‍යාන රටාව හා ශෛලිය නන් රටා හා පැහැයෙන් විචිත්‍ර ගැන්වීමට කතුවරයා දරා ඇති වෑයම බොහෝ දුරට සාර්ථක වී ඇත. ජෝතිලා ජීවත්වූ විවිධ සමාජතලවලට ආවේනික බස් වහර මෙන්ම පරිසර සංසිද්ධීන් ද මැනවින් යොදා ගැනීමට ඔහු සමත් වේ.
‘බිංකරුවල වැටෙන්ට තව හෝරාවක්වත් ගතවෙන එකක් නැතැයි කොළපතන ඇල්ල දිහා බලාගෙන හිටිය ජෝතිට සිතුණි. සුදු පාට සේලයක් සෙලවෙමින් පහළට ඇදහැලෙන්නා සේ අඟර දඟර පාමින් වැටෙන දිය ඇල්ල පැහැදිලි නිල්වන් ගැඹුරු ජල තලාව මත කිඳා බහින්නේ සුදු පෙණ කැටි ඉහිරුවමින් නොනවතින හෝ... හඬක් දෝංකාර නංවමින්ය. අහස උසට නැගි යෝධයෙක් මෙන් සිටින කොඩියාර කන්ද ඇහැ ගැටෙන විට ජෝතිගේ ඇඟ කිලිපොළා යන බවක් දැනේ. කන්ද පාමුල ඇති පුංචි කුමාරිහාමිලාගෙ මන්දිරේ රකින භූතයෙකු මෙන් කොඩියාර කන්දේ හෙවණැල්ල වැටී ඇත.’(පිට-174)
යථාර්ථය විනිවිද සොයා යාමට කතුවරයා විවිධ ශිල්පිය මෙවලම් භාවිතා කරමින් රාමුවෙන් පිට පැන අතුරු මාවත්වල ද ගමන් කරයි. ප්‍රබන්ධ කතාවක ශිල්පීය ලක්‍ෂණ අතර කතා වස්තුව, චරිත හා පසුබිම් නිරූපණය, ආකෘතිය, භාෂාව, ශෛලිය, උත්ප්‍රාසය මතු කිරීම, තේමාව හා සංකේත භාවිතය යන අංග මූලික වේ. මෙම ශිල්පීය මෙවලම් භාවිතය ලේඛකයාගේ පරිචය අනුව දක්ෂ ලෙස යොදා ගැනීම ලේඛනයේ සාර්ථකත්වයට හේතු වේ.
සාහිත්‍ය කෘතියක රසාස්වාදනය මතු පිටින් පැවසෙන කතා ලතාව, භාෂා ව්‍යවහාරය, කුතුහලය හෝ රස ජනනය කරන විශ්මය, හාස්‍යය වැනි නව රස ලැයිස්තුවට පමණක් සීමා නොවන බව කිවයුතු නැත. බොහෝ නවකතා කතාත්දරයක් පමණක් වන්නේ ප්‍රස්තුතයට සීමාවූ කථනයක් පමණක් ඇති නිසාය. එහි අමුතුවෙන් සිතන්නට, හාරා අවුස්සා බලන්නට දෙයක් නැත. චරිත හැසිරෙන්නේ කෙබඳු වටපිටාවකද, ඔවුන්ගේ සිතුම් පැතුම්, ක්‍රියාකාරකම් මෙහෙයවීමට ජීවන වටපිටාව කෙසේ දායක වන්නේ ද යන්න පැහැදිලි නැත. ‘කටු තියඹරා’ කතාව පුරාම මෙම පරිසර සංසිද්ධි සැඟවෙමින්, ඉපිලෙමින් කතා චමත්කාරය හා චරිත උද්දීපනය කිරීමට ශූර ලෙස යොදා ගැනීමට කතුවරයා සමත් වේ.
ඕනෑම තරාතිරමක පාඨකයින්ට කියවිය හැකි සේ රචනා කර ඇති ‘කටු තියඹරා’ අඹු සැමි සබඳතා, ආදරය, ප්‍රේමය හා රාගය ආශ්‍රීත පැතිකඩ දැඩි සංයමයෙන් යුතුව ගෙනහැර දක්වන්නේ විචිත්‍ර බස් වහර, සංකේත හා රූපණ අලංකාර සහිතවය. කතුවරයා පෙම්වතුන් නිරුවත් නොකරයි. ප්‍රේම රංගනයක සම්මත යයි සළකන ක්‍රියාකාරකම් පාඨකයා වෙත දනවන්නේ සංකේත හා සියුම් රූපණ අලාකාර භාවිතයෙනි.
‘එකිනෙකා ළඟින් ඈඳිගෙන සිටින නිසා ඔවුනොවුන් හුස්ම ගන්නා හඬ දෙදෙනාටම ඇසෙන බැවින් හිත්වල ඇති නොසන්සුන් ගතිය දෙදෙනාටම දැනිණ. සඳා වෙතින් නැගෙන සුවඳ ජෝතිගේ හිත මන්මත් කරවන අමුතු එකකි. ඇය ඔහුගේ අතැඟිලි අත ගාමින් සිට සෙමෙන් කොනිත්තා සිනාසුණාය. ජෝතිට ඇගෙන් ඈත්වීමට උවමනාවක් නැතත් අත සෙමෙන් ඉවතට ගත්තේය.’(පිට-166)
‘වනාන්තරයේ නින්නාද වෙන හීන් හුළං සද්දෙ පීරාගෙන කුරුලු ජෝඩුවක් නගන හඬ ගස් වැල් පුරා ගලාගෙන ගියේ තමන් සිටින ලෝකය මායාකාරී සිහිනයක් ය යන සිතුවිල්ල ඔවුන් දෙදෙනා තුළම ඇති කරමින්ය. ආපිට පාරට පැමිණි දෙදෙනාට යා යුත්තේ කුමන දිශාවටදැයි තීරණය කර ගැනීමට ටික වේලාවක් ගත විය.’(පිට-168)
මෙහි කතා නායකයා ‘ජෝති’ මුලින්ම පෙමින් බැඳෙන්නේ ‘සඳා’ නැතිනම් ‘පුංචි කුමාරිහාමී‘ නම් උසස් කුල කාන්තාවක් සමඟින්ය. රූ සොබාවෙන් පිරිපුන් උසස් කුල කාන්තාව කෙරෙහි ලෙංගතුකමක් ජෝතිගේ සිතෙහි ඇති වුණත් එම ප්‍රේමයේ ආරම්භකයා සඳා ය. සිය නායක ප්‍රභූවරයාගේ ලේලිය සමඟ පෙම් සබඳතාවයක් ඇති කර ගැනීම ඊට පහත් කුලයක කෙනෙකුට ඇති වරිග තහංචිය ඉතා බලවත් සේම සඳාටද එය වලංගුය. සිය ජීවිත ආරක්ෂකයා වන ජෝතිට මහත් සේ ඇලුම් කරන මීගස්වත්තේ අප්පෝ වෙනත් ගැහැනියක් ජෝතිට අඹුකමට ලබා දෙන්නේ සම්ප්‍රදායික වරිග තහංචිවලට පිටින් යාමට නොහැකි නිසා මිස ජෝතිගේ කුල වරිග තත්වය නිසා නොවේ යයි පාඨකයාට නොකියා හඟවන බව පෙනේ. ඔහු චිරන්තන සම්ප්‍රදායි මතවාදවලට පිටින් සිතන ප්‍රගතශීලී අදහස් ඇති අයෙක් බව කතාවේ බොහෝ අවස්ථාවල ඉස්මතු වේ. ජෝතිගේ අනපේක්ෂිත මරණයෙන් පසු බිරින්දෑවරුන් දෙදෙනා ජීවිතවලින් සමු ගන්නේ ද මෙවන් පසුබිමක් මතය.
සංස්කෘතික අනන්‍යතාව සහ රටක ඉතිහාසය හා සමාජ, ආගමික ඇගයීම් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමෙන් සමාජ යථාර්ථය විනිවිද දැකීමට සාර්ථක නවකතාකරුවෙකුට හැකිය යන්න ඇතැම් විචාරකයින්ගේ මතයකි. සංස්කෘතික අගැයීම්, සදාචාරය, සමාජය, ආගම සහ පෞද්ගලිකත්වය පිළිබඳ බරපතල ප්‍රශ්න විවෘතව සාකච්ඡා කිරීමට සංස්කෘතිය පිළිබඳ සංකල්පයේ ඇළුණ උදවියට අපහසු විය හැකිය. නමුත් සෑම සමාජයක්ම ඔවුන්ගේ අතීත සංස්කෘතික පදනමේ පරිණාමයක් බව අමතක කළ නොහැක.
කටුතියඹරා නවකතාවේ නවමු වියමන් රැසක විවිධාංග චමත්කාරයක් දැකගැනීමට හැකිය. කතා තේමාව, සන්දර්භය අළුත්ම නොවුණත් එහි පෙළගැස්ම නොසිඳී ගලායන දිය දහරක් සේ විවිධාකාර සංවේදනා ජනිත කරන ආකාරයේ නිමැවුමකි. කතාව ගලායන්නේ විටෙක නිසසලවත් තවත් විටක ගල් කුළු, කඳුරු, බෑවුම් බාධක පසුකරමින් ප්‍රචණ්ඩ ලෙස ගලායන දිය දහරක් ලෙසත්ය. එය කතාවේ නාට්‍යානුසාරී චලිතය තීව්‍ර කරන අතර පාඨකයා ඇද බැඳ ගැනීමට සමත් ශක්තිමත් නොපෙනෙන සියුම් හුයක් බඳු ය. පාඨකයා තදින් බැඳ තබා ගැනීමට හැකිවෙන සේ ඇතැම් සිද්ධි විවරණ බහුරූපේක්ෂ (kaleidoscopic) මානයකට දිගහැරීම සඳහා යොදාගෙන ඇති උපක්‍රම ද සිත් ගන්නා සුළු ය.
“අඩේ තෝ බිංකුණ්ඩා වගේ හැංගිමුත්තං කෙරුවේ මොකොද කියල මට නං ගරා පෙරා ගන්ට බෑ බොල. වලි කිකිළියො රැහකට මැදි උණහම ජොහොරෙ තියෙන කුකුළෙක් නං ඔහොම හොරගල් ඇහිඳින්නෙ නෑ. ඒකා හා පුරා කියල රැළේ වැටෙන්ට හුඳ කොයි නෑම්බිද කියල තටු පුප්පාගෙන කැරැකිල බලනව මිසක්කා? ඔඹෙ හිත හක්කලං කොරපු එක කිකිළියක්වත් ඔය නඩේ හිටියෙ නැද්ද අඩේ?” එතනහාමී තරහෙන් කියා හක්කේ අත තියා ගත්තාය. ජෝති නිහඬව සිටියේ ‘මෙඋන්දෑ මට සමච්චල් කොරනවා’ යි තමාටම කියාගනිමින් ය.’ (පිට-233)
තමා අවට පරිසර සංසිද්ධින් පාඨකයාගේ පරිකල්පනය උද්දීපනය කරන භාෂා ප්‍රයෝග, උපමා අලංකාර, වක්ක්‍රෝක්ති, රූපක විරල ආඛ්‍යානය සාහිත්‍ය කෘතියක් ලෙස සැළකිය නොහැක. කටුතියඹරා කතාවේ භාෂාව සරලය. එහි විචිත්‍ර ධවනිතාර්ථ ඇත. එහි භාෂා යෙදුම් චිත්තරූප ජනනය කරන තෙලි තුඩක් මෙනි. සිය මනෝ භාවයන් මෙන්ම දර්ශනය ද ඉදිරිපත් කරන්නේ එමගිනි.
පොදු සමාජ භාවිතාව සහ කට වහර සිද්ධිවල සජීවී බව උද්දීපනය කිරීමට යොදා ගන්නා උපහැරණ යෙදුම් ආදිය අදහස තීව්‍ර කිරීමට නිතැතින් ගලා එන්නේ භාවිතය හා හුරුව නිසාය.
“තෙළෙඹුව පීදුණ කිඩැල්ල පස්සෙ පිරිමි පරාණ ටැග් ගැහෙන්නෙ ලේ කුවිලට ඉව අල්ලන කූඩැල්ලෝ වගේ බොල. ” (පිට-12)
“අඳෝ.. අපූරුයි.. කක්කොට හිලට වතුර ගලන්නැහේ මෙහෙමත් තිපාසයක්.. හැබෑට මොකක් උණාද බොල?” (පිට-25)
“ඒකා තිගෙ අංගපුලාවට වහවැටිල තෝ වැළමණ්ඩක් හේසූප්පු කොරල විසික්ක කොරන්ට හදන්නේ.. ” (පිට-68)
“පොළොංගු වෙළුන් දමන ගිනි මද්දහන් ජාමේ ඈ යන්ට හදන ගමන සේදරාට ඇල්ලුවේ නැත. ” (පිට-83)
“මට උදේ හිට බිං නැඟූං හාපු මී ගොනෙකුට වාගෙ තෙහෙට්ටුයි හීංකිරි අත්තම්මේ. ” (පිට-91)
පවතින සමාජ වටපිටාව කැඩපතක් සේ ප්‍රතිබිම්බනය කරමින් යොදා ගන්නා උපහැරණ හා කියමන් චරිත ගොඩනැගීමට උපයෝගී කරගන්නා මෙවැනි යෙදුම් ආඛ්‍යාන රටාව වර්ණවත් කරයි.
සාහිත්‍ය නිර්මාණයකින් අප බලාපොරොත්තු වන්නේ කථන ශෛලියේ වදන් වැලකින් සිදුවූ දෙය වමාරා දැමීම නොවේ. සාහිත්‍ය නිර්මාණයක ඊට වැඩි යමක් භාෂා ශෛලිය, යෙදුම්, රස ජනනය, අවස්ථා නිරූපණය ආදියෙහි තිබිය යුතුය. විවිධ විචාර සංකල්ප අතරින් අදාල සාහිත්‍ය කෘතිය විචාරකයාගේ දෘෂ්ටිකෝණය අනුව විග්‍රහ කිරීම සාමාන්‍ය ක්‍රමයයි. බොහෝ විට එහි දක්නට ලැබෙන්නේ, කතුවරයාගේ පරමාර්ථය විග්‍රහ කිරීම වෙනුවට විචාරකයාට අවශ්‍ය වෙනත් කතිකාවතක් නිර්මාණය කිරීමය. එහෙත් විචාරයේදී සැළකිය යුතු සම්මත පොදු ලක්ෂණ මගහැර යාමට විචාරකයාට නොහැකිය.
චරිතවලට අදාල සම්බන්ධතා, යොමු හා හෝඩුවාවන්, එක් එක් චරිතවල කාර්යභාරයන් හා වැදගත්කම නිරීක්ෂණය කිරීම වැදගත්ය. මෙම තත්ත්වයන් චරිතවල සමස්තය අනුව සලකා බලා කියන්නාට දක්වන්නේ හෝ නොදක්වන්නේ මොනවාද? අනෙකුත් වරිත ඔවුන් ගැන හා අනෙක් චරිත ගැන කියන්නේ මොනවාද යන්න වැදගත්ය. මෙම කරුණු ධාරණය කිරීමට කතුවරයා යොදා ගන්න ආඛාන උපක්‍රම අතර අභිදානය, කුතුහලය, උපමා අලංකාර, රූපික පරිසරය, වටපිටාව සංකේතවාදය (Symbolism) ඉන් සමහරක් වන අතර එවැනි සංකල්ප කටුතියඹරා කෘතියේ සැලකිය යුතු මට්මකින් භාවිතා කර ඇත.
‘කටු තියඹරා’ කතාව පාඨකයා අන්තෝ ජටා බහි ජටා පැටලිල්ලකට පත්කරන කතාවෙන් බාහිර ආකෘතිමය හැඩගැන්වීම් යොදා ගෙන නැති නොනැවතී ගලායන ආඛ්‍යානයක් නිසා පාඨකයා වෙහෙසට පත් නොකරන වියමනකි.
කතා වස්තුව ගොඩනැඟීමේ කිසියම් විචල්‍යතාවක් කතුවරයාට තිබුණා ද යන්න ඇතැම් ස්ථානවලදී දැකිය හැක. සිද්ධි ගැළපීම හා සිද්ධිවල අනුක්‍රමය පිළිබඳ ගැටලු දැකිය හැක්කේ අවශ්‍ය ප්‍රමාණයට වඩා පසුබිම් නිර්මාණයට කතුවරයා වැඩි ඉඩක් වෙන් කිරීම නිසා විය හැකිය. එසේම අවස්ථා හා සිද්ධි නිරූපණය ප්‍රමාණවත් නොවන ස්ථාන ද දැකිය හැක. කෙසේ වෙතත් අතීත හා වර්තමාන සමාජ ව්‍යුහය වසාගෙන ඇති පසුගාමී සමාජ ආකල්ප හා ඊට තුඩුදුන් සංස්කෘතික සම්ප්‍රදායේ අමනකම් හා විචිත්‍රත්වය පිළිබඳ අපූරු වියමනක් ලෙස ‘කටුතියඹරා’ හැඳින්විය හැක. පාට, කුලක හා හිතවත්කම් නොසලකා මැදහත් ප්‍රබුද්ධ විචාරකයින් කතුවරයා තවත් උනන්දු කිරීමට ඉදිරිපත් වීම වැදගත්ය.