2016 වසරේ දී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් මෙහෙයවනු ලැබූ වැඩමුළුවකට සහභාගිවීමේ අවස්ථාව උදා විය. එම වැඩමුළුවේ දී 2025 වසර වන විට හෝ යුද හමුදාවක් නොමැති ලංකාවක් බිහි වෙන්නේ නම් ඒ සඳහා කැමති අය එක් පසෙකටත් අකමැති අය අනෙක් පසටත් වන ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පැවසුවේ ය. වැඩමුළුවට සහභාගි වූ 28ක් හෝ 30ත් පමණ වන පිරිස අතුරෙන් ‘යුද හමුදාවක් අනවශ්‍යය ය’ යන අදහසට පක්ෂපාති වූයේ මා ඇතුළු සිවුදෙනෙක් පමණි. ඒ අතර නදී වාසලමුදලි සහ කුමාරි කුමාරගමගේ සිටි බව මතකයේ රැඳී තිබේ. අනෙක් පුද්ගලයා කවුද යන්න අමතක ය. එදින මට හැඟුණේ පීඩිතයන් වන අපි පීඩනයට කෙතරම් ළැදියාවක් දක්වන්නේ ද යන්න ය.
ඉහත සිදුවීම සටහන් කරන්නට සිත් වූයේ මිගාර බමුණුසිංහ කවියාගේ අභිනව කාව්‍ය කෘතිය වන ‘‘සිස්ටමික් ඇස් අග’’ කාව්‍ය සංග්‍රහයේ එන මතු දැක්වෙන නිර්මාණය රසවිඳීමෙන් ඉක්බිතිව ය.
අරගල භූමියේ අරගලය
එක වර ම රෑ දිවා නොබලා
අපට නියෝග ලැබෙනවා
බැට්න් පොලු හෙල්මට් ගනිල්ල
මහ හඬින් අණ කරනවා
යුනවර්සිටි කොල්ලන් ඉදිරියේ
කඳුළු ගෑසුත් ගහනවා
මල්ලියේ ඈතට යමල්ලා
රබර් උණ්ඩෙට රිදෙනවා
උගුර ලේ රස නොඉවසාගෙන
කියන දේවල් ඇහෙනවා
කැරැල්ලක් ගැන නොදත් උඹලට
කැරලිකාරයො කියනවා
රටට ප්‍රවෘත්ති බෙදන ඈයොත්
අපහාස දොස් තියනවා
බැට්න් පොල්ලෙන් ගහන ගානට
මටත් හරියට රිදෙනවා
රස්සාව අතහැර දමා මට
යන්න බෑ මම දන්නවා
එන්න කැම්පස් සිහින දකිනා
නංගියෙක් මට ඉන්නවා...
මෙම නිර්මාණය කාව්‍යාත්මක ගුණය අවම නිර්මාණයක් බව පළමුවෙන් ම සඳහන් කළ යුතු ය. කවියා මෙම නිර්මාණය ඉදිරිපත්කිරීමේ දී උපස්තම්භක කරගන්නා වදන් කාව්‍ය නිර්මාණයක රස ජනනය නොකළ ද සමස්ත නිර්මාණය කැටිකර ගත් විට එතුළින් ඉදිරිපත් කෙරෙන සමාජ දේශපාලන වපසරිය බැහැර කළ නොහැකි ය. මෙම නිර්මාණය විමංසනයට ලක් කෙරෙන්නේ ද එකී පසුබිම මත පිහිටා මිස පූර්ණ කාව්‍යෝක්තිමය ගුණය සලකා නොවේ. නමුදු කවියා තව දුරටත් ඉවසා මෙම නිර්මාණය සංස්කරණයට ලක් කළේ නම් යට කී දුර්වලතාව මගහරවා ගත හැකිව තිබුණි.
කෙසේ වුව ද පීඩිතයා පීඩනයට ලක් කිරීම සඳහා පීඩකයා භාවිත කරන්නේ පීඩිතයා ම බවට මෙම නිර්මාණය තුළින් විද්‍යමාන කෙරේ. පීඩිතයා මර්දනයට ලක් කරන පීඩිතයා කෙතරම් පීඩනයකට ලක්ව ඇති ද යන්න අවසන් දෙපදයෙන් පිළිබිඹු කෙරේ. විශ්වවිද්‍යාල සිසු ප්‍රජාවට මතු නොව විවිධාකාරයේ අසාධාරණත්වයට එරෙහි අරගල කරන පීඩිත ජනතාව මර්දනයට ලක් කරන මෙවන් පීඩිතයෝ අනන්තවත් සිටි හැකි ය. එය මහ පොළොවේ යථාර්ථය යි.
මෙම නිර්මාණයේ වඩාත් උත්ප්‍රාස ජනක අස්ථාව වන්නේ ‘කැරැල්ලක් ගැන නොදත් උඹලට - කැරලිකාරයො කියනවා’ යන දෙපදය යි. සැබවින් ම මෙසේ වීදි සටන්වලට බට විශ්වවිද්‍යාල සිසු ප්‍රජාව අතුරෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘‘කැරැල්ල’’ යනු කුමක්දැයි දැන සිටින අය කොතෙක් සිටිති ද යන්න කවියා ප්‍රශ්න කරයි. එමෙන් ම කිසිදු වගවිභාගයකින් තොරව හුදු ‘සිද්ධි’ එකක් හෝ කිහිපයක් ‘පුවත්’ ලෙස ඉදිරිපත් කරන ජඩ මාධ්‍ය නිරුවත ද ඉතා සියුම්ව ඉදිරිපත් කරන්නට කවියා සමත් වී ඇත.
පවතින ක්‍රමය තුළ මාධ්‍ය සහ මාධ්‍යෙව්දියා යනු පරිපූර්ණ ලෙස ම මාධ්‍ය සදාචාරය රැකිය නොහැකි, හුදු මාධ්‍ය ආයතන වෙනුවෙන් කුලියට ලියන, ඡායාරූප ගත කරන සහ වීඩියෝ ගතකරණ කුලීකරුවන් පිරිසක් පමණක් බව මේ වන විට ප්‍රත්‍යක්ෂ වී හමාර ය. මතු දැක්වෙන නිර්මාණය එකී පසුබිම ඉතා මැනවින් නිරාවරණය කර ඇත.
හසු නොවුණු පිංතුරයක්
සුදු ඇඳගෙන සිනා සලා
කේසර හඬ දිදී
ප්‍රතිපත්තිය ගරු කරලා
උන් සටනට වදී
හෙට දවසට මං තනලා
අපේ ඇසින් මිදී
මැති සබ ඉල්ලං ලැබිලා
මී වදයක් බඳී
ඒවා ඇස් දෙකෙන් බලා
කැමරාවට වැදී
මාධ්‍ය බැජ් එක ගහලා
ඇත්ත සොයා නොදී
නවයුගයක පුරසාරම
පවසන මොහොතෙ දී
හොඳම කෝණයක් මානං
මගෙ තාත්ත ඉඳී
කැමරාවට විතරක් ම ඇහැරිලා
ඉන්න දෙන්න
ඔයා ඇහැ පියාගන්න
රෙකෝඩරේ විතරක් ඔන් කරන්න
කන් හයියෙන් වහගන්න
කථකයා සිය අදහස ඉදිරිපත් කරන්නේ අන් කිසිවකුට නොව සිය පියාට ම ය. මාධ්‍යවේදියකු ලෙස සේවය කරන පියා දේශපාලකයාගේ සහ දේශපාලනයේ නිරුවත දුටුව ද එය සමාජය වෙත ප්‍රදර්ශනය කරන්නට හෝ ලියා දන්වන්නට ඔහුට ඇති නොහැකියාව ඔහුගේ දුර්වලතාවක් නොව බව කථකයා පවසයි. මාධ්‍යවේදියා සියලු සංසිද්ධි දැන සිටිය ද ඔහුට සිදුව ඇත්තේ ‘නරක’ වසා දමා සමාජය ‘හොඳ’ යැයි අනුමාන කරන පාර්ශ්වය පමණක් ඉදිරිපත් කිරීම ය. එසේ නොකළ හොත් ඔහුට ‘මාධ්‍යෙව්දියකු’ ලෙස කටයුතු කළ නොහැකි ය. කවියා එය වඩාත් නිවැරැදි සහ පැහැදිලි ලෙස විවරණය කරන්නේ
කැමරාවට විතරක් ම ඇහැරිලා
ඉන්න දෙන්න
ඔයා ඇහැ පියාගන්න
රෙකෝඩරේ විතරක් ඔන් කරන්න
කන් හයියෙන් වහගන්න
යනුවෙන් සිය පියාට පවසමිනි. මෙම නිර්මාණයේ ද පෙර නිර්මාණයේ මෙන් ම කාව්‍යෝක්තිමය ගුණය ඉතා අවම ය. නමුදු ඔහු ප්‍රස්තුත කරගන්නා අනුභූතිය සමාජයේ තවත් අඳුරු පැතිකඩක් කරා පාඨක ප්‍රජාවගේ මනස යොමු කරන්නට ඉවහල් කරගෙන ඇත.
ලොව සියලු මිනිස් ජීවීන් මතු නොව සත්ව වර්ගයෝ ද (ඕපපාතික හැර) මෙලොවට බිහිවන්නේ එක ම ආකාරයෙනි. ඒ අතුරෙන් ද මිනිස් ජීවින් යනු සුවිශේෂි ය. කෙතරම් සුවිශේෂී වූ නමුදු මෙලොවට ජනිත වන මිනිස් ජීවියා මිනිසුන් අතරට එක් වූ මොහොතේ සිට ඔහු හෝ ඇය: ජාති, ආගම්, කුල, වර්ණ, දුප්පත් සහ පොහොසත් ලෙස බෙදා වෙන් කෙරේ; ඔහු හෝ ඇයට ‘ඔහු හෝ ඇය’ ලෙස ජීවත් වීමේ අයිතිය උදුරා ගැනේ; ඔහුගේ හෝ ඇගේ ජීවිතය බාහිර ලෝකයට අවශ්‍ය ලෙස සකස් කෙරේ. මෙකී ක්‍රියාකලාපය කෙතරම් අසාධාරණ, අයුක්ති සහගත ද යන්න මතු දැක්වෙන නිර්මාණය තුළින් ස්ඵුට කෙරේ.
තැපැල් කන්තොරුවේ ෆාතිමා
ජීවිතේ බර ලියුම් කවරයකට දමා
රෙජිස්ටර් මුද්දර ගැසූ
මහප්‍රාණ ඇඩ්‍රස්
රාමසාන් සඳටත් වඩා
පැහැදිලි අකුරෙන්
රිසිට් එකේ ලියන
තැපැල් කන්තෝරුවෙ ෆාතිමා
පොලිස් රාලහාමි දඩ කොළය දුන් විට
හදාගත් මුස්පේන්තු මුහුණ
වෙනස් කරන්නෙ ම
ඔබේ ඔය හිනාවයි ෆාතිමා
පුරුද්දට හිනා වුණාට හැමදාම
උඹයි මමයි අතර පෙනෙන
කුරානය තරම් සක්වළක දුර
හේතුපල දහම තරමට ම
සරලයි ෆාතිමා
මුහුණතින් විනිවිදින හදවත
නුඹවත් නොදන්නා
ජිහාද් තරුවක් ද ෆාතිමා
පන්සලයි පල්ලියයි
නොපෙනෙනා ලෝකයක
උඹේ හිනාව
තවත් ලස්සනට ඇති ෆාතිමා
කෙතරම් විශ්වාසවන්තව ඇසුරු කළ ද, කතා කරන භාෂාව හෝ අදහන ආගම නමැති පදනම් මත පමණක් ම මිනිසුන් කෙරෙහි මිනිසුන් සැක උපදවාගන්නේ ය. එමෙන් ම කිසියම් භාෂාවකට අයත් වදනක සැබෑ අරුත නොදන්නා හේතුවෙන් ම අනෙකා (විශේෂයෙන් ම මුසල්මානු මිනිසා) සැක කිරීමට සිංහල බෞද්ධයෝ මතු නොව වෙනත් ආගමිකයෝ ද පෙළඹි සිටිති. කවියා එය සිය නිර්මාණය තුළට ඉතා සියුම්ව බහාලන ආකාරය බලන්න.
මුහුණතින් විනිවිදින හදවත
නුඹවත් නොදන්නා
ජිහාද් තරුවක් ද ෆාතිමා
මෙහි දී ‘ජිහාද්’ නමැති වදන කවියා යොදාගන්නේ අදාළ වදනේ සැබෑ අරුත පිළිබඳ අවබෝධයකින් ද අනවබෝධයකින් ද යන්න අපැහැදිලි වුව ද ඔහු යොදන්නේ සාම්ප්‍රදායික අරුතකින් බව පැහැදිලි ය. මන්ද ජිහාද් යනු බියකරු අදහසක් දනවන වදනක් නොවේ. නමුදු මුස්ලිම් ප්‍රජාව කෙරෙහි සැක උපදවන අනෙක් ජනයා මෙම වදන අරුත් ගන්වාගෙන ඇත්තේ වැරැදි ආකාරයකට ය. නිර්මාණය තුළින් විශද කෙරෙන්නේ ද එකී සැකය බව පැහැදිලි ය.
එසේ වුව ද කථකයා යථාවබෝධ සහිත පුද්ගලයෙක් බව ද මතු දැක්වෙන කව් පද සතර සාක්ෂි සපයයි.
පන්සලයි පල්ලියයි
නොපෙනෙනා ලෝකයක
උඹේ හිනාව
තවත් ලස්සනට ඇති ෆාතිමා
මෙහි දී කවියා ව්‍යංගයෙන් පවසන්නේ කුමක් ද...? එනම් ආගමික වශයෙන් බෙදී වෙන්වී නොසිටියේ නම් ෆාතිමාට මෙන් ම තමාට ද අවංකව එකිනෙකා සමග සිනාසෙන්නට හැකිය යන්න නොවේ ද...? එකිනෙකාගේ අදහස් බො හදාගැනීමට පහසු වන බව නොවේ ද...? එකී යථාර්ථය සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කිරීම නිර්මාණකරුවකුගේ මෙන් ම නිර්මාණකාරියකගේ වගකීමක් නොවන්නේ ද...?
ලෝකයේ දියුණු යැයි පිළිගන්නා රටවල් හැර අනෙක් බොහෝ රටවල ජාති, කුල ආගම් වශයෙන් පමණක් නොව ඒ ඒ පුද්ලයා නිරත වී සිටින රැකියාව අනුව ද අදාළ පුද්ගලයන්ට වෙනස් ලෙස සලකයි. ලංකාවේ තත්වය ද ඊට වෙනස් නොවේ. නගරසභාවේ කසළ එකතු කරන්නාගේ සිට මත්ස්‍ය වෙළෙන්දා දක්වා වූ සියලු දෙනා වෙත සමාජය සලකන්නේ වෙනස් ම ආකාරයෙනි. නමුදු එවන් මිනිසුන්ගේ ජීවිතාභ්‍යන්තරයට එබී බලන්නට කිසිවකු යත්න නොදරති. එසේ කරන්නේ නම් ඒ නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක ම පමණි.
‘‘සිස්ටමික් ඇස් අග’’ කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත ‘‘කඩල කරත්ත’’ නමැති නිර්මාණය ද එබඳු නිර්මාණයකි. මෙම නිර්මාණය රස විඳි සැණින් මට සිහිපත් වූයේ යනුෂා ලක්මාලි කිවිඳියගේ ‘‘කුණු’’ නමැති නිර්මාණය යි. එම නිර්මාණයේ ද නගරසභාවේ සේවයේ නියුතු කසළ එකතු කරන මිනිස් ප්‍රජාව වෙත මානුෂික බැල්මක් හෙළන්නට කතුවරිය සමත්වන්නී ය.
කඩල කරත්ත
තිත්ත මීවිතක ඇත්ත රස බලන්නට
පෙරෙත්ත කරන හදවත් සඟවන්
ගෙදර යයි කඩල කරත්ත
බදු වැඩි එතනෝල් වඩිය
කටකාරන ගතිය වැඩිය
ලාම්පු තෙල් දැල්ලෙන් උණුසුම්ව
කටගැස්ම බෙදයි කඩල කරත්ත
ලාබ සිල්ලර අඩුවැඩිය
පුංචි සිලි කවරයේ එල්ලන්
බාගෙට වහන මාළු ලැල්ල ඉවකර
මලානික පන්දම් එළියෙන්
ගෙදර යයි කඩල කරත්ත
ඉතුරු වුණ කඩල ටික
පුංචි බඩවල් තුනකට
ජිවිතේ කියා දෙන්න
හොඳට ම ඇතැයි සිතමින්
ගෙදර යයි කඩල කරත්ත
දූවිලි අහස අස්සෙන්
දිලිසෙන තරු අකුරු දැක දැක
කණිස්ටෙ ගාව නැවතී
හිනාවෙයි කඩල කරත්ත
තිත්ත මීවිතක ඇත්ත රස බලන්නට
පෙරෙත්ත කරන හදවත් සඟවන්
ලහි ලහියෙ ගෙදර යයි
කඩල කරත්ත
මෙම නිර්මාණයේ පළමු කව් තෙපදය ම තැබෑරුම් ඉදිරියේ කඩල විකුණන මිනිසකුගේ ජීවිතාභ්‍යන්තරය මැනවින් පිළිබිමු කරන්නට සමත් වී ඇත. අනතුරුව කවියා ප්‍රකට කරන්නේ මත්පැන් තුළ ‘කට කාරන ගතිය’බහුල ලෙස දැනෙන්නේ කුමන හේතුවක් නිසා ද යන්න ය.
ඉනික්බිති කවියා කඩල කරත්තකරුවාගේ ජීවිතයේ අඳුරු අහුමුලු පාඨකයා ඉදිරියේ ප්‍රදර්ශනය කරයි. එහි වඩාත් සංවේග නක අවස්ථාව වන්නේ අඩු මුදලට මාළු ග්‍රෑම් 500ක් හෝ මිල දී ගත හැකි යැයි මිනිස්සු විශ්වාස කරන මොහොතේ ද කඩල කරත්තකරුවා සතුව ඊට සරිලන වත්කමක් අහිමි වී තිබීම ය. එහි දී කවියා කඩලකරත්තකරුවාගේ හදවතේ හැඟීම් උද්දිපනය කරන්නට කදිම වක්බිණුමක් උපස්තම්භක කරගෙන ඇත. එනම් ‘මලානික පන්දම් එළියෙන්’ යන්න ය. සැබැවින් ම මෙලෙස මලානික වී තිබෙන්නේ පන්දම් එළිය නොව කඩල කරත්තකරුවාගේ සිතුවිලි ය. ඒ, යට සදහන් කළ ලෙස මාළු ලෑල්ල වසා දමන මොහොතේ අඩුමිලට අලෙවි කරන මාළු ග්‍රෑම් 500ක් හෝ මිලදී ගැනිමට ඔහු අපොහොසත් වන බැවිනි.
කඩල කරත්තකරුවා දරුවන් තිදෙනෙකගේ පියෙකු බවත්, ඒ දරු තිදෙන රාත්‍රී ආහාරයට ගන්නේ ඉතිරි කඩල ප්‍රමාණය බවත් කවියා ඉතා සංවේදීව කියා පායි. ඉනික්බිති කවියා ව්‍යංගාර්ථයෙන් ඉදිරිපත් කරන්නේ කඩල කරත්තකරුවාගේ අධ්‍යාපන මට්ටම ය.
භාවිත භාෂා ව්‍යවහරයෙන් ඉදිරිපත් කළ ද මෙම කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත නිර්මාණ අතුරෙන් මා වඩාත් ම කම්පනයට පත්කළ ‘කාව්‍ය නිර්මාණය’ ද ‘කඩල කරත්තය’ යි.
යට විවරණයට ලක් කල නිර්මාණ කිහිපය හැරුනු විට: ‘‘පරණ කොපි පොත’’, ‘‘තාම කියවන්න බැරි වුණ පොතක්’’, ‘‘නුඹ තාමත් නුතන ද? ’’, ‘‘අද ඇගේ ලෝකය - හෙට? ’’, ‘‘ඔව් ඒක කැස්සක්’’, ‘‘මව් මරා උපන් කුමරා’’, ‘‘ඇඟ අඩු වුණොත් අහිමි වෙයි රස්සාව’’, ‘‘යන්න යමු දැන් හේමමාලී’’ සහ ‘‘රෑ මල්’’ යන නිර්මාණ ද මගේ නොමඳ වින්දනයට පාත්‍ර විය.
කෙසේ වුව ද කවියාගේ ‘‘සිසිර සඳ ළං වූ දිනේ සිට’’ කාව්‍ය සංග්‍රහයට වඩා මෙහි කාව්‍යාලංකාර අවම බවත්, මවිසින් විමංසනයට ලක් කළ සහ මගේ වින්දනයට පාත්‍ර වූ නිර්මාණ මතු නොව අනෙක් බොහෝ නිර්මාණ ද තව තවත් සංස්කරණය වී ඒවායේ කාව්‍යාත්මක ගුණය පුළුල් කළේ නම් වඩාත් අගනේ යැයි පැවසිය යුතු ම ය.