මානුෂිය හැඟීම්, ආශාවන් හා චර්‍යාවන් යනාදිය ශිෂ්ටත්වය උදෙසා යම් සීමාවන් තුළ රාමු කරන්නට මිනිසා පෙළඹෙයි. ශිෂ්ටත්වය යනු එය යැ යි ප්‍රකාශ කරන්නට ද මිනිසා පෙළඹෙයි. එහෙත් සංස්කෘතික ශිෂ්ටකරණය නම් පෙරණය මගින් එසේ රාමුගත කරන්නට අපොහොසත් පුද්ගල මනස් ද ඇත. විශේෂයෙන් ලිංගික විෂයයෙහි දී මනුෂ්‍ය චර්‍යා සහ ආශයන් එසේ රාමුගත කිරීම අපහසුය. එහෙත් සම්මත රාමු බිඳීමේ බිය සහ සමාජ අපවාදයේ භීතිකාව හේතුවෙන් සිය ආශයන් සඟවා කටයුතු කරන්නෝ බහුලය.
සමලිංගිකත්වය, එසේ සඟවාගනු ලැබූවකි. බොහෝමයක් රටවල සමලිංගිකත්වය නෛතික වුව ද ලංකාව තුළ එය පෙර අප කී පරිදි එය ශිෂ්ට නොවන අශිෂ්ටත්වයකැයි ප්‍රකට ය. එබැවින් සමලිංගික ආශයන් සහිත වූවන් ට සිය ආශය තෘප්ත කරගැන්මට කිසිඳු ඉඩක් නැත.
ස්ත්‍රියකට ස්ත්‍රියක් කෙරෙහි ප්‍රේමාසක්ත විය නොහැකිද? පුරුෂයෙකුට පුරුෂයෙකු කෙරෙහි ප්‍රේමාසක්ත විය නොහැකි ද? එවන් බැඳීම් තුළ ප්‍රේමය නොපවතී ද? යනාදී මෙවන් පැනයන් ඇසීම පවා ලංකාව වැනි රටක සමලිංගික හංවඩුව වැදීමට හේතු ය. එබැවින් එවන් ආශයන් ඇත්තෝ ඒ ආශයන් රහසින් සංතර්පණය කරති. විඳිති.
එහෙත් යශෝට හෝ ෆෙයිත් ට එවන් බාධාවක් නැත. ඒ ඔවුන් ජීවත් වූ බර්න් නුවර එවන් දෑ සඳහා කිසිඳු බාධාවක් නොපැවති බැවිනි. එබැවින් යශෝ ද ෆෙයිත් ද අපමණ වූ ප්‍රේමයේ මිහිරි විඳුම් විඳි සමලිංගික පෙම්වතියන් යුවලකි. ඔවුන් අපට මුණ ගැසෙන්නේ මුතුමුදලිගේ නිශ්ශංක ලියූ " ත්‍රිත්ව " නම් ප්‍රබන්ධ නවකතාවේ ය.
පුද්ගල ජීවිතය යනු නිදහස් භුක්තියක් නම් ඒ නිදහස අනෙකාට හානියක් නොවන සේ විඳීමට නොහැකිවන සේ සංස්කෘතිය තුළින් සීමා කිරීම සාධාරණ ද? නැත. එය සාධාරණ නැත. එසේ සිරගත කළ සිතුවිලි තුළින් වන්නේ මානසික පීඩාව හිස ද හිත ද රුවාගෙන රහස් ජීවිත ගත කිරීමට සිදුවීමය. එහෙත් එය එසේ නොවන පරිසරයක එවන් හැඟුම් මොනතරම් සුන්දරව විඳිය හැකි ද?
" ජීවිතය කියන්නෙ රහස් ගොඩක් හංගගෙන ජීවත්වෙලා මැරිලා යන එක නෙමේ ලුසී. මගේ ජීවිතේ රහස් නෑ. තියෙන හැම රහසක් ම මට හෙළිකරන්න පුලුවන්. මම ලෙස්බියන්"
යශෝ ගේ උක්ත ප්‍රකාශය ම සමස්ථ නවකතාවේ සාරයය යනුවෙන් ප්‍රකාශ කිරීමට හැකිය. ලෙස්බියන් වීම අනෙකාට කරදරයක් නොවන බැවින් රහස් ජීවිතයක් ගෙවීම අවැසි නැත. එබැවින් යශෝගේ කීම සර්ව සාධාරණය.
දැන් ඔබට ප්‍රශ්නයක් තිබෙනු නො අනුමානය. මන්ද සමලිංගිකත්වය යනු වරදක් ද, මානසික ආබාධයක් ද යැයි ඔබ නිශ්චය කර ඇතුවා විය යුතුය. එහෙත් නවකතාව පුරාවටම යශෝ - ෆෙයිත් තුළින් නිරූපණය වන්නේ ම එය එසේ නොවන්නක් බවය. කිසිවෙකුට හිරිහැරයක් නොමැති නම් එයින් සමාජයට ඇති විය හැකි ප්‍රශ්නයක් නොමැති නම් එය වරදක් යැයි සම්මත කිරීම සාධාරණ නොවන්නකි.
මීළඟට කතුවරයා අපට යශෝ - ෆෙයිත් ගේ ලෙස්බියන් බන්ධනය කිසිඳු නරක බැඳීමක් නොවන වග තහවුරු කිරීමටත් එය අසාමාන්‍ය ලිංගික ආබාධයක් නොවන බව ප්‍රකට කිරීමට අප හමුවට තවත් චරිතයක් ගෙන එයි. ඒ මාචෙලෝ ය.
මාචෙලෝ ද සම්මත සමාජයට පටහැනි ආශයකින් යුක්තය. අපි එයට "රතිදර්ශ කාමය නැතහොත් කාම දර්ශාස්වාදය" (Voyeurism) යැයි පවසමු. එනම් කාන්තා අඟපසඟ, අඩ නිරුවත හෝ කායික ඇසුරක් රහසෙන් බලා තෘප්ත වීම යි. එවැනි පිරිමි Peeping Tom යැයි ද නම් කෙරේ. අහඹුවකින් එවැන්නක් දැක එය විඳීම මෙන් නොව පුරුද්දක් ලෙස රහසින් එසේ බලා විඳීම රෝගයකි. එය Voyeuristic Disorder නම් තත්වයකි. මාචෙලෝ එවැන්නෙකි.
දැන් ඔබට වැටහීම් දෙකක් ඇත.
1 යශෝ - ෆෙයිත් අතර ඇති lesbion බැඳීම කිසිවෙකුට හානියක් නොවන්නක් බව
2 යශෝ - ෆෙයිත් අතරට සම්බන්ධවන මාචෙලෝගේ Voyeurism ආශය අනෙක් පාර්ශවයකට හානියක් කැඳවන බව
යන කරුණු ද්විත්වයයි. ඔබට මැදිහත්ව කල්පනා කිරීමේදී උක්ත වැටහීම් දෙක තුලින් වරදකාර පාර්ශවයක් ලෙස මාචෙලෝ නම් කරන්නට සිත් පහළ වීම වරදක් නොවේ. මන්ද ඔහුගේ ආශය වෙනත් පාර්ශවයකට හානිදායක බැවින් ය. ඉතින් කතුවරයා උක්ත කරුණු දෙකෙන් සමාජයෙන් ඉවත්විය යුතු පාර්ශවය ලෙස නම් කරන්නේ ද එය ම ය. එබැවින් නවකතාව අවසන් වන්නේ මාචෙලෝ ගේ මරණය ස්වභාවික මරණයක් බවට පත් කිරිමෙනි. එය යශෝ අතින් සිදුවූවක් බව යම් හෙයකින් ලුසී අධිකරණයට ප්‍රකාශ නොකරන්නේ ද සාංකේතීය අරුතින් මාචෙලෝ වැන්නන් සංස්කෘතිය මගින් නිශේධනය විය යුතු බව පෙන්වීමට ය.
කෙසේ වුව ද මුතුමුදලිගේ ගේ කෘතියේ සිත් ගන්නා ම කරුණ, ඔහු චරිත - චෛතසික හා අවස්තා නිරූපණයට භාවිත රමණීය භාෂාවය. එක් පසෙකින් ඒ නිසා ම මෙය ලේඛිත නවකතාවක් වුව ද මෙය කියවන්නාට රසවත් සංකල්ප හදබිතෙහි ඇඳගත හැකි පරිදි නිමවෙයි. එය ඔහුගේ භාෂා භාවිත රසාවේෂයක් ය.