ජාතක කතා පරිශීලනය කිරීමේ දී මට හඳුනා ගන්නට ලැබුණු සුවිශේෂි ලක්ෂණයක් විය. එනම් කල්ප කාලාන්තරයක් ගෙවී ගිය ද මිනිස් ජීවියාගේ ක්‍රියාකලාප සහ ඔවුනොවුන් අතර සිදුවන බොහෝ සිදුවීම් සමානත්වයක් උසුලන බවයි. වෙනසකට තිබෙන්නේ ඒ ඒ ක්‍රියාකාරකම් හෝ සිද්ධි වෙනස් ස්ථානවල, විවිධ වූ පුද්ගලයන් අතර සුළු පරිමාණයේ වෙනස්කම් සහිතව සිදුකිරීමය; සිදුවීම ය. නමුදු සිද්ධි ලෙස ගතහොත් බොහෝ දෑ එක සමාන ය. එසේ නොවුණේ නම් ජාතකකතාකරවාට පෙර ආත්මයේ කතාව සහ වර්තමාන කතාවේ පූර්වාපර සන්ධි ගැළපිය නොහැකි ය; වර්තමාන චරිත සහ සිද්ධි අතීතය සමග සම්බන්ධ කළ නොහැකි ය.
කත්‍යානා අමරසිංහගේ සිවුවන ප්‍රබන්ධය වන ‘‘බාණ කුසුම්’’ කෘතිය ද එසේ පූර්වාපර සන්ධි ගැළපූ ජාතක කතාවක් බඳු ය. වෙනසක් වේ නම් ඒ, කතාකාරිය සිය ප්‍රබන්ධය තුළ වර්තමාන චරිත සහ අතීත චරිත සම්ප්‍රාප්තිය වසර දෙසිය ගණනක් පුරා විදාරණය කර තිබීම සහ ජාතකකතාකරුවා සේ ඉහත ආත්මයේ අසවලා මේ ආත්මයේ මොහු ය හෝ මැය ය යනුවෙන් හඳුන්වා නොදීම ය. නමුදු කතාවේ සන්දර්භය අනුව නම්, කතාකාරිය එකී චරිත අතීත වර්තමාන චරිත සමග සංසන්දනය නොකළ ද පුහුණු පාඨක ප්‍රජාවට මතු නොව නුපුහුණු පාඨක ප්‍රජාවට ද අදාළ පූර්වාපර සන්ධි ගළපාගත හැකි ය. වෙනස පවතින්නේ අදාළ සිද්ධි කාලානුරූපව වෙනස් ස්වභාවයක් ඉසිලීම පමණි. කතුවරිය එක් තැනෙක එබඳු ඉඟියක් සපයන්නී මේ ආකාරයෙනි.
‘‘ඉතාම හදිසියෙන් ඈට යමක් විදුලි සැරයක් වගේ හිතට පාත්වුණා. අර ලී ප්‍රතිමාව දුරාතීතයේ හිටපු මීමිත්තණියක් අතට ආවෙ මේ විදියට වෙන්න බැරිද?’’
සැබැවින් ම පුහුණු පාඨක ප්‍රජාවට නම් මේ ඉඟිය වුව ද අව්‍ය නොවන බව මගේ පුද්ගලික හැඟීම ය. මන් ද වසර දෙසීයකට පමණ ඉහත නිබ්බුතාට සම්මුඛ වූ ආගන්තුකයා සහ වර්තමානයේ තාන්‍යාට සම්මුඛ වන දේශාටකයා ද පිළිබිඹු කරන්නේ සමාන අවස්ථා සහ සිද්ධි බැවිනි; දෙදෙනාගේ ම අරමුණු සමානාත්වයක් උසුලන බැවිනි.
කතුවරිය මෙතෙක් ලියා පළ කළ ප්‍රබන්ධ ත්‍රිත්වයේ මෙනේ ම මෙම ප්‍රබන්ධයේ ද කාන්තාව කෙරෙහි සමාජය දක්වන්නා වූ (ගැහැනු පිරිමි භේදයකින් තොරව) වෙනස් ලෙස සැලකීම මනා ලෙස පිළිබිඹු කරන්නී ය. ඒ, අතීතයේ දී නිබ්බුතා, විහාර මන්දිරයේ සිතුවම් ඇඳීම සම්බන්ධයෙන් සිය මව දක්වන විරෝධය සහ කාන්තාවක වන ඇයට සිය දක්ෂතා සනාථ කිරීම වෙනුවෙන් දුනුගමුවේ නිලමෙ වෙත ලිංගික අල්ලස් දීමට සිදුවීම, වර්තමානයේ දී තාන්‍යා හට අශාන්ගෙන් එල්ලවන තර්ජන සහ පීඩන, ඇගේ ම මවගෙන් සහ අත්තම්මාගෙන් සිය නිදහසට සිදුකෙරෙන බාධා යනාදි සිද්ධි තුළිනි.
අතීතයේ දී මතු නොව වර්තමානයේ ද ඇතැම් තරුණ කාන්තාවන්ට සිය සිත්ගත් පුරුෂයෙකුට ආදරය කිරීම, එවන් පුරුෂයකු සමග විවාහ වීම කෙරෙහි සිය දෙමාපිය වැඩිහිටි ඥාති සනුහරෙන් පවා තහංචි පැනවෙන අවස්ථා බහුල ය. නමුදු විවාහය යනු කාන්තාවක් සහ පුරුෂයෙකු නීත්‍යනුකූල අවසරයක් සහිතව මෙවුන්දමේ යෙදීම පමණක් ද යන්න මේ කිසිවකු විසින් නොවිමසනු ලබති. කුටුම්බයක සතුට සාමය පවතින්නේ එකිනෙකා කෙරෙහි අධ්‍යාත්මික බැඳීමක් පවතින්නේ නම් පමණි. දෙදෙනාට ම උපරිම ලිංගික තෘප්තියක් ලබාගත හැක්කේ ද යට කී ආත්මීය බැඳීම තුළ පමණි. එසේ නොවන තත්ත්වයක් තුළ දී වුව දෙදෙනා ලිංගිකව එක්විය හැකි ය. එහෙත් රමණයේ ආනන්දය විඳිය හැකිවන්නේ දෙදෙනාගේ සිරුරු පමණක් නොව එකිනෙකාගේ මනස අනෙකා කෙරෙහි ආසක්ත වන්නේ නම් පමණි. මෙම තත්ත්වය පැහැදිලි කෙරෙන අවස්ථා ද්වයක් කෘතියේ අන්තර්ගත ය.
නිබ්බුතා සිය මනාපය පරිදි දීග ගිය රන්බණ්ඩේ සහ ඇය ආසක්ත වූ සිරුරක් හිමි දුනුගමුවේ නිලමේ සමග ද සංවාසයේ යෙදීමට නොහැකි වූයේ එබැවිනි. ඇගේ රස ද්වාර විවර නොවූයේ යට කී ආත්මීය බැඳීමක් ඔවුනොවුන් අතර නොපැවති බැවිනි. මෙය තාන්‍යාට ද බලපාන්නේ ඒ ආකාරයෙන් ම ය එය සාක්ෂාත් වන්නේ: නිබ්බුතා තම සිත වසඟයට පත් කළ ආගන්තුකයා සමග රමණයෙහි යෙදෙන මොහොතේ ද තාන්‍යා ජේම්ස් සමග රමණයේ යෙදෙන මොහොතේ ද මේ කාන්තාවෝ දෙදෙනා ම පෙර කී අපහසතාවට මුහුණ පෑ බවක් කතුවරිය නොපවසන බැවිනි. ඒ තමන්ගේ රස ද්වාර විවරව පවතින්නේ සැබැවින් ම තමා සමග ආත්මීය ලෙසින් බැඳී සිටින පුද්ගලයා වෙනුවෙන් පමණක් ය යන්න ප්‍රත්‍යක්ෂ කිරීමකි. එය එක් එක් කාලවකවානුවල දී සහ එක් එක් සමාජ තත්ත්ව මත විවිධ නම්වලින් (කළව බන්ධන/හිර බන්ධන) යනාදි වශයෙන් හඳුන්වනු ලැබේ. නමුදු යථා ස්වභාවය නම් ඔවුන් එකිනෙකා කෙරෙහි පවත්නා ආත්මීය බැඳීම සහ ආසක්තභාවය යි. එමෙන් ම ආදරය යනු අයිති කර ගැනීම පමණක් ම නොවේ ය යන යථාව නිබබ්බුතා - ආගන්තුකයා සහ තාන්‍යා - ජේම්ස් යන චරිත තුළින් ප්‍රකට කරන්නට කතුවරිය සමත්වන්නී ය.
කලක සිට අප හඳුනන කත්‍යානා අමරසිංහ යනු හුදු ලේඛිකාවක් පමණක් ම නොවේ. ඇය සමාජ දේශපාලන ක්‍රියාකාරිනියකි. එහි දී: ජාති, ආගම්, වර්ග, කුල යනාදිය සම්බන්ධයෙන් ඇය දරණ ස්ථාවරය කුමක් ද යන්න පිළිබඳ අපි පැහැදිලි අවබෝධයකින් සිටින්නෙමු. ‘‘බාණ කුසුම්’’ කෘතියේ ද ඇගේ ඒ සැබෑ චරිතය සිය ලිවීම තුළින් ම ප්‍රකට කරන්නී ය. ඒ, අසවල් මිනිසා අසවල් කුලයේ ය, ජාතියේ ය, ආගමයේ ය යනුවෙන් කෙරෙන බෙදීම සිය නිර්මාණය තුළ දී වාෂ්ප කර හරින්නට ඇය සමත්වන බැවිනි. මෙකී සන්දර්භය පිළිබඳ අවධානය යොමු කරද්දී සුනේත්‍රා රාජකරුනානායක ගේ ‘‘කවිකඳුර’’ කෘතිය, සරත් විජේසුරියගේ ‘‘සුදම් සභාව’’ සහ විසාකේස චන්ද්‍රෙස්කරම්ගේ ‘‘රජ සහ ඝාතකයා’’ යන කෘති ත්‍රිත්වය සිහියට නැගෙන්නේ නිරායාසයෙනි. මන්ද මෙම කෘති ත්‍රිත්වය ම ජාතිය, ආගම, කුලය නමැති සාධක සියල්ල වාෂ්ප කර හරින්නට සමත්ව තිබීම ය.
වතුකම්රුවන්ගේ වැටුප අවම රුපියල් දහස දක්වා ඉහළ නංවන්නැයි ඉල්ලා සිටින්නේ දැනට දෙවසරක පමණ සිට ය. කතුවරිය ද මෙකී සටනට සක්‍රියව ම දායක වූ චරිතයකි. එකී සටනට හේතු සහ එබඳු සටන් සඳහා තවමත් නිශ්චිත විසඳුමක් ලබාගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි ද යන්න පවා මෙම කෘතිය තුළ සාකච්ඡා කෙරේ. එබඳු අවස්ථා කතුවරියගේ මැදිහත්වීමක් ලෙස ඇතැමෙකු සඳහන් කළ හැකි ය. නමුදු කතුවරිය සිය පරිකල්පනීය දක්ෂතාව මැනවින් උපස්තම්භක කරගනිමින් අදාළ සිද්ධි ස්පර්ශ කරන්නට සමත්වන්නී ය; ඇය කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමෙන් පමණක් නතර නොවී එහි කටුකත්වය සිය නිර්මාණ තුළින් ද සමාජගත කරන්නී ය.
සමාජයේ වෙසෙන පුද්ගලයෝ හොඳ සහ නරක පුද්ගලයන් වශයෙන් බෙදා වෙන් කර සිටිය ද යථා ලෝකය තුළ දී එය ද ප්‍රබන්ධයකි. බාහිර සමාජය ඉදිරියේ හෝ සිය පවුල් කුටුම්බය ඉදිරියේ අති පාරිශුද්ධ පුද්ගලයන් ලෙස පෙනී සිටින්නෝ සැබැවින් ම එසේ නොවෙති. එමෙන් ම බාහිරින් රළු පරළු පුද්ගලයෝ ලෙස දකින ඇතැම් පුද්ගලයෝ සැබැවින් ම එසේ නොවෙති. චරිත මඩුගල්ල නමැති චරිතය තුළින් කතුවරිය අනාවරණය කරන්නේ එබදු දෙබිඩි ජීවිත ගතකරන, අති පාරිශුද්ධ යැයි හඟවන සමාජ සේවකයන්ගේ යථා ස්වරූපය යි.
කිසියම් නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක සියතින් සමාජ ගතකෙරෙන කිසියම් නිර්මාණයක නිරතවීමේ දී ඔහු හෝ ඇය මීට පෙර කියවා, රස විඳ සිය මනසේ තැන්පත් කරගත් චරිතයක හෝ චරිත කිහිපයක හේමලයෝ සිය නිර්මාණයට ද ඇතුළත් කළ හැකි ය. ‘‘බාණ කුසුම්’’ කෘතියේ එන ආගන්තුකයා, ස්වාමින්වහන්සේ සහ නිබ්බුතා ද එබඳු චරිත කිහිපයක් සිහිගන්වයි. එනම් සයිමන් නවගත්තේගම විසින් රචිත ‘‘සංසාරාරණ්‍ය අසබඩ’’ කෘතියේ එන ‘‘ආගන්තුකයා’’ ය; ආගන්තුකයාට නවාතැන් දෙන ස්වාමින්වහන්සේ ය; එම ආගන්තුකයාට ආසක්ත වන වලව්වේ ළමාතැනී ය. මෙය ද: සමස්ත කතාවේ ම ඉදිරිපත්කෙරෙන එකම දේ වෙනස් වෙනස් ආකාරයෙන්, විවිධ කාලවකවානුවල දී, විවිධ ස්ථානවල දී, විවිධාකාරයෙන් සිදුවිය හැකි ය යන්න තවදුරටත් සනාත කිරීමකි ය යන්න මගේ පුද්ගලික හැඟීම ය.
‘‘බාණ කුසුම්’’ ප්‍රබන්ධ කෘතියේ මතුපිටින් දිවෙන කතාන්දරයට යටින් දිවෙන යට කී සමාජ, දේශපාලන හුය නිවැරැදිව අල්ලාගෙන ඒ පිළිබඳ සමාජ කතිකාවක් ගොඩනැගෙන්නේ නම් එය වඩාත් සාධනීය යන්න වෙසෙසින් සඳහන් කළ යුතු ය.