ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය (පැරණි, නූතන සහ පශ්චාත් නූතන) යනු මේ වන විට නිසියාකාරයෙන් දෙපා මහපොළොව මත තබා සිටගත නොහැකි මිනිසකුගේ තත්වයට පත්ව ඇති දේශපාලන ව්‍යාපෘතියකි. සැබැවින් ම නම් එය නිරන්තරයෙන් ම පෑරෙන, කෙතරම් ඔසු ගැල්වුව ද සුව නොවන, කිසිදා කැලැල ද නොමැකෙන තුවාලයකි; පෑරි පෑරී සුව නොවන තුවාලයකි. මේ වන විට ඇති එකම සැනසීම නම් යළි කිනම් මොහොතක පැසවාවි ද යන සැකය මත වුව අතගා බලා සැනසිය හැකි කැලැලක් ලෙස ඉතිරිව පැවතීම ය.
මේ තුවාලයේ දිගල පළල මැනවින් විදාරණය කර ඇති අගනා කාව්‍ය නිර්මාණයක් (මගේ විඳීමට සාපේක්ෂව) රස විඳින්නට ලැබුණි. අදාළ නිර්මාණය කියවීමට ලැබුණේ සුජිව සිරිමෙවන් විසින් රචිත ‘‘මයිලපත් සමනල්ලු’’ මැයෙන් වූ කාව්‍ය සංග්‍රහය තුළ ය. අදාළ නිර්මාණය නම් කර තිබුණේ ‘‘කැළැල’’ යනුවෙනි.
කබොල්ලට යටින්
කුණු ගඳ ගහන
කුණු ලේ සැරව පිරුණු
හොඳ වෙන්නේ ම නැතුව
පෑරෙන
තුවාලයක් තිබුණි
එ දවස
වම් පයේ විළුඹ උඩ
කවියේ පළමු කොටසෙන් ම: සර්වපිත්තල දවටනයකින් ආවරණය කර ඇති වාමාංශික ව්‍යාපාරයේ කුණු ගඳ ගසන, ඕජස් ගලන, කිසිදා සමාජ යහපතට යොදාගත නොහැකි යථා තත්වය අවබෝධ කර දෙන්නට කවියා සමත් වී ඇත. ‘‘වම් පයේ විළුඹ උඩ’’ යන වදන් හතර සමස්ත කවිය පුරා ම සිව් වතාවක් ම භාවිත කරමින් ‘‘වම’’ පොළොවේ පය නොගසන බව වක්ක්‍රෝක්තියෙන් පවසන්නට කතුවරයා දරා ඇති තැත සාර්ථක ය.
අමතක කර දමන්නට සිතෙන
කබොල්ලට උඩින් තද කර
වේලිලාදැයි බලන
බංකු කකුලක වැදී
ආයෙමත් පෑරෙන
තුවාලයක් තිබුණි
වම් පයේ විළුඹ උඩ
පැරණි අත්වැරැදීම් හෝ සිතා මතා කළ වැරැදි නිවැරැදි කරගන්නට උත්සාහ කළ ද මතුපිටින් සුව වී ඇති ලෙස පෙනුණ ද, ඉතා කුඩා සිදුවීමකින් පවා යළි පැරැණි වැරැද්ද ම වෙනත් ආකාරයකින් හිතාමතා ම සිදුකරන හෝ යළි යළිත් වරද්දගන්නා ආකර ය මෙම කොටසෙන් ප්‍රකට කෙරේ.
ඩිස්පැන්සරියෙ දොස්තර
පුලුන් ගත් කතුරු තුඩගින්
ස්ප්‍රීට් දමා
පාර පාරා සේදුව
ඔතෑනි කකුල ඉඳිමුණ
තුවාලයක් තිබුණි
වම් පයේ විළුඹ උඩ
තුවාලයක් පවතින ශරීරයක් හිමි පුද්ගලයා ඒ සඳහා නිශ්චිත ප්‍රතිකාර ගතයුතු ය. එමෙන් ම මෙරට සියලු වාමාංශික ව්‍යාපාර තම දුර්වලතා හඳුනාගත යුතු ය. ඒ සඳහා නිවැරැදි වැඩ පිළිවෙළක් සැකසිය යුතු ය. නමුදු තුවාලය සුව කරගැනීමට සුදුසු රෝහලකට නොගොස් ගොඩ වෙදුන්ගෙන් ප්‍රතිකාර ගන්නා තුවාලකරුවා සේ ම මෙරට වාමාංශික ව්‍යාපාර ද තාවකාලික, හෝ ලාබදායක ඔසු ලබාගන්නා තුවාලකරුවකු ලෙස කටයුතු කරන බව මෙම කොටසෙන් ගම්‍යමාන කෙරේ.
තවමත් කැළැල එහෙම ම තියෙන
දැන් වුනත් දකිනකොට
ආයෙමත් මතක් වී හිරිවැටෙන
තුවාලයක් තිබුණි
වම් පයේ විළුඹ උඩ
ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාර යනු ම මේ වන විට ද අතීත ස්මරණ පමණක් ම ඉතිරිව තිබෙන, ඇතම් අතීත සිදුවීම් සිහිවන විට ඇඟ හීගඩු පිපෙන තුවාලයක් බව යට සදහන් කොටසෙන් ද කවියා වඩ වඩාත් ස්ඵුට කරයි. අවසන ඉතිරි වන්නේ කුමක් ද...?
දැන් වුනත්
ඉඳහිට
සනීපෙට අත ගා බලන
දුලන කැළැලක් තිබේ
තුවාලය ගැන
මිහිරි මතකය
ගෙන එන
කවියා මෙරට වාමාංශික ව්‍යාපාරය දෙස කෙතරම් උපහාසාත්මක බැල්මක් හෙළන්නේ ද යන්න මෙම පද කිහිපයෙන් ප්‍රකට කෙරේ.
දැන් වුනත්
ඉඳහිට
සනීපෙට අත ගා බලන
නමැති පද පේළි ත්‍රිත්වය එය වඩ වඩාත් තීව්‍රර කරයි. යට කී පරිදි සමස්ත කවිය පුරා ම යෙදෙන ‘‘වම් පයේ විළුඹ’’ ඉතා ප්‍රබල සංකේතයකි. කවියේ වදන් ලස්සන හෝ විදග්ධ යැයි කිව නොහැකි වුව ද අදාළ ප්‍රස්තුතයට ගැළපෙන පරිදි කටෝර වදන් භාවිත කර තිබීම ද කවියේ යටිපෙළ මැනවින් පිළිබිඹු කරන්නට සමත් වී තිබේ.
සිංහල බෞද්ධ රාජ්‍ය ලෙස නාමකරණය කර තිබෙන ශ්‍රී ලංකාවේ සියලු පොහොය දිනවල: සුරා සල්, මාංශ අලෙවි සල්, සම්බාහන ආයතන යනාදිය නිත්‍යනුකුලව ම වසා තැබීමට නියමිත ය. වෙසක් මාසයේ නම් එය ඇතැම් විට සතියක් ද විය හැකි ය. නමුදු සුරා පානය, මස් මාංශ අනුභවය නිත්‍යානුකුලව හෝ එසේ නොවන අන්දමින් තහනම් කර නොමැත. එබැවින් මත් පැන් පානය කරන පිරිස් ද, මස් මාංශ අනුභව කරන පිරිස් ද පොහොය දිනට පෙර දින තමන්ට සෑහෙන පමණ අදාළ දෑ මිලදී ගති. අනෙක් පසින් පොහොයට පමණක් ම තහනමට ලක්ව පවතින මෙම වෙළඳ ආයතන අනෙක් සියලු දිනවල (තවත් ආගමික කටයුතුවලට වෙන් කර ඇති දිනවල හැර) විවෘතව පවතී.
මේ සියල්ල ම පරස්පර විරෝධී ය. මෙහි ම දිගුවක් වඩාත් තීව්‍ර ලෙස ඉදිරිපත් කරන්නට සුජිව සිරිමෙවන් කවියා ‘‘වෙසක් සඳ’’ නමැති නිර්මාණය ඉතා මැනවින් උපස්තම්භක කරගෙන ඇත.
ඔහු සිය නිර්මාණයේ පළමු අර්ධය වෙන් කරන්නේ වෙසක් සඳ සහ කැලණිය යන ප්‍රබල සංකේත ද්විත්වය යි. ඉක්බිති වෙසක් සඳ නමැති සංකේතය තුළින් ඉතාමත් ඛේද ජනක අවස්ථාවක් වඩාත් උත්ප්‍රාසාත්මක ලෙස ඉදිරිපත් කරන්නට කවියා සමත්ව ඇත.
දණ මත්තක්
තන මත්තක්
නෙව
කරවටක් ගිලී
හදාගෙන වුන්
ගෙපැල වහල ද
පෙනි නොපෙනී යන ගානට
කැලණි මිටියාවතට එක් වූ
සංසාර දියවර මත
කිමිදි කිමිදී මතුවන
සඳ මඩල
අති උතුම් පූජනීය යැයි සැලකෙන කැලණිය නමැති භුමියේ වසරක් වසරක් පාසා ම සිදුවන දැවැන්ත ඛේදවාචකයක් පිළිබද සිතුවම් පෙළක් මවන කවියා පවසන්නේ කුමක් ද...? හෙතෙම ‘සඳ මඩල’ නමැති සංකේතය උපස්තම්භක කරගනිමින් පවසන්නේ එකී ඛේදවාචකය දෙස බල බලා තුටු වන බෞද්ධ ප්‍රජාවගේ ක්‍රියාකලාපය නොවන්නේ ද?
දැන් අපි කවියේ දෙවන අර්ධය වෙත අවධානය යොමු කරමු.
හිත් පිත් නොමැති
උණ්ඩයට සසැලුණ
ෂෙල්වෙඩි ද මෝටාර් ද
කන ළඟින් යන
මායිමෙන් පැන
කඳුළු ලුණු රස ද
මිනිස් ලේ සුවඳ ද
තැවරුණු
එදා අර
කලපු දියවරෙත්
කිමිදි කිමිදි සිටියෙත්
නුඹ ම ද
2009 වසරේ වෙසක් සඳ නැග එද්දී උතුරේ අවිහිංසක සිවිල් පුරවැසියෝ හතළිස් දහසක් පමණ අමු අමුවේ ඝාතනය කළ බව නොරහසකි. කවියා ව්‍යංගයෙන් පවසන්නේ කුමක් ද? එකි මහා ඛේදවාචකය දෙස කිසිදු අනුකම්පාවකින් තොරව ජය ඝෝෂා නගන්නේ වෙසක් පොහොයට කැලණියේ ගොස් සියලු පවු දුරුකරගන්නා සිංහල බෞද්ධ ප්‍රජාවම වග නොවේ ද...? කවියා මෙහි දී යොදාගන්නා ප්‍රබලතම සංකේතය වන්නේ ‘‘වෙසක් සඳ’’ යන්න ය. 2009 වසරේ වෙසෙක් සඳ නැග එද්දී රාජ්‍ය විසින් ඝාතනය කරන ලද උතුරේ සිවිල් පුරවැසියන් වෙනුවෙන් භාවිතයට නොගත්, බුදුන් තුන්වරක් වැඩි මේ බිමේ ජීවත්වන සිංහල බෞද්ධ ප්‍රජාව සිය මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ඛාව නම් වූ සිවු බඹ විහරණ සඟවා තැබුවේ කොතැන ද යන්න කවියා නොවිමසන්නේ ද...?
ගණිකාව... එසේත් නොමැති නම් රෑ මනමාලිය තවත් වදනකින් පවසන්නේ නම් වෛශ්‍යාව නමැති මිනිස් ජීවියා පිළිබඳව ලියැවී ඇති කව් ගී අපි අනන්තවත් අසා ඇත; රසවිඳ ඇත. ඇගේ හැඩ-රුව, ඇදුම් පැලඳුම්, ඇවතම් පැවතුම්, ඇය ගැවසෙන ස්ථාන පිළිබඳ විවිධ නිර්මාණ තුළින් අපි අත්විඳ ඇත්තෙමු. එමෙන් ම ගණිකා පහස ලබාගත් හෝ ලබාගන්නට කැමැත්තෙන් සිටින පුද්ගලයකුගේ සිතුවිලි විවිධ නිර්මාණ තුළින් අපි රස විඳ ඇත්තෙමු.
‘‘මයිලපත් සමනල්ලු කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත ‘‘මට එපා වෙලා’’ නමැති නිර්මාණය යට සදහන් චරිත ද්වය සහ එකී චරිත ද්වයේ ගති සොබා වෙනස් ම ආකාරයකට කියවා ඇති නිර්මාණයක් යැයි හැඟේ. කවියා, කථකයාට වරින් වර විවිධ ස්ථානවල දී විවිධාකාරයෙන් සම්මුඛ වන කාන්තාවක් පිළිබඳ විවරණය කරයි. එනමුදු ඇය ගණිකාවක් යැයි ප්‍රකාශ කරන්නට කථකයා ඉක්මන් නොවන්නේ ය.
ලිෆ්ට් එක
වැහෙනවත් එක්ක ම
මට මතක් වුණා
ඒ මූණ
කථකයා මෙහි දී ඉඟි කරන්නේ ඇය මීට පෙර ද කොතැනක දී හෝ මුණගැසී ඇති බව යි.
කෙස් වැටිය
මුදුනින් බැන්ද
නිදිබර ඇසක උන්මීලනය
සිත ගැස්සිලා එතන ම නවතින
ළය මඩල
එකවර ම මා කදෝකිමියෙකු කළ
ඒ රුව
තවත් මොහොතක කථකයා දුටු කාන්තාවගේ හැඩ රුවත්, ඇය පෙර දින නිදි වරා ඇති බවත්. ඇගේ පුන් පියයුරු කෙතරම් ආකර්ෂණිය ද යන්න සහ ඇය ඉදිරියේ කථකයා කෙතරම් කුඩා පුද්ගලයෙකු ද යන්න ඔහුට ම පසක් වූ ආකාරය මෙම කොටසෙන් ප්‍රකට කෙරෙන්නේ ය.
‘‘සිරිවර්දන පවුල’’ බලන්න ගිය වෙලේ
නේට් එකට එහා පැත්තෙ
පෙට්ටි කඩයෙන්
තවත් කවුදෝ එක්ක
හැලපයක් කකා
ප්ලේන්ටියක් තොල් ගගා
හිටියෙත් එයා ම ද?
මෙම කොටසේ ‘‘සිරිවර්දන පවුල’’ නමින් යොදන රූපකය රාජිත දිසානායකගේ ‘‘සිරිවර්ධන පවුල’’ නමැති වේදිකා නාට්‍ය නම් එකී රුපකය ද මේ කාන්තාව පිළිබඳ මෙන් ම ඇය අසුරු කරන පුද්ගලයන් සහ ඇය ගැවසෙන ස්ථාන පිළිබඳ කෙරෙන ඉඟියකි. එමෙන් ම ඇය සරල දිවියක් ගත කරන්නියක බවට ද ඉඟි සපයයි.
ආයෙමත් දවසක
පදික මාරුවෙන්
එගොඩ වෙන්න හදනකොට ම
ත්‍රි වීලරයක නැගී
ඉගිළුණා ඇය
කථකයාට නිරන්තරයෙන් ම කොළඹ නගරයේ විවිධ ස්ථානවලදි හමුවන මෙම කාන්තාව කවුද, කුමක් කරන්නේ ද යන්න තවමත් සැක සහිත බව මෙගින් ඉඟි කෙරේ.
එක හැන්දැවක
උහුලන්න බැරි කාන්සිය
දුම් රොදකට පවරා
ඇවිදගෙන යනකොට
වෙරළ ඉම
ඔය මූන වත්තම් වුණා
තවකෙකුගෙ උර මඬලට
මෙම කොටසට අවතීර්ණ වන විට කථකයා ද හුදෙකලා පාළු දිවියක් ගත කරන බව මෙන් ම මෙකී කාන්තාව ආදරණීය උණුසුමක් පතන්නියක බව ද ඉඟි කෙරේ. මන් ද සාමාන්‍යයෙන් ගණිකාවක නම් මේ ආකාරයට වෙරළ ඉමක ආදර සුව විඳින්නට ඇති ඉඩ කඩ බොහෝ සෙයින් දුර්ලබ ය. ඇය හුදු ශරීරය පමණක් ම අලෙවි කරන්නියක නොවන බව කථකයා පවසයි.
ආයෙමත් සැරයක්
නින්දෙදිත් දැක්කා ළඟට ම
හුස්ම සුවදක් දැනෙන ගානට
ළං වෙලා හිටියා මූණට
රෝස පාට පියයුරු තුඩු
උරා බොන
බිළිදෙකුව සිටියා මම
ඇරෙනකොටත්
සියොළඟ ම හිරිවැටි තිබුණා
හොඳට ම
මේ වන විට අදාළ කාන්තාව කෙරෙහි කථකයා කෙතරම් ආසක්ත වී ඇති ද යන්න මෙම කොටසෙන් ප්‍රකට කෙරෙන්නේ ය. කථකයා ඇය සමග ස්වප්න ලෝකයේ දී යහන්ගත වී ඇති බවත් එකී ස්වප්න ලොවේ දී ම කථකයා සුරතාන්තයට පත් කර ඇති බවත් මෙම කොටසෙන් ප්‍රතියමාන කෙරේ.
දූල් නයිටියක පැටලෙන්නෙ
නැතුව
ගෑනු සුවඳක්
හීන් කෙදිරිල්ලක් නැතුව
තනියම බුදියන එක
එපා වෙලා දැන් මට
කාන්තා පහසක වෙළී ඒ රස උරා බී සැනසෙන්නට කථකයා කෙතරම් කැමැත්තකින් පසුවෙනවා ද යන්න කවියේ අවසන් කොටසෙන් ඉදිරිපත් කරන කවියා කථකයාට විවිධ ස්ථානවල දී විවිධාකාර ස්වරුපයෙන් සම්මුඛ වූ කාන්තාව ගණිකාවක් යැයි ඍජුව ම නොපැවසුව ද ඒ පිළිබඳ අවශ්‍ය තරම් වක්බිණුම් ඉදිරිපත් කර ඇත. එමෙන් ම මතුයම් දිනක කථකයා ද ඇගේ පහස පතා යන බවට ද ඉඟි කරයි.
කාව්‍ය නිර්මාණ තිහකින් සුසැදි ‘‘මයිලපත් සමනල්ලු’’ කෘතියේ යට විමංසනයට ලක් කළ නිර්මාණ ත්‍රිත්වය හැරුණු විට: ‘‘අත්අඩංගුවට’’, ‘‘ඉල්මහේ මතක’’, ‘‘ත්‍රිකෝණ’’ සහ ‘‘දුෂ්කර ගුරු පවත’’ යන නිර්මාණ ද මගේ බින්න රුචිකත්වයට යටත්ව විඳීමට හැකි වූ නිර්මාණ බව සිහිපත් කළ යුතු ය.