2017 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලද විශිෂ්ටතම නවකතාව, කීර්ති වැලිසරයන් විසින් රචිත ‘ගරුඩ මුහුර්තය’ කෘතිය වේ. විසිවන සියවසේ මුල්දශක කීපය තුළ ශ්‍රීලංකාවේ දැරණියගල ප්‍රදේශයේ මාගල නම් වූ ගම්මානය පාදක කොට ගෙන එහි වූ ජන ජීවිතය අළලා රචනා කරන ලද මෙම කෘතියෙහි තත්කාලීන සමාජ, ආර්ථික, සංස්කෘතික කාරණාවන්හි සිදුවූ විපර්යාසයන් හුවා දක්වා ඇත. තත්කාලීන සමාජය සම්බන්ධයෙන් විවිධ කතුවරුන් විසින් කලින් කල විවිධ කෘති රචනා කළ ද ඒහා නොගැටෙමින් තම නිර්මාණකරණයේ ආවේණිකත්වය නිරූපණය කිරීමට කතුවරයා ගත් උත්සහය ගරුඩ මුහුර්තය නවකතාව තුළින් විද්‍යමාන වේ.
නවකතාවේ නාමය ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජය තුළ නොනිමි බියක්, අන්තරාදායක බවක් නිරූපණය කරන සංකේතයකි. ගරුඩා හෙවත් ගුරුළා මනඃකල්පිත සත්ත්වයකු වුවද ලාංකේය ගැමි සමාජය තුළ පවතින්නා වූ ඇදහිලි, අධිවිශ්වාසයන් තුළ ගුරුළා යනු බියමුසු චකිතයක් ඇති කරවන සත්ත්වයෙකි. ගරුඩ මුහුර්තය යනු ගුරුළාගේ අවස්ථාව යන්නයි. පාඨකයා තුළ කෘතිය අතටගත් සැණින් කෘතියේ නාමය තුළින් කුකුසක් ඇති කිරීමට කතුවරයා උත්සුක වී ඇත.
බෝකන්දේ සරණේලිස් නොහොත් සරණා නම් වූ මාගල විසූ තරුණ ගැටවරයකුගේ ජීවිතයේ විවිධ අවධීන්හි සිදූ විපර්යාසයන් පාදක කොටගෙන මෙම කෘතිය රචනා වී ඇත. සෙසු ගැමි තරුණයන් අතර ඔහුගේ රූපකායත්, ශරීර ශක්තියත් ඔහුගේ ක්‍රියාවන් තුළින් මොනවට නිරූපණය වී ඇත. පුසුඹීගේ පියා උංගු මාමා වැලි වළේ සිරවී සිටි අවස්ථාවේ ඔහු ගොඩගැනීමට ගමේ ප්‍රධානියා වූ ගුණ මහප්පා පවා ඊට මුහු නොවූ මොහොතක සරණා ඊට මුල් වූ අයුරු දැකගත හැකිය.
"පිරිමි පස් දෙනෙකු වලි කෑවත් හොලවන්නට බැරි වූ ගල ඔහු අත තැබූ ගමන් පෙරළිච්ච හැටිය!"
කතුවරයා සරණා වටා වූ අවශේෂ චරිත තුළින් සරණාගේ චරිත ස්වභාවය බොහෝවිට නිරූපණය කරන අතර ම යම් අවස්ථාවන්හි සරණා විසින් ම තමා පිළිබඳ කරන කථනයන් ද දක්නට ලැබේ.
“සරණා යැයි මිනිසුන් කතා කරන, කුඩා රෙදි කඩක් හැඳගෙන හුන් ඔහුගේ උස කයත්, ගෙලට වැටුණු, රැළි කොණ්ඩයත්, පිරිපුන් උරහිස්, දෑත් ගොබ හා කලවා ද ඇගේ ඇස මායාවකින් මෙන් බැඳ ගත්තෙන් ඇයට තමා සිටිනා තැන අමතක විය.”
"තම හිත තිගැස්සුම ඔහුගේ ලැජ්ජාවට හේතු විය. දෙපරැන්දේ යකඩ ඉන්න එල්ලුණාට මට තියෙන්නේ ගෑනු හිතක්! ඔහු තමාට ම සමච්චල් කරගත්තේ ය."
සරණා වැඩෙහි දක්ෂ උසස් අංගපුලාවෙන් යුත් ගැමි තරුණයෙකි. ප්‍රේමය, ලිංගිකත්වය, දාරක ප්‍රේමය, කරුණාව, ඉවසීම, දයාර්ද්‍රබව, දුරදක්නා නුවණින් යුතු සරණා තුළින් බොහෝවිට දක්නට ලැබෙන්නේ නිදහස් සාමකාමී පුරුෂ ලක්ෂණයන් ය. පුසුඹී කෙරෙහි බැඳුණු ප්‍රේමයෙන් ඈ යන මඟ ගැවසෙමින් පසුව ඇගේ නිවසට ම ගොස් ඈ සහේට ගත් සරණාගේ ජීවිතය නොසිතූ විපර්යාසයකට ලක්වන්නේ කපුරුගේ ආලවන්තකම්වලට හසුවීමත් බිළිඳි ව හේතුහාමි නම් තරුණයා හට විවහා කරදීමත් හේතුවෙනි. ඉන් ඇරඹෙන එකක් නෑර පැමිණෙන අනේකවිධ ගැටලු හමුවේ ඔහු ඊට විසඳුම් සොයන අයුරුත්, ඔහු හා රැඳෙමින් ඔහු සනසන පුසුඹී නම් භාර්යාවගේ චරිතයත් ගහක වෙලුණු ලියවැලක් මෙන් බද්ධ ව පවතියි. එකී බැඳීම බොහෝ දුක් කරදර හමුවේ පවා නො නැසී පවතින අයුරු වත්මන් සමාජයේ පවුල් සංස්කෘතියට ද මහත් ආදර්ශයකි.
ලාංකීය ගැමි සමාජය තුළ ගැහැනු රූපකාය සම්බන්ධයෙන් වූ මතවාදය කතුවරයා හාමිනාගේ සිතුවිලි තුළින් නිරූපණය කර ඇත.
"ගෑනියෙක් වුණාම වටගේ වගේ පෙරෙන්න කිතුල් රෑන් කොණ්ඩෙ ඕන නෙව. දරු දොළහක් වුණත් වදන්න දොන්ත උකුලකුයි, කළ හත ගානේ උන්ට පොවන්ට කිරි එරෙන්න ආරපු තනුයි, එක හුස්මට වී වනක් කොටාගන්න හත්තියට කොඳු නාරට්ට, දණිස් පොල්කටු-අත්දඬු නොවෙන්න කොහෙමැයි ගෑනියෙක් වෙන්නේ?"
ගැහැනියක නම් මුදු මොළොක් විය යුතුය. ඉවසිය යුතුය. ඇතුළ් ගෙයි ගිනි පිටතටත් පිට ගෙයි ගිනි ගෙපැළටත් නොදිය යුතුය. ස්වාමියාට ගරු කොට සිටිය යුතුය යන ලක්ෂණයන් මොනවට විදහා පාන චරිතයකි, පුසුඹී. තම නැඟනියගේ දරුවා වූ උප්පු පවා ඇති දැඩි කළ ඈ සරණා කපුරු සහේට ගත්ත ද ඈ කෙරෙහි වෛර නොබැන්දාය. ඈ තුළ වූයේ ඇගේ මව වූ හාමිනාගේ යහගුණයන් ය. එහෙත් කපුරු ඊට හාත්පසින් ම වෙනස් චරිතයක් විය. ඇය තම ස්වාමියා හා ගැටෙමින් ආත්මාර්ථකාමී, කෲර ගැහැනියක වූවා ය. නැඟනිය හේතුහාමි හා දබර ව ඥාති නිවසක හිඳි අවස්ථාවේ මහගෙදරට කැන්දා ගැනීමට පුසුඹී කතා කළ අවස්ථාවේත්, නැඟනියගේ දරුවා කෙරෙහි ඈ දැක්වූ ආකල්ප හමුවෙත්, සරණාගේ මවගෙ මරණයත්, තෝන්තරයට කිළි මුහුවීමත් හමුවේ සරණා ගම්මුන් අතර පිළිනොගන්නා අවස්ථාවේත්, රත්තරං මහණ කිරීමට යන අවස්ථාවේදී ඊට උප්පු යැවීමට දත කෑවේත් ඇගේ සිතුවිලි තුළ තිබූ දුෂ්ට ගති ලක්ෂණ නිරූපණය කරමිනි. බිළිඳි පවා විවාහයෙන් පසු මව්සතු වූ ගුණයෙන් මිඳී ඈ ගෙවූ පරිසරයට අනුගත ව සිතුවිලි හැඩගස්වා ගත් බව දැකගත හැකි ය.
සමස්ත නවකතාව තුළ ගැමි සමාජය තුළ පැවති දේව ඇදහිලි පිළිබඳවත්, ගම්මුන් කෙරෙහි ඒ පිළිබඳ වූ විශ්වාසයක් දැකගත හැකි ය. උංගුරාළ දෙවොලේ වූ රිදී ඊතලය ගැනීමෙන් නොසිතූ ලෙස මිය ගිය අයුරුත්, දුකක් කරදරයක් වනවිට පිහිට ඉල්ලා සමන් දෙවියන්, ඉරුගල් බණ්ඩාර දෙවියන් බාරහාර වීමත්, සුබ කටයුතු වූ ගෙපැල් තැනීම, හේන් වැඩ ඇරඹීම්හිදී ඊට පෙර දෙවොල නැමඳ ආශිර්වාද ගැනීමත් අතීත ගැමි සමාජයේ දක්නට ලැබුණු වත්පිළිවෙත් වේ. එසේ ම දෙවොලට යාමට පෙර හොඳින් කහ, දෙහි උලා නා පිරිසිදු වීමත් කිළි මුහු නොවීමට වග බලා ගැනීමත් සම්ප්‍රදායික සිරිත් වේ. උංගුරාළගේ මරණය වනවිට දෙවොලේ රිදී ඊතලය ඔහු අත වූයෙන් සරණ එය ගස් බෙණයක තෙමසක් තබා මරණ කිල්ල හැරගිය පසු පිරිසිදු වී එය නැවත දෙවොලේ තැම්පත් කරන්නෙ එකී සම්ප්‍රදායන් විදහා දක්වමිනි.
විශේෂයෙන් එවැනි කාරණාවලදී ගැහැනිය සහ සම්භෝගයේ යෙදීමෙන් වැළකී තුන් වරුවක් නොකිළිටිව කටයුතු කිරීමටත්, එසේ කාරණා යෙදුණහොත් තුන්වරුවක් අද්දර පැලේ රැඳීමටත් ගම්මුන් හුරුව තිබිණි. හේනේ ගැදෑල දැමූ පසු ගැහැනුන් හේනට වැද්ද නොගැනීමත්, මස්මාංශ කිළි මුසු නොවීමටත් පිරිමින් වගබලාගත් අතර එසේ කිළි මුසුවීමෙන් වගාවන්ට මැස්සන් බෝවීමත් වගා හානිවන බවටත් විශ්වාසයක් ගම්මුන් අතර විය.
“අඟුරු, කොට, රොඩු බොඩු අයින් කොට හේනේ මාවී ඉස ගැදෑල දා අවසන් ය. හේනට කිලි වැද්ද දුන්නොත් මැස්සෝ බෝවෙනු ඇත. හේනට ගැහැනු වැද්ද නොදෙන බව දැන දැනත් කපුරු අඩිපාර දිගේ එන්නේ ඇයි දැයි සරණා පුදුම විය. ඔහු ඉනිමඟ මඟක් නැඟ "තහංචි" යයි හඬ නගා කීවේ ඈ ආපසු හරවා යවන්නට ය."
“මං මෙහෙම හිතුවක්කාරෙට ආවෑං හෙට උදෑනැක්කේ කොරන්න හිටි එක කාර්යක්වත් කොරන්න බැරුව යනව නෙවැ.. තුන්වරුව අද්දර ගෙයි ඉන්න කොට කළුවෙ සිලිඳා අයියා හෙම දන්නවා මේයි රාත්තිරිය ගෙයි ගත කොළා කියලා..”
එතෙක් භාණ්ඩ හුවමාරු කිරීමෙන් සිදු වූ ආර්ථික කටයුතු යටත්විජිතකරණයත් සමඟ මුදල් හුවමාරු කිරීම දක්වා වර්ධනය විය. හකුරු මුලකට, පැණි පට්ටයකට ආයුධ පණ පොවාගත්, හකුරු මුල් දී නිවසට වුවමනා කළමනා ගැනීමටත් හුරුව සිටි ගැමියාට මුදල් හුවමාරුවට වැඩි කැමැත්තක් නොදැක්වුවද ඊට හුරුවීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වී තිබුණි.
“මං දෙන්න...මට කළුකඳ ඕන තරම් තියේ..උඹට මාවී හම්බ වුණහං මට දීහං...”
“උඹ මලේ ..ඔය පැණි හකුරු ටික වෙළෙන්දො ආහම උන්ට දීලා සල්ලි කොරන් මට ඒ ටික ගෙනත් දියං...ඒකයි මං දැන් අලාබෙ ගන්න කෙරේමෙ...”
හේනක් කුඹුරක් අස්වද්දගෙන, කිතුලක් කපාගෙන සරල දිවි පෙවෙතක් ගෙනගිය ලංකීය ගැමි ජනයාට ඉන්පසුව මුහුණ දෙන්නට වූයේ නොසිතූ විපර්යාසයන්ට ය. අනූනම අවුරුදු බද්දට ගත් ඉඩකඩම් හම ගසා ද්‍රවිඩ ජනයා යොදාගෙන තේ, රබර් යායට ඉන්ඳීම ආණ්ඩුව ආරම්භ කර තිබුණි. කාසියටත්, වාසියටත් යටවූ ජනයා තම ඉඩකඩම්වල එතෙක් කළ සාම්ප්‍රදායික කර්මාන්තවලින් මිඳී පතල්වල මැණික් ගැරීමටත්, මාර්ග කැණීමටත් ගත සිත යෙද වූ අතර එකයායට තිබූ ගහකොළ විනාශය නිසා ඇළදොළ සිඳීයාමත් වගා කටයුතු දුර්වලවීමත් සිදු විය.
ආරම්භයේ සරණා තුළ දේව ඇදහිලි පිළිබඳ අධික විස්වාසයක් පැවතිය ද නවකතාවේ අවසානය වනවිට එකී විස්වාසයන් ද පළුඳු නොකරමින් සරණා යථාවබෝධයෙන් කටයුතු කරන අයුරු කතුවරයා දක්වා ඇත. මවගේ මරණ කිල්ලෙන් දේව තෝන්තරයට කිළි වැඳුණු බවටත් ඉන් ගම්වල මිනිසුන් උණ සෑඳී මියයන අයුරුත් ගම්මුන් එකිනෙක ගලපා සරණාගේ ක්‍රියාවන් නිසාවෙන් සිදූ වූ බවට දැක්වූවද මෙය සැබවින් ම රෝගයක් බවත් ඊට පූජා පවත්වා පළක් නොවන බවත් අවබෝධ කරගත් සරණා පුසුඹී ව වෙදදුරන් වෙත කඩිනමින් යවන්නේ එකී යථාවබෝධය මතය.
කතුවරයා කෘතිය රචනා කිරීමට යොදාගෙන ඇත්තේ තත්කාලීන සමාජයේ භාෂාව වන අතර හේන් කුඹුරු සහ කිතුල් කර්මාන්තය ආශ්‍රිත වදන් ද යොදාගෙන ඇත. හේන් ආශ්‍රිත වදන් ලෙස
අද්දර පැල(හේනේ දඬු වැටට පිටින් සාදන පැල),
ගැදෑල (හේනේ වී ඉසඋදළු ගා මටිටම් කිරීම),
චයියෝ(කුරුලු වශේෂයකි),
ගල් ලණුවක්(පට්ටවලින් ගල් විඳීමට ගෙතූ උපකරණය),
අඹනවෑ(එළවනවද)
පෙරල් හේන්(යල කන්නයට පෙර සකසන හේන්),
රත්තියා(ගින්දර),
උයංගෙඩිය(පොල් ගෙඩිය) ආදිය යොදාගෙන ඇත.
කිතුල්කර්මාන්තයේවචනලෙස
බැබුන්(කිතුල් ගහේ නැගීමට බටවැල්වලින් බඳින බැමි),
ඔලොම්බු කරුව(මදින කිතුල මලට ගස් කඳේ සිට තබන ආධාරකය)
තුන්කැති (උදේ, දහවල්, හවස කිතුල් මැදීම) වැනි වදන් යෙදී ඇත. එසේ ම කතුවරයා ගෝළුගානවා, පානු පැයිං, ඕවැද්දා වැනි වදන් ද භාවිත කර ඇත. කතුවරයා විසින් කෘතියේ එකී භාෂා ව්‍යවහාරයන්ගේ එන උක්ත වදන්හි අරුත්ද දක්වා ඇති අතර එය පාඨක ප්‍රජාවගේ අවබෝධය සඳහා මහත් සේ ප්‍රයෝජනවත් වේ.
අතිශයෝක්ති වර්ණනාවන්ගෙන් තොර පුද්ගල මනෝභාවයන් පිළිබඳ උකහා දක්වමින් ස්වභාවික පරිසරය පිළිබඳවත් මානව ජීවිතය පිළිබඳවත් දක්වන කතුවරයා තත්කාලීන සමාජයේ සම්ප්‍රදායික කර්මාන්තයන් බිඳිවැටී වාණිජ වතු වගාවේ වර්ධනය වීම පිළිබඳවත්, භාණ්ඩ හුවමාරු කිරීමේ ක්‍රමය මූල්‍ය හුවමාරුව දක්වා වෙනස්වීම පිළිබඳවත්, දේව ඇදහිලි මත රෝග නිශ්චය කර ඖෂධ භාවිත නොකර මිනිසුන් නිකරුණේ මරු වැළඳ ගන්නා අයුරුත් මනාව දක්වා ඇත.