2019 ගොඩගේ ජාතික කාව්‍ය අත්පිටපත් තරගයේ ප්‍රශස්ථ කාව්‍ය අත්පිටපතක් ලෙසින් තේරී ප්‍රකාශයට පත් “රෝස නිල් පාට හීන” කවි සරණිය වින්යා ජයසේකර කිවිඳියගේ ප්‍රථම කවි අස්වැන්න යි. පද්‍ය පංති හතළිහකින් සංගෘහිත මෙහි අනුභූතීන් බහුතරයක් ස්ත්‍රිය මූලික කරගනිමින් ද සමාජ, ආර්ථික හා දේශපාලනික විෂයයන්ගෙන් ද නිර්මිත ය.
කෘතියේ ප්‍රථම නිර්මාණයෙන් ම කිවිඳිය පාඨකයා තමා කෙරෙහි ආසක්ත කරගන්නේ අපූරු ලෙසිනි. සිංහල අවුරුදු නිමාවත් සමඟ නැවත සුපුරුදු ජීවන රටාවට හුරුවීම වස්තු විෂය කරගනිමින් “ඉතින් අහවරයි අවුරුදු” පද පෙළ රචිත ය. කැවිලි පෙවිලි, රතිඤ්ඤා හඬ මැද ගතකළ ප්‍රීතිමත් කාල සීමාව නිමවනා යුරු වින්යා පබදින්නේ මෙලෙසිනි.
“වෙඩි බෙහෙත් මඟුලකට පසු
නොපිපිරී ඉතිරි නම් බිජු
හාමතින් නැඟිටලා විත්
ගයමු ගොළු කොවුලනේ
ඉතින් අහවරයි අවුරුදු”
කෙටි කාලයක දී කෙතරම් සතුටු වුව ද ජීවත්වීම යනු ඉතා දුෂ්කරව වෙහෙස වියයුතු කාර්යයක් බවත් ජීවන පැවැත්මේ අව්‍යාජත්වයත් කිවිඳිය මනාවට විශද කරයි.
ජීවිතයේ තවත් අහඹු රමණීය අත්දැකීමක් අනුභූති කරගනිමින් “වැස්සකට පසු” කාව්‍ය පංතිය විරචිත ය. දිගු ඉඩෝරයකට පසු ඇදවැටුණු වැස්සක කතාවක් මතුපිටින් නිරූපණය කළ ද ව්‍යංගව කිවිඳිය පාඨක හදවතෙහි චිත්‍රණය කරන්නේ මිනිස් ජීවිතයේ අතුරු සිතුවමකි.
“දිගු නියං සමයකට පසු
කලාතුරකින් ලත් සුළං අවසරය
වෙන් වෙන් ව ගිය වලා යුවළක්
ළං කළා රමණීය වෙළුමකට”
කාලයකට පසු ව වෙන් වී තිබූ වලාකුළු ද්වයක් එකතු වී වර්ෂාව ඇදහැළුණු බව වාච්යාර්ථයෙන් රූපණය කළ ද කිවිඳිය මේ ව්‍යංගව මතුකරන්නේ විරසකව වුන් යුවළකගේ ආදර හැඟුම් දළු ලා එහි ඉමිහිරි ම රස විඳුම් මොහොතකි.
“ ඉතිරි කර කැළඹීම ඉදිරියට
ඉතා සන්සුන්ය දැන්
වැස්සකට පසු අහස”
වළා යුගලයෙන් පෙම්වතා හා පෙම්වතිය හෝ අඹුසැමි යුවළ සංකේත කරන අතර වැස්ස ලෙස ඇය සංකේත කරන්නේ ප්‍රේමාලිංගනය යි. ස්වභාවික සංසිද්දියක් රූපණය කරමින් ගැඹුරු ජීවන අත්දැකීමක් නිරූපණය කිරීම කිවිඳියගේ නිර්මාණකරණයේ ප්‍රතිභාව යි.
විවාහක කාන්තාවකගේ චිත්ත වේදනාවක් අරමුණු කරගනිමින් “රෝස නිල් පාට හීන” කාව්‍ය පෙළ නිර්මිත ය. දරු ඵල අහිමි බිරිදකගේ හදවතෙහි නැඟෙන සංවේදනාව මෙහිලා කිවිඳිය තම වස්තු විෂය කරගනී.
“හීන කන්නයක නෙළන
මිහිරිතම අස්වැන්න
රඳවා තබමි වැරෙන්
බිතෙහි ලූ රුව මත”
දරු ඵල අහිමිවීම වර්තමානය වනවිට කුටුම්බයෙන් විවර ව ප්‍රබල සමාජ ගැටළුවක් බවට පත් වී තිබේ. කෙතරම් තාක්ෂණ වේදයන් දියුණු වුව ද අහිතකර ආහාරපානවල සීග්‍ර වර්ධනය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය ම මේ ඛේදවාචකයට මුහුණ දෙති. කාලෝචිත නිර්මාණයන් පිළිබඳ කිවිඳියගේ සමාජ විමසුම ඉතා අගනේය. නමුදු මෙම අනුභූතිය ම පාදක කරගනිමින් “මල් පිපෙණු රිසියෙන්” පද්‍ය පංතිය රචනාකර තිබීම අනුචිත ය. මේ නිසා කාව්‍ය කෘතියකට නිර්මාණ තෝරා ගැනීමේ දී වින්යා කිවිඳිය තව දුරටත් සැළකිලිමත් විය යුතු බව කිව මනා ය.
නිර්ධන පංතියේ අවාසනාවන්ත ඛේදවාචකයක් අරමුණු කරගනිමින් “ඇත්තමයි සාරදා” කව නිර්මිත ය. දුගී කුටුම්බයක ජීවන වෘත්තාන්තය ඇය මේ සඳහා පාදක කරගනී. මාසික වේතනයෙන් ජීවත්වන පවුලකට සම්පූර්ණ මාසික වැටුප ලබා ගැනීමට එරෙහි වන්නේද සමාජයේ පවතින පොදු ප්‍රවාහන සේවාව යි.
“පඩියෙන් බාගයක් ඉවරයි
බැංකු ණය පොලියට
ඒ පාඩුවත් අපිටමයි
කෝච්චිය වැරදුණු දවසට”
කොතරම් අගහිඟකම් පැවතියත් එවැනි මිනිසුන්ට වුව නව ප්‍රාර්ථනාවන් බොහෝ ය. කථකයාගේ බිරිඳ නිවසේ ම කාලය ගත කරන නිසා දිනකට හෝ ඒකාකාරී බවෙන් මිදෙන්නට රුචි ය. නමුදු එයට ද මේ ආර්ථිකමය ගැටලුව හරස් වනා’යුරු කිවිඳිය පද බඳින්නේ මෙලෙසිනි.
“බාගෙට ඇහෙන ඔය කතා
යාන්තම් ඇස් පියවෙන කොට
කොයි තරම් නම් ඇතිද තව
මේ සොළොස් අවුරුද්දට”
සරල බස්වහර තුළ කිවිඳිය ගම්‍ය කරන ව්‍යංගය ප්‍රශස්ත ය. ඇයගේ නිර්මාණ ප්‍රතිභාව ද මෙය ම වේ.
සමස්ත පුරුෂ පාර්ශවය අනුභූති කරමින් “පිරිමි අපි” කව රචිත ය. කාන්තාවකගේ සිතකින් පිරිමි පාර්ශවය පිළිබඳ මෙලෙස පරිකල්පනය කිරීම ම ප්‍රශස්ථ ය. නමුත් ඒ නිසා ම දෝ මෙහි යම් අසාර්ථක බවක් මාගේ කියවීම හා විමංසනය මත හැඟෙයි.
“තට්ටු පිට තට්ටු පුයර නැති
හිතුමතේ වැවෙන රැවුල ඇති
ඔපේ වඩවන්න රත්රන් නැති
හැලෙනකල් තියෙන දත් ටික ඇති”
වර්තමාන සමාජයේ වෙසන බහුතරයක් පුරුෂ පාර්ශවය සමඟ මෙය ගැළපේද යන්න උභතෝකෝටික පැනයකි. එලෙසම නිර්මාණයේ කූටප්‍රාප්තිය කෙරෙහි ඇයගේ අවධානය වඩාත් යොමු කළ යුතු ය. එය කෙතරම් දුරට සාධාරණ ද යන්න නැවත සිතා බැලිය යුතු ය.
ගාලු කොටුව හා අවට ප්‍රදේශයේ සන්ධ්‍යා කාලයේ ඡමත්කාරය රූපණය කරමින් “ගාලු සැදෑවෝ” කාව්‍ය පංතිය රචනා කර තිබේ. කිවිඳිය මෙහි දී භාවිත කරන කාව්‍යාත්මක භාෂාව ඉතා ම ප්‍රසංසනීය ය.
“එයින් සුළු මොහොතකින් නුබ ගැබ
බීර පැහැයෙන් මත් ව ගිය පසු
මදඳුරට මධු ඔඩම දිගු කර
පහන් ටැඹ සවුදිය පුරණු ඇත
ඈත නෞකාවකට ඇස දී”
පරිසරය අන්ධකාරය වෙළා ගන්නවාත් සමඟම පහන් කණුවලින් ආලෝකය නිකුත්වීම කිවිඳිය රූපකාර්ථවත් ලෙසින් නිරූපණය කරන්නීය. “බීර පැහැයෙන්”, “මධු ඔඩම”, “පහන් ටැඹ සවුදිය පුරණු” යන පද්‍යවලින් පාඨක හදවතෙහි වඩාත් සෞන්දර්යාත්මක රූපාවලියක් සිත්තම් වේ.
“ළැමගිලානව” හිසින් රචිත පද්‍ය නිර්මාණයෙන් පියයුරු පිළිකාවෙන් පෙළුණුකාන්තාවක නිරූපණය වෙයි.
“කන්ද මුදුනෙහි සුමට
නිල් පබළුවෙන් මතුව
බිලිඳු හැඬුමෙන්තිගැස්සී
ළපටි වැවකට හැරුණ
කිරි ශිරා උල්පතකි”
වින්යා වැවකට හැරුණු කිරි උල්පත ලෙස සංකේත කරන්නේ කථකාවියගේපියයුරු ය. දරුවන් වෙනුවෙන් කැප කළ එවන් පියයුරු පිළිකා රෝගය හේතුවෙන් කපා ඉවත් කිරීම සෝචනීය ය. කිවිඳිය එය පද බන්ධනය කරන්නේ මෙලෙසිනි.
“කැණීමෙන් ඉතිරි කළ
බැකෝ දත් කැළලකි”
කිවිඳියගේ රූපකාර්ථවත් බස්වහර සාර්ථක ය.
මවකගේ සෙනෙහස අරමුණු කරගනිමින් “දුවට මවක මිස” කාව්‍ය පංතිය රචිත ය. ජිවිතයේ මං වැරදුණු දියණියකට රැකවරණය දෙන මවක් මෙහි ලා ඇය වස්තු විෂය කරගනී.
“රෑණ මිතුරු හිඳි විහඟුන් හැර ගිය දා
හීන දුටුව ඇස් ඉදිරියෙ බොඳ වුණ දා
පාන මිතුරු හද රැඳෙමින් සවිය සදා
පාර පෙන්නුවේ සෙනෙහස් එළි විහිදා”
“සියපතක වත”, “පිරිමියෙකුට පුළුවන්”, “මැයි මල්”, “මත් හිරු”, “ජීවිතය ගලා යන්නා” සහ “අකුණකට පසු” යන කාව්‍ය නිර්මාණයන් මෙහි වඩාත් සාර්ථක නිමැවුම් ලෙස ගම්‍ය කළ හැකිය. කාව්‍යකරණයේ දී කිවිඳිය භාවිත කරන නිදහස් මෙන් ම සඳැස් ආකෘති ද සරළ රූපකාර්ථවත් සංකේතාර්ථ බස්වහර ද පාඨක හදවතෙහි කරුණා හා ශෘංගාර රස ජනනය කරමින් චිත්ත රූප මැවීම ද සැළකූවිටවින්යා ජයසේකර කිවිඳියගේ “රෝස නිල් පාට හීන” කාව්‍ය සංග්‍රහය ඇයගේ කවි මාවත සුවඳවත් කරන කව්මල් පොකුරකි.