ලියන කවියට අව්‍යාජ කවියෙක්ගේ කවිකම් පිරි ‘ඇස් ඉස්සරහා’ (559)

post-title

භාවගෝචර ව, ප්‍රේමානුයෝගී ව, ආත්මීයව නැඹුරු ව, අඩදැණිව, හිතට එන මුල් අංකුරය කවියට පෙරළන, වුවමනාටත් වඩා ළතෙත්ව නිර්මාණ ගෙන එන අයෙකු ලෙස ක්‍රිශාන් රත්නායක හැඳින්විය හැකිය. ඔහු ලියන කවියට අවංක ය. එබැවින් කවියට බොරු කරන්නට ඔහුට නොතේරේ. ඔහු ළපටි ස්වරූපයෙන් ඇති හැකි පමණින් කවි ලියන්නේ, ඒ අව්‍යාජත්වය පසුපස ඇති ඇතැම් මනරම් කවිකම් ගැන නොදැනගෙනය. මහාර්ඝ කවියක් ලියන්නට, අර්ථ බලෙන් ඔබ්බවන්නට, වචන අමුතුවෙන් ඇතුළු කර බොරුවට රස කරන්නට, ඔහුට වුවමනාවක් නැතිය. "මේ මගේ කවි වල සැටි- ඇති හැකි අය කියවපල්ලා" ය යන්න කියා ඔහු ඔහුගේ ගමන යයි. 

"මහා වෙහෙසක් තියා පසුපස

කලාකරුවෙක් ලියූ කවියක

පරාජිතකම් දරාගන්නට

කවුද අවුදින් ගිහින් රේවත

කපා අනියම් වචන සැහැලේ

තබා ඇත කටු අකුරු දෑලේ

නින්ද ඇවිලෙන රස්නෙ ඇරගෙන

වැස්ස අවුදින් ගිහින් රේවත"

මේ කවියේ සමස්තාර්ථය ඉඟිකරන්නේ, නොලැබුණු පෙමක ඉකියක්ද, වියොවක සොඳුරු අවියක්ද, තවත් සංඛාරා සිනමා පටයක්ද? ඒ සියල්ලමය. උපමා, රූපක, බර වැකි කිසිවක් නැතත් කවියෙන් යමක් වෑහේ. 

ක්‍රිශාන්ට වැඩි හුරුව ඇත්තෙ සිව්පද කවියට ය.මේ පොතේ ඇති කවි බහුතරය එසේය. ඔහු ඊට දක්ෂය. දිගු සිව්පද කවි, කෙටි කවි අතර රිද්මය බිඳෙනු නොදෙයි. බිඳෙන රිද්මය ගළපයි. ස්වභාවිකත්වය අගයයි. වරුණනාමය බව සිඳලයි.

ගස්, මුහුදු, වෙරළ සහ එසේම ප්‍රේමයේ විවිධ අවස්ථා වෙනුවෙන් ඔහුගේ බොහෝ කවි ලියැවී තිබෙනු පෙනේ. අත්දැකීම් පරාසය වැඩෙනකල්හි විරහව එකම ලෙසින් ගෙන ඒම පසෙක තබා ඔහු වෙනත් පරිකල්පන වෙත අනාගතයේදී පිවිසෙනු ඇත, වයසත් සමඟ තටු වැඩෙනු ඇති බැවිනි.

"මහගිරිදඹය ජීවිතයේ දුක් කන්ද

ඇකයේ සඟවගෙන උණුහුම් පෙම් බැන්ද

වැහැරී ගිය සිරුර වහගෙන පණකෙන්ද

ඉඳිකඩ ළඟ හිඳියි අර සමනොළ කන්ද"

බස, රසය. ලය රසය. පද රසය. පරිකල්පනය වාග් සිතුවම් මවයි. සංදේශ සාහිත්‍යයේ සමනොල ගිර වැනූ කවියක් සමඟ මේ නූතන කවිය ගෙන විමසන්නැයි කියමි. 

ආර්ථික විද්‍යාව වැනි විෂයක් ප්‍රධානව උගන්නා බැවින්දෝ ක්‍රිශාන්ගේ කවිවල කුමක්දෝ වටකුරු බවක් අතරින් පතර මතුව පෙනෙන්නට වෙයි. වටේ යාම්, අරුත් සැඟවීම් ආදියට ඔහු කාලය නොවෙසවයි. ඉද්ද ගැසුවා සේ කියයි. මෙය හොඳට මෙන්ම නරකට ද හිටින්නට පුළුවන.

කොළඹ දෙවන පරපුරේ කවියන්ගේ කවි කියවීමෙන් ලත් ආසාවෙන්දෝ ක්‍රිශාන් කවියට උපයෝගී කරගන්නා සොබාදහමෙන් හොද හැටි පල ලබාගනී. කාන්තා විශයෙහි කොළඹ කවීන්ගේ වර්ණනය, ඔහු මනම්පේරීගේ කවියෙන් සාර්ථකව ගෙන ඒමට තැත් කර ඇත. නමුත් මේ නිර්මාණයේ ආරම්භයේ ප්‍රබල බව, අවසානයට යද්දී බිඳී යාම හොඳ නැත. මට මෙ කව කියවද්දී සිහිවූයෙ විමලරත්න කුමාරගම කවියාවය.

" මළගිය සොහොනකට පිවිසෙන ගතිය දැනී

වැළලිය මම ද එතකුදු මම නොහැඬුවෙමී

හැර ගිය ඇගේ මතකය ගැන නොපවසමී

මළගිය පණිවිඩය දීමට පැමිණියෙමී"

'ඇස් ඉස්සරහ' මගේ ඇස් ඉස්සරහ තබාගෙන කවියෙන් කවිය කියවිය හැකි වුවත්, අත් පා තවම නිසි පරිද්දෙන් ක්‍රියා නොකරන බැවින් කවි උපුටා දැක්වීම නැවතීම ගැන කමන්න. මෙහි වරු ගණන් කියැවිය හැකි, සංවාද කළ හැකි, මෙන්ම එකඟ විය හැකි නොහැකි කවි ද ඇත. 

කෙසේ හෝ, ක්‍රිශාන් භාෂාව සමඟ අනවරත අරගලයක් ගෙන යනු කවි බසින් පෙනේ. ඔහු ඒ හා සටනක් දෙනු පෙනේ. පද ලස්සන නමුදු අරුත, ගැළපීම සම්බන්ධ ගැටලු ඇති කවි ද මෙහි වන බැවිනි. 

අරගලය හොඳ ලකුණකි. එහෙත් එය ඉටු වන තැන් මෙන්ම නොවෙන තැන් ද වෙයි. හිතට එන සියලු අදහස් මුල් ස්වරූපයෙන්ම කීමට යාම කවියට හොඳ නැති බැවින්, අප ඔහුට යෝජනා කරන්නේ ඇතැම් කවිවලින් උනන වේදනාව දරා, එය සමනය කර, පසුව යලි සකසා නිර්මාණය ඔපවත් කරගන්නා ලෙසයි. ජනප්‍රිය කවියාගෙන් මිදී, සාර්ථක කවියෙකු වීමට ඔහුගේ ගමන වර්ධනය කරගන්නා ලෙසයි. ඒ, 'ඇස් ඉස්සරහ' තව මුවහත් වනු පිණිස ය.

Top