කවිය කියන්නේ සංක්ෂිප්ත ලේඛන ස්වරූපයක්. කලාවක් ලෙස, එය පරිශීලනය කරන්නා තුල ඵලදායි හැඟීම් පරාසයක් ඇති කර ඔහු හෝ ඇය ඒ තුළට කැඳවනවා. එය ලොව පුරා ආකාර හා සම්ප්‍රදාය ගණනාවකින් ඉදිරිපත්වි තිබෙනවා. සොනෙට් (Sonnet) වැනි සාම්ප්‍රදායික රිද්ම කව්‍යවල සිට සමකාලීන නිදහස් පද්‍ය දක්වා එය පුලුල් පරාසයක පැතිර තිබෙනවා. කවියට රිද්මයක් තිබෙනවා. එය බොහෝවිට සංගීතය සමග නෛසර්ගිකව ඇති බැඳියාවක්. කවියෙක් සෑම විටම කරන්නේ සාමාන්‍ය රසිකයෙකුට නොපෙනෙන දෙයක් දෘශ්‍යමාන කිරීම. ඒ අදෘශ්‍යමාන දේට ප්‍රීතිය, දුක, වේදනාව, ආදරය, මනුෂ්‍යත්වය ගැන පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න ද ඇතුළත්. කවියක ගාමක බලය එහි භාෂාව. කවියේ බස ගද්‍ය රචනාවක භාෂාවට වඩා වෙනස් වෙනවා. එය කාව්‍යාත්මකයි. අත්දැකීම්ගෝචරයි. භාෂාවක උප සංස්කෘතික හා උප භාෂාමය ලක්ෂණයන්ගෙන් සමන්විතයි. එසේම වචන පෙළගැස්මේ රිද්මයානුකූල බව ගැන කවියෙකු සැමවිටම උනන්දුයි. "හොඳම වචන හොඳම පිළිවෙලට යෙදීම කවියයි." යන නිර්වචනය ඉංග්‍රීසි කවියෙකු වන සැමුවෙල් ටේලර් කොලාරිජ් (S.T Coleridge) පවසා ඇත්තේ එබැවින්.
බොහෝ කවි කිවිඳියන් සිතන දෙයක් තමයි කවියක ආභරණයක් ලෙස සැළකෙන ව්‍යංගය රැඳී තියෙන්නේ භාෂාත්මක ප්‍රයෝගයන් තුළ කියන එක. එය පූර්ණ සත්‍යයක් නෙමේ. කවිය භාෂාවේ වහලෙකු නොවී භාෂාව කවියේ වහලෙකු බවට පත්කර ගන්නට කවියා හෝ කිවිඳිය සමත් විය යුතුයි.
තුෂාරි ජයසිංහ ගේ "අර්ධාංගනී" කාව්‍ය නිර්මාණ එකතුව රස විඳින විට දැනුන දෙයක් වන්නේ ඇය භාෂාව හා ආකෘතිය කෙරෙහි දක්වන අනවශ්‍ය උනන්දුව නිසා සිය කවියේ පරිකල්පනීය රස කලාපය මදක් අඳුරුකරගෙන ඇති ආකාරය. ඇය නිසර්ග සිද්ධ ප්‍රතිභාවක් සහිත නවක කිවිඳියක්. විවිධ ආකෘතීන්, භාෂාමය තලයන්, විවිධ අනුභූතින් ඇය සිය කාව්‍ය නිර්මාණයන් වෙනුවෙන් භාවිතා කරන්නට උත්සාහයක් ගනු ලබනවා. එය නවක කවි කිවිඳියක සතුවිය යුතු ඉතා හොඳ ගුණයක්. නමුත්, එහිදී අප උත්සාහ කළයුත්තේ අංශ තුනම ප්‍රශස්ථ මට්ටමෙන් සංයෝග කරගන්නා මාත්‍රාව සොයා ගන්නට. එවිට සිය කවිය, බොහෝ කවි රචනා අතර සුවිශේෂත්වයට ඔසවා තැබෙනවා.
සමග එකුන් දස බිසවුන්
ගණන දහසයක් දහසින්
පිරිවරාගෙන කනිටු බිසොවුන්
විඳින විට නුඹ සුව රසයන්
(ළතැවිල්ල - පිටුව 17)
මේ කවෙහි ඇය අතින්ම ඇගේ ආකෘතිය බිඳෙන්නේ ආකෘතියට හා භාෂාවට අනවශ්‍ය අවධානයක් දීමට යාමෙන්. කවියක ආකෘතිය හා සුදුසු බස අපට බලහත්කාරයෙන් එබ්බවිය හැකි දෙයක් නොවේ. එය අත්දැකීම නැතහොත් අනුභූතිය විසින් එහි ස්වරූපය අනුව ස්වාධීනව ඉල්ලා සිටින දෙයක්.
උදා ගිරින් අඹරේ දිනකර නැගුණා
මල් මල් තුහින පාවඩ අම්මට ගෙතුණා
හනිකට තැබූ පය කරගැට බිඳුණා
හිස මත බරට වැඩියෙන් හද බර වැඩුණා
(අසමසම -පිටුව 18)
පෙරදි රැඟුවේ විදුලියක් ලෙස
දසත දුවනා නුබ ගැබේ
කිම්ද කාරණ නොදන්නෙමි මම
දෑත දෙපයම තද බදේ
(කමා කළ මැන - පිටුව 25)
"අම්මට", "තද බදේ" වැනි මෙවැනි යෙදුම් වල භාෂාවේ විවිධාර්ථ ජනන භාවිතය නිසා කවියේ රසයට හානි කරන බව අවබෝධ කරගැනීම මැනවි. කවියේ දී බස අප සකස් කරගත යුත්තේ ආකෘතිමය රිද්මය රැකීමට නොව කවියේ අර්ථ ජනනය පෝෂණය කිරීමට බව බොහෝ නූතන කවීන් අවබෝධ කරගත යුතු වෙනවා. ඇමෙරිකානු කිවි වොලස් ස්ටීවන්ස් කවිය සංලක්ෂිත (Characterized) කළේ “වචන මගින් වචන හෙළිදරව් කිරීමක්” ලෙසින්. එයින් පැහැදිලි වන්නේ කවියේ දී භාෂාව හා එම උපයුක්ත භාෂාවේ අරුත් ජනනය කවියේ ප්‍රකාශන මානයන්ට කෙතරම් වැදගත් ද යන කාරණය.
කවියේ අරමුණ කුමක්ද? යන්න බොහෝවිට බොහෝ තැන් හි නැගෙන ප්‍රශ්නයක්. ඇතැම් විට එය රොමාන්තික සෞන්දර්යාත්ම රස ජනන අරමුණක් විය හැකි සේම සමහරවිට අර්ථ ජනනය තුලින් ජීවනාබෝධය ලබාදෙන සමාජ අරමුණක් ද විය හැකියි. බොහෝ විට කවියේ අරමුණ රඳා පවතින්නේ ඒ ඒ සමාජ සංස්කෘතික දේශපාලන සන්දර්භය අනුව. සමකාලීන බොහෝ අය කවිය ලියන්නේ ස්වයං ප්‍රකාශනය අරමුණක් වෙනුවෙන්. විශේෂයෙන් තමන් ගේ හැඟීම් මෝචනය සඳහා. කිසියම් අත්දැකීමක් හෝ අනුභූතියක් තමන්ට ජීර්ණය වීමට පෙර එය කවියක් බවට පෙරලන්නට ගන්නා සෑම උත්සාහයකින්ම විද්‍යමානී වන්නේ අත්දැකීම කවියාට මොනතරම් ආගන්තුක දුරස්ථ බවකින් යුතු වේද යන්න. එය කවියේ අසාර්ථක බව සටහන් කරනවා පමණක් නොව එහි තිබිය යුතු ත්‍රිමාණික බවද වනසා දමනවා. එනයින් සිදුවිය යුත්තේ කවියා හුදෙක් අනුභූතියේ බාහිර නරඹන්නෙකු නොවී එහිම කොටසක් බවට පත්වෙන තුරු සිට නිර්මාණය රසිකයා අතපත් කිරීම ඉවසා සිටීමයි.
කුලගෙට ආව දවසේ සිට පිසුව බත
අදටත් පිසිනවා සතුටින් එකුල කත
මහ වැසි කුණාටුත් නියඟත් ඈ දකින
නොසැලී සිටියේ මහමේරුව සදිසි කත
නිවී සැනහෙනා දිනයක මන රමණී
වරා මලක හැඟුමන් සතු ඒ දියණී
පාවී යාවී සිතුසේ දස අත සරණී
හිමි අත අරන් කුලගෙට ගිය අර්ධාංගනී
(අර්ධාංගනී - පිටුව 33)
උධෘත කවියේ දකින්න ලැබෙන්නේ ඒ නොමෙරූ බිළිඳු ඉන්ක්‍යුබේටර ලක්ෂණ.
තුෂාරි ජයසිංහ කවිත්වයකින් තොර කෙනෙකි යැයි කියන්නට අප හදිසි වන්නට අවශ්‍ය නැහැ. ඇගේ නිර්මාණයන් හි ඈ තුළ ඇති කවිත්වය තැනින් තැන විසිරී ඇති බව හොඳට ම දකින්න පුලුවන්. ඇය කළයුත්තේ විසිරි කොටස් ව්‍යුත්පත්තියෙන් එකලස් කර කවියේ දිශානතිය සකසා ගැනීමයි.
ආකෘතිමය වශයෙන් තුෂාරි සිව්පද ආකෘතියට වැඩි ඇල්මක් දක්වන බව කෘතිය තුළ පෙනෙනවා. කෘතියේ සංගෘහිත නිර්මාණ වලින් 20 කට වැඩි ප්‍රමාණයක් රචනා වී ඇත්තේ ඒ ආකෘතිය තුළ. එය වරදක් නොවේ. නමුත් ආකෘතියේ රිද්මය රැක ගන්නට ගොස් ඇය වරද්දාගත් තැන් බහුලවීම ඇය අතින් සිදුවූ වරදක්.
අපි කවි ලියන්නේ අපගේ ආත්මතෘප්තියට හෝ අපේ හැඟීම් විමෝචනයට හෝ විය හැකියි. නමුත් එය රසික ගත කළ මොහොතේ සිට එය රසිකයාගේ වින්දනීය දේපලක්. ඒ නිසා අපි අපේ කවිය රසික කේන්ද්‍රීයව නොසිතා රචනා කරන විට රසිකයා එක් තැනකත් කවිය තවත් තැනකත් වැතිරී ක්‍රමක්ෂය වෙනු දකින්න පුලුවන්. ඒ නිසා කවිය රසිකයාගේ ජීවන දැක්මේ පරාසය පුලුල් කරන මෙවලමක් ලෙස මුවහත් කර දීම කවියාගේ වගකීමක්. මන්ද දවස අවසානයේ කවියා හා රසිකයා මුහුණ දෙන්නේ එකම සමාජ දේශපාලන යථාර්ථයකට.
මැක්සිකානු කිවි ඔක්ටාවියෝ පාස් (Octavio Paz) වරක කියා සිටියේ "කවියා සහ පාඨකයා තනි යථාර්ථයක අවස්ථා දෙකක්" බවයි. එය මේ සටහන නිමා කරන්නට හොඳම සටහන බව මේ මොහොතේ සිතේ.