‘ජාන’ ජීවිතය විනිවිදින තෙලිතුඩක්වන් කෙටිකතා එකතුවක් (284 වන ලිපිය)

post-title

පද්‍ය, කෙටිකතා හා ශාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් රචනා කර ඇති ඩී.බී රම්බොඩගෙදර සිය නවතම කෙටිකතා සංග්‍රහය ‘ජාන’ නමින් නොබෝදා එළිදක්වා ඇත. අම්මා, පුංචි අක්කා, මළ මිනිස්සු නො ඉවසති, කුසල් අකුසල්, සාදකාරයෝ, නවීකරණය, දුර්භික්ෂ ඇතුළු කෙටිකතා දාහතරක් අඩංගු ‘ජාන’ මිනිසුන්ගේ සිතුම් පැතුම් හා චර්යාවන් විශ්ලේෂණය කරන උපේක්ෂා සහගත ව්‍යයායාමයකි. එදිනෙදා ජීවන චර්යාවේදී මුණගැසෙන ගැහැනුන් මිනිසුන් තුළ සැඟවුණ සිතුම් පැතුම් හා චරිත ලක්ෂණ දෙස කතුවරයා බලන්නේ සානුකම්පිත මැදහත් භාවයෙනි. ඔහු කර්කශ අපහාසය උපහාසය සිය නිරූපණ කේෂ්ත්‍රයෙන් බැහැරකරන්නේ කෙනෙකුගේ මානසික හෝ ශාරීරික දුබලතාව නැතහොත් චර්යාව මිනිස් සන්තානයේ දැකිය හැකි බැහැර කළ නොහැකි සත්‍යයක් යයි සිතන නිසාය. සරල සිත් ගන්නා ආඛ්‍යානයෙන් රචිත බොහෝ කෙටි කතාවල වස්තු විෂය කෙනෙකුගේ අවධානයට ලක් නොවන තරම් සියුම් පරාසයක් දක්වා විහිදෙයි.

රංබොඩගෙදර අධියථාර්ථවාදය හෝ ෆැන්ටසිමය ආඛ්‍යානය කෙරෙහි නැඹුරු නොවේ. පවුල් සංස්ථාව, සමාජ වටපිටාව හා පරිසර සංසිද්ධි තුළ සියුම් ගවේශණ මානයකින් සැරිසරණ කතුවරයා තමා අත්විඳි සමාජ අත්දැකීම් පාඨකයා සමඟ බෙදා ගන්නේ හේතු ඵල සම්බන්ධතාව සහ ආකල්ප මත දෝලනයවන මිනිස් සිතුම් පැතුම්වල හරස්කඩක් සිතුවම් කරමින්ය. 

‘ජාන’ සම්ප්‍රදායික මති මතාන්තර හා කුල ගර්වය හිසින් ගත් ගරා වැටෙමින් පවතින වලව්වක පොළවේ පය නොගසා ජීවත්වෙන පවුලක නිස්සාර යථාර්ථය කියා පාන කතාවකි. හැරී නාමල්ගමගේ පුත් මහාචාර්ය අර්ජුන එංගලන්තයේ විශ්ව විද්‍යාලයක ජාන විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකි. ඔහු වසර පහකට පසුව දෙමාපියන් දැකීමට ලංකාවට එයි. කතාව දිග හැරෙන්නේ එතැන් සිටය. පරම්පරා ගණනාවක් තිස්සේ පවුල තුළ අවාහ විවාහ සිදුවන්නේ ලේ ඥාතීන් සමඟය. කුල ගර්වය ආරක්ෂා කර ගැනීමත්, පවුලේ පාරම්පරික දේපළ පිටස්තරයන් සතු වීම වළකවා ගැනීමටත් අවාහ විවාහ සිදුවන්නේ ලේ ඥාතීන් සමඟ පමණි. ජාන පරාගනය පවුල් ලේ සබඳතා මත සිදුවෙන බැවින් ආබාධිත බව හා මන්ද මානසික තත්වය පවුල් ගස පුරා දැකිය හැකි සාමාන්‍ය තත්ත්වයකි. මේ පිළිබඳ ජෛව විද්‍යාත්මක සත්‍යය මහාචාර්ය අර්ජුන් දනී. පස් වසරකට පසුව ගෙදර පැමිණි අර්ජුන්ට සිය පවුලේ ඥාතිවරියක් විවාහ කර දීමට හැරී නාමල්ගම සූදානම් වෙයි. මේ වන විට අප්‍රිකානු සම්භවයක් ඇති තරුණියක් හා පෙමින් බැඳී සිටින අර්ජුන් ලේ ඥාති විවාහයේ අයහපත් තත්වය සිය දෙමාපියන්ට පහදා දෙන්නේ තමා වැටෙන්නට යන උගුලෙන් ගැළවීම සඳහාය.

අර්ජුන් නාමල්ගම ආපසු එංගලන්තට යන්නේ හැරී නාමල්ගමට උභතෝකෝටික ගැටලුවක් ඉතිරි කරමින්ය. එතැන් සිට සිදුවෙන දේ කතුවරයා විස්තර නොකරයි. අර්ජුන ගිය පසු හැරී මිය යන්නේ අර්ජුන් නාමල්ගම සිය දරුවෙක් නොවන බවට බිරිය සමඟ උරන වී කලහ කර ගැනීමෙන් පසුවය. කතුවරයා කතාවේ සමස්ථය අවසාන වැකි කීපයෙන් දක්වයි. මුල සිට අග දක්වා ප්‍රස්තුතය සඟවා ඉදිරිපත් කිරීමේ කලාව කතුවරයා ශූර ලෙස භාවිතා කරයි.

‘අම්මා’ වර්තමාන පවුල් සංස්ථාව තුළ වියපත් දෙමාපියන් අත් විඳින තනිකම හා දුෂ්කරතා වටා ගෙතෙන කතාවකි. මව මුහුණදෙන ජීවන අරගලය සංවේදී පුතෙකු විසින් ගෙනහැර දක්වන්නේ කාර්ය බහුලත්වය නිසා අතපසු වූ සිය යුතුකම් පිළිබඳ සන්තාපයෙන් මෙනෙහි කිරීම මගින් ය. සිය ලොකු අය්යා සහ ඔහුගේ බිරිඳගේ නොසැලකිල්ල නිසා මව මුහුණදෙන දුක් කම්කටොළු පුතා අවබෝධ කරගන්නේ ඇයගේ මරණයෙන් පසුවය. ලොකු අය්යා සහ ඇගේ බිරිඳ රංජනී සමඟ ජීවත්වෙන මව ගැන රංජනී ලේලිය තුළ ඇත්තේ නොරිස්සුම් කමකි. සිරිල් විටින් විට මවට ගෙනා පෝෂ්‍යදායී ආහාර පාන කල් ඉකුත්වන තෙක් ඇයට ලබා දී නැති බව සිරිල් දැනගන්නේ මවගේ මරණයෙන් පසුවය. සුලභ තේමාවක් මත ගොණු කරන කතාවකි. සිද්ධි හා අවස්ථා නිරූපනය අතර ප්‍රමාණවත් සබඳතාවක් ගොඩනැඟීමට කතුවරයා සමත් වී ඇති බවක් නොපෙනේ.

සොහොයුරියන් දෙදෙනෙක් හා බස් කොන්දොස්තර තරුණයෙක් වටා ගෙතී ඇති ‘පුංචි අක්කා’ කතාව යොවුන් සිත් තුළඇතිවන ප්‍රේමය හා එහි ප්‍රකාශනය පිළිබඳ නාට්‍යානුසාරී විවරණයකි. බාල සොහායුරිය හා කොන්දොස්තර තරුණයා වන ‘ලස්සන අය්යා’, අතර ඇතිවන ඇල්ම හා ආකර්ෂණය කතාවේ මූලික ධාරාව ලෙස දැක්වෙන අතර ඊට එරෙහිවන චර්යාවක් වැඩිමහලු සොහොයුරියගෙන් පළවේ. ඇය නිතරම ලස්සන අය්යා අවඥාවට ලක් කරමින් කතා කිරීම බාල සොහොයුරිය රුස්සන්නේ නැත. එසේ කරන්නේ ‘ලස්සන අය්යා’ නංගීගේ ග්‍රහණයට හසුවේය යන ඊර්ෂ්‍යව නිසාය. විවාහ යෝජනාවක් සමඟ නිවසට පැමිණෙන ලස්සන අය්යාට පුංවි අක්කා එක්වරම කැමැත්ත පළ කිරීම බාල සොයුරියට අදහාගත නොහැක. සිය සොහොයුරිය මෙන්ම තමා ද ලස්සන අය්යා කෙරෙහි සිත් ඇති නිසා ලස්සන අය්යා අවඥාවට ලක් කිරීමෙන් නංගීගේ සිත බිඳවීමට පුංචි අක්කා මුල සිටම කටයුතු කළ බව පාඨකයා දැන ගන්නේ කතාව අවසානයේදීය. සැඟවුණ සිතිවිලි හා අපේක්ෂාවල බාහිර රූපාකාරය සියුම් ලෙස විදහා දක්වන පුංචි අක්කා රසවත් නිර්මාණයකි.

‘මළ මිනිස්සු නොඉවසති’ ආබාධිත තරුණියක් රැක බලා ගැනීමට වෙහෙසෙන මවක් වටා ගෙතී ඇත. රූමත් ආබාධිත තරුණිය කුඩා කළ ඇගේ වැඩිමල් සොයුරිය අතින් බිම වැටී ආබාධිත තත්ත්වයට පත්වේ. එයින් අක්කා තුළ ඇතිවන බිය හා ස්වයං වැරදිකාර හැඟීමත් ඇගේ පසුතැවිල්ලට හේතුවේ. මවගේ අධි සංවේදී රැකවරණය අහිමි වූ විට එහි වගකීම තමා වෙත ආරෝපණය වීමෙන් ඇය මහත් පීඩාවට ලක්වේ. රූප කාය හෝ වෙනත් බාහිර දෙයකට වඩා දරු සෙනෙහෙස හදවතින් නැගී සිතේ මුල්බැසගත් ගැඹුරු ඇල්මක් බව කතාවේ හරයයි.

‘කුසල් හා අකුසල්’ පස් පවින් වැළකී සිටීමට වෑයම් කරන මැණික්රාල නම් අහිංසක සරල ගැමියෙක් වටා ගෙතී ඇත. නොවැරදීම පෝයට සිල් ගන්නා මැණික් රාල ජාතක කතා, බණ කතා කීමට රුසියෙකු වන අතර සිල් සමාජයට නැතිවම බැරි කෙනෙකි. දරුවන්ට ද සෙනෙහස දක්වන මැණික්රාල දිනක් දොළේ විනෝදයට මාළු අල්ලමින් සිටි දරුවන්ට මසුන්ට හානි නොකර උන් අල්ලා ගන්නා විදිහ කියාදෙයි. ඔහු එසේ කරන්නේ දරුවන්ගේ සතුටට මෙන්ම මසුන්ට ද හානියක් නොකිරීමේ යහපත් චේතනාවෙන්ය. ගමේ උදවිය මැණික්රාල මහ පාප කර්මයක් කර ළමයින් ද නොමග යැවූ බව කියමින් පන්සලේ හාමුදුරුවන්ට ද දැනුම් දේ. මෙයින් ලජ්ජාවටත් කනස්සල්ලටත් පත් වෙන මැණික්රාල සිල් ගැනීමටවත් පන්සල් නොයයි. පරිපූර්ණත්වය පිළිබඳ ආකල්ප හා පුද්ගල වර්යාවේ සියුම් දෝලනය වෙත සමාජය හෙළන දෘෂ්ටිය කොතරම් බලවත් ද යන්නත් සියුම් විමර්ෂණයකට ලක් කරන මෙම කතාව ලේඛකයාගේ පරිකල්පන ශක්තිය විදහා දක්වයි.

පරිසරය හා බැඳුන එහි සජීවී කොටස්කරුවෙක් මෙන් ජීවත්වෙන ගැමියන්, පරිසරය, ආකල්ප මෙන්ම ක්‍රියාකාරකම්වල වෙනස්වීම කෙරෙහි දක්වන අකැමැත්ත හා ඉන් ඇතිවන මානසික කැළඹීම මෙහි කතා කීපයකින්ම දැක්වේ. ‘ඇවැස්ස නෑයෝ,’ කුමාරිහාමිගෙ දරුවෝ, නවීකරණය යන කතා ඊට නිදසුන්ය.

‘රැඟුම නිමාවිය’ අලුත් ජනාවාසයකට පැමිණෙන පවුලක් නව අසල්වාසීන් සමඟ සමාජ සබඳකම් ගොඩනගා ගැනීමේ දී මුහුණ දෙන සිද්ධි වටා ගෙතුණ රසමුසු කතාවකි. මිනිස් සිතුවිලි හා ක්‍රියාකාරකම්වල යටිඅරුත වටහා ගැනීම දුෂ්කර කාර්යයකි. බොහෝවිට සත්‍ය අනාවරණය වන්නේ අමිහිරි අත්දැකීමක වේදනාව සමඟිනි.

‘දුර්භික්ෂ’ භූත හොල්මන් වැනි මිත්‍යා විශ්වාසවල එල්බගෙන සිටින අය වෙත එල්ල කරන සෝපාහාසය මුසු අතුල් පහරකි. 

‘චරිත’ විකෘති කාමාශාවෙන් පෙළෙන ලෙනින් නම් මැදි වියේ මිනිසෙක් ලිංගික හිංසනය හෝ බලහත්කාරකමින් තොරව සිය අමුතු කාම ආශාව තෘප්තිමත් කරගන්නා අපූරු ජීවිතය ගැන කතාවකි. පාඨකයා තුළ පියවරෙන් පියවර කුහුල ජනනය කරමින් ගොඩනැගෙන කතාවේ අවසානය පාඨකයා විශ්මයට පත් කරයි. ඔහු සිය ජීවිතය නිමා කරගන්නේ සිය දේපල තමාගේ ආවතේව කාරයාට පවරමින්. ඔහුගේ විකෘති ආශාව ගැන දන්නා සේවකයා සිය බිරිඳ ‘ඔත්පල’ වී සිටින ලෙනින්ගේ සාත්තුවට යොදවන්නේ ලෙනින්ගේ දේපල තමාට ලියවා ගැනීමේ අදහසින්ය. ලෙනින් මිය යන්නේ සිය දෙපල සේවිකාවට ලියා දෙමින්ය. විකෘති මානසිකත්වය තුළ දැකිය හැකි බහුවිද රූප ස්වභාය කොතම් සංකීර්ණ ජාලයක් දැයි පාඨකයා වෙත විදහා දැක්වෙන ‘චරිත’ කතා තේමාව අනාවරණය කරන්නේ අවසන් වැකි කීපයෙනි.

“ඇවිද්දවන අතර ඔහු ඇදගෙන වැටුණි. මම කලබල වුණෙමි.

“ඒ හිතලමයි වැටුණේ. ගැනු එක්කෙනා ලවා නැගිට්ටුවා ගන්ට ආසාවට”

“ලෙනින් මහත්තයා බලා ගත්ත ගෑනු කෙනා කොහොම හරි මායම් දාලා මේ ගෙයයි ඉඩමයි එයාගෙ නමට ලියවා ගත්තා. දැන් ඉතින් මේ ගේයි ඉඩමයි අපේ”

“ඒ කොහොමද?”

“ඇයි එයා මගෙ නෝනා නේ” මුහුණේ සතුට උතුරවමින් ඔහු පැවසුවේය. (පිට-98)

කතුවරයාගේ භාෂාව සරලය. සිද්ධි විකාශනයේ විචිත්‍ර බව පාඨක උනන්දුව ජනිත කරන සුළුය. කතා මාලාව පුරාම යෙදුම් හා භාෂා ව්‍යවහාරය ඒකාකාරී ස්වභාවයක් ගන්නා නමුත් පාඨකයා වෙහෙසෙට පත් නොකරන සුමට ගතියෙන් යුක්තය. තෙලිතුඩකින් මැවෙන සිතුවමක් මෙන් කෙටි වැකි යොදාගෙන මනස් චිත්‍ර මැවීමේ අපූරු හැකියාවක් කතුවරයා යොදා ගන්නා සරල භාෂා භාවිතයේ ගැබ්ව ඇත.

” ඔහු පැහැපත්ය. උසය. හීන්දෑරිය. කලිසම් හා කමිස නිතිපතා මාරු කරමින් ඉතා පිරිසිදුවට හැඩට අඳියි. කොණ්ඩය බොකුටුය. පැත්තට පීරයි. මගීන්ට කරුණාවෙන් කතා කරයි. ඉතිරි මුදල් නියමිත පරිදි දෙයි. ඔහු මා වෙත විශේෂ අවධානයක් දක්වන බව මට හැඟී ගියෙන් මගේ සිත පිබිදී ගියේය.”(පිට-37)

“ඔහු පණ පිහිටුවා කියන කතා මුලින් සිතෙහි ඇඳෙන අතර පසුව ඒවා අපි පොත්වල චිත්‍රණය කරමු“ (පිට-56)

එදිනෙදා මුණගැසෙන ගැහැනු මිනිසුන්ගේගේ චරිත තුළ සැඟවුණ අපූරු මිනිස් චර්යාවන් හා ගුණාංග පාදක කොටගෙන කතුවරයා, මූර්ති ශිල්පියෙක් සිය අත හසුවන මැටි පිඩ නවා, කඩා, මිරිකා අපූරු නිර්මාණයක් කරන්නාත් මෙන් සිය අත්දැකීම් නිර්මාණ කෝවේ දමා සිත් සතන් පොබයන, මිනිස් චර්යාවේ නොපෙනෙන, සිතීමට, බැලීමට දෑස විවර කරවන රසවත් කතා එකතුවක් ගොතා ඇත. පාසල් දරුවන් ඇතුළු විවිධ පරාසයක පාඨකයන්ට එකසේ රස විඳිය හැකි ‘ජාන’ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථයකි.

Top