කතන්දර කීම සහ කතන්දර ලිවීම යනු කාර්ය ද්විත්වයකි. එහෙත් කතන්දර ලියන්නෙකු හෝ ලියන්නියක කතන්දරයක් කීම යනු වෙනත් ම කර්තව්‍යකි. වඩාත් සරලව පවසන්නේ නම් කථන භාෂා ව්‍යවහාරයෙන් ලිවීම ද සුවිශේෂී ය. නමුදු කථන භාෂාවෙන් ලියන්නා හෝ ලියන්නිය ලිඛිත භාෂා ව්‍යවහාරය පිළිබඳව ද මනා අවබෝධයකින් යුක්ත විය යුතු ය. ඒ සඳහා ලංකාවේ සිටින හොඳ ම ලේඛකයා අජිත් තිලකසේන ය. ඔහු ලියන්නේ ම කථන භාෂාවෙනි. නමුදු ඔහු ලිඛිත භාෂා ව්‍යවහාරය පිළිබඳව ද ප්‍රාමාණික විද්වතෙකි. මහාචාර්ය ලියනගේ අමරකීර්ති ද සුවිශේෂ ගණයේ ලේඛකයෙකි. එහෙත් ඔහු විසින් රචිත ‘‘අටවක පුත්තු’’ (මෙම කෘතිය 2008 වසරේ ප්‍රශස්ත නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබී ය.) පූර්ණ වශයෙන් ම කථන භාෂා ව්‍යවහාරයෙන් රචිත ප්‍රබන්ධයකි. නමුදු එම කෘතිය ආරම්භයේ සිට අවසානය දක්වා කිසිදු අලසභාවයකින් තොරව කියවිය හැකි ය; කියවා රස විඳිය හැකි ය. ඒ, ඔහු ලිඛිත භාෂා ව්‍යවහාරය පිළිබඳව ද ප්‍රාමාණික දැනුමැත්තෙක් වන බැවින් ය යන්න මගේ විශ්වාසය යි.
අජිත් තිලකසේනට අනුව නම් ප්‍රබන්ධ සාහිත්‍යයට වඩාත් උචිත වන්නේ මැදිවහර ය. ඔහු එනමින් ම කෘතියක් පළ කර ඇත. එම කෘතියේ එක් තැනක මෙසේ සඳහන් වේ.
‘‘කට බසේ හෙවත් කතා කරන බසේ වියාකරනය, ලියන බසේ හෙවත් කතා නොකරන බසේ වියාකරනය වශයෙන් වියාකරන පද්ධති දෙකක් සිංහලයේ විද්‍යමාන වෙනවා. මේ දෙකෙන් සරල - අතිශය සරල - කට බසේ වියාකරණය බව අමුතුවෙන් පෙන්නා දෙන්න උවමනා නෑ.’’
මැදිවහර: අජිත් තිලකසේන: පිටුව 10
අජිත් තිලකසේන සහ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මතු නොව තවත් අල්ප ලේඛක ලේඛිකාවෝ පිරිසක් සිය ප්‍රබන්ධ නිර්මාණ කථන භාෂා ව්‍යවහාරයෙන් ඉදිරිපත් කර ඇත. ඔවුන්ගේ එකී ප්‍රබන්ධ රචනා සියල්ල සර්ව සාර්ථක යැයි පැවසිය නොහැකි ය යන්න මගේ පුද්ගලික අදහස ය. තත්ත්වය එසේ වුව ද කථන භාෂා ව්‍යවහාරයෙන් ප්‍රබන්ධ රචනා ලිවීම නිෂේධනීය යන්න හෝ එසේ නොලියන්නැයි මෙයින් අදහස් නොකරමි. මන් ද මෙම ලිපිය ලියන ලේඛකයාගේ පළමු ප්‍රබන්ධය ලියා ඇත්තේ ද කථන භාෂා ව්‍යවහාරයෙනි. නමුත් යළිත් සිහිපත් කළ යුත්තේ එසේ ලියන ලේඛක ලේඛිකාවෝ තමන්ගේ ප්‍රබන්ධ රචනය ළමා රචනාවක් තරම් වූ මට්ටමට පත් නොකර ගතයුතු ය යන්න ය.
කථන භාෂාවෙන් කතාන්දර ලිවීම සම්බන්ධයෙන් වූ මෙම සටහන ලියන්නට හේතු පාදක වූයේ තරිඳු අමිල විසින් රචිත ‘‘හීන මායිම’’ කෘතිය යි.
කෘතිය සම්පූර්ණයෙන් ම රචනා කර ඇත්තේ කථන භාෂා ව්‍යවහාරයෙනි. එමෙන් ම රචකයා සිය කෘතියේ ආඛ්‍යාන ශෛලිය ලෙස භාවිත කර ඇත්තේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය යි. එසේ වුව ද ඇතැම් ස්ථානවල දී ප්‍රථම පුරුෂ ආඛ්‍යාන ශෙලිය ද දක්නට ලැබේ. එය කතුවරයා සිතා මතා ම භාවිත කළේ ද එසේත් නොමැති නම් ස්වයං සිද්ධවීමක් ද යන්න අපැහැදිලි ය. යට කී කරුණු කෙසේ වුව ද රචකයා සිය කෘතිය වෙනුවෙන් භාවිත කර ඇති ආකෘතික රටාව නම් නැවුම් ය. මීට පෙර මා මෙවන් ආකෘතියක් සහිත එක් කෘතියක් කියවා ඇත. ඒ භාතිය මදනායක විසින් රචිත ‘‘පාරා’’ නමැති ප්‍රබන්ධ කෘතිය යි. මේ ප්‍රබන්ධ ද්විත්වය ම, දෙපාර්ශවයක් විසින් කිසියම් ස්ථාන දෙකකින් උමගක් කැපීම අරඹා අවසන අතරමග දී දෙපාර්ශවය ම එකිනෙකාට සම්මුඛ වන්නා සේ ය. දෙපිරිස උමග කැපීම ස්ථාන දෙකකින් ඇරඹුව ද අතරමග දී දෙපසකට නොගොස් නිවැරැදිව ම උමග මධ්‍ය යේ දී සම්මුඛ වී උමග කැපීම අවසන් කරයි. එය ප්‍රබන්ධ කලාවේ එක් තාක්ෂණික උපක්‍රමයකි. එය ජයග්‍රහණය කරන්නට කතුවරයා සමත්ව ඇත.
‘‘හීන මායිම’’ කෘතිය ප්‍රබන්ධ කළ තරිදු අමිල හට කතා ලිවීමේ හැකියාවක් පවතින බවට විවාදයක් නැත. එමෙන් ම ඔහුගේ පරිකල්පන ශක්තිය ද දියුණු ය. නමුදු තම මනසේ තැන්පත්ව පවතින කතාන්දරය ඉදිරිපත් කිරීමේ දී හෙතෙම යම් පසුබෑමකට ලක්ව ඇත. එනම් කෘතිය අවසානයේ දී පාඨක ප්‍රජාව වෙත පැවසිය යුතු දෑ පැවසීම සඳහා වූ මූලික පදනම සකසා ගැනීමට හෙතෙම අසමත්ව ඇත. තවත් සරලව පවසන්නේ නම් කෘතියේ ආරම්භය වෙනුවෙන් ඔහු දැරූ වෙහෙස වැඩි සේ ම එය පාඨක ප්‍රජාව ද කිසියම් වෙහෙසකර තත්ත්වයකට පත්කරන බව මගේ පුද්ගලික අදහස ය.
කියවීමේ පුහුණුව සහිත පාඨක ප්‍රජාවට උක්කුවා සහ නාමසිංහ අතර පවත්නේ කුමනාකාරයේ සම්බන්ධයක් ද යන්න වටහා ගැනීමට අසීරු නොවේ. නමුත් අදාළ සම්බන්ධය කුමක් ද යන්න පාඨක ප්‍රජාවට නිශ්චිතව ම අවබෝධ කරගන්නා ස්ථානය දක්වා ඔවුන් රැගෙන යන්නට කතුවරයා දරා ඇති ප්‍රයත්නය ඉතා ප්‍රබල ය. මන්ද නාමසිංහ යනු කවුදැයි දැනගැනීමේ කුහුල ප්‍රබන්ධය මත ඇවිද යන පාඨක ප්‍රජාව තුළ මතුවීම අනිවාර්ය වේ. එය ප්‍රබන්ධකරුවකු සතු දක්ෂතාවකි. අනෙක් පසින් ගත් විට නාමසිංහ එබදු පුද්ගලයෙක් බවට පත්ව ඇත්තේ කෙසේද යන්නට සහ නාමසිංහගේ පුතු වන අකිල සමග සබඳතාවක් පවත්වන තරුණිය වන චමරි හට නාමසිංහ එකපැහැර ම සිය කැමැත්ත පළ කරන්නේ ඇයි ද යන්නට විවිධ හේතු උපකල්පනය කරන්නට පාඨක ප්‍රජාව පෙලඹීම ද අනිවාර්ය ය. පාඨක ප්‍රජාව එබඳු උපකල්පන කෙරෙහි යොමුවන්නේ ද එකී පාර්ශවයෙන් කතුවරයා සමත්ව ඇති බැවිනි. අනෙක් පසින් ඇක්මන්ගේ චරිතය ගොඩනැගීමේ දී කතුවරයා දක්වන දක්ෂතාව ද සුවිශේෂ ය. එබඳු චරිත සැබෑ ලෝකයේ වෙසෙන බව බොහෝ පිරිස් දැන සිටිය ද මා මෙතෙක් කියවා ඇති කිසිදු ප්‍රබන්ධයක අදාළ චරිතය හමුවී නොමැත. එය ද මට නැවුම් අත්දැකීමකි.
තවත් පසෙකින් ගත් විට ප්‍රධාන කථකයා වන උක්කුවාගේ පියාගේ අතුරුදන්වීම සහ සැබැවින් ම ඔහුට සිදුව ඇත්තේ කුමක් ද යන්න නිශ්චිත මොහොතක දී හෙළිදරව් කිරීම ද කතුවරයාගේ ප්‍රබන්ධ ශක්‍යතාව මැනවින් ප්‍රකට කෙරෙන අවස්ථාවකි. මන්ද මගේ පුද්ගලික විශ්වාසය අනනුව නම් මෙතෙක් ‘‘හීන මායිම’’ කෘතිය කියවා ඇති කිසිවකු අදාළ අවස්ථාව එළඹෙන තුරු ම සිදාරිස් එවන් ඛේද ජනක ඉරණමකට මුහුණ දෙන්නට ඇතැයි කිසිදු ආකාරයකින් නොසිතන්නට ඇත. ඒ කතුවරයාගේ දක්ෂතාව හේතුවෙනි. ඔහු පාඨක ප්‍රජාව වෙත අදාළ සිද්ධිය ඉදිරිපත් කරන්නේ ඔවුන් කිසි සේත් ම නොසිතන අවස්ථාවක දී ය.
යට කී පරිදි මා මෙම කෘතිය තුළ සංචරණය කිරීමේ දී නාමසිංහ සහ උක්කුවා අතර පවත්නා සබඳතාව මැනවින් අවබෝධ කරගත්ත ද කතුවරයා අදාළ සිද්ධිය ඉදිරිපත් කරන අවස්ථාව දක්වා ම එය කෙසේ සිදුවූවා ද යන්නට නිශ්චිත පිළිතුරක් සොයාගැනීමට නොහැකි විය. නමුදු විවිධ උපකල්පනවලට පැමිණීමට මං විවරකර තිබුණි. ඒ, ආපණ ශාලාවේ මුදලාලිගේ සිට බකමූණා හරහා ඇක්මන් දක්වා වූ චරිත ඒ සඳහා බලපෑවේ ද යන උපකල්පන ය. එය මට හැඟුණ ආකාරය පිළිවෙළින් ගළපන්නේ නම් ඒ මතු සඳහන් කරන පරිදි ය.
- ආපණ ශාලාවේ මුදලාලිගේ හොඳ හිත දිනාගැනීම හේතුවෙන් ඔහු සිය වෙළදාම පැවරීමෙන්
- බකමූණා සමග ඇතිවූ ගැටුමෙන් ඉක්බිති ඔහු සතුව පැවති විශාල මුදලක් ලැබීමෙන්
- ඇක්මන් සිර දඬුවමට ලක්වීමෙන් ඉක්බිති ඔහු සතුව තිබූ රන් ආභරණ තොගයක් ලැබීමෙන්
නමුදු අවසානයේ පාඨක ප්‍රජාවට සම්මුඛ වන්නේ වෙනස් ම වූ සිදුවීමකි. එය ද කතුවරයාගේ ප්‍රබන්ධකරණයේ එක් දක්ෂතාවකි. ඒ සියල්ල ම ‘‘හීන මානය’’ කෘතියේ සාධනීය ලක්ෂණ ය. එවන් සාධණීය ලක්ෂණ තිබිය දී වුව ඇතැම් නිෂේධනීය කරුණු හේතුවෙන් ප්‍රබන්ධයේ බර සැහැල්ලුවට ලක්වී ඇත. ඒ මොනවාද යන්නට මතු දැක්වෙන උදාහරණ කිහිපය දෙස අවධානය යොමු කරමු.
- උක්කුවාට ගමෙන් පලා එන්නට සිදුවන්නේ ඇයි ද යන්න පැවසීමට කතුවරයා කෘතියේ අර්ධයක් පමණ වැය කිරීම (මනෝරි ලියනවඩු විසින් රචිත ‘‘ප්‍රකම්පන’’ ප්‍රබන්ධය ද මේ ව්‍යසනයට ගොදුරු වී තිබුණි)
- හඳයා පිළිබඳ වූ වර්ණනා, ළමයෙකු හඳයා පිළිබඳ ලියන රචනාවක් තරමට ම අවප්‍රමාණ වීම
- ඇතැම් සිද්ධි හුදු වාර්තාකරණයකට පමණක් සීමා කිරීම
- ඇතැම් ස්ථානවල දී (මට හැඟෙන පරිදි) කතුවරයා නොදැනුවත්ව ම ඔහු කෘතියට මැදිහත්වීම
- කෘතියේ අන්තර්ගත බොහෝ සිදුවීම් ඉතා කෙටියෙන් සහ වේගයෙන් පාඨක ප්‍රජාවගේ මනසට ඇතුළත් කිරීම
යනාදි තත්ත්ව මගහරවා ගන්නට කතුවරයා සමත් වූයේ නම් ‘‘හීන මායිම’’ ප්‍රබන්ධය මීට වඩා සාර්ථක නිර්මාණයක් වන්නට ඉඩ තිබිණ.
තත්ත්වය එසේ වුව ද තරිදු අමිල නමැති ලේඛකයාගේ ලේඛන දක්ෂතාව ඇගයීමට ලක් නොකර සිටීමට තරම් මා මුග්ධ නොවන අතර අනාගතයේ දී ඔහු විසින් රචනා කරනු ලබන ප්‍රබන්ධ කෘතියක දී යට කී දුර්වලතා මගහරවා ගන්නට මගේ කියවීම උපස්තම්භක වනු ඇතැයි විශ්වාසය තබමින් ම මම මෙම ලිවීම හමාර කරමි.