වර්ගය කුමක් වුවද, තිත් මල් පවා ආදරය සොයති. විෂ සහිත වුවද, කටු අතර පිපුණද, කාමය උපදවන සුවඳින් යුක්තය. ඔවුහු එහි වෙලෙති, පැටලෙති. කාමෝද්දීපනයෙන් මත්ව සුරතාන්තප‍්‍රාප්තිය ලබති.
සමාජ සම්මතය, සදාචාරය, කුමක්දැයි හඳුනා නො ගත්, අනාදිමත් කාලයක සිටම මිනිසා ලිංගික සම්භන්ධතා පැවැත්වූයේය. පුරුෂයාගේත් ගැහැණියගේත් ශාරීරික අවැසිතාවය මතුව ආ කළ, තැනක් නොතැනක්, පමණක් නොව ඥාතිත්වයද නොතකා ලිංගිකව එක්වූහ. එය අශිෂ්ටය, අසම්මතය හෝ අශ්ශීල බව යැයි තෝරා බේරා ගන්නට තරම් පරිණත නොවූහ. එය හුදෙක් අනෙකෙකුගේ පහසින් තෘප්තිමත් වීම පමණක් ම විය.
කාලය මිනිසා සමඟම පියඹා අවුත් ඔහු ගේ මනස තුළ සදාචාරය, සම්මතය, හා ශිෂ්ටත්වය වැපිරූ දා සිට අසම්මතය, අශ්ශීලත්වය අශිෂ්ට බව, වෙනුවෙන් එහි සුවිශේෂී ඉඩක් වෙන් විය. එදා සිට අද දක්වාම ඔහු ජීවත් වන්නේ තම හෘද සාක්ෂිය හා කරන අනවරත ගැටුමක් ද සමඟිනි.
ආදරය හා ලිංගිකත්වය තුළ ව්‍යාභිචාරය වර නැගෙන්නේ එලෙසිනි. ආදරය විෂම ලිංගික වුවද, සම ලිංගික වුවද එය සමාජ සම්මතය හා නිරන්තරව ගැටෙමින් පවතී. පසු කාලයක එය විපරීත යැයිද, අසම්මත යැයිද, සමාජය සෘණාත්මක දිෂානතියක් කරා මෙහෙයවනු ලබන්නේ යැයිද කියමින් ව්‍යාභිචාරය, සමලිංගික එක්වීම වෙනුවෙන් නීති සහ දඩුවම්ද නිර්මාණය විය.
ලංකාවේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 435 වැනි වගන්තිය වෙන් වන්නේ සමලිංගිකයන්ගේ එක් වීමට එරෙහිවය. එහි සමලිංගික බැඳීම තහනම් ආදරයක් සේ හුවා දක්වමින්, ඒ සඳහා නීතියෙන් ලැබෙන දඩුවම් ද සඳහන් කර ඇත. ඒ, රෝම ලංදේසි නීතිය යටතේය. අවාසනාවකට දෝ, එකී නීතිය දැන් එංගලන්තයේ පමණක් නොව රෝමයේ තබා ඕලන්දයේවත් නැති වුවද ලංකාවේ නම් තවමත් පැවතෙන බව නොලියාම බැරිය.
ආදරය සහ රාගය සම්මතයකට රාමු ගත කළ හැක්කේ කෙසේදැ නොදනිමි. ඒ තුල අශ්ශීලත්වයක් , අසම්මතයක් උපදින්නේ කොතැනදීදැයි නොදනිමි. ආදරය අසම්මත වන්නේ කෙසේ සිදු කළ විට දැයි නොදනිමි. විෂම ලිංගික වුවද, සම ලිංගික වුවද ආදරය තුළ අසම්මතයක් හෝ අශ්ශීල බවක් පැවතිය හැකිද...? මගේ කියවීමට අනුව හෘද සාක්ෂියක් අහිමි සමාජයක, සම්මතයන් පවතින්නේද යන්න පවා ගැටලූ සහගතය.
කෙනෙකුගේ ලිංගික ජීවිතය යනු හුදු තෝරා ගැනීමක් නොවේ. ඔහු හෝ ඇය තම ළමා කාළය තුළ මුහුණ දෙන, අත් විඳින, අත්දකිනු ලබන දෑ තුළින් ඔවුන්ගේ ලිංගික ජීවිතය තීරණය වන්නේ යැයි සිතමි. කුඩා අවදිය යනු පැහැදිලි සුදු රෙදි කඩක් බඳුය. එහි ඇලෙන, තැවරෙන හා තදින් බැඳී යන දේ හරහා ඔවුන්ගේ රුචි අරුචිකම් හා තෝරා ගැනීම් සිදුවෙයි. ලිංගිකත්වයද එසේමය.
‘‘තිත් මල්” හි ‘මන්රිසි’ යනු එවැනි අයෙකි. කුඩා කාලයේදීම තම නැන්දනියගේ සරාගී ස්පර්ශයෙන් ලැබූ උත්තේජනයන් නිසාම නිරායාසයෙන්ම ඇගේ කාමයේ ගොදුරක් වන්නට සිදු විය. මුළදී ඔහු එයින් ලැබූ ප‍්‍රහර්ශය නිසාම පසු කළෙක එයින් අත් නොමිදී එහිම ගැලී එයින් කායික සංතර්පණයක් ලැබුවේය. ඒ නිසාම තම පෙම්වතිය වූ කුන්නදී අරබයා රාගයක් වැඩුණේ නැති තරම්ය. ඉඳහිටක මන්රිසි ඇගේ දෙතොල් පහස ලැබූවද ඈ පිළිබඳව ලිංගික බැඳීමක් ඇති කර නොගත්තේ ඔහුට කොණ්දේසි විරහිතව, ආයාසයකින් තොරවම ලැබෙන කායික සංතර්පණය සිය නැන්දනිය වූ මන්මථී විසින් අඩුවක් නැතුවම සපුරා දුන් නිසාය. අසම්මතයේ පෙම්වතෙකු, ලිංගික සහකරුවෙකු යන භූමිකා මන්රිසිට අලුත් අත්දැකීමක් නොවන්නේ එහෙයිනි.
ලාලනීද එසේමය. ඇය අභිසාරිකාවක වුවුද, ඇගේ යටි සිත තුළ අතීතයේ දිනයක තම යෙහෙළිය වූ සුධාරීගෙන් ලැබූ ශාරීරික ආස්වාදය තුළින් ලත් ප‍්‍රහර්ශය නිදන්ගතව තිබුණි. බඩ රස්සාව වෙනුවෙන් පිරිමින් සමග යහන් ගත වුවද සැබෑවටම ඇය ලද තෘප්තියක් නොවුණි. ඈ කුන්නදීගේ පෙම්වතිය වන්නට මෙහෙයවන්නේද එදා සුධාරී වෙතින් අත් විඳි පරම ආශ්වාදය විය නොහැකිද..? සැඟව තිබූ සමරිසි යෝනි ලාලසාවය ලාලනී තුළින් මතුවන්නේ එහෙයිනි.
කුන්නදී පෙම්වතියකව සිටි කාලයේ සිටම මන්රිසි ගෙන් ලැබුවේ අල්ප වින්දනයකි. බාහිර ලිංගික සන්තුෂ්ටියක් හෝ ඔහු වෙතින් නොලැබවාය. ආදරය නිසාම ඇය තම ඉපිලී ආ කායික හැඟිම් හා ආශාවන් යටපත් කර ගත්තාය. අවසානයේ ඇය සියල්ල ඉරණමට බාර දුන්නේ විවාහයෙන් පසුව වුවද ලිංගික එක් විමකදී ලබන සැබැ සුරතාන්තය කුමක්දැයි කියාවත් නොදැනය. නමුත් කුන්නදී සමරිසි සුවයට නතු වන්නේ එසේ හෝ සතුටක් වින්දනයක් ලැබීමට තිබූ වුවමණාවට නම් නොවේ. පර පුරුෂ සේවනයට ඇගේ සිත නම්මා ගන්නට අපොහොසත් වීම නිසාත්, තම සැමියාගේ බලවත් අශ්ශීල ඉල්ලීමට වක‍්‍රාකාරව හෝ පිළිතුරුක් සොයා ගැනීම උදෙසා ගත් ප‍්‍රයත්නයේ අතුරුඵලයක් ලෙසිනි. එහෙත් කිසිදා මන්රිසිගෙන් නොලද තරමේ කායික පිබිදීමක්, ආශ්වාදයක් ලාලනීගේ අනුරාගී පහසින් ලබන කුන්නදීගේ රස උල්පත් උත්තේජනය වන්නට පටන් ගත්තේද එලෙසිනි.
මන්මථී යනු ‘තිත් මල්’හි සුවිශේෂී භූමිකාවක් යැයි මට සිතේ. ඒ, ඈ හරහා නඩත්තු වන ජීවිත දෙකක ඉරණම ‘තිත් මල්’ තුළින් පොලා පනින නිසාය. මේ මොහොතේ වහා සිහිපත් වන ප්‍රධාන කාරණා තුනක් සඳහන් කරනු කැමැත්තෙමි.
- චුල්ල නාරද ජාතක කතාවේ එක්තරා ස්ත‍්‍රියක් විසින් සිදු කරනු ලබන්නා වූ ළමා අපචාර පිළිබඳව අපි කියවා ඇත්තෙමු.
- ජයසිරි අලවත්තගේ පළමු නවකතාව වූ ‘අක් දහර’හි පොඩි මහත්තයා නොහොත් යසේ, වයස අවුරුදු එකොළහ වන විටත් කාන්තාවන් තිදෙනෙකුගේ ජාගර කාමුකත්වය හමුවේ ලිංගික අතවරයට පත් වන්නේය.
- නලිනී ජාතක කතාවද එවැනිම මතකයක් අප තුළ සනිටුහන් කරන්නේ, කාමාධික ස්ත‍්‍රියක විසින් පුරුෂයෙකු දූෂණයට ලක් වන අන්දම කියවීමෙනි.
- ඊටත් අමතරව අපි සිංහල රාජාවලියේ තම බෑණනුවන් වල්ලභයා කරගත් බිසෝවරුන් පිළිබඳව ද කියවා ඇත්තෙමු.
මන්රිසිගේ පියා වූ සාරාණාථ, මන්මථිගේ සොහොයුරාය. ඔහු විසින් ඇයට තරුණ වියේදීම ලබා දෙන ‘ලැප්ටොප් ’ පරිගණකය, ඇගේ තාරුණ්‍යයේ හැඟීම් උලුප්පා, උගුල්ලා ගන්නට අන්තර්ජාලයේ නිදහස් අවකාශයක් උදා කර දුන්නා වැනිය. ඒ උත්තේජනයෙන් පිබිදී ආ ඇගේ සරාගී හැඟීම්, සැබෑ වින්දනයක් හරහා සංතර්පණයකර ගනු වස්, කුඩා බෑණනුවන් යොදා ගැනීම දක්වා දිව යන්නේය. කුඩා මන්රිසි දෙපා අප‍්‍රාණික මවට වඩා තම නැන්දනියට වඩාත් සමීපව සිටීම එකී හැසීරිම්වලට පහසු වාතාවරණයක් සපයා තිබුණි. මෙලෙස මන්රිසි ලිංගිකත්වයේ අත්පොත් තබන්නේ මන්මථී ගෙනි. ඒ නිසාම ඔහු කුඩා අවදියේ සිටම අත්විඳි මුඛ ලෝලනය මෙන්ම බාහිර සංසර්ගයෙන් ලබන ආශ්වාදයට නිරයාසයෙන්ම නැඹුරුවක්, කැමැත්තක් දැක්වීම පුදුමයට කරුණක් නොවේ. ඔහුගේ ලිංගික හැසිරීම්වල අඩිතාලම සැකසෙන්නේ එලෙසිනි.
මන්මථී
මන්මථීගේ තාරුණ්‍යය ගෙවා දමන්නට සිදුවන්නේ දෙපා අප‍්‍රාණික තම නෑණන්ඩියගේ දරුවන් බලා කියා ගනිමිනි. විසි වියැති ඇයට සිදු වූයේ ඉගෙනීම පසෙක ලා ඇගේ දෙදරුවන් වෙනුවෙන් වසර ගණනාවක්ම වැය කිරීමටය. උපන් නැකතේ දොසක් යැයි කියමින් තම ලේ ඥාතීන් ඇයව ලේබල් ගසන අතරේ වසර අටක් පුරාම සිදුවන මන්මථිගේ කැපකිරීම අවසන් වන්නේ සිය ජීවිතය පිළිබඳව වූ දැඩි කණස්සල්ලකිනි. නව යොවුන් ඇයට ස්වකීය අනාගත බලාපොරොත්තු ගොඩනංවා ගන්නට පවා අවස්ථාවක් තිබුණේ නැති තරම්ය. ඇගේ සියලු හැඟීම් කර්කෂව වියළී යන්නේ එකී වාතාවරණය තුළයි. තම සොහොයුරා වුවද දැන හෝ නොදැන ඇගේ අනාගතය එසේ වන්නට දායක වූ බව මගේ විශ්වාසයයි.
පාඨකයන් බොහෝ දෙනා මන්මථීගේ කාමුක ෆැන්ටසිය ගැනත්, ඇගේ යෝනි සංතර්පණ පිපාසාව ගැනත් , ඊටත් පසුව ඇය විසින් මන්රිසිව අත්තනෝමතික ලෙස තම ලිංගික අවැසිතා වෙනුවෙන් ග‍්‍රහණයට ගැනීම ගැනත් සෘණාත්මකව සහ, අශ්ශීල යැයි දකින්නට උත්සාහ දරති. නමුත් මන්මථීගේ ජීවිතය එතැනට ගෙනවුත් අතාරින්නේද සිරිනාථ හා සේපාලි විසින් බව නොපවසා සිටිය නොහැක. අවාසනාවන්ත ලෙස ගැබිනියක වූ මන්මථීගේ ජීවිතය මරණයෙන් කෙළවර වන්නටත් මේ සැඟවුණ කටුක සත්‍යය හේතු නොවන්නේද..?
අතිශ්‍යය මනෝ විද්‍යාත්මක කාරණාවක් පාදම කර ගනිමින්, එය යටි පෙළෙහි සඟවා මන්මථිගේ භූමිකාව පාඨකයා කරා රැගෙන එන ජයසිරි අලවත්තගේ පරිකල්පන පොහොණි බව දැනෙන්නට නම් ‘තිත් මල්’ කියවා ගත යතුමය. එහි ගැඹුරේ කිමිඳීමෙන් මන්මථිගේ අශ්ශීල ෆැන්ටසිය හරහා තරුණියකගේ දියවී ගිය අනාගත සිහිනයක ඛේදාන්තය පිළිබඳව වූ යථ මැනවින් වටහා ගත හැකි බව මගේ විශ්වාසයයි.
මන්මථී කෙතරම් මන්රිසිගේ ශරීරයට ගිජුව සිටියාදැයි කිව හොත්, සිරුරේ අර්ධයක් අඩපණ වී තිබුණද කුන්නදී හා මන්රිසිගේ විවාහයෙන් පසුව ද ඔවුන් හා එක්ව වසන්නට පෙළඹෙන්නීය. කුන්නදීගේ සහායට යැයි අඟවමින් ඇයම ඔහුගේ ආවතේව වෙනුවෙන් ඉදිරිපත් වන්නීය. වෛද්‍යවරයාගේ අනාගත වාක්‍යය සඵල කරගනු වස් රහසිගත මෙහෙයුමක යෙදෙන්නීය. අන්තර්ජාලයේ සරමින් එයට අනුව ප‍්‍රායෝගිකව කටයුතු කළාය. අවසානයේ මන්රිසි උදෙසා ඇය විසින් සිදු කරන ලද ලිංගික යාතුකර්මය ඵල දැරීමෙන් පසුව වුවද වසරක් තරම් කාලයක් එය රහසක්ව තබා ගන්නට තරම් සූක්ෂම වූවාය. ඒ වෙනුවෙන් ඔහු පොලඹවා ගත්තාය. ඇගේ යෝනි ලාලසාවය දැඩිව පැන නැගී ආවේ මන්රිසි සුවපත් වීමෙන් අනතුරුවය. පසු කළෙක කුන්නදීගේ සරල සමීප වීම පවා ඇයට ඊර්ශ්‍යාවක් ද ඇති කළා විය හැක. ඒ ඇගේ කැපවීමෙන් කුන්නදී ඵල නෙලා ගනු ඇතැයි සිතාය. සැබැවින්ම මන්මථි ලිංගික ඊර්ශ්‍යාවකින් පෙළෙන්නට පටන් ගන්නේ එතැන් සිටය. ඒ නිසාම බිරිඳකගෙන් පිරිමැසෙන සියලු අවැසිතා මන්මථි පිරිමසමින්, මන්සිරිගේ නාමික බිරිඳ යන ලේබලය කුන්නදී මත අලවා දැමුවාය.
ඇය මන්රිසිගේ සුවපත් වීමේ සතුට වෙනුවෙන් තම කන්‍යාභාවය පවා පූජා කරන්නීය. ඒ හරහා මන්රිසි තුළ ඇය කෙරේ දැඩි බැඳීමක්, පලා යා නොහැකි වගකීමක් ඇති කරවන්නට මන්මථි උත්සාහ ගත්තා යැයි මට හැඟුණි.
ගැබ් ගැනීම් වලක්වා ගන්නට ‘උපත් පාලන කොපු’ පාවිච්චි කළද මන්මථී පිළිසිඳ ගන්නේ නොසිතූ ලෙසයි. නමුත් ඇගේ මවක් වීමේ ආශාව, මන්රිසිගේ ගැබ විනාශ කිරීමේ යෝජනාව පරයා ආවේය. අවසානයේ කෙතරම් සමාජ ගැරහුම් ලැබූවද මන්මථී ජීවිතටය මුහුණ දෙන්නට තීරණය කරනු ලබන්නේ ඇය තුළ සිටි සැබෑ කාන්තාව මතුව ඒමෙනි. සම්මතය නොවුණද, මන්මථීගේ යටි සිත මවක වීමේ ලෝභයෙන් වෙළී කිරි සිහිනයක හිමිකාරිය වන්නට පැතූ පැතුම ම ඇයට මරු කැඳවීමට ද සමත් වෙයි.
තම සැමියා අන් ස්ත‍්‍රීන් වෙත යාම වළකනු වස්, ඔහුගේ පුරුෂ ශක්තිය කෙමෙන් කෙමෙන් අඩපන කරන්නට කබරතෙල් මිශ‍්‍ර කරන ලද ආහාර දෙන ‘වාලූකා’ හි සෙදෝ නෝනා ගේ අනුකම්පා විරහිත ප‍්‍රබල උත්සාහය සිහිපත් වන්නේ, ඊට ප‍්‍රති විරුද්ධ උත්සාහයක යෙදෙන මන්මථීගේ නොපසුබට උත්සාහය තුළ කෙතරම් මානුෂීය බවක් ඇද්දැයි සිහිපත් වීමෙනි.
එකී කරුණ පමණක්ම ගෙන මන්මථිගේ මානුෂීය බව ඉස්මතු කළ හැකි වුවද ව්‍යාභිචාරී කාන්තාවකගේ රහසිගත ලිංගික මෙහෙයුම කුන්නදී හමුවේ කෙතරම් දුරකට සාධාරණීකරණය කළ හැකිදැයි යන්න ගැටලුවකි. නමුත් මන්මථීගේ කැපවීම වෙනුවෙන් ලැබෙන පාරිතෝෂිකය ඛේදනීය මරණය වීම මිනිස් සිතේ කොතැනක හෝ ඇති හිඩැසක් නොවන්නේද..?
බිරිඳගේ අතින් සිදු විය යුතු යුතුකම කුන්නදී පැහැර හරිද්දී, අතපසු කරද්දී, නොසිතා සිටියදී ඔහු සප‍්‍රාණික බව ලබන්නේ මන්මථීගේ දැඩි වුවමණාව හා කැපවීම මතය. හොර රහසේ සිදු වුවද වසරකට ආසන්න කාලයක් පුරා දැඩි ඉවසීමෙන් යුතුව සිදු කරන ලද ගැහැනියකගේ එකී කැපවීම සුළුපටු මෙහෙයුමක් නම් නොවන්නේය. මන්මථී පිළිබඳව පිළිකුලක්, වෛරයක් හා කළකිරීමක් සේම සානුකම්පිත ඇසකින් යථාර්ථවාදීව දකින්නට ‘තිත් මල්’ තුළින් හමන්නා වූ රස සුවඳ විඳ ගන්නට පාඨකයන්ට ඉඩ හසර ලබා දී තිබේ. මන්මථීගේ චරිතය ගොඩනැගීමේ ලා ජයසිරි අලවත්තගේ සෘජු ප‍්‍රකාශ කිරීම් සහ වචන හැසිරවීම අගය කළ යුතුයි. ඒ හරහා මතුව එන විවිධ සිතුවිලි අතරේ ඔබා මන්මථීව කියවා ගන්නට අවස්ථා ඕනෑවටත් වඩා යටි පෙළෙහි හකුළුවා ඇත. මේ ජයසිරි අලවත්තගේ ක‍්‍රමය බව කියමි. ඔහු තම කෘතිය පුරා නිර්මාණය කළ වසා ඇති දොර කවුළු එමටය. පාඨකයන්ගේ දැනුම් වපසරියට අනුව ඒවා විවර කර ‘තිත් මල්’ සුවඳ විඳ ගත යුතුව ඇත.
ලාලනී
සංස්කෘතිය, සදාචාරය, සභ්‍යයත්වය ගැන පුරාඡේරු වපුරන ඊනියා සුචරිතවාදින්ගෙන් අඩුවක් නැති සමාජයේ ගණිකාවට ඇති වටිනාකමක් නැත. ප‍්‍රසිද්ධියේම ඇයට ගල් ගසති. විවේචනය කරති. වෙසඟනට සදාචාරය, හැදියාව, උගන්වති. නමුත් අඳුරේ හෝ ශීතල කාමර තුළ ඇයට ලංසුවක් ලැබෙයි. තක්සේරුවක් ලැබෙයි. ඔවුහු නිරුවතින් සිංහල පැය කීපයක් දඟලා තම ශුක්ල වේගයන් පහකර ගනිද්දී සුචරිතවාදයේ සළු පිළි දෙපයින් පාගා නැගී සිටින ගැහැණිය ඇයයි.
සිය වෘත්තීය කාලය තුළදී කීදෙනෙකුගේ රාගී පිපාසා නිවා දැමුවද, ගණිකාවෝ ඒ සෑම වාරයකදීම ලිංගික තෘප්තියක් නොලබති. එසේ වූවා නම් ඒ අතේ ඇඟිලි ගණනකටත් වඩා අඩු බව ඔවුන්ගේ හෘද සාක්ෂිය පවසන බව නම් සත්‍යයකි. සැබෑ යථාර්ථය වටහා ගන්නට නම් ඔවුන්ගේ හදවත ඇමතිය යුතුමය.
ලාලනී ද එවැනි චරිතයකි. ඇය තම හෘද සාක්ෂිය හරහා ඇවිද ගොස් ලැබූ ශාරීරික මාත්සර්ය, ආස්වාදය පාඨකයා හමුවේ දිග හරින්නේ කුන්නදීගේ ආයතනය විසින් එළිදක්වන ‘රඳන’ පුවත්පතේ පළකරන ලද ලිපිය කියවීමෙන් අනතුරුවය. ඊටත් පසුව කුන්නදී හා සමීප වීමෙන් ලාලනී අත් විඳින්නේ පුරුෂයන් සිය ගණනකට වුවද අවදි කළ නොහැකි වූ ඇගේ රස ගඟුල්, උල්පත් කලතා ගෙන දුන් ප‍්‍රහර්ෂයකි. සැබැවින්ම ඇය කුන්නදී කෙරේ ආසක්ත වන්නට මූලික හේතුව වන්නට ඇත්තේ ද, මේ අහම්බෙන් සිහිපත් වූ යෝනි ලාලසාව විය හැක.
කුන්නදී නිසා ලාලනීගේ ජීවිතයේ පෙරළියක්ද සිදුවෙයි. තම සුපුරුදු වෘත්තියට සමුදී තම පෙම්වතිය වූ කුන්නදීගේ උපකාරයෙන් පහසු ජීවනෝපායක් ද සකසා ගනී. මේ නිසා ඇය වඩ වඩාත් කුන්නදීට සමිප වීම සහේතුකය. අවසානයේ කුන්නදී මුහුණ පා ඇති සැබෑ ගැටලුව වූ මන්රිසිගේ අශ්ශීල ඉල්ලීමට පිළිතුරු පමණක් නොව කුන්නදීගේ අසම්පූර්ණ අඹුසැමි ලිංගික ලාලසාවේ සිහිනය, වක‍්‍රාකාරව හෝ සපුරා දෙන්නට ද සමත් වන්නීය.
ගණිකාවක් වුවද ලාලනීට මුඛ ලෝලනයෙන් ලැබූ අත්දැකීමක් තිබුණි. විවාහක කුන්නදීට වුවද මන්රිසිගෙන් ශාරිරිකව සැනසීම ලැබුවේ එලෙසටය. ඉඳින් සමරිසි බැඳීමක මුඛ ලෝලී ලාලසවය යහමින් අත්විඳින්නට දෙදෙනාටම නුහුරු බවක් නොතිබුණි. ලාලනී තම පෙම්වතිය සමග නිරන්තර ආලයෙන් හා රාගයෙන් වෙළීමේ අවස්ථාව උදා කරගනු වස්, කුන්නදීගේ නිවසේ ලැගුම් ගන්නීය. කුන්නදීගේ මරණය කැඳවන්නේත්, ඉක්මන් කරන්නේත් ලාලනීගේ ආගමනය බව නම් පිළිගත යුතුව ඇත.
උප ප‍්‍රධාන චරිතයක් වුවද ලාලනී හරහා ‘තිත් මල්’හි හද ගැස්ම පාඨකයාගේ සිත් සතන් කම්පනයටත් කුතුහලයටත් පත් කරවන්නේය. මන්රිසි හා කුන්නදීගේ ජීවිත කිසිවෙකුත් අපේක්ෂා නොකළ ඉසව්වක් කරා ගෙන යාමට කතුවරයා සිය නිර්මාණශීලී හැකියාව ලාලනීගේ චරිතය තුළින් මතු කර දීම නිසා, කුතුහලය පිරුණු නොයිවසිලිමත් පිපාසාවකින් ‘තිත් මල්’ කියවා අහවර කර ගන්නට පාඨකයා තුළ නොතිත් ආශාවක් ඇති කරවයි.
කුන්නදී
ඕනෑම සාහිත්‍යය කෘතියක විඳීම මෙසේ විය යුතු යැයි නිශ්චිතවම කිව නොහැක. එය තීරණය වන්නේ පාඨකයාගේ රසාඥතාවය හා අවබෝධයේ වපසරියට අනුවයි . ‘තිත් මල්’හි කුන්නදී කියවා ගැනීමද එවැනිම වූ කාරණාවකි. අනුකම්පාව පෙරදැරිව ඇරෙඔන කුන්නදී කියවා ගැනීම, ස්ත‍්‍රී චිත්තාභ්‍යන්තරයේ පැන නගින්නා වූ රාගික සිතුවිලි, අවැසි නම් සමසරාගී තුලාවක බහා කිරා මැන බලන්නටත්, ඉන් ඔබ්බට ඇවිද ගොස් කුන්නදීගේ හෘදසාක්ෂියට තට්ටු කර බලන්නටත් අවස්ථාව ලැබේ. සමසරාගී ආලයක් පුනරුච්ඡාරණය කරන්නට නම් ඒ සඳහා යම් අධ්‍යයනයක් කළ යුතුව ඇත. වක‍්‍රාකාරව හෝ කුන්නදී හරහා ජයසිරි අලවත්ත අපව මෙහෙයවන්නේ ඒ සඳහා විය හැක.
කුන්නදී යනු, විවාහයට පෙරාතුව සිදු වන අනතුරකින් සිරුරේ පහළ අර්ධය අකර්මණ්‍යය වූ තම පෙම්වතා විවාහ කර ගන්නට දෙවරක් නොසිතූ උතුම් පෙම්වතියකි. සර්ව සම්පූර්ණ ලිංගික ආස්වාදයක් අහිමි බව දැන දැනම විවාහයට පිවිසෙන යුවතියකගේ මානසිකත්වය තුළට මොහොතකට එබිකම් කර එන්නැයි ඔබෙන් ඉල්ලමි. සැමියාගේ සප‍්‍රාණික ශරීර අර්ධයෙන් තම ශාරිරික අවැසිතාවය පිරිමසා ගත් ඇය අඹුසැමි සම්භෝගයෙන් අත්විඳින සුරතාන්තය මේ යැයි නොහඳුනනා බිරිඳකි. එපමණක්ද..? පත්තරකාරියක සතු සමාජීය සහ පුද්ගල භාව පිළිබඳ ‘ඉව’ කුටුම්භය වෙත නොහෙලූ ඇය, තම අබාධිත සැමියාගේ නැන්දනිය ඔහු හා ව්‍යාභිචාරයේ යෙදෙන බව නොදැන සිටියා ය. ඇයටම ඔහුගේ ආවතේවකම් පවරා දෙන්නේද එහෙයිනි.
තවත් පුරුෂයෙකු හා ලිංගිකව එක්වන ලෙස මන්රිසි විසින් කරණ ලද බලවත් ඉල්ලීම නිසාම ඇය අවසානයේ සමරිසි ආලයක පැටලී ගියද, මුලදී කුන්නදී තුළ එවැනි බැඳීමක් ගැන කිසිදු වුවමණාවක් තිබුණා යැයි කිව නොහැක. ඇයට අවැසි වූයේ ලාලනීගේ අසා දැනගන්නා යමක් තමාගේ අත්දැකීමක් යැයි අඟවමින් මන්රිසිට පැවසීමට පමණි.
පුවත්පත් කලාවේදිනියක් වුවද තම සැමියාගේ හැඟීම් හෝ අරමුණු හරිහැටි හඳුනා ගන්නට අපොහොසත්වන කුන්නදී ඔහුගේ විපරීත කාම ෆැන්ටසිය පෝෂණය කරන ඉත්තෙකු වූවාය. ඇය විසින් මවා ගනු ලැබූ පුරුෂ සම්භෝගයක විවිධ හැසිරීම් ඔහු හා පවසමින් ඔහුගේ අශ්ශිල ෆැන්ටසිය තුළ ඔහුව මනෝමය ලිංගික ආශ්වාදයක ගිල්වනු ලැබුවාය.
මන්රිසිගේ පහළ අර්ධයේ සප‍්‍රාණිකත්වය ලැබෙන තුරුම කුන්නදී හිතාමතා නොවුවද ඔහුව එකී විපරීත ලිංගික මනෝභාවයට ඇබ්බැහි කරවන්නීය. අවසානයේදී කුන්නදී වටහා නොගත්, තම සැමියාගේ යටි සිතේ නිදන්ගත මනෝ ලිංගික ගිජුකම, ලිංගික කුහකත්වයකට පෙරළී අවසානයේ ඇගේ ඉරණමද තීන්දු කරනු ලබන්නේය.
තම සැමියා තව දුරටත් ශරීරය අප‍්‍රාණිකයෙකු නොවන බව දැන නොසිටි කුන්නදී, නැන්දණියගේ මරණයෙන් පසුව තම පෙම්වතිය වූ ලාලනී නිවසේ නතර කරගන්නට උත්සුක වන්නීය. ඒ වෙනදා මසකට වතාවක් දෙකක් ලාලනී හා එතී, වෙළී, පැටලී අවුළුවා ගන්නා රාගී හැඟීම් එකිනෙකාගේ මුඛ ලෝලයෙන් පිටතට ගලා එන ආශ්වාදයෙන් සතපා ගත් කුන්නදීට, තම පෙම්වතිය හා රිසි සේ හැසිරෙමින් තම යෝනි ලාලසාවයේ ගිලී යන්නටය.
නමුත් කුන්නදී තම කන්‍යාභාවය රැකගනිමින් සමරිසි සුවය අත්වින්ඳේ ඇගේ යටි සිතේ තිබූ එක්තරා සිතුවිල්ලක් නිසා විය හැක. ඒ, කෙදිනක හෝ ඔහු සුවපත් වේයැයි යන බලාපොරොත්තුවයි. එසේ වුවහොත් තමා ඒ මොහොත වෙන තුරුත් ඔහු වෙනුවෙන් පතිවත රැකි පිරිසිදු බිරිඳක් බව පෙන්වීම සඳහා විය නොහැකිද...? ව්‍යාජත්වයේත් අව්‍යාජත්වයේත් කෙස් ගසක පරතරයේ අසීරුවෙන් එල්ලෙමින් කුන්නදී ද්විත්ව රංගනයක යෙදෙන්නට උත්සාහ ගන්නේ, ඔහු කොතෙක් බල කළද ඇය පරපුරුෂ සේවනයේ නොයෙදුණු පතිනියකැයි ඔප්පු කරන්නට ඇති එකම මාර්ගය එය යයි සිතා විය නොහැකිද...?
ලාංකීය බුද්ධිමය සම්ප‍්‍රදාය තුළ පවතින තත්වයන් යටතේ සමරිසි කතිකාවකට ඇති ඉඩකඩ සීමිතය. උගත් යැයි කියා ගන්නා අය වුවද ප‍්‍රසිද්ධියේ ඔවුන් ගැන නොපිළිගන්නා තත්වයක් ඇත. නවකතා පොත් කීපයක් ලියා සමාජගත කළ තැනැත්තියක් වන මුහුණු පොතේ මගේ හිතවතියක් පැවසූ යමක් මෙහි සඳහන් කරනු කැමැත්තෙමි. ‘‘පරපුරක් බිහි කරන්නට නොහැකි සමලිංගිකයන්ට වටිනාකමක් දෙන්න මම කැමති නෑ.” ඒ ඇගේ පුද්ගලික අදහසයි
සමලිංගිකයන් අතරේ පවතින්නාවූ ආදරය පරපුරක් බිහි කිරීම උදෙසා ඇති වූවක් නොවේ. එය කෙනෙකුගේ ලිංගික ආශ්වාදය වෙනුවෙනි. ආදරයේ අවසාන ඵලය පරපුරක් බිහිකිරීමද..? සමාජ විද්‍යාවේදී නම් විවාහයක් තුළින් පුද්ගලයා බලාපොරොත්තු වන ප‍්‍රධාන කරුණු පහ අතරට දරුවන් වැදීම ද ඇතුළත්ය. නමුත් ආදරය සමරිසි වුවද, විෂම ලිංගික වුවද එහි මුඛ්‍යය අරමුණ පරපුරක් බිහිකිරීම නොවේ. එසේ නම් පරපුරක් බිහි කිරීමට නොහැකි දෙදෙනෙකුගේ ආදරය, බැඳීම, අවතක්සේරුවට ලක් කළ හැකි කරුණක් විය හැකිද? එවැනි දෙනෛකුගේ ආදරයට වටිනාකමක් නැති වන්නේ කෙසේද...? ආදරය යනු කොන්දේසි හා ප‍්‍රතිපත්ති මත ඇති වන්නක් නොවන අතර කොන්දේසි විරහිත පරිත්‍යාගයක් බව එවැන්නියන්ගේ තර්ක බුද්ධියට හසු නොවන්නේ මන්දැයි වටහා ගත නොහැක.
ෆ්‍රොයිඩ්ගේ කියමනට අනුව කුඩා කාලයේ සිට ඇති වූ , සිදුවූ දේවල් වල ප‍්‍රථිඵලයක් ලෙස මිනිසුන් තුළ (බෝතල්වල දාගෙන ඉන්නවා වාගේ) ඇති පසු කාලයේ එළියට එන ගති සංස්ථාපනයන් ලෙසයි ලිංගික රුචිකත්වය සැළකෙන්නේ. එබඳු ලිංගික අනන්‍යයතාවය ඔහුගේ හෝ ඇයගේ ඛේදවාචකය වීම කෙතරම් අවාසනාවන්තද...?
කතුවරයා සදාචාරවාදීන් පිටු දකිනා ලිංගිකත්වය, නොබියව සිය නිර්මාණය හරහා ගෙන එන්නේ බොහෝ දෙනා දන්නා කුණුහරුප ලෙස නොව, සංවර එහෙත් ආකර්ෂණිය භාෂා විලාසයකිනි. ජයසිරි අලවත්ත තම කෘතිය හරහා කුන්නදීලා වෙනුවෙන් සමස්තය දකින්නට, වට්ටෝරුගත ලේඛණයෙන් බැහැරව, තෙවන ඇසක් පාඨකයා හමුවේ විවර කර දෙන්නට සමත්ව ඇතයි කියමි. කුන්නදී චරිතය ව්‍යවච්ජේචදනය කර ඇය ගැඹුරු ළිං කටින්ම ගොඩගන්නට හැකි හෘද සාක්ෂි පහළ විය යුතු කාලය මෙය බව පැවසිය යුතුය.
මන්රිසි
උඩින් පල්ලෙන් ‘තිත් මල් ’ කියවා ගන්නා අයෙකුට නම් මෙහි එන සියලු දෙනාම සංස්කෘතික දූෂණයේ නියෝජිතයන් යැයි සිතෙනවාට කිසිදු සැකයක් නැත. මන්රිසි යනු සමස්ත ලිංගික ධර්මතාවයන් බිඳ දමනු ලැබූ නරුමයෙකු යැයි හංවඩු ගසනු ඇත. ලිංගිකාශාව නිසාම මතුව ආ ගැටලු විසින් ඇති කරනු ලැබූ මානසික ව්‍යාකූලත්වය විසින් මෙහෙයවන ලදුව, තම නැන්දණිය හා බිරිද මරා දැමූ මන්රිසි වෙනුවෙන් පුහුදුන් මනස් තුළ අනුකම්පාවක් ඇති වීම උගහටය. කොටින්ම ‘ තිත් මල් ’ අමු කුණු හරුපයක් යැයි කියා සිතන්නටද ඉඩ ඇත.
නමුත් පියවරෙන් පියවර මනෝ විද්‍යාත්මක, ඥාන විභාගාත්මක චක්ෂුවකින් මන්රිසිව කියවා ගන්නට හැකි වෙතොත් ඔහුගේ විෂම පෞර්ෂයන් හා මානසිකත්වයන් විසින් සිදු කරුනු ලැබූ පෙරළියේ තරම මතු කර ගත හැක. මතුපිට අරුත අභිභවා යටි පෙළ අරුත උගුල්ලා ගන්නට හැකි නම් සාහිත්‍යයමය රසය, ගුණය මෙන්ම පරිබාහිර දැණුම් සම්භාරයක් ද දෘශ්‍යමාන වනු ඇත.
කුඩා අවදියේ සිටම අනතුරට ලක්වීම දක්වා වූ කාල පරාසය තුළ මන්රිසි තම නැන්දනියගේ පහසටත් ග‍්‍රහණයටත් හසුවී සිටි අතර ඇගෙන් මිදීම වෙනුවට ඈ තුළම ගැළී සිටින්නට උත්සාහ දැරූ බව පෙනේ. නමුත් නැන්දණිය හා බාහිරව ලිංගික එක්වීමෙන් පමණක් සංතර්පණය වන්නටත්, ඊට හේතුව මන්මථීට පහදා දීමත් තුළින් ඔහු තමාගේ සීමාව හඳුනාගෙන සිටි බවත් එහි යටි අරමුණත් පැහැදිලිය. ඇගේ ගැබ් ගැනීමක් සිදු වුවහොත් ඔහුගේ ජීවිතය කණපිට ගසන බව ඔහු හොඳාකාරවම වටහා ගෙන සිටින්නට ඇත.
අවාසනාවන්ත අනතුරින් පසුව මන්රිසි ශාරීරිකව පමණක් නොව මානසිකවද අබ්බගාතයෙකු විය. පෙර විඳි කම් සුව පමණක් නොව ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ද අතැර දමා තිබූණි. ඒ සියල්ල පණ ගසා ගන්නට ඉදිරිපත් වන්නේද නැන්දණියයි. නමුත් කුන්නදී හා විවාහ වීමට එකඟ වීමෙන් ඔහු තුළ කුන්නදී කෙරේ සගවා ගත් ලිංගික ඊර්ශ්‍යාවක් නොතිබුණේ යැයි කිව හැකිද..? තමාට හිමි නොවෙන කළ, ඇය වෙනත් විවාහයකින් අත්පත්කර ගනු ඇතැයි සිතූ ජීවිතය පිළිබඳව ඔහුගේ යටි සිත කුහකත්වයෙන් පිරුණා විය නොහැකිද..? ආබාධිත මන්රිසිට කුන්නදී හා විවාහ වීම ප‍්‍රතික්ෂේප කරන්නට ඕනෑවටත් වඩා හේතු තිබුණද ඔහු එසේ නොකරන්නේ එකී ඊර්ශ්‍යා පරභාවය නිසාම නොවන්නේද?
සිරුරේ පහළ අර්ධය අකර්මන්‍යය බව දැන දැනම, සුවපත් වන්නේ කෙදිනකදැයි දැයි අවිනිශ්චිත වුවද කුන්නදීගේ පිවිතුරු ආදරය සහ අනුකම්පාව දඩමීමාකරගත්තේ ඔහු තුළ සැඟව තිබූ කුහකත්වය නිසා වෙනි. ඉඳින්, මන්රිසි තම පෙම්වතියට දක්වා තිබුණේ ව්‍යාජ ආදරයක් නොවන්නේද...? විවාහයෙන් පසුවත් ඔහු කුන්නදීට පර පුරුෂයෙකු වෙතින් ලිංගික ආස්වාදය සොයා යන්නැයි බලකරන්නේද තමාගේ විපරීත ෆැන්ටසිය පෝෂණය කර ගැනීමේ ආත්මාර්ථය නිසාය. තමා ගෙන් පිරි නොමැසෙන කොටස වෙනුවෙන් බිරිඳට සාධාරණය ඉටුකර දෙනු වස් එසේ කටයුතු කරන්නේ මතුපිටින් ඔහු සාධාරණ සැමියෙකු බව ඇයට ඒත්තු ගැන්වීමටයි. නමුත් එහි යටි අරමුණ වූයේ වෙනත් එකකි. පර පුරුෂ සම්භෝගයේ අසිරියට සවන් දෙමින් විපරීත ෆැන්ටසියක ගැලී මනෝමය ලිංගික ආශ්වාදයක් වෙනුවෙන් තම බිරිඳ යොදා ගන්නා ඔහු තුළ සැගව සිටි ඝෝර සර්පයා හඳුණා ගන්නට පාඨකයාට හැකිවන්නේ එලෙසිනි.
අබාධිත මන්රිසිගේ ජීවිතය පිළිබඳව තිබූ අපේක්ෂාභංගත්වය සහ පරාජිත මානසිකත්වය කණපිට ගසන්නේ ඔහුගේ සප‍්‍රාණික වීමත් සමගය. එදා සිට මන්රිසිගේ ජීවිතය පිළිබඳව යම් යම් අපේක්ෂා අලුතින් දලු නොලෑවා යැයි කිසිවෙකුට තර්ක කළ හැකිද..? පෘතග්ජන සිතුවිලි රහසේම ඔහුගේ ජීවිතය පිළිබඳව ආත්මාර්ථයක් වඩවා ලන්නට ඇත. ඒ නිසාම අසම්මත දරු උපතක වගකීම මන්රිසිගේ සිත භීතියෙන් දවාලන්නේය. මන්රිසිගේ යක්ෂයා ඉලක්කය සොයා වෙහෙසුනේ නැත. ගොදුර ඔහුගේ පහසුම ඉලක්කය ඉදිරියේ තිබුණේය. ඔහුගේ ගමන් මග පිරිපහදු කර ගනු වස් මන්මථී මරා දමන්නේ දෙවරක් නොසිතාය.
කතුවරයාගේ ඉලක්කය කුමක් වුවද මේ හරහා පරිච්ජේද ගණනාවක් ලිවිය හැකි, සැඟවුණ දේශපාලන මාවත් ‘තිත් මල්’හි අභ්‍යන්තරයට කිමිඳීම තුළින් විවර කර ගත හැකි බව මම දකිමි. අපේ රටේ සමහර දේශපාලකයන්ද තමුන්ගේ ගමන් මග පිරිපහදු කරගනු පිණිස මෙවැනි දේ කළ බවත් මතු මතුත් එසේ කරන බවත් රහසක් නොවේ. මෙලෙස තම වංචා දූෂණ, වසා ගන්නා දේශපාලන දෙබිල්ඩන්ගේ නිරුවත මින් ගම්‍ය නොවන්නේද...?
නමුත් මන්රිසිගේ ලිංගික ලාලසාවය බුර බුරා නැගෙන්නේ මන්මථීගේ මරණයෙන් පසුවය. සුපුරුදු ලිංගික මාත්ස්‍යර්යය අහිමි කර ගත් ඔහු කුන්නදීගේ ව්‍යාජ, වාචික පුරුෂ සම්භෝගයේ රස මතකාවර්ජනයන් හරහා සරාගී මනෝ භාවයන් වැගඳ ගනිමින් ස්වයං වින්ඳනයේ යෙදීමෙන් ලැබූ ආශ්වාදය පවා අභිබවා ඔහුගේ ගුප්ත මනෝමය ලොව තුළ නිදන ඝෝර සපුවාගේ දළ, ලිංගික ඊර්ෂ්‍යාවේ විෂෙන් වඩ වඩාත් පිරී යන්නට පටන් ගන්නේ කුන්නදි හා ලාලනීගේ යෝණි ආලිංගනයේ ඉව වැටීමෙන් පසුවය. තමා ලිංගිකව අකර්මණයව සිටි අවධියේ ඈ පිළිබඳව ඇති අනුකම්පාව යැයි ඉස්මතු කරමින්, බිරිඳ පරපුරුෂ සේවනයට යොමු කරන්නට වෙහෙස ගත් මන්රිසි, ඇගේ සමසරාගී ඇසුරට මෙතරම් ඊර්ෂ්‍යා කළේ, නොයිවසන ලද්දේ මන්දැයි විටෙක උභතෝකෝටිකයක් වුවද, ඒ සියල්ලටම හේතුව ඇරඹෙන්නේ ඔහුගේ සකර්මණ්‍යය වීමත් සමග එළිබසින කුහක වික්ටෝරියානු සිතුවිලි දාමය යි. තම බිරීද වූ කුන්නදි වික්ටෝරියානු සදාචාරයේ රුවා තබන්නට ඔහුගේ යටි සිත තැත්කළා විය නොහැකිද..? මේ මන්රිසි නම් වූ විපරිතකරණයේ ගුප්ත යථාර්තය නොවන්නේද..?
සභ්‍යය සම්මත දේ හරහාම නිර්මාණය වූ කිසිවෙක් මේ ලොව තුළ නැත. අපි අතරද ව්‍යාභිචාරයෙන් උපන් අය සිටිති. ව්‍යාභිචාරයේ යෙදෙන අය සිටිති. අප ජීවත්වන සමාජයේ බොහෝ විවාහක නෝනලාට මහත්වරු කීප දෙනෙකුත්, බොහෝ විවාහක මහත්වරුන්ට නෝනාලා කීප දෙනෙකුත් සිටිති. ඥාතිත්වය පසෙක ලා තම නැන්දම්මා, මාමලා, බෑණලා මෙන්ම ලේලිලා සමග මෙන්ම පියා, මව සමගද ව්‍යාභිචාරයේ යෙදෙන්නවුන් ඕනෑ තරම්ය. මගේ විශ්වාසය නම් සභ්‍යය අසභ්‍යය, සම්මත අසම්මත සියල්ලම මිනිස් පැවැත්මට වුවමණා බවයි. එය අඳුර හා ආලෝකයට සමානය. ජීවිත පැවැත්මට මේ දෙකම අවශ්‍යය. ආලෝකයේ සිටින්නවුන් අඳුරේ සිටින්නවුන්ටත්, අඳුරේ සිටින්නවුන් ආලෝකයේ සිටින්නවුන්ටත් ඇඟිළි දිගු කරනවා වෙනුවට වැදගත් වන්නේ එකිනෙකා සමග මනා ශික්ෂණයකින්, අවබෝධයකින් කටයුතු කිරීමය. මනසින් උසස් මිනිසා තම හැඟීම් බලෙන් පාලනය කර ගැනීමෙන් පීඩනයකින් ජීවත්වෙනවා වෙනුවට, තම හැඟීම් හසුරුවා ගැනීමයි අවශ්‍යය වන්නේ. මා දකින්නේ මේ ශික්ෂණය, හැඟීම් හසුරුවා ගැනීම පුද්ගල ලිංගිකත්වයටද අත්‍යාවශ්‍යය සාධකයක් බවයි.
මිනිස් සිත කියවා ගන්නට මේ ලෝක ධාතුවේ කිසිවෙකුටවත් හැකියාවක් නැත. හසුරුවා නොගත් ජාගර මනස කුහකත්වයෙන් හා ඊර්ෂ්‍යාවෙන් පිරි ගිය පසුව එහි මානුෂීය බවක් ඉතිරි නොවන්නේ එහෙයිනි.
ව්‍යාභිචාරයෙන් පිළිසිඳි කිරි සිහිනයක් වෙනුවෙන් යථාර්ථයට මුහුණ දෙන්නට සිත දැඩි කර ගත් අවිවාහක කාන්තාවකගේ ආත්මශක්තිය අමු අමුවේම ඝාතනය වන්නේ මන්රිසිගේ එකී ජාගර සන්තානයේ උපන් කුහකත්වය නිසාය. පරපුරුෂයන් කරා නොගොස් සමරිසි බැඳීමකින් ශාරීරික ආස්වාදයක් සෙවූ බිරිඳ මරා දමන්නට මන්රිසි මෙහෙයවනු ලැබුවේද නිරන්තරයෙන් ඔහු පෙළනු ලැබූ එකී රුදුරු, ව්‍යාකූල මානසික ඝට්ටනයයි. මරා දැමීමෙන් අනතුරුව වුවද ඔහු අත් විඳින්නේ තිබුණාටත් වඩා ප‍්‍රබල මානසික පීඩාවකි. කුන්නදීගේ නිසල සිරුර නිවසින් පිටතට ගන්නා මොහොතේ මන්රිසි සිටියේ විකල් මනසිනි; අබ්බගාත ජීවිතයට තිබූ අවසන් හව්හරණයත් අහිමි වීමේ බලවත් පශ්චාත්තාපයෙනි. නමුත් සැබෑවටම මන්රිසිට වුවමනා වූයේ කුමක්ද..? ඔහුගේ අරමුණ වූයේ තමා එවැනි අසරණ මානසිකත්වයකින් පෙළෙන බව සියල්ලන් ඉදිරියේ මවා පෑමටයි. ජීවිත දෙකක් බිලි ගත් පසුවත් ඔහුගේ ජාගර මනස සංතර්පණය වී තිබුණේ නැත. කුන්නදීගේ දෙන වසා දමන මොහොතේ විලාප නගමින්, රෝද පුටුවෙන් නැගිට අඩි කීපයක් ඉදිරියට ගමන් කර සිහිසුන්ව ඇද වැටීම මන්රිසිගේ රහසිගත අවසන් මෙහෙයුමයි. බලාපොරොත්තු නොවූ මොහොතක, ඇතිවන කම්පන තත්වයක් හේතුවෙන් තමා යළිත් පෙර සිටි තත්වයට පත් විය හැකි යැයි වෛද්‍යවරයා කර තිබූ ප්‍රකාශය ඒ මොහොතේ දඩමීමා කර ගන්නට මන්රිසි දෙවරක් නොසිතන්නට ඇත. සප්‍රාණික බව තවදුරටත් ලෝකයාගෙන් සඟවාගෙන සිටීමෙන් ඔහුට පැවැත්මක් නැතැයි ඔහූ දැන් සිටියේය. ඒ අනුව බිරිඳගේ මරණය පවා තමාගේ වාසියට හරවා ගන්නේ, ජීවිතයේ ඉතිරි කාලය පිළිබඳව ඇති කර ගත් සැලසුමකට අනුව විය හැක. නමුත්.. සියල්ල උඩුයටිකුරු වන්නේ මන්රිසිගේ සිහින මාළිගා කුඩුපට්ටම් කරමිනි. දේශපාලනයේදීද බලය හා ප්‍රතිරූපය පවත්වාගෙන යාම සඳහා ප්‍රචණ්ඩත්වය, නිහඬතාවය මෙන්ම ඉවසීමද අවශ්‍යය. මන්රිසිද ඒ නිහඬතාවය ඔස්සේ තම බිරිඳ වූ කුන්නදීගේ මරණය ප්‍රචණ්ඩත්වය ඉක්මවා ගිය ඛේදවාචකය සිරකර තබන්නේ එලෙසිනි. එදින ඔහු සිටි රෝද පුටුවෙන් නැගී නොසිටියා නම්, ‘තිත් මල්’ හි මන්රිසි 'MPR 565' ලෙසින් නාමකරණය නොවන්නටද ඉඩ තිබුණි.
කෙසේ වුවද මන්මථීගේ ආත්මිය කැපවීම නිසා සුසර වූ මන්රිසි, සිය කෘතඥතාවයේ සුවිසල් ණය පියවා දමන්නටත්. කුන්නදීගේ මානුෂිය පරිත්‍යාගය වෙනුවෙන් හෘදයාංගම බව කියා පෑමටත් තෝරා ගත්නේ ගැඹුරු ළිං පතුලකි. මරණීය දණ්ඩනයෙන් මානව අයිතිවාසිකම් අහිමි කරගත් ශික්ෂණයෙන් තොර පුද්ගල ලිංගිකත්වයක ඛේදාන්තය ‘තිත් මල්’ තුළින් විහිදෙන්නේ එලෙසිනි.
හතු පිපෙන්නාසේ එළි දකින පොදු නවකතා අනුභූතීන් අතරේ සත්‍යය ද පරිකල්පණයද එක්කර අතිශයයින් භාවාතීශය ආත්ම ප‍්‍රකාශනයක්, පාඨක දෘෂ්ටියේ නව මං පෙත් වෙනුවෙන් විවර කරවන්නට ගෙතූ අපූර්වතම වියමනකි ‘ තිත් මල්’.
ජයසිරි අලවත්තගේ සාහිත්‍යය විචාරයද පොදු විචාර කළාවෙන් වෙනස්ය. ඒ තුළ පාඨක මන ඇඳ බැඳ තබා ගන්නා වශීකාරකයක් ඇතැයි සිතෙන තරම්ය. එකී වශීකාරකයම කලතා, ‘තිත් මල්’හි එන චරිත පාඨක හදවත් තුළ විශ්වසනීයත්වය ගොඩනැංවෙන සේ නිරූපණය කරන්නට සමත් නිර්මාණ කෞශල්‍යයත්, කතා වින්‍යාසය දක්ෂ ලෙස හැසිරවීමත් ජයසිරි අලවත්ත සතු කුසලතාවයේ පරිණත බව කියා පාන්නකි. මෙබඳු කෘතීන් හරහා උසස් රස වින්ඳනයක් සහිත පාඨකයන් බිහිවීම අනිවාර්ය බව සිහිපත් කරන්නේ ඔහුගේ ‘තිත් මල්’ වෙනුවෙන් නිසි ඇගයුමක් ලැබේය යන දැඩි විශ්වාසයක්ද ඇතිවයි.
කලාව, ආනන්දයෙන් ප‍්‍රඥාවට රැගෙන යන මාධ්‍යයක් බව ජයසිරි අලවත්ත ඔප්පු කර හමාරය. රාජ්‍යය මුද්‍රාව සහිත කඩදාසියක් හෝ සංකේතයක් නොමැති වුවද පාඨක සිත් සතන් තුළ සැබෑ සාහිත්‍යයකරුවෙකු යන මුද්‍රාව තබන්නට ජයසිරි අලවත්ත දැනටමත් සමත්ව ඇත.
ඉඳින්.,
ජයයසිරි අලවත්තයෙණි! බොහෝ කාලයක් සාහිත රස කලාවේ අසීමිත රස ගඟුල් කලතන්නට අවැසි දිරිය ශක්තිය ඔබට ලැබේවා....