අපි සැවොම දන්නා ඉතිහාසයේ සිට ම සමාජයීය අවමානයෙන් මිදෙනු වස් මිනිස්සු බොහෝ කැපවීම් කර ඇති බව කියවා ඇත්තෙමු; සැබැවින් ම ද අත්විඳ ඇත්තෙමු; විවිධ නිර්මාණ තුළින් ද කියවා, අසා, නරඹා ඇත්තෙමු. අනෙකාගේ ජීවන තත්ත්වය මැනවින් වටහාගෙන එකීපාර්ශ්වයට හැකි පමණින් සමාජය සමග ගනුදෙනු කිරීමේ නිදහස පවතින්නේ නම් මිනිස්සු එවන් අසීරුතාවලට පත්නොවෙතිය යන්න මගේ අදහස ය. එහෙත් එකී කර්තව්‍ය කිසිවකු හෝ කිසියම් ස්ථානයකින් අරඹන ලක්ෂණ දැකිය නොහැකි ය. වසන්ත ප්‍රදීප් හෙට්ටි ආරච්චිගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන ‘‘මිහිර සැඟවුණ නිම්නයක සිට’’ කෘතියේ අන්තර්ගත ‘ආවස්ථික පිරිවැය’ යන මැයෙන් වූ නිර්මාණය යට කී සිද්ධිය මැනවින් ප්‍රකට කෙරෙන නිර්මාණයකි.
වලාකුළු සලු ආයෙ අලුතින්
මේ වෙලාවේ ගන්න බෑ
දෙදෙනා ම සාදයට ගියොතින්
දෙදාහක් දී එන්න බෑ
‘‘ඒ නිසා ඔයා යන්න තනියම’’
එක ම අවසන් විසඳුම කියා දුන්නා සඳවත
එදිනෙදා ජිවනෝපායට සරිලන ප්‍රමාණයේ සාමාන්‍ය වැටුපකට හිමිකම් කියන තනි පුද්ගලයකුට හෝ යුවළකට විවාහ මංගල උත්සවයක් සඳහා සහභාගි වනවා යනු යම් ප්‍රමාණයක පිරිවැයක් දැරීමට සිදුවන අවස්ථාවකි. මෙවන් අවස්ථාවකට සහභාගි වන පිරිමි පාර්ශ්වයට වඩා වැඩි වියදමක් දැරීමට සිදුවන්නේ කාන්තා පාර්ශ්වයට ය. ඇතැම් විට එම මුදල උත්සවය හිමිකරුවාට හෝ හිමිකාරිය වෙත පිදෙන ත්‍යාග මුදලටත් වඩා වැඩි පිරිවැයක් විය හැකි ය. ඒ, කාන්තා පාර්ශ්වයේ බහුතරයක් එක් එක් මංගල උත්සව වෙනුවෙන් ම වෙන වෙන ම ඇඳුම් ආයිත්තම් මිලදී ගැනීමට පෙලඹී සිටින බැවිනි.
නිර්මාණයට ප්‍රස්තුත වන යුවළගේ ආදායම් තත්ත්වය පහත මට්ටමක පවතින එබැවින් ම අලුත් ඇඳුම් ආයිත්තම් මිල දී ගැනීමට නොහැකි බවත්, දෙදෙනා ම උත්සවයට සහභාගි වන්නේ නම් පරිත්‍යාග කළ යුතු මුදල ද වැඩි පිරිවැයක් වන බවත් කථකයා ඉදිරිපත් කරන අතර, එය වටහා ගන්නා බිරිඳ සැමියාට පමණක් අදාළ උත්සවයට සහභාගි වන ලෙස පැවසූ බවත් නිර්මාණයේ පළමු කොටසෙන් ගම්‍ය කෙරේ.
ඉතින් සඳු නැතිව එහි යනකොට
හිරුට අලුතින් ඇඳුම් මොකට ද... ?
සඳ දියෙන් සෝදා සදා ඇය
අතට දුන් රතු පැහැති කමිසය
තැළුම් පිසදා සිතිජ ඉවුරේ
එල්ලුවා මම පරිස්සම් ලෙස
කථකයා පමණක් මංගල උත්සවයට සහභාගි වන්නට තීරණය කිරීමෙන් ඉක්බිති ඔහු අදහස් කරන්නේ සිය බිරිඳ ද උත්සවයට සහභාගි නොවන කල්හි තමන්ට පමණක් අලුත් ඇඳුම් නොවුවමනා බවයි. මීට පෙර භාවිත කළ ඇඳුමක් ම එළඹෙන උත්සවයට අඳින්නට කථකයා පෙලඹෙන්නේ එබැවිනි. එහෙත් දෙදෙනා ම බලාපොරොත්තු නොවූ අයුරෙන් දෙදෙනාගේ ම බලාපොරොත්තු බිඳී යන අන්දම කවියා මතු කොටස්වලින් ඉදිරිපත් කරයි.
පහන් තරුවේ මුහුණ මැලැවී
බදා උන්නා සඳේ උරහිස
එදා දවසෙ ම , බැස නොගිය උණුසුම නිවෙන්නට
දෙදාහෙන් හරි අඩක් වෙන් කර
දෙන්ට වුවා වෙදැදුරා වෙත
තුන් රෝද රථ පැතුවෙ නැතුව ද
හැරී ආපසු බලන ඩිංගට
අනෙක් අග ෆාමසිය ඩැහැගෙන
කථකයාගේ බිරිඳ උණෙන් පෙළුණ බවත්, එම අසනීප තත්ත්වය එදින පුරා ම පහව නොගිය බැවින් පුද්ගලික වෛද්‍යවරයකු හමුවූ බවත්, උත්සවය සඳහා වෙන් කර තිබූ මුදලෙන් හරි අඩක් ම පුද්ගලික වෛද්‍යවරයා වෙත ගෙවීමට සිදුවු බවත් කථකයා පවසයි.
මේ දෙපළගේ ආර්ථික තත්ත්වය කෙතරම් අවම මට්ටමක පවතිනවා ද යන්න තව තවත් තීව්‍ර කරන්නට කවියා සමත් වන්නේ ‘තුන් රෝද රථ පැතුවෙ නැතුව ද’ යන පදයෙනි. එසේ වුව ද සිය බිරිඳගේ ඔසු වෙනුවෙන් තවත් රුපියල් දහසක් වෙන් කරන්නට සිදුවු බව කවියා පවසන්නේ ‘අනෙක් අග ෆාමසිය ඩැහැගෙන’ යන පදයෙනි. මෙහි ද ‘ඩැහැගෙන’ යන වදන යෙදීම වඩාත් දේශපාලනික ය. එනම් ඖෂධ වෙළෙන්දෝ යනු අසරණ රෝගින් ගසාකන පිරිසක් බව කවියා මෙහි දී ව්‍යංගයෙන් පවසයි. කෙසේ වෙතත් මේ වන විට මෙම දෙපළ මිතුරාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් වෙන් කළ සමස්ත මුදල ම අවසන් වී තිබේ. ඉනික්බිති සිදුවන්නේ කුමක් ද?
ඉතින් නොකිපී සිතන් සුමිතුර ,
අලුත් දිවියට සුබ පතන්නට
හීනියට අඩියක් ගසන්නට
එක වරුවකට
දුක්ඛ අහසෙන් ඈත් වන්නට
අදත් ඉඩ නොලැබෙනා හේතුව
එකම දාමයක පුරුක් සේ එකිනෙක සමග යාව පැවති ඉහත සිදුවීම් හේතුවෙන් කථකයා මුහුණ දෙන ඛේදනීය සිද්ධි කිහිපයක් ම කවියා ඉතා සූක්ෂමාකාරයෙන් පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කරන්නේ ය. ඒ, ‘ අලුත් දිවියට සුබ පතන්නට’, ‘හීනියට අඩියක් ගසන්නට’ සහ ‘එක වරුවකට දුක්ඛ අහසෙන් ඈත් වන්නට, යන කරුණු ත්‍රිත්වය යි.
මෙහි දී කවියා භාවිත කරන අවසන් පදය වන ‘දුක්ඛ අහසෙන් ඈත් වන්නට’ යන්න පහළ මධ්‍යම පාන්තික පවුල් කුටුම්බය තුළ සැඟව පවත්නා අඳුරු ඉම් පෙදෙස් නිරාවරණය කරන්නට කවියා යත්න දරා ඇති බව පහැදිලි ය. ඉදින් හිතවත, හිතවතිය: මේ ඔබෙත්, මගෙත්, ඔබගේ ද මගේ ද අනෙකාගේත් ජීවිත තුළ සැගව පවත්නා යථාර්ථය නොවන්නේ ද...?
කාන්තාවක් සිය නීත්‍යනුකූල සැමියාට අමතරව හෝ පුරුෂයකු සිය නීත්‍යනුකූල බිරිඳ හැර වෙනත් කාන්තාවක සමග පවත්නා ප්‍රේම සම්බන්ධයක් වේ නම් එය පවුල් කුටුම්බය දෙදෙරා යන සිදුවීමකි. පෙම්වතුන් දෙපළක් අතර නම් එකී සබඳතාව පවත්වාගෙන යන්නට මෙය දැඩි බාධකයකි. ලංකාවේ මෙන් ම ඉංදියාව යනාදි රටවල මෙවන් සිදුවීම්වල දී වඩාත් පීඩාවට පත්වන්නේ කාන්තා පාර්ශ්වය යි. ඒ, සංස්කෘතිය නමැති කඩතුරාවෙන් ඇතැම් ආත්මීය බැඳීම් පවා ආවරණය කර ඇති බැවිනි. එවන් අවස්ථාවල දී කාන්තාවෝ බොහෝ විට පෙලඹෙන්නේ සියලු දුක් ගැහැට විඳගනිමින් සිය පවුල් කුටුම්බය හෝ පෙම් සබඳතාව ආරක්ෂා කරගැනීම සඳහා වෙහෙස දැරීම ය.
කාන්තා පාර්ශ්වය ඒ සා විශාල දුක් ගැහැට විඳිමින් පවුල් කුටුම්බය අරක්ෂා කිරීමට වෙහෙසුණ ද පුරුෂ පාර්ශවය බොහෝ විට සිය අනියම් සබඳතා අත්හරින්නට මැළිවෙති; ඒ සියලු බර කාන්තා පාර්ශ්වය වෙත ම පවරන්නට වෙහෙසෙති. මගේ කියවීමට සාපේක්ෂව නම්, ‘‘මිහිර සැගවුණ නිම්නයක සිට’’ කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත ‘සිත රිදුණ තොටුපොළක්’ මැයෙන් වූ නිර්මාණය ද මෙකී සිදුවීම ප්‍රස්තුත කරගනිමින් රචිත නිර්මාණයකි.
ලැගුම් ගන්නට ඉඩ හරින්නට
නමුදු ඔරු බඳ සිප නොගන්නට
සිතාගෙන ඇති මොගොඩ ඔරුතොට
හිත් රිදීමක දිගින් දිගට ම
මෙහි දී කවියා ‘ඔරු බඳ’ යනුවෙන් සංකේතවත් කර ඇත්තේ සැමියා හෝ පෙම්වතා (කථකයා) වන අතර සහ ‘ඔරු තොට’ යනුවෙන් සංකේතවත් කර ඇත්තේ කථකයාගේ පෙම්වතිය හෝ බිරිඳ බව පැහැදිලි ය. ‘ඔරු බඳ සිප නොගන්නට’ යැයි වක්ක්‍රෝක්තියෙන් පවසන්නේ සිය නීත්‍යනුකුල සැමියා හෝ පෙම්වතා සමග විසුව ද අඹු සැමියන් සේ නොඉන්නට හෝ ඔහු ආදරයෙන් පිළිනොගන්නට ඇය වග බලාගෙන ඇති බවයි. ඒ, ඇය යම් සිත් රිදීමකින් සිටින බැවිනි. කුමක් ද මේ සිත් රිදීම...?
ඉහළ ඉරියව්වක රැඳෙන්නට
පපුව තෙරපා සුසුම් ලන්නට
සිතා මෙගොඩට පැමිණි ඔරු කඳ
නොවැටහෙනසුලු හැගුම් රැළි මැද
කථකයා සිය බිරිඳ වෙත හෝ අනාගත සහකාරිය පැමිණ පෙම් සුව විඳින්නට සිතා සිටිය ද ඔහු, ඔහුට ම නොතේරෙන ගැටලුවකට මැදි වී ඇති බව මෙම කොටසෙන් ගම්‍යමාන කෙරේ. ඒ ඇයි ද යන්න කවියා ඉදිරි කවියෙන් ප්‍රකට කරයි.
ඇවිත් ළය මත හිස තබන සඳ
මුහුණ හකුළා ඈත බැලුව ද
වැරැද්දක් නැති වැරැද්දකි එය
තොටුපළෙහි සිත දනී හොඳට ම
කථකයා සමග සිය බිරිඳ හෝ පෙම්වතිය යම් අමනාපයකින් සිටින බව මෙහි පළමු සහ දෙවන පදයෙන් ගම්‍යමාන කෙරේ. එහෙත් කථකයා එහි දී පවසන්නේ කුමක් ද...? ඔහු පවසන ආකාරයට සිය බිරිඳ හෝ පෙම්වතිය තමා පිළිබඳ දරන අදහස සත්‍යයක් නොවන බවයි. තවත් පැහැදිලිව දැනෙන ආකාරය නම් කථකයා වෙනත් කාන්තාවක් කෙරෙහි ආසක්ත වී සිටිය ද ඇය සමග කිසිදු සබඳතාවක් නොමැති බවයි. කථකයා, ‘වැරැද්දක් නැති වැරැද්දකි එය - තොටුපළෙහි සිත දනී හොඳට ම’ යැයි සඳහන් කරන්නේ එබැවින් යැයි හැඟේ. එනම් සිය බිරිඳ හෝ පෙම්වතිය ද සිය සැමියා හෝ පෙම්වතා අනියම් සබඳතාවක් පවත්වනවා ද නැද්ද යන්න නිශ්චිතව ම නොපවසන බව මෙහි දී කවියා පවසයි.
කිසි විඩෙක නොනැවතී ආව ද
මෙගොඩ තොටෙහි ම ලැගුම් පැතුව ද
ඔරුව ඔය දඬුවම් විඳින්නේ
එහා ඉවුරට යනෙන වරදට
මෙහි දී ඇතැම් විටෙක සැකය නමැති බීජය කථකයාගේ බිරිඳගේ හෝ පෙම්වතියගේ මනසේ රෝපණය වී ඇති ද යන්න ද අවිනිශ්චිත ය. මන්ද කවියා පවසන්නේ කථකයා අනෙක් කාන්තාව සමග ස්ථිර සබඳතාවකට ප්‍රවේශ වී නොමැති බවයි. එය පැහැදිලි කෙරෙන්නේ ‘කිසි විඩෙක නොනැවති ආව ද’ යන පදයෙනි. එහෙත් තමා සිය බිරිඳගේ හෝ පෙම්වතියගේ දෝෂ දර්ශනයට ලක්ව ඇත්තේ ඇයි ද යන්න කවියා පවසන්නේ ‘ඔරුව ඔය දඬුවම් විඳින්නේ - එහි ඉවුරට යනෙන වරදට’ යන දෙපදයෙනි. ඇතැම් විට කථකයා පවසන මේ අනෙක් කාන්තාව කෙරෙහි කථකයා ආසක්ත වි ඇති බවත්, එය සිය බිරිඳට හෝ මේවතියට ඉව වැටි ඇති බවත්. එබැවින් ම සිය බිරිඳ හෝ පෙම්වතිය තමා ප්‍රතික්ෂේප කරන බව ‘ඔරුව ඔය දඬුවම් විඳින්නේ - එහා ඉවුරට යනෙන වරදට’ යන දෙපදයෙන් ප්‍රකට කෙරේ.
මෙම නිර්මාණයේ වටිනාකම පවත්නේ කවියා සිය අනුභූතිය ඍජුව නොපවසා ඒ සඳහා අගනා කාව්‍යෝක්ති භාවිත කර ඇති බැවිනි. එය කවියකු සතු විය යුතු වටිනා ම හැකියාවකි.
කවියක රසවින්දනය එකී නෙකාගෙන් වෙනස් වන බව නොරහසකි. ඒ, අදාළ පාඨකයාගේ රසවින්දන පරාසය සහ නැණ පමණ අනුව ය. ඊට සාපේක්ෂව ගත් විට ‘‘මිහිර සැඟවුණ නිම්නයක සිට’’ කාව්‍ය සංග්‍රහයේ 17 වන පිටුවේ එන 06 වන කවිය ද (මෙම කවියේ මාතෘකාවක් නැත) ඉතා කෙටි කවක් වුව ද එතුළ ගැඹුරු අරුතක් සැඟව ඇතැයි හැඟුණි.
කවියා මෙහි දී ද අගනා සංකේත, රුපක, වක් බිණුම් සහ ව්‍යංගාර්ථ භාවිත කර ඇති බව හැඟේ.
වරින් වර හුඟ දෙනෙක් ආ ගිය
පා ලකුණු හැම තැන තබා ගිය
නිහඩ වෙරළක
මගේ කියැවීමට සාපේක්ෂව නම් මෙම නිර්මාණයට ප්‍රස්තුත වී තිබෙන්නේ ගණිකාවකට ආදරය, සෙනෙහස සහ කරුණාව දැක්වු චරිතයකි. මෙහි ‘නිහඩ වෙරළ’ යනු ගණිකාව ය යන්න මට හැඟේ. ඇයගේ පහස ලබාගන්නට බොහෝ පුරුෂයෝ පැමිණ ඇති බව ‘ වරින් වර හුඟ දෙනෙක් ආ ගිය - පා ලකුණු හැම තැන තබා ගිය’ යන දෙපදයෙන් ප්‍රකට කෙරේ. එසේ පැමිණි පුරුෂයෝ විකෘති කාමාශාවෙන් පෙළුණු අය බව ද මෙයින් ගම්‍යමාන කෙරේ. ඒ ඇතැම් විට ඇගේ සිරුරේ ඇති සැපීම්, සීරිම් යනාදි කැලැල් විය හැකි ය. එය වඩාත් ප්‍රකට කෙරෙන්නේ කවියේ ඊළග කොටසෙනි.
කැළැල් පිස සිඹ හැරී යන්නට
කොයි තරම් ලොකු හදවතක්
තිබෙන්නට ඕනෑ ද රළකට
මෙහි දී ‘‘රළ’’ නමැති රූපකය තුළින් සංකේතවත් කෙරෙන්නේ යට කී විකෘති ලිංගික පුරුෂයන්ගේ පීඩනයට ලක්ව සිටි ගණිකාව කෙරෙහි ආදරය දැක්වු පුරුෂයා බව පැහැදිලි ය. කථකාවගේ ප්‍රකාශයට අනුව ඔහු හුදු ගනුදෙනුකරුවෙක් ම නොවේ. එබැවිනි හෙතෙම වෙනත් පුරුෂයන් වෙතින් ලද පීඩනයේ කැලැල් සිප, ඇය සනසවා යන්නට තරම් මානුෂික වන්නේ. ඔහුගේ මානුෂිකත්වය කවියා සංකේතවත් කරන්නේ ‘ කොයි තරම් ලොකු හදවතක්’ නමැති පදයෙනි.
‘‘මිහිර සැගවුණ නිම්නයක සිට’’ කාව්‍ය සංග්‍රහයේ මා දකින විශේෂත්වය වන්නේ එහි අන්තර්ගත නිර්මාණ බහුතරයක් වෙනුවෙන් කවියා විවිධ වූ: රූපක, සංකේත, වක්ක්‍රෝක්ති, වක් බිණුම් සහ ව්‍යංගාර්ථ භාවිත කර ඇති ආකාරය යි. බහුතරයක් නිර්මාණ එවන් කාව්‍යෝක්තිවලින් පර්පූර්ණ වීම කවියාගේ කවිතා ගුණයේ උසස් බව ප්‍රකට කරයි.
යට විමංසනයට බඳුන් කළ නිර්මාණ ත්‍රිත්වයට අමතරව: ‘‘එතැන් සිට අපි වැටුණා’’, ‘‘කටු ගස්වලටත් තිබේ කතාවක්’’, ‘‘අපි බදිමු නොබැන්දා වගේ ඉමු’’, ‘‘පින්තාරු, කපරාරු සහ ගඩොල්’’, ‘‘යූ ටර්න්’’, ‘‘එම්පයර් එක කැඩුවෙ මං නෙවෙයි’’, ‘‘දුර ගමනක් යන යුවතියට’’, ‘‘වියෝ’’, ‘‘අද පවා නැව් මුහුදු බත් වෙති’’, ‘‘දත් බඳින ස්ථානයේ දී’’, ‘‘වෙන්වීම මේ කවියෙ හේතුවයි’’ සහ ‘‘වියෝ වී ඔබ මෙසේ වූ වග’’ නමැති නිර්මාණ ද මගේ රසවින්දනය පරිපූර්ණ කළ බව සඳහන් කළ යුතු ම ය.