ටික්ටොක්මය ජීවිත පෙති නොහොත් 'කළුවරට බය කාමරේ ඇතුළේ' (509)

post-title

ගෝලීය එක්තැන්-ආත්මීය අවතැන්, එළි පුළිඟු-දැඩි විළඟු, හෝන්දු මාන්දු-මස්ත බාල්දු, නාස්තිකාර-කලාකාර, අධිවේගී-අධි සංවේදී, තරුණ ඔද-නොමද මද, මරණීය-රමණීය, ක්ෂතිම අවලෝකන, උසුලන-සසැලෙන සසරණ ජීවිත...

'කළුවරට බය කාමරේ ඇතුළේ' කියැවූ පසු මෙආකාරයේ වදන් වැලක් අප සිතට කොටන්නට වූයේය. ඒ කෙටිල්ලට දිය යුතු සුදුසු නම, සටහනේ මැය සඳහා වෙන් කළෙමු. එනම් ටික්ටොක්මය ජීවිත පෙති යන්නයි.

කසුන් සමරතුංගගේ කෙටිකතා සඳහා ටික්ටොක්මය යෙදුම යෙදුවේ, ටික්ටොක් කෙටි වීඩියෝ මගින් හාස්‍යජනක බවක් මතුකෙරේය යන්න ඉලක්ක කරගනිමින් නොව, ක්ෂණික මොහොතක්, නිමේෂයක්, අසුරු සැණක් මගින් වුව, උත්ප්‍රාසමය බවින් යුතු නිර්මාණශීලී විහිදුමක් එයින් ලැබෙන්නේය යන අදහසින් යුතුවය. 'කෙටිකතා යනු ජීවිතයෙන් පෙත්තක්' ලෙසින් කෙරෙන නිර්වචනය සමරතුංග සම්බන්ධයෙන් ගත් කළ දෙවරක් පෙරා ගතයුතුය. එනම්, ඒවා ජීවිතයෙන් පෙත්තකත් පෙති වන බැවිනි. එයින් අප අදහස් කළේ, ආකෘතිය, හැඩරුව සහ සංක්ෂිප්තතාව යන සියල්ලයි.

දිව්‍ය ලෝකය, අපාය, දේදුන්න, කළුවර කාමර, කැලෑව, සිනමාශාලාව, බස් රථය, මුහුණුපොත මේ කතාවල චරිත හැසිරෙන ස්ථාන වේ. කාලය එක් පිම්මකින් වසර ගණනක් හෝ තත්පරයකින් වුව අනෙකට පනින්නේ, කතාව තුළ අනු කොටස් ලෙසිනි. එක් ප්‍රබල සිදුවීමක්, ප්‍රධාන චරිතයක් ආදී කෙටිකතාවට අනන්‍ය වූ ශිල්පීය ලක්ෂණ බැලූ බැල්මට මේ කතාවල නොපෙනෙන්නේ, එය සොයාගත නොහැකි පරිදි කතාව තුළම විසිරුවා ඇති බැවිනි. 

රචකයාගේ කතා සඳහා විෂය වන්නේ, සියල්ලන් අත්දකින සාමාන්‍ය සිදුවීම් වුවද, පොත කියවා පසෙක තැබූ කල පවා අර එළි නිවී නිවී දැල්වෙන්නට ගනී. චරිත නිරූපණයට ලොකු ඉඩක් වෙන් කිරීමක් දැකගත නොහැකි අතර, එය කතාවේ සීමිත ඉඩකඩ තුළින් හඳුනාගැනීමට පාඨකයාට වගකීම පැවරේ. එබැවින්, මේ චරිතවලින් යම්කිසි ආගන්තුක, අවිනිශ්චිත දුමාරයක් ගලා යනබවක් සිතීමට ඉඩ ඇති අතර, එසේ සිතෙන්නේ නම් එය වැරදි ද නොවේ. අප සිටගෙන සිටින වත්මන අතිශයින් ම එය වන බැවිනි. 

එකම කතාවේ, විවිධ ආකාර ලෙසින් හෝ අවසාන කිහිපයක් සැකසෙන පරිදි හෝ, අනුකතා එකතුවකින් කතාව සැකසූ ලෙසක් පෙන්වන කෙටිකතා ද ඇත. 'අපි ආපහු හම්බුණා' සහ 'පරණ කතා කීපයක්' එවැනිය. මුහුණුපොතේ පෞද්ගලික සංවාදවල ස්ක්‍රීන්ෂොට් ලෙස, දෙබස් මගින් සමස්ත කතාව ම ගොඩනගන 'චැට් එකක ස්ක්‍රීන් ෂොට්' කෙටිකතාව ආගන්තුක දෙදෙනෙකුගේ ජීවිත පෙති ඉදිරිපත් කරයි. එහි යොදන හැඟුම් විරාම, විරාම ලක්ෂණ, පුනරුක්තිවලින් ඊට උපකාර ලැබේ. යාන්ත්‍රික හුදකලා ලෝකයක, සබඳතා ගොඩනගන පරිසරයක්, මුහුණුපොත් සංස්කෘතියෙන් හැදී වැඩී පණ ලබා එහිම මියෙන අන්දම ඔබට මට ආගන්තුක නොවේ. 

'කළුවරට බය කාමරේ ඇතුළේ' කතාව ගොඩනැගීම සාර්ථක වුවත්, ක්ෂණික අවසානයක් වෙත යාම සාධාරණ නොවෙතැයි අපි හඟිමු. එය ඉන් එහා ලකුණක් අයැද සිටී. හාවාගේ සහ ඉබ්බාගේ කතාවේ පරිකල්පනය නිර්මාණශීලීය. විද්‍යා ප්‍රබන්ධයක් ලෙස පාඨකයා කුල්මත් කරන කෙටිකතාවක් වශයෙන්, '19' සාධනීයතා පෙන්නුම් කරයි. රාජකාරීමය ප්‍රශ්න ඇසීම්, පිළිතුරු දීම්, විත්තිකරුවන් කැඳවීම් සහිත නඩු පරිසරයක ආකාරයට සිහිකරවන මෙහි චරිත එක, දෙක, විසිපහ, 19 ආදී කේත අංක දරයි. මිනිසා නාමකරණ නොමැති අංක දරන යාන්ත්‍රික ජීවින් බවට පත්ව සිටින බැවිනි. සෞරග්‍රහ මණ්ඩලයට බලපාන පිරිසක්(උල්කාපාත, තරු, පිටසක්වල ජීවින් හෝ වෙනත් ඕනෑම ආකාරයකට ඔවුන්ව හඳුනාගත හැකිය) නිසා, කොරෝනා ව්‍යාප්ත වූයේය යන පරිකල්පනය කතාන්දරයක් බවට පෙරැළේ. කතාව රසවත් ය. මෙය සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන් ලියූ 'ගඩ්නේවාලා' කෙටිකතා සංග්‍රහයෙහි 'විද්‍යා ව්‍යාපෘතිය' කතාව සිහිකරවන්නකි. 

කෙටිකතාවල භාෂාව, කටවහරින් නිමවා ඇත. නූතන, අතිසමීප, සාමාන්‍ය බසක් වුවද යුතු තැනදී කසුන් පිහියෙන් බටර් කපන්නා සේ, පහසුවෙන් පන්දුවට හයේ පහරක් එල්ල කරයි. මංජුල වෙඩිවර්ධන පෙරවදනෙහි කියන, රචකයාගේ බසෙහි උත්ප්‍රාසාත්මක බවට දෑත් ඔසොවා අප දු එකඟ වෙමු. ඇතැම් වචන සිතා මතා යොදනවා නොව, පෑනෙන් කොළයට ගැලුවා විය යුතුය.

'මට අණ ලැබුණෙ එතැනට එන්න කියල. මං ගියා බිම බලාගෙනම. ගොනා සේ. ගොනා සේ'

'අපි දෙන්නා ම මානසිකව වැටිලා දණහිස් තුවාල කරගෙන ඉද්දි දෙන්නට දෙන්නා ම මාරුවෙන් මාරුවට තුවාලවලට බෙහෙත් දාගත්තා'

'අම්මලට ඕනෙ වුණේ ලොකුවට උත්සවේ ගන්න. ඒත් මට ඕනෙ වුණේ බැඳලා ඉක්මනට හොඳට නිදාගන්න'

'මං කොන්ක්‍රීට් බැම්මෙ පිටිපස්සට ම හේත්තු වෙලා හෙමින් ඇස් දෙක පියාගත්ත

සැපයි!

සනීපයි!!

සැහැල්ලුයි !!!'

අනිල් හේරත්ගේ 'සැණෙලි වියුම්', සමර විජේසිංහගේ 'සේදී ගිය පාට' සහ මෑතකදී රචනා වූ මලිඳු කාවින්ද කුමාරසිංහගේ 'මං මාවතක මතක මිමිණිල්ල' යන කතා සංග්‍රහවල පැනෙන, කෙටි සිනමාපට බඳු ක්ෂණික විදුලි එළි සහිත කතා ආකාර, කසුන් සමරතුංගගේ කෙටිකතා කියවන කල මගහැරිය නොහැකිය. මේ අනන්‍යතාවත් සමඟ ම කසුන්ගේ ලේඛන පරිචය තවදුරටත් අනවරත හැදෑරීමක්, ලියවීමක් කරා යොමුවිය යුතුබව ද මේ හා සමානව සඳහන් කරමින් සටහන අවසන් කරන්නේ, කතා අතරින් ඇතැම් කතාවක් සංස්කරණ කාලයක් සහ වැඩිදුර පරිශ්‍රමයක් ඉල්ලා සිටින බැවිනි. 

Top