කෙටි කවියට බර තබන ‘‘උතුරා යන්න ගඟ මම කැමති පොකුණකට’‘ (418)

post-title

‘‘කාව්‍යයෙහි ජීවය වක්ක්‍රෝක්තිය බව වක්ක්‍රෝක්තිවාදීන්ගේ පිළිගැනීම යි. කාව්‍යයේ විශේෂත්වය ඍජුව නොකියා වක්‍රව කීමයි. කාව්‍යයේ චමත්කාරයට හේතු වන සියලු ම ලක්ෂණ වක්ක්‍රෝක්තියේ ප්‍රභේද වශයෙන් සලකන ලදී. වක්ක්‍රෝක්ති සියලු අලංකාරයන්හි ව්‍යාප්තව පවතින බවත් වක්ක්‍රෝක්තියෙන් තොරව අලංකාරයක් නැති බවත් භාමහ නම් ආචාර්යවරයා කියයි.’’

කාව්‍ය විචාර දර්ශන: බඹරැන්දේ මහානාම: පිටුව VI

මෙම ප්‍රකාශය යට සඳහන් පබැඳුම අර පවත්නා සබඳතාව කෙතරම්දැයි විමසමු.

බිදුණු සිත් පෑහෙන තුරා

නොපෙනී ඉන්න සලසන්නැයි

කඳු දෙකක්

කන්නලව් කරයි මීදුමට

තුෂාරිකා ඇන්තනී විසින් රචිත ‘‘උතුරා යන්න ගඟ මම කැමති පොකුණකට’’ කෘතියේ අන්තර්ගත මෙම පබැඳුම තුළින් ගම්‍යමාන වන්නේ කුමක් ද? ආදරයෙන් හෙවත් ප්‍රේමයෙන් බැඳි සිටි යුවළක් විරසක වූ පසු එසේත් නොවේ නම් තාවකාලිකව හෝ වෙන් වීමක් සිදු වූ පසු ඔවුන් දෙදෙනාට දෙදෙනා නොපෙනී සිටින්නේ නම් එය දෙදෙනාගේ ම සිතට සහනයක් බවයි. නමුදු එකී සිද්ධිය එලෙස ම නොපවසන කිවිඳිය සිය කවිතාව උපස්තම්භක කරගනිමින් එය වක්ක්‍රෝක්තියෙන් පවසන්නී ය.

මෙම නිර්මාණය යට සඳහන් කළ ප්‍රකාශයට දැඩි ලෙස සාම්‍යයක් පවතින බව මගේ හැඟීම ය. මෙහි අන්තර්ගත රූපක ද්විත්වය සහ වක්ක්‍රෝක්තියෙන් ඉදිරිපත් කරන සිදුවීම කවියේ කාව්‍යාත්මකභාවය වඩ වඩාත් තීව්‍ර කරයි. අවම වදන් ප්‍රමාණයකින් මෙතරම් ගැඹුරු අදහසක් ඉදිරිපත් කිරීම යනු ම කිවිඳිය සතු කවිතාව යි.

යට සඳහන් නිර්මාණයෙන් කියැවෙන අදහස ම වෙනත් ආකාරයකින් පවසන්නට කිවිඳය තවත් තැනෙක මෙලෙස යත්න දරන්නී ය.

කැලැත්තී දියට වැටි

ගල් කැටයක්

සඳේ රුව දැකිමට

ඉවසිය යුතුය තව වරුවක්

මෙම නිර්මාණයේ මතුපිට ස්පර්ශ කළ විට දක්නට ලැබෙන්නේ අපූරු සිතුවමකි. සැබැවින් ම සඳ දිස්වෙමින් පැවති දිය පිරි ස්ථානයක් කිසියම් ආකාරයකින් කැලඹී ගිය හොත් එතුළින් සඳ දකින්නට තවත් වරුවක් ගත කළ යුතු ම ය. එහෙත්: කැලඹුණු දිය, ගල් කැටය සහ සඳ නමැති රූපක ත්‍රිත්වය උපස්තම්භක කරගනිමින් කිවිඳිය පවසන්නී කුමක් ද? කිසියම් හිත් රිදීමක් හේතුවෙන් වෙන්වී ගිය සිය පෙම්වතිය (පෙම්වතිය යැයි අනුමාන කළ හැකි වන්නේ සඳ බොහෝ විට උපමා කෙරෙන්නේ කාන්තාවට බැවිනි) යළි දැකිය හැකි වන්නේ හෙට දිනයේ ය. එබැවින් තවත් වරුවක් ඉවසිය යුතු බව නොවේ ද. එකී දොම්නස් සහගත සිද්ධිය පවසන්නට කිවිඳිය සිය කවිතාව මැනවින් උපස්තම්භක කරගන්නී අන් කිසිවක් නිසා නොව ඇය සතු කවිතාව හේතුවෙන් ම ය.

මඳ පවන තරම්

කල්පයක් නොගනී

හමන්නට

සුළි සුළං

පෙම්වත් යුවළක් අතර මතු නොව කුටුම්බ දිවියේ වුව ද කුඩා කුඩා ප්‍රමාණයේ හැල හැප්පිම් අනන්ත ය; අප්‍රමාණ ය. නමුත් ඒ සියල්ල හමා යන්නේ මඳ පවනක් ලෙසිනි. එහෙත් ඔවුනොවුන් අතර මඳ ගැටුම් ඉක්මවා ගිය විසල් ගැටුම් ඇතිවන්නේ සුළි කුණාටු ලෙස ය. මෙකී සංසිද්ධිය කවියෙන් පවසන්නට කිවිඳිය භාවිත කරන්නේ වදන් අටක් පමණි. ඒ වදන් අට කවියට ශක්තියක් මෙන් ම අගනා ආභරණ ගොන්නක් ලෙස උපස්තම්භක කරගනිමින් කවිය හැඩ ගන්වන්නට කිවිඳිය සමත්වන්නී ය.

 ‘‘උතුරා යන්න ගඟ මම කැමති පොකුණකට’’ කෘතියේ දිගු කවි මෙන් ම කෙටි කවි ද කිහිපයක් අන්තර්ගත ය. ඒ අතුරෙන් වඩ වඩාත් මගේ වින්දන අවකාශය පුරවාලන්නට සමත් වුයේ යට සඳහන් කෙටි නිර්මාණ ත්‍රිත්වය යි.

කෙටි කවියට විසෙස් සමත්කමක් දක්වන කිවිඳිය ඇතැම් සිද්ධි වාචකයක් ඉදිරිපත්කිරීමට ඉතා දිගු නිර්මාණ පාඨක ප්රකජාව හමුවේ තබන්නී ය. ඒ අතුරෙන් එක් නිර්මාණය නම් කර ඇත්තේ 

‘‘පොහොට්ටුවක නැවතුම ගහක් දරාගන්නේ කෙලෙසක?’’ යනුවෙනි. අපි නිර්මාණය වෙත අවධානය යොමු කරමු.

ඒ උණුසුම්ම සවසක කුඩා වදනකට බිඳ සිත

අදිසි මුරණ්ඩු සිතක්

අප පැතුම් සිලිටි මල් පෙති

පිපෙන්නට පෙර පර කෙරුවා

එදායින් පසු බොහෝ රැයවල

කඳුළු මුසු සුසුම් මා වට කර

අතින් ඇද ඇද නුඹ ගෙදර යන්නට

කතා කළ හඬ කෙඳිරියක් වී ඇසුණා

ඒ සමනල් පියාපත් තබා නුඹ උර මත

අඬ අඬා වැලඳ හිස තියන්නට තිබුණා

උස් සිනා පෙර ලෙස පතුරා

අක්කාගෙ තුරුලෙ අස්වැසෙන්නට තිබුණා

දුන් පිළිණ රැජිනක් විලස එන

නුඹ හිසට කිරුළ ගෙන දිනක මම

ඡායා සිහිනයෙන් නුඹ දකිනු ඇති බව

දැනෙන විට මමියැදි හදවතද කණිනා

බරක් නැති මෘදු හැගුම් යට කර

නුඹ වදන් බර විතරක්ම ගෙන

පියා නැති අපතර බැදුම් ගිවිසුම

මතක් කරගන්න තිබුණා

සිහිල් සුළඟට මුසුව නුඹ හඩ

පැමිණ මා කර වටා සිප සිප

ඇයි ගියේරැව් දෙන පැනය පැන

කිරි සුවඳ ගැන පිස්සියක සේ දොඩනා

අප තිදෙන අද භයංකර ඇත්තක

නුඹ ආස මේ මැණිකෙ දිස්නය

ඉදින් මේ අඳුර මව මව

අකල්හි පාෂාණ වූවා

පොහොට්ටුව දැවූ උණුසුම නසා

නුඹ සිහිලෙන් මහිස සිඹින්නටත්

සසර පුරා සමාවක තිබහින්ම අම්මේ

ඔය දෙපා වැලඳ වැඳ වැටෙන්නත් මට ඕනෑ

දරුවන් එක්තරා වයස් සීමාවක දී දැඩි ලෙස හිතුවක්කාර වීම සාමාන්‍ය තත්ත්වයකි. එවන් අවස්ථාවල දී සිය දෙමාපියන්ගේ බහට අවනත නොවී සිය සිතැඟි පරිදි කටයුතු කරන්නට පෙලඹෙන දරුවන් අතර ගැහැනු දරුවෝ ද පිරිමි දරුවෝ ද යන්න වෙනසක් නොවේ. පිරිමි දරුවකු එබඳු හිතුවක්කාර කටයුත්තක නියැළුණාට වඩා වැඩි වේදනාවක් ගැහැනු දරුවකු එබඳු කටයුත්තක නියැළුණහොත් දෙමාපියන් අත්විඳීම අනිවාර්ය කරුණකි. එය වඩ වඩාත් තීව්‍ර වන්නේ පියා නොමැතිව දරුවන් හදා-වඩා ගන්නා මවකට එරෙහිව දියණියක හිතුවක්කාර ලෙස ගන්නා ඇතැම් තීරණ හේතුවෙන් මව අත්විඳින මානසික සහ ආත්මිය වේදනාව ය.

කාව්‍ය අටකින් සුසැදි මෙම නිර්මාණය පුරා විහිදෙන්නේ මවකගෙන් වෙන්ව යන හිතුවක්කාර කුඩා දියණියක් වෙනුවෙන් සිය මව කෙතරම් වියෝවන්නේ ද යන්න දියණිය කෙරෙන් ම කෙරෙන ප්‍රකාශනයකි.

කථකාව සිය මවට වරදක් කර ඇති බව පළමු කවියෙන් ම ගම්‍ය කරන්නී ය. සිය නිවසෙන් බැහැර ආ දින සිට සිය මවගේ වේදනාව කෙතරම් ද යන්න ඇයට දැනුණු බවත්, ඇගේ මව යළිත් නිවසට පැමිණෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටින බවක් ඇයට හැඟුණ බවත් දෙවන කවියෙන් ගම්‍ය කරන්නී ය.

කථකාවට වැඩිමහල් සොයුරියක් සිටින බවත්, එම සොයුරිය සහ කථකාව සැහැල්ලුවෙන් දිවි ගෙවු බවත් ඇයට සිය මවගේ උරහිසේ හිස තබාගෙන වැලපෙන්නට අවැසි බවත් තෙවන කවියෙන් පවසන්නී ය. කථකාව අනාගතයේ දී හොඳින් ඉගෙන ගෙන මවගේ සිහින සඵල කරන බවට පොරොන්දු වු බවත්, එකී පොරොන්දු සිහිවී කථකාවගේ සිතට දැඩි වේදනාවක් දැනෙන බවත් සිව්වන කවියෙන් ප්‍රකට කරන්නී ය.

කථකාවගේ පියා ද නොමැති බව ඇය පවසන්නී පස්වන කවියේ දී ය. එබැවින් ම ඇය සිය මවට ඇගේ සහ පවුලේ අනාගතය පිළිබඳ කිසියම් ගිවිසුමකට පැමිණ සිටි බවත්, මවගේ ඉකිබිඳුම් හඬ සිහිල් සුළඟ සමග පැමිණ ‘නුඹ ගියේ ඇයිද?’ යනුවෙන් කථකාවගෙන් විමසන බවත් ඇගේ මව උම්මත්තියක සේ හැසිරෙන බවත් ඇයට දිස්වන අයුරු හයවන කවියෙන් ගම්යස කෙරේ.

මවගේ බලාපොරොත්තු සියල්ල සියල්ල සුනු විසුණු කර ඇය පැමිණ ඇති හෙයින් ඇය ද දැඩි වේදනාවට පත්ව සිටින බව හත්වන කවියෙන් විද්‍යමාන කරන කිවිඳිය අවසන් කවියෙන් ගම්‍යකරන්නී, යළි සිය මව සොයා ගොස් කථකාව මවගේ උණුසුම ලබන්නටත්, ඇගේ දෙපා වැඳ සමාව අයදින්නටත් ඇය බලාපොරොත්තුවෙන් සිටින ආකාරය යි.

කිවිඳියගේ කෙටි කවි සහ දිගු කවි අතර පවත්නා කැපී පෙනෙන වෙනස වන්නේ කෙටි කවි සඳහා යොදාගන්නා: උපමා, උපමේය, රූපක, සංකේත සහ වක් බිණුම් දිගු කවි සඳහා භාවිත කර නොමැති ආකාරය යි. දිගු කවි බොහොමයක දී කිවිඳිය වඩාත් යත්න දරා ඇත්තේ සිද්ධිය ගෙනහැර පෑම පමණි. විරිතකට පබඳා නොතිබුණ ද එවන් අවස්ථා බොහෝ විට මට දැනුණේ පරණ කවි කොළවල තිබූ ලක්ෂණ ය. එසේ වුව ද මෙම නිර්මාණ අවතක්සේරු කිරීමක් මෙමගින් සිදු නොකෙරෙන බව ද සිහිපත් කළ යුතු ය.

‘‘අතීතයක රසය’’, ‘‘තාත්තේ කෝ ඔය ඉදිමුණු අත දෙන්න’’, ‘‘රෝහල් පිරිසිදු කරන්නියට කැස්සක්’’, ‘‘ඒ සඳවතිය කොතැනද? ’’, ‘‘එවිටත් ලැව්ගිනි පැතිරීම පටන් අරගෙන තිබුණා’’, ‘‘සියයට විස්සයි සතුට අනුලට’’, ‘‘ඒ කළු ඔක්තෝබරය’’, ‘‘වීරයා සහ ආදරය’’ යනාදි කවි සියල්ලෙහි මෙකී ලක්ෂණ දක්නට තිබේ. එහෙයින් වඩාත් දිගු කවි පබැඳීම මඳකට නවතා වඩ වඩාත් කෙටි කවි කෙරෙහි යොමුවන්නේ නම් කිවිඳියගේ අනාගත කාව්‍යාගමනය සාර්ථක කරගත හැකි යැයි විශ්වාස කළ හැකි ය. දිගු කාව්‍යකරණයේ නියැළෙන්නේ නම් වඩ වඩාත් කවිය පිළිබඳ හැදෑරීම වටින්නේ ය.

මෙම නිර්මාණ කිහිපය හැරුණු විට: ‘‘ගෙඹි රජිදාන’’, ‘‘තවත් දිනයක්’’, ‘‘දිගටම ගල්කනුවක්ව පවතිමි’’, ‘‘කළුව’’, ‘‘ගිනි බැහැ. ඕන නම් සිතල’’, ‘‘ලෙන බිඳිනු පුත, ‘‘නුඹ සිහ පුතා වුණ - සිංහයා’’, ‘‘අසාධාරණ ‘‘සාධාරණය’’ සහ ‘‘අහිමි’’ යන නිර්මාණ ද මගේ බින්න රුචිකත්වයට අනුව මට විදිය හැකි වූ නිර්මාණ කිහිපයකි.

මගේ විඳීම ලියා අවසන් කිරිමට ප්‍රථථම තවත් යමක් පැවසිය යුතු ය. එනම් මෙම කෘතියට පසුවදනක් සපයා ඇති රසිකා ගුණවර්ධණ කිවිඳිය කතුවරිය වෙත අපූරු වක් බිනුමකින් අගනා උපදේශයක් සපයා තිබීම ය. එනම් ‘‘වැඩෙන වැඩෙන තරමට බිමිට නැමෙන්න’’ යන්න ය.


ලියන්න අපිට

ඔබට ලිවීම සම්බන්ධව හීනයක් තිබේ ද? ඒ හීනය විකසිත කර ගන්නට ඉඩක් අවශ්‍ය ද? තාක්ෂණය දියුණු ලෝකයක මුද්‍රිත පත්තර පිටුවලට වඩා දැන් ඩිජිටල් මාධ්‍යය වේගයෙන් දියුණුව ඇත. එබැවින් මෙතැන් සිට අපි ඔබට, ඔබේ හරබර සංස්කෘතික - කලා ලියැවිලි උදෙසා ඩිජිටල් අවකාශයේ ඉඩක් තනා දෙන්නට සූදානම් ය. ඉතින්, රහට ලියන ඔබ ට අපේ ඩිජිටල් අවකාශයේ ඒ ලියමන් පළකර ගන්නට අවැසි නම් පහත විද්‍යුත් තැපල් ලිපිනය ඔස්සේ අපට එවන්න. ඔබේ ලියමන් පිළිගන්නට වචන.lk කාර්‍ය මණ්ඩලයත් මේ ඩිජිටල් අවකාශයත් මගබලමින් ය.

Top