‘‘සීගිරිය’’ යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව තිබෙන ස්ථානය ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථානයක් බවත්, එය අටවන ලෝක පුදුමය ලෙස නම් කර ඇති ලෝක උරුමයක් බවත්, එහි නිර්මාතෘ ලෙස වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ මහා කාශ්‍යප රජු බවත් නොරහසකි.
එසේ වුව ද සීගිරිය යනු රාවණාගේ රාජධානිය බවත් එහි නිර්මාතෘ රාවණා බවත් කියැවේ. එහෙත් එය ද අවිනිශ්චිත ය. එනම් මෙම නිර්මාණය රාවණා යුගයට පෙර සිට පවතින බවත් එහි නිර්මාතෘ රාවණා රජුගේ මාමණ්ඩිය වන මයදානව විසින් ඉදිකරන ලද්දක් බවත් කියවේ. මෙහි පළමු පදිංචිකරුවා රාවණ රජුගේ වැඩිමහල් සොයුරා වන වෛශ්‍රවණ හෙවත් කුවේර බවත්, ඔහු නෙරපා හැරීමෙන් අනතුරුව මහා රාවණ රජතුමා ආලක මන්දාවට පැමිණි බවට ද මතයක් පවතී.
මෙහි අතීත තොරතුරු විමසා බැලීමේ දී මහින්දාගමනයෙන් ඉක්බිති එනම්, ක්‍රි.පූ. තුන්වන සියවසේ සිට සීගිරිය පාමුල පිහිටා තිබෙන ලෙන් තුළ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩවාසය කළ බවට ද සාක්ෂි හමුවී තිබේ. එම සාක්ෂි අතර අදාළ ලෙන්වල කටාරම් කොටා තිබීමත් ඊට යටින් ලියා ඇති බ්‍රාහ්මිය අක්ෂර මෙන්ම කැණීම් කටයුතුවල දී හමුවූ මැටි භාජන ද ප්‍රධාන වේ. මෙම විශාල පර්වතය නැවත රාජධානියක් ලෙස භාවිතා කර ඇත්තේ සීගිරි කාශ්‍යප රජතුමා බව මෑතක ම අපිට හමුවන තොරතුරු අතර ප්‍රමුඛස්ථානයක් උසුලයි. ඒ, ක්‍රි. ව. 477 සිට 495 අතර කාලයේ දී ය.
කාශ්‍යප රජුගේ ඇවෑමෙන් ඉක්බිති මෙම රාජධානිය හෝ ඒ අවට කිසිදු ප්‍රදේශයක් ජනාශ්‍රිත ප්‍රදේශයක් ලෙස හෝ කිසිවකු වාසය කළ ප්‍රදේශයක් ලෙස ඉතිහාසයේ සටහන් වන්නේ පළමු රාජසිංහ හෙවත් ටිකිරි රාජසිංහ (ක්‍රි. ව. 1581 - 1592) සමයේ දී ය.
මෙතැන් සිට විමංසනයට ලක්කෙරෙන්නේ එහි තතු විත්ති ය. ඒ සඳහා අවැසි සියලු විස්තර සපයන්නේ ඉතිහාසයේ රසමුසු තැන් සුමට භාෂා ශෛලියකින් පාඨකයා වෙත සමීප කරවීමට නිපුණතාවක් ඇති සුජිත් අක්කරවත්ත විසින් රචිත ‘‘සිවගිරියෙන් සීගිරියට’’ නම් වු කෘතියයි.
එම කෘතියේ 10වන පිටුවේ මෙසේ සඳහන් වේ.
සමනොළ සීගිරිය සහ දියතල පවද
ගින්තොට ගල්මඩුව මන්දාරම් පුරද
මුතුගම යන මෙසෙත් තැන බල මඩුලු බැඳ
සෙන් සහ නොයෙක සිව තවුසන් විසු එසඳ
මෙය මන්දාරම් පුවතේ 97වන කවිය බව කතුවරයා සඳහන් කර ඇත. ඔහු එසේ සඳහන් කරන්නේ කාශ්‍යප රජුගේ ඇවෑමෙන් ඉක්බිති සීගිරිය පිළිබඳ කිසියම් සටහනක් පවතී නම් ඒ, පළමු රාජසිංහ හෙවත් ටිකිරි රාජසිංහ (ක්‍රි. ව. 1581 - 1592) සමයේ දී පමණක් බව ප්‍රත්‍යක්ෂ කරනු පිණිස ය. එම කාව්‍යයෙන් කියැවෙන්නේ ටිකිරි රාජසිංහ රජු සමයේ ඔහුගේ ප්‍රේමණීය මිතුරකු වූ ‘ගිරි’ නමැති තවුසා ප්‍රාන්ත රජ කෙනකු ලෙස සීගිරි රාජධානියේ කල් ගෙවු බවයි.
ඉතිහාසයේ සටහන් නොවූ ෆෝබ්ස් ලකුණ
ඉනික්බිති සීගිරිය පිළිබඳ කතිකාවක් ගොඩනැගුණේ කවදා ද යන්න බොහෝ පිරිස් නොදන්නා කරුණකි. ඉතිහාස තතු මෙසේ යටපත්වෙමින් පවතිද්දී 19 වන සියවසේ පළමු අර්ධයේ දී එනම් මෙරට පූර්ණ යටත් විජිතයක් බවට පත්ව වසර 15ක් පමණ ඉක්ම ගිය සැණින් ම වාගේ මෙරටට සුවිශේෂිත පුද්ගලයෙන් පැමිණේ. ඔහු මේජර් එච්. ෆෝබ්ස් නම් විය.
මෙම විදේශිකයා සිය ගමන් සගයකු වන රන්තුක නම් වැද්දා සමග නකල්ස් කඳුයාය නැරඹීම සඳහා යන අතරතුර රන්තුක නම් වැද්දා ෆෝබ්ස් වෙත සීගිරිය පිළිබඳව රහස පවසා ඇත. එදා රන්තුක වැද්දා සහ ෆෝබ්ස් අතර සබැඳියාවක් නොපැවතියේ නම් ඇතැම් විට මේ වන විට ද අපිට ‘‘සීගිරිය‘‘ හමු නොවනු ඇත. ඒ කතාව එ’තරමට ම සංකීර්ණය; විස්මය ජනක ය; ඓතිහාසික ය.
මෙම සිද්ධිය ඇතිවන්නේ 1831 වසරේ දී වුව ද ඒ මොහොතේ රන්තුක වැද්දාට හෝ ෆෝබ්ස්ට සීගිරිය නැරඹිමට අවස්ථාව උදා නොවන්නේ ය. කතුවරයා ඒ පිළිබඳ මෙසේ සටහන් කරයි.
‘‘රන්තුකගේ ආදර සත්කාර රස ආහාර විඳිමින් යන ඔහුට ඉතිහාස රහස් කතාවේ අරුම පුදුම රහසක් හෙළි වූයේ ය. ‘‘ෆෝබ්ස්’’ එහි යන්නට මාවත තම හද බැඳියාගෙන් ඉල්ලා සිටියේ ය. වන බඹරු, දෙබරු, සහ විසගෝරයන්, වග වලසුන්, දිවි පෝතකයන් සහ වන ඇතුන් රකින සීගිරි බලකොටුවට පා තැබීම හිනයක් වග ‘‘රන්තුක’’ කීවේ ය. ඒත් ෆෝබ්ස්ගේ ඇවිටිල්ල නිසා රන්තුක බැද්දේ දෙවියන් හමුවී පූජා තටු තබා ලකේගලින් වන වැද සීගිරි කාශ්‍යප මහරජ නිසල නිදහසේ සැතපෙන සොහොන් කොත ළඟට ආයේ ය. එහි සිට සීගිරියට පළමු පිය සටහන තබා සක්මනට අවසර ගත්තේ ය. සියවස් දෙකහමාරකට එනම් වසර 250කට එනම් පළමු රාජසිංහගේ සමයේ ගිරි තවුසාට පසු සීගිරියට ‘‘ප්‍රථම සක්මන’’ වන්නේ එදා ය.’’
පිටුව 11
නමුදු 1831 වසරේ දී ක්‍රියාත්මක කළ ෆොබ්ස්ගේ ඒ තැත වරදින්නේ ය. ඔහු යළිත් 1833 වසරේ දී සිය මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ ය. ඒ, කෙසේ ද යන්න සහ එහි පසුබිම කතුවරයා මෙලෙස සටහන් කරයි.
‘‘එහෙත් පළමු පියවර වැරදුණි. දෙබර, බඹර සේනා අවදි වී සීගිරි පර්වත කලා භවන අසලටවත් ‘‘ෆෝබ්ස්ට’’ යන්නට නොදුන්නේ ය. සෙන්පති ෆෝබ්ස් යළි හැරුණෝ ය. ඒත් රාජකීය එංගලන්ත හමුදාවේ රණශූර පදවිලාභී කෘතහස්ත මේ එඩිතර සෙන්පති පසුබට නොවි ය. ‘‘ෆෝබ්ස්’’ යළි මහනුවර නෑවිත් ලකේගලින් දඹුලු වනයට ඇතුළු වී එතැනින් සිගිරි වනපෙතට ඇතුළු විය.’’
පිටුව එම
කතුවරයා මෙලෙස සටහන් කරන්නේ ‘‘තමන්ගේ නොවන’’ එහෙත් ඓතිහාසික වටිනාකමකින් යුත් මේ මහා විශ්මිත නිර්මාණය සොයා පාදා ගැනීමට වෙර දැරූ ප්‍රථම විදේශිකයාගේ අප්‍රතහිත ධෛර්ය යි.
එදා වන බඹරුන්ගේ සහ දෙබරුන්ගේ ග්‍රහණයට මැදි වූ මේ විදේශිකයා මෙදා (1833) එම ව්‍යසනයට ගොදුරු නොවුනාද යන්න දැන් පාඨකයා තුළ කුකුසක් ඇතිවනු නොඅනුමා ය. කතුවරයා ඒ පිළිබඳ මෙසේ සටහන් කරයි.
‘‘දින මාස ගණන් ගෙවි ගියේ ය. වන බඹරු, දෙබරු ද, විස සර්පයෝ ද මිතුරු වූහ. වග වලස්සු ද ඔහේ සිටියෝ ය. විටෙක මුව, මී, ගෝනෙක් ෆෝබ්ස්ගේ කුසගිනි නිව්වේ ය.’’
පිටුව එම
මෙසේ පැමිණි මේ විදේශිකයා කුමන හේතුවක් මත හෝ සිය උත්සාහය අත් නොහරිමින් තව තවත් මේ මහා විශ්මකර්ම නිර්මාණය තුළට කිමිදෙන්නට විය. ඒ, ආවාට ගියාට නොව තමන් දකින සියලු දෑ සටහන් කරගනිමිනි. මේ ආකාරයට සීගිරියේ තතු සොයමින් වෙහෙසුණු විදේශිකයා විවිධ රෝගාබාධවලට ලක් වුව ද හෙතෙම නොවේ සිය උත්සාහය අත්හලේ. රන්තුකට, සීගිරියට සහ සිරිලක්දිවට ආදරය කළ මේ මහා පුරුෂයා 1834 අගේස්තුවේ දී යළි සිය මවු රට බලා පිටත්විය. ඒ, හිස් අතින් නම් නොවේ. ඔහු තුන් වසරක් පුරා සීගිරියේ: සිහපාදය ද, කැටපත් පවුර පිළිබඳව මතු නොව සීගිරි ගී පිළිබඳව ද තමන් ඉතා වෙහෙස මහන්සියෙන් ලියා තැබු සටහන් ගොන්න ද සමගිනි. ඔහු එහි උපරිම ඵලය අත්පත් කරගන්නේ ‘‘Eleven Years in Ceylon’’ නමැති කෘතිය ලියා අවසන් කිරීමෙනි.
මේ කෘතිය ලාංකිකයෝ කෙතරම් ප්‍රමාණයක් කියවා ඇතිද යන්න නිගමනය කළ නොහැකි වුව ද එවන් කෘතියක් ප්‍රකාශයට පත්වී ඇති බව හෝ ලාංකික ප්‍රජාව දැනුවත්වීම ම ඉතා අගනේ ය. මන්ද ෆෝබ්ස් යනු වසර 1580කට පසු සීගිරිය පිළිබඳ ප්‍රථම ඉතිහාස සටහනක් තබන එක ම පුද්ගලයා ඔහු බැවිනි. ඔහුගේ එම උත්සාහය තවත් මල් පළ දරන්නේ 1890 වසරේ දී ය. එනම් බ්‍රිතාන්‍ය රජය විසින් ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවනු ලබන්නේ එම වසරේ දී වීම ය. මෙහි උත්ප්‍රාස ජනක ම සිදුවීම වන්නේ මේ බ්‍රිතාන්‍ය නිලධරයා මෙරටට පැමිණෙන තෙක් ශ්‍රී ලංකාද්විපය පාලනය කළ කිසිදු රජ කෙනකු මේ මහා විශ්මකර්ම නිර්මාණය පිළිබඳ කිසිදු සඳහනක් නොකිරීම ය. මේ වන විට එහි අති උත්කෘෂ්ටත්වය සනිටුහන් කරන්නේ සුජිත් අක්කරවත්ත ලේඛකයා ය. එනම් මේ සැඟවුණු, සුන්දර ඉතිහාස කතාව සිය කෘතිය තුළින් ශ්‍රී ලාංකික සිංහල කියවන පාඨකයා ඉදිරියේ තැබීම ය.
මෙම කෘතිය තුළින් කතුවරයා නගන ප්‍රධාන පැනයක් කෙරෙහි ද අපගේ අවධානය යොමු විය යුතු ය. එනම්, ‘‘සෙන්පති ෆෝබ්ස්ගේ මාවත මතින් සීගිරි සක්මන් යන කිසිවෙක් ඔහුට ගෞරව දක්වන්නේ ද?’’ යන්න ය. ලංකා ඉතිහාසයේ මතු නොව ලොව බොහෝ ස්ථානවල මෙවන් සිදුවීම් සිදුව තිබේ. සැබැවින් ම මෙම කෘතිය ජනගතවී මේ වන විට දෙවසරක් ඉක්ම ගොස් තිබේ. එහෙත් අදවන තුරුත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරින් අවධානය යොමු කර නොමැති වීම කනගාටුවට කරුණකි.
සීගිරිය තුළින් මතුවන අපේ ශිෂ්ටත්වය
කතුවරයා මෙම කෘතිය තුළින් ඔප්නංවන්නේ අපේ ඓතිහාසික විස්කම් පමණක් නොවේ. එකල මෙරට විසු ජනයාගේ ශික්ෂිතභාවය ද හෙතෙම ඉස්මතු කරලයි. මේ එවන් අවස්ථාවකි.
‘‘බාල, මහලු, ගුරු, දෙගුරු, ළමා ළපටි තරුණ තරුණියන් මෙන්ම හිමිවරුන් පිරිවරා අප අදත් සිගිරිය නැග බලා දැකගන්නේ අපේ ලලිත ලියන්ගේ රූ අඟපසඟ ය. ඒ පිළිබඳ විචිකිච්චාවක් නැත. ඒ ජාතියක් ලෙස ගොඩනගාගෙන තිබූ සංවර සරාගිකත්වයකින් ෂික්ෂිත වූ ජන සමාජයක් අතීතයේ පැවතීම ද විය හැකි ය.’’
පිටුව 16
එදා විසූ ශ්‍රී ලාංකීය වැසියන් පිළිබඳ එවන් සහතිකයක් ලබා දුන්න ද අද රාජ්‍යය ආයතනවල සේවයේ නියුතු බලධාරිහු නම් අඩනිරුවත් ලලනාවකගේ සිතුවමකින් කිසියම් සාහිත්‍යය හෝ වෙනත් කෘතියක කවරය නිමවී තිබේ නම් එවන් කෘති කිසිදු රාජ්‍ය ආයතනයක පුස්තකාලයකට මිලදී ගැනීම පවා ප්‍රතික්ෂේප කරති. එසේනම් අද අපේ රසඥතාව මොට වී ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න විමසා බැලිම වටී. ඒ සඳහා කදිම ආදර්ශයක් සපයන්නට ද මෙම කෘතියේ කතුවරයා සමත් වී තිබේ.
මෙහි දී කතුවරයා ආචීර්ණ කල්පිත මත පසෙකලමින් සිංහල ජන සිරිතේ පවතින රාග (රාගය යනු හුදෙක් ලිංගික ආසක්තභාවය පමණක් ම නොවේ) ලෝලිත්වය කුමනාකාර ද යන්න කදිමට පැහැදිලි කරයි.
‘‘ලක්වැසියෝ ජනප්‍රිය කඳුවැටි ගණනාවක් අතීත කාමයෙන් සරුසාරව පියමැන බලති. ඒ අතර සමනළ ගිරි සිරස ද මිහින්තලා ගිරි මුදුන ද වේ. ඒ, බුදුන් වහන්සේ නිසා ය. වැඩිහිටි කඳු මුදුන කතරගම දෙවියන් නිසා ද, රිටිගල කඳු මුදුන පණ්ඩුකාභය රජ නිසා ද තරණය කරන අප සීගිරිය මුදුන් මළුවට පිවිසෙන්නේ ඒ කිසිවකට නොව සිංහල ජන සිරිතෙහි උරුම සිරිතක් වූ රාග සිරිත නිසා ය.’’
පිටු 16, 17
මේ මිනිස් දිවියේ යථාර්ථය යි. එදා සිට සියලු මිනිස්සු වෙතින් ප්‍රකට වන මෙම ‘‘රාග සිරිත’’ පිළිබඳ විවිධ කලා කෘති තහනම් කරන්නට තරම් වත්මන් ලාංකීය ආචීර්ණ කල්පිතයෝ යත්න දරන මොහොතක එදා විසු ශ්‍රී ලාංකීය පුරවැසියෝ මෙන්ම පාලකයෝ ද කෙතරම් සැහැල්ලුවෙන් කටයුතු කර ඇති ද යන්න මෙමගින් විද්‍යමාන නොකෙරෙන්නේ ද?
‘‘උපුලීලා’’ නම් කවුරුන් ද?
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු මෙරට යටත් කරගන්නට ප්‍රථම ‘‘විවාහය’’ යනු විශ්වාසය මත ගොඩනැගුණු සංස්ථාවකි. නමුත් එහි දී වුව ද නීත්‍යානුකුල බිරිඳ සහ අනියම් බිරින්දැවරු යනුවෙන් නාමකරණය වූ බව නොරහසකි. රටේ රජතුමාගේ නිල බිසවගේ (රන් දෝලිය) දරුවන්ට උරුම වූ බොහෝ දෑ රිදී දෝලියගේ හෝ යකඩ දෝලියගේ දරුවන්ට උරුම වූයේ නැත. සීගිරි ආලකමන්දාවේ විශ්මිත සැලසුම්කරුවා වන කාශ්‍යපට අත්වන්නේ ද එම ඉරණම ම ය. එමෙන්ම කාශ්‍යප රජු සීගිරි සිතුවම් තුළින් ද මේ බෙදීම සනිටුහන් කරන්නට යත්න දරා ඇත. එකී යථාර්ථය අරුත්ගන්වන්නට කතුවරයා ඉතිහාස තතු විදහා දක්වන අතර ම සිය සාහිත කුසලතාව ද කදිමට විදහාපාන්නට අමතක කර නැත.
‘‘... රුව විසින් ජනිත කර ඇති සදාර්ශනික සිතුවිලි පෙන්වා දෙන්නේ රූ සිත්තම් හා ජන දැක්ම අතර, බැඳී තිබූ පොදු සමානතාවය ය. මෙය වඩාත් කදිමට පේන ගී සිතුවම ගෙතෙන්නේ සීගිරි ලලිත ලිය අතර වූ ‘‘උපුලීලා’’ අරභයා ය’’
පිටුව 17
මෙම කොටසේ උපුලීලා යන කොටස පෙරළි කොමා තුළ බහාලන්නට කතුවරයා පෙලඹෙන්නේ එම වදනේ පවත්නා සුවිශේත්වය හේතුවෙනි. කෘතිය ඉදිරියට ගලා යාමේ දී කතුවරයා ඒ සම්බන්ධයෙන් තවත තවත් තතු විදාරණය කරයි.
‘‘නිලුපුල් (නිල් මානෙල්) පෑ සමින් යුත් ස්ත්‍රීන් උපුලිලා යන පොදු වහරට ගෙන නාම ගතකර ඇත’’
පිටු 17, 18
‘‘උපුලිලා’’ නමැති වදන පිළිබඳ සුවිසෙස් අර්ථකථනයක යෙදෙන කතුවරයා එතුළින් ගම්‍ය කරන්නට යත්න දරන්නේ කුමක් ද යන්න මැනවින් පැහැදිලි වන්නේ කෘතිය තුළ තව ඉදිරියට ගමන් කිරීමේ දී ය.
‘‘... සිංහල රජ සිරිත සිරි ගන්වන රජතෙමේ තම නිල බිසව අතරට දේවියන් කිහිප දෙනකු උරුම කරගත්තේ ය. එහිදී රන් පෑ ලිය, රිදී පෑ ලිය අතරට නීල පෑ ලියක් ද වූවා ය. මෙම නිල පැ ලිය වූ කලී උපුලීලාගේ වංශ කුමරිය ය’’
පිටුව 18
කාශ්‍යප රජ තෙමේ ‘‘උපුලීලලා’’ කෙරෙහි මෙපමණට ම ආසක්ත වන්නේ ඇයි ද යන්න කතුවරයා මෙසේ පැහැදිලි කරයි.
‘‘මේ ‘‘උපුලීලාගේ කතාව’’ තවත් ඈත මෑත සැම ඉම පැතිර යන්නේ උපුලිලාගේ රුව වරුණ සිත්තම් කර දුන් සීගිරි කාශ්‍යප කුමරු නිසා ය. ධාතුසේන රජතුමාගේ ‘‘උපුලීය’’ වූ උත්තරා බිසවගේ පුත් කුමරු වූයේ සීගිරි කාශ්‍යපය’’
පිටුව එම
කාශ්‍යප කුමාරයා වෙත විවිධ තාඩන පීඩන එල්ල වන්නේ ද, හෙතෙම සිය සොහොයුරා වන මුගලන් කුමරු සමග විරසක වන්නේ ද තමන් ධාතුසේන රජුගේ නිල බිසවගේ දරුවකු නොවන බැවිනි. එමෙන්ම කාශ්‍යප රජ තෙමේ සිය රාජධානිය තුළ ‘‘උපුලීලලා’’ වෙත මෙතරම් ප්‍රසිද්ධියක් ලබාදී ඇත්තේ ඇයි ද යන්න කතුවරයා තවදුරටත් මෙසේ පැහැදිලි කරයි.
‘‘තත්කාලින තතු විත්ති පවසන්නේ කාශ්‍යප රජ තෙමේ නීල උත්පල කඩවසම් ගෙත්මික පුරුෂ කුමරකු සේ ය. එසේ නම් සීගිරි ලලිත ලිය අතරමැද ‘‘උපුලීලා’’ ලෙස අර්ථ දැක්වෙන්නේ, ලක් ඉතිහාස වංශයේ ස්ත්‍රී කතාන්දරය ද විය හැකි ය. නීල උපුල් බිසෝ කුසක හැදී වැඩී උපන් නීල උපුල කුමරු කාශ්‍යප මේ සිත්තම් කර ඇත්තේ පන්හිඳට ලියා තබන්නට නොහැකි වූ ලක් ලිය වංශයෙහි අතුරු කතාවදැයි විමසුම් සහගතව සිතා බැලිය යුතු තරම් වේ.’’
පිටුව 18
මෙතෙක් සීගිරි ලලනාවෝ පිළිබඳ විවිධ විද්වත්හු පළ කළ අදහස්වලට බොහෝ සෙයින් ම වෙනස්, එහෙත් යථාර්ථවාදි අදහසක් කතුවරයා ඉදිරිපත් කර ඇති බව මෙහි දී දක්නට ලැබේ. මන්ද ලෝකයේ නිම කර ඇති කුමන නිර්මාණයක වුව ද පසුබිම් කතාවට පාදක වන්නේ තත්තකාලීන රාජ්‍යය පාලකවරයාගේ හෝ පාලකවරියගේ ජීවිත සමග බැඳුණු පුවතකි. එය ඒ ආකාරයට ම කාශ්‍යපට ද බලපාන බව කතුවරයාගේ මෙම ඉදිරිපත්කිරීම අප වෙත විද්‍යමාන කරයි.
බල ගැටුම අභිභ වූ දාර්ශනික ගැටුම
ලක් ඉතිහාසයේ පැවති බල ගැටුම් අතර කාශ්‍යප මුගලන් ගැටුම ද ඓතිහාසික ය. නමුදු එය හුදෙක් බලය උදෙසා පමණක් ම නොව දාර්ශනික මත ගැටුමක ප්‍රතිඵලයක් බවට ද විශ්වාසයක් පවතී. කතුවරයා ද එම මතය සනාත කෙරෙන ආකාරයේ අදහසක් මෙම කෘතියේ බහා ඇත.
‘‘සීගිරි ලිය ශ්‍රී ලංකාව ලොව මුදුනට ම ගෙනගොස් ඇත. එමෙන්ම සීගිරි ලිය සිරිත නිසා ලක් ඉතිහාසයේ මත ගැටුමක් ද බිහිව ඇත්තේ ය. සිංහල රාජ ව්‍යුහය හරි මැදින් ථෙරවාද, මහායාන බෞද්ධ දර්ශනවාද විසින් උරුම කරගැනීමේ සටන මැද, සටන් මළුව වූයේ සීගිරිය ය. විටෙක එය ලක් ඉතිහාසයේ සමාජවාදී ධනවාදි ගැටුම යැයි සිතෙන තරම් ම ප්‍රබල ය. සීගිරි කාශ්‍යප උපුලි මවකගේ ද, මුගලන් රන්ලිය මවකගේ ද පුතුන් වී, සටන් වැද ඇත්තේ මේ දාර්ශනික වියවුලට ය.’’
පිටුව 20
කතුවරයා මේ විදාරණය කරන්නේ කුමක් ද? ලොව බොහෝ රටවල මෙන්ම බලය පිළිබඳ පවත්නා යථාවබෝධය යි. එනම් උරුමය සම්බන්ධයෙන් වූ නීත්‍යානුකුලභාවය යි. ලංකාවේ මතු නොව ලොව බොහෝ රටවල බලය හෙබවූ පුද්ගලයාගේ ඇවෑමෙන් බලයට පත්විය යුතු තැනැත්තෝ ඇතැමෙක් යට කී ආකාරයේ නීත්‍යානුකුල උරුමක්කාරයෝ වුව ද ඔවුහු සිය පැවැත්ම තුළ එය තහවුරු කරගන්නට අසමත් වූහ. ‘‘සිංහලයේ‘‘ ආරම්භකයා වශයෙන් සැලකෙන විජය කුමරු ඊට කදිම නිදසුනකි. ඔහුට රාජ උරුමය පැවතිය ද හෙතෙම සිය පැවැත්ම තහවුරු කරගත්තේ වෙනත් මානයකිනි. ඔහුගේ පියාගේ දුරදක්නා නුවණ හේතුවෙන් සහ හෙතෙම සැබැවින් ම සිට රටට ජාතියට ආදරය කළ බැවින් තමාගේ ඇවෑමෙන් ඉක්බිති රාජ්‍යත්වය හිමි විය යුත්තේ විජයට වුව ද එය තඹ ශතයකට මායිම් නොකර සිය දඩබ්බර පුත්‍රයා පිටුවහල් කරන්නේ ය. ඒ විජය නමැති පුද්ගලයා රාජ්‍යය පාලකයකු වීමට තරම් සුදුසුකම් නොලද්දකු බැවනි. එහෙත් ලක් ඉතිහාසය ඊට බෙහෙවින් වෙනස් ය. අනාගතය ද එසේ විය හැකි ය. රාජ්‍යය පාලන සමයේ මෙන් ම ඊනියා නිදහසෙන් ඉක්බිතිව ද වැඩි කාලයක් මෙරට පාලනය කර ඇත්තේ පාරම්පරික උරුමක්කාරයෝ ලෙස පැවතගෙන එන්නෝ ය. මේවන විට රටේ ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත්කරන්නේ කවුද යන්න එක් එක් වලව් තුළ කැම මේසයේ දී සාකච්ඡා පවත්වන තරමට දේශපාලනය බංකොලොත් වී ඇත්තේ ද මේ උරුම කරුමය හෙයිනි.
කාශ්‍යප ජීවිතයේ වර්ණ භේද පිළිබිඹුව
ලොව පුරා වර්ණ භේදය රජයයි. ඒ එක් එක් ජනවර්ග ලෙසිනි. නමුත් එකම රටක මිනිස් සමාජය වර්ණ භේදය හේතුවෙන් විරසකව ගැටුම් ඇතිකරගත් බවට කදිම සාක්ෂියක් ලෙස ද කාශ්‍යපගේ ජීවිත පවතෙන් කොටස් උකහාගත හැකි ය. මේ සංකීර්ණත්වය සිගිරි නිර්මාණ තුළින් ම ඉතා සුමට ලෙස විදාරණය කරන කතුවරයා සිය ‘‘සිවගිරියෙන් සීගිරියට’’ කෘතියේ මෙලෙස සටහන් කරයි.
‘‘සිංහයන්ගේ වර්ණය රන්වන් ය. හෙළයන්ගේ වර්ණය නිල්වන් ය. රන්වනුන් හා නිල්වනුන් සේ සීගිරි ලිය ද වර්ණ ගැන්වි ඇත. බුදු සසුනේ දක්ෂිණ අග්‍ර ශ්‍රාවක වන සැරියුත් හිමි සහ ඛේමා තෙරණිය රන්වන් ය. උත්තර හෙවත් වාම අග්‍ර ශ්‍රාවක වූ මුගලන් තෙර සහ උප්පලවන්නා තෙරණිය නිල්වන් ය. කුවේණි බිසව නිල්වන් ය.’’
පිටුව 24
මෙතැනින් නතර නොවන කතුවරයා අතීතය සහ වර්තමානය එකිනෙකට ගළපන්නට ද සමත්කමක් දක්වයි. ඒ, මෙසේ ය.
‘‘මෙසේ ලක් ඉතිහාසයට බැඳී ගිය මහාවංශය සහ චුලවංශය යන මතවාදි දෙපිල ද මහා විහාර - අභයගිරි නම් ශාසන විභේදනය පිටුපස ද ඇත්තේ මේ රන්වන් නිල්වන් දැක්ම ය. සීගිරියෙහි නිර්මාපකයා ද මේ රන්වන් නිල්වන් බෙදීමට අයත් වන්නේ උපතේ පටන් ගැටුමකට මුහුණ දෙමිනි.’’
පිටුව එම
දිගින් දිගට ම කෘතිය රස විඳීමේ දී පාඨකයාට දැනෙන සුවිශේෂත්වය නම්, මෙතෙක් අපි කියැවූ සීගිරියට වඩා වෙනස් සිගීරියක් හමුවීම ය; සීගිරි කතා පුවත යනු හුදෙක් ඉතිහාස කතාවක් නොව බරපතළ දේශපාලනික කියවිමක් සහිත කතාවක් බවයි. ඉදිරියේ දී එහි බරපතළ බව වඩ වඩාත් තහවුරු වන බවට විශ්වාස ය. මන්ද මෙම කෘතිය කියවිය යුත්තේ මෙහි ලියා ඇති දෑ අභිභවන දැක්මක් සහිතව ය. එවිට මෙතෙක් නොකියවූ කතාව මතු නොව කතුවරයා ද නොලියූ බොහෝ දැ කියවාගත හැකි ය.
ෆ්‍රොයිඩ් නැවත කියවීම සමග සම සරාගය
මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සිග්මන් ෆ්‍රොයිඩ් පවසා ඇත්තේ සාමාන්‍ය අඹු සැමි යුවළකගේ සැබැ වසඟය පවත්නේ අවම තෙවසරක් හෝ සිවුවසරක් පමණක් බවයි. අනතුරුව ඔවුන් එකිනෙකා නුරුස්සන ස්වභාවය විද්‍යාත්මක බවයි. මේ සිද්ධාන්තය ම වෙනස් ආකාරයකින් ලේඛන ගතකරන කතුවරයා ගේ දැක්ම දෙස අවධානය යොමු කරමු.
‘‘ලංකා කිරුළ දරන රජවරු ද තම බිසෝ මණ්ඩලය රන්වනුන්ගෙන් සහ නිල්වනුන්ගෙන් පූර්ණ කරගන්නෝ ය. එය රාග තෘප්තියට අදාළ ශෘංගාරාත්මක ජීව විද්‍යාත්මක සත්‍යයක් පෙන්වන තේරුමක් සහිත ප්‍රායෝගික බැඳිමකි.’’
පිටුව එම
එයින් නොවතින කතුවරයා යට කී සංසිද්ධිය ලංකාපුරයට බලපා ඇති යථා තත්ත්වය පිළිබඳව ද පැහැදිලි කරයි.
‘‘... නමුත් එය ම මේ රටේ වංශ ගෝත්‍ර වර්ණවාදයට මුසු වී ඇත.’’
පිටුව එම
මේ තිත්ත ඇත්ත සිය කෘතියක් තුළින් විද්‍යාමාන කරන්නට තරම් ප්‍රාණවත් කශේරුකාවක් කතුවරයා සතුව පැවතීම ම ගරු කටයුතු ය.
ලාංකීය ඊනියා සදාචාරවාදියෝ නිරතුරුව ම පිටුදකිනා, පිළිකුල් කරනා ලිංගිකත්වය ඇත අතීතයේ දී කෙතරම් නිදහස් ලෙස පැවතියා ද යන්න කතුවරයා මෙම කෘතිය තුළ ප්‍රකට කරයි. එය විෂම ලිංගිකත්වය, බහු පුරුෂ සහ බහු භාර්යා මෙන්ම සමරිසිකත්වයට ද අදාළ ය.
‘‘විටෙක ලක් රජුගේ සරාගය කෙතරම් විවෘත වූයේ ද යත් ජනතාවට සිරියහන් අභිෂේක මංගල්‍යය සජීවිව දැකගතහැකි තරම් ලිහිල් වි තිබේ. මෙම පුවත් මහාවංශය, දීපවංශය විජය රජුගේ හා පණ්ඩුකාභය රජුගේ සිරියහන් රාත්‍රී සමග ලියා තබා තිබේ. එමෙන්ම බහුත්ව සරාගයෙන් බැඳි ගිය බහු සරාගින් ද සම සරාගින් ද සහිත ජන සමාජයක් අතීතයේ නිරුපද්‍රිතව ගලා ගිය ඉතිහාසයක් ලක් සමාජය සතුව තිබුණි (මහාවංශ 7වන පරිච්ඡේදය 25, 26, 27, 28 ගාථා - 10වන පරිච්ඡේදයේ 34, 37, 44 ගාථා - දිපවංශය9, 34, 35 ගාථා)’’
පිටු 29, 31
ඉතිහාස රචකයෝ ද ප්‍රබන්ධකරුවෝ ය
අපේ ඉතිහාස රචකයෝ ලියා ඇති ඇතැම් දෑ අතිශයෝක්තිමය ගතිකයක් ගන්නා අතර ඇතැම් විට එහි අන්තර්ගත ඇතැම් කරුණු සාවද්‍ය ය. එහෙත් අපේ බොහෝ පිරිස් ඉතිහාසය කියවද්දී මේ අතිශයෝක්තිය සහ සාවද්‍ය කරුණු කිසිවක් පිළිබඳව යළි විමංසනයක නොයෙදේ. එය හේතුවෙන් ම අපේ ඇතැම් රජවරු මෙන් ම බිසෝවරු ද ඉතිහාසයේ සරදමට මෙන්ම අවමානයට, අපහාසයට පත්වූ අවස්ථා බහුල ය. ඒ අතුරෙන් ප්‍රමුඛස්ථානයක සිටින්නේ අනුලා රැජින ය. ඇය ශ්‍රී ලංකාවේ පළමු රාජ්‍යය පාලකවරිය වුව ද ඒ ගෞරවය ඇයට අහිමි කර ඇත. එය වෙනම කතාවකි. ප්‍රබන්ධ රචකයකු වශයෙන් ඇයට යම් සාධාරණයක් කර තිබෙනු දුටුවේ මොහාන් රාජ් මඩවල පමණි. ඒ, සිය ‘‘රැජනි’’ කෘතිය තුළිනි. ඉක්බිති අනුලා බිසව පිළිබඳ කිසියම් සාධරණ විනිශ්චයක් ලබා දෙන්නට සුජිත් අක්කරවත්ත ලේඛකයා ද සිය කෘතියේ දී කිසියම් ප්‍රයත්නයක යෙදි ඇත. ඔහු ‘‘සිවගිරියෙන් සීගිරියට’’ කෘතියේ එක් තැනෙක මෙලෙස සටහන් කරයි.
‘‘සත් පුරුෂ සරාගය දේශපාලන, සමාජ ආගමික කලා පුරුෂ වියමනක් සේ ලක් සමාජයේ පවතී. එය සරාගි දර්ශනයකින් විවෘතව දකින නිවහල් පුරුෂයා වන්නේ සීගිරි කාශ්‍යප ය. එය නිරවුල්ව විවෘතව දකින රැජින අනුලාව ය. අනුලා රැජිනගේ පුරුෂයන් සත් මඬුල්ලක් වී කියා දී ඇත්තේ ඒ කතාව ය. එක් අතකින් අනුලා රැජිනත් සීගිරි කාශ්‍යප සේ ම ආරෝපිත ථෙරවාදයෙන් යටපත් වී ඇති විවෘත රාජ දාර්ශනිකාවකි’’
පිටුව 32
මේ උද්දීපනය කෙරෙන්නේ සාහිත්‍යකරුවකු සතුව පැවතිය යුතු ස්වයං තීරණ ගැනීමේ අයිතිය යි; ඉතිහාසය යනු ම ප්‍රබන්ධය සහ සත්‍යය අතර පවත්නා ප්‍රපංචයක් බව ලොවට කියාපෑම යි.
සීගිරි ලලනා රූ දුටු පළමු විදේශිකයා
‘‘සිවගිරියෙන් සීගිරියට’’ කෘතිය ඇසුරු කරමින් ගමන්ගන්නා විට අපිට හමුවන: මෙතෙක් නොඇසූ, නොකිය වූ චරිත බහුල ය. ෆෝබ්ස් හැරුණු විට ඒ අතුරෙන් අපිට හමුවන ප්‍රබල චරිතයක් වන්නේ රිස් ඩේවිස් ය. ඔහුගේ චරිතය එතරමට ම සුවිශේෂි වන්නේ මන්දැයි දැන් ඔබට සිතෙන්නට පිළිවන. ඒ අන් කිසිවක් නිසා නොව හත්සිය වසරක් පුරා ආවරණය වී තිබූ සීගිරි ලලනාවෝ සියැසින් දුටු දෙනෙත ඔහු සතු වු බැවිනි. රිස් ඩේවිඩ් සීගිරි ලියන්ගේ රුව දැක කෙතරම් විශ්මයට පත්ව ඇතිද යන්න පිළිබඳව කතුවරයා මෙලෙස සටහන් කරයි.
‘‘සීගිරි පව්වෙහි අති දුෂ්කර බැවුමක ගල්බෙනයක සිතුවම් ලලිත ලිය දුටු ඔහු වරු ගණනාවක් එහි රැඳී බලා සිටියේ ය. රිස් ඩේවිඩ් තබා ඇති සටහනක ලියැවී ඇත්තේ ඔහුට කුසගිනි දැනුණේ වේල් දෙකකට පසුව බව ය. පුරා දිනක් තම දුරදක්නයෙන් දුටු ලලිත ලියන් දෙස දැස් දල්වා බලා හිඳි ඔහු එතැන් පටන් දුටු සිහිනය වූයේ ඒ සිත්තම් ඇඳි ස්ථානවලට ළඟාවීමට ය.’’
පිටුව 36
කෙසේ නමුදු මේ පුද්ගලයාගේ දෑස් පින් කර තිබී ඇත්තේ සීගිරි ලියන් දුරදක්නයෙන් දැකීමට පමණි. අනතුරුව 1890 වසරේ දී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවීමට මගපාදන්නේ ද රිස් ඩේවිඩ්ස්ගේ විස්තරකතනය යි. කතුවරයා මෙහි දී ශ්‍රීලාංකිය පාලකයන්ගේ උවන මතට සියුම් අතුල් පහරක් එල්ල කරන්නට ද අමතක නොකරන්නේ ය.
‘‘... පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රථම කොමසාරිස්වරයා වන්නේ ප්‍රකට සිවිල් සේවකයකු වූ එච්. සී. පී. බෙල් මහතා ය. එතැන් පටන් විසිහත් වසක් බෙල් ශ්‍රිමතාණෝ ස්වකිය දිවිය සීගිරියට පූජා කරමින් සීගිරි සිරි විසිතුරු මුළුමනින්ම ජාතියට පහදා දුන්හ. බෙල්ගේ සීගිරි උදානය පිළිබඳ ජාතියක් ලෙස අප කෘතවේදී වී ඇද්දැයි විමසිය යුතු තරම් ය. මන්ද වසර විසිහතක් මුළුල්ලේ ඔහු සොයාගත් සීගිරිය හැර මේ වන විට වසර 115ක් ඉක්ම ගොස් සිංහලයන් සොයාගත් දේ අල්ප ය.’’
පිටුව 37
බුද්ධ පුත්‍රයෝ එදා සහ අද
බුද්ධ පුත්‍රයෝ කළ යුත්තේ රටක් සශ්‍රීකත්වයට (ගොවිතැනෙන් නොව ගුණ දහමෙන්) රැගෙන යාම මිස රට තුළ විවිධ ගැටුම් ඇවිළවීම නොවේ. නමුත් අපි දන්නා ඉතිහාසයේ වැඩවිසු බුද්ධ පුත්‍රයෝ වැඩි පිරිසක් මැදිහත් වි ඇත්තේ රට සශ්‍රීක කිරීමට නොව වඩ වඩාත් අඳුරු අගාධයක් වෙත ගමන්කරවීමට ය. එය අතීතයේ ද, වර්තමානයේ ද කියා වෙනසක් නැත. අනාගතයේ ද එසේ නොවේ යැයි විශ්වාස කළ නොහැකි ය. බුදුධ පුත්‍රයන්නේ මේ නොමනා ක්‍රියාකලාපය කතුවරයා සීගිරි පවත තුළින් උකහා ගන්නා අන්දම විමසා බලමු.
‘‘... එදා ථෙරවාදය ආරෝපණය කරගත් දේශපාලන සංඝයා වහන්සේලා සීගිරිපුර බිහිදොරට වැඩමකොට මුගලන්ගේ බල දේශපාලනය උදෙසා ‘‘පත්තනික්කුජ්ජන කර්මය’’ සිදු කළේ උපුල් වෙහෙර විතරාගි සුපසන් කෙම් බිමක්ව තිබිය දී ය. ඒ අනුව ලෞකික සුවය ද ලොව්තුරු සුවය ද එකවැසිව තිබු මේ අමුතු රාජධානියට ලක් ඉතිහාසයෙන් සමුගෙන යාමේ අනතුර මැවුණේ ය. වියවුල් පොතට වැද සිගිරි කාශ්‍යප - මුගලන් අයිය මලෝ යුද වැදුණු නපුරු දශාව එදා බලකාමි දේශපාලන සංඝයා වහන්සේලා තැනුවේ එසේ ය. මහා සංඝයාගේ දේශපාලන නොපනත්කමේ ඉතිහාස කතාවේ මෙවන් නොමේරූ නොහොඹිනා අතීත තතු විත්ති ද ලියවී සනාථව ඇති බව, දුව උපුලී නුඹ සිහිවන විට අතුරු මතකයක්ව සිහිපත්වේ.’’
පිටු 50, 51
සිගිරි කාශ්‍යප රජ තෙමේගේ දියණිය වන උපුලීට ලක් රැජිනක ලෙස කිරුළ පලඳින්නට නොහැකිවන්නේ ද මේ බුද්ධ පුත්‍රයන්ගේ නොමනා ක්‍රියාකලාපය බව කතුවරයා මෙලෙස සටහන් කරයි.
‘‘... කාශ්‍යපයන්ගේ අනුප්‍රාප්තිකව හිමි විය යුත්තේ එකල ලලිත ලිය කුමරිය වූ උපුලියට ය. උපුලි රැජින ලක් රාජ සිරිතට එක්විම වළකාලූයේ ආරෝපිත ථෙරවාදී දේශපාලනික මහා සංඝයා වහන්සේලා ය.’’
පිටුව 52
එකල විසු බුද්ධ පුත්‍ර යෝ සීගිරියට මෙතරම් බද්ධ වෛර වූයේ කුමන හේතුවක් නිසා ද යන්න කතුවරයා තව දුරටත් මෙසේ විද්‍යමාන කරයි.
‘‘... කාශ්‍යප රජ තෙමේ සීගිරිය බිම මහායානිකයන්ට පමණක් සින්න නොකළේ ය. සීගිරි බිමෙහි ප්‍රථම වෙහෙර පූජාව සිදුවන්නේ මහා විහාරීය මහානාම ස්වාමින්ද්‍රයන් වහන්සේට ය. නමුත් සීගිරි කාශ්‍යප පාණ්ඩිත්‍යයෙන් හා සරු පිළිවෙතින් සපිරි භික්ෂුත්වයට මනාප වූ සරුවපිත්තල ශ්‍රමණධාරින් බැහැර කළ වෙසක් ද විද්‍යමාන වේ. ඒ අනුව ඒ සරුවපිත්තල ශ්‍රමණධාරින්ගේ පුද්ගල කෝපාවිෂ්ටය ථෙරවාදි දේශපාලන මුහුණතින් පණ ලැබ මුගලන් සමග අතිනත බැඳගන්නට ද ඇත. අන් අතකින් සිංහල රජ සිරිතෙහි රජ වී ලෞකික රාජ නුවර ද ලොව්තුරු රාජ නුවර ද වෙන් කළේ කාශ්‍යප රජ වීම ද ව්‍යවහාරික සංඝයා වහන්සේලා කෝප කරවන සිදුවීම වන්නට ඇත.’’
පිටු 52, 53
පාඨක පාඨකාවනි..., සියවස් ගණනාවකට පෙරාතුව වැඩ විසු ඇතැම් බුද්ධ පුත්‍රයෝ සහ අද වැඩ වෙසෙනා ඇතැම් බුද්ධ පුත්‍රයන්ගේ කෙරුවාවල වෙනසක් නොමැති බව ඔබට මෙයින් කදිමට වැටහෙනවා නොඅනුමාන ය. එදා සීගිරිය වෙත බද්ධ වෛරයෙන් පසුවී විසුවා පමණක් නොව එයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ විපාකය රටක් ලෙස අපි තවමත් අත්විදිමින් නොසිටින්නේ ද? මේ ඒ සම්බන්ධයෙන් කතුවරයා ඉදිරිපත් කරන දැක්ම ය.
‘‘ඒ අනුව සීගිරි රාජධානි බිහිදොර වැද පත්තනිකුජ්ජන කර්මය කළ දා පටන් කරුම ව්‍රතයක මෙරට රාජ දේශපාලන රටාව සිරගත වූ අපූරුව මැනවින් නිරික්ෂණය කළ හැකි ය.’’
පිටුව 53
සීගිරිය සහ සමරිසියෝ
වර්තමානයේ මෙන්ම අතිතයේ ද සමරිසි ප්‍රජාව කෙරෙහි බද්ධ වෛරයෙන් පසු වුවෝ මෙන්ම එකී ප්‍රජාව කෙරෙහි සිය විරෝධය පළ නොකළ සාමාන්‍ය වැසියෝ සහ රාජ්‍යය පාලකයෝ ද සිටි බව සීගිරි පවත තුළින් ම කතුවරයා ගම්‍ය කරයි.
‘‘සීගිරි බිතෙහි නිල්වන් රන්වන් පුරුෂ ගෙත්මික රූ වරුණ ද සිත්තමට නැගි තිබී ඇත. සීගිරියෙහි දැරණියගල ගුහාවට යාබද නයිපෙන ගුහාව සහ ‘ආසන ගුහාව’ හි එම ශේෂයන් තවමත් සුරක්ෂිතව තිබේ. ඒත් සීගිරි පුරුෂයන් මැකි ගොස් හෝ මකා දමා ඇත. සීගිරි ලියන්ට වඩා වේගයෙන් පුරුෂ රු මැකී ඇත්තේ මන්ද?’’
පිටුව 54
කතුවරයා හෙළි කරන සීගිරි පුරුෂ රූ පිළිබඳ තතු එසේ ය. එසේ පුරුෂ රූ මකා දැමීම කුමන හේතුවක් මත සිදු කරන්නට ඇතිද යන්න පිළිබඳව කතුවරයා සිය මතය මෙලෙස සටහන් කරයි.
‘‘... සීගිරි ගෙත්මිකයන් හෙවත් සීගිරි ‘පුරුෂ ශෘංගාරය’ට මෙතරම් එරෙහි වී ඇත්තේ මන්ද? විටෙක මුගලන් රජතුමා කාශ්‍යප රුව අමතක කිරීමට සිතා සීගිරි බිතෙහි පුරුෂ ලීලාව මකා දැමුවාද විය හැකි ය.’’
පිටුව එම
එම විග්‍රහයෙන් නොනවතින කතුවරයා සිය ස්වාධින අදහස යළි මෙසේ සමාජ ගතකරයි.
‘‘... කෙසේ කොහොම නමුත් සීගිරි කාශ්‍යපගේ සීගිරි ගිරි බිතට පුරුෂ පසඟ පැමිණ කියන්නේ බහු සරාගිකත්වයේ විවෘත දැක්මය. එය විටෙක සීගිරි ලලිත ලියන් මෙන්ම තත්කාලින සමසරාගීන්ගේ සාමකාමි ආත්ම කථනය විය හැකි ය.’’
පිටුව 56
1505ට පෙර කිතුනුවකු හමු වී...
සාම්ප්‍රදායික ඉතිහාසය කියවන සිංහල පාඨක පාඨකාවන්ට ආක්‍රමණික කිතුණුවා හමුවන්නේ 1505 වසරෙන් පසුව ය. එහෙත් ‘‘සිවගිරියෙන් සීගිරියට’’ කෘතිය කියවන පාඨක පාඨකාවන්ට මේ ආක්‍රමණිකයා හමුවන්නේ කාශ්‍යප රජුගේ පියාණෝ වන ධාතුසේන රජු සමයේ ය. කතුවරයා ඒ අතීත තතු අරඹන්නේ මෙසේ ය.
‘‘... සුලබව කථා වී ඇති කථාව ධාතුසේන කුමරු රාජ්‍යත්වයට පත්වීම සඳහා සිදු වූ බෞද්ධ දායකත්වය පමණි. නමුත් ලක් ඉතිහාසයෙහි ප්‍රථම කිතුනු ආගමික මැදිහත්වීම ද වාර්තා වන්නේ ධාතුසේන රාජ්‍ය උදාවට හරි ගැසුණු ජාතික ව්‍යාපාර සෙවණේ ය. මේ සඳහා මුල් වන්නේ ‘මාඝ බ්‍රාහ්මණ’ ය.’’
පිටුව 95
මෙයින් නොනවතින කතුවරයා මේ ආදිතම කිතුණුවා අමතකවීමට හේතුව මෙලෙස පැහැදිලි කරයි.
‘‘ආක්‍රමණික වියරුවකින් ලක්දිව බෞද්ධ සමාජය විනාශ කළ පෘතුගිසි කිතුනුවා නිසා අතීත කිතුනුවා යටපත් වි ගොස් ය’’
පිටුව 97
මෙම ප්‍රකාශ තුළින්න් අතීත කිතුනුවා ආක්‍රමණශීලි නොවෙතැයි කිසිසේත් ම නිගමනය කළ නොහැකි ය. කතුවරයා ම එය සනාථ කරන්නේ මෙලෙසිනි.
‘‘සැබැවින් ම ධාතුසේන රජතුමා බලයට පත්කිරීම පිණිස මුරුණ්ඩ වාංශික කිතුනුවන් සහය දීමත් එතුමාගේ පුත්‍ර කාශ්‍යපගේ අමාත්‍ය මණ්ඩලයට මාඝ බ්‍රාහ්මණ එම වංශයෙන් ඇතුළු වීමත් ගැඹුරු කතාවකි.’’
පිටුව 98
කිතුනුවන්ගේ තතු පවසන කතුවරයා හෙළි කරන තවත් සිද්ධියක් ඇසුරෙන් වර්තමානයේ ජීවත්වන ඇම් දේශපාළුවන්ගේ ක්‍රියාකලාපය එකල ඇතැම් රාජ්‍යය පාලකයෝ ද අනුගමනය කර ඇති බව විද්‍යමාන වේ.
‘‘... ඒ වගේ ම වඩාත් පුදුමය සහ විමතිය දනවන තතු පවතක් ද වේ. ඒ දේශපාලන සඝ පෙරමුණක් භාවිතා කර කාශ්‍යප රජතුමාව එලවා දැමිමට මෙම සිදුවීම භාවිත කළ මුගලන් කුමරුගේ හැසිරීම ය. ඒ මුගලන් කුමරු මාඝ බ්‍රාහ්මණගේ පුත් කණිටු මාඝ බ්‍රාහ්මණ තම අමාත්‍ය ධුරයට පත් කර සටනට පිවිසි අයුරු ය.’’
පිටුව එම
මෙම වාක්‍ය තුන කියවන විට මට එකවර ම සිහිපත් වූයේ වර්තමානයෙ වෙසෙන දේශපාළුවන්ගේ ක්‍රියාකලාපය යි. එනම් දින 52 ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් මුසල්මානු දේශපාලකයෝ මුදලට ගැනීමට තැත් කළ එක් දේශපාළුවකු මේ මොහොතේ අදාළ මුස්ලිම් දේශපාලකයා හට ඉතා වෛරිසහගත ලෙස අපහාස අවලාද කිරීම ය. එකී ක්‍රියාදාමය අතීතයේ ද පැවති ආකාරය කතුවරයා තවදුරටත් මෙලෙස පැහැදිලි කරයි.
‘‘ධාතුසේන නිසා කාශ්‍යප ද, කාශ්‍යප නිසා මුගලන් ද රජ වේ. මේ කථාව ඇතුළතින් ඇත්තේ ගැඹුරු ම කතාවකි. එහෙත් සිතීමට ඇති කථාව නම් බලය වෙනුවෙන් උන් උන් මරාගත්ත ද මේ තුන්දෙනාට ම බලය සඳහා මුරුණ්ඩ වාංශික කිතුනු සහය වුවමනා වී ඇති සැටිය.’’
පිටුව එම
මෙම සිදුවීම වර්තමානයට ගළපන්නට නම් කළ යුත්තේ ‘‘රටේ බලය හොබවන සහ හෙබවු පක්ෂ දෙක ම උන් උන් කෙතරම් ඇනකොටාගත්ත ද මේ දෙපාර්ශ්වයට ම සුළු ජාතිකයන් යැයි නම් දරා සිටින පිරිසගේ සහය නොමැතිව ආණඩුවක් පිහිටුවීමට නොහැකි ය’’ යනුවෙනි.
භික්ෂු දේශපාලනයේ නිරුවත
දේශපාලන බල ලෝභිත්වයෙන් උමතු වූ ගිහියෝ මෙන්ම බුද්ධ පුත්‍ර යෝ ද රටක ගිනි අවුළුවන බව කතුවරයා යළි යළිත් මෙලෙස සටහන් කරයි. රටක පැවැත්ම සහ නොපැවැත්ම පිළිබඳ තීන්දු ගැනීමේ දී බුද්ධ පුත්‍රයෝ කළ අමනෝඥ මැදිහත්වීම් එදා මෙන්ම අදත් පවතින අතර එය අද මෙන්ම හෙටත් නොපවතී යැයි විශ්වාස කළ නොහැකි ය.
‘‘සංඝාගේ ඝාතනයෙන් පසු බලයට පැමිණ කාශ්‍යප රජුට ද එරෙහිව පූර්ණ කිතුනුවකු වී තම අයියා පන්නා දැමීමට මුගලන් කිතුනුකමත් බෞද්ධකමත් බලය අවුලන ගින්දර සේ භාවිතා කරයි. එයින් ම අවිලි ඇවිලී ඇවිත් අවසානයේ කිතුනු ආක්‍රමිකයන් ලංකාව වටකරගන්නා විට රට බිමට වැටී තිබුණි.’’
පිටුව 104
ආගම නමැති ව්‍යසනය රටක විනාශයට බලපාන්නේ කෙසේද යන්න කතුවරයා මෙලෙස සටහන් කරයි.
‘‘රජුන් බලය ලබාගත යුත්තේ රට වෙනුවෙන් ය. ඒත් රටක් තැනී ඇත්තේ ආගම් ද මුල් වීමෙනි. ආගම්වලින් මිදුණු බුදු දහම පදනම් කරගත් රටක් ආගමික බල භේදවලින් බින්න වූයේ මන්දැයි මිගාරලා දෙන්නාගේ කථාව සීගිරි ශෛල මස්තකයේ සිට වත්මනට කියා දෙන කථාවයි.’’
පිටුව එම
දේශපාලක පවුල් සංස්ථා සහ භික්ෂුව
රාජාණ්ඩු සමයේ ද, යටත් විජිත යුගයේ ද, ඊනියා නිදහසෙන් අනතුරුව වත්මන දක්වා වුව ද මෙරට රජ කළ බොහෝ රජවරු මෙන්ම වෙනත් පාලකයෝ ද (බ්‍රිතාන්‍යයෝ හැර) සිය පවුල් සංස්ථාව බල පෙරමුණේ රඳවාගන්නට තැත් කළහ. එය මේ වන විට ද පහව ගොස් නැති ව්‍යසනයකි. එමෙන්ම එකී රාජ්‍යතාන්ත්‍රිකයෝ බිහිකරන්නට ද එසැණින් ම වනසා දමන්නට ද ආගමික පූජ්‍ය පාර්ශ්වය දක්වා ඇති සහය ඉතා බියකරු ය. එහි මෑත උදාහරණය නම් බුද්ධ පුත්‍රයන්ගේ පිහිටාධාරයෙන් බලය ලබාගත් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නම් රාජ්‍යය පාලකයා චීවරධාරියකුගේ වෙඩි පහරකට ලක්ව මිය යාම ය. අනාගතයේ දී වුව ද එවන් සිදුවීමක් සිදු නොවේ යැයි විශ්වාස කළ නොහැකි ය. මෙකී සංසිද්ධිය අතීතයේ පැවති ආකාරය කතුවරයා මෙලෙස සටහන් කරයි.
‘‘අග බිසවකගේ පුතා නොවූ නිසා කාශ්‍යපට එරෙහිව උරුමයක් නැගී සිටියේ ය. ඒ ඔහුගේ මල්ලී මුගලන් ය. මේ මුගලන්ට ලංකාවේ බලය ගැන හීනය මවා දුන්නේ දේශපාලනික සංඝයා වහන්සේලා සහ කිතුනු බලකාමින් ය. ඒත් ඉක්මනින් බලය සෙවූ මුගලන්ට බලය අවුලන ගිනි දැල්ල හමුවන්නේ ‘‘අනුරාධපුරේ කිතුනු තාපසාරාමය’’ නිසා ය. ඒ මිගාර අමාත්‍යවරයා කාශ්‍යප රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන සිංහල බෞද්ධ රටේ මුල් ම පල්ලිය තැනූ විට ය.’’
බලය උදෙසා ආගම් මාරුව
ඉතිහාසයේ සත්‍යය තොරතුරුවලට අනුව සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක යනු ක්‍රිස්තු ලබ්ධිකයෙකි. එහෙත් දේශපාලන බල කෑදරකම වෙනුවෙන් හෙතෙම බෞද්ධයකු වන්නේ ය. අතීතයේ ද බල ලෝභිත්වය වෙනුවෙන් එකම පුද්ගලයා වරින් වර සිය ආගම වෙනස් කළ බව ‘‘සිවගිරියෙන් සීගිරියට’’ කෘතිය ද සාක්ෂ දරයි.
‘‘කාශ්‍යප පන්නා මුගලන් රජ වන්නේ පූර්ණ කිතුනුවකු වීමෙන් පසුව ය. පසුව මේ මුගලන් තමන්ගේ කිතුනු ගුරුවරයා වූ කනිටු මාඝ බ්‍රාහ්මණ සමඟ සිංහල බෞද්ධ රාජ්‍යය මාරක අනතුරක හෙළන්නේ ය. ඒ අනතුරෙන් ඔහු ගැලවෙන්නේ යළි බෞද්ධ රජෙකු බවට පත්වීමෙන් ය. ඒත් මුගලන් රජතුමා සංඝයා වහන්සේලා ඉදිරියේ බෞද්ධයකු වූයේ බලයට මිස සැබෑවට නොවන බව නූතන අපට පසක් වන්නේ ‘‘සිරියාවේ තෝමස්’’ නිසා ය’’
පිටුව 112
තව ද එකල මෙරට විසූ බුද්ධ පුත්‍රයෝ ද අවස්ථාවාදී බලලෝභිත්වයෙන් කටයුතු කිරීමේ විපාක ද ‘‘සිවගිරියෙන් සීගිරියට’’ කෘතිය තුළින් විද්‍යමාන කරන කතුවරයා එකී ව්‍යසනය මෙලෙස සටහන් කරයි.
‘‘පාරම්පරික බෞද්ධ රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාව ඍජුව කිතුනු රටක් කිරීමට ප්‍රතිඥා දුන් මුගලන් රජතුමාට කාශ්‍යප රජතුමා පෙරලා දැමීමට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහාය ලැබීම පෙන්වන්නේ මතුපිට දේ හරයට වඩා බලවත් වන හැටි ය.’’
පිටුව එම
එසේ සිදුවී නොව භික්ෂූන් විසින් සිදු කරනු ලැබ ඇත්තේ ක්‍රි. ව. 477ත් 495ත් අතර කාලයේ දී ය. වර්තමානයේ දී ඇතැම් භික්ෂූන්ගේ ක්‍රියා පිළිවෙතෙහි ද කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ හරය උකහා නොගෙන මතුපිට පමණක් අල්ලාගන්නා ආකාරය නොවේ ද?
මෙම කෘතියෙන් අපිට උගත හැකි පාඩම් බොහෝ ය; ගත හැකි ආදර්ශ ද බොහෝ ය. බලය අවශ්‍ය වූ විට දී සතුරා වුවද මිතුරකු බවට පරිවර්තනය කරගැනීම සහ ඒ බලය වෙනුවෙන් ම ඉතාමත් කුළුපග මිතුරකු වුව ද සතුරකු බවට පරිවර්තනය කරගන්නා ආකාරයත් මෙම කෘතියේ කදිමට විද්‍යමාන වී තිබේ.
‘‘ධාතුසේන රජතුමා බලයට ගෙන ඒමේ දී කිතුනු මැදිහත් වීම සිදුවන්නේ මාඝ බ්‍රාහ්මණ හා මිගාර අතිනි. ඒත් ධාතුසේන රජතුමාට පසුව බලයට එන කාශ්‍යපට හමුවන්නේ තම පියාගේ ඇමති දෙන්නාගේ පුතුන් දෙනො ය. ඒ කනිටු මාඝ බ්‍රාහ්මණ හා මිගාර ය.’’
පිටුව 115
පළමු ‘‘දොන් ජුවන්’’ කවුද?
ලක් ඉතිහාසය කියවන අපිට ‘‘දොන් ජුවන් ධර්මපාල’’ ලෙස නාමකරණයට ලක්වි ඇති පුද්ගලයා ලෙස හමුවන්නේ කෝට්ටේ යුගයේ රජ කළ ධර්මපාල කුමාරයා ය. ඔහු: හත්වන බුවනෙකබා රජතුමාගේ මුනුබුරා ය; වීදිය බණ්ඩාරගේ සහ සමුද්‍ර දේවියගේ පුත් කුමරුවා ය. නමුත් සුජිත් අක්කරවත්ත සිය ‘‘සිවගිරියෙන් සීගිරියට’’ කෘතිය තුළ ධර්මපාල කුමාරයා ඒ අවමානයෙන් ගලවා ඇත. ඒ, මෙලෙසිනි.
‘‘කනිටු මාඝ බ්‍රාහ්මණ තම ජාත්‍යන්තර කිතුනු බැඳීම් භාවිත කර මුගලන් බලයට ගෙන ඒමට නම් කිතුනුවෙකු වන ලෙස කළ ඉල්ලීම මුගලන් ඉටු කරන්නේ ය. මේ අනුව කෝට්ටේ යුගයේ දොන් ජුවන් ධර්මපාල නොව මෙරට කිතුණු රජ වන්නේ සැබැවින් ම මුගලන් රජතුමා ය.’’
පිටුව 116
සංඝ සංස්ථාවේ ඓතිහාසික වැරැදි
බුද්ධ පුත්‍රයෝ ලෙස වෙස් වළාගෙන සිටින චිවරධාරීන්ගේ අකටයුතුකම් හේතුවෙන් රටක් කෙතරම් අගාධයකට තල්ලු වෙනවාද යන්න ‘‘සිවගිරියෙන් සීගිරියට’’ කෘතිය නිරන්තරයෙන් ම අවබෝධ කරයි. මේ කතුවරයා එකී යථාර්ථය තහවුරු කරන තවත් අවස්ථාවකි.
‘‘කාශ්‍යපගේ ඉසුරුබර ලෞකිකවාදය පරාජය කිරීමට පෙරමුණ ගත් ආන්තික දේශපාලනික සංඝයා වහන්සේලා ඓතිහාසික වරදක් කරගෙන තිබුණේ එලෙස ය. ආගමිකවාද රාජවාද බවට පෙරලා ගත් විට රටක් පත්වන ඛේදවාචකය කදිමට කියා දෙන ඉතිහාස පාඩම මෙය ය.’’
පිටු 116, 117
මේ අපි ජීවත්වන වර්තමානයේ ද ඇතැම් බුද්ධ පුත්‍රයෝ ඒ ඓතිහාසික වරද කරමින් නොසිටින්නේ ද? වර්තමාන බුද්ධ පුත්‍රයෝ අතුරෙන් ඇතැම්හු මේ වන විට ආගමිකවාද රාජවාද බවට පෙරලමින් නොසිටින්නේ ද? බුදුන්ගේ ධර්මය විනාශනකාරි ලෙස යොදාගන්නා භික්ෂූන්ගේ නරුම, අවස්ථාවාදී මෙන්ම බලලෝභී ක්‍රියා හේතුවෙන් රටක් අරාජික වන්නේ කෙසේ ද යන්න පුන පුනා කියාදෙන ‘‘සිවගිරියෙන් සිගිරියට’’ කෘතියේ තවත් තැනෙක එකී ව්‍යසනය මෙසේ දිගහැරේ.
‘‘කාශ්‍යප රජුට පුත් කුමරුන් නොමැති වීම නිසා ඔහු ඇවෑමෙන් සිලාකාල හෙවත් සාමණේර කුමරු බලයට එතැයි බියක් හා සැකයක් දේශපාලන සංඝයා වහන්සේලාට මතුවිය. එමෙන්ම සිලාකාලගේ හද මිතුරා වූ පූර්ණ නම් ලේඛකයා ඒ වන විට වජ්‍රයානිකයන් ලියූ ලොව කැලඹූ ‘‘ධර්ම යාත්‍රා’’ කෘතිය ලංකාවට ගෙනවිත් සිංහලයට පරිවර්තනය කර තිබුණේ ය. ඒ අනුව ‘ධරම් යාත්‍රා’ මෙරට මතමානි දිශානතිය තවත් කලඹවාලන්නට ඇති බව අනුමාන කළ හැකි ය. එය ථෙරවාද - මහායාන ගැටුම උත්සන්න වන්නට හේතුවක් ලෙස බලපාන්නට ඇත. එවිට සිදුවන්නේ ඉන්දුනිසියාවට පැනගොස් සිටි මුගලන් කුමරු හා දේශපාලන සංඝයා වහන්සේලා අතර ලක් කිරුළ සීගිරි කාශ්‍යපගෙන් පැහැරගැනීමේ දේශපාලන කුමන්ත්‍රණයක් මතු වීම ය.’’
පිටුව 126
එකල මෙකල විදෙස් සබඳතා
රටක විදේශික සබඳතා තරකරගැනීම සඳහා මෙන්ම ලෝකය සමග වෙළෙඳ හුවමාරු සම්බන්ධතා ඇතිකරගැනීමේ දී ඒ ඒ රටවලට කිසියම් සහන සැලසීමේ ක්‍රම වර්තමානයේ ද පවතී. එහෙත් දුර නොබලන ළඟම බලන බොහෝ දේශපාළුවෝ මෙකී සම්බන්ධතා ඇතිකරගැනිම වළකාලනු වස් ‘‘රට විකුණනවා, රට උකස් කරනවා, පිටරටවලින් කම්කරුවන් ගේනවා, පිටරටවලට සහන සලසනවා’’ යනාදි නොයෙක් හිතලු මවා පා, ජනතාව කුපිත කර අදාළ වැඩසටහන් අකර්මන්‍ය කරති. එහෙත් මෙරට මතු නොව දේශ දේශාන්තරවල පවා නම රැන්දු කාශ්‍යප රජු ද රටේ ආර්ථික සංවර්ධනය උදෙසා එවන් තීරණ ක්‍රියාත්මක කර අවස්ථා ඉතිහාසයේ සටහන්ව තිබේ. මේ එවන් අවස්ථාවක් කතුවරයා සිය කෘතියට බහාලන ආකාරය යි.
‘‘... සීගිරි කාශ්‍යප රජතුමා ඉන්දීය බටහිර මුහුදු මාර්ගය ඉලක්ක කොට කල්‍යාණි (කොළඹ) වරායත්, ඉන්දිය සයුරේ නැගෙනහිර ද්වාරය අරමුණු කරගෙන භල්ල තීර්ත (යාපනය වල්ලිපුරම්) වරායත් සමන්ත පට්ටනය (සමන්තුරය) වරායත් යන දේශිය වරායවල් තුන ආදායම් බද්දෙන් නිදහස් කළේ ය. එමෙන්ම එකි තුන්වරාය තුළ විදේශීය වෙළෙඳුන් හට පූර්ණ පහසුකම් සලසමින් අයස්කාන්ත පරිසරයක් ද ඇතිකොට තිබූ බව අන්තරාලීන ශිලා ලිපිවල ලියැවී ඇත.’’
පිටුව 132
සුදුසු කල එළැඹි විට සුදුස්සා සුදුසු තැනට
ඉතිහාසයේ රජ කළ බොහෝ රජවරු තමන්ගේ රාජ්‍යය පාලනය ඊළඟ උරුමකරුවාට පැවරීමේ දී ඊට සුදුසු කාලය බොහෝ සෙයින් අතපසු කර තමන් වැඩි කාලයක් රාජ්‍යත්වයේ රැඳී සිටීමට යත්න දරා ඇත. පියා ඝාතනය කර හෝ එසේත් නොමැති නම් සිරගත කර පුත් කුමරු රාජ්‍යත්වය පැහැරගන්නට මෙය ඉතා දරුණු අන්දමට බලපා තිබේ. ධාතුසේන රජු සහ ඔහුගේ පුත් කාශ්‍යප කුමරු අතර ද මෙබඳු ගැටුමක් පැවති බව ‘‘සිවගිරියෙන් සීගිරියට’’ කෘතිය සාක්ෂි දරයි.
‘‘කාශ්‍යප කුමරු පිය රජතුමා බලයෙන් පහ නොකොට හෝ ඝාතනය නොකර සිටියේ නම් සීගිරි කාශ්‍යපට වඩා විශිෂ්ට විය හැකි ද? ඒ මොහොත පැමිණි විට සුදුස්සා එය සිදු කළ යුතු ය. එය ධාතුසේන රජතුමා තේරුම් ගෙන බලය පුතුට පවරා සිටියේ නම් අගනේ ය.’’
පිටු 137, 138
තිත්ත ම තිත්ත ඇත්තක්
බුදුන් වහන්සේ කිසිදු දිනක තම අනුගාමික පරපුර බෙදෙන ආකාරයට කටයුතු කර නැත. එහෙත් බුදුන්ගේ පරිනිර්වාණයෙන් අනතුරුව එක් එක් රටවල, එක් එක් ප්‍රදේශවල නොයෙක් නොයෙක් ආකාරයට බෙදුණු බුද්ධ පුත්‍ර පරපුරක් නිර්මාණය විය. ‘‘බුදු දහම’’ යනු ඒ කිසිදු බෙදීමකට යටත් නොවන සමානාතමතාව ගරුකරන, එය ක්‍රියාවෙන් ම ඔප්පු කළ දාර්ශනික පිළිවෙතකි. මෙම පිළිවෙත ආරක්ෂා නොකරන බුද්ධ පුත්‍රයෝ සහ නිර්මල බුදු දහම අකුරට සුරැකි සීගිරි කාශ්‍යපගේ ඉරණම පිළිබඳව කතුවරයා පවසන මේ තිත්ත ඇත්ත අපේ බුද්ධ පුත්‍රයෝ වටහා ගන්නේ කවදා ද? අපි ඒ තිත්ත ඇත්ත පිළිබඳ අවධානය යොමු කරමු.
‘‘කාශ්‍යප රජතුමා නියෝජනය කළේ ථෙරවාදය, මහායානය නොව අර්ථ ධාර්මික, ප්‍රඥා මාර්ගික බුදු දහම ය. කාශ්‍යප රජු පලවා හැරීමට ථෙරවාදය ආරෝපණය කරගත් සඟ පෙරමුණක් තැනුවා මිස මුගලන් කුමරු සේ ම එම සංඝයා වහන්සේලා ථෙරවාදී නිර්මල බුදු දහමේ ආරක්ෂකයෝ ද නොවෙති. ඔවුන්ට ථෙරවාදය බලයට පිනුමක් විතරක් බව මුගලන් කුමරුන් ම කියා පා ඇත.’’
පිටුව 138
බුද්ධාගම සහ බුදු දහම
‘‘ආගම’’ යනු ම විකෘතියකි. එය සියලු ආගම්වලට පොදු ධර්මතාවකි. පසුගිය අප්‍රි යෙල් 21වන ඉරිදා අපේ රටේ පුපුරා ගියේ ද ඒ ආගමික උම්මාදයේ එක් අවස්ථාවකි. එය අතීතයට ද, වර්තමානයට ද අනාගතයට ද එකසේ වලංගු ය. ඒ ‘‘ආගම’’ නමැති යක්ෂයාගේ බියකරු බව සහ ‘‘බුදු දහම’’ යනු කුමක්ද යන්න කතුවරයා මෙලෙස සටහන් කරයි.
‘‘අවසානයේ මුගලන් රජතුමා විසින් හුරු කරන ලද සර්ව බලධාරී දේව සදාචාරය නූතන සඟ සසුන ද සිංහල බෞද්ධ දැක්මෙහි ද අධිපති මතය සේ මතුකර ඇති වගක් පෙනී යයි. එබැවින් බුදු දහමින් බැහැරට ලක් සසුන ගමන් කොට බුද්ධාගම නමින් විකෘතියක් තනාගෙන ඇත. මේ තුළින් නිර්මල ථෙරවාදී බෞද්ධ දහමෙහි ධර්මධරත්වය යටපත් කොට ඇත. ථෙරවාද සසුන හුදු වත් පිළිවෙත් සහිත භක්තිවාදයක් කර තබා ඇත්තේ ය.’’
පිටු 140, 141
‘‘සිවගිරියෙන් සීගිරියට’’ කෘතිය හුදෙක් සීගිරියේ ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කරන කෘතියක් පමණක් නොවන බව මෙතෙක් ඔබ කියැවූ සටහනෙන් අවබෝධ කරගන්නට ඇතැයි මම විශ්වාස කරමි. ඉතිහාස රචනය යනු මෙය යි. එනම් හුදෙක් අපි දන්නා දේ නැවත නැවතත් කියාපෑම නොව එකී ලිඛිත ඉතිහාසය තුළ: සැඟවී, වැළලී සහ මතුපිටට මතු නොවු කරුණු ඉදිරිපත් කිරීම ය. එම පාර්ශ්වයෙන් ලත් විට ‘‘සිවගිරියෙන් සීගිරියට’’ යනු සීගිරිය පිළිබඳ නුතනවාදී කියවීමකි.