ඊයේ පෙරේදා මා කියැවූ අපූරු පොතක් ගැන සටහනක් ලියන්නට හිතුනේය. ඒ අර්නස්ට්.ජේ. ගේන්ස් නම් කළු අමෙරිකානු ලේඛකයා විසින් ලියූ, A Gathering of old men නම් නවකතාව ගැනය. කතුවරයා පිළිබඳව පොතේ සටහන් වන්නේ ඔහු එක්සත් ජනපදයේ ලුයිසියානා නම් දකුණු දිග ප්‍රාන්තයේ ගොවි ගම්මානයක උපත ලද බවත්, නිදහස් ලේඛකයකු ලෙස සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර කටයුතු කරන බව හා ලෆායෙට් හි නිරිතදිග ලුයිසියානා සරසවියේ නිර්මාණාත්මක ලේඛණය සඳහා ආරාධිත මහාචාර්‍යවරයකු සේ කටයුතු කරනා බවත් ය.
ගේන්ස්ගේ මේ පොතට පාදක වන්නේ ලුයිසියානාවේ උක් වගා බිම් පටියය. ධවල ස්වෝත්තමවාදීන් සිය අණසක මෙන්ම සිවිල් බලයද දරා සිටින ලුයිසියානා ප්‍රාන්තයේ, උක් වගාව, සුදු-කළු දෙපිරිසේම සාමූහික කටයුත්තකි. වගා බිම් හිමි ධනවත් ගොවීන් සියල්ලන්ම පාහේ Cadjunලෙස හැඳින් වෙන ප්‍රංශ ප්‍රභවයක් සහිත සුදු ජාතිකයන් වන අතර, කම්කරුවන් හා අඳ ගොවීන් සියල්ලන්ම කළු හෝ මුලට්ටා(කළු+සුදු දෙමුහුන්නන්) වන් වෙති.
නවකතාවේ එක් එක් පරිච්ඡේදයේ කථකයා, තෝරාගත් චරිතයකි. මේ එක් එක් කථකයා, කතාව තමන්ගේ කෝණයෙන් විස්තර කරයි. එහෙත්, ඒ සියල්ල කදිමට එකට පෑහෙන්නේ සුමට කළාලයක් වියුවාක් මෙනි.
මුල්ම පරිච්ඡේදය පවසන්නේ ජෝර්ජ්. එලියට්(කණිෂ්ට) හෙවත් ස්නූකුම් නම්,කුඩා නීග්‍රෝ දරුවකු විසිනි. මේ ඔහු කතාව පටන් ගන්නා අන්දමය.
“ ගේ ඉස්සරහ මිදුලට ආපු කැන්ඩි, අත්තම්මට කතා කරනව මට ඇහුන. මමයි, ටොඩියි, මිනියි මේසෙ ලඟ කකා උන්නෙ. අත්තම්ම, උදුන ලඟට වෙලා, හැලියෙ කෑම රෑටත් පිරිමහින්න පුළුවන්ද කියල බැළුව. කැන්ඩි මිදුලෙ ඉඳන්, අනේ ග්ලෝ නැන්දම්මෙ, අනේ නැන්දම්මෙ- කියල මොර දෙනව. එයාට මොකක් ඕනෙ වෙලාද කියල බලන්න මම පුටුවෙන් නැගිට්ට. ඒත්, මගේ නම ග්ලෝවත්, නැන්දම්මවත් නොවෙන හින්ද අත්තම්ම මට සැරෙන් කීව- වාඩිවෙන්න කියල”
කැන්ඩි සුදු ජාතික තරුණියකි. කළු මිනිසුන්නේ අයිතිවාසිකම් පිළිබඳ උණෙන් පෙලෙනා, පෙරටුගාමී සුදු තරුණියකි. මේ නවකතාවේ, ප්‍රධාන චරිතයකි.
කැන්ඩිගේ මේ හදිසි විලාපයට මුල, මිනී මැරුමකි. මරා දමා ඇත්තේ සුදු ජාතික ඉඩම් හිමියකු මෙන්ම, මේ ඉසව්වේ ප්‍රකට පෙළේ දාමරිකයකු වන බියු බුටාන් ය. බියු, තමන් යටතේ ඉන්නා කල්ලන් පමණක් නොව, පොදුවේ හැම කළු මිනිසකුටම පාහේ තාඩන පීඩන කළ මැරවරයෙකි. ඔහුගේ පියා වන පික්ස්ද එබඳුම දාමරිකයෙකි.
බියු බුටාන්ට වෙඩි තබා මරා දමා ඇත්තේ මැතු නම් , වියපත් කළු ජාතිකයාගේ නිවෙස ඉදිරිපිටදීය. මැතු, කල්ලකු වුවද, කිසිවෙකුට හිස නොනමන තාලයේ චරිතයකි. ඔහු, වරක්, බියුගේ පියා වන පික්ස් හා සමග තබෑරුමකදී ගුටි බැට හුවමාරු කර ගත්තේ, වසමේ Sheriff හෙවත් පොලිස් නිලධාරියා වන මේප්ස් බලා හිඳිද්දීය.
සිද්ධිය ආරංචි වූ විගස, කැන්ඩි මැතුගේ නිවෙස ඉදිරිපිටට දිව එන විට, තුවක්කුව අතින් ගත් මැතු ඔහේ බලාන උන්නේය. ඔහු, කිසිවක් නොදොඩයි.
“මැතු, මොකක්ද මේ කර ගත්තෙ” ඇය අසයි.
කැන්ඩි, ග්ලෝ නැන්දම්මාගේ -ස්නූකුම්ගේ අත්තම්මා- මිදුලට කඩා වදින්නේ , ස්නූකුම් වැදගත් මෙහෙවරක, යොදවා ලන්නටය.
“ස්නූකුම්, මෙහාට එන්න” ඇය මට කිව්වා.
මං ඇය උන් තැනට පැන ගත්ත. ඈ, අත් දෙකින්ම, මගේ උරහිස් තදින් අල්ල ගත්ත. ඉස්සරහට ඇල වෙලා, මගේ මූණට මූණ ළං කළා. නිල්පාට දුම් වගේ පෙණුනු ඇගේ ඇස් දෙක බය වෙලා, විකාර වෙලා වාගෙ තිබ්බෙ.මං හිතුවෙ මම මොකක් හරි නොසණ්ඩාල වැඩක් කරල ඈ මා එක්කලා තරහෙන් කියල.
“ දං අහගන්න” ඇය කීවා. “ ඔයා දැන් දුවන්න ඕන. දුවන එක කොහොමටවත් නවත්තන්න එපා. ගොහිං, රූප්ටයි, ජැමේසන් පාදිලි උන්නාන්සෙටයි, කොරින්ටයි අනික් කට්ටියටයි කියන්න මේ දැන් මැතුගෙ ගේ ලඟට එන්න කියල. ඊළඟට, මර්ල් මිසී ඉන්නවද බලන්න. ඉන්නවනම් එයාටත් ඉක්මණට එන්න කියන්න. නෑ. එයාට කියන්න ලූට කතා කරල ඉක්මණට එන්න කියන්න කියල. එයා ගෙදර නැත්නම්, ජෙනීට පණිවිඩේ දෙන්න. වෙන මුකුත් කියන්න ඕනෙ නෑ. හනික මෙහාට එන්න කියන්න.”
මම මිදුලෙන් පැනගත්ත. පාරට ආවම මම දැක්ක මැතුගෙ ගේ දොරකඩ ට්‍රැක්ටරයක් නවත්තල තියෙනව. ඒකෙ මෝටරේ වැඩ කරනව. දුම් දානව. ඒත් චාලි පේන්න හිටියෙ නෑ. ට්‍රැක්ටරේ පිටිපස්සෙ ලොකු උක් දඬු මිටි දෙකක් තිබ්බත්, චාලි පේන්න හිටියෙ නෑ. පාරෙන් එහා පැත්තෙ, කැන්ඩිගෙ කළු පාට කාර් එක ඉර එළියට දිළිසුනා. කැන්ඩි, මැතුට මොනව හරි කියන්න කියල මට කීවෙ නෑ.කීවෙ, මැතුගෙ ගෙදරට හනික එන්න කියල අනිත් අයට කියන්න කියල. ඒ හන්ද මම හිතුව මැතු මේ ගැන මොනවහරි දන්නව ඇති කියල. ඉතින්, මම ඒ පැත්තට හැරුන. මම, බියුව දැක්කෙ ඒ වෙලාවෙ. බියු, ගස් ගොල්ලෙ පත බෑවිල හිටිය ලේ පෙරාගෙන.
චාලි, බියුගේ ට්‍රැක්ටරය පැදවූ කළු ජාතික රියැදුරාය.
දෙවන පරිච්ඡේදය විස්තර කරන්නේ මර්ට්ල් බුචා හෙවත් මර්ලි මිසීය.
“ මට ඇපල් පුඩිම අමතක උනා. කාරෙකට නැගල හනික ඒ පැත්තට ගියා. ලැයිම් පේලිය දිහාට හැරෙන කොටම ට්‍රැක්ටරය පාර මැද්දෙ තිබ්බ. කැන්ඩිගෙ කළු කාරෙක ඇල කණ්ඩියෙ දකුණු පැත්තෙ නවත්තල තිබුණ. පරණ ගුබ්බෑයම් පහු කරද්දි මම මිනිස්සු කවුරුවත් දැක්කෙ නෑ. හරියට පුංචි ඇඳ මකුණො වගේ. බය වෙච්චි පුංචි ඇඳ මකුණො.ඒට්‍ය්හ්, මැතුගෙ ගේ ළඟට ඇවිත් නවත්තද්දි මට තේරුණා ඒ ගොල්ලො ඇඳ මකුණො නෙමේ කියල. හැමෝම ඔහේ බලාන උන්න. මිදුලෙ. ඉස්තෝප්පුවෙ. තුන් දෙනෙක් අතේ තුවක්කු තිබ්බ. මැතු, ජොනී හෝල්, රූප්. ගෑණු කාගෙවත් ළඟ තුවක්කු තිබුණෙ නෑ. ඒ කට්ටියයි, දරුවො කැලතයි මං දිහා බලා උන්න. මං කාරෙකෙන් බහිද්දි කැන්ඩි පාරට ඇවිත් උන්න.” මං බියුව මැරුව” ඈ කීව”
ඒත් මම ඇයට එපිටින් බලා උන්නෙ පරණ තුවක්කු තියන් උන්නු මැතු, රූප් ඒ එක්කලා ජොනි පෝල් දිහා. මැතු දොර ගාව බිත්තියට හේත්තු වෙලා ඇණ බාගෙන උන්න තුවක්කුව තුරුළු කර ගෙන. වාඩි වෙලා හරි හිට ගෙන හරි නෙමෙයි, ඇණ බාගෙන. ඒ තමා මිනිහගෙ පුරුදු ඉරියව්ව. ඉස්තෝප්පුවෙ ඉන්දැද්දි මිනිහගෙ පුරුදු තැන තමා ඔතන. ජොනි පෝල් තුවක්කුවත් අරං පඩි පෙලේ වාඩි වෙලා උන්න. රූප් තමුන්ගෙ තුවක්කුවත් අරං ඉස්තෝප්පුව කොනේ බිත්තියට හේත්තු උනා. මේ වගේ සංගෙදියක් මම මගේ ජීවිතේට දැකල තිබුණෙ නෑ.
“මොකක්?” මම ඇහුව.
“ මං බියුට වෙඩි තිබ්බ” කැන්ඩි ආයෙමත් කීව.
මං ආපහු හැරිල ඇය දිහා බැළුව.ඔලුව ගස්සලා නෙමෙයි. හෙමිහිට හැරිල ඇය දිහා බැළුව. මං අවුරුදු විසි පහක් තිස්සෙ කැන්ඩි ගැන දන්නව. ඇගේ දෙමව්පියො කාර් අනතුරකින් මියෑදෙන කොට ඇයට අවුරුදු පහකට, හයකට වඩා නෑ. මං ඇයව දැඩි කරන්නට උදව් කළා. ඇත්තෙන්ම කියනවා නම්, මාත්, මෙතන ලැයිමේ ඉන්න මැතුත්, ඇගේ නැන්ද මාමා තරමටම ඇයව දැඩි කරන්නට කර ගැහැව්ව. බාගෙදා, ඒ කට්ටියටත් වැඩියෙන්. ඉතින්, ඇය බොරුවක් කියද්දි මට ඒක වැටහෙනව. මම දැනගත්ත ඇය මේ කියන්නෙ බොරුවක් කියල.
“ මේ කට්ටිය තුවක්කුත් අරං මොකක්ද මේ කරන්න යන්නෙ?” මම ඇගෙන් ඇහැව්ව.
“ මං දන්නෙ නෑ මර්ල් මිසී” ඇය කියනව. “ මං එයාට වෙඩි තිබ්බ. මේං, එක පාරටම මැතු කියාපි වෙඩි තිබ්බෙ එයා කියල. ඒ ගමන, රූප් කියනව එයා වෙඩි තිබ්බ කියල. ජොනි පෝල් මේ අහලකවත් උන්නෙ නෑ. ඒත්, මිනිහ ගෙදර දුවල ගිහිං පරණ තුවක්කුවකුත් අරං ඇවිත් කියාපි වෙඩි තිබ්බෙ එයා කියල. ඒත්- මමයි වෙඩි තිබ්බෙ”
කැන්ඩි මුසාවක් පවසන බව මර්ල් වටහා ගනී. ඇය කැන්ඩි හා වාද කරන්නට පැටලෙයි. ඉවසීමේ සීමාව ඉක්මවූ කැන්ඩි මෙසේ පවසන්නීය.
“ මං ඔයාට ඇත්ත කීවෙ” ඇය කියනව.” දැන් ඔයාට දෙවිදිහකට වැඩ කළෑකි. එක්කො මට උදව් කරන්න. නැත්නම්, තොලොංචි වෙන්න”
“ තොලොංචි වෙන්න?” මම ඇහුව.
“එහෙනම් මට උදව් කරන්න”
“කොහොමද උදව් කරන්නෙ කැන්ඩි?” මම ඇහුව.
“මට තව තුවක්කු ඕනෙ” ඇය කීව.
“මොකක්?”
“ මට බෝර දොලහෙ තුවක්කු ඕන. මට තවත් මිනිස්සු ඕන මෙතන.”
“තවත් මිනිස්සු?” මම ඇහැව්ව.” තවත් මිනිස්සු මොකටද කැන්ඩි?”
“ ඔයාට පේන්නෙ නැද්ද ඒ කට්ටිය මොකද කරන්නෙ කියල?” ඇය ඉස්තෝප්පුව දෙසට ඉඟි කළා.
“ මට පේනව වයසක මිනිස්සු තුවක්කුත් අරං. මට ඒ බව පේනව”
“ඔව්” ඇය කියනව. “ මට තවත් ඒ වගෙ අය ඕනෙ කරනව. මේප්ස් මෙතෙන්ට ආවම උන් දෙන්නෙකුට වමාරන කම් ගහයි. ඒ හන්ද මට තව මිනිස්සු ඕන”
“ කාවද?”
“ කාවද.”ඇය එයම ආපහු ඇහැව්ව.” ඇය මං දිහා හැරිල බැළුවෙ මෝඩ පහේ කතාවක් කියපු කෙනෙක් දිහා බලන විදිහට. “ කාවද? පික්ස් වගේම එයාගෙ කල්ලියෙන් හිරිහැරයක් නොවුණු කළු පවුලක් මේ වසමෙ නෑ. ඔයා මට වඩා වැඩිමල්. ඔයා මට වඩා හොඳට ඒ වග දන්නව. මට දැන් ඕන ඒ අය සේරම මෙතෙන්ට ගෙන්වන්න. දැං තමා ඒ අය සේරම එකතු වෙලා මුහුණ දෙන්න ඕන”
“ එහෙම කරල මැරුම් කන්ට? ඒකද ඔයාට ඕන කරන්නෙ? මේ හැමතැනම ලේ වගුරුවන්නද?”
“මර්ල් මිසී, මේ වටපිට හැරිල බලන්න” ඇය කියනව.” ඒ කට්ටිය අපි දිහා බලාන ඇහුම්කම් දෙනව. සද්දයක් නැතුව. ඒ අය මැරෙන්න ලෑස්ති නැද්ද?”
මේ විවාදයෙන් පසු, පෙරළා නිවස කරා එන මර්ල් මෙනවිය, සිය කළු ජාතික මෙහෙකාරිය වන ජෙනීගෙන් අසන්නේ පික්ස් හා ඔහුගේ කල්ලිය ගැන විරසක කළු මිනිසුන් පිළිබඳවය. ඇය නමක් ඉල්ලා සිටී. අවසන ඇය දැනගන්නේ ක්ලැටූ නම් වියපත් කල්ලා, පික්ස් හා විරසකව ඉන්නා බවය. පික්ස්ගේ සොයුරකු වන ෆොරස්ට් බූටන්, තුවාල ලැබුවේ ක්ලැටූගේ සොහොයුරියකට අතවර කරන්නට ගොස් , ඇයගේ උක් කපන කැත්තෙන් පහර කා ය. සිරගෙට නියම වූ මේ සොයුරිය එහිදී මියෑදුනේ සිහි විකල්ව ය. මේ දෙවන ලෝක යුද්ධයට මඳ කලකට පෙරය.
ඇය, ක්ලැටූ දුරකථනයට සම්බන්ධ කර ගනී.
මෙතැන් පටන් කථකයා, රොබට් ලුයී ස්ටීවන්සන් බෑන්ක්ස් හෙවත් චිම්ලි නම් මහල්ලාය.
“ මායි මැටුයි මාළු අල්ලන්න ගිහින් උන්නෙ. අපි හැම අඟහරුවාදාකම එහෙම තමා. අපට පුරුදු තැනක් ගං ඉවුරෙ තියෙනව. ඉතිං අපි පැයක් තරම බිලී බෑව.
ඔන්න එතකොට, බර්ටෝගෙ ලොකු කොළුව, අර කෙල්ලක් වාගෙ පේන පියු කියන හාදය, ගං ඉවුර දිගේ ආතබූත නැතුව දුවන් එනව. ඌ කියනව, ක්ලැටූ කිව්වලු මාෂල් ගම්මණ්ඩියෙ කැන්ඩි කියන සුදු ඇත්ති කියනව කියල හනික එහෙ එන්න කියල. එයා කියනව අපේ නොම්බර දොලහ තුවක්කුත් අරං එන්න කියල. ක්ලැටූට මේ වග කියල තියෙන්නෙ මර්ල් මිසී.”
“ ඉතිං මේ හුටපටේ මොකක් ගැනද?” මැට් ඇහැව්ව.
“ මොකක් හරි මැතු ගෑවිච්චි පළහිලව්වක්. මැතුගෙ මිදුලෙ පත බෑවිල ඉන්න බියු බූටාන් ගැන සංගෙදියක්. මං දන්නෙ එච්චරයි”
“ මට දැන් හැත්තෑ එකක් චිම්ලි” මිනිහ යොත විසි කරන ගමන් කීව. “ඒ හැටි ඇඟපත හයියත් නෑ”
“ මට හැත්තෑ දෙකක්”
“ තමුසෙ හිතන්නෙ ඕක මැතුගෙ වැඩක් කියලද?”
“මම උරිස් හැකිළුව.” මට තේරෙන්නෙ නෑ මැට්”
“ මිනිහ ඒක කළා නම්, අපි එතන ඉන්න ඕන චිම්ලි” මැට් කීව.
ක්ලැටූ සතුව, පැරණි පිකප් රියක් ඇත. ඔහු, එය රැගෙන හාත් පස කරක් ගසා, මිතුරන් රැසක්ම එකතු කර ගනී.ඒ අතර, බිලි වොෂිංටන්, ජේකබ් ඇගිලා, චිම්ලි, චෙරි බෙලෝ, යැන්ක්, ඩර්ටි රත්තා, බිං හා සිං ලෙජුන්, ක්ලැබර් හෝන්ස්බි, ෂෝන් පියරේ රිකෝ, ගේබිල් රොන්ඩි, සෙඩ්‍රික් ටකර්හා සිඩ්නි බෲක්ස් හෙවත් කැට් ද වෙති.
මිතුරන් කැටුව පිටත් වන්නට පෙර ක්ලැටූ මෙසේ අසයි.
“ කාට හරි මොනවත් කියන්න තියෙනවද? කාට හරි මේක දමල ගහල යන්න හිතෙනවද? එතන ටිකක් උණුසුම් වෙයි. අපි යන්නෙ කොන්ද කෙලින් තියාගෙන. හරියට සොල්දාදුවො වාගෙ. හරි. එහෙනම් පිටත් වෙමු”
මේ වියපත් මිනිසුන් හැමකකු අත තුවක්කුව බැගිනි. ඇතමකු මෙහි ආයේ සිය බිරියන් හා හබ වෙමිනි.
පොලිස් මුලාදෑනියා-මේප්ස්- කොයි මොහොතක හෝ මෙහි එනු ඇත. එයට අමතරව, තවත් අන්තරායයකි. පික්ස්ගේ කල්ලිය ඇසට ඇසක් ඉල්ලා පළිගන්නට එනු සිකුරුය. මැතුගේ මිතුරන් මේ අවුදින් ඉන්නේ ඒ සියල්ලටම මුහුණ දෙන්නටය.
දැන් කරළියට එන්නේ මේප්ස් ය. බියු බුටාන් මරා දැමුවේ කවුරුන්ද යන්න මේප්ස් දනී; නැතහොත් ඔහු ඒ අනුමාන කරයි. එහෙත්, ඔහු හමු වන කැන්ඩි පවසන්නේ බියු මරා දැමුවේ තමා බවය. මැතු කියන්නේ වරදකරුවා තමා බවය. සෙසු වියපත් නීග්‍රෝ මිනිස්සු, ක්ලැටූ, චිම්ලි, බිලී, ජේකබ්, චෙරි, යැන්ක්, ඩර්ට්‍ය් රත්තා, බිං හා සිං, ක්ලැබර්, රිකෝ, රොන්ඩි, ටකර්- මේ සියල්ලන්ම පවසන්නේ මිනීමරුවා තමන් බවය. මේ හැම අයෙකුටම, පොදුවේ සුදු මිනිසුන් ගැනද, විශේෂයෙන් බියුගේ පවුල ගැනද දුක්ගැනවිලි ඇත.
මේප්ස් පටලැවෙන්නේ පඹ ගාලකය. එක් මිනීමැරුමකට වග කියන්නට ලැහැස්ති මිනිසුන් කප්පරකි. වරදකරුවා මැතු බව ඔහු අනුමාන කරයි. එහෙත්, මේ සෙස්සෝ? මෙයට අමතරව, තවත් අන්තරායයකි. ඒ පික්ස්ගේ ඇසට ඇසක් කල්ලියය. මේප්ස්, පික්ස්ගේ කල්ලිය මෙහි නොඑන බවට වග බලා ගනු වස් සිය නිලදරුවකු එහි යවයි. ඒ අතර, අද රෑ බෝවන්නට පෙර මිනීමරුවා අත් අඩංගුවට ගත යුතුය. මේප්ස් මහල්ලන් එකිනෙකා කැඳවා ප්‍රශ්න කරයි; තර්ජනය කරයි; දෙතුන් දෙනෙකුගේ කණ හරහා පහර දෙයි. එහෙත්, හැමකකුම පවසන්නේ බියු මරා දැමුවේ තමන් බවය. මිනිසකු මරන්නට ඇති හේතුව ඇසූ විට ඔව්හු සුදු මිනිසුන් වෙතින් තමන් විඳි කප්පරක් කම්කටොළු ගැන විස්තර සහිතව දොඩති. මේප්ස්ගේ මතය නම් කැන්ඩි මේ සියල්ල නාටකයකට හරවා ඇති බවය.
පික්ස්ගේ කල්ලිය ගැටුමකට එනු වළක් වන්නට මේප්ස් දැරූ වෑයම ව්‍යර්ථ කරමින් ඔව්හු පළිගැනීම සඳහා රංචු ගැසෙති. මිනීමැරුම අවස්ථාවේ පළාගිය සැකකරු මේ අතර පෙරළා එන්නේ තමා නිසා මිනිසුන් රොත්තක්ම අනතුරේ ඉන්නා බැවිනි. ඔහු, බියුගේ ට්‍රැක්ටර් රියැදුරා වන චාලිය. චාලි මේ සිදුවීම සිදු වූ ආකාරය මේප්ස් ඉදිරියේ පවසයි.
පණස් වසරක් සුදු මිනිසුන් ඉදිරියේ බයාදුව දෙකට නැමී උන් චාලි, තමා තවදුරටත් නිහඬව නොසිටින බව පළ කරයි. චාලිට කියන්නට කතාවක් ඇත.
“ මම මිනිහෙක් ෂෙරිෆ්” චාලි පවසයි.” මම මිනිහෙක් බව ලෝකෙම දැන ගන්න ඕන. මම මිනිහෙක් කැන්ඩි නෝනා.මම මිනිහෙක් ලූ මහත්තයා. ඔයාගෙ පත්තරේ ලියන්න මම මිනිහෙක් කියලා”
චාලි ගේ මේ වදන්, මුළු නවකතාවම කැටි කර දක්වයි.
“Life is so sweet when you know you aint no more coward”
මේ අව් අස්සේ පික්ස්ගේ කණ්ඩායම පැමිණෙති. දෙපිරිස ගැටුමට ආසන්නය. චාලි තමන්ට බාර දෙන්නැයි කල්ලි නායකයා පවසයි.
මහළු මිනිස්සු සටනට සැරසෙති. චාලි මේ සැමට නායකත්වය සපයයි. මෙපමණ කලක් බයාදුව උන් චාලි.
දෙපිරිස අතර ගැටුමේදී, පික්ස්ගේ කල්ලියේ නායකයා හා චාලි මිය යති. දෙපැත්තේම අයට එරෙහිව නඩු පවරන අතර පරිවාස කාලයකට යටත්ව නිදහස් කරනු ලැබෙති.
පිටු 213 ක මේ පොත මෙසේ කැටි කළ නොහැකිය. එක හුස්මට කියවා ගෙන යා හැකි මේ කතාව සංවේදී මෙන්ම ප්‍රාණවත් ය. විශේෂයෙන්, තමා බියුට වෙඩි තබන්නට හේතු වූ කාරණය චාලි පවසන්නේ ජීවිත කාලයක්ම තාඩන පීඩන වලට ලක්වූ අහිංසක මිනිසකුගේ මනෝ භාවයන් අපූරුවට කැටි කර ගනිමිනි.
පොතේ දැක්වෙන බොහෝ දෙබස් ලියැවී ඇත්තේ Southern Negro slang වහරෙනි. එය අමුතු හැඩයක් ඊට එකතු කරයි.