‘‘කුමාර’’ යන නමට බොහෝ අය ප්‍රිය කරති. එය ‘‘කුමාරයා’’ යැයි පැවසුවහොත් වටිනාකම තවත් ඉහළ ය. නමුදු මේ ‘‘කුමාර’’ හෝ ‘‘කුමාරයා’’ නමැති වදනට ඉදිරියෙන් ‘‘කළු’’ යන වදන යෙදුව හොත් එය සපුරා ම වෙනස් අරුතක් මෙන් ම වෙනත් චිත්තරූපයක් මිනිස් මනසේ සිතුවම් කරන්නට සමත් වේ. ඒ, ‘‘කළු කුමාරයා’’ යනු තරුණ කාන්තාවන් කෙරෙහි බැල්ම හෙළා, ඔවුන් අසනීප කරවන යක්ෂයෙකු යැයි අද්‍යතනයේ ජීවත්වන ඇතැම් පිරිස් ද විශ්වාස කරන බැවිනි.
‘‘කළු කුමාර දිෂ්ටිය’’ නමැති සංකල්පය පිළිබඳ කියවෙන පුරාණෝක්ති බහුලව පවතී. ඒ බොහෝ පුරාණෝක්ති ඔබ අසා ඇතැයි යන විශ්වාසයෙන් ඒ පිළිබඳ ලියන්නට කාලය ගතකිරීමෙන් ඵලක් නැතැයි අදහස් කරමි. නමුදු මේ ලියන්නට සැරසෙන්නේ ‘‘කළුකුමාර’’ සංකල්පය පදනම් කරගනිමින් ලියවී තිබෙන ප්‍රබන්ධ කතාවක් පිළිබඳ මගේ කියවීම ඔබ සමග බෙදාගැනීමකි.
‘‘දෙගොඩවාරම’’ නම් වූ මෙම ප්‍රබන්ධයේ කතුවරයා ගාමිණී කන්දේපොළ ය. හෙතෙම සිය ප්‍රබන්ධය තුළින් සාකච්ඡාවට බඳුන් කරන්නට යත්න දරන සංකල්පය යථාර්ථයක් නොවන, මිථ්‍යා සංකල්පයකි. නමුදු 21වන ශතවර්ෂයේ ජීවත්වන ලාංකීය ප්‍රජාව අතුරෙන් ද ඇතැම් පිරිස් මෙකී මිථ්‍යා සංකල්පය විශ්වාස කරන බව නොරහසකි. එය ද බොහෝ විට පවතින්නේ ග්‍රාමීය සමාජය තුළ බව ද නොරසකි. තත්ත්වය එසේ වුව ද කතුවරයා සිය ප්‍රබන්ධය තුළින් යත්න දරා ඇත්තේ ‘‘කළු කුමාරයා’’ යනු යථාර්ථයක් හෝ සත්‍යයක් නොව සමාජයේ පවත්නා අන්ධ විශ්වාසයක් බව සනාත කිරීම ය. ලේඛකයකු ලෙස එය එසේ කළ යුතුය යන්න මම පුද්ගලිකව ද පිළිගනිමි. එමෙන් ම ප්‍රබන්ධයේ ඇතැම් ස්ථාන ඉතා බලවත් වන අතර ම හිස් අවකාශ නැතුවා ද නොවේ. ම’විසින් ම මෙය ප්‍රබන්ධයක් යැයි හඳුන්වන ලද බැවින් ම කෘතියේ ධනාත්මක පාර්ශ්වය මෙන් ම එකී හිස් අවකාශ පිළිබඳව ද කෙටියෙන් හෝ යමක් පැවසිය යුතු ය.
ප්‍රථමයෙන් ම මෙහි මුඛ්‍ය චරිත හතර කෙරෙහි අවධානය යොමු කිරීමේ දී වුව ද දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ පිරිමියා යනු විද්‍යාව තුළ ද, අවිද්‍යාව තුළ ද, මිථ්‍යාව සහ යථාර්ථය තුළ ද කාන්තාවගේ නිදහස සීමා කිරීමේ ප්‍රවණතාවට නැඹුරු වූ ජීවියෙකු යන්න ය. යථා ලෝකයේ දී එය ප්‍රායෝගික සත්‍යයකි. බොහෝ විට පිරිමියා යත්න දරන්නේ සිය පෙම්වතිය හෝ බිරිඳ යනු තමාගේ අණසක යටතේ ම ජීවත්විය යුතු ජීවියකු ලෙස ය. සසංක නියෝජනය කරන්නේ ඒ පිරිමියා ය. ඔහුගෙන් මතු නොව සමස්ත සමාජයෙන් ම එල්ල වන තිරශ්චීන චෝදනා දරා සිටින්නී භාෂිණී ය. මේ දෙදෙනා අතර කිසියම් දුරක සාම්‍යයක් පවත්වාගැනීම සඳහා වූ සේතුවක් තනන්නේ ගගන ය. කුමාර හෙවත් කළු කුමාර යනු භාෂිණී හැර සමාජයේ අනෙකුත් සියලු දෙනාගේ පිළිකුලට භාජනය වූ චරිතය කි. ඔහු එසේ පිළිකුලට භාජනය වී ඇත්තේ මන්ද යන්න විමසා බැලීම සහ එයට පවත්නා මෙන් ම දිය හැකි ප්‍රායෝගික විසඳුම කුමක් ද යන්න සමස්ත කෘතිය පුරා සාකච්ඡාවට බඳුන් කර ඇත.
කුමාර හෙවත් කළු කුමාර නමැති තරුණයා එබඳු තත්ත්වයකට පත්වන්නට බලපෑ සමාජ වටපිටාව පිළිබඳ කතුවරයා ඉදිරිපත් කරන කරුණු කෙරෙහි ලාංකීය සමාජයේ බහුතරයකගේ අවධානය යොමු විය යුතු ය. සරලව ම පවසන්නේ නම් රටේ වෙසෙන ජනතාවගෙන් බහුතරයක් වෛද්‍ය භාෂිණී ලෙස සිතන්නට සහ ක්‍රියාකරන්නට පෙලඹෙන්නේ නම් අනාගතයේ දී කුමාර බඳු චරිත බිහිවීමට පවත්නා ඉඩ-කඩ අවම කරගත හැකි ය. ඒ සඳහා ගගන මෙන් ම භාෂිණී සේවයේ යෙදී සිටින රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය බඳු පුද්ගලයන්ගේ සහය ද අත්‍යවශ්‍ය ය. ඒ අතර වෛද්‍ය සසංක යනු හුදු මුදල් පසුපස ම පමණක් හඹා යන, ආත්මාර්ථකාමී, අනාගතයේ සිය බිරිඳ බවට පත්කරගන්නට බලාපොරොත්තු වන, වර්තමානයේ සිය පෙම්වතියව සිටින තරුණිය සිය අණසකට යටත් කරගන්නට යත්න දරන, ඇගේ පුද්ගලික නිදහසට පවා බාධා පමුණුවන සමාජ පිළිලයක් බඳු චරිතයකි. කෘතිය අවසන ඔහු එතෙක් තමා ඇසුරු කළ පෙම්වතිය වූ වෛද්‍ය භාෂිණී අතහැර යාම ද එක්තරා ආකාරයකට එම දෙපළගේ ම ජීවිත විඳවන්නට තිබූ අවස්ථාව ඉවතලා තමන්ට විඳිය හැකි යැයි විශ්වාස කරන ස්ථානය කරා ළඟාවන්නැයි එබඳු පුද්ගලයන් වෙත කෙරෙන ආරාධනයක් වැනි ය. මන්ද දෙදෙනා දෙදෙනෙකු මිස එකෙකු යැයි පවත්නා සමාජ මතය ඔවුන් වෙත ගෙන එන්නේ අභාග්‍යයක් ම මිස භාග්‍යයක් නොවේ.
සසංක නිරන්තරයෙන් ම සිදු කරන්නේ සිය පෙම්වතියගේ අනාගත ගමන් මග සකසනවා වෙනුවට එය අවුරාලීම ය. එහි දී භාෂිණී යනු දිරිය කතකි; සමාජ සද්කාර්ය වෙනුවෙන් ම වෙහෙසෙන්නියකි; සමාජයේ අවමානයට මෙන් ම පිළිකුලට බදුන් වී සිටින කුමාර හෙවත් කළු කුමාර බඳු පුද්ගලයන් කෙරෙහි සමාජය දැක්විය යුත්තේ කෙබඳු ප්‍රතිචාරයක් ද යන්න දැඩි ලෙස අවධාරණය කරන්නියකි. ඇය එය ප්‍රායෝගිකව ම තහවුරු කරන්නී ය. එහි දී ඇගේ මුඛ්‍ය පරමාර්ථය පිළිබඳ බිඳකුදු අවබෝධයක් නොමැති, සසංක සහ ඔහු සමග සමපාත වන සමාජය සිටින්නේ කෙතරම් ප්‍රාථමික අවධියක ද යන්න මැනවින් පිළිබිඹු කෙරේ.
මෙම ප්‍රබන්ධයේ ඉතා ප්‍රබල අවස්ථා ද්විත්වයකි. එනම්, වෛද්‍යවරිය සිය රාජකාරිමය සීමාව පවා ඉක්මවා ගොස් කුමාර හෙවත් කළු කුමාරයාගේ මනදොළ සපුරාලීම සඳහා ගන්නා පියවර සහ කුමාර හෙවත් කළු කුමාර තමාගේ මුඛ්‍ය අරමුණ එය නොවන බව වෛද්‍යවරියට පැවසීම ය. ඔහු පවසන්නේ ‘‘මට ඕනෙ පණපිටිං ගෑනියෙක්. මගේ හිතේ තියෙන ආදරේ බෙදාගන්න පුළුවං හිත පපුව වැඩ කරන ගැනියෙක්.’’ යනුවෙනි. සැබැවින් ම භාෂණී වෛද්‍යවරිය ද කුමාර හෙවත් කළුකුමාරයා නමැති පුද්ගලයාගේ සැබෑ අවශ්‍යතාව වටහාගන්නේ ඒ අවස්ථාවේ දී ය යන්න මගේ හැඟීම ය. ඇය වුව ද කලින් අදහස් කළේ කුමාර හෙවත් කළු කුමාරයාගේ මුඛ්‍ය අරමුණ නිරුවත් කාන්තා සිරුරක් නැරඹීම පමණකි යන්න ය.
මිථ්‍යා මත විශ්වාස කරන සමාජය තරුණ කාන්තාවකගේ මනසට ‘‘කළු කුමාරයා’’ නමැති සංකල්පය ප්‍රවිෂ්ට කරවන්නේ කුමන අවස්ථාවක ද, ඒ සඳහා තරුණියගේ මනස සුදානම් කෙරෙන්නේ ඇයි ද යන්න පිළිබඳව කතුවරයා සිය ප්‍රබන්ධය තුළ විදාරණය කරන්නේ ප්‍රාර්ථනාගේ චරිතය තුළිනි. එහෙත් අවසානයේ ඇය දූෂණයට ලක් කර මරා දමන්නේ කුමන පසුබිමක් යටතේ ද යන්න අපැහැදිලි ය. එම කොටස කෘතියට අවශ්‍යය ද යන්න පවා ගැටලුවකි. ඇතැම් විට දූෂකයෝ බලාපොරොත්තුවන්නට ඇත්තේ එම ස්ථානයට කුමාර හෙවත් කළු කුමාරගේ ඩෙනිම් කලිසම ගෙනවිත් දමා අදාළ දූෂණ චෝදනාව කුමාර හෙවත් කළුකුමාර මත පැටවීම ද විය හැකි ය. එම අදහස සාක්ෂාත් කිරීමට නම් කෘතිය තව දුරටත් පුළුල් කළ යුතු ය. ඇතැම් විට එසේ වුවා නම් එය සාම්ප්‍රදායික කතාවක් බවට පත්වන්නට ද ඉඩ තිබුණි. කතුවරයා අදාළ සිද්ධිය ඇතුළත් කිරීමේ බලාපොරොත්තු වන්නට ඇත්තේ එකී සාම්ප්‍රදායික තත්ත්වයෙන් සිය ප්‍රබන්ධය වියුක්ත කිරීම විය හැකි ය. මන් ද සාම්ප්‍රදායික තත්ත්ව බලාපොරොත්තු වන පාඨක ප්‍රජාවගේ බලාපොරොත්තු ඉටු නොකිරීමට කතුවරයා අවස්ථා කිහිපයක් ම භාවිත කර ඇත. එය නවමු ලක්ෂණයක් බව ද මෙහි දී සඳහන් කළ යුතු ය.
සමාජ අවමානයට මෙන් ම පිළිකුලට බඳුන් වී සිටි කුමාර හෙවත් කළු කුමාරයාගේ මානසික තත්ත්වය අවබෝධ කරගත් එක් පුද්ගලයෙක් හෝ (වෛද්‍ය භාෂිණී) මෙලොව සිටීම සම්බන්ධයෙන් ඔහු තෘප්තිමත් වන ආකාරයත්, එය හේතුවෙන් ම තමා තුළ පැවති ගුප්ත ආශා මැඩපැවැත්වෙන ආකාරයත් ප්‍රකට කිරීම තුළින් පියවි සමාජයේ ජීවත්වන එබඳු පුද්ගලයන් එම තත්ත්වයෙන් මුදවාගත හැකි ආකාරය කතුවරයා පසක් කරයි. එය වඩ වඩාත් තහවුරු කෙරන්නේ ඔහු විසින් දිවි ගලවාගනු ලැබූ කුමාරි (යැයි හඳුන්වනු ලැබූ) ඔහුට ආදරය කිරීම තුළිනි. එමෙන් ම එබඳු පුද්ගලයෙකු කෙරෙහි අවම ධනාත්මක අවධානයක් හෝ යොමු නොකර තව තවත් ඔහු කෙරෙහි සමාජය ඍනාත්මකව අවධානය යොමු කිරීම පිළිබඳව ද කතුවරයා කිසියම් ඉඟියක් සපයා ඇත. සැබවින් ම අප නොකළ යුත්තේ ද එවන් පුද්ගලයන් කෙරෙහි සදාකාලිකව ම ඍණාත්මකව නොබැලීම නොවේ ද? මිනිස්සුන්ට ආදරය කරන සමාජයක් නම් කළ යුත්තේ එබඳු පුද්ගලයන් සිය මානසික තත්ත්ව යහපත් අතට පත් කරගෙන සමාජය සමග සම්බන්ධ වන්නේ නම් ඔවුන්ට උපකාර කිරීම නොවන්නේ ද?
ප්‍රබන්ධ කෘතියක් තුළින් සමාජ යහපත වෙනුවෙන් කිසියම් සාධනීය මැදිහත්වීමක් කළ හැකි නම් එය කෙබඳු මැදිහත්වීමක් ද යන්න ‘‘දෙගොඩවාරම’’ ප්‍රබන්ධ කෘතිය තුළින් මැනවින් විද්‍යමාන කර ඇති බව අවසන් වශයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි.